Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

‘අහන්න ලැබුණු හොඳම පණිවිඩය’

‘අහන්න ලැබුණු හොඳම පණිවිඩය’

කැනඩාවේ සස්කැටූන්වල පරණ ගබඩාවක මීටර් 18ක් දිග කණු ගොඩක් තිබුණා. ඒවා පාවිච්චි කරලා තිබුණේ පළවෙනි ලෝක මහා යුද්ධ සමයේදී සංඥා කුලුනු හදන්නයි. ඒවා දැකපු සහෝදර ජෝජ් නේෂ්ට හිතුණා ගුවන්විදුලි කුලුනක් හදන්න ඒවා නියමයි කියලා. කැනඩාවේ ශුභාරංචිය ව්‍යාප්ත කරන්න ගුවන්විදුලි සේවාවක් පාවිච්චි කිරීමේ අදහස ඇති වුණේ ඒ විදිහටයි. හරියටම අවුරුද්දකින් ඒ කියන්නේ 1924දී CHUC කියන ගුවන්විදුලි සේවාව ආරම්භ කළා. ආගමික තොරතුරු විකාශනය කිරීම සඳහා කැනඩාවේ ආරම්භ කරපු පළවෙනි ගුවන්විදුලි සේවාව එයයි.

කැනඩාව ලොකු රටක් නිසා ගුවන්විදුලිය හරහා සාක්ෂි දැරීම පහසු ක්‍රමයක් වුණා. සස්කැටූන් නගරයේ ගුවන්විදුලි සේවා කාර්යාලයේ වැඩ කළ ෆ්ලොරන්ස් ජොන්සන් මෙහෙම කිව්වා. “අපේ ගුවන්විදුලි සේවාව නිසා අපිට පෞද්ගලිකව හම්බ වෙන්න බැරි හුඟක් අයට ශුභාරංචිය කියන්න පුළුවන් වුණා. ඒ කාලයේ ගුවන්විදුලිය අලුත් දෙයක් නිසා මිනිස්සු ඒකට හුඟක් කැමැත්තෙන් සවන් දුන්නා.” වර්ෂ 1926 වෙනකොට බයිබල් ශිෂ්‍යයන් (යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව කලින් හැඳින්නුවේ ඒ නමින්) කැනඩාවේ නගර හතරක ඔවුන්ගේම ගුවන්විදුලි සේවාවන් ආරම්භ කරලා තිබුණා. *

ඔවුන් විකාශනය කළේ මොන වගේ දේවල්ද? බොහෝවිට සහෝදරයන් සංගීත භාණ්ඩ වාදනය කරමින් ගීතිකා ගායනා කළා. පුංචි සංගීත කණ්ඩායමක් පවා ඔවුන්ට තිබුණා. සහෝදරයන් බයිබල් දේශනා හා බයිබල් සාකච්ඡාවන් පැවැත්තුවා. ඒ වගේ සාකච්ඡාවලට සහභාගි වූ ඒමී ජෝන්ස් මේ වගේ දෙයක් කියනවා. “මම සේවයේ ගිහින් මාව හඳුන්වලා දුන්නම සමහර අය කිව්වා ‘ආ, ඔයා නේද අර රේඩියෝ එකේ කතා කරන්නේ’ කියලා.”

නෝවා ස්කොටියාවල, හැලිෆැක්ස් නගරයේ සහෝදරයන් අලුත්ම ක්‍රමයක් යොදාගත්තා. ඒ තමයි අසන්නන්ටත් දුරකථනය හරහා සම්බන්ධ වෙලා ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දීම. “ඒ වැඩසටහනට ගොඩක් අය හවුල් වුණා” කියලා එක සහෝදරයෙක් කිව්වා.

