Skip to content

පටුනට යන්න

ස්ථිරව සිට සාතන්ගේ උගුල්වලට නොවැටෙමු

ස්ථිරව සිට සාතන්ගේ උගුල්වලට නොවැටෙමු

ස්ථිරව සිට සාතන්ගේ උගුල්වලට නොවැටෙමු

‘යක්ෂයාගේ උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව සිටින්න.’—එෆී. 6:11.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

ධන සම්පත් පසුපස යෑමේ උගුලට හසු නොවීමට දෙවිගේ සේවකයෙකුට පුළුවන් කොහොමද?

අනාචාරයෙන් වැළකී සිටීම සඳහා විවාහක ක්‍රිස්තියානියෙකුට උපකාර වෙන්නේ මොනවාද?

ධන සම්පත් පසුපස යෑමෙන් හා අනාචාරයෙන් වැළකී සිටීමට ස්ථිර අධිෂ්ඨානයක් ගැනීම ප්‍රයෝජනවත් කියා ඔබ සිතන්නේ ඇයි?

1, 2. (අ) අභිෂේක ලත් අයට හා වෙනත් බැටළුවන්ට සාතන් වෛර කරන්නේ ඇයි? (ආ) මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ සාතන්ගේ මොන උගුල් දෙක ගැනද?

සාතන් මුළු මිනිස් වර්ගයාගේම සතුරා වුණත් ඔහු විශේෂයෙන්ම වෛර කරන්නේ දෙවිට සේවය කරන අයටයි. අභිෂේක ලත් අය, මේ ලෝකයේ පාලකයා සාතන් බව හෙළි කරන නිසාත් ලොව පුරා කෙරෙන දේශනා සේවයේ පෙරමුණ ගන්න නිසාත් සාතන් සිටින්නේ ඔවුන් සමඟ මහත් වෛරයකින්. (එළි. 12:17) ඒ වගේම අභිෂේක ලත් අයට පූර්ණ සහයෝගය දක්වන “වෙනත් බැටළුවන්” සමඟත් ඔහුට තිබෙන්නේ පුදුම තරහක්. (යොහ. 10:16) සාතන්ට සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව නැති නිසා ඔහු සිටින්නේ මහත් කෝපයකින්. ඔහුගේ එකම අරමුණ වන්නේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන අයව ගොදුරු කරගන්නයි.—1 පේතෘ. 5:8.

2 ඒ සඳහා ඔහු විවිධ උගුල් අටවනවා. ඔහු උත්සාහ කරන්නේ මිනිසුන්ගේ මනස් අන්ධ කරන්නයි. එවිට ඔවුන්ට ශුභාරංචිය වටහාගන්න බැරි වන අතර සාතන් අටවන උගුල් හඳුනාගන්නත් බැරි වෙනවා. (2 කොරි. 4:3, 4) කලින් ලිපියේ සාතන් අටවන උගුල් තුනක් ගැන කතා කළා. ඒවා නම් (1) දිව පාලනය කර නොගැනීම, (2) මිනිසුන්ට තිබෙන භය සහ (3) කළ වරදක් ගැන පමණට වඩා දුක් වීමයි. දැන් අපි සාතන්ගේ තවත් උගුල් දෙකකින් බේරෙන්නේ කොහොමද කියා සාකච්ඡා කරමු. ඒ උගුල් දෙක නම් ධනය පසුපස හඹා යෑම සහ අනාචාරයයි.

ධනය පසුපස යෑම

3, 4. සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වීම ධන සම්පත් පසුපස හඹා යෑමට මඟ පෑදීමක් වෙන්නේ කොහොමද?

3 යේසුස් වපුරන්නාගේ උපමාව ගැන කියද්දී කටු ගස් අතර වැටුණු බීජයක් හා සමාන පුද්ගලයා “යටපත් වී පල නොදරන” හේතුව ගැන පැවසුවේ මෙහෙමයි. “ඔහු මේ සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වන නිසාත් ධනය පසුපස ගොස් එයින් මුළා වන නිසාත් ඔහුට එලෙස සිදු වෙයි.” (මතෙ. 13:22) අපිව හසු කරගැනීමට සාතන් ධනය පසුපස යෑමේ උගුල අටවනවා.

