Skip to content

පටුනට යන්න

“ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා”

“ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා”

“ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා”

ඉතියෝපීය හමුදාව සමඟ සටන් කිරීමට ආසා රජු තම හමුදාව සමඟ යූදා කඳුකරයේ සිට මිටියාවතකට බැස එයි. එතැන සිට පහළ බලද්දී ඔහු දකින දෙයින් කලබලයට පත් වෙයි. ඔහු දකින්නේ සෙබළුන් දශලක්ෂයකින් යුත් ඉතියෝපීය හමුදාවයි. නමුත් ඔහුට සිටින්නේ එයින් අඩක් තරම් වූ හමුදාවක් විතරයි.

ආසා රජු මොනවා කරයිද? සේනාපතීන්ට අණ දෙයිද? සෙබළුන්ගේ බිය සැක දුරු කරයිද? පවුලේ අයට පණිවිඩයක් යවයිද? ඔහු ඒ කිසිවක් කළේ නැහැ. මේ බියකරු අවස්ථාවේදී ඔහු මුලින්ම කළේ යෙහෝවා දෙවිට යාච්ඤා කිරීමයි.

ආසාගේ යාච්ඤාව ගැනත් ඉන්පසු සිදු වූ දේ ගැනත් දැනගැනීමට කලින් ඔහු මොන වගේ කෙනෙක්ද කියා ටිකක් සොයා බලමු. දෙවිගෙන් උපකාර පතන්න ඔහු පෙලඹුණේ ඇයි? දෙවි තමාට අනිවාර්යයෙන්ම උපකාර කරයි කියා සිතන්න ඔහුට හේතුවක් තිබුණද? දෙවි යහපත් කියා සලකන දේ කරන තම සේවකයන්ට දෙවි ආශීර්වාද කරන්නේ කොහොමද?

ආසා රජු මොන වගේ කෙනෙක්ද?

ඔහු රජ වුණේ ක්‍රිස්තු පූර්ව 977දියි. ඒ වන විට ඊශ්‍රායෙලය රාජ්‍යයන් දෙකකට බෙදී අවුරුදු 20ක් ගත වී තිබූ අතර මුළු යූදා දේශයම බොරු නමස්කාරයෙන් දූෂ්‍ය වී තිබුණා. දේශයේ අධිපතීන් පවා සශ්‍රිකත්වය සඳහා බොරු දෙවිවරුන්ට පුද පූජා පැවැත්වුවා. නමුත් ‘ආසා රජ තම දෙවි වූ යෙහෝවාගේ ප්‍රතිපත්ති රකිමින් දෙවි යහපත්යයි සලකන දේ කළා.’ ඒ වගේම ඔහු ‘බොරු දෙවිවරුන්ට ඉදි කළ පූජාසනද පූජනීය ස්ථානද ඉවත් කළ අතර බොරු නමස්කාරය සඳහා ඉදි කළ කණුද කුලුනුද කඩා දැමුවා.’ (2 ලේක. 14:2, 3) “දේවාලවල මුදලට සමලිංගික සේවනයේ යෙදුණු පිරිමින්ව” ආසා රජු යූදා දේශයෙන් එළවා දැමුවා. ඊට හේතුව වුණේ සමලිංගික සේවනයේ යෙදීම බොරු නමස්කාරයේ අංගයක්ව තිබීමයි. එතැනින් නොනැවතුණු ඔහු “තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන්නත් දෙවිගේ නීති හා දෙවි අණ කළ සියලු දේ පිළිපදින්නත්” යූදා වැසියන්ට අණ කළා.—1 රාජා. 15:12, 13; 2 ලේක. 14:4.

සැබෑ නමස්කාරය වෙනුවෙන් වෙහෙසුණු ආසා රජු ගැන දෙවි සතුටු වුණා. ඒ නිසා යූදා දේශයේ බොහෝ කාලයක් පුරා සාමකාමී වාතාවරණයක් පැවතීමට ඉඩහැරියා. ඒ ගැන ආසා රජුම පැවසුවේ මෙහෙමයි. ‘අපි අපේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් පැතූ නිසා මේ දේශයට දෙවි සාමය උදා කර දුන්නා.’ යූදා දේශයේ පවුරු හා නුවරවල් ශක්තිමත් කිරීමට එහි වැසියන් එම සාමකාමී කාලය ප්‍රයෝජනයට ගත්තා. ඒ ගැන බයිබලයේ පවසන්නේ “ඔවුහු එකමුතුව එම ඉදි කිරීම් කටයුතු සාර්ථකව නිම කළෝය” කියායි.—2 ලේක. 14:1, 6, 7.