පාවුල්ගේ කාලයේ වගේ බයිබල් ශිෂ්‍යයන්ටත් ඒගොල්ලන් දේශනා කළ පණිවිඩයට එක එක ප්‍රතිචාර ලැබුණා. (ක්‍රියා 17:1-5) සමහර අය පණිවිඩයට කැමැත්තෙන් සවන් දුන්නා. උදාහරණයකට හෙක්ටර් මාෂල් කියන තැනැත්තා බයිබල් ශිෂ්‍යයන් නිකුත් කළ ප්‍රකාශනයක් (Studies in the Scriptures) ගැන ගුවන්විදුලියෙන් අහලා වෙළුම් හයක්ම ඇණවුම් කළා. “දහම් පාසැලේ උගන්වන්න ඒවා මට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතුවා” කියා ඔහු පැවසුවා. හැබැයි පළවෙනි වෙළුම කියවලා ඉවර වෙනකොට පල්ලියෙන් අයින් වෙන්න හෙක්ටර් තීරණය කළා. ඊටපස්සේ ඔහු ගොඩක් උනන්දුවෙන් ශුභාරංචිය දේශනා කළා. වර්ෂ 1998දී ඔහු මිය යන තුරුම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කළා. දවසක්, නෝවා ස්කොටියාවල නැඟෙනහිර ප්‍රදේශයේ “මුළු ලොවටම තියෙන බලාපොරොත්තුව දේවරාජ්‍යයයි” යන දේශනය ගුවන්විදුලිය හරහා විකාශනය වුණා. ඊළඟ දවසේදී කර්නල්වරයෙක් වූ ජේ. ඒ. මැක්ඩොනල්ඩ් මේ වගේ දෙයක් කිව්වා. “බ්‍රිටන් දූපතේ ඉන්න මිනිස්සු ඊයේ ලස්සන දේශනයකට සවන් දුන්නා. ඒක තමයි ඒගොල්ලන්ට අහන්න ලැබුණු හොඳම පණිවිඩය.”

ඒ වුණත් පූජකයන් හිටියේ කේන්තියෙන්. හැලිෆැක්ස්වල හිටපු කතෝලිකයන් එකතු වෙලා බයිබල් ශිෂ්‍යයන්ගේ වැඩසටහන් විකාශනය කළ ගුවන්විදුලි සේවා කාර්යාලයට බෝම්බ ගහලා විනාශ කරනවා කියලා තර්ජනය කළා. ආගමික නායකයන්ගේ උසිගැන්වීම නිසා බයිබල් ශිෂ්‍යයන්ට අයිති ගුවන්විදුලි සේවාවල බලපත්‍ර අලුත් කිරීමට අවසර ලැබෙන්නේ නැහැ කියලා 1928දී හදිසියේම රජය විසින් නිවේදනයක් කළා. සහෝදර සහෝදරියන් සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් පත්‍රිකාවක් බෙදාහැරියා. ගුවනේ අයිතිකරු කවුද වගේ අදහසක් ඇති මාතෘකාවක් ඊට යොදා තිබුණා. ඒ මොනවා කළත් ඔවුන්ගේ බලපත්‍ර අලුත් කරගැනීමට ඔවුන්ට අවසර ලැබුණේ නැහැ.

ඒ කාලයේ කැනඩාවේ යෙහෝවා දෙවිට සේවය කරමින් සිටි ටිකදෙනා ඒකෙන් අධෛර්යය වුණාද? ඉසබෙල් වේන්රයිට් මේ වගේ දෙයක් පැවසුවා. “මුලදී පේන්න තිබුණේ සතුරා ජය ගත්තා වගේ. ඒත් යෙහෝවා දෙවිට ඕනේ නම් ඒක වළක්වන්න තිබුණා. එහෙම නොකළ නිසා ශුභාරංචිය දේශනා කරන්න වෙනස් ක්‍රමයක් හොයාගන්න කාලය ඇවිත් කියලා අපි තේරුම්ගත්තා.” ඒ නිසා බයිබල් ශිෂ්‍යයන්, ගෙවල්වලටම ගිහින් මිනිස්සුන්ට දේශනා කරන්න පටන්ගත්තා. කොහොමවුණත් අවශ්‍ය කාලයේදී මිනිස්සුන්ට ‘අහන්න ලැබුණු හොඳම පණිවිඩය’ විකාශනය කිරීමට ගුවන්විදුලිය හුඟක් ප්‍රයෝජනවත් වුණා.—කැනඩාවේ අතීතයෙන් බිඳක්.

^ 4 ඡේ. ඊට අමතරව ගුවන්විදුලියේ වෙළඳ සේවාවන් හරහාද ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා මුදල් ගෙවා කාලය වෙන් කරගෙන තිබුණා.