4 වචනය “යටපත් වී” පල නොදැරීමට කාරණා දෙකක් හේතු වෙනවා. පළමු එක වන්නේ ‘සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වීමයි.’ අපි ජීවත් වන්නේ ‘ඉතා අසීරු කාලයක’ නිසා කරදර වෙන්න හේතු රැසක් තිබෙනවා. (2 තිමෝ. 3:1) බඩු මිල ඉහළ යනවා. සමහරවිට හරි හැටි රස්සාවක් නැති නිසා ජීවිතය ගැටගහගන්න ලේසි නැහැ. තවත් සමහරුන් අනාගතය ගැන සිතමින් කරදර වෙනවා. ‘මම වයසට ගියාම මට ජීවත් වෙන්න අවශ්‍ය තරම් සල්ලි තියෙයිද’ කියා සමහරවිට ඔවුන්ට සිතෙනවා ඇති. මේ වගේ දේවල් ගැන කරදර වන නිසා සමහරු සිතන්නේ ධන සම්පත් එක්රැස් කරගත්තොත් හැම ප්‍රශ්නයක්ම විසඳෙයි කියායි.

5. ධනය නිසා කෙනෙක් මුළා වෙන්නේ කොහොමද?

5 යේසුස් කී දෙවෙනි හේතුව වන්නේ ‘ධනය පසුපස ගොස් එයින් මුළා වීමයි.’ අපිට මුදල් අවශ්‍ය බව ඇත්තයි. ‘මුදල ආරක්ෂාවක්’ කියා බයිබලයේ පවා පවසා තිබෙනවා. (දේශ. 7:12) අවශ්‍ය දේවල් මිල දී ගැනීමට මුදල් ඕන වුණත් මුදල් සෙවීමට අපේ ජීවිතයේ මුල් තැන දීම නැණවත් දෙයක් නෙවෙයි. ධන සම්පත් රැස් කිරීමට කෙනෙක් වැඩියෙන් වෑයම් කරන විට ඉන් සිදු වන්නේ එම ආශාව තවත් වැඩි වීමයි. එම ආශාවේ ඉවරයක් නැති නිසා ඔහු ඉන් මුළා වෙයි. අවසානයේදී ඔහු පඹ ගාලක පැටලුණා හා සමාන තත්වයකට පත් වෙයි. ඒ උගුලට වැටුණු අය ධනය නමැති ස්වාමියාගේ දාසයන් බවට පත් වෙනවා.—මතෙ. 6:24.

6, 7. (අ) රැකියා ස්ථානයේදී ධනය පසුපස යෑමට ආශාවක් ඇති වෙන්න පුළුවන් කොහොමද? (ආ) අතිකාල වැඩ කරන්න භාරගැනීමට පෙර මොන වගේ පැති ගැන සිතිය යුතුද?

6 කෙනෙකු තුළ ධන සම්පත්වලට තිබෙන ආශාව වැඩි වෙන්නේ ටිකෙන් ටිකයි. සිදු විය හැකි මෙවැනි තත්වයක් ගැන සිතන්න. ඔබේ රැකියා ස්ථානයේ ප්‍රධානියා ඔබට මේ වගේ දෙයක් කියනවා. “අපේ කොම්පැනියට හොඳ කොන්ත්‍රාත් එකක් හම්බුණා. ඔයාටත් මාස කීපයක් ඕවටයිම් කරන්න වෙයි. හැම සතියෙම රෑ වැඩත් තියෙයි. හැබැයි ඉතින් හොඳට හම්බ කරන්න නං පුළුවන්.” එවැනි අවස්ථාවක ඔබ මොකද කරන්නේ? බැලූ බැල්මට එය වාසිදායක අවස්ථාවක්. අනික පවුලේ අයට අවශ්‍ය දේ ලබා දීම බැරෑරුම් වගකීමක් කියාත් බයිබලයේ පවසා තිබෙනවා. (1 තිමෝ. 5:8) නමුත් ඔබට තවත් වගකීම් තිබෙන බව අමතක කරන්න එපා. ඔබ සලකා බැලිය යුතු පැති ගණනාවක් තිබෙනවා. උදාහරණයකට හැමදාම රෑ වැඩ තියෙයිද? අතිකාල වැඩ නිසා රැස්වීම්වලට හා පවුලේ නමස්කාරය ඇතුළු අනිකුත් නමස්කාර කටයුතුවලට බාධාවක් වෙයිද?

