Skip to content

පටුනට යන්න

පිල්ග්‍රිම්වරුන් ගමන් අරඹයි

පිල්ග්‍රිම්වරුන් ගමන් අරඹයි

අතීතයෙන් බිඳක්

පිල්ග්‍රිම්වරුන් ගමන් අරඹයි

“ඔය ගෙවල් ගානෙ ගිහිං දේශනා කරන්න නං මට බැහැ.” එහෙම කිව්වේ අලුතින් බයිබලය පාඩම් කරන කෙනෙක් නම් නෙවෙයි. අද්දැකීම් ලත් දක්ෂ කථිකයෙක් හා ගුරුවරයෙක් වූ පිල්ග්‍රිම්වරයෙක්. පිල්ග්‍රිම්වරයෙක් කියන්නේ කාටද?

එදා වොච් ටවර් සඟරාවේ පාඨකයන් බොහෝදෙනෙක් පල්ලි යෑම නතර කර තිබූ නිසා තමන් වගේ සත්‍යයට ළැදි අයව ආශ්‍රය කරන්න කැමති වුණා. වොච් ටවර් සඟරාවෙනුත් ඒ වගේ අයට දිරිගැන්නුවේ කණ්ඩායම් ලෙස එකතු වී බයිබලය අධ්‍යයනය කරන්න කියායි. ඒ නිසා එවැනි කණ්ඩායම්වලට උපකාර කිරීමට 1894දී වොච් ටවර් සමිතිය සංචාරක නියෝජිතයන්ව පත් කළා. ඔවුන්ව එදා හැඳින්නුවේ පිල්ග්‍රිම්වරුන් ලෙසයි. වෙහෙස මහන්සිය නොබලා වැඩ කළ ඔවුන් අද්දැකීම් බහුල, බයිබලය ගැන පුළුල් අවබෝධයක් තිබූ දක්ෂ කථිකයන් වගේම ගුරුවරුන්. යේසුස්ගේ ජීවිත පූජාව තදින් විශ්වාස කළ ඔවුන් මෘදු ගුණැති අයයි. ඔවුන් බොහෝවිට දවසක් හෝ දෙකක් කණ්ඩායමක් එක්ක නැවතී වෙනත් කණ්ඩායමකට ගියා. කණ්ඩායම්වල සිටි බොහෝ අය දේවසේවය කරනවා වගේ දෙයක් මුල් වතාවට කළේ පිල්ග්‍රිම්වරයෙකුගේ කතාව දැනුම් දුන් පත්‍රිකා බෙදීමෙනුයි. පිල්ග්‍රිම්වරයෙක් ලෙස සේවය කළ සහෝදර හියුගෝ රයිම එක් සවස් වරුවක පාසැලක තිබුණු ශාලාවක කතාවක් පැවැත්තුවා. ඒකෙන් පස්සේ මහ රෑ පහු වෙන තුරුම බයිබල් ප්‍රශ්නවලට ඔහු උත්තර දුන්නා. ලොකු මහන්සියක් දැනුණත් ඔහු පැවසුවේ ඒ සාකච්ඡාව නම් “නියමයි” කියායි.

