දුක් පීඩා ධෛර්යයෙන් විඳදරාගනිමු
“දෙවි අපේ රැකවරණයය. අපේ ශක්තියය. දුක් කරදරවලදී අපිට පිහිට වීමට ඔහු සූදානමින් සිටින්නේය.”—ගීතා. 46:1.
1, 2. බෙහෝදෙනෙක් මුහුණ දෙන්නේ මොන වගේ දුක් පීඩාවලටද? අපි කැමති මොකක් කරන්නද?
අපි ඉන්නේ විපත්ති එක පිට එක සිදු වන කාලයක. භූමිකම්පා, සුනාමි, ලැව් ගිනි, ජල ගැලීම්, ගිනි කඳු පිපිරීම් හා සුළි කුණාටු වැනි දේවල් නිසා මිනිස් වර්ගයා දුක් විඳිනවා. පවුල් ප්‍රශ්න හෝ පෞද්ගලික ගැටලු නිසාත් බොහෝදෙනෙක් දුකෙන් හෝ බියෙන් පෙළෙනවා. ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම සිදු වන’ බව ඉන් පැහැදිලියි.—දේශ. 9:11.
2 අසීරුතා මැද වුණත් යෙහෝවා දෙවිගේ සෙනඟ වන අපි කණ්ඩායමක් විදිහට ප්‍රීතියෙන් ඉන්නවා. මේ දුෂ්ට සමාජයේ අවසානය ළං වෙත්ම තවත් දුෂ්කර දේවලට මුහුණ දෙන්න සිදු වන නිසා ඒවා දරාගැනීමට අපි සූදානම් වෙන්න කැමතියි. අපි දුක් පීඩාවලින් යටපත් නොවී ඉන්නේ කොහොමද? ඒවාට මුහුණ දීමට ධෛර්යය ලැබෙන්නේ කොහෙන්ද?
පුරාණයේ සිටි ධෛර්යවන්තයෝ
3. රෝම 15:4ට අනුව, දුක් ගැහැටවලට මුහුණ දෙන විට අපිට සහනයක් ලැබෙන්නේ කොහොමද?
3 වෙන කවරදාටත් වඩා මිනිසුන් අද්දකින දුක් ගැහැට අද වැඩියි. හැබැයි පුරාණයේ සිටම මිනිසුන් දුක් පීඩා සමඟ පොර බැද තිබෙනවා. එසේ කළ පුරාණයේ සිටි දෙවිගේ සේවකයන්ගෙන් අපිට පාඩම් ඉගෙනගන්න පුළුවන්ද? ඒ ගැන දැන් අපි බලමු.—රෝම 15:4.
4. දාවිත් මුහුණ දුන්නේ මොන වගේ දුක් ගැහැටවලටද? ඒවා දරාගන්න ඔහුට උදව් වුණේ කවුද?
4 දාවිත්ට විඳින්න සිදු වුණු දේවල් සමහරක් අපි දැන් බලමු. සාවුල් රජ ඔහුව මරන්න හැදුවා. සතුරන් ඔහුට විරුද්ධව සටන් කළා. ඔවුන් ඔහුගේ භාර්යාවන්ව පැහැරගෙන ගියා. ඔහුගේ හමුදාවේ අය ඔහුට පිටු පෑවා. ඔහුගේ හිතවත් මිතුරන් හා පවුලේම අය ඔහුට ද්‍රෝහි වුණා. ඔහු විටින් විට කලකිරුණා. (1 සාමු. 18:8, 9; 30:1-5; 2 සාමු. 17:1-3; 24:15, 17; ගීතා. 38:4-8) ඒ දේවල් නිසා දාවිත් දුක් වින්දත් කිසිවිටක දෙවි සමඟ තිබුණු ඔහුගේ බැඳීම නැති කරගන්න ඔහු හිතුවේ නැහැ. ඒ වෙනුවට ඔහු මහත් විශ්වාසයකින් කිව්වේ මෙහෙමයි. ‘යෙහෝවා දෙවි මාගේ බලකොටුවයි. මම කාටවත් භය වෙන්නේ නැහැ.’—ගීතා. 27:1; ගීතාවලිය 27:5, 10 කියවන්න.
5. ආබ්‍රහම්ට හා සාරාට දුෂ්කරතා මැද සතුටෙන් ඉන්න පුළුවන් වුණේ කොහොමද?
5 දැන් ආබ්‍රහම් සහ සාරා ගැන හිතන්න. ඔවුන් වැඩි කාලයක් ජීවත් වුණේ නොදන්නා දේශවල කූඩාරම් ගසාගෙනයි. එය ලේසි දෙයක් වුණේ නැහැ. සාගතය නිසාත් අවට ජාතීන්ගෙන් පැමිණි තර්ජන නිසාත් ඔවුන් දුක් වින්දා. ඒත් ඔවුන් ධෛර්යයෙන් යුතුව ඒ සියල්ල විඳදරාගත්තා. (උත්. 12:10; 14:14-16) ඔවුන්ගේ සතුට නැති කරගන්න ඒ දේවල් හේතුවක් කරගත්තේ නැහැ. විඳදරාගන්න ඔවුන්ට උදව් වුණේ මොකක්ද? දෙවි දුන් පොරොන්දු ගැන නිතරම කල්පනා කිරීමයි. ඒ ගැන බයිබලයේ කියා තිබෙන්නේ ඔවුන් “බලා සිටියේ සැබෑ අත්තිවාරමක් ඇති නුවර පිහිටුවන තුරුය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවිය” කියායි.—හෙබ්‍රෙ. 11:8-10.
6. යෝබ් තැබුවේ මොන වගේ ආදර්ශයක්ද?
6 යෝබ් තවත් ධෛර්යවන්ත කෙනෙක්. ඔහුගේ ජීවිතයේ හැම දෙයක්ම අහිමි වෙලා හැම දෙයක්ම නරක අතට හැරෙනවා දැක්කාම ඔහුට කොහොම හිතෙන්න ඇද්ද? (යෝබ් 3:3, 11) තමන්ට ඒ දේවල් සිදු වුණේ ඇයි කියාත් ඔහු දැනගෙන හිටියේ නැහැ. ඒත් දෙවිට දොස් නොකියා ඔහු දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. (යෝබ් 27:5 කියවන්න.) ඔහු මොන තරම් හොඳ ආදර්ශයක්ද!
7. දේවසේවයේදී පාවුල් මුහුණ දුන්නේ මොන වගේ දුක් පීඩාවලටද? ඒවා විඳදරාගත්තේ මොන විශ්වාසය නිසාද?
7 පාවුල්ගේ අද්දැකීම බලන්න. ඔහු ‘නුවරවලදීත් පාළු පෙදෙස් හරහා යන විටත් මුහුදු ගමන්වලදීත්’ විවිධ උවදුරුවලට ලක් වුණා. ‘බොහෝ අවස්ථාවලදී කෑම ගැනීමට නොහැකි තත්වයකද අධික ශීතලෙන්ද ඇඟට හරි හැටි වස්ත්‍රයක් නැතුවද සිටියා.’ ඔහු ‘ගැඹුරු මුහුදේ මුළු රැයකුත් දවාලකුත් ගත’ කළා කියා බයිබලයේ පවසනවා. සමහරවිට ඒ ඔහු ගිය නැවක් මුහුදුබත් වීම නිසා විය හැකියි. (2 කොරි. 11:23-27) ජීවිතය නූලෙන් බේරුණු අවස්ථාවක පාවුල් සිතූ විදිහ ඔහු කියූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “අප ගැනම විශ්වාසයක් තබනවා වෙනුවට මිය ගිය අයට ජීවනය ලබා දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීමට අපට හැකි විය. ඇත්තෙන්ම දෙවි මරණය තරම් දරුණු විපතකින් පවා අපව බේරාගත්තේය.” (2 කොරි. 1:8-10) පාවුල් අද්දුටු දේවල් අපෙන් වැඩිදෙනෙක් අද්දැක නැතත් සමහර අවස්ථාවලදී අපිටත් ඔහුට වගේ හිතිලා ඇති. නමුත් පාවුල් පීඩාවලට මුහුණ දුන් ආකාරයෙන් අපිටත් සහනයක් ලබන්න පුළුවන්.