7 ජීවිතයේ වඩාත්ම වැදගත් දෙය ලෙස ඔබ සලකන්නේ ඔබේ බැංකු ගිණුම තර කරගැනීමද නැත්නම් දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගැනීමද? වැඩියෙන් මුදල් හම්බ කරන්න ඕන නිසා දෙවිට මුල් තැන දෙන එක ඔබ නතර කරයිද? ඔබ මුදලට හා ධන සම්පත්වලට මුල් තැන දුන්නොත් එය ඔබේ පවුලේ අයට බලපාන්නේ කොහොමද? පවුලක් විදිහට නමස්කාර කටයුතුවල පෙරමුණ ගන්න ඔබට කාලයක් නැති නිසා පවුලේ අය දෙවිගෙන් ඈත් වී යයිද? ඔබ සිටින්නේ එවැනි තත්වයක නම් වචනය “යටපත් වී” පල නොදරන තත්වයකට පත් වීමෙන් වළකින්නේ කොහොමද?—1 තිමෝති 6:9, 10 කියවන්න.

8. අපි ජීවත් වන ආකාරය ගැන සෝදිසි කිරීමට මොන වගේ බයිබල් චරිත ගැන සිතීම අපිට ප්‍රයෝජනවත් වෙයිද?

8 සාතන්ගේ උගුලට හසු වූ දෙදෙනෙක් ගැන දැන් අපි බලමු. එක්කෙනෙක් ඒසව්. ඔහු තම ක්‍රියාකලාපයෙන් පෙන්නුවේ දෙවිට මුල් තැන නොදෙන බව හා පරිශුද්ධ දේ අගය නොකරන බවයි. (උත්. 25:34; හෙබ්‍රෙ. 12:16) අනික් කෙනා ධනවත් තරුණයෙක්. ඔහුගේ ධන සම්පත් විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දී තමාගේ අනුගාමිකයෙක් වෙන්න කියා යේසුස් ඔහුට ආරාධනා කළත් ඔහු තම ධන සම්පත් අත්හරින්න කැමති වුණේ නැහැ. (මතෙ. 19:21, 22) ඒ නිසා එදා මෙදා තුර ජීවත් වී ඇති ශ්‍රේෂ්ඨතම මිනිසාගේ අනුගාමිකයෙක් වීමේ වරප්‍රසාදය ඔහුට අහිමි වුණා. ධන සම්පත් පසුපස හඹා යෑමේ උගුලට හසු නොවීමට නම් අපි ජීවත් වන ආකාරය ගැන නිතරම සෝදිසි කර බලන්න අවශ්‍යයි. එසේ නොකළොත් යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට ලැබී තිබෙන වරප්‍රසාදය අපිට අහිමි වෙයි.

9, 10. ධන සම්පත් ගැන සිතිය යුතු ආකාරය සම්බන්ධයෙන් බයිබලයේ තිබෙන උපදෙස් මොනවාද?

9 ධනය පසුපස ගොස් එයින් මුළා නොවීමට නම් යේසුස් දුන් මෙම උපදෙස අපි සිතට ගමු. “‘කන්නේ බොන්නේ මොනවාද’ කියාවත් ‘අඳින්නේ මොනවාද’ කියාවත් සිතමින් කිසිවිටක කනස්සලු නොවන්න. ජනයා මහත් උනන්දුවකින් හඹා යන්නේ ඒ දේවල් පසුපසයි. නමුත් ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න.”—මතෙ. 6:31, 32; ලූක් 21:34, 35.

