Skip to content

පටුනට යන්න

උද්‍යෝගයෙන් සේවය කරමු

උද්‍යෝගයෙන් සේවය කරමු

“අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු.”—ගලා. 6:9.

1, 2. දෙවිගේ සංවිධානය ගැන බයිබලයේ සඳහන් දර්ශන අපිට උදව් වෙන්නේ කොහොමද?

මුළු විශ්වයේම පැතිර තියෙන සංවිධානයක සාමාජිකයෙක් වෙන්න ලැබීම මොන තරම් වටිනා අවස්ථාවක්ද! ඒ සංවිධානය යොදාගෙන යෙහෝවා දෙවි තම අරමුණ ඉටු කරන විදිහ ගැන එසකියෙල් 1වෙනි පරිච්ඡේදයෙත් දානියෙල් 7වෙනි පරිච්ඡේදයෙත් ලස්සනට පැහැදිලි කරනවා. ඒ සංවිධානයේ පොළොවේ තියෙන කොටස භාර දීලා තියෙන්නේ යේසුස්ට. දේශනා සේවය ලොව පුරා කරන්නත් සේවය කරන අයට අවශ්‍ය මඟ පෙන්වීම් හා දිරිගැන්වීම් ලබා දෙන්නත් දෙවිට නමස්කාර කරන අය වෙන්න අනිත් අයට උදව් කරන්නත් යේසුස් යටතේ තියෙන සංවිධානය හැම දෙයක්ම කරනවා. ඒ නිසා දෙවිගේ සංවිධානය විශ්වාස කරලා වැඩ කරන්න අපි පෙලඹෙනවා.—මතෙ. 24:45.

2 ඔබත් දෙවිගේ සංවිධානය වගේ උද්‍යෝගයෙන් දෙවිට සේවය කරනවද? එහෙම නැත්නම් ඔබට තිබුණ උද්‍යෝගය ටිකක් අඩු වෙලාද? පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ටත් එහෙම වුණා. යේසුස් උද්‍යෝගයෙන් සේවය කරපු විදිහ පාවුල් ඔවුන්ට මතක් කරලා දුන්නේ ඒ නිසයි. ‘වෙහෙසට පත් නොවී උත්සාහය අත්හරින්නේ නැතුව’ ඉන්න ඔවුන්ට යේසුස්ගේ ආදර්ශය උදව් වුණා. (හෙබ්‍රෙ. 12:3) ඒ වගේ අද අපිටත් අවසානය දක්වා විඳදරාගෙන උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන්න, යෙහෝවා දෙවිගේ සංවිධානය හොඳ ආදර්ශයක්.

3. අත් නෑර සේවය කරන්න නම් අපි කරන්න ඕනෙ මොනවද? මේ ලිපියේ අපි සාකච්ඡා කරන්නේ මොනවා ගැනද?

3 අත් නෑර උද්‍යෝගයෙන් සේවය කරන්න නම් දෙවිගේ සංවිධානය තබන ආදර්ශය ගැන හිතන එක විතරක් මදි. පාවුල් කිව්වේ ‘දිගටම යහපත් දේ කරන්න’ කියලයි. (ගලා. 6:9) දිගටම දෙවිගේ සංවිධානයේ මඟ පෙන්වීම් පිළි අරගෙන උද්‍යෝගයෙන් සේවය කරන්න නම් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දේවල් පහක් ගැන දැන් කතා කරමු. ඒ ගැන කතා කරද්දී ඔබත් ඔබේ පවුලේ අයත් හදාගන්න ඕනෙ පැති මොනවද කියලා හොඳට හිතලා බලන්න.

රැස්වීම්වලට සහභාගි වීම

4. දෙවිට කරන නමස්කාරයේදී රැස්වීම් ප්‍රධාන අංගයක් කියලා කියන්නේ ඇයි?

