Skip to content

පටුනට යන්න

හිස උදුම්මා නොගත් යේසුස්

හිස උදුම්මා නොගත් යේසුස්

“මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි. ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි.”—යොහ. 13:15.

1, 2. මිහිපිට ගත කළ අන්තිම රාත්‍රියේදී යේසුස් තම ගෝලයන්ට ඉගැන්වූ ප්‍රබල පාඩම මොකක්ද?

එදා යේසුස් සිටියේ යෙරුසලමේ. එය ඔහු මිහිපිට ගත කළ අන්තිම රාත්‍රියයි. ගෝලයන් සමඟ රාත්‍රි භෝජනය ගන්නා අතරේ ඔහු නැඟිට තම පිට වස්ත්‍රය ගලවා තබා තුවායක් ඉණ වටේ බැඳගත්තා. ඉන්පසු ඔහු බේසමකට වතුර දමා ගෝලයන්ගේ පාද සෝදා තුවායෙන් පිස දැමුවා.—යොහ. 13:3-5.

2 ඒ අවස්ථාවේදී යේසුස් දාසයෙකු වගේ එවැනි නිහතමානී ක්‍රියාවක් කළේ ඇයි? ඊට ඔහුගේ පිළිතුර වුණේ මෙයයි. ‘මම ඔබ වෙනුවෙන් කළ මේ දේ ඔබට තේරුණාද? ඔබේ ස්වාමීන් සහ ගුරුතුමා වන මම ඔබේ පාද සේදුවා නම් ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුයි. මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි. ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි.’ (යොහ. 13:12-15) තම ගෝලයන් නිහතමානී වෙනවා දකින්න යේසුස් කැමති වුණ නිසා ඔහු නිහතමානිකම ගැන මතකයේ රැඳෙන ප්‍රබල පාඩමක් ඔවුන්ට ඉගැන්නුවා.

3. (අ) තවත් අවස්ථා දෙකකදී නිහතමානිකමේ වැදගත්කම යේසුස් කාවැද්දුවේ කොහොමද? (ආ) මේ ලිපියෙන් සලකා බලන්නේ මොනවාද?

3 යේසුස් තම ගෝලයන්ට නිහතමානිකමේ වටිනාකම කියලා දුන්න මුල්ම වතාව ඒක නෙවෙයි. කලින් අවස්ථාවකදී ගෝලයන් අතර තරඟකාරී ස්වභාවයක් තියෙන බව දැක්ක යේසුස් කුඩා දරුවෙකුව ළඟට කැඳවා ඔවුන්ට මෙහෙම කිව්වා. “මා නිසා යමෙකු මෙම කුඩා දරුවා මෙන් සිටින කෙනෙකුව පිළිගත්තොත් ඔහු මාවත් පිළිගන්නවා කියා පැවසිය හැකියි. මාව පිළිගන්නා පුද්ගලයා මාව පමණක් නොව මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා. ඇත්තෙන්ම උතුම් වන්නේ ඔබ සියලුදෙනා අතරේ නිහතමානීව සේවය කරන තැනැත්තායි.” (ලූක් 9:46-48) තවත් අවස්ථාවක මුල් තැන ගන්න ආශා කළ පරිසිවරුන් වගේ නොවෙන්න කියා පැහැදිලි කරද්දී යේසුස් කිව්වේ “උසස් වෙන්න උත්සාහ කරන සියලුදෙනාම අවමානයට පත් වෙයි. නමුත් නිහතමානී ලෙස කටයුතු කරන තැනැත්තා ගෞරවයට පත් වෙයි” කියලයි. (ලූක් 14:11) යේසුස්ට ඕන වුණේ ඔහුගේ ගෝලයෝ හිස උදුම්මාගත් උඩඟු අය නොවී නිහතමානී අය වෙනවා දකින්නයි. කෙනෙක් නිහතමානී නම් ඉන් ඔහුටත් අන් අයටත් ප්‍රයෝජන ලැබෙනවා. ඒ නිසා නිහතමානිකම පිළිබඳ යේසුස්ගේ ආදර්ශය සලකා බලා ඔහුව අනුකරණය කරන්න අපි උත්සාහ කරමු.

