ජීවිත කතාව
“යාළුකම අවුරුදු 60කට විතරක් නෙවෙයි”
වර්ෂ 1951 ජූනි මාසේ අගභාගයේ එක හැන්දෑවක 20 ගණන්වල මුල්භාගයේ හිටිය තරුණයන් හතරදෙනෙක් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ දුරකථන කුටිවලට දුවගෙන ගියේ තම තමන්ගේ පවුල්වල අයට ප්‍රීතිමත් ආරංචියක් කියන්නයි.
ඒ හතරදෙනා මිෂනාරි සේවයට හුඟක් ආසාවෙන් හිටියා. ඔවුන් 1951 පෙබරවාරි මාසයේදී නිව් යෝර්ක් නගරයේ සවුත් ලැන්සිංහි පැවැත්වූ 17වෙනි ගිලියද් පාසැලට පැමිණි පුරෝගාමීන් 122දෙදෙනාගෙන් හතරදෙනෙක්. ලොවෙල් ටර්න හා විලියම් (බිල්) කැස්ටන් ආවේ මිචිගන් ප්‍රාන්තයෙන්, රිචඩ් කෙල්සි අයෝවා ප්‍රාන්තයෙන්, රේමන් ටෙම්පල්ටන් කැලිෆෝර්නියාවෙන්. වැඩි කල් යන්න කලින් මේ හතරදෙනා අඹ යාළුවෝ වුණා.
තමන්ට එකම රටේ සේවය කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒකට හුඟක් කැමතියි කියලා පාසැල පැවැත්වෙන අතරතුරේදී ඔවුන් කියලා තිබුණා. ඒ නිසා ලෝක මූලස්ථානයේ සහෝදර නේදන් නෝර් ශිෂ්‍යයන්ව හමු වෙන්න එනවා කියලා දැනගත්තාම ඔවුන් බලාපොරොත්තුවෙන් හිටියේ සහෝදර නෝර් ඇවිත් ඔවුන්ගේ මිෂනාරි පැවරුම ගැන දැනුම් දෙයි කියලයි.
සහෝදර නෝර් ඇවිත් පන්තියේ හිටිය සියලුදෙනාටම කතාවක් දෙන අතරතුරේ ශිෂ්‍යයන්ව සේවයට යවන දිහාවල් ගැන කියන්න පටන්ගත්තා. හැමෝම හිටියේ කුතුහලෙන්. මුලින්ම වේදිකාවට ආරාධනා කළේ යාළුවෝ හතරදෙනාටයි. හතරදෙනාවම එකම රටට යවන බව දැනගත්තාම ඔවුන් සතුටෙන් ඉපිළ ගියා. ඔවුන්ව කොහෙට යවයිද? යවන්නේ ජර්මනියට බව දැනගත්තාම පුදුමයට පත් මුළු පන්තියම ඉවරයක් නැතුව අත්පුඩි ගහන්න පටන්ගත්තා.
ජර්මනියේ හිටිය සාක්ෂිකරුවන් 1933 ඉඳලා හිට්ලර්ගේ පාලනය යටතේ විඳපු දුක් ගැහැට ගැනත් ඔවුන්ට තිබුණු නොසැලෙන විශ්වාසය, අධිෂ්ඨානය හා ධෛර්යය වගේ දේවල් ගැනත් නොදන්නා කෙනෙක් ඒ කාලයේ හිටියේ නැහැ. ඒ සහෝදරයන්ට දෙවෙනි ලෝක මහා යුද්දෙන් පස්සේ සහනාධාර යවන්න පන්තියේ හිටිය හුඟදෙනෙක් හවුල් වෙලා තිබුණා. ඒ නිසා මේ පැවරුම ලැබුණු අවස්ථාවේදී ඒ සහෝදර සහෝදරියන්ව හම්බෙලාම එයාලව හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා නේද කියලා ලොවෙල්ට හිතුණා. පවුල්වල අයට අලුත් පැවරුම ගැන කියන්න යාළුවෝ හතරදෙනා ඉවසුමක් නැතුව හිටියේ ඇයි කියලා දැන් අපිට හිතාගන්න පුළුවන්.
ජර්මනිය බලා පිටත් වෙයි
වර්ෂ 1951 ජූලි 27වෙනිදා අඹ යාළුවෝ නැව් නැග්ගේ ජර්මනිය බලා පිටත් වෙන්නයි. ඔවුන්ට මුලින්ම ජර්මන් වචන කීපයක් කියලා දුන්නේ ගිලියද් පාසැලේ ඉගැන්නුව හා පසුව පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණ සහෝදර ඇල්බට් ෂ්‍රෝඩ විසිනුයි. නැවේ ඉන්න
ජර්මානු මඟීන්ගෙන් තව ටිකක් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතාගෙන හිටියා. හැබැයි ඒ අය ජර්මන් භාෂාව කතා කළේ ඔවුන් එක් එක්කෙනාගේ ප්‍රාන්තයේ භාෂාව කතා කළ විදිහටයි. ඒ නිසා යාළුවෝ හතරදෙනා අන්දුන් කුන්දුන් වුණා.ඒක දවස් 11ක දුෂ්කර ගමනක්. නැවේ පැද්දිල්ලෙන් ඇති වුණ අමාරුව නිසා ඔවුන්ට නිතරම වමනේ ගියා. අන්තිමට ඔවුන් ජර්මනියේ හැම්බර්ග් වරායට සේන්දු වුණේ අගෝස්තු 7වෙනි අඟහරුවාදා උදෙයි. දෙවෙනි ලෝක මහා යුද්දේ ඉවර වෙලා ගත වී තිබුණේ අවුරුදු හයයි. බැලූ බැලූ හැම තැනම විනාශ වුණු ගොඩනැඟිලි! හරිම දුක්බර දසුනක්! ඒත් ශාඛා කාර්යාලය තිබුණු වීස්බඩින් නගරයට යන්න එදා හවස ඔවුන් කෝච්චියට නැග්ගා. මුළු රැයක්ම කෝච්චියෙන් ඇවිත් බදාදා උදේ ඒ නගරයට ආවා.
සහෝදර හාන්ස් දුම්රියපොළට ඇවිත් හිටියේ මේ හතරදෙනාව බෙතෙල් නිවසට එක්කගෙන යන්නයි. ඔවුන්ට හමු වුණ මුල්ම ජර්මානු සහෝදරයා ඔහුයි. ඔහු මේ හතරදෙනාව බෙතෙල් නිවසේ හිටිය වයසක සහෝදරියකට භාර දුන්නා. ඇයට තිබුණේ ටිකක් සැර පරුෂ පෙනුමක්. ඉංග්‍රීසි පොඩ්ඩක්වත් දැනං හිටියේ නැති ඇය හිතුවේ ටිකක් කෑගහලා ජර්මන් භාෂාව කතා කළාම මෙයාලට තේරෙයි කියලයි. ඒකෙන් වුණේ අමුත්තන්ට ආපු ගමනත් එපා වීමයි. හැබැයි ඉතින් ශාඛා කාර්යාලයේ වැඩ බලමින් හිටිය සහෝදර එරික් ෆ්‍රොස්ට් ඇවිත් ඉංග්‍රීසියෙන්ම කතා කරලා ඔවුන්ව ආදරෙන් පිළිගත්තාම ඔවුන්ගේ හිතට ලොකු සහනයක් දැනුණා.
හතරදෙනා පළමු වතාවට ජර්මානු සමුළුවකට සහභාගි වුණේ අගෝස්තු මාසේ අගයි. ෆ්රෑන්ක්ෆර්ට් නගරයේ පවත්තපු “පවිත්‍ර නමස්කාරය” යන එම සමුළුවට 47,432දෙනෙක් සහභාගි වුණා. ඒකෙදී 2,373දෙනෙක් බව්තීස්ම වෙනවා දැක්කම මිෂනාරිවරුන් විදිහට දේශනා කරන්න තිබුණු ඔවුන්ගේ ආශාව තවත් වැඩි වුණා. හැබැයි වැඩි දවසක් යන්න කලින් ඔවුන්ගේ පැවරුම බෙතෙල් නිවසේ වැඩ කිරීමයි කියලා සහෝදර නෝර් දන්වලා තිබුණා.