4 රැස්වීම් කියන්නේ, අතීතයේ ඉඳන්ම යෙහෝවා දෙවිගේ සේවකයන්ට හුඟක් වැදගත් දෙයක්. ස්වර්ගයෙත් රැස්වීම් තියෙනවා. එහිදී යෙහෝවා දෙවි සහ දේවදූතයන් එකට රැස් වෙනවා. (1 රාජා. 22:19; යෝබ් 1:6; 2:1; දානි. 7:10) දෙවි ඊශ්‍රායෙල්වරුන්ටත් එකට රැස් වෙන්න කියලා කිව්වා. ඒ රැස්වීම් නිසා ‘නීතියට සවන් දීලා ඒ ගැන හොඳින් ඉගෙනගන්න ඔවුන්ට පුළුවන් වුණා.’ (ද්වි. 31:10-12) පළවෙනි සියවසේ හිටපු යුදෙව්වනුත් සිනගෝගයට රැස් වෙලා ශුද්ධ ලියවිල්ල කියෙව්වා. (ලූක් 4:16; ක්‍රියා 15:21) ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වට පස්සෙත් රැස්වීම්වලට හිමි වුණේ ප්‍රධාන තැනක්. අදත් රැස්වීම් කියන්නේ යෙහෝවා දෙවිට අපි කරන නමස්කාරයේ ප්‍රධාන අංගයක්. ‘එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවන්න’ රැස්වීම් අපිට උදව් වෙනවා. අපි ජීවත් වෙන්නේ අවසාන දවස්වල නිසා ‘වැඩි වැඩියෙන් එකිනෙකාව දිරිගන්වන’ එක අත්‍යවශ්‍ය දෙයක්.—හෙබ්‍රෙ. 10:24, 25.

5. රැස්වීම්වලදී අපිට අනිත් අයව දිරිගන්වන්න පුළුවන් කොහොමද?

5 රැස්වීම්වලදී අපිට අනිත් අයව දිරිගන්වන්න පුළුවන් එක විදිහක් තමයි උත්තර දෙන එක. කොහොමද අපිට ඒක කරන්න පුළුවන්? මුලින්ම එක් කෙනෙකුට පුළුවන් අහලා තියෙන ප්‍රශ්නෙට අදාළව සරල උත්තරයක් දෙන්න. ඊටපස්සේ තව කෙනෙකුට පුළුවන් බයිබල් පද ඒ උත්තරේට සම්බන්ධ වෙන විදිහ ගැන කියන්න. ඒ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන අද්දැකීමක් හරි ඒකට අදාළ වෙනත් අදහසක් ගැන හරි කෙටියෙන් කියන්න තව කෙනෙකුට පුළුවන්. (ගීතා. 22:22; 40:9) අපි අවුරුදු ගාණක් තිස්සේ රැස්වීම්වලට එනවා ඇති. ඒත් කුඩා දරුවගේ ඉඳන් මහලුම කෙනා දක්වා දෙන පුංචි උත්තරේකින් වුණත් අපි හැමදාම දිරිගැන්වෙනවා නේද!

6. රැස්වීම් අපිට උදව් වෙන තවත් විදි මොනවද?

6 අපේ රැස්වීම් හා සමුළු අපිට තවත් විදිවලින් උදව් කරනවා. උදාහරණයකට අපි සේවය කරන ප්‍රදේශවල මිනිසුන් ශුභාරංචියට ඇහුම්කන් දෙන්න කැමති නැති වුණත් පීඩා කළත් නිර්භීතව දේශනා කරන්න අපිට රැස්වීම් උදව් වෙනවා. (ක්‍රියා 4:23, 31) රැස්වීම්වලින් ඉදිරිපත් කරන කතා සහ වෙනත් කොටස්වලින් අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. (ක්‍රියා 15:32; රෝම 1:11, 12) රැස්වීම්වලදී අපේ සහෝදර සහෝදරියන් එක්ක ආශ්‍රය කරන්න ලැබෙන එකත් මොන තරම් සතුටක්ද! මොන තරම් සහනයක්ද! (ගීතා. 94:12, 13) අපේ රැස්වීම් සකස් කරන්නේ පාලක මණ්ඩලයට අයත් ඉගැන්වීම් කමිටුවයි. අවුරුද්ද පුරාම හැම සතියෙම රැස්වීම්වලින් අපිට ලැබෙන මඟ පෙන්වීම් ගැන අපි කොයි තරම් නම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද!

