Skip to content

පටුනට යන්න

සාතන්ගේ උගුල්වලින් පරෙස්සම් වෙන්න

සාතන්ගේ උගුල්වලින් පරෙස්සම් වෙන්න

සාතන්ගේ උගුල්වලින් පරෙස්සම් වෙන්න

“යක්ෂයාගේ උගුලෙන් මිදී නැවත පියවි සිහියට පැමිණෙන්න.”—2 තිමෝ. 2:26.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

අපි නිතරම අනිත් අයගේ වැරදි හොයනවා නම් අපි මොන වගේ සෝදිසියක් කරගත යුතුද?

පිලාත් හා පේතෘස් ක්‍රියා කළ ආකාරයෙන් ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

කළ වරදක් ගැන පමණට වඩා දුක් වීමෙන් වළකින්න පුළුවන් කොහොමද?

1, 2. මෙම ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ සාතන් අටවන මොන උගුල් ගැනද?

දඩයක්කාරයෙක් සතෙකුව හසු කරගන්නවා වගේ යක්ෂයාත් මාන බලාගෙන සිටින්නේ දෙවිගේ සේවකයන්ව හසු කරගන්නයි. සාතන්ගේ අරමුණ අපිව නැති කර දමනවා වෙනුවට අප ලවා ඔහු කැමති දේ කරවගන්නයි.—2 තිමෝති 2:24-26 කියවන්න.

2 දඩයක්කාරයෙක් විවිධ වර්ගයේ සතුන්ව පණපිටින් අල්ලාගැනීම සඳහා විවිධ උගුල් අටවනවා. දෙවිගේ සේවකයන්ව අල්ලාගැනීම සඳහා සාතනුත් විවිධාකාරයේ උගුල් අටවනවා. අපි සෝදිසියෙන් සිටින්නේ නැත්නම් අපිත් ඒ උගුල්වලට ගොදුරු වෙයි. සාතන් අටවන උගුල් තුනක් ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු. ඒවා නම් (1) දිව පාලනය කර නොගැනීම, (2) මිනිසුන්ට තිබෙන භය සහ (3) කළ වරදක් ගැන පමණට වඩා දුක් වීමයි. එම උගුල් අටවා සමහරුන්ව අල්ලාගන්න සාතන්ට පුළුවන් වෙලා තිබුණත් කල් ඇතුව ඒ ගැන දැන සිටීමෙන් ඔහුගෙන් ආරක්ෂා වෙන්න අපිට පුළුවන්.

ගිනි අවුළන දිව

3, 4. දිව පාලනය කරගන්නේ නැත්නම් මොකක් වෙන්න පුළුවන්ද? උදාහරණයක් දෙන්න.

3 සමහර සතුන් ලඳු කැලෑවල ආරක්ෂිතව ජීවත් වෙනවා. එවිට දඩයක්කරුවන් කරන්නේ ඒ කැලෑවලට ගිනි තබා එහි සැඟවී සිටින සතුන්ව එළියට පන්නා උන් එළියට ආ විට උන්ව පහසුවෙන් ගොදුරු කරගැනීමයි. ඒ හා සමානව සාතන් කැමති වන්නේ ක්‍රිස්තියානි සභාවට ගිනි තබා එහි රැකවරණය ලබන සාමාජිකයන්ව එළියට පන්නා අල්ලාගන්නයි. අපත් සාතන්ට හසු වී නොදැනුවත්ව ඔහුට සහයෝගය දෙන්න ඉඩ තිබෙනවා. ඒ කොහොමද?

4 යාකොබ් දිව සමාන කළේ ගින්නකටයි. (යාකොබ් 3:6-8 කියවන්න.) අපේ කතාබහ ගැන පරෙස්සම් වුණේ නැත්නම් සභාවට ගිනි තියන්න සාතන් අපව පාවිච්චි කරයි. උදාහරණයකට මේ ගැන සිතන්න. සහෝදරියක් ස්ථාවර පුරෝගාමියෙක් ලෙස පත් වුණා කියා සභාවේදී නිවේදනය කරනවා. එදා රැස්වීමෙන් පසු සහෝදරියන් දෙදෙනෙක් ඒ ගැන කතා කරනවා. එක්කෙනෙක් ඒ ගැන සතුටු වෙනවා. අනික් සහෝදරී ‘එයා ඉතිං හරි ආසයිනේ කැපිලා පේන්න. ඒකයි ඔය ස්ථාවර කරන්නේ’ කියා පවසනවා. මේ දෙදෙනාගෙන් ඔබේ මිතුරිය කරගන්න ඔබ කැමති කාවද? සභාවේ ගිනි ඇවිළෙන ලෙස කතා කළේ ඒ දෙදෙනාගෙන් කවුද කියා තේරුම්ගන්න අමාරු නැහැ.

