Skip to content

පටුනට යන්න

ඔබේ ජීවිතය සාර්ථක කරගන්න

ඔබේ ජීවිතය සාර්ථක කරගන්න

“ඥානවන්තව තීරණ ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැකි වන්නේය.”—යොෂු. 1:8.

1, 2. (අ) හුඟක් අය සාර්ථක ජීවිතයක් කියලා හිතන්නේ මොන වගේ ජීවිතයකටද? (ආ) සාර්ථකත්වය ගැන ඔබ හිතන විදිහ දැනගන්න පුළුවන් කොහොමද?

සාර්ථක ජීවිතයක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් සමහරු කියයි සාර්ථක වෙන්න නම් ගොඩක් සල්ලි තියෙන්න ඕනෙ කියලා. තවත් අය කියයි යම් ක්ෂේත්‍රයකින් ඉහළට යන්න ඕනෙ නැත්නම් උසස් අධ්‍යාපනයක් තියෙන්න ඕනෙ කියලා. හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා නම්, ගොඩක් යාළුවෝ ඉන්නවා නම් ජීවිතය සාර්ථකයි කියලා තවත් අය කියයි. සභාවේ වගකීම් තියෙන, නැත්නම් දේවසේවයෙන් හොඳ ප්‍රතිඵල ලබන අය හරි සාර්ථකයි කියලා දෙවිගේ සේවකයෙක්ට හිතෙන්න පුළුවන්.

2 සාර්ථකයි කියලා ඔබ දකින කීපදෙනෙක් ගැන හිතන්න. ඔවුන් සාර්ථකයි කියලා ඔබ හිතන්නේ ඇයි? සල්ලි භාගේ තියෙන හින්දද? නැත්නම් කා අතරත් ප්‍රසිද්ධ හින්දද? එහෙමත් නැත්නම් කැපීපෙනෙන අය හින්දද? ඒ ප්‍රශ්න ගැන හිතලා බලන එකෙන් සාර්ථකත්වය ගැන ඔබේ හිතේ තියෙන අදහස ඔබට දැනගන්න පුළුවන්. (ලූක් 6:45) ඔබ ඉදිරියේදී ගන්න තීරණවලට ඒක බලපාන නිසා ඒ ගැන දැනගන්න එක ගොඩක් වැදගත්.

3. (අ) යොෂුවාට සාර්ථක වෙන්න පුළුවන් වුණේ කොහොමද? (ආ) දැන් අපි බලන්නේ මොකක්ද?

3 බැලූ බැල්මට කෙනෙක් හරි සාර්ථකයි කියලා අපිට පේන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ යෙහෝවා දෙවි ඔහුව සාර්ථක කෙනෙක් හැටියට සලකනවාද නැද්ද කියන එකයි. දෙවි සාර්ථක කෙනෙක් හැටියට සැලකුව කෙනෙක් තමයි යොෂුවා. ඊශ්‍රායෙල් සෙනඟව පොරොන්දු දේශයට රැගෙන යන බැරෑරුම් වගකීම යොෂුවාට භාර දෙද්දී දෙවි ඔහුට කිව්වේ නීතිය ‘දිවා රෑ දෙකේම කියවා’ ඒක පිළිපදින්න, එතකොට ‘ඥානවන්තව තීරණ ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට හැකි වෙනවා’ කියලයි. (යොෂු. 1:7, 8) එහෙම කරපු නිසා යොෂුවා සාර්ථක වුණා. යොෂුවා වගේ අපිටත් සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි මුලින්ම අපි යෙහෝවා දෙවි සාර්ථකත්වය ගැන හිතන විදිහ තේරුම්ගන්න ඕනෙ. දැන් අපි බයිබලයේ සඳහන් චරිත දෙකක් බලමු. එතකොට අපිට පුළුවන් සැබෑ සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න.

සලමොන් සාර්ථක ජීවිතයක් ගත කළාද?

4. සලමොන්ට සාර්ථක රජ කෙනෙක් වෙන්න පුළුවන් වුණේ ඇයි?

