Skip to content

පටුනට යන්න

“තාවකාලික පදිංචිකරුවන්” ලෙස ජීවත් වෙමු

“තාවකාලික පදිංචිකරුවන්” ලෙස ජීවත් වෙමු

‘විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන් වන ඔබට මා උනන්දු කරන්නේ ඔබේම පව්කාර ආශාවලින් දිගටම වැළකී සිටින්න කියාය.’—1 පේතෘ. 2:11.

1, 2. “තෝරාගනු ලැබූ අය” විදිහට පාවුල් හැඳින්නුවේ කාවද? ඔවුන්ව “තාවකාලික පදිංචිකරුවන්” විදිහටත් හැඳින්නුවේ ඇයි?

යේසුස් ස්වර්ගයට ගිහින් අවුරුදු 30කට විතර පස්සේ පේතෘස් “පොන්තසය, ගලාතිය, කපදෝසිය, ආසියාව සහ බිතිනිය යන පළාත්වල විසිර සිටින තාවකාලික පදිංචිකරුවන් වන තෝරාගනු ලැබූ අය වෙතට” ලිපියක් ලිව්වා. (1 පේතෘ. 1:1) “තෝරාගනු ලැබූ අය” කියලා ඔහු හැඳින්නුවේ ‘යේසුස් එක්ක රජකම් කිරීමේ බලාපොරොත්තුව ඇතුව අලුත් උපතක් ලැබූ’ අභිෂේක ලත් අයවයි. (1 පේතෘස් 1:3, 4 කියවන්න.) පේතෘස් ඔවුන්ව “විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන්” විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒ ඇයි? (1 පේතෘ. 2:11) අද අභිෂේක ලත් අය ඉන්නේ අතළොස්සක් විතරයි. සාක්ෂිකරුවන් 650ක් ගත්තොත් ඒ අතරින් අභිෂේක ලත් අය ඉන්නේ එක් කෙනයි. පේතෘස් ඒ අයට කියපු දේවල් ගැන දැනගන්න එකෙන් අපිට ප්‍රයෝජනයක් තියෙනවද?

2 “කුඩා රැළ” විදිහටත් හඳුන්වලා තියෙන ඒ අයව “තාවකාලික පදිංචිකරුවන්” විදිහටත් හැඳින්වීම හොඳින්ම ගැළපුණා. ඒ ගැන පාවුල් මෙහෙම කියනවා. ‘අපිට ලැබිලා තියෙන්නේ ස්වර්ගයේ පුරවැසිභාවයයි. ඒ නිසා ස්වර්ගයේ ඉන්න ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් පැමිණෙනකල් අපි මහත් ආශාවකින් බලා ඉමු.’ (ලූක් 12:32; ෆිලි. 3:20) අභිෂේක ලත් අයට “ස්වර්ගයෙහි පුරවැසිභාවය” ලැබිලා තියෙන නිසා දැන් සාතන්ගේ පාලනය යටතේ තියෙන මේ පොළොවේ ඔවුන් ඇත්තටම ගත කරන්නේ තාවකාලික ජීවිතයක්. මිය ගිය සැණින් ඔවුන්ට ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ලැබෙනවා. (ෆිලිප්පි 1:21-23 කියවන්න.) ඒ නිසා ඔවුන්ව “තාවකාලික පදිංචිකරුවන්” කියා හැඳින්වීම කොයි තරම් හොඳින් ගැළපෙනවද!

3. “වෙනත් බැටළුවන්” ගැන කියන්න පුළුවන් මොකක්ද?

3 ඒ කාරණය ‘වෙනත් බැටළුවන්ටත්’ අදාළ වෙනවද? (යොහ. 10:16) අපි හැමෝම දන්නවා ඔවුන්ට මේ පොළොවේ හැමදාමත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා. හැබැයි ඒ අයවත් තාවකාලික පදිංචිකරුවන් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කොහොමද?

‘මුළු මිනිස් වර්ගයාම කෙඳිරිගාමින් සිටී’

4. මිනිස් පාලකයන් අසරණ වෙලා ඉන්නේ ඇයි?

4 සාතන්, යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසීමේ ප්‍රතිඵලයක් විදිහට අද පොළොවේ ඉන්න හැමෝම දුක් විඳිනවා. ඒ ගැන රෝම 8:22 කියන්නේ “මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින්” ඉන්නවා කියලයි. මිනිස් පාලකයන්, විද්‍යාඥයන් සහ මානව හිතවාදීන් ඒ දේවලට විසඳුම් හොයන්න උත්සාහ කළත් කිසිම විසඳුමක් හොයාගන්න බැරුව ඔවුන් අසරණ වෙලා.

5. වර්ෂ 1914 ඉඳලා මිලියන ගණන්දෙනා කැමති වෙලා තියෙන්නේ මොනවා කරන්නද?

5 වර්ෂ 1914 ඉඳන් මිලියන ගණන්දෙනා දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් වෙන්න කැමති වෙලා තියෙනවා. සාතන් යටතේ තියෙන මේ ලෝකයේ දේවලට හවුල් වෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙවි කැමති විදිහට දේවල් කරන්නත් දෙවිගේ රාජ්‍යයේ වැඩවලට ජීවිතයේ මුල් තැන දෙන්නත් ඔවුන් කැමැත්තෙන් ඉන්නවා.—රෝම 14:7, 8.

6. දෙවිගේ සෙනඟව විදේශිකයන් විදිහට හඳුන්වන්න පුළුවන් ඇයි?

6 නීතිගරුක පුරවැසියන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 200කටත් වඩා වැඩි ගණනක ඉන්නවා. ඒ අය තමන්ගේ රටවල ජීවත් වෙන්නේ විදේශිකයන් විදිහටයි. දේශපාලනයටවත්, සමාජයේ ප්‍රශ්න ගැටලු විසඳන්නවත් ඔවුන් හවුල් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ආසාවෙන් බලන් ඉන්නේ දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් වෙන්නයි. ඒ නිසා දුක් වේදනා විඳිමින් දැන් ගත කරන මේ තාවකාලික ජීවිතය දවසින් දවස අවසන් වේගෙන යන එක ගැන ඒ අය ඉන්නේ ගොඩක් සතුටෙන්.

7. දෙවිගේ සෙනඟට මේ පොළොවේ ස්ථිර පදිංචිකරුවන් වෙන්න පුළුවන් කොහොමද?

7 වැඩි කාලයක් යන්න කලින් යේසුස් මේ ලෝකයේ සිද්ධ වෙන දුෂ්ටකම්වලට නිමාවක් ගේනවා. ඊටපස්සේ දුකට හේතු වෙන කිසිම දෙයක් මේ පොළොවේ සිද්ධ වෙන්නේ නැහැ. පාලකයා විදිහට දෙවිව පිළිගන්නේ නැති හැම කෙනෙක්ම විනාශ වෙනවා. පාරාදීස පොළොවක ස්ථිර පදිංචිකරුවන් වෙන්න ඒ කාලෙදී දෙවිගේ සෙනඟට අවස්ථාව ලැබෙනවා. (එළිදරව් 21:1-5 කියවන්න.) බයිබලයේ සඳහන් වෙලා තියෙන මේ පොරොන්දුව එදාට ඇත්තක් වේවි. “පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට එම ග්‍රහණයෙන් නිදහස් වී, දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වනු ඇත.”—රෝම 8:21.

සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

8, 9. පේතෘස් “පව්කාර ආශාවලින් දිගටම වැළකී සිටින්න” කීමෙන් අදහස් කළේ මොනවද?