10 ධන සම්පත්වලින් මුළා නොවීම සඳහා ආගුර්ගේ ආදර්ශය සලකා බැලීමත් වටිනවා. ඔහු මෙසේ යාච්ඤා කළා. “මට දුප්පත් වීමටවත් පොහොසත් වීමටවත් ඉඩ නොදී, එදිනෙදා අවශ්‍ය ආහාර පාන විතරක් ලබා දෙන්න.” (හිතෝ. 30:8) අත්‍යවශ්‍ය දේවල් ගන්න මුදල් ඕන වුණත් ධන සම්පත් පසුපස හඹා යෑම උගුලක් බව ආගුර් වටහාගත්තා. සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වීමත් මුළා කරවන ධනය පසුපස හඹා යෑමත් දෙවිගෙන් අපිව ඈත් කිරීමට හේතු වන බව අපිත් වටහාගත යුතුයි. ධන සම්පත් රැස් කිරීමට වැඩිපුර කාලයක් වැය කරනවා නම් දෙවිට සේවය කිරීමට අපිට කාලයවත් ශ්‍රමයවත් ආශාවවත් ඉතුරු වෙන්නේ නැහැ. එමනිසා අපි ස්ථිරව සිට සාතන්ගේ මේ උගුලෙන් බේරෙමු.—හෙබ්‍රෙව් 13:5 කියවන්න.

අනාචාරය ගැඹුරු වළක්

11, 12. කෙනෙක් රැකියා ස්ථානයේදී අනාචාරයට වැටෙන්න ඉඩ තිබෙන්නේ කොහොමද?

11 දඩයක්කරුවන් විශාල සතුන් අල්ලාගැනීමට අටවන තවත් සාර්ථක උගුලක් වන්නේ එම සතුන් ගමන් කරන අඩි පාරේ ගැඹුරු වළක් කැපීමයි. ඉන්පසු සතාට එම වළ නොපෙනෙන ලෙස ඊට උඩින් කෝටුද ඊටත් උඩින් කොළ රොඩුද දමා සිහින් පස් තට්ටුවකින් එය වසා දමනවා. සාතනුත් ගැඹුරු වළක් හා සමාන උගුලක් අටවනවා. එය අනාචාරයයි. (හිතෝ. 22:14; 23:27) දෙවිගේ සමහර සේවකයන් සාතන්ගේ එම උගුලට වැටී තිබෙන්නේ නොසැලකිලිමත්කම නිසයි. සමහර විවාහක ක්‍රිස්තියානීන් අනියම් ප්‍රේම සම්බන්ධයන්වල පැටලී අවසානයේදී අනාචාරයේ යෙදී තිබෙනවා.

12 බොහෝවිට එවැනි ප්‍රේම සම්බන්ධකම් ඇති වෙන්නේ රැකියා ස්ථානවලයි. වාර්තාවලට අනුව අනාචාරයේ යෙදෙන ස්ත්‍රීන්ගෙන් අඩකට වඩා හා අනාචාරයේ යෙදෙන පුරුෂයන්ගෙන් වැඩි පිරිසක් එසේ යෙදෙන්නේ රැකියා ස්ථානයේ එකට වැඩ කරන අය සමඟයි. ඔබටත් නිතරම විරුද්ධ ලිංගයේ අය සමඟ කිට්ටුවෙන් වැඩ කරන්න සිදු වෙනවාද? එසේනම් ඔවුන් සමඟ ඔබට තිබෙන ආශ්‍රය මොන වගේ එකක්ද? නුසුදුසු බැඳීමක් ඇති නොවීම සඳහා ඔබ එම ආශ්‍රයට සීමා දමාගෙන තිබෙනවාද? රැකියා ස්ථානයේදී සිදු විය හැකි මේ වගේ තත්වයක් ගැන හිතන්න. සහෝදරියක් තමන් සමඟ එකට වැඩ කරන පුරුෂයෙකුට ඕනෑවට වඩා ළං වෙනවා. ඇය ඔහු සමඟ කොතරම් හිතවත් වෙනවාද කියනවා නම් ඇගේ විවාහයේ තියෙන ගැටලු පවා කියන්න පෙලඹෙනවා. සහෝදරයෙකුට වුණත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. තමන් සමඟ එකට වැඩ කරන කාන්තාවකට ඕනෑවට වඩා ළං වීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහුට ඇය ගැන මෙහෙම හිතෙන්න ඉඩ තිබෙනවා. “එයත් එක්ක කතා කරන්න හරිම ලේසියි. මං කියන දේ අහනවා. මාව තේරුම්ගන්නවා. මට ගරු කරනවා. අපේ එක්කෙනත් මේ වගේ නං!” ඒ දෙදෙනා සිටින්නේ ගැඹුරු වළට වැටෙන්න ඔන්න මෙන්න කියා ඔබට පේනවාද?

13. සභාව තුළ අනියම් ප්‍රේම සම්බන්ධකම් ඇති විය හැක්කේ කොහොමද?

13 සභාව තුළත් අනියම් ප්‍රේම සම්බන්ධකම් ඇති වීමට ඉඩ තිබෙනවා. සහෝදර යුවළකට වෙච්ච දෙයක් ගැන අපි දැන් බලමු. ඩැනියල් සහ සේරා * ස්ථාවර පුරෝගාමි සේවයේ යෙදුණු යුවළක්. ඩැනියල් වැඩිමහල්ලෙක් වෙලත් හිටියා. තමන්ට ලැබෙන වගකීමක් ඉටු කරන්න බැහැ කියලා ඔහු කවදාවත් කිව්වේ නැහැ. ඔහු තරුණයන් පස්දෙනෙක් සමඟ බයිබල් පාඩම් පහක් පැවැත්වූ අතර ඔවුන්ගෙන් තුන්දෙනෙක්ම බව්තීස්ම වුණා. ඔවුන්ට දිගටම උපකාර අවශ්‍ය වූ නමුත් එය ලබා දීමට තරම් කාලයක් ඩැනියල්ට තිබුණේ නැහැ. ඒ අඩුව පිරෙව්වේ සේරා. සේරාටත් සැලකිල්ල හා අවධානය අවශ්‍ය වුණා. ඒ සැලකිල්ල ඇයට ලැබුණේ ඩැනියල්ගේ බයිබල් ශිෂ්‍යයන්ගෙන්. ඒ වෙද්දී ඇය සිටියේ මාරාන්තික උගුලට ටිකෙන් ටික ළං වෙමිනුයි. සිදු වූ දේ ගැන ඩැනියල් කිව්වේ මෙහෙමයි. “ඒ ශිෂ්‍යයන්ට උදව් කරන්න සේරා කාලයක් තිස්සේ ගොඩක් මහන්සි වුණා. හැබැයි මගෙන් එයාට ලැබෙන්න ඕන ආදරෙයි සැලකිල්ලයි එයාට ලැබුණේ නැහැ. දෙවිට ළං වෙලා ඉන්න එයාට අවශ්‍ය පෝෂණය ලැබුණේ නැති හින්දා යෙහෝවා දෙවිත් එක්ක තිබුණු එයාගේ බැඳීමත් දුර්වල වෙලා තිබුණා. අන්තිමේදී සිද්ධ වුණේ මහ විනාසයක්. එයා ඒ එක තරුණයෙක් එක්ක අනාචාරයේ යෙදුණා. ඒ දේ සිද්ධ වෙනකම්ම මං වෙහෙසුණේ මගේ සේවා වරප්‍රසාද රැකගන්න මිසක් මගේ බිරිඳව රැකගන්න නෙවෙයි.”

14, 15. අනාචාරයෙන් වැළකී සිටින්න ක්‍රිස්තියානීන්ට උපකාර වෙන්නේ මොනවාද?

