Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

අපි බයිබලයේ ප්‍රතිපත්ති දැනගන්න කලින් නළ දරු තාක්ෂණයේ උපකාරයෙන් දරුවෙකුව හදාගත්තා. ඒත් සංසේචනය කළ සෑම කලලයක්ම ප්‍රයෝජනයට ගත්තේ නැහැ. ඉතුරු ඒවා රසායනාගාරයේ දිගටම තැන්පත් කරලා තියන්න ඕනෙද නැත්නම් විනාශ කරන්න පුළුවන්ද?

එය නළ දරු තාක්ෂණය හෙවත් IVF තාක්ෂණය යොදාගෙන දරුවෙක් හදාගන්නා යුවළයන් බැරෑරුම්ව සිතා බැලිය යුතු කාරණයක්. මේ ප්‍රශ්නයේදී තමන් ගන්නා තීරණය ගැන ඔවුන් යෙහෝවා දෙවිට වග කිව යුතුයි. මේ නිසා ඒ තාක්ෂණය ගැන දැනුවත් වීම ප්‍රයෝජනවත්.

නළ දරු තාක්ෂණයේ ආධාරයෙන් මුලින්ම මෙලොවට දරුවෙකු බිහි කළේ එංගලන්තයේ කාන්තාවක්. එය සිදු වූයේ 1978දීයි. ඇගේ පැලෝපීය නාළයේ තිබූ අවහිරතාවක් නිසා ශුක්‍රාණු සහ ඩිම්බ සංසේචනය වුණේ නැහැ. ඒ නිසා වෛද්‍යවරුන් ඇගේ ඩිම්බයක් සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ ශුක්‍රාණුවක් රසායනාගාරයේදී සංසේචනය කළා. එලෙස ලබාගත් කලලය ඇගේ ගර්භාෂයේ තැන්පත් කළ අතර නියමිත කාලයේදී ඇය දියණියක් බිහි කළා. දැන් මෙම තාක්ෂණයට නව අංග එකතු වී තිබෙන අතර එය හඳුන්වන්නේ IVF තාක්ෂණය ලෙසයි.

මෙම තාක්ෂණය යොදාගැනීමේදී එක් එක් රටවල විවිධ ක්‍රම භාවිත කළත් පොදුවේ IVF තාක්ෂණයේදී සිදු වන්නේ මෙයයි. සති දෙකක් හෝ තුනක් වැනි කාලයක් පුරා ඩිම්බ වැඩිපුර නිපදවීමට බිරිඳට ඖෂධ ලබා දෙනවා. ස්වයංවින්දනය තුළින් ශුක්‍රාණු ලබා දීමට පුරුෂයාට සිදු විය හැකියි. මෙලෙස ලබාගන්නා ඩිම්බ සහ ශුක්‍රාණු රසායනාගාරයක් තුළදී සංසේචනය වීමට සලස්වනවා. එසේ සංසේචනය වන ඩිම්බවලින් කලල කිහිපයක් සෑදෙයි. මෙලෙස අලුතින් සෑදුණු කලල දවසකට හෝ දෙකකට පසු හොඳින් පරීක්ෂා කර නිරෝගී කලල වෙන් කරගනියි. පසුව තුන්වෙනි දවසේදී එම කලල අතරිනුත් හොඳම ඒවා දෙකක් හෝ තුනක් ගර්භාෂයේ තැන්පත් කරයි. එයින් එකක් හෝ කිහිපයක් වැඩුණොත් ඇයට මවක් වීමේ භාග්‍යය ලැබෙයි.

ඒත් භාවිතයට නොගැනුණු විකෘතිතා තිබෙන හෝ රෝගී කලල ඇතුළු අනිකුත් කලලවලට සිදු වන්නේ කුමක්ද? ඒවා නිසි ලෙස ආරක්ෂා නොකළොත් විනාශ වෙයි. ඒ නිසා ඒවා නයිට්‍රිජන් දියරයක දමා රසායනාගාරයක අධිශීතකරණයේ තබනවා. එසේ තබන්නේ ගර්භාෂයේ තැන්පත් කළ කලල පිළිසිඳ නොගත්තොත් මේ කලල භාවිතයට ගැනීම සඳහායි. එවැනි කලල භාවිත කිරීමේදී යන වියදමත් අඩුයි. නමුත් කලල එසේ ගබඩා කර තැබීම යෝග්‍යයද යන ප්‍රශ්නය මතු වෙයි. මෙම ලිපියේ ප්‍රශ්නය යොමු කළ යුවළ මෙන් බොහෝ යුවළයන් තැන්පත් කර තිබෙන එවැනි කලලවලට සිදු කරන්නේ කුමක්ද කියා තීරණය කිරීමට නොහැකිව ළත වෙනවා. සමහරවිට ඔවුන්ට තවත් දරුවන් අවශ්‍ය නොවෙනවා විය හැකියි. නැත්නම් වයස ඉක්මවා ගොස් හෝ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනවා විය හැකියි. එසේත් නැත්නම් දෙවෙනි වතාවේදී කලල තැන්පත් කළාට පසුව දරුවන් කිහිපදෙනෙක් පිළිසිඳ ගැනීම නිසා අවදානම් තත්වයකට මුහුණ දෙන්න සිදු වෙයි කියා බියෙන් පසු වෙනවා විය හැකියි. * සමහරවිට එවැනි යුවළයන්ගෙන් එක් අයෙක් මිය ගොස් හෝ නැවත විවාහ වී ඇති. එවැනි සංකීර්ණ ප්‍රශ්න නිසා තීරණයක් ගැනීමට නොහැකි සමහරුන් රසායනාගාරයේ ගබඩා කර තිබෙන කලල සඳහා දිගටම මුදල් ගෙවමින් සිටිනවා.

කලල විද්‍යාඥයෙක් 2008 එක් සඟරාවකට මෙසේ පැවසුවා. “අඩුම තරමින් කලල 4,00,000ක් පමණ ඇමරිකාවේ රසායනාගාරවල තැන්පත් කර තිබෙන අතර දිනපතා එම සංඛ්‍යාව ඉහළ යනවා. ඒවා නිසි ලෙස ගබඩා කර තිබෙනවා නම් වසර දහයකට වඩා වැඩි කාලයක් තබාගත හැකියි. නමුත් නිසි ලෙස ගබඩා කළත් ඒවා එළියට ගන්නා අවස්ථාවලදී විනාශ වෙන අවස්ථාත් තියෙනවා.” ක්‍රිස්තියානීන් එලෙස එම කලල විනාශ වීමට ඉඩහැරීම සාධාරණද?—එම සඟරාව The New York Times.

ඒ හා සමාන බැරෑරුම් තීරණයක් ගැනීමට සිදු වන අවස්ථාවක් ගැන දැන් සලකා බලමු. ඇතැම් රටවල අසාධ්‍ය තත්වයක පසුවන රෝගියෙකුගේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා ඔහුව කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක් වැනි දේකට සම්බන්ධ කරනවා. ඒ රෝගියාගේ ජීවිතය පවතින්නේ ඒ යන්ත්‍රවල ආධාරයෙන් පමණයි. එවැනි අවස්ථාවකදී රෝගියාව ඒ විදිහටම තියාගන්නවද නැද්ද කියලා පවුලේ අයට තීරණයක් ගැනීමට සිදු වෙනවා. සැබෑ ක්‍රිස්තියානීන් ජීවිතය සලකන්නේ වටිනා දෙයක් ලෙසයි. ඊට හේතුව නික්මයාම 20:13 සහ ගීතාවලිය 36:9හි ජීවිතය අනර්ඝ දෙයක් කියා පවසන නිසයි. ඒ පිළිබඳව 1974 මැයි 8වෙනිදා පිබිදෙව්! සඟරාවේ මෙසේ සඳහන් වුණා. (සිංහලෙන් නැත.) “ජීවිතය අනර්ඝ දෙයක් ලෙස දෙවි සලකන ආකාරයටම සාක්ෂිකරුවන්ද ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකනවා. ඒ නිසා ඔවුන් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව පුහුණු කරපු තමන්ගේ හෘදය සාක්ෂියට මෙන්ම රජයේ නීතියට කීකරු වෙනවා. දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව තම ජීවිතය ගත කිරීමට ඔවුන් ආස කරන නිසාත් හිතාමතාම රෝගියෙකුගේ ජීවිතය නැති කරන්නේ නැහැ.” නමුත් රෝගියෙකුගේ ජීවිතය පවතින්නේ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක් වැනි ආධාරකයක් මගින් පමණක් නම්, එවැනි අවස්ථාවකදී රෝගියාව ඒ විදිහටම තියාගන්නවද නැද්ද කියලා පවුලේ අයට තීරණයක් ගන්න පුළුවන්.

දරුවෙකු හදාගැනීම සඳහා IVF තාක්ෂණය යොදාගන්නා යුවළයන් ඒ හා සමාන තත්වයකට මුහුණ නොදෙන බව ඇත්තයි. ඒත් ගබඩා කර තිබෙන කලල ගැන තීරණයක් ගැනීමේදී ඔවුන්ට දෙන එක විකල්පයක් වන්නේ ඒවා අධිශීතකරණයෙන් පිටතට ගන්න කියා විය හැකියි. එහෙම කළොත් එම කලල භාවිතයට ගන්න බැරි තත්වයට පත් වෙයි. එවැනි දෙයකට ඉඩ දෙනවද නැද්ද කියලා තීරණය කළ යුත්තේ ඒ යුවළයි.—ගලා. 6:7.

IVF තාක්ෂණය යොදාගෙන දරුවෙක් ලැබුණාට පසුවත් ඉතුරු වී තිබෙන කලල අනාගතයේ දවසක ප්‍රයෝජනයට ගැනීම සඳහා හෝ වෙනත් හේතුවක් නිසා ගබඩා කර තබන්න යුවළක් තීරණය කරන්න පුළුවන්. කෙසේවෙතත් තවත් යුවළක් ඒවා ගබඩා නොකරන්න තීරණය කරන්න පුළුවන්. මෙම තීරණ ගැනීමේදී ක්‍රිස්තියානියෙක් තම හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගත යුතු අතර ඒ ගැන දෙවිට වග කිව යුතුයි. එමෙන්ම තමන්ගේ මෙන්ම අන් අයගේ හෘදය සාක්ෂිය ගැනත් සැලකිලිමත් විය යුතුයි.—1 තිමෝ. 1:19.

ක්‍රිස්තියානීන් ගන්නා තීරණ ගැන දෙවිට වග කිව යුතුයි

මේ ක්ෂේත්‍රයේ සිටින වෛද්‍යවරයෙක් පවසන්නේ “බොහෝ යුවළයන් ගබඩා කර තිබෙන කලල සම්බන්ධයෙන් මොන වගේ තීරණයක් ගත යුතුද කියා සිතාගත නොහැකිව මානසිකව පීඩා විඳිනවා” කියායි.

එසේනම් සැබෑ ක්‍රිස්තියානියෙක් IVF තාක්ෂණය තෝරගැනීමේදී සියලුම කාරණා ගැන සැලකිලිමත් විය යුතුයි. බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝ. 22:3.

එකට ජීවත් වෙන යුවළක් බව්තීස්ම වෙන්න නම් ඔවුන් නීත්‍යනුකූලව විවාහ වෙන්න ඕනේ. ඒත් පුරුෂයා ඒ රටේ ඉන්නේ නීති විරෝධීව නම් ඔවුන්ට විවාහ වෙන්න බැහැ. ‘සහකරුට හෝ සහකාරියට විශ්වාසවන්තව සිටින බවට කරන ප්‍රකාශය’ නමැති ලියවිල්ල අත්සන් කරලා ඔවුන්ට බව්තීස්ම වෙන්න පුළුවන්ද?

ගැටලුවට විසඳුම ඒකයි කියලා හිතුණට බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව කරන්න ඕන නිවැරදි දේ ඒක නෙවෙයි. ඒ ඇයි කියලා දැනගන්න අපි මුලින්ම බලමු ඒ ලියවිල්ල අත්සන් කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවකදීද කියලා.

පහළ තියෙන ඡේදවල විස්තර කරන හේතුව නිසා නීත්‍යනුකූලව විවාහ වෙන්න බැරි යුවළකට තමයි සහකරුට හෝ සහකාරියට විශ්වාසවන්තව සිටින බවට කරන ප්‍රකාශය නමැති ලියවිල්ලට අත්සන් කරන්න පුළුවන්. යුවළක් ඒ ප්‍රකාශයට අත්සන් කරන්නේ සාක්ෂිකරුවන් ඉදිරියේ. ඒ ප්‍රකාශයට අත්සන් කරන්නේ ඔවුන් එකිනෙකාට විශ්වාසවන්තව ඉන්නවා කියලත් විවාහය නීත්‍යනුකූලව සිදු කරන්න අවස්ථාව ලැබුණාම ඒක කරනවා කියලත් දෙවි හා සාක්ෂිකරුවන් ඉදිරියේ වෙන පොරොන්දුවක් හැටියටයි. ඒ නිසා ඒ ප්‍රකාශයට අත්සන් කරපු යුවළක්ව සභාව පිළිගන්නේ නීත්‍යනුකූලව විවාහ වුණු අය හැටියටයි.

විවාහ සැලැස්ම පිහිටෙව්වේ යෙහෝවා දෙවියි. දෙවි විවාහය සලකන්නේ ගෞරවනීය දෙයක් හැටියටයි. යේසුස් කියපු මේ දෙයිනුත් ඒක පැහැදිලියි. “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.” (මතෙ. 19:5, 6; උත්. 2:22-24) හැබැයි විවාහ වෙලා ඉන්න දෙන්නගෙන් එක් කෙනෙක් අනිත් කෙනාට ද්‍රෝහි වෙලා අනාචාරයේ යෙදුණොත් වරද නොකරපු කෙනාට දික්කසාද වෙන්න තීරණය කරන්න පුළුවන්. දෙවි ඒකට අවසර දීලා තියෙනවා. ඒ හේතුව නිසා දික්කසාද වුණොත් නැවත විවාහ වෙන්න පුළුවන්. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. ‘වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ යෙදෙනවා.’—මතෙ. 19:9.

කොහොමවුණත් සමහර රටවල තියෙන ප්‍රධාන ආගම් වේශ්‍යාකම නිසාවත් දික්කසාද වෙන්න අවසර දෙන්නේ නැහැ. ආගමික නායකයන්ගේ බලපෑම් නිසා රටේ නීතියෙනුත් දික්කසාදය තහනම් කරලා තියෙනවා. තවත් සමහර රටවල දික්කසාදය තහනම් කරලා නැති වුණාට දික්කසාද වෙන එක හරිම අමාරු දෙයක්. සමහර වෙලාවට ඒකට අවුරුදු ගාණක් යනවා. ඒක හරියට දෙවි කරන්න අවසර දීලා තියෙන දෙයක් රටේ නීතියෙන් හා ආගමෙන් තහනම් කරලා වගෙයි.—ක්‍රියා 11:17.

සහකරුට හෝ සහකාරියට විශ්වාසවන්තව සිටින බවට කරන ප්‍රකාශය නමැති ලියවිල්ල යෙහෝවා දෙවිගේ සංවිධානය මගින් සකස් කරලා තියෙන්නේ ඒ වගේ රටවල ජීවත් වෙන අය වෙනුවෙනුයි. කලින් විවාහයෙන් දික්කසාද වෙලා නැවත විවාහ වෙන්න බයිබලයට අනුව යුවළකට අවසර තිබුණත් රටේ නීතිය නිසා ඒක කරන්න බැරි නම් තමයි ඒ ප්‍රකාශයට අත්සන් කරන්න පුළුවන්. හැබැයි දික්කසාද වෙන්න රටේ නීතියෙන් අවසර තියෙනවා නම් ඒකට සල්ලි වියදම් වෙන නිසා නැත්නම් කරදර වෙන්න වෙන නිසා විකල්පයක් හැටියට යුවළකට ඒ ප්‍රකාශයට අත්සන් කරන්න බැහැ.

දික්කසාද වෙන්න රටේ නීතියට අනුව අවසර තිබුණත් ඒක ටිකක් අපහසු නිසා සමහර අය ඒ ප්‍රකාශයට අත්සන් කරන්න කැමැත්තක් පෙන්නනවා. හැබැයි ඒ වගේ හේතුවක් නිසා ඒ ප්‍රකාශයට අත්සන් කරන එක නිවැරදි දේ නෙවෙයි.

දැන් අපි මුලින්ම සඳහන් කරපු යුවළට මේ ප්‍රකාශයට අත්සන් කරන්න පුළුවන්ද බැරිද කියලා බලමු. ඒ දෙන්නා කලින් විවාහ වෙලා හිටපු දෙන්නෙක් නෙවෙයි. ඒ නිසා දික්කසාදය හා සම්බන්ධ ප්‍රශ්නයක් ඒ දෙන්නට අදාළ වෙන්නේ නැහැ. එහෙමනම් සහකරුට හෝ සහකාරියට විශ්වාසවන්තව සිටින බවට කරන ප්‍රකාශයට අත්සන් කරන්න ඔවුන්ට හේතුවක් නැහැ. රටේ නීතියට අනුව ඔවුන්ට විවාහ වෙන්න බැරි වෙන්නේ පුරුෂයා ඒ රටේ නීත්‍යනුකූල පදිංචිකරුවෙක් නොවන නිසයි. එහෙමනම් විසඳුම මොකක්ද? කරන්න පුළුවන් එක දෙයක් තමයි නීත්‍යනුකූලව ඒ දෙන්නට විවාහ වෙන්න පුළුවන් රටකට ගිහින් විවාහ වෙන එක. එහෙම නැත්නම් පුරුෂයා ඔවුන් ඉන්න රටේ නීත්‍යනුකූල පදිංචිකරුවෙක් වෙලා ඊටපස්සේ විවාහය සිදු කරන එක.

එහෙම කළොත් ඔවුන්ට පුළුවන් දෙවිගේ නීතියට වගේම සීසර්ගේ නීතියටත් කීකරු වෙන්න. (මාක් 12:17; රෝම 13:1) නීත්‍යනුකූලව විවාහ වුණාට පස්සේ ඔවුන්ට බව්තීස්ම වෙන්න අවස්ථාව තියෙනවා.—හෙබ්‍රෙ. 13:4.

^ 6 ඡේ. ගර්භාෂයේ තැන්පත් කළ කලලය විකෘති නම් හෝ තැන්පත් කළ සියලු කලල වැඩෙනවා නම් තත්වය කුමක්ද? උවමනාවෙන්ම එවැනි කලලයක් විනාශ කිරීම ගබ්සා කිරීමක් හා සමානයි. මෙම IVF තාක්ෂණයේදී කලල කිහිපයක් තැන්පත් කරන නිසා දරුවන් කිහිපදෙනෙක් (දෙන්නෙක්, තුන්දෙනෙක් හෝ වැඩිදෙනෙක්) පිළිසිඳ ගැනීමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම නොමේරූ දරු උපත් සිදු වීම හෝ මවට අභ්‍යන්තර රුධිර ගැලීමකට මුහුණ දීමට සිදු විය හැකියි. ගර්භාෂය තුළ දරුවන් කිහිපදෙනෙක් වැඩෙන විට ඉන් එක් කෙනෙක් හෝ දෙන්නෙක් ඉවත් කරන්න කියා වෛද්‍යවරුන් පවසන්න පුළුවන්. එය හිතාමතා කරන ගබ්සාවක් නිසා එය මිනී මැරීමක් හා සමානයි.—නික්. 21:22, 23; ගීතා. 139:16.