8 සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් බලාපොරොත්තු වෙන දේ ගැන පේතෘස් මෙහෙම කිව්වා. ‘ප්‍රේමණීය සහෝදරයෙනි, විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන් වන ඔබට මා උනන්දු කරන්නේ ඔබ තුළ නිතරම ගැටුමක් ඇති කරන ඔබේම පව්කාර ආශාවලින් දිගටම වැළකී සිටින්න කියලයි.’ (1 පේතෘ. 2:11) පේතෘස් දුන්න ඒ අවවාදය මූලිකවම අදාළ වුණේ අභිෂේක ලත් අයට වුණත් ඒක වෙනත් බැටළුවන්ටත් අදාළ වෙනවා.

9 අපි හැමෝටම ආසාවන් තියෙනවා. දෙවි කැමති විදිහට අපේ ආසාවන් තෘප්තිමත් කරගත්තට ඒකේ වරදක් නැහැ. උදාහරණයකට දිව පිනා යන කෑම බීම, ගතටත් සිතටත් සහනයක් දෙන විනෝදය, සුහද මිතුරු ඇසුර වගේ දේවලින් අපිට ලොකු සතුටක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි විවාහක යුවළකට තමන්ගේ විවාහ සහකරු එක්ක ලිංගික ඇසුරේ යෙදීමෙන් සතුටක් ලබන්නත් දෙවි ඉඩ දීලා තියෙනවා. (1 කොරි. 7:3-5) පේතෘස් කතා කළේ ඒ වගේ ආසාවන් ගැන නෙවෙයි. ඔහු කිව්වේ “පව්කාර ආශාවලින්” ඒ කියන්නේ දෙවි එක්ක තියෙන බැඳීමට හානියක් වෙන විදිහේ ආසාවලින් වැළකිලා ඉන්න කියලයි. ඒ නිසා අපේ ආසාවන් ගැන අපි නිතරම සෝදිසියෙන් ඉන්න එක හුඟක් වැදගත්. එහෙම කළේ නැත්නම් අපට සදාකාල ජීවනය අහිමි වෙන්න පුළුවන්.

10. සාතන් පාවිච්චි කරන උගුල් සමහරක් මොනවද?

10 සාතන්ට ඕනෙ මේ දුෂ්ට සමාජයේ “තාවකාලික පදිංචිකරුවන්” විදිහට ඉන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය නැති කරන්න. ඒ දේ කරන්න සාතන් එක එක විදිහේ උගුල් අටවනවා. ධන සම්පත්වලට තියෙන නොසන්සිඳෙන ආසාව, අනාචාරය, කැපීපෙනෙන්න තියෙන ආසාව, හැම තිස්සෙම මං ගැනම විතරක් හිතන එක, ජාතිවාදය ඒ අතරින් කිහිපයක් විතරයි. ඒ වගේ උගුල් හඳුනගෙන ඒවා ප්‍රතික්ෂේප කරද්දී ඒකෙන් අපි පෙන්නන්නේ අපි මේ ගත කරන ජීවිතය තාවකාලික ජීවිතයක් කියන එකයි. අපි හැමෝම උත්සාහ කරන්නේ දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී ඒකේ ස්ථිර පදිංචිකරුවන් වෙන්න.

යහපත් ලෙස හැසිරීම

11, 12. විදේශිකයෙක් ගැන මිනිස්සු කතා වෙන්නේ මොනවද? අපි ගැන කියන්න පුළුවන් මොනවද?

