Skip to content

පටුනට යන්න

සැබෑ නිදහස ලබා දෙන දෙවිට සේවය කරන්න

සැබෑ නිදහස ලබා දෙන දෙවිට සේවය කරන්න

සැබෑ නිදහස ලබා දෙන දෙවිට සේවය කරන්න

“දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.”—1 යොහ. 5:3.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

සාතන්ට වුවමනා අපි දෙවිගේ ආඥා ගැන මොන විදිහට හිතනවා දකින්නද?

හොඳට සොයා බලා යාළුවන්ව තෝරගන්න අවශ්‍ය ඇයි?

නිදහස ලබා දෙන දෙවිට දිගටම විශ්වාසවන්තව ඉන්න අපිට උපකාර වෙන්නේ මොනවාද?

1. දෙවි තම නිදහස පාවිච්චි කරන්නේ කොහොමද? ආදම්ට හා ඒවට කියූ දෙයින් ඒ බව පැහැදිලි වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවිට අසීමිත නිදහසක් තිබුණත් ඔහු එය අනිසි විදිහට පාවිච්චි කරන්නේ නැහැ. ඔහු තම සේවකයන්ගේ හැම පුංචි කාරණයක්ම පාලනය කරන්නෙත් නැහැ. ඔවුන්ට කැමති විදිහට තීරණ ගන්නත් ඔවුන්ගේ සුදුසු ආශාවන් ඉටු කරගන්නත් නිදහස දී තිබෙනවා. උදාහරණයකට උයනේ හැම ගහකින්ම කන්න පුළුවන් කියලා දෙවි ආදම්ටයි ඒවටයි ඒදන් උයනේදී කිව්වා. කන්න එපා කිව්වේ එක ගහකින් විතරයි. (උත්. 2:17) දෙවිගේ කැමැත්ත කිරීම ඔවුන්ගේ නිදහසට කොහෙත්ම බාධාවක් වුණේ නැහැ.

2. ආදම් සහ ඒව පාපයේ වහලුන් වුණේ කොහොමද?

2 දෙවි ආදම්ට සහ ඒවට එතරම් නිදහසක් දුන්නේ ඇයි? ඒකට හේතුව දෙවි තමාගේ ගතිලක්ෂණ ඇතුව ඔවුන්ව නිර්මාණය කර තිබීම හා ඔවුන්ට හෘදය සාක්ෂියත් දී තිබීමයි. ඒ නිසා ඔවුන් ඔහුට ප්‍රේම කරමින් ඔහු කැමති දේ කරයි කියා දෙවි බලාපොරොත්තු වුණා. (උත්. 1:27; රෝම 2:15) නමුත් ඔවුන් තම නිර්මාතෘව අගය නොකර තමන්ට දුන් නිදහසට පයින් ගැහුවා. ඔවුන් සිතුවේ හරි වැරැද්ද තමන්ම තීරණය කළොත් තමන්ට වැඩි නිදහසක් ලැබෙයි කියායි. නමුත් එයින් සිදු වුණේ ඔවුනුත් ඔවුන්ගෙන් පැවතෙන අයත් පාපයේ වහලුන් වී අන්තිමේදී මරණයට පත් වීමයි.—රෝම 5:12.

3, 4. සාතන්ට වුවමනා අපි දෙවිගේ ආඥා ගැන මොන විදිහට හිතනවා දකින්නද?