‘උපදෙස්වලට පිටු පෑවේ නැහැ’

4. පොළොවට එන්න කලින් සිටම යේසුස් නිහතමානීව කටයුතු කළේ කොහොමද?

4 පොළොවට එන්න කලින් සිටම යේසුස් නිහතමානීව කටයුතු කළා. අපි ඒ බව දන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් යෙසායා ලියා තිබෙන මේ දේ නිසයි. “විඩා වූ අයට සහනයක් ගෙන දෙන අයුරින් කතා කිරීමට විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මට උගන්වා ඇත. ඔහු උදයක් උදයක් පාසා මාව අවදි කර මට උපදෙස් දෙන්නේය. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ කන් විවෘත කළේය. මමද ඔහු දෙන උපදෙස් සිතට ගතිමි. මම මුරණ්ඩු ලෙස ඔහුගේ උපදෙස්වලට පිටු නොපෑවෙමි.” (යෙසා. 50:4, 5) යේසුස් තම පියා ඉගැන්නුව සෑම දෙයකටම කිට්ටු අවධානයක් දුන්නා. නිහතමානී ලෙස පියාණන්ගෙන් ඉගෙනගන්නත් කැමති වුණා. ඒ වගේම පව්කාර මිනිසුන්ට දයාව දක්වමින් යටහත්පහත් ලෙස දෙවි කටයුතු කරන හැටි බලා ඔහුව ආදර්ශයටත් ගත්තා.

5. යේසුස් අග්‍ර දේවදූතයා වුණත් නිහතමානීව හා සීමාව දැනගෙන කටයුතු කරන බව පෙන්නුවේ කොහොමද?

5 ස්වර්ගයේ හිටිය හැමෝම යේසුස් වගේ නිහතමානී අය වුණේ නැහැ. උදාහරණයකට සාතන් බවට පත් වුණ දේවදූතයා තමන් තුළ උඩඟු ආකල්පයක් වැඩෙන්න ඉඩ දීලා දෙවිට විරුද්ධව කැරලිගැසුවා. සාතන් ක්‍රියා කළේ උද්ධච්ච විදිහටයි. අනික් අතට යේසුස් සාතන් වගේ තනතුරු උදුරගන්න උත්සාහ කළේ නැහැ. තමන්ට දීලා තිබුණ බලතල අනිසි විදිහට පාවිච්චි කළෙත් නැහැ. ඔහු අග්‍ර දේවදූතයා වුණත් කටයුතු කළේ ඔහුගේ සීමාව දැනගෙනයි. මෝසෙස්ගේ මළ සිරුර ගැන යේසුස් හා සාතන් අතර “මතභේදයක් ඇති වූ විට” සාතන්ට දැඩි විනිශ්චයක් නොදී මුළු විශ්වයේම විනිශ්චයකරු වන දෙවිට කාරණය භාර දුන්නා.—යූද් 9 කියවන්න.

6. ගැලවුම්කරු ලෙස පොළොවට පැමිණීම සඳහා යේසුස් නිහතමානිකම පෙන්නුවේ කොහොමද?