11 “තාවකාලික පදිංචිකරුවන්” විදිහට අපෙන් බලාපොරොත්තු වෙන තවත් දෙයක් ගැන පේතෘස් මෙහෙම කියනවා. “මේ සමාජයේ සිටින ජනයා අතරෙහි දිගටම යහපත් ලෙස හැසිරෙන්න. එවිට ඔබ අපරාධකරුවන් කියා පවසමින් ඔවුන් ඔබට විරුද්ධව කතා කළත් ඔබේ යහපත් ක්‍රියා දැක දෙවි සියල්ල සෝදිසි කිරීමට පැමිණෙන කාලයේදී ඔවුහු ඔහුට ගෞරවය දෙනු ඇත.” (1 පේතෘ. 2:12) ඒක තේරුම්ගන්න ටික කාලෙකට වෙනත් රටක පදිංචියට යන විදේශිකයෙක් ගැන හිතන්න. ඒ කෙනා හැසිරෙන විදිහ, කතා කරන විදිහ, අඳින පළඳින විදිහ විතරක් නෙවෙයි පෙනුමත් වෙනස්. ඒ දේවල් ඒ රටේ ඉන්න මිනිස්සුන්ට ටිකක් අමුතු දෙයක් නිසා ඒ කෙනාව විවේචනය කරන්න ඉඩ තියෙනවා. ඒත් ඒ විදේශිකයා යහපත් කෙනෙක් නම් විවේචනය කරනවා වෙනුවට ඔහුව අගය කරන්න මිනිස්සු පෙලඹෙනවා.

12 අපිත් හරියට ඒ විදේශිකයා වගේ නේද? අපි හැසිරෙන විදිහ, අපි කතාබහ කරන විදිහ, අපි විනෝද වෙන විදිහ වෙනස්. අපි අඳින්නේ පළඳින්නෙත් මේ සමාජයේ මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට. මේ ගැන මිනිස්සු කතා වෙනවා. සමහරු ‘මේ මහ අමුතු සෙනඟක්නේ’ කියලා අපිට හිනා වෙයි. ඒ වගේම විවේචනය කරන්නත් ඉඩ තියෙනවා. ඒත් අපේ යහපත් හැසිරීම අගය කරන අයත් නැතුවම නෙවෙයි.

13, 14. ‘ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියලා ඔප්පු වෙන්නේ ඔහු කරන ක්‍රියාවලින්’ කීමෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒක සත්‍යයක් බව පෙන්වන උදාහරණ මොනවද?

13 ඔබ හිතනවද යහපත් හැසිරීම නිසා චෝදනා එල්ල වෙන්නේ අපිට විතරයි කියලා? මේ පොළොවේ දෙවිට විශ්වාසවන්තව හිටිය එකම පරිපූර්ණ කෙනා වුණු යේසුස්ටත් මිනිස්සු චෝදනා කළා. “කෑදර, වයින් බීමට ලොල් වූ මිනිසෙක්” කියලත් “බදු එකතු කරන්නන්ගේද පව්කාරයන්ගේද මිත්‍රයෙක්” කියලත් යේසුස්ට කිව්වා. හැබැයි යේසුස්ගේ යහපත් හැසිරීම නිසා ඒ චෝදනා බොරුයි කියලා ඔප්පු වුණා. ‘ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලින්’ කියලා යේසුස් කිව්වේ ඒ නිසයි. (මතෙ. 11:19) අපිටත් ඒක අදාළ වෙනවා නේද? මේ සිද්ධිය බලන්න. ජර්මනියේ බෙතෙල් නිවාස සංකීර්ණයේ වැඩ කරන සහෝදර සහෝදරියන්ව අසල්වැසියන් දැක්කේ හරිම අමුතු සෙනඟක් විදිහට. ඒත් ඒ ප්‍රදේශයේ හිටිය නගරාධිපති මෙහෙම කිව්වා. “සාක්ෂිකරුවන් අනිත් අයට වඩා වෙනස් තමයි. ඒත් ඒ අයගෙන් සමාජයට නම් කිසිම කරදරයක් නැහැ.”