7, 8. (අ) අපි රැස්වීම්වලට යන ප්‍රධාන හේතුව මොකක්ද? (ආ) රැස්වීම් ඔබට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

7 අපි රැස්වීම්වලට යන්නේ අපිට ලැබෙන ප්‍රයෝජන නිසා විතරක් නෙවෙයි. අපි රැස්වීම්වලට යන ප්‍රධාන හේතුව යෙහෝවා දෙවිට නමස්කාර කිරීමයි. (ගීතාවලිය 95:6 කියවන්න.) අපේ ශ්‍රේෂ්ඨ දෙවිට ස්තුති ප්‍රශංසා ගී ගායනා කරන්න ලැබිලා තියෙන එක අපිට ලොකු ගෞරවයක්. (කොලො. 3:16) රැස්වීම්වලදී උත්තර දෙන එකත් දෙවිට ප්‍රශංසා කරන එක විදිහක්. ඇත්තටම යෙහෝවා දෙවි අපේ ප්‍රශංසාව ලබන්න වටිනවා. (එළි. 4:11) ඒ නිසා ‘අතපසු නොකර’ රැස්වීම්වලට යන එක මොන තරම් වැදගත්ද!—හෙබ්‍රෙ. 10:25.

8 මේ දුෂ්ට සමාජය විනාශ වෙන දවස එනකල් විඳදරාගන්න අපිට උදව් වෙන්න දෙවි දීපු තෑග්ගක් තමයි රැස්වීම් කියන්නේ. ඒ නිසා මොන තරම් වැඩ තිබුණත් හැම රැස්වීමකටම යන්න උත්සාහ කරමු. (ෆිලි. 1:10) අත්‍යවශ්‍යම දෙයකදී හැර අපේ රැස්වීම් එකක්වත් අත්හරින්නේ නැතුව යමු.

උද්‍යෝගයෙන් දේශනා කිරීම

9. දේශනා සේවය අත්‍යවශ්‍ය දෙයක් කියලා අපි දන්නේ කොහොමද?

9 දෙවිගේ සංවිධානය දෙන මඟ පෙන්වීම් පිළිගන්නවා නම් අපි උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වෙනවා. දේශනා කිරීමේ කාර්යය පටන්ගත්තේ යේසුස්. (මතෙ. 28:19, 20) එදා ඉඳන් විශ්වය පුරාම පැතිරිලා තියෙන දෙවිගේ සංවිධානයේ මූලික අවධානය යොමු වෙලා තියෙන්නේ දේශනා කිරීමේ සහ දෙවිගේ සේවකයන් වෙන්න අනිත් අයට උදව් කිරීමේ කාර්යයටයි. ඒකට දේවදූතයනුත් සහය වෙනවා. සත්‍යය දැනගන්න උනන්දුවක් දක්වන අයව හොයාගන්න දේවදූතයෝ උදව් කරනවා කියලා හුඟක් අද්දැකීම්වලින් අපිට ඔප්පු වෙලා තියෙනවා. (ක්‍රියා 13:48; එළි. 14:6, 7) දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටස සම්පූර්ණ අවධානය දෙන්නෙත් දේශනා සේවය සංවිධානය කරලා ඒකට සහය දක්වන්නයි. ඔබේ ජීවිතයෙත් වඩාත්ම වැදගත් දේ වෙන්නේ දේශනා සේවයයි කියලා ඔබට විශ්වාසද?

10. (අ) එක සහෝදරයෙක් ඔහුගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්නේ කොහොමද? (ආ) ඔබේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න දේවසේවය ඔබට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

