Skip to content

පටුනට යන්න

“තාවකාලික පදිංචිකරුවන්” ලෙස එකමුතුව සේවය කරමු!

“තාවකාලික පදිංචිකරුවන්” ලෙස එකමුතුව සේවය කරමු!

“ඔබේ කෙත්වතු හා මිදිවතු වවන්නේ වෙනත් ජාතීන්ට අයත් සෙනඟකි. එහෙත් ඔබව හඳුන්වනු ලබන්නේ යෙහෝවා දෙවිගේ පූජකයන් ලෙසයි.”—යෙසා. 61:5, 6.

1. සමහරු විදේශිකයන් ගැන හිතන්නේ කොහොමද? එහෙම හිතන එක වැරදි ඇයි?

සමහර අය හිතන්නේ විදේශිකයන් තමන්ට වඩා පහත් කියලයි. ඒත් එහෙම හිතන්න හොඳ නැහැ. මිනිසුන් විවිධ ජාතිවලට බෙදිලා හිටියත් අපි හැමෝම පැවතෙන්නේ එකම මවකගෙන්. ඒ නිසා කවුරුත් කාටවත් වඩා උසස්වත් පහත්වත් නැහැ.

2, 3. ඊශ්‍රායෙල් දේශයේ හිටපු විදේශිකයන්ට යෙහෝවා දෙවි සැලකුවේ කොහොමද?

2 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව තමන්ගේ සෙනඟ විදිහට තෝරගත්ත නිසා ඔවුන්ට දෙවි එක්ක විශේෂ බැඳීමක් තිබුණා. ඒත් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ හැටියට ඔවුන් වෙනත් ජාතීන්වල අයටත් ගෞරවයෙන් හා සාධාරණව සැලකීම අවශ්‍ය වුණා. අද ඒ දේ දෙවි අපෙනුත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිත් විදේශිකයන්ව පහත් කරන්න හොඳ නැහැ. පේතෘස් කිව්වේ ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. ඒ නිසා කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා’ කියලයි.—ක්‍රියා 10:34, 35.

3 දෙවි ඊශ්‍රයෙල් දේශයේ හිටිය විදේශිකයන්ට ඒ විදිහට සලකපු නිසා ඔවුන්ට හුඟක් ප්‍රයෝජන ලැබුණා. දෙවිට ඔවුන් ගැන හැඟුණු විදිහ ගැන පාවුල් පස්සේ කාලෙකදී විස්තර කළේ මේ විදිහටයි. “දෙවි යුදෙව්වරුන්ට පමණක් අයිති දෙවි කෙනෙක්ද? ඔහු වෙනත් ජාතීන්වලට අයිති අයගෙත් දෙවි වන්නේ නැද්ද? එසේය, ඔහු වෙනත් ජාතීන්ගේද දෙවි වන්නේය.”—රෝම 3:29; යෝවෙ. 2:32.

4. අභිෂේක ලත් අය අතර ඉන්න කිසිම කෙනෙකුව විදේශිකයෙක් විදිහට සලකන්නේ නැත්තේ ඇයි?

4 යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟ හැටියට අභිෂේක ලත් අයව තෝරගත්තට පස්සේ ඊශ්‍රායෙල් ජාතිය දෙවිට විශේෂ සෙනඟක් වුණේ නැහැ. ඒ වෙනුවට අභිෂේක ලත් අයව ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ ලෙස දෙවි පිළිගත්තා. (ගලා. 6:16) පාවුල් මෙහෙම කිව්වා. “වැදගත් වන්නේ කෙනෙකු ග්‍රීකයෙක්ද යුදෙව්වෙක්ද කියාවත් චර්මච්ඡේදිතද අචර්මච්ඡේදිතද කියාවත් විදේශිකයෙක්ද ස්කිතිය ජාතිකයෙක්ද කියාවත් දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද කියාවත් නොවේ. සෑම දෙයකටම ක්‍රිස්තුස් සම්බන්ධ වී සිටින අතර අපි සියලුදෙනා ඔහු සමඟ බැඳී සිටිමු.” (කොලො. 3:11) ඒ නිසා අභිෂේක ලත් අය අතර ඉන්න කිසිම කෙනෙකුව විදේශිකයෙක් විදිහට සලකන්නේ නැහැ.

5, 6. (අ) යෙසායා 61:5, 6හි සඳහන් අනාවැකිය ගැන ඇති වෙන ප්‍රශ්නය මොකක්ද? (ආ) “යෙහෝවා දෙවිගේ පූජකයන්” සහ ‘විදේශිකයන්’ කියන්නේ කාටද? (ඇ) ඒ දෙපිරිසම එකතු වෙලා කරන්නේ මොනවද?