4 සලමොන් රජ වුණාම සෙනඟව හොඳින් රැකබලා ගන්න ප්‍රඥාව දෙන්න කියලා දෙවිගෙන් ඉල්ලුවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවිගේ නීති පිළිපැදලා දෙවිට කීකරුව ජීවත් වෙන්න සලමොන්ට ලොකු ආසාවක් තිබුණා කියලයි. ඒ නිසා දෙවි ඔහුට ප්‍රඥාව විතරක් නෙවෙයි හුඟක් ධන සම්පත්ද ලබා දුන්නා. (1 රාජාවලිය 3:10-14 කියවන්න.) ඔහුගේ ප්‍රඥාව ‘පෙරදිග රටවල විසූ සියලු වැසියන්ගේ හා ඊජිප්තුවේ විසූ සියලු වැසියන්ගේ ප්‍රඥාව අභිභවා ගියා.’ ඒ නිසා ඔහු හුඟක් ප්‍රසිද්ධ වුණා. (1 රාජා. 4:30, 31) ඔහුට කොච්චර ධන සම්පත් තිබුණාද කියනවා නම් අවුරුද්දකට රත්තරන් විතරක් කිලෝග්‍රෑම් 25,000ක් පමණ ලැබුණා. (2 ලේක. 9:13) ඔහුගේ පාලන කාලෙදී සාමකාමී වාතාවරණයක් තිබුණු අතර ඉදි කිරීම් කටයුතු අතිනුත් වෙළඳ කටයුතු අතිනුත් ඔහු කැපීපෙනෙන රජ කෙනෙක් වුණා. හැබැයි සලමොන් සාර්ථක රජ කෙනෙක් වුණේ ඔහු සතුව තිබුණු ධනය, කීර්තිය, බලය නිසා නෙවෙයි. ඔහු දෙවිට විශ්වාසවන්තව හිටිය නිසයි.—2 ලේක. 9:22-24.

5. සැබෑ සාර්ථකත්වය ගැන සලමොන් කිව්වේ මොකක්ද?

5 තමන්ට තිබුණු දේවල් නිසා තමන් සාර්ථකයි කියලා සලමොන් හිතුවේ නැහැ. මොකද ධන සම්පත්, ප්‍රසිද්ධිය වගේ දේවල් නැති අයට වුණත් සතුට හා සාර්ථකත්වය අද්දකින්න පුළුවන් කියලා ඔහු තේරුම් අරන් හිටියා. ඔහු මෙහෙම කිව්වේ ඒ නිසයි. “ජීවිත කාලය පුරාම යහපත කර සතුටු සිතින් සිටීම තරම් හොඳ දෙයක් නැති බව මම තේරුම්ගත්තෙමි. මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි. එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.” (දේශ. 3:12, 13) හැබැයි සාර්ථකත්වය අද්දකින්න නම් තියෙන්න ඕනෙ වැදගත්ම දෙයක් ගැන සලමොන් මෙහෙම කිව්වා. “සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.” ඒකෙන් පැහැදිලි වෙන්නේ සාර්ථකත්වය අද්දකින්න නම් දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙන්න ඕනෙ කියලයි.—දේශ. 12:13.

6. සැබෑ සාර්ථකත්වය ගැන සලමොන්ගේ ජීවිතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

6 ‘සලමොන් රජ තම පියා වූ දාවිත්ගේ අණපනත් පිළිපදිමින් දිගටම යෙහෝවා දෙවිට ප්‍රේම කළා.’ (1 රාජා. 3:3) අවුරුදු ගාණක් පුරා සලමොන් රජුට දෙවි එක්ක කිට්ටු බැඳීමක් තිබුණේ ඒ නිසයි. ඔහු දෙවිට විශ්වාසවන්තව හිටිය ඒ කාලය පුරා සැබෑ සාර්ථකත්වය අද්දැක්කා. දෙවිගේ මඟ පෙන්වීමෙන් ඔහු ලස්සන දේවමාලිගාවක් හැදුවා. බයිබලයේ තියෙන පොත් තුනක්ම ලියන්න දෙවි ඔහුව පාවිච්චි කළා. සලමොන්ගේ ජීවිතේ දිහා බැලුවාම සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියන එක ගැන අපිට වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. සැබෑ සාර්ථකත්වය කියන්නේ යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න එක මිසක් ධනය, බුද්ධිය, බලය, ප්‍රසිද්ධිය තියෙන එක නෙවෙයි. ඒ දේවල් ලබාගන්න උත්සාහ කරන එක හරිම නිෂ්ඵලයි. ඒක හරියට ‘සුළඟ පසුපස හඹා යනවා’ වගෙයි. ධනවතුන් දිහා බැලුවාම ඒක ඇත්තක් කියන එක පැහැදිලියි. ඒ අයට කොච්චර සල්ලි තිබුණත් මදි. තව තවත් හම්බ කරගන්න තමයි බලන්නේ. ඒ වගේම තියෙන වස්තුව ආරක්ෂා කරගන්නත් ඔවුන් කරදර වෙනවා. හැබැයි ඒ අයගේ වස්තුව කවදා හරි දවසක අයිති වෙන්නේ වෙන අයටයි.—දේශනාකාරයා 2:8-11, 17; 5:10-12 කියවන්න.

