යෙහෝවා දෙවි මුළු පවුලම එක්සත් කරයි
යෙහෝවා දෙවි මුළු පවුලම එක්සත් කරයි
‘මා ඔබෙන් ඉල්ලා සිටින්නේ දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් ඔබ අද්දකින එක්සත්කම රැකගන්න කියායි.’—එෆී. 4:1, 3.
ඔබට විස්තර කරන්න පුළුවන්ද?
යෙහෝවා දෙවි දියත් කළ වැඩපිළිවෙළේ අරමුණ මොකක්ද?
දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වීමට ඉඩහැරීමෙන් එක්සත්කම අද්දකින්න පුළුවන් කොහොමද?
කාරුණික වෙන්න නම් අපි කොහොම හිතන්න ඕනෙද?
1, 2. මිනිසුන් සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ මොකක්ද?
පවුලක් කියද්දී මොන වගේ පින්තූරයක්ද ඔබේ මනසේ ඇඳෙන්නේ? සෙනෙහස හා සතුට රැඳුණු තැනක්ද? හැමෝම සමඟියෙන් සිටින, භයක් හැකක් නැතුව කතාබහ කරන්න පුළුවන්, අලුත් දේවල් ඉගෙනගන්න පුළුවන් තැනක්ද? ඔබත් හැදී වැඩුණේ මේ වගේ පවුලකද? පවුල නමැති සැලැස්මේ නිර්මාතෘ යෙහෝවා දෙවියි. (එෆී. 3:14, 15) දෙවිගේ මුල් අරමුණ වුණේ දේවදූතයන් හා මිනිසුන් එක පවුලක් ලෙස සාමයෙන් හා සුරක්ෂිතභාවයෙන් සදහටම ජීවත් වෙනවා දකින්නයි.
2 ආදම් හා ඒව පව් කළ විට ඔවුන් තවදුරටත් දෙවිගේ පවුලේ සාමාජිකයන් වුණේ නැහැ. නමුත් ඒ දෙදෙනාගෙන් බිහි වන දරුවන්ගෙන් පොළොව පූර්ණ කිරීම හා එක්සත් පවුලක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ දෙවිගේ මුල් අරමුණ වෙනස් වුණේ නැහැ. (උත්. 1:28; යෙසා. 45:18) ඒ අරමුණ ඉටු කිරීම සඳහා දෙවි කර තිබෙන සමහර දේවල් ගැන එෆීස පොතේ සඳහන් වෙනවා. දෙවිගේ අරමුණ ඉටු කිරීමට අපේ පැත්තෙන් කළ යුතු දේවල් ගැන අපි දැන් එෆීස පොතෙන්ම සලකා බලමු.
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි
3. එෆීස 1:10 සඳහන් කරන දෙවි ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ මොකක්ද? එහි මුල් අදියර ආරම්භ කළේ කවදාද?
3 යෙහෝවා දෙවි සෑම දෙයක්ම කරන්නේ ඔහුගේ අරමුණ ඉටු කිරීමටයි. ඒ නිසා ස්වර්ගයේ හා පොළොවේ තිබෙන සියල්ල එක්සත් කිරීමට දෙවි වැඩපිළිවෙළක් යෙදුවා. (එෆීස 1:8-10 කියවන්න.) එම වැඩපිළිවෙළ අදියර දෙකකින් යුක්තයි. මුල් අදියර වුණේ යේසුස් සමඟ ස්වර්ගයේ සිට සේවය කිරීම සඳහා දෙවි විසින් පිරිසක්ව සූදානම් කිරීමයි. එය ආරම්භ කළේ ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී දෙවිගේ බලයෙන් යේසුස්ගේ ගෝලයන්ව අභිෂේක කිරීමත් සමඟයි. (ක්‍රියා 2:1-4) යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන දෙවි එම අභිෂේක ලත් අයව තම “දරුවන්” ලෙස පිළිගත්තා.—රෝම 3:23, 24; 5:1; 8:15-17.
4, 5. වැඩපිළිවෙළේ දෙවෙනි අදියරෙන් කෙරෙන්නේ මොකක්ද?