ඔවුන්ට හොඳ දේ ගැන දන්නේ යෙහෝවා දෙවි බව ඔවුන් තේරුම්ගත්තේ අද්දුටු ප්‍රීතිය නිසයි
ඔවුන් කවදාවත් බෙතෙල් සේවය ගැන හිතලා තිබුණේ නැහැ. හතරදෙනාගෙම එකම ආශාව වුණේ මිෂනාරීන් විදිහට සේවය කරන්නයි. රේමන්ට එක්සත් ජනපදයේ බෙතෙල් එකේ සේවය කරන්න අවස්ථාව ලැබුණත් ඔහු එහෙ ගියේ නැහැ. ඒත් ජර්මනියේ බෙතෙල් එකේ කාලයක් සේවය කළාට පස්සේ ඔවුන්ට
ලොකු සතුටක් දැනුණා. තමන් කැමති දේට වඩා තමන්ට හොඳ දේ දන්නේ යෙහෝවා දෙවි බව ඔවුන් තේරුම්ගත්තා. අපි එක්එක් කෙනා දෙවිට සේවය කරන්න ආස කරන පැති ඇති. ඒත් යෙහෝවා දෙවි දෙන මඟ පෙන්වීම් හා පැවරුම් කෙනෙක් භාරගන්නවා නම් ඕනෑම තැනක, ඕනෑම පැවරුමක් සතුටෙන් කරන්නත් ඉන් තෘප්තියක් ලබන්නත් ඉගෙනගන්න ඔහුට පුළුවන්.තහනම්!
ඉංග්‍රීසි කතා කරන හතරදෙනෙක් ආපු එක ගැන ජර්මන් සහෝදරයෝ ගොඩක් සතුටු වුණා. තමන්ටත් ඉංග්‍රීසි ඉගෙනගන්න පුළුවන් කියලා ඔවුන් හිතුවා. ඒත් දවසක් කෑම කාමරයේදී සහෝදර ෆ්‍රොස්ට් දුන් නිවේදනයක් නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වුණා. ඔහු ඒක කිව්වේ ජර්මන් භාෂාවෙන් හින්දා මේ හතරදෙනාට ඒක තේරුණේ නැහැ. කට්ටියම කෑම පිඟන් දිහා බලං හිටියා මිසක් මූණ උස්සලා කා දිහාවත් බැලුවේ නෑ. ඒ නිවේදනය තමන් ගැනයි කියලා මේ හතරදෙනා තේරුම්ගත්තේ ටික වෙලාවක් ගියාට පස්සේ. නිවේදනය අවසන් කරනවත් එක්කම සහෝදර ෆ්‍රොස්ට් ටිකක් හයියෙන් එකපාරටම “ෆර්බොටන්” (තහනම්!) කියලා කිව්වා. ඒ වචනේ කීප සැරයක්ම කියනවා ඇහුණම ඔවුන්ට භයක් දැනුණා. ‘මොකක්ද අපි කරපු වරද’ කියලා ඔවුන් කල්පනා කළා.
කෑම කාලා ඉවර වුණු ගමන් කට්ටිය කරබාගෙන කාමරවලට ගියා. හැබැයි එක සහෝදරයෙක් ඒ නිවේදනය ඔවුන්ට විස්තර කළා. ඔහු මෙහෙම කිව්වා. “ඔයාලගේ සේවයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න නම් ඔයාලා ජර්මන් භාෂාව ඉගෙනගන්න ඕන. ඉතින් ඔයාලා එහෙම කරනකං ඔයාලත් එක්ක ඉංග්‍රීසි කතා කරන එක තහනම් කියලයි සහෝදර ෆ්‍රොස්ට් කිව්වේ.”
කිව්ව දේට හැමෝම කීකරු වුණා. ඒකෙන් වුණේ මේ හතරදෙනාටම ජර්මන් භාෂාව ඉගෙනගන්න ලේසි වුණ එකයි. ඔවුන් තවත් වැදගත් පාඩමක් ඉගෙනගත්තා. ඒ තමයි ප්‍රේමණීය සහෝදරයෙක් යම් උපදෙසක් දෙද්දී ටිකක් දරන්න අමාරු වුණත් ඒක දෙන්නේ තමාගෙම යහපතටයි කියන එක. සහෝදර ෆ්‍රොස්ට් දුන්න උපදෙසෙන් ඔහු සහෝදරයන්ටත් දෙවිගේ සංවිධානයටත් ගොඩක් ආදරේ බව හොඳටම පැහැදිලි වුණා. * කාලයක් යද්දී හතරදෙනාට සහෝදර ෆ්‍රොස්ට් එක්ක ගොඩක් හිතවත් වෙන්න ඒක හේතුවක් වුණා.