5. දිව පාලනය කරගන්න නම් අපි කළ යුත්තේ මොනවාද?

5 ගින්න නිවන්නේ කොහොමද? ‘කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දේවල්’ කියා යේසුස් පැවසුවා. (මතෙ. 12:34) ඒ අනුව අපේ දිව පාලනය කරගන්න නම් අපේ සිත සෝදිසි කරන්න අවශ්‍යයි. උදාහරණයකට සහෝදරයෙක් සේවා වරප්‍රසාද අත් කරගැනීමට උත්සාහ කරනවා නම් ඔහු ගැන අපිට හිතෙන්නේ කොහොමද? ඔහු යෙහෝවා දෙවිව සතුටු කරන්න ඕන හින්දා එහෙම කරනවා කියාද? නැත්නම් ඔහුට යටි අරමුණක් තිබෙනවා කියාද? සහෝදරයන් හැම දෙයක්ම කරන්නේ ඔවුන්ගේ වාසියට කියා සිතන්න එපා. සාතන් යෝබ් ගැන කිව්වෙත් ඒ ටිකමයි. (යෝබ් 1:9-11) අපි නිතරම සහෝදරයන්ගේ චේතනා ගැන සැක කරනවාද? එසේ කරන්නේ සාධාරණ හේතුවක් ඇතුවද? එසේ නැත්නම් සමාජයේ පැතිර පවතින ආකල්ප අපිටත් බෝ වී තිබෙන නිසාද?—2 තිමෝ. 3:1-4.

6, 7. (අ) අපි අනිත් අයව විවේචනය කරන්න පෙලඹෙන හේතු මොනවාද? (ආ) කෙනෙක් අපිට නින්දා කළොත් අපි කරන්න ඕනෙ මොකක්ද?

6 අපි නිතරම අන් අයව විවේචනය කරන්න පෙලඹෙනවා නම් ඊට හේතු මොනවාද කියා බලමු. එසේ කරන්නේ තමන් අහවලාට වඩා හොඳයි කියා හෝ උසස් කියා හෝ පෙන්වන්න කැමති නිසා විය හැකියි. එසේත් නැත්නම් තමන් කළ යුතු දෙයක් නොකර වෙනත් අය ඒ දේ හොඳින් කරනකොට ඇති වන ඊර්ෂ්‍යාව නිසාත් විය හැකියි. ඒ අනුව බලද්දී උඩඟුකම, ඊර්ෂ්‍යාව හෝ අපිවම අවතක්සේරු කරගැනීම අපිටත් අන් අයටත් හානිකරයි.

7 සමහරවිට කෙනෙක් අපි ගැන යම් වැරදි දෙයක් කියා අපිව රිද්දවා තිබෙනවා නම් ඒ පුද්ගලයාව විවේචනය කරන්නත් අපි පෙලඹෙන්න ඉඩ තිබෙනවා. නමුත් එකට එක කිරීමෙන් සිදු වෙන්නේ තත්වය වඩාත් නරක අතට හැරෙන එක විතරයි. අපි එසේ කරනවාට දෙවි කැමති නැහැ. නමුත් සාතන්ට ඕනෑ කරන්නේ අපි ලවා ඒ වගේ දෙයක් කරවන්නයි. (2 තිමෝ. 2:26) කෙනෙක් අපිට නින්දා කර තිබෙනවා නම් යේසුස්ව ආදර්ශයට ගනිමු. ‘ඔහුට නින්දා කළ විට ඔහු නින්දා කළේ නැහැ. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නා.’ (1 පේතෘ. 2:21-23) යෙහෝවා දෙවි සුදුසු වෙලාවේදී සුදුසු විදිහට ඒ කාරණය හසුරුවයි කියා යේසුස් විශ්වාස කළා. එවැනිම විශ්වාසයක් අපිත් තබාගනිමු. අපි අනිත් අයව දිරිගන්වන දේවල් කතා කරන්න දිව පාවිච්චි කරනවා නම් අපේ සභාවේ “එක්සත්කම රැකගැනීමටත් සමාදානයෙන් ජීවත් වීමටත්” එය දායක වෙනවා.—එෆීස 4:1-3 කියවන්න.