එළි. 7:9, 13-17; 21:1-5) දහස් අවුරුදු පාලනය අතරතුර නැවත නැඟිටින අයත් මහත් සමූහයට එකතු වෙයි. (එළි. 20:12, 13) දහස් අවුරුදු පාලනය අවසානයේදී “පොළොවෙහි තිබෙන සියල්ල” එනම් මහත් සමූහයව හා නැවත නැඟිටුණු සියලුදෙනාව දෙවි එක්සත් කර තිබෙයි. ඉන්පසු අවසාන පරීක්ෂණයට මුහුණ දෙන්න ඔවුන්ට සිදු වෙනවා. එයින් සමත් වෙන සියලුදෙනාවම දෙවි තම “දරුවන්” ලෙස පිළිගන්නවා.—රෝම 8:21; එළි. 20:7, 8.
4 දෙවෙනි අදියර නම් පාරාදීසයේ ජීවත් වීමට මිනිසුන්ව සූදානම් කිරීමයි. මුලින්ම පාරාදීසයට ඇතුල් වෙන්නේ ‘මහත් සමූහයයි.’ (5 දෙවි දියත් කළ වැඩපිළිවෙළේ අදියර දෙක තවමත් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි එක් එක් කෙනා අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය මෙයයි. ‘මම පෞද්ගලිකව දෙවිගේ වැඩපිළිවෙළට සහය දක්වන්නේ කොහොමද?’
දෙවිගේ බලය එක්සත්කමට දායක වෙයි
6. සැබෑ ක්‍රිස්තියානීන් එකට රැස් විය යුතු බව බයිබලයේ පෙන්වා දෙන්නේ කොහොමද?
6 සැබෑ ක්‍රිස්තියානීන් එකට රැස් විය යුතුයි කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරි. 14:23; හෙබ්‍රෙ. 10:24, 25) නමුත් එක තැනකට රැස් වීමයි එක්සත්කමයි අතර වෙනසක් තිබෙනවා. උදාහරණයකට සෙනඟ ක්‍රිකට් තරඟයක් බැලීමට ක්‍රීඩාංගණයකට එක්රැස් වුණත් ඔවුන් අතර එකමුතුකමක් තිබෙනවා කියා කියන්න පුළුවන්ද? බැහැ. එසේනම් අපි එක්සත් වෙන්නේ කොහොමද? දෙවි අපිට උගන්වන දේවල් අදාළ කරගෙන දෙවිගේ බලයේ උපකාරයෙන් ඒවා පිළිපැදීමෙනුයි.
7. දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වීමට ඉඩහැරීම එක්සත්කමට දායක වෙන්නේ කොහොමද?
7 යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන අද සිටින අභිෂේක ලත් අයව ඔහුගේ දරුවන් ලෙසත් වෙනත් බැටළුවන්ව ඔහුගේ මිතුරන් ලෙසත් පිළිගන්නවා. (රෝම 5:9; යාකො. 2:23) කොහොමවුණත් සාතන්ගේ දුෂ්ට සමාජයේ ජීවත් වන තාක් කල් සභාවේ අය අතර මත ගැටුම් හා ප්‍රශ්න ගැටලු ඇති වන නිසා එකිනෙකා සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න කියා බයිබලයේ දිරිගන්වනවා. එක්සත්ව සිටීම සඳහා ‘නිහතමානිකමත් මෘදුකමත්’ වර්ධනය කරගන්න අවශ්‍යයි. ඒ වගේම පාවුල් ‘ඉල්ලා සිටින්නේ දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් අද්දකින එක්සත්කම රැකගන්න’ වෑයම් කරන්න කියායි. (එෆීස 4:1-3 කියවන්න.) දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙනවා නම් දෙවි ප්‍රිය කරන ගුණාංග වර්ධනය කරගන්න අපිට පුළුවන්. එවිට අන් අය සමඟ ඇති වී තිබෙන අමනාපකම් දුරලා එක්සත්කම ඇති කරගන්න පුළුවන් වෙයි. අනික් අතට අපි පව්කාර ආශාවන්ට ඉඩ දුන්නොත් භේද ඇති වෙයි.