දුක් පීඩාවලින් යටපත් නොවන්න
8. ප්‍රශ්න ගැටලු නිසා අපි කොහොම හිතන්න ඉඩ තිබෙනවාද? ලානිගේ අද්දැකීම මොකක්ද?
8 අද හුඟදෙනෙක් ස්වාභාවික විපත්වලට වගේම විවිධ අභියෝග හා පීඩනවලටත් මුහුණ දෙනවා. ඔවුන්ට ඒවා දරාගන්න බැරි තරම්! සමහර සාක්ෂිකරුවනුත් ඒ තත්වය අද්දකිනවා. ඕස්ට්‍රේලියාවේ ලානි * එවැනි කෙනෙක්. ඇය තම සැමියා සමඟ සතුටින් පූර්ණකාලීන සේවය කරමින් සිටියා. ඇයට පියයුරු පිළිකාවක් වැලඳී ඇති බව දැනගත් විට ඇයට දැනුණේ මුළු ලෝකෙම ඉහේ කඩා වැටුණා වගෙයි. “ඒ බෙහෙත්වල සැරට මට තවත් අමාරු වුණා. ඉඳලා වැඩක් නෑ කියලත් හිතුණා” කියා ඇය පැවසුවා. ඒ මදිවට ඇගේ සැමියාගේ කොඳු ඇට පෙළේ සැත්කමක් කරන්නත් සිදු වුණා. ඒ වගේ දේකට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා නම් අපි මොනවා කරයිද?
9, 10. (අ) සාතන්ට ඉඩ නොදිය යුත්තේ මොනවා කරන්නද? (ආ) පීඩා දරාගැනීමට ක්‍රියා 14:22 සඳහන් දේ උදව් වෙන්නේ කොහොමද?
9 අපි දුෂ්කරතා අද්දකිද්දී සාතන් එයින් අයුතු ප්‍රයෝජන ගන්නවා. දෙවි කෙරෙහි අපේ විශ්වාසයත් අපේ ප්‍රීතියත් නැති කරන්න ඔහු ඒවා අතකොලුවක් කරගන්නවා. ඒත් එහෙම කරන්න සාතන්ට ඉඩ දෙන්න එපා. හිතෝපදේශ 24:10 පවසන්නේ “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය” කියායි. ඒ නිසා කලින් සඳහන් කළ බයිබල් ආදර්ශ ගැන ගැඹුරින් කල්පනා කරන්න. එවිට දුක් කම්කටොලුවලට හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය ධෛර්යය ලැබෙයි.
10 මේ දුෂ්ට සමාජයේ ජීවත් වන තාක් කල් හැම ගැටලුවක්ම නැති කරන්න අපිට බැහැ. ගැටලුවලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙයි. (2 තිමෝ. 3:12) බයිබලයේ වුණත් අපිට කියන්නේ මෙහෙමයි. “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි.” (ක්‍රියා 14:22) ඒ නිසා ප්‍රශ්න ගැටලු එනකොට අධෛර්යය වී ඒවායින් යටපත් වෙනවා වෙනුවට දෙවි අපිව බේරාගන්න බවට වූ විශ්වාසය ශක්තිමත් කරගන්න එය අවස්ථාවක් කරගනිමු.
11. ප්‍රශ්න ගැටලුවලින් යටපත් නොවී ඉන්න කරන්න පුළුවන් මොකක්ද?