ආසා සටනට බසියි

බයිබල් වාර්තාවට අනුව විශාලම හමුදාවට විරුද්ධව සටන් කරන්න තිබුණේ ආසා රජුටයි. නමුත් දෙවිව විශ්වාස කරන අයට දෙවි ආශීර්වාද කරන බව ආසා දැනගෙන සිටියා. උපකාරය ඉල්ලා ඔහු යාච්ඤා කළේ ඒ නිසයි. සතුරන් බලවත්ව ගණනින් වැඩිව සිටියත් දෙවිගේ උපකාරයෙන් ඔවුන්ව පරාජය කළ හැකියි යන විශ්වාසය ඔහුට තිබුණා. ඔහු මෙසේ යාච්ඤා කළා. “යෙහෝවා අපේ දෙවියනි, අපි විශ්වාසය තබා තිබෙන්නේ ඔබ මතයි. මේ විශාල සමූහයට විරුද්ධව අපි යුද්ධයට පැමිණියේ ඔබේ නාමයෙන්. ඒ නිසා අපට උපකාර කරන්න. යෙහෝවා දෙවියනි, ඔබයි අපේ දෙවි. ඔබට වඩා තමන් බලවත් කියා පෙන්වීමට දූවිලි වැනි මේ මනුෂ්‍යයන්ට ඉඩ දෙන්න එපා.” (2 ලේක. 14:11) කිසි කමකට නැති හමුදාවක් නිසා දෙවිගේ නාමය අගෞරවයට පත් වෙනවාට ආසා කොහෙත්ම කැමති වුණේ නැහැ. දෙවි ඔහුගේ යාච්ඤාවට සවන් දී ‘රජු හා යූදාහි මනුෂ්‍යයන් ඉදිරිපිටදීම ඉතියෝපීය හමුදාව පරාජය කළ අතර ඉතියෝපීය හමුදාව පලා ගියා.’—2 ලේක. 14:12.

අදත් යෙහෝවා දෙවිගේ සේවකයන්ට බලවත් සතුරන් සමඟ සටන් කරන්න සිදු වෙනවා. යුධ පිටියක මුහුණට මුහුණ ලා සටන් කරන්නේ නැතත් දෙවි කෙරෙහි විශ්වාසය තබමින් ඔහුගේ නාමය වෙනුවෙන් සටන් කරන අපිට දෙවි ජය ලබා දෙනවා. අපේ පවුලේ අය හා දෙවි අතර ඇති බැඳීමට හානි විය හැකි ඕනෑම දෙයකට, බිඳ වැටී තිබෙන සදාචාර ප්‍රමිතිවලට හා අපේම දුර්වලකම්වලට එරෙහිව සටන් කිරීම පහසු නැහැ. නමුත් ආසා මෙන් අපිත් දෙවි කෙරෙහි විශ්වාසයෙන් ක්‍රියා කරනවා නම් ඒ සටන ජය ගන්න දෙවි අපිටත් උදව් කරනවා. යෙහෝවා දෙවි ඕනෑම දේකට හා ඕනෑම කෙනෙකුට වඩා බලවත් බව අමතක නොකරමු.

දිරිගැන්වීමක් සමඟ අනතුරු ඇඟවීමක්

ආසා රජු එම සටනින් පසු නැවත පැමිණෙද්දී අනාගතවක්තෘ වූ අෂරියා ඔහුව මුණගැසී ඔහුට දිරිගැන්වීමක් වගේම අනතුරු ඇඟවීමක්ද කළා. “රජ්ජුරුවනි, යූදා හා බෙන්ජමින් වැසියෙනි, මට සවන් දෙන්න. ඔබ යෙහෝවා දෙවිට ළංව සිටින තාක් කල් ඔහුත් ඔබට ළංව සිටිනවා. ඔබ ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරයි. නමුත් ඔබ ඔහුව අත්හැරියොත් ඔහුද ඔබව අත්හරියි. . . . ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා. ඒ නිසා ඔබ අධෛර්යය නොවී ශක්තිමත් වන්න.”—2 ලේක. 15:1, 2, 7.

එම වචන අපේ විශ්වාසයත් ශක්තිමත් කරනවා. අපි දෙවිට විශ්වාසවන්තව සිටින තාක් කල් ඔහු අපිට ළංව සිට ආශීර්වාද කරන බව එයින් පැහැදිලියි. ඒ වගේම අපි මහත් ඕනෑකමින් දෙවිට යාච්ඤා කරද්දී ඔහු අපිට සවන් දෙන බවත් නිසැකයි. දෙවි යහපත්යයි කියන දේ කිරීමට ධෛර්යය අවශ්‍ය වුණත් ඒ සඳහා යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම උපකාර කරනවා.

ආසා රජුගේ ආච්චි වූ මයකා ‘බොරු නමස්කාරය සඳහා පිළිකුල් රූපයක් සෑදුවා.’ ඒ නිසා ඇයව මව් රැජින පදවියෙන් ඉවත් කර එම රූපයත් කෑලිවලට කඩා පුලුස්සා දැමුවා. (1 රාජා. 15:13) එසේ කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවුණත් එසේ කළ නිසා දෙවි ඔහුට ආශීර්වාද කළා. අපේ නෑදෑයන් දෙවිට පක්ෂපාතව සිටියත් නැතත් ආසා වගේ අපි දෙවිගේ ධර්මිෂ්ඨ නීති හා ප්‍රතිපත්තිවලට කීකරු වෙනවා නම් දෙවි අපිටත් ආශීර්වාද කරනවා.

ආසා ලැබූ එක ආශීර්වාදයක් නම් දෙවිට ද්‍රෝහි වූ උතුරු ගෝත්‍ර දහයේ සිටි බොහෝ ඊශ්‍රායෙල්වරුන් යූදා දේශයට පැමිණීමයි. එසේ පැමිණියේ යෙහෝවා දෙවි ආසා සමඟ සිටින බව ඔවුන් වටහාගත් නිසයි. ඔවුන් සැබෑ නමස්කාරයට කොතරම් ඇලුම් කළාද කියනවා නම් තමන්ගේ ගෙවල් දොරවල් අතහැර දෙවිගේ විශ්වාසවන්ත සෙනඟ සමඟ පදිංචි වීමට කැමති වුණා. ‘යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කරමින් ඔහුගේ මඟ පෙන්වීම් නිරතුරුවම පතන බවට පොරොන්දු වෙමින්’ ආසා රජු සෙනඟ සමඟ ඉමහත් සතුටකින් ‘ගිවිසුමක්ද ඇති කරගත්තා.’ එහි ප්‍රතිඵලය වුණේ ‘දෙවි ඔවුන්ව පිළිගෙන ඔවුන්ට උපකාර කර දේශය පුරා සාමය දිගටම පැවතීමට ඉඩහැරීමයි.’ (2 ලේක. 15:9-15) එදා මෙන් අදත් බොහෝදෙනෙක් යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට පැමිණෙනවා දැකීම අපිට ඉමහත් ප්‍රීතියක්!

අෂරියා ආසා රජුට බරපතළ අනතුරු ඇඟවීමකුත් කළ බව ඔබට මතකද? ඔහු රජුට කිව්වේ ‘ඔබ යෙහෝවා දෙවිව අත්හැරියොත් ඔහුද ඔබව අත්හරියි’ කියායි. ඒ අනතුරු ඇඟවීම ආසාට දුන්නේ ඇයි කියා බයිබලයේ පවසා නැහැ. නමුත් ඒ අනතුරු ඇඟවීම ඔහු සැලකිල්ලට ගත්තේ නැහැ. අපි දෙවිව අත්හැරියොත් එහි ප්‍රතිඵල ඉතා භයානක විය හැකියි.—2 පේතෘ. 2:20-22.

“ඔබ ක්‍රියා කළේ අඥාන ලෙසයි”

ආසා රජු අවුරුදු 36ක් පුරා රජකම් කළ පසු ඊශ්‍රායෙලයේ බාෂා රජු යූදා දේශයට විරුද්ධව සටනට ආවා. බාෂා රජු රාමා නුවරේ ආරක්ෂාව තර කිරීමට ඉදි කිරීම් කටයුතු ආරම්භ කළා. රාමා පිහිටා තිබුණේ යෙරුසලමට කිලෝමීටර් අටක් උතුරින්. ඔහු එසේ කළේ යූදාහි රජු වූ ආසාගේ බලප්‍රදේශයට තම සෙනඟ ඇතුල් වී යෙහෝවා දෙවිටත් යූදා රජුටත් සේවය කිරීම වැළැක්වීමටයි. මේ අවස්ථාවේදී ආසා රජු මොකද කළේ? ඉතියෝපීය හමුදාව සටනට පැමිණි අවස්ථාවේදී දෙවිගේ මඟ පෙන්වීම් පැතුවත් මේ වතාවේ ඔහු එසේ කළේ නැහැ. ඒ වෙනුවට ඔහු සිරියාවේ රජුට තෑගි යවා ඊශ්‍රායෙලයට පහර දෙන්න කියා ඉල්ලුවා. සිරියානු රජු පහර දීමට පටන්ගත් විට බාෂා රජ රාමා නුවර අත්හැර ගියා.—2 ලේක. 16:1-5.

