Skip to content

පටුනට යන්න

බයිබලයට අමුතු බලයක් තියෙනවාද?

බයිබලයට අමුතු බලයක් තියෙනවාද?

“දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය.” (හෙබ්‍රෙ. 4:12) ඉන් පැහැදිලි වෙන්නේ මිනිසුන්ගේ සිතට කතා කරලා ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්න බයිබලයට හැකියාවක් තියෙන බවයි.

යේසුස්ගේ නියෝජිතයන්ගේ මරණයෙන් පස්සේ බයිබලයට තියෙන බලය ගැන මිනිසුන් තුළ වැරදි අදහස් ඇති වෙන්න පටන්ගත්තා. (2 පේතෘ. 2:1-3) පල්ලියේ පූජකයන් ඉගැන්නුවේ බයිබලයට අමුතුම බලයක් තියෙනවා කියලයි. ක්‍රිස්තු වර්ෂ 200ට පස්සේ හිටපු ඔරිගන් ඒ වගේ කෙනෙක්. මහාචාර්ය හැරී වයි. ගැම්බල් කියන විදිහට ඔරිගන් පැවසුවේ ‘මතුරන්න පාවිච්චි කරන වචනවලට බලයක් තියෙනවා නම් දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු බයිබලයට ඊටත් වඩා කොච්චර ලොකු බලයක් තියෙන්න ඕනෙද’ කියලයි. ක්‍රි.ව. 400දී පමණ සිටි ජෝන් ක්‍රිසොස්ටම් කිව්වේ “බයිබලයක් තියෙන ගෙදරකටවත් යක්ෂයා ළං වෙන්නේ නැහැ” කියලයි. සමහරු ශුභාරංචි පොත්වලින් උපුටාගත්ත සමහර පද බෙල්ලේ එල්ලගැනීමෙන් තමන්ව අනතුරුවලින් ආරක්ෂා වෙනවා කියලා විශ්වාස කළ බව ඔහු සඳහන් කරනවා. ‘හිසරදයට පිළියමක් හැටියට යොහන් පොත කොට්ටේ යට තියාගෙන නිදාගැනීම හොඳයි’ කියලා බිෂොප්වරයෙක් වූ ඔගස්ටීන් ඉගැන්වූ බව මහාචාර්ය ගැම්බල් කියනවා. මේ වගේ ඉගැන්වීම් නිසා බයිබලයට මැජික් බලයක් තියෙනවා කියලා මිනිස්සු හිතන්න පටන්ගත්තා. ඔබත් හිතන්නේ එහෙමද?

බයිබලය වැරදි විදිහට පාවිච්චි කරන තවත් විදිහක් තියෙනවා. සමහරු හිතනවා බයිබලය එකපාරටම පෙරළුවාම මුලින්ම දකින ඡේදයේ තියෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුර කියලා. උදාහරණයකට ඔගස්ටීන්ට වෙච්ච දෙයක් ගැන මහාචාර්ය ගැම්බල් මෙහෙම කියනවා. දවසක් ඔගස්ටීන්ට ඇහුණා ළඟ ගෙදරක ළමයෙක් “අරන් කියවන්න, අරන් කියවන්න” කියලා කියනවා. ඔගස්ටීන් හිතුවා බයිබලය අරන් පෙරළුවාම මුලින්ම දකින ඡේදය කියවන්න කියලා දෙවි එයාට පණිවිඩයක් දුන්නා කියලා.

තමන්ට තියෙන ප්‍රශ්න විසඳගන්න බයිබලය ඒ විදිහට පාවිච්චි කරන අයව ඔබ දන්නවද? ප්‍රශ්න ගැටලු විසඳගන්න බයිබලයෙන් උදව් ලබාගන්න එක හොඳ දෙයක්. ඒත් ඒක හරි විදිහට කරන්න ඕනේ.

යේසුස් තම අනුගාමිකයන්ට කිව්වේ ඔහු ඉගැන්වූ දේවල් ‘මතකයට නඟාගන්න’ දෙවිගේ බලය ඔවුන්ට උපකාර කරනවා කියලයි. (යොහ. 14:26) ඒ අනුව අපිට බයිබලයෙන් උදව් ලැබෙන්නේ අපි එයින් ඉගෙනගත්ත දේවල් අදාළ කරගැනීමෙන් මිසක් නිකම්ම බයිබලය පෙරළුවාම දකින දේ කිරීමෙන් නෙවෙයි.

ආරක්ෂාව සඳහාත්, ගැටලු විසඳගන්නත්, අනාගතය ගැන දැනගන්නත් පුළුවන් විදිහේ අමුතු බලයක් බයිබලයට තියෙනවා කියලා සමහරු හිතනවා. ඒ නිසා බයිබලය පාවිච්චි කරලා අමුතු දේවල් කරනවා. ඒත් බයිබලයේම කියනවා ඒ වගේ දේවල් කරන එක වැරදියි කියලා. (ලෙවී. 19:26; ද්වි. 18:9-12; ක්‍රියා 19:19) බයිබලයට පුළුවන් අපිට උදව් කරන්න. හැබැයි අපි ඒක හරි විදිහට පාවිච්චි කළොත් විතරයි. එහෙම කරන්න නම් බයිබලය හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. එතකොටයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ. ඒ වගේ අධ්‍යයනය කරපු නිසා බොහෝදෙනෙකුට හරි දේ හා වැරදි දේ අතර වෙනස හඳුනගන්නත්, නරක පුරුදු අත්හරින්නත්, පවුල් ජීවිතය සතුටින් ගත කරන්නත්, බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා.