වැඩිපුර ඇති දෙයින් හිඟකම පිරිමැසෙයි
‘සභාවේ කණු මෙන් සිටි’ පේතෘස්, යාකොබ් හා යොහන් ක්‍රිස්තු වර්ෂ 49දී පාවුල්ටත් බානබස්ටත් වැඩක් පැවරුවා. වෙනත් ජාතීන්ට ශුභාරංචිය දේශනා කරද්දී දිලිඳු ක්‍රිස්තියානීන්වද සිහියේ තබාගන්න කියා ඔවුන් ඒ දෙන්නාට කිව්වා. (ගලා. 2:9, 10) ඔවුන් එය කළේ කොහොමද?
එම වැඩේ ඉටු කිරීමට ගත් ක්‍රියාමාර්ගය ගැන පාවුල් කොරින්තිවරුන්ට මෙහෙම ලිව්වා. “ශුද්ධ තැනැත්තන් උදෙසා එකතු කරන ලද සම්මාදම් ගැන යමක් පවසන්න මා කැමතිය. ඒ ගැන මා ගලාතියේ සභාවන්ට දුන් උපදෙස් ඔබටත් අනුගමනය කළ හැක. සෑම සතියකම පළමුවෙනි දින ඔබ ළඟ තිබෙන දේවලට අනුව තම තමන්ගේ නිවෙස්වලදී යමක් වෙන් කර තැබීමට ඔබට පුළුවන. ඔබ එසේ කළොත් මා පැමිණි විට සම්මාදම් එකතු කිරීමට අවශ්‍ය වන්නේ නැත. යෙරුසලමට යැවීම සඳහා ඔබ යෝජනා කරන පුරුෂයන් කවුද කියා මට කලින්ම දන්වා එවිය යුතුයි. එවිට මා පැමිණි විට ඔබ කාරුණිකව පරිත්‍යාග කරන දේ ඔවුන් අත යැවීමට සැලසුම් යෙදිය හැක.”—1 කොරි. 16:1-3.
මේ විදිහට පරිත්‍යාගයන් එකතු කළේ ඇයි කියා කොරින්තිවරුන්ට ලියූ දෙවෙනි ලිපියෙන් ඔහු නැවත වරක් පැහැදිලි කළා. “ඔබට වැඩිපුර ඇති දෙයින් ඔවුන්ගේ හිඟකම පිරිමැසීමට ඔබට පුළුවන.”—2 කොරි. 8:12-15.
සෑහෙන දුරට පරිත්‍යාගයන් එකතු කර අවසන් බව ක්‍රි.ව. 56දී පාවුල් රෝමවරුන්ට ලියූ මේ දෙයින් පෙනී යනවා. “මා දැන් සූදානමින් සිටින්නේ යෙරුසලම බලා පිටත් වී එහි සිටින ශුද්ධ තැනැත්තන්ට යම් උපකාර ලබා දීමටය. ඇත්තෙන්ම මැසිඩෝනියාවේ සහ ඇකේයා පළාතේ සිටින අය තමන් සතු දේවලින් යමක් සම්මාදම් ලෙස යෙරුසලමෙහි ශුද්ධ තැනැත්තන් අතරෙහි සිටින අගහිඟකම් ඇති අයට ලබා දීමට කැමති වූහ.” (රෝම 15:25, 26) ඒ එක්කම වාගේ ඔහු නැවත යෙරුසලමට ආවා. එහිදී ඔහුව අත් අඩංගුවට ගත් විට ඔහු ආණ්ඩුකාර ෆීලික්ස්ට මෙහෙම කිව්වා. “මම ආවේ මගේ ජාතියේ අයට සහනාධාර ලබා දෙන්න සහ දෙවිට පූජා ඔප්පු කරන්නයි.”—ක්‍රියා 24:17.
මුල් ක්‍රිස්තියානීන් හුඟක් පරිත්‍යාගශීලීයි. ඒ බව අපි දන්නේ මැසිඩෝනියාවේ සහෝදරයන් ගැන පාවුල් ලියූ මේ දෙයින්. ‘ඔවුන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේ යම් දේවල් පරිත්‍යාග කරන්න ඔවුන්ටත් අවස්ථාවක් ලබා දෙන්න’ කියායි. කොරින්ති සභාවටත් එය ආදර්ශයට ගන්න කියා ඔහු උනන්දු කළා. ඔවුන්ට පාවුල් කිව්වේ “කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය” කියායි. එහෙම කරන්න ඔවුන් පෙලඹුණේ ඇයි? ‘ශුද්ධ තැනැත්තන්ගේ අවශ්‍යතා හොඳින් ඉටු කිරීමට පමණක් නොව දෙවිට බොහෝ සෙයින් ස්තුති කිරීමටද එය හේතුවක් වූ’ නිසයි. (2 කොරි. 8:4; 9:7, 12) අපිත් යමක් පරිත්‍යාග කරද්දී අපේ ආකල්පය විය යුත්තෙත් එයමයි. එවැනි ආකල්පයක් අපිට තිබෙනවා නම් දෙවිගේ ආශීර්වාද ලැබෙන අතර අපිට කිසි අඩුවක් වෙන්න ඔහු ඉඩ තියන්නෙත් නැහැ.—හිතෝ. 10:22.
සමහරුන් පරිත්‍යාග කිරීමට තෝරාගන්නා ක්‍රම
පාවුල්ගේ කාලයේ සිටි බොහෝ ක්‍රිස්තියානීන් සම්මාදම් කිරීමට ‘යමක් වෙන් කර තැබුවා.’ (1 කොරි. 16:2) ඒ හා සමානව අද සිටින සාක්ෂිකරුවනුත් “ලෝක ව්‍යාප්ත සේවය” වෙනුවෙන් තබා තිබෙන සම්මාදම් පෙට්ටියට මුදල් දමනවා. සෑම මාසයකම අවසානයේදී සභාවේ එකතු වන මේ සම්මාදම් එම රටේ ශාඛා කාර්යාලයට යවනවා. ඊට අමතරව ඔබේ රටේ තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට කෙළින්ම දේවල් සම්මාදම් කරන්න ඔබට පුළුවන්. එය කරන්නේ කොහොමද කියා දැනගැනීමට ශාඛා කාර්යාලයෙන් විමසන්න. ශාඛා කාර්යාලවල ලිපිනයන් www.pr418.com යන වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. සම්මාදම් කළ හැකි සමහර ක්‍රම පහත දක්වා තිබෙනවා.
කොන්දේසි රහිත පරිත්‍යාග
මුදල්, රන් ආභරණ හෝ වෙනත් වටිනා භාණ්ඩ පරිත්‍යාග කළ හැකියි.
ඒවා තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන ලිපියක්ද ඒ සමඟ එවන්න.
කොන්දේසි සහිත පරිත්‍යාග
පරිත්‍යාග කරන කෙනාට අවශ්‍ය වූ විටෙක ඒ මුදල නැවත ලබා දෙන බවට වූ කොන්දේසිය මත පරිත්‍යාග කරන මුදල්.
කොන්දේසි සඳහන් කළ ලිපියක් ඒ සමඟ එවන්න.
සැලසුම් කරන ලද පරිත්‍යාග
මුදල්, රන් ආභරණ හෝ වෙනත් වටිනා භාණ්ඩ පරිත්‍යාග කරනවාට අමතරව ලෝක ව්‍යාප්ත වැඩ සඳහා ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රමද තිබෙනවා. ඊට පහත සඳහන් දේවල් ඇතුළත්. ඔබේ රටට අදාළ වෙන්නේ එයින් මොන ක්‍රමද කියා ශාඛා කාර්යාලයෙන් විමසන්න. ඒ වගේම රටින් රටට තිබෙන බදු නීති එකිනෙකට වෙනස් නිසා නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීම අවශ්‍ය බවත් අමතක කරන්න එපා.
රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච්ටවර් සමිතිය නම් කළ හැකියි.
බැංකු ගිණුම: රටේ පවතින නීතියට අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච්ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරත්වය වොච්ටවර් සමිතියට ලැබෙන්න සැලැස්වීමට හෝ හැකියි.
ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච්ටවර් සමිතියට ප්රදානය කළ හැකියි. ඒ වගේම මරණින් පසු ඒවායේ හිමිකාරත්වය වොච්ටවර් සමිතියට ලැබෙන්න සැලැස්වීමටත් හැකියි.
නිශ්චල දේපොළ: විකිණිය හැකි නිශ්චල දේපොළක් තෑග්ගක් හැටියට වොච්ටවර් සමිතියට දීමට හැකියි. අයිතිකරු කැමති නම් තමා පදිංචිව සිටින නිවසේ හා ඉඩමේ ජීවිත භුක්තිය තබාගෙන වොච්ටවර් සමිතියට පැවරීමටත් හැකියි.
පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය කියන්නේ යමෙක් තමා සතු මුදල් හෝ සුරැකුම්, වොච්ටවර් සමිතිය වෙත පැවරීමට කරන සැලැස්මක්. ඒ සඳහා ඔහුට හෝ ඔහු විසින් පත් කරන ලද අයට ජීවිතාන්තය දක්වාම වසරක් වසරක් පාසා යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි.
අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච්ටවර් සමිතිය වෙත දේපොළ හෝ මුදල් පවරා දීමට හැකියි. ඒ වගේම විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියටද වොච්ටවර් සමිතිය නම් කරන්න පුළුවන්.
කුමන ආකාරයකින් හෝ පරිත්‍යාග කිරීමට සතුටු අයට දුරකථනය ඔස්සේ හෝ ලිපියක් මාර්ගයෙන් ශාඛා කාර්යාලයෙන් විමසිය හැකියි.