එකිනෙකාගේ හැකියාවන් අගේ කළා
ජර්මනියේ හිටිය සහෝදරයන් පෙන්වපු විශ්වාසය හා නිර්භීතකම මගින් හතරදෙනා ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඔවුන්ට දෙවි එක්ක තවත් යාළු වෙන්න ඒක උදව් වුණා. ඔවුන් එකිනෙකාගෙනුත් හුඟක් දේවල් ඉගෙනගත්තා. ඒ ගැන රිචඩ් මෙහෙම කිව්වා. “අපි තුන්දෙනාට වඩා ලොවෙල්ට ජර්මන් භාෂාව පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපෙන් වැඩිමලාත් එයයි. ඉතින් භාෂාව ගැන මොකක් හරි දැනගන්න හරි
ජර්මන් භාෂාවෙන් කාට හරි දෙයක් කියන්න හරි ඕනෙ වුණාම අපේ කතා නායකයා විදිහට පත් කරගත්තේ එයාවයි.” රේමන් මෙහෙම කිව්වා. “ජර්මනියේ අවුරුද්දක් විතර සේවය කළාට පස්සේ ස්විට්සර්ලන්තෙ සහෝදරයෙක් අපිට නිවාඩුවකට ඇවිත් එයාගේ ගෙදර නවතින්න කියලා කිව්වා. අපි එහෙ ගියා. ඇති යාන්තාං සති දෙකකට ජර්මන් නැහැ කියලා මං හිතුවා. ඒත් ලොවෙල් කිව්වා දිනපදය කරන්නේ ජර්මන් භාෂාවෙන් කියලා. මට ටිකක් කේන්ති ගියත් ලොවෙල් නෙමෙයි එයාගේ අදහස වෙනස් කරගත්තේ. හැබැයි ඒකෙන් අපි හොඳ පාඩමක් ඉගෙනගත්තා. අපේ යහපත වෙනුවෙන් හිතන කෙනෙක් කරන්න අමාරු දෙයක් කරන්න කියලා කියද්දි අපි ඒකට එකඟ වුණේ නැතත් ඒක කරන්න ඕනෙ. එහෙම ඉගෙනගත්තාම කල් යද්දී යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පිළිගන්න අපිට අමාරු වෙන්නේ නෑ.”‘අන් අය ඔබට වඩා උතුම් කියා නිහතමානීව සිතන්න’ කියලා ෆිලිප්පි 2:3 සඳහන් වෙනවා. හතරදෙනාම ඒ උපදෙස හොඳින් හිතට ගත්තා. ඒ නිසා එකිනෙකාගේ හැකියාවන් හා දක්ෂතාවන් අගේ කරන්න ඔවුන්ට පුළුවන් වුණා. “විසඳගන්න අමාරු ප්‍රශ්න එද්දී ඒවා නිරවුල් කරන්න අපිට වඩා බිල්ට හොඳ හැකියාවක් තිබුණා. සමහර දේවල් කරන්න ඕන වෙද්දී එහෙම නැත්නම් කාට හරි මොකක් හරි කියන්න ඕන වෙද්දී හතරදෙනාම එකඟ වුණත් ඒක කරන්න ගියාම අපි තුන්දෙනාට හිතේ හයියක් නැති අවස්ථාත් තිබුණා. එතකොට වැඩේ භාරගත්තේ බිල්. මොකද එයාට ඒ හැකියාව තිබුණා.” එහෙම කිව්වේ ලොවෙල්.
විවාහ වීමට තීරණය කළේ . . .