3 පරිපූර්ණ යුවළක්ව හා දේවදූතයන් බොහෝදෙනෙක්ව රවටන්න සාතන්ට පුළුවන් වුණා නම් අපි ගැන මොන කතාද? එදා වගේ අදත් සාතන් උත්සාහ කරන්නේ දෙවිගේ ආඥා තද වැඩියි කියා අපිට පෙන්වන්නයි. ඒ වගේම දෙවිට සේවය කිරීමෙන් කිසි සතුටක් ලබන්න බැහැ කියාත් තිබෙන නිදහස නැති වෙනවා කියාත් පෙන්වන්නයි. (1 යොහ. 5:3) අද සිටින බොහෝදෙනෙක් සිතන්නේ ඒ විදිහටයි. අපි ඒ වගේ අයව ආශ්‍රය කළොත් අපිත් එහෙම හිතන්න ඉඩ තිබෙනවා. දැන් වයස අවුරුදු 24ක් වන සහෝදරියක් ඒ ගැන මෙහෙම කියනවා. “මම ආශ්‍රය කෙරුවේ එච්චර හොඳ අයව නෙමෙයි. මාව කොන් කරයි කියන භයට එයාලා කියන කියන දේ කරන්න මං පටන්ගත්තා.” අන්තිමේදී ඒ සහෝදරී අනාචාරයෙත් යෙදුණා.

4 පිට අය විතරක් නෙවෙයි සභාවේ සිටින සමහර අයත් අපිට නරක බලපෑමක් වෙන්න පුළුවන්. තරුණ සහෝදරයෙක් ඒ වගේ දෙයක් අද්දැක්කා. “සභාවේ හිටපු මගේ යාළුවෝ කීපදෙනෙකුට සභාවෙන් පිට අයත් එක්ක ප්‍රේම සම්බන්ධකම් තිබුණා. ඒ යාළුවන්ව ආශ්‍රය කරන්න කරන්න එයාලා හිතන විදිහට හිතන්න මාත් පුරුදු වුණා. ටිකෙන් ටික රැස්වීම් යන්න තිබුණු ආසාව නැති වුණා. සේවෙ යන එකත් නැවතුණා. දෙවිත් එක්ක තියෙන බැඳීමත් එන්න එන්නම අඩු වුණා. එහෙම වුණේ මේ යාළුවන්ගේ ආශ්‍රය නිසානෙ කියලා මට තේරුණේ එතකොටයි. මම ඉක්මනින් ඒ ආශ්‍රය නතර කළා.” ඔබට කොයි තරම් බලපෑමක් කරන්න ඔබේ යාළුවන්ට පුළුවන්ද කියා ඔබට තේරෙනවාද? මේ කාරණය ගැන වටහාගන්න අපි බයිබලයේ තිබෙන සිද්ධියක් සලකා බලමු.—රෝම 15:4.

අබ්සලොම්ගේ කපටි ක්‍රියාව

5, 6. අබ්සලොම්ගේ කපටි ක්‍රියාව මොකක්ද? එය සාර්ථක වුණාද?

5 දාවිත්ගේ පුතා වූ අබ්සලොම් ඉතාම කඩවසම් කෙනෙක්. නමුත් සාතන් වගේ ඔහුත් තමන්ගේ හිතේ වැරදි ආශාවක් වැඩෙන්න ඉඩහැරියා. රජකම් කරන්න ඔහුට අයිතියක් නොතිබුණත් රජ වෙන්න ලොකු ආශාවක් තිබුණා. * ඔහුට වුවමනා වුණේ තම පියාව රජකමෙන් පන්නා රජකම අතට ගන්නයි. ඒ නිසා ඔහු තම පියා ගැන අමූලික බොරු පැතුරුවා. ඒ විතරක් නෙවෙයි කපටි ලෙස හිත් දිනාගන්න මිනිසුන්වත් රැවටුවා. (2 සාමු. 15:1-5) ඔහු ක්‍රියා කළේ සාතන් ඒදන් උයනේදී ක්‍රියා කළා වගේමයි.

6 අබ්සලොම්ගේ කපටි සැලසුම් සාර්ථක වුණාද? බයිබලයේ මෙසේ පවසනවා. “අබ්සලොම් සූක්ෂ්ම ලෙස ඊශ්‍රායෙල් ජනයාගේ සිත් දිනාගත්තේය.” (2 සාමු. 15:6) ඉන් අදහස් කරන්නේ තාවකාලිකව ඔහු යම් සාර්ථකත්වයක් අද්දැක්ක බවයි. නමුත් අවසානයේදී ඔහුගේ ජීවිතය විතරක් නෙවෙයි ඔහුට රැවටුණ අයගේ ජීවිතත් දහස් ගණනින් නැති වුණා.—2 සාමු. 18:7, 14-17.