14 අනාචාරය කියන උගුලෙන් බේරෙන්න පුළුවන් කොහොමද? එසේ කිරීමට විවාහ පොරොන්දුවේ බැරෑරුම්කම ගැන නිතර නිතර හිතන්න ඕනෙ. යේසුස් කිව්වේ මෙහෙමයි. “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.” (මතෙ. 19:6) සභාවෙන් ඔබට ලැබෙන සේවා වරප්‍රසාද ඔබේ භාර්යාවට වඩා වැදගත් කියා කිසිදාක හිතන්න එපා! අත්‍යවශ්‍ය නොවන දේවලට කාලය යෙදවීමට ඔබ නිතරම නිවසෙන් පිටව සිටිනවා නම් ඔබේ භාර්යාව සමඟ ගත කරන්න තිබෙන කාලය අඩු වෙනවා. එවිට ඔබ දෙදෙනා අතර ඇති බැඳීම දුර්වල විය හැකියි. එය අනාචාරයේ යෙදීමට පෙලඹීමක් වෙන්න පුළුවන්.

15 ඔබ වැඩිමහල්ලෙක් නම් සභාව රැකබලා ගැනීමේ වගකීම ඔබට පැවරෙන බව ඇත්තයි. ඒ ගැන පේතෘස් කිව්වේ “ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න. කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාව නිසා නොව අවංක උනන්දුවකින්ද” එසේ කරන්න කියායි. (1 පේතෘ. 5:2) එම වගකීම නොසලකාහරින්න ඔබට බැහැ. ඒ වුණත් හොඳ වැඩිමහල්ලෙක් වෙන්න ඕනෙ නිසා බිරිඳව නොසලකා හරින්න එපා. රැළ පෝෂණය කරන්න වෙහෙසුණත් බිරිඳට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ නැත්නම් එයින් පලක් වෙන්නේ නැහැ. කලින් සඳහන් කළ ඩැනියල් මෙහෙම දෙයක් කිව්වා. “පවුලේ අයට දෙන්න ඕන අවධානය දෙන්න බැරි වන තරමට සභාවේ වගකීම් භාරගන්න එපා.”

16, 17. (අ) අනියම් සම්බන්ධයක් ඇති කරගන්න කැමති නැති බව පෙන්වන්න ක්‍රිස්තියානියෙකුට පුළුවන් කොහොමද? (ආ) මෙම උගුලට නොවැටී සිටීම සඳහා සඟරාවල පළ වී තිබෙන්නේ මොන වගේ උපදෙස්ද?

16 ක්‍රිස්තියානි යුවළයන්ට මෙම උගුලට නොවැටී සිටීම සඳහා මුරටැඹ හා පිබිදෙව් සඟරාවල හොඳ උපදෙස් පළ කර තිබෙනවා. උදාහරණයකට 2006 සැප්තැම්බර් 15 මුරටැඹ සඟරාවේ මේ වගේ දෙයක් සඳහන් කර තිබුණා. ‘රැකියා ස්ථානයේදී හෝ වෙනත් ස්ථානයකදී ප්‍රේම සම්බන්ධයක් ඇති විය හැකි තත්වයන් ගැන කල්පනාකාරී වන්න. උදාහරණයකට ඔබට විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ වැඩිපුර වේලාවක් වැඩ කිරීමට සිදු විය හැකියි. මෙවැනි අවස්ථාවලදී වැරදි පෙලඹීම් ඇති වෙන්න පුළුවන්. විවාහ වූ කෙනෙක් හැටියට ඔබ සෑමවිටම ඔබේ කතාබහෙන් හා හැසිරීමෙන් කිසිම කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට කැමති නැති බව පැහැදිලිවම ඇඟවිය යුතුයි. දේවභක්තික ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට ඔබ අන්‍යයන් තුළ වැරදි හැඟීම් ඇති වන ආකාරයට හැසිරීමෙන් හා අවිනීත ආකාරයෙන් ඇඳ පැළඳ සිටීමෙන්ද වැළකී සිටිය යුතුයි. ඔබ වැඩ කරන තැන ඔබේ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ හා දරුවන්ගේ ඡායාරූප තබාගන්න. ඔබේ ජීවිතයේ වඩාත් වටින්නේ කාවද කියා ඔබටත් අන් අයටත් එම ඡායාරූප මගින් මතක් කර දෙනවා. ප්‍රේම සම්බන්ධයකට තුඩු දෙන කිසිම දෙයක් නොකරන්නත් ඔබව එවැනි දෙයකට පොලඹවාගන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් එයට ඉඩ නොදෙන්නත් අධිෂ්ඨාන කරගන්න.’