හතරදෙනා හොඳ යාළුවෝ වුණේ යෙහෝවා දෙවිට වගේම පුරෝගාමී සේවයටත් ගොඩක් ආදරේ කළ නිසයි. පසුව ඔවුන් විවාහ වෙන්න තීරණය කරද්දී භාර්යාවන් හැටියට හෙව්වෙත් යෙහෝවා දෙවිටයි පූර්ණකාලීන සේවයටයි ආදරේ කළ අයව. ලැබීමට වඩා දීම වටින බව පුරෝගාමී සේවයෙන් ඉගෙනගෙන තිබුණු නිසා ඔවුන් විවාහ වෙන්න තෝරගත්තේ තමාගේ ආශාවන් පැත්තකට දාලා කාගෙවත් බලපෑමකින් තොරව පූර්ණකාලීන සේවය තෝරගෙන තිබුණු සහෝදරියන්වයි. ඒ නිසා හතරදෙනාටම ශක්තිමත් බැඳීමක් ඇති ප්‍රීතිමත් විවාහ ජීවිත ගත කරන්න පුළුවන් වුණා.
යාළුකමක් හෝ විවාහයක් දිගු කල් පවතින්නේ ඒ බැඳීමට යෙහෝවා දෙවිව සම්බන්ධ කරගත්තොත් විතරයි. (දේශ. 4:12) බිල්ගේ සහ රේමන්ගේ භාර්යාවන් පසු කලකදී මිය ගියා. නමුත් ජීවත්ව සිටි කාලයේදී ඔවුන් තම පුරුෂයන් සමඟ සතුටෙන් සිටි අතර ඔවුන්ට පූර්ණ සහයෝගය දුන්නා. ලොවෙල් සහ රිචඩ් තවමත් සතුටින් විවාහ ජීවිත ගත කරනවා. බිල් දෙවෙනි වතාවටත් විවාහ වුණා. ඔහු මෙවරත් නැණවත්ව තෝරගත්තේ ඔහුට පූර්ණකාලීන සේවය කරගෙන යන්න උදව් වෙන සහෝදරියකවයි.
හතරදෙනාම පසු කාලයේදී ජර්මනියෙත්, ඔස්ට්‍රියාවෙත්, ලක්සම්බර්ග්වලත්, කැනඩාවෙත්, එක්සත් ජනපදයෙත් සේවය කරන්න වෙන් වෙලා ගියා. ඔවුන් එකිනෙකාගෙන් ඈත්ව හිටියත් දිගටම ඔවුන්ගේ යාළුකම පවත්වගෙන දුක සැප බෙදාගත්තා. (රෝම 12:15) සැබෑ යාළුවෙක් වටිනා වස්තුවක්. එවැනි යාළුවන් දෙවිගෙන් ලැබී තිබෙන තෑගි වගෙයි. (හිතෝ. 17:17) සාතන්ගේ දුෂ්ට සමාජයෙන් මේ වගේ යාළුවන් සොයාගන්න අමාරුයි. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝකෙ පුරාම ඉන්න නිසා ඒ වගේ යාළුවන් ලෝකෙ ඕනෑම තැනකින් ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. ඒ වගේම යෙහෝවා දෙවිවත් යේසුස්වත් කිට්ටු යාළුවන් කරගන්න අපිට පුළුවන්.
හතරදෙනාටම නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. භාර්යාවගේ මරණය, දරුණු ලෙඩ රෝග වැලඳීම, මහලු දෙමාපියන්ව බලාගැනීම, පූර්ණකාලීන සේවයේ යෙදෙන ගමන් දරුවෙකු ඇති දැඩි කිරීම හා සේවා පැවරුම වෙනස් වීම නිසා ඇති වුණ පීඩනය ඉන් සමහරක්. ඒ විතරක් නෙවෙයි ඔවුනුත් දැන් ඉන්නේ මහලු වයසෙයි. ඒත් මේ හැම දේකටම මුහුණ දෙන්න පුළුවන් වුණේ ඔවුන් එකිනෙකාට අත හිත දුන්න නිසා හා යෙහෝවා දෙවි ඔවුන්ට ශක්තිය දුන්න නිසයි.
සදහටම පවතින බැඳීමක්
ලොවෙල් වයස අවුරුදු 18දිත් රේමන් 12දිත් බිල් 11දිත් රිචඩ් 10දිත් බව්තීස්ම වුණා. ඔවුන් පූර්ණකාලීන සේවය පටන්ගත්තේ අවුරුදු 17ත් 21ත් අතර වයසෙදියි. ඔවුන් ඇත්තටම “යෞවනයෙනි, ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න” කියලා දේශනාකාරයා 12:1 තියෙන ආරාධනාව පිළිගෙන තිබුණු බව ඉන් පැහැදිලි වෙනවා.
ඔවුන්ට චාරිකා, දිස්ත්‍රික් හෝ කලාපීය සේවකයන් හැටියටත් ශාඛා කමිටු සාමාජිකයන් හැටියටත් බෙතෙල් සේවකයන් හැටියටත් සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම පත් කළ පුරුෂයන් සඳහා පාසැල් හා පුරෝගාමී පාසැල්වල උපදේශකයන් හැටියට කටයුතු කරන්නත් සමුළුවල කතා දෙන්නත් පුළුවන් වුණා. ඔවුන්ගේ සේවයෙන් දසදහස් ගණනක් ප්‍රයෝජන ලබන බව දැනගැනීම ඔවුන්ට ලොකු සතුටක් වුණා. ඔවුන්ට මේ සතුට ලැබුණේ තරුණ කාලයේදී දෙවිගේ ආරාධනාව පිළිගෙන මුළු හදවතින්ම ඔහුට සේවය කළ නිසයි. (කොලො. 3:23) ඔබත් තරුණ සහෝදරයෙක් නම් දෙවි දී තිබෙන ආරාධනාව පිළිගන්න ඔබ කැමතිද? තරුණ වයසේම පූර්ණකාලීන සේවයට ඇතුල් වෙන්න ඔබ තීරණය කළොත් ඔබටත් හැකි වෙයි ඒ යාළුවන් හතරදෙනා ලැබූ සේවා වරප්‍රසාද ලබාගන්න.
ලොවෙල්, රිචඩ් හා රේමන් ආපහු එකට ජර්මනියේ සෙල්ටර්ස්හි තිබෙන ශාඛා කාර්යාලයේ සේවය කරනවා. වර්ෂ 2010දී බිල් මිය යෑම දුකට හේතුවක්. ඒ වෙද්දී ඔහු එක්සත් ජනපදයේ විශේෂ පුරෝගාමියෙක් හැටියට සේවය කරමින් හිටියා. ඔහුගේ මරණයත් එක්කම අවුරුදු 60ක් තිස්සේ තිබුණු ඔවුන්ගේ බැඳීමේ වෙනසක් සිදු වුණා. නමුත් යෙහෝවා දෙවි බිල්ව කවදාවත් අමතක කරන්නේ නැහැ. මරණය නිසා වෙන් වුණ යාළුවන්ව දෙවි පාරාදීසයේදී ආපහු මුණගස්සනවා.
“අවුරුදු 60ක් තිස්සේ යාළුවෝ වෙලා හිටිය අපි එක දවසක්වත් අමනාප වෙලා හිටියේ නෑ”
මිය යන්න ටික කාලෙකට කලින් බිල් මේ වගේ දෙයක් ලියා එව්වා. “අවුරුදු 60ක් තිස්සේ යාළුවෝ වෙලා හිටිය අපි එක දවසක්වත් අමනාප වෙලා හිටියේ නෑ. අපි හතරදෙනා අතර තියෙන්නේ විශේෂ බැඳීමක්.” අනිත් තුන්දෙනා ඊට එකඟ වෙමින් මෙහෙම කිව්වා. “අපේ යාළුකම අවුරුදු 60කට විතරක් නෙවෙයි සදාකාලෙටමයි.” ඔවුන් එහෙම කිව්වේ පාරාදීස පොළොවෙදිත් ඔවුන්ගේ යාළුකම දිගටම ගෙනියන්න බලාපොරොත්තුව තිබෙන හින්දයි.
^ 17 ඡේ. සහෝදර ෆ්‍රොස්ට්ගේ සිත්ගන්නා ජීවිත කතාව 1961 අප්‍රියෙල් 15 වොච්ටවර් සඟරාවේ 244-249 දක්වා පිටුවල පළ වී තිබෙනවා.