6 ගැලවුම්කරු හැටියට තමන් තුළින් ඉටු වන අනාවැකි ගැන ස්වර්ගයේ ඉද්දී යේසුස් ඉගෙනගත්ත බව නිසැකයි. ගැලවුම්කරු ලෙස කටයුතු කිරීම කොතරම් කටුක අද්දැකීමක් වෙයිද කියලා ඔහු දැනගෙන ඉන්න ඇති. ඒ වුණත් දුක් විඳ මිය යෑම සඳහා පොළොවට එන්න ඔහු කැමති වුණා. ඒ ඇයි? එසේ කිරීම සඳහා යේසුස්ට තිබුණු නිහතමානිකම ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “ඔහු දෙවිට යම් සමානකමක් දැරුවත් තමන් දෙවිගේ තැන ගෙන දෙවිට සමාන විය යුතුයි කියා කිසි ලෙසකින්වත් සිතුවේ නැත. ඒ වෙනුවට ඔහු තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමාන විය. ඔහු මෙලොවට පැමිණියේ මිනිසෙකු ලෙසය.”—ෆිලි. 2:6, 7.

“බොහෝ සෙයින් යටහත්පහත්” වුණා

7, 8. යේසුස් ළමා කාලයේදිත් පසුව දේවසේවයේදිත් නිහතමානිකම පෙන්නුවේ කොහොමද?

7 යේසුස් පොළොවේ ඉන්නකොට ක්‍රියා කළ ආකාරය ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “ඔහු මිනිසෙකු ලෙස සිටියදී බොහෝ සෙයින් යටහත්පහත් වූයේය. කොතරම් යටහත් වූවාද කිවහොත් මරණය විඳීමට එනම්, වධකණුවක මරණයක් විඳීමට තරම් ඔහු දෙවිට කීකරු වූයේය.” (ෆිලි. 2:8) යේසුස්ගේ ආදර්ශයෙන් දරුවන්ටත් ඉගෙනගන්න පුළුවන්. යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් පුංචි කාලයේ ඉඳලම නිහතමානීව හිටියා. ඔහුගේ අම්මයි තාත්තයි අසම්පූර්ණ අය වුණත් ‘ඔහු දිගටම ඔවුන්ට කීකරුව හිටියා.’ (ලූක් 2:51) ඒ නිසා දරුවෙනි, යේසුස් වගේ ඔබත් දෙමාපියන්ට කැමැත්තෙන්ම කීකරු වුණොත් යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරනවා.

8 වැඩිහිටියෙක් වුණාට පසුවත් ඔහුට ඕනෑ වුණේ තමන්ගේ ආශාවන් වෙනුවට දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන්නයි. (යොහ. 4:34) දේවසේවයේදී දෙවිගේ නාමය පාවිච්චි කළ ඔහු සත්‍යය දැනගන්න කැමති අයට දෙවි ගැන නිවැරදි අවබෝධයක් ලබා දුන්නා. මිනිසුන් සඳහා වූ දෙවිගේ අරමුණ ගැන කියලා දුන්නා විතරක් නෙවෙයි කිව්ව දේවලට එකඟවත් ඔහු ජීවත් වුණා. දෙවිගේ නාමය කොතරම් වැදගත්ද කියලා ඔහු ගෝලයන්ට ඉගැන්වූ යාච්ඤාවෙන් පැහැදිලි වෙනවා. ඔහු මුල් තැන දුන්නේ දෙවිගේ නමටයි. ඔහු කිව්වේ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියා යාච්ඤා කරන්නයි. (මතෙ. 6:9) දෙවිගේ නමට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමට හවුල් වෙන්න කියලා ගෝලයන්ට දිරිගැන්නුව ඔහුත් කළේ ඒ දේමයි. ඒ නිසයි මැරෙන්න මොහොතකට කලින් ‘මම ඔබේ නාමය ගැන ගෝලයන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා’ කියලා යාච්ඤා කරන්න ඔහුට පුළුවන් වුණේ. (යොහ. 17:26) ඔහු තමන් කළ හැම දෙයකදීම ගෞරවය දුන්නේ යෙහෝවා දෙවිටයි.—යොහ. 5:19.

9. සෙකරියා පැවසූ අනාවැකිය මොකක්ද? එය ඉටු වුණේ කොහොමද?