ආසා රජු කළ දේ ගැන අසතුටු වූ දෙවි ඒ බව දැන්වීමට හනානි නම් අනාගතවක්තෘවරයාව යැව්වා. ‘තමන්ට පූර්ණ හදවතකින් සේවය කරන අය පොළොවේ කොහේ සිටියත් දෙවි ඔවුන්ට ඔහුගේ බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරනවා.’ ඒ බව ඉතියෝපීය හමුදාවට විරුද්ධව යෙහෝවා දෙවි තමන්ට ලබා දුන් ජයග්‍රහණය මගින් ආසා තේරුම්ගෙන සිටිය යුතු වුණා. නමුත් ඔහු වැරදි තීරණයක් ගත්තේ කවුරු හරි ඔහුට වැරදි මඟ පෙන්වීමක් දුන් නිසාද? බාෂාගේ හමුදාව එතරම් ප්‍රබල එකක් නොවූ නිසා තමන්ට ලෙහෙසියෙන් ජය ගන්න පුළුවන් කියා ඔහු සිතුවාද? කොහොමවුණත් ආසා රජු විශ්වාසය තැබුවේ යෙහෝවා දෙවි කෙරෙහි නොව මිනිසුන් කෙරෙහියි. “ඔබ ක්‍රියා කළේ අඥාන ලෙසයි. එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි” කියා හනානි කිව්වේ ඒ නිසයි.—2 ලේක. 16:7-9.

එය ඇසූ රජුට හොඳටම කේන්ති ගියා. ඔහු හනානිව දඬුකඳේ ගැසුවා. (2 ලේක. 16:10) ඒ අවස්ථාවේදී ඔහු ‘මං මේ තරම් කාලයක් රජකම් කරලා තියෙනවා. මෙයා කවුද මට උපදෙස් දෙන්න’ කියා සිතුවාද? ඒ වන විට මහලු වයසේ සිටි නිසා හරි තීරණයක් ගන්න තරම් ශක්තියක් ඔහුට තිබුණේ නැද්ද? ඒ ගැන කිසිවක් බයිබලයේ සඳහන් කර නැහැ.

ආසා රජකම් කළ 39වන අවුරුද්දේදී ඔහුගේ පාදවල රෝගයක් හටගත් නිසා ඔහු හොඳටම අසනීප වුණා. බයිබලයේ පවසන්නේ එම රෝගයෙන් පීඩා විඳිද්දී පවා ‘ඔහු ඒ ගැන යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවා වෙනුවට ලෙඩ සුව කරන්නන්ගෙන් පිහිට පැතුවා’ කියායි. ඒ කාලය වන විට ඔහු දෙවි සමඟ තිබූ බැඳීම බොහෝදුරට නැති කරගෙන තිබූ බව පැහැදිලි වෙනවා. රජකම් කළ 41වන අවුරුද්දේදී ආසා මිය යන විටත් එහි වෙනසක් සිදු වී තිබුණේ නැති බවයි බයිබල් වාර්තාවෙන් පෙනී යන්නේ.—2 ලේක. 16:12-14.

ඒ වුණත් යෙහෝවා දෙවි ඔහුගේ වැරදි දෙස බලනවා වෙනුවට ඔහුගේ හොඳ ගුණාංග දෙසත් සැබෑ නමස්කාරය වෙනුවෙන් දැක්වූ උද්‍යෝගය දෙසත් බැලූ බව තේරුම්ගන්න පුළුවන්. ඔහු යෙහෝවා දෙවිට සේවය කිරීම නතර කළේ නැහැ. (1 රාජා. 15:14) ඔහුගේ ජීවිතයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? දෙවි අපිට උපකාර කර තිබෙන ආකාරය සැමවිටම මතක තබාගනිමු. එවිට අපිට මොන අභියෝගයකට මුහුණ දුන්නත් යාච්ඤා කරන්න අපි තුළ පෙලඹීමක් ඇති වෙයි. අපි මොන තරම් කාලයක් දෙවිට සේවය කර තිබුණත් අපිට උපදෙස් හා මඟ පෙන්වීම් අවශ්‍ය නැහැ කියා නොසිතිය යුතුයි. කොපමණ කල් දෙවිට සේවය කළත් අපි වරදක් කළොත් දෙවි අපිව හික්මවයි. ඉන් ප්‍රයෝජන ලබන්න නම් අපි උඩඟු නොවී හික්මවීම පිළිගන්න අවශ්‍යයි. අපි මතක තබාගත යුතු වැදගත්ම දෙය නම් අපේ ආදරණීය පියාණන්ට අපි විශ්වාසවන්තව සේවය කරන තාක් කල් ඔහු අප සමඟ සිටින බවයි. තමන්ට විශ්වාසවන්තව සිටින අයට දෙවි තම බලය ලබා දෙමින් උපකාර කරනවා. අපිත් විශ්වාසවන්තව සිටිනවා නම් දෙවි අපිටත් උපකාර කරන බව නිසැකයි.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි සමඟ තිබෙන බැඳීම රැකගන්න සටන් කරන අයට දෙවි ආශීර්වාද කරනවා

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි යහපත්යයි සලකන දේ කරන්න ධෛර්යය අවශ්‍යයි