10 අපි උද්‍යෝගයෙන් දේශනා කරද්දී අපේ විශ්වාසයත් ශක්තිමත් වෙනවා. වැඩිමහල්ලෙක් සහ ස්ථාවර පුරෝගාමියෙක් වන මිචල් කියන්නේ මෙහෙමයි. “අපේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කියවනකොට ඒවාවල තියෙන උපදෙස් කොච්චර වටිනවද, ඒවා කොච්චර සමබරද කියලා හිතද්දී මට පුදුම හිතෙනවා. ඒ තොරතුරු ගැන සේවයේ ගිහින් අනිත් අයට කියනකල් මට ඉස්පාසුවක් නෑ. මිනිසුන් ඒ සඟරාවලට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා දැනගන්නත් ඔවුන් තුළ උනන්දුවක් ඇති කරන්නත් මම හරිම කැමතියි.” වඩා වැදගත් දේට මුල් තැන දෙන්න ඔහුට උදව් වෙලා තියෙන්නේ දේවසේවයයි. අපිත් දේශනා සේවයේ නිතිපතා හවුල් වෙනවා නම් මේ අන්තිම දවස්වල දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් වෙනවා.—1 කොරින්ති 15:58 කියවන්න.

අපේ සඟරා පොත් පත් කියවීම

11. අපේ සඟරා පොත් පත් හොඳට කියවලා ඒ ගැන හිතන්න ඕනෙ ඇයි?

11 යෙහෝවා දෙවි අපිව ශක්තිමත් කරන්න පාවිච්චි කරන තවත් දෙයක් තමයි අපේ සඟරා පොත් පත්. ඒවා කියවද්දී ‘මේක නං ලියලා තියෙන්නේ මටමයි’ කියලා හිතුණ අවස්ථා කොයි තරම් නම් තියෙනවද! එහෙම හිතෙන්නේ යෙහෝවා දෙවි අපිට මඟ පෙන්වීම් දෙන්න ඒ පොත් පත් යොදාගන්න නිසයි. දෙවි කිව්වේ “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි” කියලයි. (ගීතා. 32:8) ඔබේ අතට ලැබෙන හැම සඟරාවක්ම පොතක්ම ඔබ කියවලා ඒ ගැන හොඳට හිතනවද? මේ අන්තිම දවස්වල විඳදරාගෙන උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන්න ඒක අපිට උදව් වෙනවා.—ගීතාවලිය 1:1-3; 35:28; 119:97 කියවන්න.

12. අපේ පොත් පත් අගය කරන්න අපි පෙලඹෙන්නේ මොනවා කළොත්ද?

12 සඟරා පොත් පත් ඔබේ අතට ලැබෙන්න කලින් සහෝදරයන් ඒ වෙනුවෙන් මොන තරම් මහන්සි වෙනවද කියලා හිතනවා නම් ඒ සඟරා පොත් පත් අගය කරන්න ඔබ පෙලඹෙයි. ඒවා මුද්‍රණය කරන්න කලින් එහෙම නැත්නම් අන්තර්ජාලයට දාන්න කලින් ඒ වෙනුවෙන් විශාල කාර්යයක් සිදු වෙනවා. යම් විෂයක් ගැන ගවේෂණය කරන්න, ලියන්න, ව්‍යාකරණ සහ අකුරු නිවැරදිද කියලා බලන්න, පින්තූර සකස් කරන්න, පරිවර්තනය කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනෙ. මේ හැම දේම කෙරෙන්නේ පාලක මණ්ඩලයට අයත් ලේඛන කමිටුවේ මඟ පෙන්වීම්වලට අනුවයි. අවසානයේදී පොත් පත් මුද්‍රණය කරන ශාඛා කාර්යාලවලින් ඒවා ලෝකෙ පුරාම බෙදාහරිනවා. මේ හැම දෙයක්ම කරන්නේ ඇයි? දෙවිගේ සෙනඟට විශ්වාසවන්තව ඉන්න අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්නයි. (යෙසා. 65:13) ඒ නිසා යෙහෝවා දෙවිගේ සංවිධානය අපිට දෙන හැම සඟරාවක්ම හැම පොතක්ම අත්හරින්නේ නැතුව කියවමු.—ගීතා. 119:27.

දෙවිගේ සංවිධානයට සහය වීම

13, 14. දෙවිගේ සංවිධානයට සහය දෙන ස්වර්ගයේ ඉන්න අය කවුද? දෙවිගේ සංවිධානයට සහය දෙන්න අපිට පුළුවන් කොහොමද?