11 අපිට තිබෙන ප්‍රශ්න ගැන හිත හිතා දුක් වීමෙන් පලක් නැහැ. අපි භුක්ති විඳින හොඳ දේවල් ගැනයි අපි නිතරම හිතන්න ඕනෙ. බයිබලයේ මෙසේ කියවනවා. “ප්‍රීතිමත් සිතක් මුහුණ පැහැපත් කරයි. නමුත් සිතේ වේදනාව නිසා මලානික පෙනුමක් ඇති වෙයි.” (හිතෝ. 15:13) උදාහරණයකට රෝගියෙක් තමාගේ ලෙඩේ හොඳ වෙයි කියා හිතනවා නම් සුව වෙන්න තිබෙන ඉඩකඩ වැඩි බව වෛද්‍යවරු දන්නවා. ඒ වගේ හිතන රෝගියෙකුට සමහරවිට කිසිම ගුණයක් නැති පෙත්තක් දුන්නත් සනීප වෙන්නේ තමන්ව සුව වෙයි කියා ඔහු සිතන නිසයි. අනික් අතට තමන් ගන්න බෙහෙතෙන් සුවයක් ලැබෙන්නේ නැහැ කියා ඔහු සිතනවා නම් සුව නොවීමට තිබෙන ඉඩකඩත් හුඟක් වැඩියි. ඒ හා සමානව අපිට වෙනස් කරන්න බැරි දුක් කරදර ගැනම හිතමින් ලත වෙනවා නම් අපි ඒවායින් යටපත් වෙනවා. අනික් අතට දෙවි බයිබලය, ඔහුගේ බලය හා සහෝදර සහෝදරියන් මගින් අපිට උපකාර කරනවා. දෙවි දෙන උපකාර ගැන සිතනවා නම් ප්‍රශ්න ගැටලුවලින් යටපත් නොවී ඒවාට සාර්ථකව මුහුණ දෙන්න අපිට හැකි වෙනවා.—හිතෝ. 17:22.
12, 13. (අ) විපත් සිදු වූ විට දෙවිගේ සේවකයන්ට ඉන් ගොඩ එන්න උපකාර වුණේ මොනවාද? උදාහරණයක් දෙන්න. (ආ) විපතක් සිදු වන විට අපේ ජීවිතයේ වැදගත්ම දේ මොකක්ද කියලා අපි තේරුම්ගන්නේ කොහොමද?
12 මෑත කාලවලදී සමහර රටවල සිදු වූ දරුණු ස්වාභාවික විපත්වලට අපේ සහෝදර සහෝදරියනුත් ගොදුරු වුණා. ඒවාට මුහුණ දෙන එක ලේසි වුණේ නැතත් ඔවුන් සාර්ථක ලෙස ඒ ගැටලුවලින් ගොඩ ආවා. ඔවුන් විඳදරාගත් ආකාරයෙන් අපිට පාඩම් ඉගෙනගන්න පුළුවන්. උදාහරණයකට 2010දී චිලී රටේ ප්‍රබල භූමිකම්පාවක් හා සුනාමියක් ඇති වූ නිසා සහෝදරයන්ගේ ගෙවල් දොරවල් කැඩී බිඳී ගියා. සමහරුන්ට රැකියා පවා අහිමි වුණා. එතරම් දුක් කරදර මැද වුණත් ඔවුන් දෙවිට මුල් තැන දුන්නා. සිදු වූ විනාශයෙන් තමාගේ නිවස අහිමි වූ සැමුවෙල් මෙහෙම කිව්වා. “අපිට හැම දේම නැති වුණත් මමයි මගේ බිරිඳයි රැස්වීම් යන එකවත් සේවයේ යන එකවත් නතර කළේ නැහැ. ඒ නිසා අපි අසරණ වුණා කියන හැඟීම අපිට ඇති වුණේ නැහැ.” එවැනි විපත්වලට මුහුණ දුන් අනික් සහෝදර සහෝදරියන් වගේ ඔවුන් දෙන්නත් සිදු වුණු දේ ගැන සිතමින් අනවශ්‍ය ලෙස දුක් වෙවී ඉන්නවා වෙනුවට දෙවිට උද්යෝගයෙන් සේවය කරනවා.