7. අබ්සලොම්ගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (14වෙනි පිටුවේ පින්තූරය බලන්න.)

7 අබ්සලොම්ට බොහෝදෙනෙක් රැවටුණේ ඇයි? සමහරවිට ඔහු පොරොන්දු වූ දේවල් ගැන ඔවුන් තුළ ආශාවක් ඇති වෙන්න ඇති. එහෙම නැත්නම් ඔහුගේ පෙනුමට ඔවුන් වශී වෙන්න ඇති. කොහොමවුණත් ඔවුන් රැවටුණ ප්‍රධාන හේතුව නම් දෙවිටවත් දෙවි පත් කළ රජුටවත් ඔවුන් විශ්වාසවන්තව නොසිටීමයි. අද දිනත් සාතන් විවිධ අය මාර්ගයෙන් දෙවි ගැන බොරු පතුරවා සූක්ෂ්ම ලෙස මිනිසුන්ගේ සිත් දිනාගන්න උත්සාහ කරනවා. ‘දෙවිගේ ප්‍රමිති තද වැඩියි, දෙවිට සේවය නොකරන අය මොන තරම් සතුටක් අද්දකිනවාද’ කියා පවසමින් අපිව රවටන්න ඔවුන් උත්සාහ කරයි. නමුත් රැවටෙන්නේ නැතුව ඔබ දිගටම විශ්වාසවන්තව ඉඳියිද? අපිට සැබෑ නිදහස ලැබෙන්නේ දෙවිගේ “පරිපූර්ණ නීතිය” මගින් විතරයි කියා ඔබ විශ්වාස කරනවාද? (යාකො. 1:25) දෙවිගේ පරිපූර්ණ නීතිය ඔබ අගය කරනවා නම් ඔබට දැන් ලැබී ඇති නිදහස අනිසි ලෙස භාවිත කරන්නේ නැහැ.—1 පේතෘස් 2:16 කියවන්න.

8. දෙවිගේ ප්‍රමිති නොසලකාහරින අයට සතුට ලැබෙන්නේ නැහැ කියා පෙන්වන අද්දැකීම් මොනවාද?

8 තමන්ට නිදහසක් නැහැ කියා සිතීමට සලස්වමින් සාතන් විශේෂයෙන්ම රවටන්න හදන්නේ යෞවනයන්වයි. දැන් වයස අවුරුදු 30 ගණන්වල සිටින සහෝදරයෙක් යෞවන කාලයේදී සිතූ විදිහ ගැන මෙහෙම කිව්වා. “ඒ කාලේ මට හැඟුණේ දෙවිගේ ප්‍රමිති හින්දා මම කොටු වෙලා ඉන්නවා වගෙයි.” අන්තිමේදී ඔහු අනාචාරයේ යෙදුණා. නමුත් ඒකෙන් ඔහුට නිදහසක් හා සතුටක් ලැබුණාද? “අවුරුදු ගාණක් යනකං මගේ හිත මට වද දුන්නා” කියා ඔහු පැවසුවා. යෞවන කාලයේදී අනාචාරයේ යෙදුණු සහෝදරියක් කිව්වේ “ඒ වරද කරලා දැන් අවුරුදු 19ක් වෙනවා. ඒත් ඒ ගැන මං තාම දුක් වෙනවා. ඒක මගේ මනසින් අයින් කරන්න අමාරුයි” කියායි. තවත් සහෝදරියක් කිව්වේ මෙහෙමයි. “මම කරපු දේ මම ආදරේ කරපු අයට බලපෑවා විතරක් නෙවෙයි මගේ හිතටත් වද දුන්නා. යෙහෝවා දෙවි එක්ක තියෙන මගේ බැඳීම හොඳටම පලුදු වුණා. දෙවිගේ අනුමැතිය නැතුව ජීවත් වෙන එක දරාගන්න බැරි පාඩුවක්.” මේ අද්දැකීම්වලින් පැහැදිලි වෙන්නේ අපේ වැරදි ක්‍රියාවලින් ඇති වන ඵල විපාක සාතන් අපෙන් සඟවන බවයි.