13 යෙහෝවා දෙවිට විරුද්ධ වෙන අය එක්ක සටන් කරලා ජය ගන්න යේසුස් සුදු අශ්වයෙක් පිට එනවා යොහන් දර්ශනයකින් දැක්කා. (එළි. 19:11-15) ස්වර්ගයේ ඉන්න අභිෂේක ලත් අයත් දේවදූතයනුත් යේසුස් පිටුපසින් අශ්වයන් පිට එනවා ඔහු දැක්කා. ඒකෙන් අදහස් කළේ ඔවුන් තමන්ගේ නායකයා හැටියට යේසුස්ට සහය වෙනවා කියන එකයි. (එළි. 2:26, 27) ඔවුන් වගේ අපිත් දෙවිගේ සංවිධානයේ මූලිකත්වය අරන් වැඩ කරන අයට අපේ සහය දක්වන්න ඕනෙ.

14 මහත් සමූහයේ අයත් පොළොවේ ඉන්න අභිෂේක ලත් අයට ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය දක්වනවා. (සෙකරියා 8:23 කියවන්න.) මහත් සමූහයේ කෙනෙක් හැටියට දෙවිගේ සංවිධානයට සහය වෙන්න ඔබට පුළුවන් කොහොමද? එක විදිහක් තමයි සභාවේ මූලිකත්වය අරන් වැඩ කරන අයට කීකරු වෙන එක. (හෙබ්‍රෙ. 13:7, 17) ඔබේ සභාවේ ඉන්න වැඩිමහල්ලන්වත් ඔවුන් වෙහෙසී කරන සේවයත් ඔබ අගය කරනවද? ඔවුන් ගැන ඔබ කතා කරන දේවලින්, ඔවුන්ට ගරු කරන්නත් ඔවුන්ව අගය කරන්නත් අනිත් අය තුළ පෙලඹීමක් ඇති වෙනවද? වැඩිමහල්ලන්ට ගරු කරන්නත් ඔවුන් ශුද්ධ ලියවිල්ලෙන් දෙන මඟ පෙන්වීම්වලට ඇහුම්කන් දෙන්නත් ඔබ ඔබේ දරුවන්ට උගන්වනවද? දෙවිගේ සංවිධානයට සහය දක්වන්න පුළුවන් තවත් විදිහක් තමයි ලෝක ව්‍යාප්ත සේවය සඳහා සම්මාදම් කරන්න පවුලක් හැටියට සැලසුම් කරන එක. (හිතෝ. 3:9; 1 කොරි. 16:2; 2 කොරි. 8:12) ඒ වගේම ඔබේ නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන්නත් ඒක නඩත්තු කරන්නත් ඔබට පුළුවන් හැම දේම කරනවද? අපි ඒ දේවල් කරනවා දකිද්දී යෙහෝවා දෙවි ඔහුගේ බලය අපිට ලබා දෙනවා. ඒ බලය අපිට උදව් වෙයි මේ අවසාන දවස්වල විශ්වාසවන්තව දෙවිට සේවය කරන්න.—යෙසා. 40:29-31.

දෙවි සතුටු වෙන විදිහට ජීවත් වීම

15. හරි දේ කරන්න අපි දිගටම සටන් කරන්න ඕනෙ ඇයි?

15 මේ අවසාන කාලයේදී විඳදරාගන්නත් දෙවිගේ සංවිධානය එක්ක ඉදිරියට යන්නත් අපිට පුළුවන් වෙන්නේ දෙවි සතුටු වෙන විදිහට ජීවත් වුණොත් විතරයි. (එෆී. 5:10, 11) ඒත් සාතන්, මේ දුෂ්ට සමාජය සහ අපේම අසම්පූර්ණකම නිසා ඒක කරන්න ලේසි නැහැ. යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න ඔබ මොන තරම් ලොකු සටනක් කරනවද කියලා සමහරවිට අනිත් අය දන්නේ නැතුව ඇති. ඒත් ඒ ගැන දෙවි දන්නවා කියන එකත් දෙවි ඔබට ආදරෙයි කියන එකත් අමතක කරන්න එපා. හරි දේ කරන්න ඔබ දරන උත්සාහය කවදාවත් අත්හරින්නත් එපා. දෙවිව සතුටු කරන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඔබට සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා විතරක් නෙවෙයි දෙවිගේ අනුමැතියත් ලැබෙනවා.—1 කොරි. 9:24-27.