7, 8. සලමොන් දෙවිට අවිශ්වාසවන්ත වුණේ කොහොමද? ප්‍රතිඵලය මොකක්ද?

7 කාලෙකට පස්සේ සලමොන් රජ දෙවිගෙන් ඈත් වුණා. ‘වයස්ගත වෙද්දී සලමොන් රජ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම තම විශ්වාසවන්තකම දෙවිට පෙන්නුවේ නැහැ. සලමොන් රජ, යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කළා.’—1 රාජා. 11:4-6.

8 ඒ නිසා “ඔබ මාගේ ගිවිසුම කඩ කරමින් මා ඔබට දුන් පනත්වලට කීකරු නොවූ නිසා මම අනිවාර්යයෙන්ම රාජ්‍යය ඔබේ අතින් උදුරාගෙන ඔබේ සේවකයාගේ අතට දෙමි” කියලා දෙවි කිව්වා. (1 රාජා. 11:11) ජීවිතේ හුඟක් පැතිවලින් සලමොන් සාර්ථකයි කියලා පෙනෙන්න තිබුණත් ජීවිතේ වැදගත්ම පැත්තෙන් ඔහු අසාර්ථක වුණා. ඔහු අවසානය දක්වාම දෙවිට විශ්වාසවන්තව හිටියේ නැහැ. ඒකෙන් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

සැබෑ සාර්ථකත්වය අද්දැක්ක කෙනෙක්

9. සමාජය ඉදිරියේ පාවුල් සාර්ථක කෙනෙක්ද? විස්තර කරන්න.

9 පාවුල් ගත කළ ජීවිතය සලමොන්ගේ ජීවිතයට වඩා හුඟක් වෙනස්. ඔහු අගහිඟකම්වලටත් අමාරුකම්වලටත් මුහුණ දුන්නා. (2 කොරි. 11:24-27) පාවුල්ට යුදෙව් ආගමේ හොඳ පිළිගැනීමක් තිබුණත් යේසුස්ගේ අනුගාමිකයෙක් වුණාට පස්සේ ඔහුට යුදෙව් ආගමික නායකයන් වෛර කළා. ඔහුව හිරේ දැම්මා. ඔහුට පහර දුන්නා. අවස්ථා කීපයකදී කෝටුවලින් ගැහුවා. ගල්වලිනුත් ඔහුට පහර දුන්නා. තමාවත් තමා එක්ක සේවය කළ සෙසු ක්‍රිස්තියානීන්වත් සමාජය සැලකුවේ, ‘කුණු කසළ හා සමානවයි’ කියලා පාවුල්ම කිව්වා.—1 කොරි. 4:11-13.

10. පාවුල් සාර්ථක ජීවිතයකට පයින් ගැහුවා කියලා සමහරදෙනෙක්ට හිතෙන්න ඇත්තේ ඇයි?