9 ක්‍රිස්තු වර්ෂ 33 පාස්කුවට කලින් යේසුස් රජෙක් ලෙස යෙරුසලමට ඇතුල් වූ සිද්ධිය ගැන ටිකක් සිතන්න. ඒ ගැන සෙකරියා මේ වගේ අනාවැකියක් පවසා තිබුණා. “‘සියොන් දියණිය, ප්‍රීතියෙන් ඉපිල යන්න. යෙරුසලම් දියණිය, ප්‍රීති ඝෝෂා නඟන්න. මන්ද ඔබේ රජ බූරුවෙකු පිට නැඟී ඔබ වෙතට එන්නේය. ඔබේ රජු ධර්මිෂ්ඨ, නිහතමානී රජෙකි. ඔහු සතුරන්ගෙන් ජය ලබා ඔබ වෙතට එන්නේය.” (සෙක. 9:9) යේසුස් යෙරුසලමට එද්දී මුළු නගරයම මහ හඬින් ප්‍රීති ඝෝෂා නැඟුවා. ජනයා තම පිටත වස්ත්‍රත් ගස්වල අතුත් මඟ දිගේ ඇතිරුවා. සෙනඟ ඔහුව රජු ලෙස පිළිගත්තත් ඔහු හිස උදුම්මා ගන්නැතුව නිරහංකාරව හිටියා.—මතෙ. 21:4-11.

10. මරණය දක්වා කීකරුව සිටීමෙන් යේසුස් ඔප්පු කළේ මොනවාද?

10 තම මරණය දක්වාම යේසුස් නිහතමානීව හා කීකරුව ජීවත් වුණා. එමගින් යේසුස් ඔප්පු කළේ දරුණු පරීක්ෂා හමුවේ වුණත් දෙවිට විශ්වාසවන්තව ඉන්න මිනිසුන්ට පුළුවන් බවයි. යේසුස්ගේ නිහතමානිකමෙන් සාතන් පහත් චේතනා තිබෙන බොරුකාරයෙක් බව ඔප්පු වුණා. (යෝබ් 1:9-11; 2:4) යේසුස් පෙන්වූ පක්ෂපාතකමෙන් විශ්වය පාලනය කරන්න සුදුසුම තැනැත්තා යෙහෝවා දෙවි බව තහවුරු වුණා. තම පුතාගේ නොසැලෙන විශ්වාසවන්තකම ගැන දෙවි සතුටු වූ බවට කිසිම සැකයක් නැහැ.—හිතෝපදේශ 27:11 කියවන්න.

11. යේසුස්ගේ ජීවිත පූජාව නිසා කීකරු මිනිසුන්ට මොන ප්‍රස්තාවද උදා වුණේ?

11 යේසුස්ගේ ජීවිත පූජාව නිසා පව්කාර මිනිස් වර්ගයාට සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව උදා වුණා. (මතෙ. 20:28) ඒ ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් තුළින් සෑම තරාතිරමකටම අයත් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන අතර ඔවුන්ට ජීවනය හිමි වෙයි.” (රෝම 5:18) ඒ අනුව අභිෂේක ලත් අයට ස්වර්ගයේ අමරණීය ජීවනයත් ‘වෙනත් බැටළුවන්ට’ පොළොවේ සදාකාල ජීවනයත් ලබාගැනීමට හැකියි.—යොහ. 10:16; රෝම 8:16, 17.

‘මම නිහතමානී කෙනෙක්’

12. මිනිසුන් සමඟ කටයුතු කරද්දී යේසුස් මෘදුකම හා නිහතමානිකම පෙන්නුවේ කොහොමද?