9. (අ) අපි අපෙන්ම අහගන්න ඕනේ මොන වගේ ප්‍රශ්නද? (ආ) දෙවිව හොඳින් දැන හඳුනා ගැනීම වැදගත් වෙන්නේ ඇයි?

9 යෞවනයන් විතරක් නෙවෙයි සමහර වැඩිහිටියන් පවා සාතන්ට රැවටී වේදනාකාරී දේවලට මුහුණ දී තිබෙනවා. (ගලා. 6:7, 8) නමුත් පාඩමක් ඉගෙනගන්න අත පුච්චගන්නම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ගැන හිතන්න. ‘සාතන්ගේ අරමුණ මාව නොමඟ යවන්න කියලා මට හොඳටම පැහැදිලිද?’ ‘යෙහෝවා දෙවි මගේ හොඳම යාළුවා කියලා මට දැනෙනවාද?’ ‘ඔහු මගේ සතුටට බාධා කරන කිසිම දෙයක් කරන්නේ නැහැ කියලත් හැම දෙයක්ම කරන්නේ මගේ හොඳට කියලත් මම විශ්වාස කරනවාද?’ (යෙසායා 48:17, 18 කියවන්න.) මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න නම් අපි යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගෙන ඉන්න ඕනේ. ඒ වගේම දෙවි අපිට නීති හා ප්‍රතිපත්ති දී තිබෙන්නේ අපිව කොටු කරන්න නෙවෙයි නමුත් අපිට ගොඩක් ආදරේ නිසයි කියා අපි හොඳින් තේරුම්ගන්න ඕනේ.—ගීතා. 25:14.

ප්‍රඥාවන්ත කීකරු හදවතක්

10. අපි තරුණ සලමොන්ව ආදර්ශයට ගන්න ඕනේ ඇයි?

10 ‘මම තරුණයෙක්. මට අද්දැකීම් නැහැ. ඒ නිසා හරි වැරැද්ද අතර වෙනස වටහාගන්නත් ඔබ දෙන මඟ පෙන්වීම් පිළිගන්නත් මට කීකරු හදවතක් ලබා දෙන්න’ කියා තරුණ කාලේදී සලමොන් යාච්ඤා කළා. (1 රාජා. 3:7-9, 12) දෙවි ඒ යාච්ඤාවට ආශ්චර්යයවත් ලෙස උත්තර දුන්නා. ඔබ තරුණ වුණත් මහලු වුණත් ඔබත් එසේ යාච්ඤා කරනවා නම් දෙවි එයට උත්තර දෙනවා. දෙවි අද එය ලබා දෙන්නේ කොහොමද? උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කිරීම, දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කිරීම හා සභාවෙන් දෙන මඟ පෙන්වීම් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. (යාකො. 1:5) එසේ කරනවා නම් තරුණයෙකුට වුණත් මේ ලෝකයේ ‘ප්‍රඥාවන්තයන් හා බුද්ධිමතුන් ලෙස සලකන අයට’ වඩා ප්‍රඥාවන්ත වෙන්න දෙවි සලස්වනවා.—ලූක් 10:21; ගීතාවලිය 119:98-100 කියවන්න.

11-13. (අ) ගීතාවලිය 26:4, හිතෝපදේශ 13:20 හා 1 කොරින්ති 15:33 යන පදවලින් ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද? (ආ) ඒ බයිබල් ප්‍රතිපත්ති ඔබ අදාළ කරගන්නේ කොහොමද?