5 යෙසායා 61:5, 6හි සඳහන් අනාවැකිය අදාළ වෙන්නේ ක්‍රිස්තියානි සභාවටයි. ඒකේ ‘යෙහෝවා දෙවිගේ පූජකයන්ට’ උපකාර කරමින් ඒ අය සමඟ වැඩ කරන ‘විදේශිකයන්’ ගැන කතා කරනවා. ක්‍රිස්තියානි සභාවේ ඉන්න කිසිම කෙනෙකුව විදේශිකයෙක් විදිහට සලකන්නේ නැත්නම් ඒ අනාවැකියේ ‘විදේශිකයන්’ ගැන කියන්නේ ඇයි?

6 ඒ පදවල “යෙහෝවා දෙවිගේ පූජකයන්” කියලා හඳුන්වන්නේ අභිෂේක ලත් අයවයි. ඔවුන් ‘දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයන්’ විදිහට ‘අවුරුදු දහසක් ක්‍රිස්තුස් සමඟ රජකම් කරනවා.’ (එළි. 20:6) ඔවුන්ට අමතරව පාරාදීස පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ අය ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ නොවන නිසා ඔවුන් හරියට ඊශ්‍රායෙල්වරුන් අතර හිටපු විදේශිකයන් වගෙයි. ඔවුන් “යෙහෝවා දෙවිගේ පූජකයන්” එක්ක එකතු වෙලා “කෙත්වතු හා මිදිවතු” වවන්නන් විදිහට සහයෝගයෙන් වැඩ කරනවා. එහෙම කරන්නේ මිනිසුන්ට දේශනා කරන්නත් දෙවි ගැන උගන්වන්නත් අභිෂේක ලත් අයට උපකාර කිරීමෙනුයි. “වෙනත් බැටළුවන්” විදිහටත් ඒ අයව හඳුන්වනවා. ඔවුන් අභිෂේක ලත් අය එක්ක එකතු වෙලා මිනිසුන්ට දෙවි ගැන සත්‍යය කියලා දීලා ඒ අනුව ජීවත් වෙන්න උපකාර කරනවා.—යොහ. 10:16.

ආබ්‍රහම් වගේ “තාවකාලික පදිංචිකරුවන්”

7. ආබ්‍රහම් ඇතුළු අතීතයේ සිටි විශ්වාසවන්ත අයට අපිව සමාන කරන්න පුළුවන් කොහොමද?

7 කලින් ලිපියේ බලපු විදිහට ක්‍රිස්තියානීන් වන අපි සාතන්ට අයිති මේ දුෂ්ට ලෝකයේ ජීවත් වෙන්නේ “තාවකාලික පදිංචිකරුවන්” විදිහටයි. අතීතයේ හිටපු ආබ්‍රහම් වගේම දෙවිට විශ්වාසවන්තව හිටපු හුඟදෙනෙක් ජීවත් වුණේ “දේශයෙහි ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන්” විදිහටයි. (හෙබ්‍රෙ. 11:13) ඒ වගේම ආබ්‍රහම්ට දෙවි එක්ක විශේෂ බැඳීමක් තිබුණා. ‘ආබ්‍රහම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙසත් යෙහෝවා දෙවිගේ මිත්‍රයා ලෙසත් හඳුන්වනු ලැබුවා.’ (යාකො. 2:23) අභිෂේක ලත් කෙනෙක් වුණත් නැතත් අපිටත් ආබ්‍රහම්ට තිබුණා වගේ දෙවි එක්ක විශේෂ බැඳීමක් තියාගන්න පුළුවන්.

8. දෙවි ආබ්‍රහම්ට පොරොන්දු වුණේ මොකක්ද? ඒ ගැන ආබ්‍රහම්ට හැඟුණේ කොහොමද?

8 ආබ්‍රහම් සහ ඔහුගෙන් පැවත එන අය නිසා පොළොවේ සියලුම ජාතීන් ආශීර්වාද ලබනවා කියලා දෙවි පොරොන්දු වුණා. (උත්පත්ති 22:15-18 කියවන්න.) තමන්ගේ ජීවිත කාලයේදී ඒ පොරොන්දුව ඉටු වුණේ නැතත් ඔහුට ඒ ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ. තමන්ගේ ජීවිත කාලයෙන් භාගයකටත් වැඩියෙන් ඒ කියන්නේ අවුරුදු 100ක් පමණ තමන්ගේ පවුලේ අයත් එක්ක තැනින් තැන ගිහින් ජීවත් වෙන්න ආබ්‍රහම්ට සිදු වුණත් දෙවි එක්ක තිබුණු බැඳීම නම් ඔහු කවදාවත් නැති කරගත්තේ නැහැ.