10 යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කලින් පාවුල්ට යුදෙව් සමාජයේ හොඳ පිළිගැනීමක් තිබුණා. ඔහු ආවේ හොඳ පවුල් පසුබිමකින්. ඔහු ඉගෙනගත්තේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් වුණු ගමාලියෙල් යටතේ. යුදෙව් ආගම ගැන ඔහුට කොච්චර දැනුමක් තිබුණාද කියනවා නම් පාවුල් කිව්වේ, “මගේම වයසේ සිටි බොහෝදෙනෙකුට වඩා මම යුදෙව් ආගම තුළ මහත් දියුණුවක් ලබමින් සිටියෙමි” කියලයි. (ගලා. 1:14) පාවුල් හෙබ්‍රෙව් භාෂාවයි, ග්‍රීක භාෂාවයි හොඳට දැනගෙන හිටියා. ඔහුට රෝම පුරවැසිභාවය තිබුණු නිසා විශේෂ අයිතිවාසිකම් හිමි වුණා. ඒ හැම දෙයක්ම ඔහුට තිබුණු නිසා ඕනෙ නම් ගොඩක් සල්ලි හොයාගෙන යුදෙව් සමාජයේ ඉහළින් වැජඹෙන්න ඔහුට පුළුවන්කම තිබුණා. හැබැයි පාවුල් යේසුස් වෙනුවෙන් ඒ හැම දෙයක්ම අත්හැරියා. ඔහු ගත්තේ මොන තරම් අඥාන තීරණයක්ද කියලා ඔහුගේ නෑදෑයන්ටයි හිතමිතුරන්ටයි හිතෙන්න ඇති.

11. පාවුල් අගය කළේ මොන වගේ දේවල්ද? ඔහුගේ අධිෂ්ඨානය වුණේ මොකක්ද? ඒ ඇයි?

11 පාවුල්ට ඕනෙ වුණේ සමාජයේ ඉහළ තැනක් නෙවෙයි දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් තියාගෙන දෙවිව සතුටු කරන විදිහේ ජීවිතයක් ගත කරන්න. සත්‍යය ගැන නිවැරදි දැනුම ලබද්දී පාවුල්ට යේසුස්ගේ ජීවිත පූජාව ගැන, දේවසේවය ගැන, ස්වර්ගයේ ජීවිතය ගැන ලොකු අගයක් ඇති වුණා. ඒ වගේම සාතන් මිනිසුන් ගැන කරපු චෝදනාව බොරුයි කියලා ඔප්පු කරන්න තමාත් පෞද්ගලිකව දෙයක් කරන්න ඕනෙ කියන හැඟීම පාවුල්ට තදින්ම දැනුණා. (යෝබ් 1:9-11;2:3-5) මොන තරම් පීඩා, ප්‍රශ්න ගැටලු ආවත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න ස්ථිර අධිෂ්ඨානයක් පාවුල් අරන් තිබුණේ ඒ නිසයි. අද සමාජයේ ඉන්න ගොඩක් අය සාර්ථක වෙන්න උත්සාහ කරන්නේ ඒ පැත්තෙන් නෙවෙයි.

12. දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔබ තීරණයක් ගත්තේ ඇයි?

12 දෙවිට විශ්වාසවන්තව ජීවත් වෙන එක හැම වෙලාවෙම ලේසි දෙයක් නෙවෙයි. හැබැයි සැබෑ සාර්ථකත්වය අද්දකින්න නම් අපි දෙවිට විශ්වාසවන්තව ඉන්නම ඕනෙ. එහෙම ඉන්නකොට දැනුත් සදහටමත් දෙවිගේ ආශීර්වාද ලබාගන්න පුළුවන්. (හිතෝ. 10:22; මාක් 10:29, 30 කියවන්න.) ඇත්තටම ‘අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව දෙන දෙවි කෙරෙහි අපේ බලාපොරොත්තු තබන්න’ මොන තරම් හොඳ හේතු තියෙනවද! අපි එහෙම කරද්දී ‘අනාගතය සඳහා ස්ථිර අඩිතාලමක් ගොඩනැඟීමේ කාර්යය වස්තුවක් ලෙස සලකා එය රැකගැනීමට අපිට හැකි වන අතර සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමටත් අපි සමත් වෙනවා.’ (1 තිමෝ. 6:17-19) දෙවිට විශ්වාසවන්තව ජීවත් වෙන්න අපි දැන් ඉඳන්ම අධිෂ්ඨානයක් අරන් තියෙනවා නම් අපිට කවදාවත් ඒ ගැන පසුතැවෙන්න වෙන්නේ නැහැ.

සාර්ථකත්වයට මඟ වස්තුවද?

13. වස්තුව රැස් කරගන්න එක ගැන යේසුස් කිව්වේ මොකක්ද?