11 දෙවිව හොඳින් දැන හඳුනා ගන්න නම් අපි බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව තේරුම්ගන්න බයිබල් පද කිහිපයක් බලමු. හොඳ මිතුරන්ව තෝරාගන්න ඒ ප්‍රතිපත්ති ඔබට ප්‍රයෝජනවත් වෙයි. “වංක මිනිස්සුන් සමඟ හිඳ නොගත්තෙමි. තමන් කවුදැයි සඟවන අය සමඟ ඇසුරු නොකළෙමි.” (ගීතා. 26:4) “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝ. 13:20) “නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”—1 කොරි. 15:33.

12 එම පදවලින් ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද? (1) දෙවි කැමති අපි හොඳට හොයලා බලලා යාළුවන්ව තෝරාගන්නවාටයි. අපිට විතරක් නෙවෙයි දෙවි සමඟ තිබෙන අපේ බැඳීමටත් කිසිම හානියක් වෙනවාට ඔහු කැමති නැහැ. (2) අපේ යාළුවෝ නිසා එක්කො අපි හොඳ දේවල් කරන්න හෝ නැත්නම් නරක දේවල් කරන්න හෝ පෙලඹෙනවා. ඒක තමයි ඇත්ත! කලින් ඡේදයේ තිබුණු එක බයිබල් පදයකවත් ‘අරක කරන්න’ ‘මේක කරන්න’ කියා නීති දමා නැහැ. වෙනත් විදිහකින් කියනවා නම්, යෙහෝවා දෙවි අපෙන් අහන්නේ මෙවැනි දෙයක්. ‘ඇත්ත මේකයි, මොකක්ද ඔයාගේ තීරණය?’

13 ඒ බයිබල් පදවල තිබෙන මූලික සත්‍යය තේරුම්ගන්න අමාරු නැහැ. බයිබලය ලියූ කාලෙට වගේම අදටත් ඒ ප්‍රතිපත්ති වලංගුයි. ඒ නිසා මේ ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න. ‘තමන් කවුදැයි සඟවන අයව’ මට මුණගැහෙන්නේ කොයි අවස්ථාවලදිද? ඒ වගේ අයත් එක්ක යාළුකම් ඇති කරගන්න එකෙන් වළකින්නේ කොහොමද? (හිතෝ. 3:32; 6:12) යෙහෝවා දෙවි කැමතියි මං “ප්‍රඥාවන්ත අය” එක්ක යාළු වෙනවාට. ඒ අය කවුද? ආශ්‍රයෙන් වළකින්න ඕන “අඥාන” අය කවුද? (ගීතා. 111:10; 112:1; හිතෝ. 1:7) නරක අයව ආශ්‍රය කළොත් නැති වෙලා යන “හොඳ පුරුදු” මොනවාද? ‘නරක ආශ්‍රිතයෝ’ ඉන්නේ සභාවෙන් පිට විතරද? (2 පේතෘ. 2:1-3) ඒ ප්‍රශ්නවලට ඔබ උත්තර දෙන්නේ කොහොමද?

14. පවුලේ නමස්කාරය අර්ථවත් කරගන්න පුළුවන් කොහොමද?

14 අපි දැන් බයිබල් පද කිහිපයක් අධ්‍යයනය කළා වගේ පවුලට අදාළ වෙන වෙනත් බයිබල් පදත් තෝරාගෙන පවුලේ නමස්කාරයේදී සලකා බලන්න ඔබට පුළුවන්. * දෙමාපියෙනි, පවුලේ නමස්කාරයේදී ඒ වගේ බයිබල් පද සාකච්ඡා කරන විට දෙවිගේ නීති හා ප්‍රතිපත්ති මගින් දෙවිගේ ප්‍රේමය කැපී පෙනෙන විදිහ පවුලේ හැමදෙනාටම පැහැදිලි කර දෙන්න. (ගීතා. 119:72) ඔබ ඒ ආකාරයට පවුලේ අය එක්ක අධ්‍යයනය කරද්දී ඔබ එකිනෙකා අතර තිබෙන බැඳීම විතරක් නෙවෙයි දෙවි එක්ක තිබෙන බැඳීමත් ශක්තිමත් වෙනවා.

