Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිව තවත් හඳුනගන්න

යෙහෝවා දෙවිව තවත් හඳුනගන්න

“ඔබ දෙවිව හඳුනාගෙන ඇත.”—ගලා. 4:9.

1. ගුවන් නියමුවෙක් ලැයිස්තුවක් පාවිච්චි කරන්නේ ඇයි?

ගුවන් යානයක් අහසට නග්ගන්න කලින් ඒකේ හැම දෙයක් ගැනම ගුවන් නියමුවා හොඳට හොයලා බලනවා. ඒකට එයා ලැයිස්තුවක් පාවිච්චි කරනවා. එතකොට එක දෙයක්වත් අතපසු වෙන්නේ නැහැ. එයා අලුත් කෙනෙක් වුණත් පලපුරුදු කෙනෙක් වුණත් එහෙම කරන්න ඕනෙ. මොකද පුංචි දෙයක් හරි අතපසු වුණොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්.

2. අපි සෝදිසි කරලා බලන්න ඕනෙ මොනවද?

2 අපිටත් ඒ ගුවන් නියමුවාට වගේ ලැයිස්තුවක් තියෙනවා. ඒක පාවිච්චි කරලා දෙවි ගැන තියෙන අපේ විශ්වාසය නිතර සෝදිසි කරලා බලන්න ඕනෙ. අපි ළඟදී බව්තීස්ම වුණත් කාලෙකට කලින් බව්තීස්ම වෙලා තිබුණත් ඒක අත්‍යවශ්‍ය දෙයක්. සමහරු හිතනවා ‘කවුරු වැටුණත් මම නම් වැටෙන්නේ නැහැ’ කියලා. හැබැයි අපේ විශ්වාසය නිතර සෝදිසි කළේ නැත්නම් ප්‍රශ්න ගැටලු එද්දී යෙහෝවා දෙවිත් එක්ක තියෙන අපේ බැඳීම නැති වෙන්න පුළුවන්. ඒ නිසයි බයිබලයේ මෙහෙම කියන්නේ. “කෙනෙක් තමා ස්ථිරව සිටිනවා කියා සිතුවත් ඔහු වැටී යෑමට ඉඩ තිබේ. එමනිසා ඔහු සෝදිසියෙන් සිටිය යුතුයි.”—1 කොරි. 10:12.

3. ගලාති සභාවේ හිටපු අය කරන්න ඕනෙ වුණේ මොකක්ද?

3 යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවිව තවත් හොඳින් හඳුනගෙන දෙවිගේ දරුවන් වෙන්න මිනිසුන්ට අවස්ථාව ලැබුණා. ඒත් ගලාති සභාවේ හිටපු සමහර යුදෙව්වන් හිතුවා දෙවිගේ අනුමැතිය ලබාගන්න නම් වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන් ඇතුළු හැමෝම මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය පිළිපදින එක අනිවාර්යයි කියලා. (ගලා. 4:9) හැබැයි ඒ වෙනකොට දෙවි ඒ නීතිය අවලංගු කරලයි තිබුණේ. ඒ නිසා හැමෝම සත්‍ය නමස්කාරයේ දියුණු වෙන එකයි දෙවි බලාපොරොත්තු වුණේ. ඔවුන් හිටියේ ඔවුන්ගේ විශ්වාසය ගැන සෝදිසි කරලා බලන්න ඕනෙ තත්වයකයි.

දෙවිව හඳුනගන්න තැබූ පියවර

4, 5. ගලාති සභාවේ අයට ලැබුණ මඟ පෙන්වීම් අපට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

4 යෙහෝවා දෙවි ගලාති සභාවේ අයට දුන්න මඟ පෙන්වීම්වලින් අපිටත් ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙම කළොත් සත්‍ය ඉගැන්වීම් අත්හරින්නේ නැතුව ඉන්නත් අපි අත්හැරලා දාපු දේවලට ආයෙත් ඇදිලා යන්නේ නැතුව ඉන්නත් අපිට පුළුවන් වෙනවා. දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අපි හැමෝටම ඒ මඟ පෙන්වීම් උදව් කරනවා.

5 ඔබ දෙවිට සේවය කරන්න තීරණයක් ගත්ත කාලය ගැන හිතන්න. යෙහෝවා දෙවි ගැන දැනගත්ත දවසේ ඔබට හැඟුණේ කොහොමද? දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති වෙද්දී ඔබට දැනුණේ කොහොමද? දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න ඔබ ගත්ත පියවර ඔබට මතකද?

6. අපි සෝදිසි කරලා බලන්න යන්නේ මොනවා ගැනද?

6 ඒ පියවර නවය එකින් එක සෝදිසි කරලා අපි තාමත් ඒ විදිහට කරනවද කියලා හිතලා බලමු. ( “අපි ගත්ත මේ පියවර නවය ගැන දිගටම සෝදිසි කරලා බලමු” යන කොටුව බලන්න.) එතකොට අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්නත් අපි අත්හැරලා ආපු දේවලට ආයෙත් ඇදිලා යන්නේ නැතුව ඉන්නත් පුළුවන් වෙනවා.

ගහක් වගේ සරුවට වැඩෙන්න

7. අපි තදින් ඇලී ඉන්න ඕනෙ මොනවටද? ඒක අපිට උදව් වෙන්නේ කොහොමද?

7 ගුවන් යානයක් ගුවන් ගත කරන හැම වතාවකටම කලින් ගුවන් නියමුවා ලැයිස්තුවට අනුව හැම දේම හරියට තියෙනවද කියලා සෝදිසි කරලා බලනවා. අපිත් දෙවිට කරන නමස්කාරයේ දියුණු වෙනවද කියලා හැම වෙලාවකම සෝදිසි කරලා බලන්න ඕනෙ. පාවුල් තිමෝතිට කිව්ව මේ දේ බලන්න. “ඔබ මගෙන් අසා ඉගෙනගත් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට තදින් ඇලී සිටින්න. එහි දක්නට තිබෙන රටාවෙන් ඉවතට නොයන්න. එමෙන්ම ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තබා ඔහු සඳහා ඔබේ ප්‍රේමය පෙන්වන්න.” (2 තිමෝ. 1:13) ඒ “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්” තියෙන්නේ බයිබලයේ. (1 තිමෝ. 6:3) චිත්‍ර ශිල්පියෙක් ඉස්සෙල්ලම කරන්නේ අඳින්න ඕනෙ චිත්‍රයේ කටුසටහනක් ඇඳගන්න එකයි. ඒක දිහා බලන කෙනෙකුට ඒ චිත්‍රය ගැන සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන්. ඒ වගේ යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන සම්පූර්ණ අදහසක් ගන්න බයිබලයේ තියෙන “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්” අපිට උදව් වෙනවා. දැන් අපි ටිකක් අපි ගත්ත පියවර නවය ගැන කතා කරමු. එහෙම කරද්දී ‘මං තාමත් ඒ පියවරවලට අනුව ජීවත් වෙනවද’ කියලා අපෙන්ම අහගමු.

8, 9. (අ) දෙවිව දිගටම දැන හඳුනා ගන්නත් විශ්වාසය වැඩි කරගන්නත් අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි? (ආ) ක්‍රිස්තියානියෙකුගේ දියුණුව ගහක වර්ධනය වගේ කියලා කියන්න පුළුවන් කොහොමද? දිගටම දියුණු වෙන එක වැදගත් ඇයි?

8 අපි ගත්ත පළවෙනි පියවර තමයි දෙවිව දැන හඳුනා ගත්ත එක. ඒක තමයි අපිට උදව් වුණේ දෙවි ගැන විශ්වාසයක් ඇති කරගන්න. බව්තීස්ම වුණාට පස්සෙත් දෙවිව තවත් දැන හඳුන ගන්න එකත් විශ්වාසය ශක්තිමත් කරගන්න එකත් දිගටම කරන්න ඕනෙ. එතකොට දෙවි එක්ක තියෙන අපේ බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන්.—2 තෙස. 1:3.

ගහක් වර්ධනය වෙනවා වගේ අපිත් සත්‍යයේ දියුණු වෙමු

9 ගහක් වැඩෙන හැටි ටිකක් හිතමුද? පුංචි පැළේ ටිකෙන් ටික ලොකු වෙලා මහ ගහක් වෙන හැටි හරිම පුදුමයි. බයිබලයේ සඳහන් වෙන දේවදාර ගහත් ඒ වගේ. (සල. 5:15) සරුවට වැඩුණ දේවදාර ගහක් අඩි 120ක් විතර උසයි. කඳේ වට ප්‍රමාණය අඩි 40ක් විතර වෙනවා. ගහ වැඩෙන මුල් කාලයේ බලන් ඉද්දී ගහ උස යනවා. ගහේ මුල් ගැඹුරට බැහැලා හොඳට පැතිරෙද්දී ගහේ කඳත් ටිකෙන් ටික විශාල වෙලා ගහ තවත් උස යනවා. ඒත් කාලයක් යද්දී ගහේ වර්ධනය ඉස්සර තරම් අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ ගහ වර්ධනය වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. හෙමින් වුණත් ඒ ගහ වර්ධනය වෙලා හොඳට මෝරනවා. දෙවිට සේවය කරන කෙනෙක් සත්‍යය තුළ දියුණු වෙන්නෙත් ඒ වගේ. අපි බයිබලය පාඩම් කරන්න පටන්ගත්ත කාලයේදී හරි ඉක්මනට ජීවිතයේ වෙනස්කම් කළා. බව්තීස්ම වුණා. පුරෝගාමි සේවය කරන්නත් ඇති. සභාවේ වගකීම් භාර අරන් කරන්නත් ඇති. අපේ දියුණුව හැමෝම දැක්කා. ඒත් කාලයක් යද්දී අපේ දියුණුව අනිත් අයට පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝම අපේ දැනුමත් අපේ විශ්වාසයත් තව තවත් වැඩි කරගෙන “හොඳින් වැඩුණු අවබෝධයෙන් ක්‍රියා කරන පුරුෂයෝ” වගේ වෙන්න ඕනෙ.—එෆී. 4:13.

10. අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් වුණත් සත්‍යය තුළ තවත් දියුණු වෙන්න ඕනෙ ඇයි?

10 ගහක් වර්ධනය වෙද්දී ඒ ගහේ මුල් හොඳට විහිදිලා ගහ ශක්තිමත් වෙනවා. ලේසියෙන් වැටෙන්නේ නැහැ. දෙවිගේ වචනය ගැන අපිට තියෙන දැනුමත් දෙවි ගැන තියෙන විශ්වාසයත් හරියට ගහක මුල් වගේ අපිව ශක්තිමත් කරනවා. නොසැලී ඉන්නත් අපිට උදව් කරනවා. (හිතෝ. 12:3) අවුරුදු 30කටත් වඩා වැඩි කාලයක් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන සහෝදරයෙක් මෙහෙම කියනවා. “ගත වෙන හැම දවසක් ගානෙම බයිබලය ගැන ලොකු අගයක් මට ඇති වෙනවා. බයිබලය අධ්‍යයනය කරන්න කරන්න බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න පුළුවන් අලුත් පැති ගැන අවබෝධයක් ලැබෙනවා. දේශනා සේවයේ යන්න තියෙන ආශාවත් වැඩි වෙනවා.”

දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න

11. යෙහෝවා දෙවි එක්ක තියෙන අපේ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?

11 දෙවිගේ සේවකයෙක් විදිහට දියුණු වෙන්න නම් යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න ඕනෙ. තාත්තා කෙනෙක්ගේ තුරුලේ ඉන්නකොට දරුවෙකුට කොයි තරම් නම් ආදරයක් ආරක්ෂාවක් දැනෙනවද! අපිට ඇත්තටම ආදරය කරන හොඳ යාළුවෙක් එක්ක ඉන්නකොට අපිට මොන තරම් සතුටක් දැනෙනවද! යෙහෝවා දෙවි තමයි අපිට ඉන්න පුළුවන් හොඳම තාත්තා. හොඳම යාළුවා. යෙහෝවා දෙවිට ඒ තරම් කිට්ටු වෙන්න කාලයක් යනවා තමයි. ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනෙ. ඒත් ඒක වටිනවා. ඒ නිසා හැමදාම බයිබලය කියවමු. යෙහෝවා දෙවි අපිට දෙන හැම පොතක් සඟරාවක්ම කියවමු. එතකොට දෙවිව තවත් හොඳින් හඳුනගන්නත් දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්නත් අපිට පුළුවන්.

12. දෙවි එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?

12 ඊළඟ පියවර දෙක තමයි යාච්ඤාව සහ සහෝදර සහෝදරියන් එක්ක කරන ඇසුර. ඒ දේවලිනුත් දෙවි එක්ක තියෙන අපේ බැඳීම ශක්තිමත් වෙනවා. (මලාකි 3:16 කියවන්න.) යෙහෝවා දෙවි තමන්ගේ යාළුවන් කරන යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා. (1 පේතෘ. 3:12) ඒ නිසා හැමදාම යාච්ඤා කරමු. (රෝම 12:12) දෙවිගේ උදව් තිබුණේ නැත්නම් අපිට දෙවිගේ යාළුවෙක් විදිහට දිගටම ඉන්න බැහැ. අපි දෙවිට යාච්ඤා කරලා උදව් ඉල්ලුවේ නැත්නම් අපිට ඕනෙ කරන ශක්තිය ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි අධෛර්යය වෙන්න පුළුවන්. දෙවි අකමැති දෙයක් අපි අතින් වෙන්නත් පුළුවන්. ඒත් අපි ඉල්ලනවා නම් අපිට උදව් කරන්න දෙවි ආශාවෙන් ඉන්නවා. ඔබ යාච්ඤා කරන්නේ කොහොමද? ඔබේ හොඳම යාළුවා එක්ක කතා කරනවා වගේ ආදරෙන් සැහැල්ලුවෙන් දෙවි එක්ක කතා කරන්න ඔබට පුළුවන්ද?—යෙරෙ. 16:19.

13. අපි රැස්වීම්වලට දිගටම යන්න ඕනෙ ඇයි?

13 අපි, අපේ සභාවේ අයත් එක්ක ඇසුරු කරන්න ඕනෙ. තමාගේ “රැකවරණය පතන” ඒ හැමෝටම දෙවි ආදරෙයි. (නාහු. 1:7) මේ සමාජය එන්න එන්නම නරක අතට හැරෙන නිසා අපි තවත් වැඩියෙන් අපේ සහෝදර සහෝදරියන් එක්ක ඇසුරු කරමු. එහෙම කරනකොට එක එක් කෙනාව ශක්තිමත් කරන්න අපිට පුළුවන්. අනිත් අයට ආදරය කරන්නත් ‘යහපත් ක්‍රියා කරන්නත්’ ඒ අය අපිව පොලඹවයි. (හෙබ්‍රෙ. 10:24, 25) අපි සභාවේ අය එක්ක කිට්ටුවෙන් ඇසුරු කළේ නැත්නම් ඒ විදිහට කරන්න අපිට බැරි වෙනවා. ඒ නිසා දිගටම රැස්වීම්වලට යමු. උත්තර දීලා රැස්වීමට හවුල් වෙමු.

14. පසුතැවිලි වෙලා ජීවිතේ වෙනස්කම් කරන්න අපි හැම වෙලාවකම ලෑස්ති වෙලා ඉන්න ඕනෙ ඇයි?

14 පස්වෙනි හා හයවෙනි පියවර තමයි පසුතැවිලි වීම සහ ජීවිතයේ කරපු වැරදි අත්හැරීම. අපි බව්තීස්ම වෙන්න ඉස්සෙල්ලා ඒ පියවර දෙක ගත්තා තමයි. ඒත් අපි අසම්පූර්ණ නිසා ඉස්සරහටත් ඒ දේවල් කරන්න හැම වෙලාවකම ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. පාපය හරියට සර්පයෙක් වගේ. හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ අපිට දෂ්ට කරන්න. (රෝම 3:9, 10; 6:12-14) ඒ නිසා මං අතින් නම් වැරදි වෙන්නේ නැහැ කියලා හිතන්න හොඳ නැහැ. අපේ දුර්වලකම් එක්ක අපිට හැමදාම සටන් කරන්න වෙනවා. ඒ සටන කරද්දී යෙහෝවා දෙවි අපි දිහා ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. (ෆිලි. 2:12; 2 පේතෘ. 3:9) ඒ නිසා අපේ ආශාවන් ගැනම හිතහිතා ඉන්නේ නැතුව අපේ උපරිම ශක්තිය සහ කාලය යොදවලා දෙවිට සේවය කරමු. එක සහෝදරියක් කියන දේ බලන්න. “මම පුංචි කාලේ ඉඳල සත්‍යයේ හිටියත් මං හිතුවේ දෙවි සතුටු වෙන විදිහට ජීවත් වෙන්න මට බැහැ කියලයි. යෙහෝවා දෙවි ගැන මට තිබුණේ භයක්.” ඒ සහෝදරියට යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න බැරි වුණා. එයා අතින් වැරදි වුණා. එයා මෙහෙම කියනවා. “මගේ අතින් වැරදි වුණේ මම දෙවිට ආදරේ නැති නිසා නෙවෙයි. දෙවිව හරියටම හඳුනගෙන හිටියේ නැති නිසයි. ඒත් මම දෙවිට යාච්ඤා කරලා වැරදි හදාගත්තා. ඒ අමාරු කාලෙදී යෙහෝවා දෙවි මට උදව් කළේ හරියට පුංචි දුවෙක්ව අතින් අල්ලගෙන, කරන්න ඕනෙ දේවල් එයාට කියලා දෙන තාත්තා කෙනෙක් වගෙයි.”

15. යෙහෝවා දෙවි සහ යේසුස් දකින්නේ සහ අගය කරන්නේ මොනවද?

15 අපේ ලැයිස්තුවේ තියෙන හත්වෙනි දේ තමයි දේවසේවය. දේවදූතයෙක් පේතෘස්ටත් එයා එක්ක හිටපු අයටත් කිව්වේ ශුභාරංචිය ගැන “නොකඩවා කියන්න” කියලයි. (ක්‍රියා 5:19-21) දේවසේවය නිසා අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා. ඒ නිසා ‘මං හැම සතියකම සේවයේ යනවද’ කියලා අපෙන්ම අහලා බලමු. අපේ විශ්වාසයත් සේවය වෙනුවෙන් අපිට තියෙන උනන්දුවත් යෙහෝවා දෙවි සහ යේසුස් දකිනවා. ඒ වගේම ඒක අගය කරනවා. (එළි. 2:19) සේවයේ යන එක අපේ ජීවිතයේ අනිවාර්යය හා වැදගත් අංගයක් කියලා අපි මතක තියාගමු.

16. අපේ කැප වීම ගැන නිතරම හිතන්න ඕනෙ ඇයි?

16 අටවෙනි පියවර තමයි කැප වීම. අපි වුණ කැප වීම ගැන හැම තිස්සෙම අපි හිතන්න ඕනෙ. කැප වුණාට පස්සේ අපි අයිති යෙහෝවා දෙවිට නිසා දෙවි අපිව හොඳට අඳුනගන්නවා. (යෙසායා 44:5 කියවන්න.) එතකොට දෙවි එක්ක තියෙන අපේ බැඳීම තවත් ශක්තිමත් වෙනවා. ඒක තමයි අපේ ජීවිතයේ තියෙන වටිනාම දේ. ඒ නිසා ඒ බැඳීම ශක්තිමත්ව තියෙනවද කියලා නිතරම සෝදිසි කරලා බලමු. ඒ බැඳීම ශක්තිමත්ව තියාගන්න දෙවිගෙන් උදව් ඉල්ලමු. නවවෙනි පියවර තමයි බව්තීස්මය. අපි බව්තීස්ම වුණ දවස කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. අපි යෙහෝවා දෙවිට කැප වෙලා ඉන්නවා කියලා අනිත් අයට පෙන්නුවේ බව්තීස්ම වෙලයි. ඒක තමයි අපේ ජීවිතේ ගත්ත වැදගත්ම තීරණය.

උත්සාහය අත්හරින්න එපා

17. අපි උත්සාහය අත්හරින්න හොඳ නැත්තේ ඇයි?

17 උත්සාහය අත්හරින්න එපා කියලා පාවුල් ගලාති සභාවේ අයට කිව්වා. (ගලා. 6:9) අපිටත් අනිවාර්යයෙන් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙයි. ඒත් අපි ඒවා විඳදරාගන්න ඕනෙ. යෙහෝවා දෙවි අපිට උදව් කරන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා දෙවිගෙන් බලය ඉල්ලමු. එතකොට ප්‍රශ්න ගැටලු තිබුණත් සතුටින්, හිතේ සැනසීමෙන් ඉන්න දෙවි අපිට උදව් කරනවා. (මතෙ. 7:7-11) මෙහෙම හිතන්න. මේ ලෝකයේ කුරුල්ලෝ කොච්චර ඉන්නවද! ඒත් දෙවි උන්ව බලාගන්නවා. එහෙමනම් දෙවිට ආදරය කරන, දෙවිට ජීවිතය කැප කරපු ඔබටයි මටයි දෙවි කොච්චර ආදරේ ඇද්ද! (මතෙ. 10:29-31) ඒ නිසා මොන ප්‍රශ්න ආවත් දෙවිට කරන නමස්කාරය අත්හරින්න එපා. අත්හැරලා ආපු දේවල් ගැන හිතලා සත්‍ය නමස්කාරය දාලා යන්නත් එපා. යෙහෝවා දෙවිව හඳුනගෙන ඉන්න නිසා අපිට මොන තරම් ආශීර්වාද ලැබිලා තියෙනවද කියලා නිතරම හිතලා බලන්න.

18. දෙවිව හඳුනගෙන ඉන්න අපි හැමෝම කරන්න ඕනෙ මොනවද?

18 අපි බව්තීස්ම වුණේ ළඟදී වුණත් බව්තීස්ම වෙලා අවුරුදු ගාණක් ගත වෙලා තිබුණත් අපි හැමෝම කරන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ තමයි වැඩි වැඩියෙන් යෙහෝවා දෙවිව හඳුනගන්න එක. ඒ වගේම අපි සත්‍යය තුළ දියුණු වෙන්නත් ඕනෙ. ‘මං නම් දෙවිව හොඳින් හඳුනගෙනයි ඉන්නේ. දෙවි එක්ක බැඳීමක් ඇති කරගන්න මට කරන්න පුළුවන් හැම දේම කරලයි තියෙන්නේ. මීට වඩා තව කරන්න දෙයක් නැහැ’ කියලා කවදාවත් හිතන්න එපා. අපි මේ ලිපියේ කතා කරපු කරුණු නවයට එකඟව මම වැඩ කරනවද කියලා නිතර නිතර සෝදිසි කරලා බලමු. එහෙම කළොත් යෙහෝවා දෙවිව අපේ ආදරණීය පියා සහ හොඳම මිතුරා කරගන්න අපිට පුළුවන් වෙනවා නිසැකයි.—2 කොරින්ති 13:5, 6 කියවන්න.