17 වර්ෂ 2009 අප්‍රියෙල් පිබිදෙව් සඟරාවේ “විශ්වාසවන්තකමේ සැබෑ අරුත කුමක්ද” යන මාතෘකාවෙන් යුතු ලිපියේ ඔබේ පුරුෂයා හෝ භාර්යාව නොවන කෙනෙකු සමඟ ලිංගික ක්‍රියාවල යෙදෙන ආකාරය ගැන සිහින මැවීම අනාචාරයේ යෙදෙන්න මඟ පාදන බවට අනතුරු ඇඟෙව්වා. (යාකො. 1:14, 15) ඔබ විවාහ වී සිටිනවා නම් ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සමඟ මෙවැනි තොරතුරු ඇතුළත් ලිපි කලින් කලට සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් වෙයි. විවාහ සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවි නිසා එය පරිශුද්ධ දෙයක්. ඔබ දෙදෙනාම ඔබේ විවාහය ගැන කතා කරන්නත් බැඳීම ශක්තිමත් කරගන්නත් කාලය වෙන් කරනවා නම් ඔබ දෙදෙනාම පරිශුද්ධ දේවල් අගය කරන බව පෙන්වනවා.—උත්. 2:21-24.

18, 19. (අ) අනාචාරයේ යෙදීම නිසා සිදු විය හැකි හානි මොනවාද? (ආ) බිරිඳට හෝ සැමියාට විශ්වාසවන්තව සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

18 අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට පෙලඹීමක් ඔබට ඇති වෙනවා නම් අනාචාරයෙන් සිදු වන හානිය ගැන හොඳින් කල්පනා කර බලන්න. (හිතෝ. 7:22, 23; ගලා. 6:7) අනාචාරයේ යෙදෙන කෙනෙක් දෙවිව අසතුටු කරන අතර තමාගේ බිරිඳට හෝ සැමියාට ලොකු වේදනාවක් ගෙන දෙයි. ඒ වගේම තමන්ටත් හානි කරගනියි. (මලාකි 2:13, 14 කියවන්න.) අනික් අතට සදාචාර ප්‍රමිති රකින කෙනෙකුට සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව පමණක් නොවෙයි දැන් ජීවිතයත් ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන්. යෙහෝවා දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වගන්නත් පුළුවන්.—හිතෝපදේශ 3:1, 2 කියවන්න.

19 ගීතිකාකරු කිව්වේ ‘දෙවිගේ නීතියට ප්‍රිය කරන අය මහත් සමාදානයක් අද්දකිනු ඇත. පය පැටලී ඔවුහු කිසිවිටක වැටෙන්නේ නැත’ කියායි. (ගීතා. 119:165) ඒ නිසා දෙවිගේ ප්‍රමිතිවලට ඇලුම්ව සිටින්න. මේ අවසාන කාලයේදී ‘අඥාන අය මෙන් නොව ඥානවන්ත අය මෙන් ජීවිතය ගත කිරීමට වගබලා ගන්න.’ (එෆී. 5:15, 16) දෙවිගේ සේවකයන්ව හසු කරගැනීමට සාතන් අද විවිධ උගුල් අටවනවා. නමුත් ඒවාට හසු නොවී දිගටම ‘ස්ථිරව සිටීමට’ යෙහෝවා දෙවි හැම අතින්ම අපිව සූදානම් කර තිබෙනවා.—එෆී. 6:11, 16.

[පාදසටහන]

^ 13 ඡේ. නම් වෙනස් කර ඇත.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

ධනය පසුපස යෑම නිසා කෙනෙක් දෙවිගෙන් ඈත් විය හැකියි. එසේ නොවීමට වගබලා ගන්න

[29වන පිටුවේ පින්තූරය]

වැරදි හැඟීම් ඇති වන ආකාරයට හැසිරීමෙන් හෝ කතාබහ කිරීමෙන් හෝ එසේ කරන අයට ඉඩ දීමෙන් හෝ ඔබ අනාචාරයට හසු විය හැකියි