15. ඔබ නැණවත්, කීකරු හදවතක් තිබෙන කෙනෙක්ද කියා දැනගන්නේ කොහොමද?

15 ඔබ නැණවත්, කීකරු හදවතක් ඇති කෙනෙක්ද කියා දැනගන්නේ කොහොමද? අතීතයේ සිටි විශ්වාසවන්ත අය සිතූ ආකාරයට ඔබත් සිතනවාද කියා කල්පනා කර බලන්න. දාවිත් රජ හිතුවේ මේ විදිහටයි. “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි. ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත.” (ගීතා. 40:8) ඔහු මෙසේත් කිව්වා. “ඔබේ නීතියට මම බොහෝ සෙයින් ඇලුම් කරමි. දවස මුළුල්ලේ ඒ ගැන මම කල්පනා කරමි.” (ගීතා. 119:97) ඒ වගේ ඇලුම්කමක් දවසකින් දෙකකින් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලය හොඳින් අධ්‍යයනය කර ඒ ගැන ගැඹුරින් කල්පනා කර යාච්ඤා කිරීම අවශ්‍යයි. ඒ වගේම දෙවිගේ ප්‍රමිති පිළිගෙන දැනටමත් තමන්ට ලැබී ඇති ප්‍රයෝජන ගැන සිතීමෙනුත් දෙවිගේ වචනයට ඇල්මක් ඇති කරගන්න අපිට පුළුවන්.—ගීතා. 34:8.

දෙවිගේ සේවකයන් අතර ඇති නිදහස අගය කරන්න

16. අපේ සටන ජය ගන්න නම් අපි මතක තියාගන්න ඕන මොකක්ද?

16 ඉතිහාසය පුරාම විවිධ ජාතීන් තම නිදහස රැකගැනීමට සටන් කර තිබෙනවා. ක්‍රිස්තියානියෙක් හැටියට අපිට ලැබී තිබෙන නිදහස රැකගන්න අපි ඊට වඩා සටනක් කරන්න අවශ්‍ය නැද්ද? අපිට සටන් කරන්න වෙන්නේ සාතන් හා ඔහුගේ දුෂ්ට සමාජය එක්ක විතරක් නෙවෙයි. වැරදි කිරීමට තිබෙන නැඹුරුවාව සහ රැවටිලිකාර සිත සමඟත් අපිට සටන් කරන්න තිබෙනවා. (යෙරෙ. 17:9; එෆී. 2:3) නමුත් දෙවිගේ උදව්වෙන් ඒ සටන ජය ගන්න ඔබට පුළුවන්. ඔබ නිදහස රැකගැනීමට සටන් කරන සෑම අවස්ථාවකදීම එයින් අඩුම තරමින් හොඳ ප්‍රතිඵල දෙකක්වත් ඉටු වෙනවා. එකක් නම් ඔබ දෙවිගේ හදවත සතුටු කිරීමයි. (හිතෝ. 27:11) දෙවෙනි එක ‘නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතියට’ කීකරු වීමෙන් ප්‍රයෝජන තිබෙන බව ඔබ තේරුම්ගන්නා විට ඒ නීතිය දිගටම රකින්න ඔබ තුළ පෙලඹීමක් ඇති වීමයි. දෙවිට කීකරු වන හැමෝටම පාරාදීස පොළොවේදී ඊට වඩා නිදහසක් භුක්ති විඳින්න පුළුවන් වෙනවා.—යාකො. 1:25; මතෙ. 7:13, 14.

17. අපි අතින් වැරදි සිදු වුණාම කලකිරෙන්න අවශ්‍ය නැත්තේ ඇයි? දෙවිගෙන් මොන වගේ උපකාරයක් ලබාගන්න පුළුවන්ද?