12 ‘වෙහෙස වූ බරින් පීඩිත වූ අයට’ යේසුස් මේ වගේ ආරාධනාවක් කළා. “මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි.” (මතෙ. 11:28, 29) මිනිසුන්ට කාරුණිකව වගේම එක හා සමානව සලකන්න යේසුස්ට පුළුවන් වුණේ ඔහු මෘදු ගුණැති නිහතමානී කෙනෙක් වූ නිසයි. ගෝලයන්ට කරන්න බැරි දේවල් යේසුස් ඔවුන්ගෙන් කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ. ඔහු රළුපරුෂ වුණේ නැහැ. ගෝලයන්ට කිසි දෙයක් හරියට කරන්න බැහැයි කියන හැඟීම දුන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔහු ඔවුන්ව අගේ කළා. ඔවුන්ව දිරිගැන්නුවා. තමන් උගන්වන දේවල් පිළිපදිනවා නම් ඔවුන්ට සහනයක් ලැබෙන බවටත් යේසුස් පොරොන්දු වුණා. යේසුස් නිහතමානී කෙනෙක් වූ නිසා ඔහුගේ ගෝලයන්ට විතරක් නෙවෙයි බාල මහලු ස්ත්‍රී පුරුෂ හැමෝටම යේසුස් ළඟට යන්න අමාරු වුණේ නැහැ.—මතෙ. 11:30.

13. යේසුස් අසරණයන්ට දයාව පෙන්නුවේ කොහොමද?

13 ජනයා සිටි දුක්ඛිත තත්වය දුටු යේසුස් ඔවුන්ට අනුකම්පා කළා. යේසුස් යෙරිකෝවෙන් පිටව යද්දී බාතිමේයස් නම් අන්ධ හිඟන්නා හා තවත් අන්ධ හිඟන්නෙකුට කරුණාව පෙන්නුවා. ඔවුන් හඬ නඟා උපකාර ඉල්ලන විට ඔවුන්ව නිහඬ කරන්න සමූහයා උත්සාහ කළා. ටිකක් හිතන්න. ඔවුන් කාගෙවත් පිළිසරණක් නැති හිඟන්නෝ. ඒ මදිවට දෙන්නම අන්ධයි. ඕනෙ නම් ඔවුන්ව මඟහැරලා යන්න යේසුස්ට පුළුවන්කම තිබුණා. ඒත් ඔහු තම පියාව අනුකරණය කළා. ඔවුන්ට දයාව පෙන්වා ඔවුන්ව සුව කළා.—මතෙ. 20:29-34; මාක් 10:46-52.

‘නිහතමානී කෙනෙකුව උසස් කරයි’

14. යේසුස්ගේ නිහතමානිකම නිසා අන් අයට ලැබුණු ප්‍රයෝජන මොනවාද?

14 යේසුස් නිහතමානී ලෙස ජීවත් වීම යෙහෝවා දෙවිටත් මිනිසුන්ටත් බලපෑවේ කොහොමද? යේසුස් නිහතමානීව දෙවිගේ අරමුණට යටත් වූ නිසා දෙවි ඒ ගැන සතුටු වුණා. ඊට අමතරව යේසුස් මෘදු හා නිහතමානී කෙනෙක් වූ නිසා ගෝලයන්ටත් සහනයක් ලැබුණා. යේසුස්ගේ ආදර්ශය, ඉගැන්වීම් හා දිරිගැන්වීම් නිසා සත්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටින්න ඔවුන්ට හැකි වුණා. ඒ වගේම යේසුස්ගේ උපකාරය, ඉගැන්වීම් හා දිරිගැන්වීම් නිසා සාමාන්‍ය ජනයාටත් දෙවි පිළිබඳ හරි අවබෝධයක් ලබාගන්න පුළුවන් වුණා. යේසුස් යටහත්පහත් ලෙස තම ජීවිතය පූජා කළ නිසා මුළු මිනිස් වර්ගයාටම සාදාකාල ආශීර්වාද ලැබීමේ ප්‍රස්තාව උදා වුණා.

15. යේසුස්ගේ නිහතමානිකම නිසා ඔහුටම ලැබුණු ප්‍රයෝජන මොනවාද?