14 රුසියාවේ හිටපු සාක්ෂිකරුවන්ට වුණෙත් ඒ වගේ දෙයක්. සමහරු ඔවුන්ට බොරු චෝදනා එල්ල කරලා තිබුණා. සාක්ෂිකරුවන් පවුල් කඩනවා, සියදිවි හානි කරගන්න පොලඹවනවා සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර ගන්නේ නැහැ කියලා ඔවුන් කිව්වා. ඒත් ප්‍රංශයේ තිබුණු මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය 2010 ජූනි මාසයේදී මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර කටයුතුවලට මොස්කව් අධිකරණය ඇඟිලි ගහන එකත් ඒ අයගේ රැස්වීම් තහනම් කරන එකත් සම්පූර්ණයෙන්ම වැරදියි. සාක්ෂිකරුවන්ට විරුද්ධව ඔවුන් නඟා තිබූ චෝදනා ඇත්තයි කියලා ඔප්පු කරන්න ඒ අයට සාක්ෂි නැහැ. ඒ නිසා මොස්කව් අධිකරණයෙන් දීලා තියෙන තීන්දුව සාධාරණ නැහැ.”

බලධාරීන්ට කීකරු වීම

15. අපි පිළිපදින බයිබල් ප්‍රතිපත්තිය මොකක්ද?

15 විදේශිකයන් විදිහට ජීවත් වෙන අපෙන් බලාපොරොත්තු වෙන තවත් දෙයක් ගැන පේතෘස් ඊළඟට කතා කළා. “මිනිසුන් පිහිටුවා ඇති සෑම අධිකාරියකටම” ඒ කියන්නේ රටේ පාලකයන්ට අපි යටත් වෙන්න ඕනෙ. (1 පේතෘ. 2:13, 14) අපි මේ දුෂ්ට සමාජයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒත් පාවුල් කියපු විදිහට දෙවිගේ නීති කඩ නොවන තාක් කල් අපි කැමැත්තෙන්ම බලධාරීන්ට කීකරු වෙනවා.—රෝම 13:1, 5-7 කියවන්න.

16, 17. (අ) සාක්ෂිකරුවන් ආණ්ඩුවලට විරුද්ධව කැරලිගහනවද? (ආ) සාක්ෂිකරුවන් ගැන සමහර දේශපාලනඥයන් කියන්නේ මොනවද?

16 “තාවකාලික පදිංචිකරුවන්” විදිහට ඉන්න සාක්ෂිකරුවන් ආණ්ඩුවට විරුද්ධ වෙන්නෙවත් ආණ්ඩුවට සහය දෙන අයව විවේචනය කරන්නේවත් නැහැ. අනිත් හැමෝමත් සාක්ෂිකරුවන් වගේ හිතන්න ඕනෙ කියලා ඔවුන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. තියෙන්න ඕනෙ මොන රජයද, ප්‍රශ්න ගැටලු විසඳන්න ඕනෙ කොහොමද කියලා අනිත් මිනිස්සුන්ට විවිධ මත තියෙන්න පුළුවන් බව ඔවුන් තේරුම් අරන් ඉන්නවා. සමහර ආගමික කණ්ඩායම් දේශපාලනයට ඇඟිලි ගැහුවත් සාක්ෂිකරුවන් එහෙම කරන්නේ නැහැ. පාලනය කරන විදිහ වෙනස් කරන්න කියලා ඔවුන් දේශපාලනඥයන්ට බල කරන්නේ නැහැ. ඇත්තෙන්ම කියනවා නම් ආණ්ඩුවලට විරුද්ධව කැරලිගහන්නවත් අනිත් මිනිස්සුන්ව ඒ සඳහා පොලඹවන්නවත් සාක්ෂිකරුවන්ට කිසිම උවමනාවක් නැහැ.

17 පේතෘස් කියනවා “රජුටද ගෞරව කරන්න” කියලා. ඒ නිසා සාක්ෂිකරුවන් ආණ්ඩුවලට කීකරු වෙලා ගෞරව කරනවා. (1 පේතෘ. 2:17) සමහර පාලකයන් කියනවා සාක්ෂිකරුවන් භයානක සෙනඟක් කියලා කියන්න කිසිම පදනමක් නැහැ කියලා. උදාහරණයකට ජර්මනියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙහෙම කිව්වා. “සිර කඳවුරුවල හිටිය සාක්ෂිකරුවන් හැසුරුණු විදිහ අගය කරන්න වටිනවා. මොන තරම් පීඩාවලට මුහුණ දුන්නත් සාක්ෂිකරුවන් ඒ අයගේ විශ්වාසයන් පාවලා දුන්නේ නැහැ. ඒ වගේම හිරේ හිටිය අනිත් අයටත් කාරුණිකව සැලකුවා. මේ රටේ ඉන්න ඕනෙ ඒ වගේ ගතිගුණ තියෙන මිනිස්සු තමයි. මොකද මෙහේ ඉන්න හුඟක් අය විදේශිකයන්ටත්, වෙන ආගම්වල ඉන්න අයටත්, වෙනස් දේශපාලන මත දරන අයටත් සලකන්නේ හරිම නරක විදිහට.”

සහෝදරයන්ට ප්‍රේම කිරීම

18. (අ) සහෝදර සහෝදරියන්ට ප්‍රේම කරන්න සාක්ෂිකරුවන් නිතැතින්ම පෙලඹෙන්නේ ඇයි? (ආ) සාක්ෂිකරුවන් ගැන සමහර අය කියලා තියෙන්නේ මොනවද?

18 දෙවිගේ සෙනඟ කරන්න ඕනෙ තවත් දෙයක් ගැන පේතෘස් මෙහෙම කිව්වා. “සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න. දෙවිට ගරුබිය දක්වන්න.” (1 පේතෘ. 2:17) සාක්ෂිකරුවන් යෙහෝවා දෙවිට දුකක් දෙන්න කැමති නැහැ. ඒ නිසා දෙවි කැමති විදිහට ජීවත් වෙන්න ඒ අය උත්සාහ කරනවා. එකමුතු පවුලක් විදිහට ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් දෙවිට සේවය කරන්නේ හරිම සතුටින්. “සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න” ඔවුන් පෙලඹෙන්නේ නිතැතින්මයි. අද ලෝකේ ඉන්න මිනිස්සු අනිත් අයට ආදරේ කරන්නේ නැහැ. ඒ නිසා සාක්ෂිකරුවන් එකිනෙකාට දක්වන ප්‍රේමය දකිද්දී ඔවුන් පුදුම වෙනවා. ඇමරිකානු සංචාරක ඒජන්සියක වැඩ කරන කාන්තාවක් 2009 ජර්මනියේ පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවකදී සාක්ෂිකරුවන් අතර තියෙන ප්‍රේමය කොයි තරම්ද කියලා දැක්කා. ජර්මානු සාක්ෂිකරුවන් වෙන රටවලින් ඇවිත් හිටිය සහෝදරයන්ට ආදරෙන් සලකපු හැටි දැක්කම මට පුදුම හිතුණා කියලා ඇය කිව්වා. ඔබටත් ඒ වගේ අද්දැකීමක් තියෙනවද?

19. අපි මේ ලෝකයේ ජීවත් වෙන්න ඕනෙ කොහොමද? ඒ ඇයි?

19 අපි ඉගෙනගත්ත විදිහට සාක්ෂිකරුවන් සාතන්ගේ පාලනය යටතේ තියෙන මේ ලෝකයේ ජීවත් වෙන්නේ ඇත්තටම “තාවකාලික පදිංචිකරුවන්” වගෙයි. ඒ ගැන ඔවුන්ට කිසිම දුකක් දැනෙන්නේ නැහැ. ඔවුන් කැමති දිගටම ඒ විදිහට ජීවත් වෙන්න. දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී ඒකේ යටත්වැසියන් විදිහට ස්ථිර පදිංචිකරුවෙක් වෙන්න ඔවුන් ආසාවෙන් ඉන්නවා. ඔබත් ඒ කාලය එන තුරු ආසාවෙන් බලන් ඉන්නවද?