මිනිසුන්ට භය වීම

8, 9. පිලාත් යේසුස්ව මරන්න ඉඩ දුන්නේ ඇයි?

8 සාමාන්‍යයෙන් සතෙක් උගුලකට හසු වුණාම ඌ කොටු වෙනවා. ඌට ඉන් ගැලවීමක් නැහැ. මිනිසුන්ට තිබෙන භයත් උගුලකට සමානයි. කෙනෙක් ඒ උගුලට හසු වුණොත් ඔහුගේ ජීවිතය පාලනය වෙන්නේ වෙනත් අයට වුවමනා විදිහටයි. (හිතෝපදේශ 29:25 කියවන්න.) මේ උගුලට හසු වූ දෙදෙනෙක් ගැන සාකච්ඡා කර ඉන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් කිහිපයක් ගැන බලමු.

9 ඉන් එක්කෙනෙක් රෝම ආණ්ඩුකාරයා වූ පිලාත්. යේසුස් ‘මරණ දඬුවම ලබන්න තරම් කිසි වරදක් කර නැති’ බව දැන සිටි පිලාත් යේසුස්ව මරන්න කැමති වුණේ නැහැ. ඒත් ඔහු ඊට ඉඩ දුන්නා. ඒ ඇයි? මිනිසුන්ට තිබූ භය නිසයි. (ලූක් 23:15, 21-25) “ඔබ මේ මිනිසාව නිදහස් කර හැරියොත් ඔබ සීසර්ගේ මිත්‍රයෙක් වන්නේ නැහැ” කියා කෑගසමින් තමන් කැමති දේ පිලාත් ලවා කරවාගැනීමට සෙනඟ උත්සාහ කළා. (යොහ. 19:12) යේසුස්ව බේරාගත්තොත් තමන්ගේ තනතුරු නැති වෙයි කියා හෝ තමාව මරා දමයි කියා හෝ පිලාත් භය වෙන්න ඇති. ඒ පීඩනයට හසු වී ඔහු සාතන්ගේ කැමැත්තට ඉඩහැරියා.

10. යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් කිව්වේ ඇයි?

10 අනික් කෙනා යේසුස්ගේ කිට්ටුම මිතුරෙක් වූ පේතෘස්. යේසුස් ගැලවුම්කරු බව ප්‍රසිද්ධියේ කියන්න ඔහු භය වුණේ නැහැ. (මතෙ. 16:16) එක් අවස්ථාවක, යේසුස් කියපු දෙයක් වරදවා වටහාගෙන ගෝලයන් හුඟදෙනෙක් යේසුස්ව අත්හැර ගියත් පේතෘස් එහෙම කළේ නැහැ. (යොහ. 6:66-69) සතුරන් යේසුස්ව අත් අඩංගුවට ගන්න ආ වෙලාවේ ඔහුව ආරක්ෂා කරන්න පේතෘස් කඩුවක් පාවිච්චි කළා. (යොහ. 18:10, 11) නමුත් පසුව ඔහු මිනිසුන්ට භය වී යේසුස්ව හඳුනන්නේ නැහැ කියා කිව්වා. මොහොතකට හරි පේතෘස් ඒ උගුලට හසු වුණා. ඒ නිසා ඔහු තුළ තිබූ ධෛර්යය නැති වී යේසුස්ට පක්ෂපාත වීමට ඔහු අසමත් වුණා.—මතෙ 26:74, 75.

11. අපිට මුහුණ දෙන්න සිදු වන්නේ මොන වගේ පීඩනවලටද?

11 ක්‍රිස්තියානීන් වන අපිට දෙවි අකමැති දේවල් කරන්න පීඩනයක් එල්ල විය හැකියි. උදාහරණයකට රැකියා ස්ථානයේදී වංක වීමට හා අනාචාරයේ යෙදීමට පීඩනයක් එල්ල විය හැකියි. පාසැල් යන දරුවන්ට විභාගවලදී කොපි කරන්න, කාමුක දර්ශන බලන්න, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කරන්න හෝ නොහොබිනා ලෙස හැසිරෙන්න පීඩනයක් එන්න පුළුවන්. මිනිසුන්ට භය වීමේ පීඩනයට යටත් නොවී සිටින්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