මෙම සංචාරක නියෝජිතයන්ගේ “ප්‍රධාන අරමුණ දෙවිට ළැදි අයගේ විශ්වාසය ශක්තිමත් කිරීම” බව වොච් ටවර් සඟරාවේ සඳහන් වුණා. ඔවුන් එසේ කළේ උනන්දුව දැක්වූ අයගේ ගෙවල්වල රැස්වීම් පැවැත්වීමෙනුයි. ළඟපාත සිටි සෑම බයිබල් ශිෂ්‍යයෙක්ම මේ කතා හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාවලට හවුල් වුණා. සාකච්ඡාවෙන් පස්සේ හැමෝම වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. සහෝදරි මෝඩ් ඇබට් කුඩා කාලයේ ලැබූ ඒ අද්දැකීම ගැන කියන්නේ මෙසේයි. “අප්පේ තිබුණු කෑම ජාති! එක එක ජාතියේ කේක්, පාන්. ඒ විතරක්ද හැම් බේකන්, බැදපු කුකුල් මස්. හැමෝම බඩ පැළෙනකං කෑවා. හැබැයි දවල් දෙකට විතර තවත් කතාවක් තිබුණා. ඒ කතාව වෙලේ නම් හැමෝම හිටියේ බාගෙට නිදාගෙනයි!” කාලයක් පුරා එම සේවයේ යෙදුණු බෙන්ජමින් බාට්න් කිව්වේ “තිබිච්ච හැම කෑමක්ම කෑවනං මෙලහකට මාව වළලපු තැන්වල ගසුත් පැළ වෙලා” කියායි. සහෝදරියන් ඒ වගේ භෝජන සංග්‍රහයන් ගොඩක් ආසාවෙන් පිළියෙල කර තිබුණත් පසු කාලෙක බෘක්ලින්වලින් කණ්ඩායම්වලට යැවූ ලිපියක පැහැදිලි කළේ පිල්ග්‍රිම්වරුන්ට “සරල කෑමක් හා රාත්‍රියේ සුවබර නින්දක් ලබාගැනීමට සැලසුම් කරන්න” කියායි.

පිල්ග්‍රිම්වරුන් චිත්‍ර, වගු, ආකෘති විතරක් නෙවෙයි අතට අහු වෙන ඕනෑම දෙයක් යොදාගෙන ඉතා දක්ෂ ලෙස කතා ඉදිරිපත් කළා. සහෝදර ආර්. එච්. බාබර් කතා දෙද්දී “හිත් ඇදගන්නා විදිහට බයිබල් ඉගැන්වීම් පැහැදිලි කළා.” සහෝදර ඩබ්ලිව්. ජේ. තෝන් තාත්තා කෙනෙක් වගේ. ඔහු කතා දෙද්දී “ආබ්‍රහම් වගේ කෙනෙක්ව හිතේ මැවුණා.” සහෝදර ෂෙල්ඩ් ටූට්ජීන්, කීපදෙනෙක් එක්ක කාර් එකේ යද්දී හදිස්සියේම කාර් එක නවත්වන්න කිව්වා. ඔහු පාර අයිනේ තිබුණු මල් වගයක් කඩාගෙන ඇවිත් කාර් එකේ හිටි හැමෝටම එවෙලේම දෙවිගේ නිර්මාණ ගැන ඉගැන්නුවා.

විශේෂයෙන්ම මැදි විය පසු කර සිටි සහෝදරයන්ට සංචාරක නියෝජිතයන් ලෙස පැවරී තිබූ සේවය ලෙහෙසි වුණේ නැහැ. නමුත් ඔවුන්ට මුහුණ දෙන්න සිදු වූ ලොකුම අභියෝගය වුණේ තමන්ට පවරා තිබූ කාර්යයේ සිදු කළ වෙනසයි. එතැන් සිට ගෙයින් ගෙට සේවයේ පෙරමුණ ගන්න ඔවුන්ට සිදු වුණා. ඒ ගැන 1924 මාර්තු 15 වොච් ටවර් සඟරාවේ සඳහන් වුණේ මෙසේයි. සැබෑ ක්‍රිස්තියානීන්ගේ “ප්‍රධාන කාර්යය වන්නේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමයි. පිල්ග්‍රිම්වරුන්ව යවන්නේ ඒ අරමුණ ඉටු කිරීමටයි.”