16, 17. (අ) අපි බරපතළ වරදක් කරලා තියෙනවා නම් කරන්න ඕනෙ මොනවද? (ආ) ඈන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

16 ඒත් ඔබ අතින් බරපතළ වරදක් වුණොත් මොනවද කරන්න ඕනෙ? ඒක හංගන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් ඉක්මනට වැඩිමහල්ලන්ගෙන් උදව් ලබාගන්න. දාවිත් තමන් කරපු වැරදි හංගන්න හදපු නිසා ඔහුට කොහොමද හැඟුණේ කියලා මතකද? “දවස පුරා මට දැනුණු වේදනාව නිසා මාගේ ඇටකටු දිරා ගියේය” කියලා ඔහු කිව්වා. (ගීතා. 32:3) අපි අතින් වුණ බරපතළ වැරදි හංගන්න හදනවා නම් අපේ ජීවිතයෙන් සතුට ඈත් වෙලා යාවි. ඒ විතරක් නෙවෙයි සමහරවිට යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීමත් නැති වෙලා යාවි. ඒත් ‘ඒවා හෙළි කරලා ඒවායින් ඈත් වෙන අයට දයාව ලැබෙනවා.’—හිතෝ. 28:13.

17 ඈන් කියන සහෝදරියගේ අද්දැකීම බලන්න. * තරුණ වයසේදී ඇය ස්ථාවර පුරෝගාමියෙක් විදිහට සේවය කළත් ඒ අතරම වැරදි දේවලුත් කළා. ඒ ගැන ඇගේ සිත නිතරම ඇයට වධ දුන්නා. “ඒ කාලෙදී මට කිසිම සතුටක් දැනුණේ නැහැ. මම හිටියේ ලොකු පීඩනයකින්” කියලා ඇය කියනවා. දවසක් රැස්වීමකදී යාකොබ් 5:14, 15 ගැන පැහැදිලි කළා. ඈන්ට තේරුණා ඇයටත් උදව් ඕනෙ කියලා. ඒ නිසා ඇය වැඩිමහල්ලන් එක්ක කතා කළා. ඒත් ඒක ලේසි දෙයක් වුණේ නැහැ. ඇය මෙහෙම කියනවා. “සමහර බෙහෙත් තියෙනවා බොන්න ටිකක් අමාරුයි. ඒත් අමාරුවෙන් හරි බිව්වොත් අසනීපේ හොඳ වෙනවා. මට දැනුණේ මං අසනීප වෙලා ඉද්දී යෙහෝවා දෙවි මට අවශ්‍ය බෙහෙත් දුන්නා වගේ.” ඈන් දැන් ආයෙත් උද්‍යෝගයෙන් දෙවිට සේවය කරනවා. තවත් නම් ඇගේ හිත ඇයට වධ දෙන්නේ නැහැ.

18. අපි කරන්න ඕනෙ මොනවද?

18 අපිට යෙහෝවා දෙවිගේ සංවිධානයේ සාමාජිකයන් වෙන්න ලැබිලා තියෙන අවස්ථාව අපිට ලැබුණ ගෞරවයක් කියන දේ හැමදාම මතක තියාගමු. අපි අපේ පවුලේ අයත් එක්ක එකතු වෙලා අතපසු නොකර රැස්වීම් යමු. උද්‍යෝගයෙන් දේශනා කරමු. සඟරා පොත් පත් කියවමු. සභාවේ මූලිකත්වය ගන්න සහෝදරයන්ට සම්පූර්ණ සහය දෙමු. යෙහෝවා දෙවි සතුටු වෙන විදිහට ජීවත් වෙමු. එහෙම කරනවා නම් දෙවිගේ සංවිධානයත් එක්කම ඉදිරියට යන්නත් අත් නෑර උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන්නත් අපිට පුළුවන් වෙනවා නොඅනුමානයි.

^ 17 ඡේ. නම වෙනස් කර ඇත.