12. පිලාත්ගෙන් හා පේතෘස්ගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

12 පිලාත් හා පේතෘස් ක්‍රියා කළ ආකාරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද? පිලාත්ට යේසුස් ගැන එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් යේසුස් සාමාන්‍ය මිනිසුන්ට වඩා ගොඩක් වෙනස් කෙනෙක් බවත් ඔහු අත කිසි වරදක් නැති බවත් පිලාත් දැන සිටියා. ඒ වගේම පිලාත් දෙවිට ප්‍රේම නොකළ උඩඟු කෙනෙක්. ඔහු සිතුවේ තමාගේ තනතුරු ගැන විතරයි. ඒ නිසා පහසුවෙන්ම සාතන් ඔහුව හසු කරගත්තා. අනික් අතට පේතෘස්ට නිවැරදි දැනුමක් තිබුණු අතර ඔහු දෙවිටත් ප්‍රේම කළා. නමුත් සමහර අවස්ථාවල ඔහු තමන් ගැන ඕනෑවට වඩා සිතුවා. ඒ නිසා ඔහු අනිත් අයගේ බලපෑම්වලට හසු වුණා. යේසුස්ව අත් අඩංගුවට ගන්න කලින් පේතෘස් මෙසේ පුරසාරම් දෙඩුවා. “අන් සියලුදෙනාම ඔබව අත්හැර ගියත් මම නම් කවදාවත් ඔබව අත්හරින්නේ නැහැ.” (මාක් 14:29) නමුත් ඔහුට ගීතිකාකරුගේ ආකල්පය තිබුණා නම් කොතරම් හොඳද! ගීතිකාකරු කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින බැවින් මම බිය නොවන්නෙමි. දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?” (ගීතා. 118:6) යේසුස් තම අන්තිම රාත්‍රියේදී පේතෘස් සහ තවත් ගෝලයන් දෙදෙනෙක් සමඟ ගෙත්සෙමන උයනට ගොස් ඔවුන්ට අවදිව සිටින්න කියා පැවසුවත් ඔවුන්ට නින්ද ගියා. යේසුස් ඔවුන්ව අවදි කරමින් මෙහෙම කිව්වා. “යම් වරදක් කිරීමට පෙලඹීමක් ඇති නොවීම සඳහා අවදිව සිට යාච්ඤා කරන්න. නමුත් ඒ දේ කරන්න සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ.” (මාක් 14:38) නැවතත් පේතෘස් නිදාගත්තා. අවදි වී සෝදිසියෙන් සිටිය යුතු අවස්ථාවක එසේ නොකළ නිසා අවසානයේදී පේතෘස් සාතන්ගේ උගුලට හසු වුණා.

13. වැරදි දෙයක් කරන්න ඇති වන පීඩනයෙන් ජය ගන්න අපිට පුළුවන් කොහොමද?

13 ඔවුන් දෙදෙනා සම්බන්ධ සිද්ධියෙන් තවත් වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. මිනිසුන්ගෙන් එල්ල වන බලපෑම්වලට හසු නොවී සිටින්න නම් අපිට නිවැරදි දැනුම, යටහත්පහත්කම, දෙවි කෙරෙහි ප්‍රේමය හා දේවගරුබිය තිබිය යුතු අතර අපි ගැන ඕනෑවට වඩා සිතීමෙනුත් වැළකී සිටිය යුතුයි. නිවැරදි දැනුම මත පදනම් විශ්වාසයක් තිබෙනවා නම් දෙවි ගැන කතා කරන්න අපි භය වෙන්නේ නැහැ. මිනිසුන්ගේ බලපෑම්වලට යටත් නොවී සිටීමට එය අපිට උපකාරවත් වෙනවා. ඒක තමන්ගේම ශක්තියෙන් කරන්න පුළුවන් දෙයක් කියා සිතන්න එපා. ඒ සඳහා යටහත්පහත් ලෙස දෙවිගේ බලය ඉල්ලන්න. දෙවි සඳහා ප්‍රේමයත් ඔහුගේ බලයේ උපකාරයත් තිබෙන විට දෙවිගේ උසස් ප්‍රමිති රකින්න පහසුයි. ඊට අමතරව මිනිසුන්ගෙන් බලපෑමක් එල්ල විය හැක්කේ මොන වගේ අවස්ථාවලද කියාත් කල් ඇතුව සිතන්න. ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් ඊට මුහුණ දෙන ආකාරය ගැනත් සිතා බලන්න. දරුවන්වත් එසේ පුහුණු කර තිබෙනවා නම් මිනිසුන්ට භය නොවී සිටින්න ඔවුන්ටත් හැකි වෙයි.—2 කොරි. 13:7. *

කළ වරදක් ගැන පමණට වඩා දුක් වීම

14. අපි කළ වරදක් ගැන අපි කොහොම හිතනවාටද සාතන් කැමති?