9, 10. (අ) අපිට ආබ්‍රහම්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (ආ) අපි කරන ආරාධනාව මොකක්ද?

9 තමන්ට දෙවි වෙච්ච පොරොන්දුව කවදා ඉටු වෙයිද කියලා ආබ්‍රහම් දැනගෙන හිටියේ නැතත් ඔහු දිගටම දෙවිට ප්‍රේම කරමින් නමස්කාර කළා. ඒ නිසා ඒ දේශයේ හිටපු ස්ථිර පදිංචිකරුවන් වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඔහු උත්සාහ කළේ නැහැ. (හෙබ්‍රෙ. 11:14, 15) අපිත් ආබ්‍රහම් වගේ සරල ජීවිතයක් ගත කරන්න උත්සාහ කරමු. දකින දකින දේ මිල දී ගන්නවත්, සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්නවත්, උසස් රැකියාවක් කරන එකවත් අපේ ජීවිතයේ වැදගත්ම දේවල් කියලා හිතන්න හොඳ නැහැ. හෙට අනිද්දට විනාශ වෙන්න තියෙන මේ දුෂ්ට ලෝකයේ ඉන්න අනිත් අය වගේ අපිත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවාද කියලා කල්පනා කරලා බලමු. ටික දවසකට විතරක් තියෙන මේ ලෝකයේ දේවල්වලට ඇයි අපි අපේ ජීවිතයේ මුල් තැන දෙන්නේ? අපිත් ආබ්‍රහම් වගේ බලාපොරොත්තුවෙන් ඉන්නේ මීට වඩා දහස් ගුණයකින් හොඳ ජීවිතයක්. ඒ නිසා අපි ඉවසීමෙන් දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් බලාගෙන ඉමු.—රෝම 8:25 කියවන්න.

10 ආබ්‍රහම් මාර්ගයෙන් දෙවි දෙන්න පොරොන්දු වෙලා තියෙන ආශීර්වාද මේ ලෝකයේ ජනයාට ලබාගන්න තවමත් අවස්ථාව තියෙනවා. “යෙහෝවා දෙවිගේ පූජකයන්” වන අභිෂේක ලත් අයත් “විදේශිකයෝ” වන වෙනත් බැටළුවනුත් එකතු වෙලා මිනිසුන්ට ආරාධනා කරන්නේ මේ ආශීර්වාද ලබාගන්න එන්න කියලයි. ඔවුන් භාෂා 600කට වඩා වැඩි ගණනකින් ඒ ආරාධනාව කරනවා.

සියලු ජාතීන්ට ප්‍රේම කරන්න

11. සලමොන් රජ යාච්ඤාවෙන් කියපු විදිහට සියලු ජාතීන්ට කරන්න පුළුවන් මොනවද?

11 යේසුස් ඉපදෙන්න අවුරුදු 1026කට කලින් දේවමාලිගාව කැප කරන දවසේ සලමොන් රජ මේ විදිහට යාච්ඤා කළා. “ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතියට අයත් නොවන විදේශිකයෙකු ඔබේ නාමය ගැන අසා ඈත පළාතක සිට පැමිණ, මේ ගෘහය දෙසට හැරී යාච්ඤා කළොත් එසේය, ඔබේ ශ්‍රේෂ්ඨ නාමය ගැනත් ඔබේ මහත් බලය ගැනත් ඔබ දෑත් විදහා කරන උපකාර ගැනත් අසා ඔහු මේ ගෘහයට පැමිණ යාච්ඤා කළොත් ඔබේ ස්ථිර වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔහුට සවන් දී ඔබෙන් ඉල්ලන සියල්ල ඉටු කර දෙන මෙන් ඉල්ලමි. එවිට පොළොවේ සියලු වැසියන් ඔබේ නාමය දැනගෙන, ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් මෙන් ඔවුහුද ඔබ කෙරෙහි ගරුබිය ඇතුව ජීවත් වනු ඇත.” (1 රාජා. 8:41-43) දෙවි සියලුම ජාතීන් ගැන හිතන විදිහ අපිට ඒ යාච්ඤාවෙන් දැනගන්න පුළුවන්. සලමොන් රජ දෙවිගෙන් ඉල්ලුවේ දේවමාලිගාව දෙසට හැරිලා යාච්ඤා කරන සියලු ජාතීන්ගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න කියලයි.

12. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදේශිකයන් වගේ වෙන්නේ කොහොමද?

