Skip to content

පටුනට යන්න

ඔබ විශ්වාසවන්ත සේවකයෙක්

ඔබ විශ්වාසවන්ත සේවකයෙක්

“ඔබේ අයිතිකරු ඔබ නොවේ.”—1 කොරි. 6:19.

1. කවුරුත් කාගෙවත් දාසයෙක් වෙන්න කැමති නැත්තේ ඇයි?

දාසයෙක් කියද්දී ඔබට මතක් වෙන්නේ මොන වගේ කෙනෙක්වද? අතීතයේ ඉඳන්ම දාසයන්ට සැලකුවේ කුරිරු විදිහටයි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගත්තා. කොයි තරම් වැඩ කළත් දාසයන්ට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. එහෙම බලද්දී කවුරුත් කැමති නැහැ කාගෙවත් දාසයෙක් වෙන්න.

2, 3. (අ) යේසුස් තම දාසයන්ට සලකන්නේ කොහොමද? (ආ) මේ ලිපියේ සලකා බලන ප්‍රශ්න මොනවද?

2 හැබැයි යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව හැඳින්නුවේ දාසයන් හැටියටයි. ඔවුන්ව පහත් කරලා කුරිරු විදිහට සලකනවා වෙනුවට ඔහු කිව්වේ ඔවුන්ව විශ්වාස කරමින් ඔවුන්ට ගෞරවයෙන් සලකනවා කියලයි. ඒක තේරුම්ගන්න යේසුස් ‘දාසයෙක්’ ගැන කියපු දේ බලන්න. ඒ දාසයාව යේසුස් හැඳින්නුවේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” හැටියටයි.—මතෙ. 24:45-47.

3 යේසුස් පැවසූ දේම ලූක් වාර්තා කරද්දී ඔහු “දාසයා” වෙනුවට භාවිත කරන්නේ “සේවකයා” යන වචනයයි. (ලූක් 12:42-44 කියවන්න.) එහිදී යේසුස් කතා කළේ අභිෂේක ලත් අය ගැන වුණත් යෙහෝවා දෙවිට නමස්කාර කරන අපි සියලුදෙනාම විශ්වාසවන්ත සේවකයන්. දෙවිගේ සේවකයන් හැටියට අපිට තිබෙන වගකීම් මොනවද? අපිට ඒ ගැන හැඟෙන්න ඕනෙ කොහොමද? මුලින්ම අපි අතීතයේදී නිවසක සිටි සේවකයෙකුගේ වගකීම් ගැන ටිකක් කතා කරමු.

සේවකයෙකුට තිබූ වගකීම්

4, 5. අතීතයේ නිවසක සිටි සේවකයෙකුට තිබුණේ මොන වගේ වගකීම්ද? ඒ වගේ සේවකයන් කිහිපදෙනෙක් ගැන උදාහරණ දෙන්න.

4 ඒ කාලයේදී සමහර නිවෙස්වල දාසයන් කිහිපදෙනෙක් හිටියා. ඔවුන් අතරින් ස්වාමියාගේ විශ්වාසය දිනාගත් කෙනෙකුට ඒ ගෙදරත් ස්වාමියාගේ ව්‍යාපාරයෙත් වැඩකටයුතු බලාගන්න භාර දුන්නා. තම ස්වාමියාගේ දේපළ හා මුදල් ගැන වගකීම භාර දීලා තිබුණෙත් ඔහුටයි. නිවසේ සිටි අනිත් දාසයන් සිටියෙත් ඔහුගේ භාරයේයි. ආබ්‍රහම්ගේ සේවකයා වූ එලියේසර් ඒ වගේ කෙනෙක්. ආබ්‍රහම්ට අයිති හැම දෙයක්ම බලා කියා ගැනීමේ වගකීම තිබුණේ ඔහුටයි. ඊසාක්ට බිරිඳක් සොයා දීම වැනි බැරෑරුම් වගකීමක් ආබ්‍රහම් භාර දෙන්න ඇත්තේ ඔහුටයි.—උත්. 13:2; 15:2; 24:2-4.

