Skip to content

පටුනට යන්න

දෙවිගේ ප්‍රේමයට සාක්ෂියක් වන පාසැල්

දෙවිගේ ප්‍රේමයට සාක්ෂියක් වන පාසැල්

“උදාර උපදේශකයාණන්” වන යෙහෝවා ප්‍රේමණීය දෙවි කෙනෙක්. (යෙසා. 30:20) ඔහු ප්‍රේමණීය කෙනෙක් නිසා අන් අයට උගන්වනවා. උදාහරණයකට දෙවි “තමන් කරන සෑම දෙයක්ම” යේසුස්ට උගන්වන්නේ ඔහුට ඇති ඉමහත් ආදරය නිසයි. (යොහ. 5:20) දෙවි අපිටත් උගන්වන්නේ ආදරය නිසාමයි. (යෙසා. 50:4) දෙවිට ගෞරව කරන්නත් අන් අයට උපකාර කරන්නත් දෙවි දෙන එම පුහුණුව අපිට ප්‍රයෝජනවත් වෙනවා.

දෙවිගේ ප්‍රේමය අනුකරණය කරන පාලක මණ්ඩලය, ඉගැන්වීමේ කමිටුව මගින් පාසැල් දහයක් සැලසුම් කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ ඉන් පුහුණුව ලැබීමට ආශාව ඇති අයට වගේම අවස්ථාව උදා කරගත හැකි අයටයි. එම පාසැල් දෙවි අපට ප්‍රේම කරන බවට සාක්ෂියක් කියා ඔබ සිතන්නේ නැද්ද?

එම පාසැල් ගැනත් ඊට සහභාගි වූ කිහිපදෙනෙකුගේ අදහස් ගැනත් අපි කෙටියෙන් සලකා බලමු. දෙවි ලබා දෙන පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න ඔබට පුළුවන් කොහොමද කියා මේ ලිපිය කියවන අතරේ සිතා බලන්න.

පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න

දෙවි දෙන පුහුණුවෙන් අපේ ජීවිතය තවත් අර්ථවත් වෙනවා. (2 කොරි. 13:11) විවිධ අභියෝගවලට මුහුණ දීමට එය අපිව සූදානම් කරන අතර සේවයෙන් ලොකු සතුටක් ලබන්නත් එය අපිට උදව් වෙනවා. එම පාසැල්වලින් යේසුස් අණ කළ ‘සෑම දෙයක්ම පිළිපදින්න ජනයාට ඉගැන්වීමටත්’ හොඳ පුහුණුවක් ලැබෙනවා.—මතෙ. 28:20.

සමහරවිට හැම පාසැලකටම සහභාගි වෙන්න බැරි වුණත් ඉන් එකකින් හෝ කිහිපයකින් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන්. ඉගෙනගන්න දේවල් අදාළ කරගැනීමෙන් හා හොඳ පුහුණුවක් ලැබූ අද්දැකීම් බහුල අය සමඟ වැඩ කිරීමෙන් අපේ සේවයේ ගුණය වැඩි කරගන්න අපිට පුළුවන්.

‘එක පාසැලකට හෝ සහභාගි වෙන්න අවස්ථාව උදා කරගන්න මට පුළුවන්ද’ කියා සිතා බලන්න.

ඒවාට සහභාගි වී පුහුණුවක් ලැබීම අපි සලකන්නේ වරප්‍රසාදයක් ලෙසයි. දෙවිට තව ළං වෙන්නත් ඉතිරි වී තිබෙන කෙටි කාලය තුළ උද්‍යෝගයෙන් දේශනා කරන්නත් දෙවි දෙන පුහුණුව ඔබට උපකාර වේවා!