12 විදේශිකයෙක් තමන් ඉන්න රටේ දේශපාලනයට හවුල් වෙන්නේ නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් ජීවත් වෙන්නේ විදේශිකයන් වගේ. සාක්ෂිකරුවන් තමන් ජීවත් වෙන රටේ දේශපාලනයට හවුල් වෙන්න ඕනෙ කියලා මිනිසුන් හිතුවත් ඔවුන් කොහෙත්ම ඒවාට හවුල් වෙන්නේ නැහැ. ඔවුන් සහයෝගය දක්වන්නේ දැනටමත් ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවිගේ රාජ්‍යයටත් එහි රජ වන යේසුස්ටත් විතරයි.

13. (අ) විදේශිකයෙක් ගැන අපි හිතන්න ඕනෙ කොහොමද? (ආ) දෙවිට මුලින්ම ඕනෙ කළේ මොකක්ද?

13 කෙනෙක් විදේශිකයෙක් කියලා අපිට හිතෙන්නේ ඔහු කතා කරන විදිහ, අඳින පළඳින විදිහ, ඔහුගේ සිරිත්විරිත් හා පෙනුම වගේ වෙනස්කම් නිසයි. ඒත් වැදගත් වෙන්නේ ඒ වෙනස්කම් ගැන හිතනවට වඩා අපි අතර තියෙන සමානකම් ගැන හිතන එකයි. මුළු ලෝකයටම තියෙන්නේ එකම ආණ්ඩුවක් කියලා හරි, ලෝකයම එක රටක් කියලා හරි හිතන්න. එතකොට විදේශිකයන් කියලා කට්ටියක් ඉඳියිද? දෙවිටත් මුලින්ම ඕනෙ කළේ සියලුම ජනයා එකම පවුලක් වගේ දෙවිගේ පාලනය යටතේ ඉන්නවා දකින්නයි. මිනිසුන්ව විදේශිකයන් විදිහට හිතන්නේ නැතුව හැමෝම එක පවුලක දරුවෝ කියලා හිතන්න අද කාලයේ මිනිසුන්ට පුළුවන්ද?

14, 15. සාක්ෂිකරුවන් අනිත් අයට සලකන්නේ කොහොමද?

14 අපි අද ජීවත් වෙන්නේ තමන් ගැන විතරක් හිතන, තමන්ගේ රට තමයි උසස්ම රට කියලා හිතන සමාජයක. ඒත් ඔය අතරේ හැමෝටම එක විදිහට සලකන අයත් නැතුවම නෙවෙයි. එහෙම හිතන්න පුරුදු වෙන එක අමාරුයි තමයි. ඒත් ඒක කරන්න පුළුවන්. CNN ප්‍රවෘත්ති සේවය ආරම්භ කළ ටෙඩ් ටර්නර් යටතේ දක්ෂ මිනිසුන් හුඟදෙනෙක් ලොව පුරා සේවය කළා. ඔවුන් ගැන ඔහු මෙහෙම කිව්වා. “මම ඒ අයව දැක්කේ විදේශිකයන් විදිහට නෙවෙයි, මිහිතලයේ පුරවැසියන් විදිහටයි.” ඔහු තමන් යටතේ වැඩ කළ වෙනත් රටවල අයව “විදේශිකයන්” කියලා හඳුන්වනවා වෙනුවට “ජාත්‍යන්තර සේවකයන්” විදිහට හඳුන්වන්න කියලා නීතියකුත් දාලා තිබුණා.

15 සියලුම ජාතීන් ගැන දෙවි හිතන විදිහට හිතන එකම කණ්ඩායම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි. ඒ නිසා වෙනත් රටකින් ආපු අයට ඔවුන් වෛර කරන්නෙවත් විශ්වාස කරන්න බැරි පිරිසක් කියලා හිතන්නෙවත් නැහැ. විවිධ හැකියාවන් තියෙන, එකිනෙකාට වෙනස් අය තමන් අතර ඉන්න එක ගැන ඔවුන් සතුටු වෙනවා. ඒ වගේ කණ්ඩායමක් අතර ඉන්න ලැබීම ඇත්තටම ඔබට ආඩම්බරයක් නෙවෙයිද!

එක පවුලක දරුවන්

16, 17. එළිදරව් 16:16 සහ දානියෙල් 2:44 ඉටු වුණාම අපේ ජීවිත මොන වගේ වෙයිද?