5 ඒ වගේ තවත් සේවකයෙක් තමයි යෝසෙප්. පොතිෆර් තමන්ගේ නිවසේ හැම දෙයක්ම භාර දීලා තිබුණේ ඔහුට. (උත්. 39:1,2,4) පස්සේ කාලෙක යෝසෙප්ටත් ඒ වගේ සේවකයෙක් හිටියා. යෝසෙප්ගේ සහෝදරයන්ව පිළි අරන් ඔවුන්ට අවශ්‍ය දේවල් සැපයුවේ “යෝසෙප්ගේ නිවස භාරව සිටි” ඒ සේවකයායි. යෝසෙප් තමන්ගේ සහෝදරයන්ව පරීක්ෂා කරන්න යොදපු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට භාර දුන්නෙත් ඔහුටයි. ස්වාමියා තමන්ගේ නිවස භාරව සිටි සේවකයාව කොයි තරම් විශ්වාස කළාද කියා ඉන් පැහැදිලියි.—උත්. 43:19-25; 44:1-12.

6. වැඩිමහල්ලන්ට තිබෙන වගකීම් මොනවද?

6 වැඩිමහල්ලන්ව බයිබලයේ හඳුන්වන්නෙත් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් කියලයි. (තීත. 1:7) ඔවුන් “දෙවිගේ රැළ” රැකබලා ගන්නවා. (1 පේතෘ. 5:1, 2) ඔවුන්ගේ වගකීම් විවිධයි. උදාහරණයකට වැඩිමහල්ලන් වැඩි පිරිසක් තමන්ට අයිති සභාවල සේවය කරනවා. තවත් අය සංචාරක සේවකයන් විදිහට සභාවන් රාශියක් බලා කියා ගන්නවා. තවත් අය ශාඛා කමිටුවේ සාමාජිකයන් හැටියට මුළු රටේම සභාවන් බලාගන්නවා. ඔවුන්ගේ වගකීම මොකක් වුණත් එය උපරිමයෙන් කරයි කියලා ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඔවුන් හැම කෙනෙක්ම දෙවිට ‘ගණන් දිය යුතුයි.’—හෙබ්‍රෙ. 13:17.

7. යෙහෝවා දෙවිට නමස්කාර කරන සියලුදෙනාවම විශ්වාසවන්ත සේවකයන් කියලා හඳුන්වන්න පුළුවන් ඇයි?

7 වැඩිමහල්ලන් නොවන අයවත් දෙවි සලකන්නේ විශ්වාසවන්ත සේවකයන් හැටියටයි. පේතෘස් මෙහෙම කිව්වා. “සෑම කෙනෙකුටම විවිධාකාර දීමනා ලබා දී තිබෙන නිසා විවිධාකාරව දක්නට ලැබෙන දෙවිගේ මහත් කරුණාව ලබා ඇති යහපත් භාරකරුවන් ලෙස එම දීමනා එකිනෙකාට සේවය කිරීම සඳහා භාවිත කරන්න.” (1 පේතෘ. 1:1; 4:10) යෙහෝවා දෙවි අපි හැමෝටම විවිධ හැකියාවන් වැනි දීමනා රාශියක් දීලා තියෙනවා. ඒවා යොදාගෙන අපේ සහෝදර සහෝදරියන්ට සේවය කිරීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. එම දීමනා දීමෙන් දෙවි අපිට ගෞරවය කරනවා කියලත් අපිව විශ්වාස කරනවා කියලත් පෙන්නලා තියෙනවා.

අපි අයිති දෙවිටයි

8. දෙවිගේ සේවකයන් හැටියට අපි මතක තියාගන්න ඕනෙ එක දෙයක් මොකක්ද?

8 දෙවිගේ සේවකයන් හැටියට අපි මතක තියාගන්න ඕනෙ දේවල් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අපි අයිති දෙවිට නිසා දෙවි සතුටු වෙන විදිහට අපි ජීවත් වෙන්න ඕනෙ කියන එක. පාවුල් කියනවා “ඔබේ අයිතිකරු ඔබ නොවේ. මන්ද ඔබව මිල දී ගත්තේ ඉතා වටිනා යමක් දීමෙනි” කියලා. ඒ වටිනා දේ තමයි යේසුස්ගේ ජීවිතය. (1 කොරි. 6:19, 20) දැන් අපි අයිති යෙහෝවා දෙවිට නිසා ඔහුගේ නීතිරීතිවලට අපි කීකරු වෙයි කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒවා පිළිපදින එක අමාරු නැහැ. (රෝම 14:8; 1 යොහ. 5:3) අතීතයේ නිවසක වැඩකටයුතු භාර දීලා තිබුණු සේවකයා ගැන හිතන්න. ඔහුට නිදහස තිබුණා වගේ අපටත් නිදහස තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අපිට ඕනෙ දෙයක් කරන්න පුළුවන් කියන එක නෙවෙයි. අපිට දීලා තියෙන උපදෙස් අපි පිළිපදින්නත් ඕනෙ. මොන වගකීම් දැරුවත් අපි හැමෝම දෙවිගෙත් යේසුස්ගෙත් සේවකයන්.