13 යේසුස් මෙහෙම දෙයක් කිව්වා. “තවදුරටත් මෙලොවෙහි වස්තු රැස් කර නොගන්න. මන්ද කාවෝ සහ මලකඩ නිසා ඒවා නාස්ති වී යයි. සොරුන් ඇවිත් ඒවා සොරාගනියි. ඒ වෙනුවට ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න. එහිදී කාවන්ටවත් මලකඩවලටවත් ඒවා නාස්ති කරන්න බැහැ. සොරුන්ටවත් ඇවිත් ඒවා සොරාගන්න බැහැ. ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් ඇත්තේ එතැනමයි.”—මතෙ. 6:19-21.

14. වස්තුව රැස් කරගන්න එක අඥාන දෙයක් වෙන්නේ ඇයි?

14 වස්තුව කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ කෙනෙක්ට තියෙන ධන සම්පත් විතරක් නෙවෙයි. ප්‍රසිද්ධිය, බලය, ගරු නම්බු වගේ දේවලුත් ඒකට අයිතියි. යේසුස් කිව්වේ ඒ හැම දෙයක්ම හරිම අවිනිශ්චිතයි කියලයි. ඒ ගැන මහාචාර්ය එෆ්. ඩේල් බෲන අදහස් දක්වලා තියෙනවා. ඔහු කියන විදිහට ‘ජනප්‍රියත්වය හැමදාටම තියෙන දෙයක් නෙවෙයි. අද ජනප්‍රිය කෙනාව හෙට වෙද්දී මිනිසුන්ට මතකත් නැහැ. මේ අවුරුද්දේ ගොඩක් සල්ලි හම්බ කරන කෙනාට ලබන අවුරුද්දේ ඒ සල්ලි නැති වෙන්නත් පුළුවන්.’ ඔහු තවදුරටත් කියන්නේ ‘වස්තුව, ධන සම්පත් පස්සේ යන අය අන්තිමේදී කලකිරීමට පත් වෙනවා’ කියලයි. ගොඩක් අය මහාචාර්යවරයා කියපු ඒ දේ පිළිගත්තට ඒක අදාළ කරගන්නේ කීයෙන් කීදෙනාද? වස්තුව රැස් කරගන්න එපා කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ ඇත්තටම ඒ අයට තියෙන ආදරේ නිසයි. මොකද ඒ දේවල් අවිනිශ්චිත නිසා ඒවා පස්සේ යන අයට ඉතුරු වෙන්නේ දුක විතරයි කියලා ඔහු දැනගෙන හිටියා.

15. අපි උත්සාහ කරන්න ඕනෙ මොන විදිහෙන් සාර්ථක වෙන්නද?

15 සමහර ආගමික නායකයන් සාර්ථකත්වය ගැන උගන්වන්නේ හරිම විකෘති අදහස්. ඔවුන් කියන්නේ සාර්ථක ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන එක වැරදියි කියලයි. හැබැයි යේසුස් කිව්වේ ඇත්තටම සාර්ථක ජීවිතයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් අරන් ඒක ලබාගන්න උත්සාහ කරන්න කියලා. “ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. අපේ එකම ආසාව වෙන්න ඕනෙ යෙහෝවා දෙවි සාර්ථකයි කියලා හිතන කෙනෙක් වෙන්න. හැබැයි අපි වස්තුව රැස් කරන්නේ මේ පොළොවේද නැත්නම් ස්වර්ගයේද කියන එක අපි එක් එක් කෙනා ගන්න ඕනෙ තීරණයක්. හුඟක් වෙලාවට ඒ තීරණයට බලපාන්නේ සාර්ථකත්වය ගැන අපි එක් එක් කෙනා හිතන විදිහයි.

16. අපිට නිසැක වෙන්න පුළුවන් මොනවා ගැනද?

16 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ජීවත් වෙන්න අපි අවංකව උත්සාහ කරනවා නම් අපිට අවශ්‍ය දේවල් දෙවි ලබා දෙයි කියලා නිසැක වෙන්න පුළුවන්. පාවුල්ට වගේ අපිටත් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. (1 කොරි. 4:11) ඒ වුණත් දෙවි අපිව රැකබලා ගන්නවා. ඒ ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. “‘කන්නේ බොන්නේ මොනවාද’ කියාවත් ‘අඳින්නේ මොනවාද’ කියාවත් සිතමින් කිසිවිටක කනස්සලු නොවන්න. ජනයා මහත් උනන්දුවකින් හඹා යන්නේ ඒ දේවල් පසුපසයි. නමුත් ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න. එහෙයින් නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.”—මතෙ. 6:31-33.