17 විටින් විට අපි හැම කෙනෙකුගේම අතින් වැරදි සිදු වෙනවා. (දේශ. 7:20) එහෙම වුණාම ඒ ගැන කලකිරෙන්නවත් දෙවිට ඔබව වටින්නේ නෑ කියා සිතන්නවත් එපා. වරදක් වුණොත් වරද නිවැරදි කරගැනීමට අවශ්‍ය පියවර ගන්න. වැඩිමහල්ලන්ගේ උපකාරය අවශ්‍ය නම් එය ලබාගන්න. යාකොබ් පැවසුවේ වැඩිමහල්ලන් “විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන යාච්ඤාව මගින් අසනීපයෙන් සිටින පුද්ගලයා සනීප වන අතර යෙහෝවා දෙවි ඔහුව නැවත ශක්තිමත් කරයි. එලෙසම ඔහු යම් පාපයක් කර ඇත්නම් ඒවා සඳහාත් ඔහුට සමාව ලැබේ” කියායි. (යාකො. 5:15) සභාවට ඒමට දෙවි ඔබ තුළ ආශාවක් ඇති කළේ ඔහුගේ දයාව නිසා හා ඔහු ඔබ තුළ යම් යහපතක් දැක්ක නිසා බව අමතක කරන්න එපා. (ගීතාවලිය 103:8, 9 කියවන්න.) පූර්ණ සිතකින් දෙවිට සේවය කරන්න ඔබ උත්සාහ කරනවා නම් දෙවි ඔබව අත්හරින්නේ නැහැ.—1 ලේක. 28:9.

18. යෙහෝවා දෙවිගෙන් ආරක්ෂාව ලබන්න අපි මොනවද කරන්න ඕන?

18 අන්තිම රාත්‍රියේදී යේසුස් ඔහුගේ ගෝලයන් 11දෙනා සමඟ සිටිද්දී ඔවුන්ව ‘දුෂ්ටයාගේ බලපෑමෙන් ආරක්ෂා කරන්න’ කියා යාච්ඤා කළා. (යොහ. 17:15) එදා ඒ ගෝලයන්ව ආරක්ෂා කළා වගේ මේ අසීරු දවස්වලදී දෙවි අපවත් ආරක්ෂා කරයි කියා නිසැක වෙන්න පුළුවන්. දෙවිට ‘විශ්වාසවන්තව කටයුතු කරන අයට ඔහු පලිහක් වගේ වෙනවා කියාත් තමන්ට පක්ෂපාතව සිටින අයගේ ගමන් මඟ සුරකිනවා කියාත්’ පවසා තිබෙනවා. (හිතෝ. 2:7, 8) දෙවිට විශ්වාසවන්තව සිට නිතරම හරි දේ කරන එක පහසු නැහැ. නමුත් අපිට සදාකාල ජීවනයත් නියම නිදහසත් ලැබෙන්නේ එහෙම කරනවා නම් විතරයි. (රෝම 8:21) දෙවි ලබා දෙන නිදහස සැබෑ නිදහසක් නෙවෙයි කියා පවසන අයට ඔබව රවටන්න ඉඩ දෙන්න එපා.

[පාදසටහන්වල]

^ 5 ඡේ. දාවිත්ගෙන් පසුව රජකම් කරන්න කෙනෙක් පැමිණෙන්න නියමිතයි කියා දෙවි දාවිත්ට කිව්වේ අබ්සලොම් ඉපදුණාට පසුවයි. ඒ නිසා ඊළඟ රජ තමන් නොවන බව අබ්සලොම් හොඳින් දැන සිටියා විය යුතුයි.—2 සාමු. 3:3; 7:12.

^ 14 ඡේ. ප්‍රේමය ගැන විස්තර කරන 1 කොරින්ති 13:4-8 සහ ගීතාවලිය 19:7-11 ඒ සඳහා හොඳ උදාහරණ දෙකක්. එහි සඳහන් ප්‍රමිතිවලට කීකරු වීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ පින්තූර]

අදත් අබ්සලොම් වගේ අය ඉන්නවා. ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?