15 යේසුස්ගේ නිහතමානිකමෙන් අන් අය විතරක් නෙවෙයි ඔහුත් ප්‍රයෝජන ලැබුවා. වරක් යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.” (මතෙ. 23:12) ඔහු කී දේ ඒ විදිහටම ඔහු සම්බන්ධයෙනුත් ඉටු වුණා. යේසුස්ගේ නිහතමානිකම හා විශ්වාසවන්තකම නිසා ඔහු ලැබූ ප්‍රයෝජන ගැන පාවුල් විස්තර කළේ මෙහෙමයි. “දෙවි [යේසුස්ව] කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය. එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක් දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය. දෙවි එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළෝගැබෙහිද සිටින සියලුදෙනා යේසුස්ගේ නාමය පිළිගෙන ඔහුට දණ නැමීම සඳහාය. එලෙසම යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව සියලුදෙනාම ප්‍රසිද්ධියේ පිළිගැනීම සඳහාය. එයින් පියාණන් වන දෙවිට සියලු ප්‍රශංසා සහ ගෞරවය හිමි වනු ඇත.”—ෆිලි. 2:9-11.

‘නිහතමානී අය හා සත්‍යය වෙනුවෙන් සටන් කරයි’

16. යේසුස් හැමදාටම යටහත්පහත් ලෙස කටයුතු කරන බව අපි දන්නේ කොහොමද?

16 යේසුස්ට කොතරම් බලතල ලැබුණත් ඔහුගේ නිහතමානිකම නැති වෙන්නේ නැහැ. ඔහු රජු ලෙස සතුරන්ව පරාජය කරන හැටි ගීතාවලිය පොතේ සඳහන් වෙනවා. “තේජශ්‍රීයෙන් ජයග්‍රහණය කරා යන්න. නිහතමානී අය වෙනුවෙන්ද ධර්මිෂ්ඨකම සහ සත්‍යය වෙනුවෙන්ද අසු පිට නැඟී ගොස් සටන් කරන්න.” (ගීතා. 45:4) යේසුස් එය සිදු කරන්නේ හර්මගෙදොන් යුද්ධයේදියි. අවුරුදු දහසක් පාලනය කළායින් පසුවත් යේසුස් නිහතමානීව ඉඳියිද? ඔව්. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “සියලුම පාලන, බලතල හා අධිකාරිය හොබවන අයව නැති කර” ඔහු යටහත්පහත් ලෙස ‘රාජ්‍යය තම දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට භාර දෙයි.’—1 කොරින්ති 15:24-28 කියවන්න.

17, 18. (අ) දේවසේවකයන් යේසුස් මෙන් නිහතමානී වීම අත්‍යවශ්‍යය ඇයි? (ආ) ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ මොනවාද?

17 යටහත්පහත්කම සම්බන්ධයෙන් අපිට ආදර්ශයක් තැබූ යේසුස්ව අපි අනුකරණය කිරීම කොතරම් වැදගත්ද? දේවරාජ්‍යයේ රජ ලෙස ඔහු දුෂ්ටයන්ව විනාශ කරන විට ඔහු ගලවන්නේ නිහතමානී හා ධර්මිෂ්ඨ අයව විතරයි. ඒ නිසා යටහත්පහත්කම නැතහොත් නිහතමානිකම වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යයි. යේසුස්ගේ නිහතමානිකමෙන් ඔහුත් අන් අයත් ප්‍රයෝජන ලැබුවා. අපිත් නිහතමානී වෙනවා නම් ඉන් ප්‍රයෝජන ගොඩක් ලැබෙයි.

18 යේසුස්ව අනුකරණය කරන්න අපිට උපකාර වෙන්නේ මොනවාද? ඒ වගේම විවිධ බාධක මැද වුණත් යටහත්පහත් ලෙස ඉන්න අපිට පුළුවන් කොහොමද? ඊළඟ ලිපියෙන් අපි ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගනිමු.