Skip to content

පටුනට යන්න

සරලයි, ප්‍රයෝජන ගොඩයි!

සරලයි, ප්‍රයෝජන ගොඩයි!

ලොව වටා ඉන්න හුඟදෙනෙක්ට අවුරුදු සීයකට වඩා වැඩි කාලයක් තිස්සේ මුරටැඹ සඟරාවෙන් ගොඩක් ප්‍රයෝජන ලැබිලා තියෙනවා. තවත් හුඟදෙනෙක්ට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න 2011 ජූලි මාසයේ ඉඳලා සරල ඉංග්‍රීසි භාෂාවෙන් මුරටැඹ පාඩම් කලාපය පළ කරන්න පටන්ගත්තා. ඒක අවුරුද්දකට අත්හදා බැලුවට පස්සේ ප්‍රයෝජනවත් නම් දිගටම පළ කරනවා කියලා ඒ කලාපයේ සඳහන් වුණා.

සරල කරන ලද ඉංග්‍රීසි මුරටැඹ පාඩම් කලාපය දිගටම පළ කරන්න අපි තීරණය කරලා තියෙනවා. ඒක සතුටුදායක ආරංචියක්! ළඟදීම සරල කරන ලද ප්‍රංශ, පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලිනුත් එය පළ කරන්න බලාපොරොත්තු වෙනවා.

ඇයි මේ තරම් අගයක්!

දකුණු පැසිෆික් ප්‍රදේශයේ සේවය කරන සහෝදරයන් කීපදෙනෙක් ඒ කලාපය ගැන මේ විදිහට අදහස් ලියලා එව්වා. “මුරටැඹ ලිපියෙන් කියන්න හදන දේ දැන් සහෝදරයන්ට තවත් හොඳට තේරුම්ගන්න පුළුවන්.” තවත් කෙනෙක් ලියලා තිබුණේ මෙහෙමයි. “මේ කලාපයේ තේරුම්ගන්න පුළුවන් සරල වචන පාවිච්චි කරලා තියෙන නිසා බර වචනවලයි යෙදුම්වලයි අදහස හොයන්න ගිය කාලය දැන් ඉතුරුයි. ඒ නිසා ලිපියේ තියෙන බයිබල් පද තේරුම්ගන්නත් ඒවා අදාළ වෙන විදිහ හිතලා බලන්නත් වැඩි කාලයක් තියෙනවා.”

උපාධියක් තියෙන ඇමරිකාවේ ඉන්න කෙනෙක් මේ කලාපය ගොඩක් අගය කරනවා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “උසස් අධ්‍යාපනය නිසා අවුරුදු 18ක් තිස්සේ මං පාවිච්චි කළේ ලොකු ලොකු වචන. ඒ නිසා කතාබහ කරද්දී ඉබේම වගේ කටින් පිට වුණේ බර වචනයි. දෙයක් සරල විදිහට පැහැදිලි කරන එක මට අමාරු දෙයක් වුණා. ඉතින් මං හිතන විදිහ, කතා කරන විදිහ වෙනස් කරන්න ඕනෙ කියලා මං තේරුම්ගත්තා. ඒක කරන්න මට උදව් වුණේ සරල ඉංග්‍රීසි භාෂාවෙන් පළ වෙන මුරටැඹ කලාපයයි. ඕනෙම දෙයක් සරලව කියන්න පුළුවන් කියන එකට මේ කලාපය හොඳ උදාහරණයක්.” ඇය දැන් උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන සහෝදරියක්.

සරල කරන ලද මුරටැඹ කලාපය ගැන එංගලන්තේ සහෝදරියක් කියන අදහස බලන්න. එයා බව්තීස්ම වුණේ 1972දී. “මුල්ම කලාපය කියවද්දී මට හිතුණේ යෙහෝවා දෙවි මං ළඟින්ම ඉඳගෙන ඒක මාත් එක්ක කියවනවා කියලයි. ඒකෙ ලිපි කොච්චර සරලද කියනවා නම් ඒක කියවද්දී දැනෙන්නේ තාත්තා කෙනෙක් එයාගේ පුංචි දරුවට කතන්දරයක් කියලා දෙනවා වගෙයි.”

මීට අවුරුදු 40කට කලින් බව්තීස්ම වුණු ඇමරිකාවේ බෙතෙල් එකේ සේවය කරන සහෝදරියක් කියන්නේ සමහර දේවල් ගැන එයාගේ අවබෝධය තව වැඩි කරගන්න මේ අලුත් මුරටැඹ කලාපය උදව් වුණා කියලයි. ඒ කලාපයේ එන හැම පාඩම් ලිපියකම, ලිපියේ පාවිච්චි කරලා තියෙන සමහර වචන හා යෙදුම් පැහැදිලි කරන කොටුවක් තියෙනවා. උදාහරණයකට 2011 සැප්තැම්බර් 15 මුරටැඹ කලාපයේ ලිපියක හෙබ්‍රෙව් 12:1 තියෙන යෙදුමක් ඒ කොටුවේ සරලව පැහැදිලි කරලා තිබුණා. ඇය කිව්වේ, “ඒ පදේ ගැන මං කලින් හිතපු නැති පැත්තක් අවබෝධ කරගන්න ඒක මට උදව් වුණා” කියලයි. මේ සඟරාව සභාවේ අයට උදව් වෙන තවත් විදිහක් ගැනත් ඇය මෙහෙම කිව්වා. “පොඩි එක් කෙනෙක් උත්තරයක් දෙනකොට මේකෙම තියෙන දේ කියෙව්වත් සාමාන්‍ය සඟරාව බලන අයට හිතෙන්නේ එයාගෙම වචනවලින් ඒක කියනවා කියලයි.”

බෙතෙල් එකේ සේවය කරන තවත් සහෝදරියක් මේ වගේ අදහසක් කිව්වා. “සභාවේ ඉන්න පුංචි අය දෙන උත්තර අහන්න මං හරිම ආසාවෙන් බලන් ඉන්නේ. අලුත් කලාපය නිසා දැන් ඒගොල්ලෝ කිසිම භයක් නැතුව අදහස් කියනවා. ඒක මට ලොකු දිරිගැන්වීමක්.”

වර්ෂ 1984දී බව්තීස්ම වුණු සහෝදරියක් මේ සඟරාව අගය කරමින් මෙහෙම කිව්වා. “මට හිතෙන්නේ මේක ලියලා තියෙන්නේ මටමයි කියලා. කියවන දේ ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් නිසා මුරටැඹ පාඩම වෙලාවේදී උත්තර දෙන්න භයක් දැනෙන්නේ නෑ.”

දෙමාපියන්ට ලොකු උපකාරයක්

වයස අවුරුදු හතක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් මෙහෙම කියනවා. “අපි මුරටැඹ පාඩමට ලෑස්ති වෙද්දී ඒකේ තියෙන දේවල් තේරුම්ගන්න පුතාට අමාරු නිසා ගොඩක් කාලය අරගෙන ඒවා පැහැදිලි කරලා දෙන්න වෙනවා. හැබැයි සරල ඉංග්‍රීසි කලාපයේ හරිම සරල වචන පාවිච්චි කරලා තියෙන නිසාත් කෙටි වාක්‍ය තියෙන නිසාත් ඡේද කියවලා ඒවා තේරුම්ගන්න එයාට පුළුවන්. ඒකෙන් මගේ කාලයත් ඉතුරු වෙනවා. රැස්වීම්වලදී උත්තර දෙන්න දැන් එයාම තනියෙන් ලෑස්ති වෙනවා. ඒ විතරක් නෙවෙයි මුරටැඹ පාඩම වෙලාවෙත් දැන් එයා වෙනදට වඩා වැඩි අවධානයක් දෙනවා.”

අවුරුදු නවයක දුවෙක් ඉන්න අම්මා කෙනෙකුත් මෙහෙම කිව්වා. “ඉස්සර අපේ උදව් නැතුව මුරටැඹ පාඩමට උත්තර හොයාගන්න දුවට අමාරුයි. ඒත් දැන් එයා තනියම පාඩමට ලෑස්ති වෙනවා. ඒක තේරුම්ගන්න ලේසි නිසා දැන් එයා මුරටැඹ පාඩමට හවුල් වෙන්නේ හරිම ආසාවෙන්. කලාතුරකින් තමයි ලිපියේ තියෙන දෙයක් එයාට තේරුම් කරලා දෙන්න වෙන්නේ.”

පුංචි අය කියන දේ

ගොඩක් දරුවන්ට හිතෙන්නේ සරල ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන මුරටැඹ කලාපය ඒගොල්ලන්ටම දීපු එකක් කියලයි. අවුරුදු දොළහක් වයස රෙබෙකා මේ වගේ ඉල්ලීමක් කළා. “මේ කලාපය දිගටම අපිට දෙන්න. හැම පාඩම් ලිපියකම වචන පැහැදිලි කරලා තියෙන කොටුවට මං හරි කැමතියි. පුංචි අපිට ඒක හුඟක් වටිනවා.”

අවුරුදු හතක් වයස නිකලට් එයාට හැඟුණු විදිහ ගැන මෙහෙම කියනවා. “කලින් මට මුරටැඹ පාඩම එච්චර තේරුනේ නෑ. ඒත් දැන් මට උත්තර ගොඩක් දෙන්න පුළුවන්.” තව පුංචි දුවක් මෙහෙම ලිව්වා. එයාගේ නම එමා. එයාට වයස අවුරුදු නවයයි. “මායි මගේ මල්ලියි අලුත් මුරටැඹට හරිම ආසයි. ඒකෙ තියෙන දේවල් අපිට හොඳට තේරෙනවා. ඒක දුන්නට ගොඩක් ස්තූතියි.”

ඒ අද්දැකීම්වලින් පැහැදිලි වෙන්නේ සරල ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන මුරටැඹ පාඩම් කලාපය ගොඩක් අයට ප්‍රයෝජනවත් කියලයි. ඒ නිසා 1879 ඉඳලා පළ වෙන මුරටැඹ කලාපයත් එක්ක මේ අලුත් කලාපයත් දිගටම පළ කරනවා.