13 වර්ෂ 2009 සැප්තැම්බර්වලදී මහා වැසි නිසා පිලිප්පීනයේ මැනිලා නගරයෙන් සියයට 80ක්ම ජලයෙන් යට වුණා. ඉන් පීඩාවට පත් පොහොසත් මිනිසෙක් මෙහෙම කිව්වා. “ඒ වගේ දෙයක් වෙනකොට දුප්පත් පොහොසත් කියලා භේදයක් නෑ. හැමෝටම එක සමානව දුක් විඳින්නත් පාඩු විඳින්නත් සිද්ධ වෙනවා.” යේසුස් දුන් නැණවත් උපදෙස ගැන හිතන්න. “ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න. එහිදී කාවන්ටවත් මලකඩවලටවත් ඒවා නාස්ති කරන්න බැහැ. සොරුන්ටවත් ඇවිත් ඒවා සොරාගන්න බැහැ” කියා ඔහු පැවසුවා. (මතෙ. 6:20) නොහිතන මොහොතක කෙනෙකුට තම මුළු සේසතම නැති වෙන්න පුළුවන්. ඒ නිසා ධන සම්පත් ජීවිතයේ ප්‍රධාන දෙය කර නොගෙන දෙවිට මුල් තැන දීම කොයි තරම් නුවණක්කාරද! අපි එහෙම කරනවා නම් ප්‍රශ්න කන්දරාවකට මුහුණ දෙන්න සිදු වුණත් දිගටම දෙවි සමඟ මිත්‍රත්වයක් පවත්වගන්න අපිට පුළුවන්.—හෙබ්‍රෙව් 13:5, 6 කියවන්න.
ධෛර්යවත් වීමට තිබෙන හේතු
14. ධෛර්යවත්ව සිටින්න අපිට තිබෙන හේතු මොනවාද?
14 මේ අවසාන කාලයේදී ප්‍රශ්න ගැටලු උග්‍ර වුණත් “භය වෙන්න එපා” කියලා යේසුස් කිව්වා. (ලූක් 21:9) ඔහු අපේ රජයි. යෙහෝවා දෙවි විශ්වයේ නිර්මාතෘවරයායි. ඔවුන් දෙදෙනා අපි සමඟ සිටින නිසා කිසි දෙයකට භය වෙන්න අවශ්‍ය නැහැ. පාවුල් තිමෝතිට කිවූ දේ අපිට ලොකු දිරිගැන්වීමක්. ‘දෙවි තම බලය අපිට ලබා දුන් විට අප තුළ ඇති වුණේ බියගුලුකමක් නෙවෙයි. ඒ වෙනුවට අපිට ලැබුණේ මහත් ශක්තියක් හා ප්‍රේමයක් මෙන්ම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කිරීමේ හැකියාවක්.’—2 තිමෝ. 1:7.
15. දෙවි කෙරෙහි ඇති විශ්වාසය ගැන සමහර අය පැවසුවේ මොනවද? එවැනිම ධෛර්යයක් අපිට ඇති කරගන්න පුළුවන් කොහොමද?
15 දුක් පීඩාවලට මුහුණ දුන්නත් දෙවිට විශ්වාසවන්තව සිටි සමහර අය පැවසූ දේවල් ගැන ටිකක් සිතා බලන්න. දාවිත් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි මාගේ ශක්තියය. මාගේ පලිහය. මම මුළු සිතින්ම ඔහු කෙරෙහි විශ්වාසය තබමි. ඔහු මට උපකාර කළේය. එබැවින් මාගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.” (ගීතා. 28:7) පීඩා මැද වුණත් පාවුල් මෙහෙම කිව්වා. “ඒ සියල්ලේදීම අපට ප්‍රේම කළ තැනැත්තා මාර්ගයෙන් අපට සම්පූර්ණ ජයක් ලැබෙන බව නිසැකයි.” (රෝම 8:37) “පියාණන් මා සමඟ සිටිනවා. ඒ නිසා මම තනි වන්නේ නැහැ” කියා යේසුස් පැවසුවේ ඔහුගේ මරණයට පැය කිහිපයකට කලින්. (යොහ. 16:32) ඔහුට දෙවි පියාණන් සමඟ කොතරම් කිට්ටු බැඳීමක් තිබුණාද කියා ඒ වදන් ඇසූ ගෝලයන්ට දැනුණු බව නිසැකයි. ඒ තුන්දෙනාගේ වදන්වලින් පැහැදිලි වන එක දෙයක් තිබෙනවා. ඒ තමයි ඔවුන්ට යෙහෝවා දෙවි කෙරෙහි තිබුණු නොසැලෙන විශ්වාසය! එවැනිම විශ්වාසයක් අපිත් ඇති කරගනිමු. අපි මුහුණ දෙන දුක් පීඩාවලට ධෛර්යයෙන් යුතුව මුහුණ දෙන්න එය අපිට උපකාර වෙනවා නියතයි.—ගීතාවලිය 46:1-3 කියවන්න.
ධෛර්යය වඩවාගැනීමට උපකාර
16. බයිබලය අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ ඇයි?
16 දුක් පීඩාවලට ධෛර්යයෙන් යුතුව මුහුණ දෙන්න අපිට අපේම ශක්තියෙන් බැහැ. ඒ නිසා දෙවි අපිට විවිධ ආකාරයෙන් උපකාර කරනවා. දේවවචනය මගින් දෙවිව හොඳින් දැන හඳුනාගන්නත් ඔහු මත රඳා ඉන්නත් අපි ඉගෙනගන්නවා. ඒ සඳහා නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යයි. මානසික අවපීඩනයෙන් පෙළෙන එක සහෝදරියක් ඉන් මිදෙන්න කරන දේ ගැන කියන්නේ මෙයයි. “සහනයක් ලබා දෙන බයිබල් පද ආයෙ ආයෙත් කියවද්දී මට පුදුම සැනසීමක් ලැබෙනවා.” බයිබලය අධ්‍යයනය කරන්න හොඳම අවස්ථාවක් වන්නේ පවුලේ නමස්කාරයයි. අපි ඒ සඳහා කාලයක් වෙන් කරගෙන තිබෙනවාද? අපි එහෙම කරනවා නම් දාවිත් වගේ අපිටත් මෙහෙම කියන්න පුළුවන්. “ඔබේ නීතියට මම බොහෝ සෙයින් ඇලුම් කරමි. දවස මුළුල්ලේ ඒ ගැන මම කල්පනා කරමි.”—ගීතා. 119:97.
17. (අ) නොසැලී සිටීමට අපිට තිබෙන තවත් උපකාරයක් මොකක්ද? (ආ) පළ වූ ජීවිත කතාවක් ඔබට පෞද්ගලිකව ප්‍රයෝජනවත් වූ ආකාරය කෙටියෙන් කියන්න.
17 සංවිධානයෙන් ලැබෙන ප්‍රකාශන හුඟදෙනෙකුට තම විශ්වාසය ශක්තිමත් කරගන්න උපකාර වෙලා තිබෙනවා. ආසියාවේ ඉන්න සහෝදරියක් දෙයාකාර මනෝ ස්වභාවය කියන රෝගයෙන් පෙළෙනවා. එම රෝගයෙන්ම පෙළෙන කලින් මිෂනාරි සේවය කළ සහෝදරයෙකුගේ ජීවිත කතාව කියෙවූ පසු ඇය සහනයක් ලැබුවා. “මගේ ලෙඩේ ගැන හොඳින් තේරුම්ගන්නත් ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් මං ඉගෙනගත්තා” කියා ඇය ලිව්වා.
18. අපි නිතරම යාච්ඤා කළ යුත්තේ ඇයි?
18 අපි මොන තත්වයක හිටියත් යාච්ඤාවෙන් සහනයක් ලබාගන්න පුළුවන්. එහි වටිනාකම ෆිලි. 4:6, 7) දුක් පීඩාවලට මුහුණ දෙන විට ශක්තිය ඉල්ලා අපි යාච්ඤා කරනවාද? කාලයක් තිස්සේ මානසික අවපීඩනයෙන් පෙළෙන බ්‍රිතාන්‍යයේ ඇලෙක්ස් කිව්වේ මෙසේයි. “මම යාච්ඤා කරලා දෙවි එක්ක කතා කරනවා. බයිබලය කියවද්දි දෙවි මට කතා කරනවා වගේ දැනෙනවා. මෙච්චර දේවල් දරාගන්න පුළුවන් වුණේ ඒ නිසයි.”
පාවුල් කාවැද්දුවේ මෙහෙමයි. “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.” (19. රැස්වීම්වලට සහභාගි වීම අත්‍යවශ්‍ය ඇයි?
19 රැස්වීම්වලදී අපිට ලැබෙන සහෝදර ඇසුර තවත් උපකාරයක්. ඒ ගැන දාවිත් කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ කූඩාරමේ මළුව වෙතට පැමිණීමට මම මහත් ආශාවකින් සිටින්නෙමි. මාගේ ගතත් සිතත් ජීවමාන දෙවිට ප්‍රීති ඝෝෂා නඟයි.” (ගීතා. 84:2) අපිටත් එහෙම හැඟෙනවාද? මුලින් සඳහන් කළ ලානි රැස්වීම්වලින් ලැබෙන සහනය ගැන කියන්නේ මෙහෙමයි. “දෙවිගේ උදව් ඕනෙ නම් මම අනිවාර්යයෙන්ම රැස්වීම්වලට යන්න ඕනෙ කියලා මට තේරුණා. ඒ නිසා යනවාද නැද්ද කියලා හිත හිත හිටියෙ නැහැ.”
20. දේවසේවයේ යෙදීම අපිට උපකාරයක් වෙන්නේ කොහොමද?
20 ප්‍රශ්න වැළකට මුහුණ දෙන ඕස්ට්‍රේලියාවේ සිටින සහෝදරියකට දේවසේවය උපකාර වී තිබෙනවා. (1 තිමෝ. 4:16) ඒ ගැන ඇය මෙහෙම කිව්වා. “ප්‍රශ්නවලින් යට වෙලා ඉද්දී සේවයේ යන එක ගැන මං හිතුවෙවත් නැහැ. ඒත් දවසක් වැඩිමහල්ලෙක් කිව්වා එයත් එක්ක සේවෙ යන්න එන්න කියලා. ඉතින් මං ගියා. එදා දෙවි මට හුඟක් උදව් කළා. එදා ඉඳලා සේවෙ යන හැම දවසකම මං ලබපු සතුට කියලා නිම කරන්න බෑ.” (හිතෝ. 16:20) දෙවි ගැන දැනගන්න අනික් අයට උදව් කරද්දී තමන්ගේ විශ්වාසයත් වැඩි වන බව හුඟදෙනෙක් අද්දැක තිබෙනවා. තමන්ගෙම ප්‍රශ්න ගැන හිත හිත ඉන්න එක පැත්තකට දාලා වඩා වැදගත් දේවලට අවධානය යොමු කරන්න එමගින් හැකි වෙනවා.—ෆිලි. 1:10, 11.
21. දුක් පීඩා තිබුණත් අපිට මොකක් ගැන ස්ථිර වෙන්න පුළුවන්ද?
21 දුක් පීඩාවලට ධෛර්යයෙන් යුතුව මුහුණ දෙන්න යෙහෝවා දෙවි අපිට ඇති තරම් උපකාර ලබා දෙනවා. ඒවායින් උපරිම ප්‍රයෝජන ගනිමු. පුරාණයේ සිටි ධෛර්යවන්ත අයගේ ආදර්ශ ගැන ගැඹුරින් සිතමු. එවිට ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න අපිට ශක්තිය ලැබෙන බව ස්ථිරයි. මේ දුෂ්ට සමාජයේ විනාශය ළං වෙනවත් එක්කම දුක් පීඩා තව තවත් වැඩි වෙයි. නමුත් අපි පාවුල් සිතූ විදිහටම සිතමු. ‘අපිව බිමටම ඇද දැමුවත් අපි විනාශ වෙන්නේ නැහැ. අපේ උත්සාහය අපි අත් හරින්නෙත් නැහැ.’ (2 කොරි. 4:9, 16) දෙවිගේ උපකාරය ඇතුව ධෛර්යයෙන් යුතුව දුක් පීඩාවලට මුහුණ දෙන්න ඇත්තටම අපිට පුළුවන්.—2 කොරින්ති 4:17, 18 කියවන්න.
^ 8 ඡේ. නම් වෙනස් කර ඇත.