දෙවි ඔබව සාර්ථක කෙනෙක් හැටියට සලකයිද?

17, 18. (අ) සැබෑ සාර්ථකත්වය කියන්නේ මොකක්ද? (ආ) සාර්ථක වෙන්න අත්‍යවශ්‍ය නැත්තේ මොනවද?

17 සාර්ථක කෙනෙක් කියන්නේ වැඩිදෙනෙක් හිතනවා වගේ සමාජයේ හිණි පෙත්තටම නැඟලා ඉන්න, සල්ලි භාගෙන් කිසි අඩුවක් නැති කෙනෙක්ට නෙවෙයි. ඒ වගේම කෙනෙක්ගේ සාර්ථකත්වය සභාවේ ඔහුට තියෙන වගකීම් දිහා බලලා තීරණය කරන්නත් බැහැ. සැබෑ සාර්ථකත්වය කියන්නේ දෙවිට විශ්වාසවන්තව ඉන්න එකටයි. කෙනෙක්ට සභාවේ යම් වගකීම් ලැබෙන්නෙත් ඒ විශ්වාසවන්තකම හින්දයි. ‘යම් දෙයක් කෙනෙකුට භාර දී ඇත්නම් ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ එය විශ්වාසවන්තව ඉටු කිරීමයි’ කියලා බයිබලයේ කියලා තියෙනවා. (1 කොරි. 4:2) ඒ නිසා අපි හැම කෙනෙක්ම යේසුස් කියපු විදිහට ‘අවසානය දක්වාම විඳදරාගෙන’ විශ්වාසවන්තව ඉන්න උත්සාහ කරන්න ඕනෙ. මොකද එහෙම කළොත් තමයි ගැලවීම ලබන්න පුළුවන් වෙන්නේ. (මතෙ. 10:22) විශ්වාසවන්තව ඉඳලා ගැලවීම ලබන එක සාර්ථකත්වයක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද!

18 දෙවිට විශ්වාසවන්තව ඉන්න උගත්කම, ප්‍රසිද්ධිය, පවුල් පසුබිම, දක්ෂතා වැදගත් නැහැ. ඕනම තරාතිරමක ඉන්න කෙනෙක්ට දෙවිට විශ්වාසවන්තව ඉන්න පුළුවන්. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට පාවුල් කිව්වේ ‘යහපත් දේවල් කිරීමටත් යහපත් ක්‍රියාවලින් පොහොසත් වීමටත් ත්‍යාගශීලී වීමටත් අනුන් සමඟ බෙදාගැනීමටත් සූදානම් වී සිටින්න’ කියලයි. ඒ උපදෙස අදාළ කරගත්ත දුප්පත් පොහොසත් දෙගොල්ලන්ටම ‘සැබෑ ජීවිතය තදින් අල්ලගන්න’ පුළුවන් වුණා. (1 තිමෝ. 6:17-19) ඒ වගේ අදත් අපි මොන පසුබිමකින් ආවත් අපි හැමෝම කරන්න ඕනෙ දෙවිට විශ්වාසවන්තව ඉඳලා යහපත් ක්‍රියාවලින් පොහොසත්ව ඉන්න එකයි. අපි එහෙම කරනවා නම් දෙවි අපිව සාර්ථක අය හැටියට සලකනවා. ඒ වගේම දෙවිගේ හිත සතුටු කරන්න ලැබීමෙන් අපිට ලොකු ප්‍රීතියකුත් ලැබෙනවා.—හිතෝ. 27:11.

19. ඔබේ අදිටන මොකක්ද?

19 ජීවිතේ මොන දේකට මුහුණ දෙන්න සිද්ධ වුණත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න අදිටන් කරගමු. එතකොට දැනුත් සදහටමත් දෙවිගේ ආශීර්වාද අපිට ලබන්න පුළුවන්. යේසුස් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට කියපු මේ වදන් අමතක කරන්න එපා. “ඔබට මිය යන්න සිදු වුණත් විශ්වාසවන්තව සිටින්න. එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.” (එළි. 2:10) දෙවිට විශ්වාසවන්තව ඉඳලා ජය ගන්න එකයි සැබෑ සාර්ථකත්වය!