8. ‘පව්කාර ආශාවන්ට’ ඉඩ දුන්නොත් ඉන් භේද ඇති වෙන්නේ කොහොමද?
8 ‘පව්කාර ආශාවන්’ නිසා භේද ඇති වෙන්නේ කොහොමද? (ගලාති 5:19-21 කියවන්න.) මේ ගැන හිතන්න. වේශ්‍යාකමේ යෙදෙන කෙනෙක් යෙහෝවා දෙවිගෙන් හා සභාවේ අයගෙන් ඈත් වෙනවා. ඒ විතරක් නෙවෙයි භාර්යාවගෙන් හෝ පුරුෂයාගෙන් වෙන් වීමටත් දරුවන්ව අසරණ කිරීමටත් එය හේතු වෙනවා. අපවිත්‍රකම නිසා කෙනෙක් දෙවි සමඟත් ඔහුට ප්‍රේම කරන අය සමඟත් තිබෙන බැඳීම් නැති කරගන්නවා. නින්දිත හැසිරීමේ යෙදෙන කෙනෙක් දෙවිගේ නීති හා ප්‍රමිති තුට්ටුවකට මායිම් කරන්නේවත් ඒවා කෙරෙහි කිසිම ගෞරවයක් දක්වන්නේවත් නැහැ. එයින් පැහැදිලි වෙන්නේ ඕනෑම පව්කාර ආශාවකට ඉඩ දීමෙන් කෙනෙක් දෙවිගෙන්, සභාවේ සිටින අයගෙන් හා තමන්ගේම පවුලේ අයගෙන් ඈත් වෙන බවයි.
9. සාමය හා එකමුතුකම රැකගැනීමට ඔබ උත්සාහ කරනවාද කියා දැනගන්න පුළුවන් කොහොමද?
9 අපි අපෙන්ම මෙසේ අසාගනිමු. ‘සහෝදර සහෝදරියන් එක්ක සමඟියෙන් ඉන්න මම කොච්චර දුරට වෑයම් කරනවාද? සහෝදරයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණොත් මං මොකද කරන්නේ? ප්‍රශ්නෙ ගැන අනිත් අයට කියලා එයාලගේ අනුකම්පාව අරගෙන
එයාලව මගේ පැත්තට ගන්න උත්සාහ කරනවාද? ගැටලුව විසඳගන්න මම උත්සාහයක් දරන්නැතුව වැඩිමහල්ලන් ඒක විසඳලා දෙන තුරු මං බලාගෙන ඉන්නවාද? සහෝදරයෙකුට මාත් එක්ක ගැටලුවක් තිබෙනවා කියලා දන්නවා නම් ඒක විසඳගන්නේ නැතුව ඔහුව මඟහරිනවාද?’ දෙවිගේ අරමුණ වන්නේ සියල්ල එකමුතු කිරීමයි. අපේ පිළිතුරුවලින් අපි ඒ අරමුණට එකඟව ජීවත් වෙනවාද නැද්ද කියා පැහැදිලි වෙයි.10, 11. (අ) සහෝදරයන් සමඟ සමාදානයෙන් සිටීම කොතරම් වැදගත්ද? (ආ) සභාවේ සාමය හා දියුණුව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද?
10 යේසුස් මේ වගේ දෙයක් කාවැද්දුවා. ‘ඔබ යමක් පරිත්‍යාග කිරීමට පූජාසනය ළඟට යන විට ඔබේ සහෝදරයාට ඔබ සමඟ යම් ගැටලුවක් තිබෙන බව එහිදී ඔබට මතක් වෙයි නම්, පරිත්‍යාග කිරීමට රැගෙන ආ දේ පූජාසනය ඉදිරිපිට තබන්න. මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න. ඉන්පසුව ඇවිත් ඒ දේ පරිත්‍යාග කරන්න. ඇති වී තිබෙන ප්‍රශ්නය ඉක්මනින් නිරවුල් කරගන්න.’ (මතෙ. 5:23-25) යාකොබ්ද මෙවැනි දෙයක් පැවසුවා. “සමාදානය ඇති වන අයුරින් ක්‍රියා කරන අය එම සාමකාමී වාතාවරණය තුළ ධර්මිෂ්ඨකම නමැති පල නෙළාගනු ඇත.” (යාකො. 3:17, 18) ඉන් අදහස් කරන්නේ දෙවි අපේ නමස්කාරය පිළිගන්න නම් අපි අනිත් අයත් එක්ක සමාදානයෙන් සිටීම අත්‍යවශ්‍ය බවයි.
11 අපි හැමෝම බිම් බෝම්බ ගැන අහලා තිබෙනවා. කුඹුරක වළලා තිබුණු බිම් බෝම්බයක් පිපිරුවා කියලා හිතන්න. පිපිරීමෙන් පස්සේ ගොවියෝ ඒ කුඹුර හාන්නේ හෝ වී වපුරන්නේ නැහැ. භය නිසා කිසිම කෙනෙක් ඒ අහළකටවත් යන්නේ නැහැ. ඊට අමතරව වී වගාව ඇණහිට ඇති නිසා බොහෝදෙනෙකුට රැකියා හා කෑම හිඟයකට මුහුණ දෙන්නත් සිදු වෙනවා. අපි ඒ බිම් බෝම්බය වගේ නොවෙමු. සාමය නැති කරන ගුණාංග අප තුළ තිබෙනවා නම් ඒකෙන් සිදු වෙන්නේ මුළු සභාවටම ලොකු හානියක්. අනික් අතට අපි ඕනෑම වෙලාවක සමාව දෙන්න හා අනිත් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න සූදානම් නම් එය මුළු සභාවේම සාමයට හා දියුණුවට හේතු වෙයි.
12. එක්සත්ව සිටින්න වැඩිමහල්ලන් අපිට උපකාර කරන්නේ කොහොමද?
12 ‘අපි විශ්වාස කරන දේ සම්බන්ධයෙන් එක්සත්ව සිටීම’ සඳහා ‘තෑගි වශයෙන් දී ඇති පුරුෂයනුත්’ දායක වෙනවා. (එෆී. 4:8, 13) වැඩිමහල්ලන් බයිබලය පදනම් කරගෙන අපිට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දෙන විට අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන අලුත් ආකාරයකින් සිතන්න එය අපට උපකාරවත් වෙනවා. (එෆී. 4:22-24) අපි පාරාදීස පොළොවේ ජීවත් වෙනවා දකින්න කැමති නිසා දෙවි වැඩිමහල්ලන් මාර්ගයෙන් අපිව දැන් තියාම සූදානම් කරනවා. වැඩිමහල්ලෙනි, අනිත් අයව නිවැරදි මාර්ගයට ගැනීමට උත්සාහ කරද්දී ඔබ ඒ කාරණය මතකයේ තබාගන්නවාද?—ගලා. 6:1.
‘එකිනෙකාට කරුණාව පෙන්වන්න’
13. එෆීස 4:25-32 ඇති උපදෙස් අපි පිළිපදින්නේ නැත්නම් මොකක් වෙයිද?
13 බොරු කීම, අධික ලෙස කෝප වීම, සොරකම, අලසකම හා අසභ්‍ය කතා වැනි දේවලින් අපි සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි කියා එෆීස 4:25-29 සඳහන් වෙනවා. අපි එසේ කරන්නේ නැත්නම් එක්සත්කමට දායක වන දෙවිගේ බලයට විරුද්ධව අපි ක්‍රියා කරනවා. ඉන් අදහස් කරන්නේ අපි ‘දෙවිට දුක් දෙනවා’ කියන එකයි. (එෆී. 4:30) ඒ නිසා සමාදානය පවත්වාගැනීමට අවශ්‍ය දේ පාවුල් මේ විදිහට විස්තර කළා. “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න. ඒ වෙනුවට එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. එලෙසම දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට කැමැත්තෙන්ම සමාව දුන් ලෙසම ඔබත් එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.”—එෆී. 4:31, 32.
14. (අ) සමහරවිට අපි කලින් මොන වගේ අය වෙන්න ඇද්ද? (ආ) කාරුණික වෙන්න නම් අපි කරන්න ඕන මොනවාද?
14 සමහරවිට අපි කලින් සැරපරුෂ විදිහට කටයුතු කළ අය වෙන්න ඇති. ඒ නිසයි පාවුල් අපිට කියන්නේ ‘ඒ වෙනුවට එකිනෙකාට කරුණාව පෙන්වන්න’ කියා. ඉන් අදහස් කරන්නේ අනිත් අයගේ හිත රිද්දන්නේ නැතුව ක්‍රියා කරන්න අපි පුරුදු විය යුතු බවයි. (ෆිලි. 2:4) මේ ගැන සිතන්න. අන් අය ඉදිරියේ කෙනෙකුව අපහසුතාවට පත් කර ඒ ගැන හිනා වෙන්න අපි පුරුදු වෙලා තියෙනවාද? එසේ කරනවා වෙනුවට අපි කාරුණික විය යුතු නැද්ද? කතා කිරීමට පෙර අපි දෙවරක් සිතමු.
පවුලේ අයට සෙනෙහස හා ගෞරවය දක්වන්න
15. යේසුස්ව අනුගමනය කිරීමට එෆීස 5:28 ස්වාමිපුරුෂයන්ට උපකාරයක් වෙන්නේ කොහොමද?
15 යේසුස් හා අභිෂේක ලත් අය අතර තිබෙන බැඳීම සැමියා හා බිරිඳ අතර තිබෙන බැඳීමට පාවුල් සමාන කළා. සැමියා බිරිඳව ආදරයෙන් රැකබලා ගෙන ඇයට ප්‍රේම කරන්න අවශ්‍ය බවත් බිරිඳ සැමියාට ගෞරව කරන්න අවශ්‍ය බවත් පාවුල් සඳහන් කළා. (එෆී. 5:22-33) පාවුල් මෙසේත් කිව්වා. “එයාකාරයෙන්ම ස්වාමිපුරුෂයන්ද තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි.” (එෆී. 5:28) “එයාකාරයෙන්ම” කීමෙන් පාවුල් අදහස් කළේ යේසුස් සභාවට ප්‍රේම කළ “ආකාරයටම” ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතු බවයි. පාවුල් ඒ ගැන තවදුරටත් පැවසුවේ මේ විදිහටයි. ‘ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න. ඔහු එසේ කළේ දේවවචනය නමැති වතුරෙන් එය සෝදා පිරිසිදු කරමින්.’ ඒකෙන් තේරෙන්නේ ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ආදරය හා රැකවරණය දෙන්න අවශ්‍ය වගේම භාර්යාවට දෙවි සමඟ හොඳ බැඳීමක් ඇති කරගන්න උදව් කරන්නත් අවශ්‍ය බවයි. ඒ වගේම භාර්යාවන්ද තම ස්වාමිපුරුෂයන්ට යටත් වෙන්න අවශ්‍යයි. ස්වාමිපුරුෂයෙක් පවුලේ එක්සත්කමට එසේ දායක වෙනවා නම් ඔහු ඇත්තටම දෙවිගේ අරමුණට එකඟවයි වැඩ කරන්නේ.
16. දෙවි දී තිබෙන වගකීම දෙමාපියන් හොඳින් ඉටු කරද්දී මොන වගේ යහපත් ප්‍රතිඵල ඇති වෙයිද?
16 තම දරුවන්ව රැකබලා ගැනීම යෙහෝවා දෙවි දෙමාපියන්ට දී තිබෙන ලොකු වගකීමක්. නමුත් අද සමාජයේ සිටින බොහෝදෙනෙක් ‘තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් දක්වන්නේ නැහැ.’ (2 තිමෝ. 3:1, 3) හුඟක් පියවරුන් ඔවුන්ගේ වගකීම පැහැරහරිනවා. ඒකෙන් දුක් විඳින්නේ ඔවුන්ගේ අහිංසක දරුවන්. ඒ නිසා පාවුල් පියවරුන්ට මේ වගේ උපදෙසක් දුන්නා. “පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න. ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.” (එෆී. 6:4) දරුවෙක් එක්සත් පවුලක හැදෙනකොට ආදරය හා වැඩිහිටියන්ට ගෞරව කිරීම වගේ දේවල් ඉගෙනගන්නවා. නිවසේ සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට දෙමාපියන් උත්සාහ කරනකොට ඒක දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන අතර දරුවන්ට හොඳ ගුණාංග ඇති කරගන්නත් පහසු වෙනවා. එවිට ඒ දරුවන් පාරාදීස පොළොවේ ජීවත් වෙන්න දැන් සිටම පුරුදු වෙනවා.
17. සාතන්ට විරුද්ධ වෙන්න නම් අපි මොනවද කරන්න ඕන?
17 දෙවිගේ අරමුණට මුලින්ම විරුද්ධ වුණේ සාතන්. මුලින්ම පවුලේ එක්සත්කම නැති කළෙත් සාතන්. සාතන්ගේ බලපෑම නිසා දෙවිගේ කැමැත්ත කරන්න පහසු නැහැ. අද සමාජයේ දික්කසාද වැඩි වෙන්නේ, විවාහ නොවී එකට ජීවත් වෙන්න තීරණය කරන්නේ හා සමලිංගික විවාහයන් සිදු කරන්නේ සාතන්ගේ බලපෑම නිසයි. මේ වගේ දේවල් ගොඩක් සිදු වුණත් අපි ආදර්ශයට ගන්නේ යේසුස්වයි. (එෆී. 4:17-21) ඒ වගේම අපිට උනන්දු කරන්නේ දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න කියායි. එවිට ‘යක්ෂයාගේ උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව සිටීමට’ පුළුවන් වෙනවා.—එෆීස 6:10-13 කියවන්න.
එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වෙන්න
18. අපි අතර ඇති එක්සත්කම රැකගන්න නම් අත්‍යවශ්‍ය දේ මොකක්ද?
18 අපි හැමෝම එක්සත්ව සිටින්න නම් ප්‍රේමය අත්‍යවශ්‍යයි. යෙහෝවා දෙවිටත් යේසුස්ටත් එකිනෙකාටත් ඇත්තටම ප්‍රේම කරනවා නම් ‘එක්සත්කම රැකගෙන සමාදානයෙන් ජීවත් වෙන්න’ අපිට හැකි වෙනවා. (එෆී. 4:3-6) තම අනුගාමිකයන් අතර තිබෙන එක්සත්කම ගැන යේසුස් මෙසේ යාච්ඤා කළා. “මම ඔබට කන්නලව් කරන්නේ ඔවුන් ගැන පමණක් නොවෙයි. නමුත් ඔවුන් පවසන දේවල් නිසා මා කෙරෙහි විශ්වාසය තබන අය ගැනත් ඔබට කන්නලව් කරනවා. පියාණෙනි, ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අප සමඟද එකට බැඳී සිටියි. . . . ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබීමටත් මා ඔවුන් සමඟ එකට බැඳී සිටීම සඳහාත් මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.”—යොහ. 17:20, 21, 26.
19. අපේ අධිෂ්ඨානය මොකක්ද?
19 අපි තුළ වැරදි කිරීමට නැඹුරුවාවක් තිබෙන නිසා සමහරවිට එක්සත්කම රැකගන්න අමාරුයි කියා සිතෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ගීතිකාකරු මෙන් ‘මාගේ මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටීමට මට උපකාර කරන්න’ කියා යාච්ඤා කරන්න පුළුවන්. (ගීතා. 86:11) අපේ එක්සත්කම බිඳින්න හා අපිව දෙවිගෙන් ඈත් කරන්න සාතන්ට කිසිම ඉඩක් නොදෙන්න අපි අදිටන් කරගමු. ඒ වගේම අපි ‘දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරමු.’ පවුල තුළ, දේවසේවයේදී හා සභාව තුළ අපි ‘එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වෙමු.’—එෆී. 5:1, 2.
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[29වන පිටුවේ පින්තූරය]
පරිත්‍යාග කරන දේ පූජාසනය ඉදිරිපිට තබා සහෝදරයා සමඟ සමාදාන වීමට ඔහු යයි
[31වන පිටුවේ පින්තූරය]
අන් අයට ගරු කරන්න ඔබේ දරුවන්ට උගන්වන්න