සමහර පිල්ග්‍රිම්වරුන් ඒ වෙනසට කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒ නිසා ඔවුන් සංචාරක සේවය නතර කර වෙනම ආගමික කණ්ඩායම් සාදාගත්තා. දක්ෂ කථිකයෙක්ව සිටියත් එම වෙනස්කම හෙළා දුටු කෙනෙක් කියූ දෙයක් ගැන සහෝදර රෝබි ඇඩ්කින්ස් මෙසේ මතකයට නැඟුවා. “මම දන්නේ කතා දෙන්න විතරයි. ඔය ගෙවල් ගානෙ ගිහින් දේශනා කරන්න නං මට බැහැ.” ඔහු ගැන ඇඩ්කින්ස් මෙසේත් පැවසුවා. “මම එයාව අන්තිම වතාවට දැක්කේ 1924 ඔහියෝ ප්‍රාන්තයේ කොලම්බස්හි පැවැත්වූ සමුළුවේදියි. එතන්ට ආපු දහස් ගාණක් සහෝදරයන් කතාබහ කර කර සතුටින් ඉන්නකොට එයා විතරක් තනියම ගහක් යටට වෙලා පැත්තක් ගහලා හිටියා. ඊට පස්සෙ කවදාවත් මං එයාව දැක්කෙනෑ. එයා සංවිධානයත් අත්හැරල ගිහින් තිබුණා.” නමුත් ගෙයින් ගෙට යන්න ආසාවෙන් සිටි “ගොඩක් සහෝදරයෝ පොත් පත් අරගෙන ගිහින් එයාලගේ කාර්වලට පටවාගත්තා.”—ක්‍රියා 20:20, 21.

බොහෝ පිල්ග්‍රිම්වරුන්ටත් ගෙයින් ගෙට සේවයේ යන්න මුලින් පොඩි භයක් තිබුණත් ඔවුන් උද්‍යෝගයෙන් එසේ කරමින් අන් අයවත් පුහුණු කළා. ඒ ගැන මැක්ස්වල් ෆ්‍රෙන්ඩ් නමැති පිල්ග්‍රිම්වරයා කිව්වේ “පැවරුමේ ආශීර්වාද වැඩියෙන්ම ලැබුණු අංගය ගෙයින් ගෙට සේවය” කියායි. ජෝන් බෝනෙට් කී ආකාරයට ගෙයින් ගෙට සේවයට මුල් තැන දීම ගැන ලැබූ මඟ පෙන්වීමට බොහෝ සහෝදරයන් එකඟ වුණා. “ඒ හැමෝම වගේ ගෙයින් ගෙට සේවය ආරම්භ කරන්න එක පයින් කැමති වුණා.”

පිල්ග්‍රිම්වරුන් කළ සේවයෙන් හැමෝටම ප්‍රයෝජන ලැබුණා. කාලයක් පුරා සාක්ෂිකරුවෙක්ව සිටින නෝමන් ලාසන් කිව්වේ “ඒ කාලේ මම තරුණයෙක්. ඒත් පිල්ග්‍රිම්වරුන් මට ලොකු දිරිගැන්වීමක් වුණා. හොඳ තීරණ ගන්න එයාලා මට උදව් කළා.” අද කාලයේ අපේ සංචාරක සේවකයන් එදා පිල්ග්‍රිම්වරුන් වගේ දේවසේවයේ පෙරමුණ ගනිමින් එසේ කරන්න අපිටත් උපකාර කරනවා.

[32වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සංචාරක නියෝජිතයා ආපු දවස අපිට හරිම සතුටු දවසක්!

[31වන පිටුවේ පින්තූරය]

බෙන්ජමින් බාට්න් 1905දී කණ්ඩායම් 170ක පමණ සේවය කළා

[32වන පිටුවේ පින්තූරය]

වෝල්ටර් ජේ. තෝන් නමැති පිල්ග්‍රිම්වරයා යේසුස් වගේ ප්‍රේමණීය කෙනෙක්

[32වන පිටුවේ පින්තූරය]

ජේ. ඒ. බ්‍රවුන් නමැති පිල්ග්‍රිම්වරයාව 1902දී ජැමෙයිකාවට යැව්වේ පුංචි කණ්ඩායම් 14ක් දිරිගන්වන්නයි

[32වන පිටුවේ පින්තූරය]

පිල්ග්‍රිම්වරුන්ගේ සේවය නිසා සහෝදරයන් සංවිධානයට ළං වූ අතර විශ්වාසයත් එක්සත්කමත් ගොඩනඟා ගන්න එය හේතු වුණා