14 තවත් ආකාරයක උගුලක් වන්නේ විශාල ගලක් හෝ කොටයක් සතා යන අඩි පාරට ඉහළින් ඇටවීමයි. මේ කිසිවක් නොදත් සතා අඩි පාරේ යද්දී උගේ කකුල උගුලට සම්බන්ධ කළ නූලක් වැනි දෙයක වැදුණු ගමන්ම ඒ ගල හෝ කොටය වේගයෙන් පහළට ඇවිත් සතා මත පතිත වෙයි. තමන් අතින් සිදු වූ වරදක් නිසා ඕනෑවට වඩා සිතමින් දුක් වීම හිතට විශාල බරක් වෙයි. (ගීතාවලිය 38:3-5, 8 කියවන්න.) දෙවිගේ සමාව හා දයාව ලැබීමට අපි වටින්නේ නැහැ කියා සිතනවාටත් අපිට කවදාවත් දෙවි කැමති විදිහට ජීවත් වෙන්න බැහැ කියා අපි සිතනවාටත් සාතන් කැමතියි.

15, 16. කළ වරදක් ගැන පමණට වඩා දුක් වීම යන උගුලෙන් ගොඩ එන්නේ කොහොමද?

15 ඔබ බරපතළ වරදක් කර තිබෙනවා නම් දෙවි සමඟ මිත්‍රත්වය යළි ගොඩනඟාගන්න උත්සාහ කරන්න. වැඩිමහල්ලන්ගේ උපකාරය පතන්න. (යාකො. 5:14-16) වරද නිවැරදි කරගැනීමට අවංක උනන්දුවක් දක්වන්න. (2 කොරි. 7:11) ඔබ දියුණු විය යුතු පැති ඔබම දකිනවා නම් නැතහොත් ඔබට හික්මවීම් ලැබී තිබෙනවා නම් කලකිරෙන්න එපා. (හෙබ්‍රෙ. 12:6) වරදට හේතු වූ දේවල් නැවත නොකිරීමට අදිටන් කරගන්න. වරද ගැන පසුතැවිලි වී එය සම්පූර්ණයෙන්ම අත්හැරියාම යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන දෙවි ඔබට සමාව දෙන බවට නිසැක වන්න.—1 යොහ. 4:9, 14.

16 සමහර අය වරදකට සමාව ලැබුවත් කළ වරද ගැන තවමත් ඕනෑවට වඩා දුක් වෙනවා. ඔබටත් එසේ හැඟෙනවා නම් පේතෘස් ඇතුළු අනිත් ගෝලයන් ගැන සිතන්න. යේසුස්ට අත්‍යවශ්‍යම වෙලාවේදී ඔවුන් ඔහුව අත්හැර ගියත් දෙවි ඔවුන්ට සමාව දුන්නා. තවත් අවස්ථාවකදී භයක් සැකක් නැතුව අනාචාරයේ යෙදීම නිසා සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු පවා පසුතැවිලි වුණාට පසුව යෙහෝවා දෙවි ඔහුට සමාව දුන්නා. (1 කොරි. 5:1-5; 2 කොරි. 2:6-8) බරපතළ වැරදි කළ බොහෝදෙනෙකු පසුතැවිලි වූ විට දෙවි සමාව දුන් අවස්ථා ගැන බයිබලයේ සඳහන් වෙනවා.—2 ලේක. 33:2, 10-13; 1 කොරි. 6:9-11.

17. යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තැබීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

17 ඔබ පසුතැවිලි වෙනවා නම්, දෙවි ඔබට දයාව පෙන්වනවා කියා විශ්වාස කරනවා නම් දෙවි ඔබේ වැරදිවලට සමාව දී ඒවා අමතක කරනවා. නමුත් දෙවි කවදාවත් මට සමාව දෙන්නේ නැහැ කියා ඔබ සිතනවා නම් ඉන් අදහස් කරන්නේ ඔබේ වැරදිවලට සමාව දෙන්න තරම් යේසුස්ගේ ජීවිත පූජාව ප්‍රමාණවත් නැහැ කියා ඔබ සිතන බවයි. එසේ නම් ඔබ සාතන්ගේ උගුලට හසු වෙලා! යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අප බරපතළ වරදක් කළත් ඉන් ගොඩ එන්න වෑයම් කරනවා නම් පමණයි. (හිතෝ. 24:16) අපි යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාස කරනවා නම් කළ වැරදි ගැන පමණට වඩා දුක් වීමෙන් වළකින අතර ජීවිතයම දෙවිට කැප කර මුළු හදවතින්ම දෙවිට සේවය කරන්න අපි පෙලඹෙනවා.—මතෙ. 22:37.

සාතන්ගේ කපටිකම් ගැන දැනුවත් වෙමු

18. සාතන්ගේ උගුල්වලින් වළකින්නේ කොහොමද?

18 සාතන් බලන්නේ මොකක් හරි උගුලක් අටවා අපව හසු කරගන්නයි. ඔහුට වුවමනා වෙන්නේ ඔහු කැමති දේ අපි ලවා කරවගන්නයි. ඔහුගේ කපටි උගුල් ගැන අපි හොඳින් දන්නා නිසා ඒවායින් වළකින්න අපිට පුළුවන්. (2 කොරි. 2:10, 11) සාතන් අපිට එල්ල කරන පීඩන දරාගන්න ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරනවා නම් ඔහුගේ උගුල්වලින් බේරෙන්න අපිට පුළුවන්. යාකොබ් කිව්වේ මෙහෙමයි. “තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි. ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.” (යාකො. 1:5) ඒ යාච්ඤාවට එකඟව පෞද්ගලිකව බයිබලය පාඩම් කරන්නත් අවශ්‍යයි. ඒ මාර්ගයෙන් දෙවි ප්‍රඥාව දෙනවා. දාසයා පළ කරන ප්‍රකාශන මගින් අපිට පුළුවන් සාතන් අටවන උගුල් හඳුනාගෙන ඒවායින් බේරෙන්න.

19, 20. නපුරට ද්වේෂ කිරීම එතරම් අවශ්‍ය ඇයි?

19 අපි නොකඩවා බයිබලය අධ්‍යයනය කරනවා නම් හා යාච්ඤා කරනවා නම් හරි දේ කරන්න අපි තුළ ලොකු ආශාවක් ඇති වෙනවා. ඒත් එක්කම නපුරු දෙයට ද්වේෂ කරන්නත් අපි පුරුදු වෙන්න ඕනෙ. (ගීතා. 97:10) අපේ පව්කාර ආශාවන්ට ඉඩ දීමෙන් ඇති වන ඵල විපාක ගැන සිතනවා නම් නපුරු දේවලින් වළකින්න එය උපකාරයක් වෙයි. (යාකො. 1:14, 15) ඒ වගේම නපුරු දේවලට අපි ද්වේෂ කරනවා නම් නපුරු දේවල් ඇමක් විදිහට යොදාගන්න සාතන්ට බැහැ.

20 සාතන්ගේ උගුල්වලට හසු නොවීම සඳහා දෙවි උපකාර කිරීම ගැන අපි ඔහුට ස්තුතිවන්ත වෙමු. ‘දුෂ්ටයාගෙන් අපව ගලවාගැනීමට’ දෙවි ඔහුගේ බලය, වචනය හා සංවිධානය යොදාගන්නවා. (මතෙ. 6:13) ඊළඟ ලිපියෙන් සාතන් අටවන තවත් උගුල් දෙකක් ගැන සාකච්ඡා කරමු.

[පාදසටහන]

^ 13 ඡේ. වර්ෂ 2009 ජූලි පිබිදෙව් සඟරාවේ 25වන පිටුවේ ඇති කොටුව හා 2010 නොවැම්බර් 15 මුරටැඹ සඟරාවේ 9-10 පිටුවල 11-15 දක්වා ඡේද යොදාගන්න. පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්‍රියේදී දරුවන් සමඟ එවැනි තොරතුරු සාකච්ඡා කරන්න දෙමාපියන්ට පුළුවන්.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

දිව පාලනය කරගත්තේ නැත්නම් සභාවේ ගිනි ඇවිළෙන්න පුළුවන්

[24වන පිටුවේ පින්තූරය]

කළ වරද ගැන ඕනෑවට වඩා දුක් වීමෙන් මිදෙන්න ඔබට පුළුවන්