9. දාසයෙකුගෙන් බලාපොරොත්තු වෙන දේ ගැන යේසුස් පැවසුවේ මොකක්ද?

9 ස්වාමියෙක් තම සේවකයාගෙන් බලාපොරොත්තු වන දේ තේරුම්ගන්න යේසුස් පුංචි කතාවක් කිව්වා. ඒ කතාවේ හැටියට මුළු දවසෙම වෙහෙස වෙලා වැඩ කරපු සේවකයෙක් ගෙදර ආවට පස්සේ “ඇවිත් කෑමට ඉඳගන්න” කියලා ස්වාමියා ඔහුට කියයිද කියලා යේසුස් ඇහුවා. නැහැ. ඒ වෙනුවට ස්වාමියා කියන්නේ මෙහෙමයි. “මගේ රෑ කෑමට මොනව හරි පිළියෙල කරන්න. ඉන්පසු ලෑස්ති වී මා කා බී අවසන් වන තුරු මා ළඟ ඉඳ මට අවශ්‍ය දේ සපයන්න. ඊටපස්සේ ඔබට පුළුවන් කන්න බොන්න.” ඒ කතාවෙන් දෙන්න හදපු පාඩම යේසුස් මෙහෙම විස්තර කළා. ‘ඔබත් මේ දාසයා හා සමාන බව මතක තබාගත යුතුයි. ඔබට පවරා තිබෙන සෑම දෙයක්ම කළ පසු, ඔබ නිකම්ම නිකම් දාසයෝ පමණයි. ඔබ කළේ ඔබ කළ යුතු දේ විතරයි.’—ලූක් 17:7-10.

10. යෙහෝවා දෙවි වෙනුවෙන් අපි කරන හැම දෙයක්ම දෙවි අගය කරනවා කියලා අපි දන්නේ කොහොමද?

10 සාමාන්‍ය ස්වාමියෙකුට වඩා වෙනස්ව යෙහෝවා දෙවි අපි කරන සෑම දෙයක්ම අගය කරනවා. “ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.” (හෙබ්‍රෙ. 6:10) දෙවි අපිට කරන්න කියන්නේ අපිට කරන්න පුළුවන් දේයි. ඒ අපේම යහපතටයි. යේසුස් කිව්ව කතාවේ දාසයා හැම තිස්සේම හිතුවේ තමාගේ ස්වාමියා ගැනයි. ඒ වගේ අපේ ජීවිතය දෙවිට කැප කරද්දී ජීවිතේ මුල් තැන දෙවිට දෙන්න අපි තීරණය කරනවා.

අපෙන් බලාපොරොත්තු වෙන දේවල්

11, 12. අපි බැඳිලා ඉන්නේ මොනා කරන්නද? දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

11 අපි මතක තියාගන්න ඕනෙ දෙවෙනි දේ තමයි අපි හැමෝම දෙවිගේ සේවකයන් නිසා දෙවි අපි හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන දේවල් එක සමානයි කියන එක. දෙවිගේ සංවිධානයේ සමහර අයට වෙනත් අයට වඩා වැඩියෙන් වගකීම් තියෙන බව ඇත්තයි. ඒ වුණත් පොදුවේ බලද්දී අපි හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන දේවල් එක සමානයි. උදාහරණයකට එකිනෙකාට ප්‍රේම කරන්න අපි හැමෝම බැඳිලා ඉන්නවා. එහෙම කරනවා නම් අපි යේසුස්ගේ ගෝලයන් කියලා මිනිස්සු දැනගන්නවා. (යොහ. 13:35) අපි සභාවේ අයට විතරක් නෙවෙයි හැමෝටම ප්‍රේම කරනවා. ඒක අපි හැමෝටම කරන්න පුළුවන් වගේම අපි කළ යුතු දෙයක්.

12 දෙවි කැමති දේවල් කරන එකත් අකමැති දේවල් නොකර ඉන්න එකත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. “වේශ්‍යාකම් කරන අයටවත් රූප වන්දනාවේ යෙදෙන අයටවත් අනාචාරයේ හැසිරෙන අයටවත් සමලිංගික පුරුෂයන්ටවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙමින් සමලිංගික ක්‍රියාවලට හවුල් වන පිරිමින්ටවත්, සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත් බේබද්දන්ටවත් නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.” (1 කොරි. 6:9, 10) හරි දේ කරන එක හැම තිස්සේම ලේසි නැහැ. ඒත් අමාරුවෙන් හරි එහෙම කළොත් ප්‍රයෝජන අපිටමයි. හොඳ සෞඛ්‍යයක්, අනිත් අයත් එක්ක හොඳ බැඳීමක් සහ දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම එවැනි ප්‍රයෝජනවලින් කිහිපයක්.—යෙසායා 48:17, 18 කියවන්න.

13, 14. අපි හැමෝටම දෙවි භාර දීලා තියෙන වැඩ කොටස මොකක්ද? ඒ ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

13 අතීතයේ නිවස භාරව හිටපු සේවකයාට යම් වැඩ කොටසක් භාර දීලා තිබුණා. ඔහු ඒක ඉටු කරයි කියලා ස්වාමියා බලාපොරොත්තු වුණා. දෙවිගේ සේවකයන් හැටියට දෙවිත් අපිට වැඩ කොටසක් භාර දීලා තියෙනවා. ඒ තමයි දෙවි පිළිබඳ සත්‍යය අනිත් අයට කියලා දෙන එක. අපි ඒක ඉටු කරයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. (මතෙ. 28:19, 20) ක්‍රිස්තුස් යටතේ වැඩ කරන සේවකයන්ව පාවුල් හැඳින්නුවේ “දෙවිගේ පරිශුද්ධ රහස් එළිදරව් කිරීමේ කාර්යය භාර දී ඇති අය” විදිහටයි. (1 කොරි. 4:1) “දෙවිගේ පරිශුද්ධ රහස්” ඒ කියන්නේ දෙවි පිළිබඳ සත්‍යය, අනිත් අයට කියා දීමේ වගකීම තමාට භාර දීලා තියෙනවා කියලා පාවුල් දැනගෙන හිටියා. එම වගකීම ඉටු කරයි කියලා යේසුස් ඔහුගෙන් බලාපොරොත්තු වුණා.—1 කොරි. 9:16.

14 අපි අනිත් අයට දෙවි ගැන කියා දෙද්දී ඒකෙන් පෙන්වන්නේ අපි ඔවුන්ට ප්‍රේම කරනවා කියලයි. අපි එක් එක් කෙනාගේ තත්වයන් වෙනස් නිසා අපි දෙවිට සේවය කරන ප්‍රමාණයත් එකිනෙකාට වෙනස්. දෙවි ඒක තේරුම්ගන්නවා. නමුත් වැදගත් වෙන්නේ අපේ උපරිමයෙන් දෙවිට සේවය කරන එකයි. එහෙම කරද්දී අපි දෙවිටත් මිනිසුන්ටත් ප්‍රේම කරන බව ඔප්පු වෙනවා.

විශ්වාසවන්ත සේවකයෙක් වීම අත්‍යවශ්‍යයි

15-17. (අ) සේවකයෙක් විශ්වාසවන්ත වෙන්න ඕනෙ ඇයි? (ආ) අවිශ්වාසවන්ත වීමෙන් සිදු වන දේ යේසුස් පැහැදිලි කළේ කොහොමද?

15 අපි මතක තියාගන්න ඕනෙ තුන්වෙනි දේ තමයි දෙවිට කීකරු වීමෙන් අපේ විශ්වාසවන්තකම ඔප්පු කරන්න ඕනෙ කියන එක. නිවස භාර සේවකයාට හොඳ ගතිගුණ, හැකියාවන් කොච්චර තිබුණත් ඔහු අකීකරු නම් ඔහුගෙන් වැඩක් නැහැ. ස්වාමියාව සතුටු කරන්නත්, තමන්ට භාර දුන්න වැඩ කොටස හරියට කරන්නත් ඔහුට ඕනෙ නම් ඔහු කීකරු වෙලා විශ්වාසවන්තකම ඔප්පු කරන්න ඕනෙ. ‘යම් දෙයක් කෙනෙකුට භාර දී ඇත්නම් ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ එය විශ්වාසවන්තව ඉටු කිරීමයි’ කියලා පාවුල් කිව්වේ ඒ නිසයි.—1 කොරි. 4:2.