16 ළඟදීම එන හර්–මගෙදොන් යුද්ධයේදී සියලුම ජාතීන් දෙවිගේ පාලනයට විරුද්ධව සටන් කරනවා. (එළි. 16:14, 16; 19:11-16) එතකොට මිනිසුන්ගේ ආණ්ඩුවලට වෙන්න යන දේ ගැන මීට අවුරුදු 2,500කට කලින් හිටපු දානියෙල් මෙහෙම කියනවා. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”—දානි. 2:44.

17 ඒ කාලය ගැන ටිකක් හිතන්න. හර්–මගෙදොන් යුද්ධයෙන් පස්සේ කිසිම විදිහකින් මිනිසුන්ව වෙන් කරන සීමා මායිම් වැටකඩොළු තියෙන්නේ නැහැ. ඒ කාලයේදිත් අද වගේම මිනිසුන්ට වෙනස් පෙනුමක්, වෙනස් පෞද්ගලිකත්වයක් තියෙයි. ඒක හොඳයි. ඒ වගේ විවිධත්වයක් තියෙන නිසා ඒකෙන් දෙවිගේ නිර්මාණවල අපූර්වත්වය තවත් පැහැදිලි වෙනවා. අපිට තියෙන්නේ කොයි තරම් ලස්සන අනාගතයක්ද! ඒ නිසා අපේ නිර්මාතෘව සතුටු කරන්න පුළුවන් උපරිමය අපි කරමු.

කිසිම කෙනෙකුව ‘විදේශිකයෙක්’ ලෙස සලකන්නේ නැති, දේශ සීමා නැති කාලයක් ඔබ බලා සිටිනවාද?

18. සාක්ෂිකරුවන් වෙනත් රටවල අයව විදේශිකයන් විදිහට සලකන්නේ නැහැ කියලා ඔප්පු කරන්න තියෙන එක උදාහරණයක් මොකක්ද?

18 වෙනත් රටවල අයව විදේශිකයන් හැටියට සලකන්නේ නැතුව හැමෝම දිහා එකම විදිහට බලන්න අදත් අපිට පුළුවන්ද? ඇත්තටම ඒක කරන්න පුළුවන් කියලා සාක්ෂිකරුවන් ඔප්පු කරලා තියෙනවා. මේ උදාහරණය බලන්න. රටවල් කිහිපයක තියෙන පුංචි පුංචි ශාඛා කාර්යාල කිහිපයක් වෙනුවට ඒ රටවල් කිහිපයේම වැඩකටයුතු බලාගන්න, එක රටක ශාඛා කාර්යාලයකට පවරලා තියෙනවා. ඒක හරියට ඒ රටවල් කිහිපයේම තියෙන සීමා මායිම් ඉවත් කළා වගෙයි. ඒකෙන් දේශනා සේවයේ වැඩකටයුතු තවත් සංවිධානය කරන්න පහසු වෙලා තියෙනවා. (මතෙ. 24:14) ඔවුන් ඒ තීරණය ගද්දී සලකා බැලුවේ දේශ සීමා නෙවෙයි, නීතියෙන් ඒකට බාධාවක් තියෙනවද කියලා විතරයි. දෙවිගේ රාජ්‍යයේ රජ වන යේසුස්, අපිට උපකාර කරනවා හැමෝම එක රටක වැසියන් වගේ හිතලා වැඩ කරන්න. ළඟදීම යේසුස් “සම්පූර්ණ ජයග්‍රහණයක්” ලබද්දී ඔහු මේ හැම සීමා මායිමක්ම ඉවත් කරයි.—එළි. 6:2.

19. සාක්ෂිකරුවන්ට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක්ද?

19 සාක්ෂිකරුවන් අතර විවිධ ජාතීන්ට අයත් අය වගේම විවිධ භාෂා කතා කරන අයත් ඉන්නවා. ඒත් දෙවි ගැන ඉගෙනගන්න නිසා ඔවුන් එකම පවුලක් වගේ කවදාවත් වෙන් කරන්න බැරි බැඳීමකින් වෙළිලා. (ශෙපනියා 3:9 කියවන්න.) දුෂ්ට සමාජයක ජීවත් වෙන්න ඔවුන්ට සිද්ධ වුණත් ඔවුන් ඒ සමාජයේ කිසි වැරදි දේකට හවුල් වෙන්නේ නැහැ. අදත් එක පවුලක් වගේ බැඳිලා ඉන්න ඔවුන්ට පුළුවන් නම්, පාරාදීස පොළොව කොයි වගේ වෙයිද කියලා ඔබට හිතාගන්න පුළුවන්ද! ඒ කාලයේදී විවිධ ජාතීන්ට අයත් අය එක කුස උපන් සහෝදරයන් වගේ එකට බැඳී සිටීවි!