16 අපි විශ්වාසවන්තව හිටියොත් දෙවි අනිවාර්යයෙන්ම අපිට ආශීර්වාද කරනවා. හැබැයි අපි අකීකරු වුණොත් දෙවිගේ අනුමැතිය අපිට අහිමි වෙනවා. තලෙන්ත ගැන යේසුස් කිව්ව උපමාවෙන් අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. තමන්ට භාර දුන්න මුදල යොදවලා “වෙළඳාම්” කරපු විශ්වාසවන්ත සේවකයන්ට ස්වාමියා ප්‍රශංසා කරලා ඔවුන්ට තවත් වගකීම් වගේම ඔහු එක්ක ප්‍රීති වෙන්නත් අවස්ථාව දුන්නා. ඒත් ස්වාමියාට අකීකරු වුණු සේවකයාව සැලකුවේ දුෂ්ට, කම්මැළි, කිසි වැඩකට නැති දාසයෙක් විදිහටයි. ඔහුට දුන්න දේත් ඔහුගෙන් අරගෙන ඔහුව අයින් කළා.—මතෙව් 25:14-18, 23, 26, 28-30 කියවන්න.

17 යේසුස් තවත් අවස්ථාවක මෙහෙම කිව්වා. “එක්තරා ධනවත් මිනිසෙක් තම නිවසේ වැඩකටයුතු සේවකයෙකුට භාර දී තිබුණා. ඒ සේවකයා තමන්ගේ දේපොළ නැති නාස්ති කර දමනවා කියා ඒ මිනිසාට දැනගන්න ලැබුණා. ඒ නිසා ඔහු ඒ සේවකයාව කැඳවා, ‘ඔබට විරුද්ධව චෝදනාවක් තිබෙනවා. ඒ නිසා ඔබට දී තිබෙන සියලු වගකීම් මම නැවත ගන්නවා. සෑම දෙයක්ම මට ආපසු භාර දෙන්න’ කියා ඔහුට පැවසුවා.” (ලූක් 16:1, 2) ස්වාමියාට අයිති දේවල් නැති නාස්ති කරපු ඒ සේවකයාව ස්වාමියා අයින් කළා. අපි නිතරම දෙවි අපෙන් බලාපොරොත්තු වෙන ඕනෙම දෙයක් අපේ උපරිමයෙන් කරලා විශ්වාසවන්තකම ඔප්පු කරමු.

සසඳන්න එපා

18. අපිව අනිත් අයත් එක්ක සසඳන්න හොඳ නැත්තේ ඇයි?

18 ‘මම මොන වගේ සේවකයෙක්ද’ කියලා අපි අපෙන්ම අහගමු. ඒත් අනිත් අයත් එක්ක අපිව සන්සන්දනය කරන එක සුදුසු නැහැ. “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.” (ගලා. 6:4) අනිත් අයත් එක්ක සසඳනවා වෙනුවට අපිට කරන්න පුළුවන් දේ කරමු. එතකොට අපි කලකිරෙන්නේ නැහැ. ඒ වගේම කරන දේ තවත් වැඩියෙන් කරන්න පුළුවන්ද කියලා හිතලා උපරිමය කරමු. එහෙම කළොත් අපි උඩඟු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ තත්වයන් වෙනස් වෙනවා. අසනීප, මහලු විය නැත්නම් වෙනත් වගකීම් නිසා ඉස්සර කළා වගේ දේවල් කරන්න බැරුව ඇති. එහෙම නැත්නම් අපි කලින් කළාට වඩා දේවල් දැන් කරන්න පුළුවන් ඇති. එහෙමනම් වැඩියෙන් සේවය කරන එක ගැන හිතලා බලමු.

19. යම් වගකීමක් බලාපොරොත්තු වුණු තරම් ඉක්මනින් ලැබුණේ නැහැ කියලා අපි කලකිරෙන්න හොඳ නැත්තේ ඇයි?

19 අපි කරන්න ආසාවෙන් ඉන්න වගකීම් අනිත් අයට ලැබෙද්දී ඒ අයත් එක්ක අපිව සසඳන්න හොඳ නැහැ. කෙනෙක් වැඩිමහල්ලෙක් වෙන්න හරි සමුළුවක කතාවක් දෙන්න හරි ආසාවෙන් ඉන්නවා කියලා හිතන්න. ඒ වගකීම් අත් කරගන්න උත්සාහ කරන එකේ වරදක් නැහැ. ඒත් ඒවා බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට ලැබුණේ නැහැ කියලා කලකිරෙන්න හොඳ නැහැ. එහෙම වෙන්නේ ඇයි කියලා අපිට දැන් තේරෙන්නේ නැතුව ඇති. උදාහරණයකට මෝසෙස් හිතුවා ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගන්න තමන් ඉන්නේ සුදුසු තත්වයකයි කියලා. ඒත් ඒ පැවරුම ලැබෙනකල් ඔහුට අවුරුදු 40ක් බලාගෙන ඉන්න වුණා. ඒ කාලය තුළ හොඳ ගතිගුණ වර්ධනය කරගන්න ඔහුට පුළුවන් වුණා. ඒ නිසා පසු කාලයකදී කැරලිකාර මුරණ්ඩු ඊශ්‍රායෙල්වරුන් එක්ක වැඩ කරන්න ඒ ගතිගුණ ප්‍රයෝජනවත් වුණා.—ක්‍රියා 7:22-25, 30-34.

20. යොනාතාන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

20 ඔබ බලාපොරොත්තුවෙන් ඉන්න වගකීමක් ලැබෙන්නෙම නැහැ කියලා හිතන්න. එතකොට මොකද කරන්නේ? යොනාතාන්ව ඔබට මතකද? සාවුල්ගෙන් පස්සේ රජකම උරුම වෙන්න තිබුණේ ඔහුටයි. ඒත් ඔහුට වඩා වයසින් හුඟක් බාල දාවිත්ව දෙවි රජකමට තෝරගත්තා. ඒක දැනගත්තාම යොනාතාන් මොකද කළේ? ඔහු දෙවිගේ තීරණය පිළිගත්තා විතරක් නෙවෙයි, තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව දාවිත්ට උදව් කළා. ඔහු දාවිත්ට කිව්වේ “ඔබ ඊශ්‍රායෙල්හි රජ වන බව ස්ථිරයි. මම කැමැත්තෙන්ම ඔබට යටත් වෙනවා” කියලා. (1 සාමු. 23:17) ඔහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? ඔහු තමන්ට ලැබුණේ නැති දේ ගැන කෙඳිරිගෑවේවත් දාවිත්ට ඊර්ෂ්‍යා කළේවත් නැහැ. අනිත් අයට වගකීම් ලැබෙද්දී ඔවුන්ට ඊර්ෂ්‍යා කරනවා වෙනුවට අපිට තියෙන වගකීම් උපරිමයෙන් කරන්න උත්සාහ කරමු. පාරාදීස පොළොවේදී දෙවි ඔහුගේ සෑම සේවකයෙකුගේම ආසාවන් ඉටු කරන බව නිසැකයි.

21. දෙවිට කරන සේවය ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

21 අපේ යෙහෝවා දෙවි අපිට කෲර විදිහට සලකන දෙවි කෙනෙක් නෙවෙයි. ඔහු අපි දිහා බලන්නේ බලෙන් වැඩ ගන්න පුළුවන් දාසයන් හැටියටත් නෙවෙයි. ඒ වෙනුවට ඔහු අපිව විශ්වාස කරනවා. අපිට වැදගත් වගකීම් භාර දීමෙන් අපිට ගෞරව කරනවා. ඒවලින් එකක් අපිට කවදාවත් ආපහු කරන්න නොලැබෙන වගකීමක්. ඒ තමයි ශුභාරංචිය දේශනා කිරීම. අපිට දීලා තියෙන වගකීම් ඉටු කරන්නේ කොහොමද කියලා තීරණය කරන්නත් ඔහු අපිට නිදහස දීලා තියෙනවා. ඒ නිසා අපිව මෙච්චර විශ්වාස කරන යෙහෝවා දෙවිට අපිත් විශ්වාසවන්ත සේවකයන් වෙමු. ඒ වගේ දෙවි කෙනෙකුගේ සේවකයෙක් වීමට ලැබිලා තියෙන වරප්‍රසාදය අපි ගෞරවයක් ලෙස සලකමු.