Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා—මෙක්සිකෝවේදී

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා—මෙක්සිකෝවේදී

යෙහෝවා දෙවිට වැඩියෙන් සේවය කරන්න ඕනෙ නිසා ජීවිත සරල කරගන්න තරුණ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා. (මතෙ. 6:22) ඒ අය කළේ මොන වගේ වෙනස්කම්ද? තිබුණේ මොන වගේ අභියෝගද? ඒ ගැන දැනගන්න මෙක්සිකෝවේ සේවය කරන සමහර අයගේ අද්දැකීම් බලමු.

“වෙනසක් කරන්න ඕනෙ”

ඩස්ටින් සහ ජේසා

ඇමරිකාවේ සිටි ඩස්ටින් සහ ජේසා 2007 ජනවාරි මාසයේදී විවාහ වුණා. ඊට ටික කාලෙකට පස්සේ එයාලට තිබුණ සිහිනයක් සැබෑ කරගන්න පුළුවන් වුණා. ඒ තමයි රුවල් නැවක් අරගෙන ඒකේ ජීවත් වෙන එක. එයාලගේ රුවල් නැව නතර කරලා තිබුණේ ඇමරිකාවේ ඇස්ටෝරියාවට කිට්ටුවෙනුයි. පැසිෆික් සාගරයට ළඟින් තියෙන ඒ නගරය හරිම ලස්සනයි. ඒක වටේට ගස්වලින් පිරුණු කඳු තිබුණා. හිමෙන් වැහුණු කඳු මුදුන් ඒ පරිසරයට තවත් අලංකාරයක් එකතු කළා. ඩස්ටින් සහ ජේසා නිතරම මෙහෙම හිතුවා. ‘අපේ ගේ අඩි 26ක් දිග බෝට්ටුවක්. අපි කරන්නේ අර්ධකාලීන රැකියා. වෙනත් භාෂාවක් කතා කරන සභාවකටයි යන්නේ. ඉඳලා හිටලා සහායක පුරෝගාමීන් විදිහටත් සේවය කරනවා.’ ඒ නිසා තමන් සරල ජීවිතයක් ගත කරනවා කියලයි එයාලා හිතුවේ. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ තේරුණා එයාලා හිතාගෙන හිටපු විදිහ වැරදියි කියලා. ඩස්ටින් මෙහෙම කියනවා. “සභාවට උදව් කරනවා වෙනුවට අපේ කාලයෙන් වැඩි හරියක් ගෙවුණේ නැව අලුත්වැඩියා කරන්න. අපිට තේරුණා අපේ ජීවිතයේ යෙහෝවා දෙවිට මුල් තැන දෙන්න නම් අපි මොනවා හරි වෙනසක් කරන්න ඕනෙ කියලා.”

“මම බඳින්න කලින් හිටියේ මෙක්සිකෝවේ. ගියේ ඉංග්‍රීසි සභාවකට. එහේ සේවය කරද්දී මට ලොකු සතුටක් දැනුණ නිසා ආපහු යන්න ආශාවක් තිබුණා” කියලා ජේසා කියනවා. වෙනත් රටක සේවය කිරීමට තිබුණ ආශාව වැඩි කරගන්න ඕනෙ කියලා එයාලට හිතුණා. ඒ නිසා පවුලේ නමස්කාරය කරද්දී වෙනත් රටවල්වල සේවය කරන්න ගිය සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් කියෙව්වා. ඒ රටවල ශුභාරංචියට උනන්දුව දක්වපු හුඟක් අය හිටියා. (යොහ. 4:35) “අපිටත් ඒ සතුටම අද්දකින්න ආශාවක් ඇති වුණා” කියලා ඩස්ටින් කියනවා. මෙක්සිකෝවේ තියෙන අලුත් කණ්ඩායමකට උදව් ඕනෙ කියලා දැනගත්තම ඩස්ටින් සහ ජේසා, තමන්ගේ රැකියා අත්හැරලා රුවල් නැවත් විකුණලා මෙක්සිකෝවට ගියා.

“ජීවිතේ අපි කරපු හොඳම දේ”

ඩස්ටිනුයි ජේසයි මෙක්සිකෝවේ ටෙකෝමාන් කියන නගරයේ පදිංචි වුණා. “සීතල හුළඟයි ලස්සන කඳු දර්ශනයි වෙනුවට මෙහේ තිබුණේ දරාගන්න බැරි රස්නයක්. පේනතෙක් මානයේම තිබුණේ ලෙමන් ගස් විතරයි” කියලා ඩස්ටින් කියනවා. මුලදී ඒගොල්ලන්ට රස්සාවල් හොයාගන්නත් බැරි වුණා. වියදමට සල්ලි මදි වෙනකොට එයාලා සති ගාණක් පුරා සතියට දෙපාරක්ම කෑවේ බතුයි බෝංචියි. “බතුයි බෝංචියි කෑවා දැන් ඇති කියලා හිතෙනකොටම වගේ අපිත් එක්ක පාඩම් කරපු අය අපිට අඹ, කෙසෙල්, ගස්ලබු වගේම ලෙමන් ගෙඩිත් දෙන්න පටන්ගත්තා.” ටික කාලයක් යනකොට මේ යුවළට තායිවානයේ තියෙන පාසැලක අන්තර්ජාලය හරහා උගන්වන්න අවස්ථාව ලැබුණා. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ගන්න ඒකෙන් ලැබුණ මුදල හොඳටම ප්‍රමාණවත් වුණා.

ඒ ජීවිතය ගැන ඩස්ටින්ටයි ජේසටයි හැඟෙන්නේ කොහොමද? “අපි මෙහේ ආපු එක තමයි අපේ ජීවිතේ අපි කරපු හොඳම දේ. යෙහෝවා දෙවි එක්කත් අපි දෙන්නා අතරත් තියෙන බැඳීම දැන් ගොඩක් ශක්තිමත් වෙලා තියෙනවා. අපි හැමදාම හුඟක් දේවල් එකට කරනවා. එකට සේවයේ යනවා, එකට රැස්වීම්වලට සූදානම් වෙනවා, අලුතින් බයිබලය පාඩම් කරන අයට උදව් කරන්නේ කොහොමද කියලා කතා කරනවා. ඒ විතරක් නෙවෙයි දැන් අපිට හිතේ බරකුත් නැහැ. ගීතාවලිය 34:8හි තියෙන ‘යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න’ කියන දේ කලින් අපිට හොඳටම අවබෝධ වෙලා තිබුණේ නැහැ. ඒත් දැන් අපි ඒක අද්දකිනවා.”

දහස් ගණන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නේ ඇයි?

මෙක්සිකෝවේ තවමත් සාක්ෂිකරුවන් අඩු ප්‍රදේශ තියෙනවා. ඒ නිසා විවාහක සහ තනිකඩ සහෝදර සහෝදරියන් 2,900කටත් වඩා වැඩි පිරිසක් ඒ පැතිවල සේවය කිරීමට ඉදිරිපත් වෙලා තියෙනවා. හුඟක් අය අවුරුදු 20ත් 30ත් අතර සිටින අයයි. එයාලා ඒ වගේ දෙයක් කරන්න ඉදිරිපත් වුණේ ඇයි? ඒකට ප්‍රධාන හේතු තුනක් තියෙනවා කියලා එයාලා කිව්වා.

ලෙටීසියා සහ එර්මිලෝ

යෙහෝවා දෙවිටයි අසල්වාසීන්ටයි අපි ආදරෙයි. ලෙටීසියා අවුරුදු 18දී බව්තීස්ම වුණා. “මගේ ජීවිතේ යෙහෝවා දෙවිට කැප කෙරුවම මට තේරුණා ඔහුට මගේ මුළු හදවතින්ම සේවය කරන්න ඕනෙ කියලා. මගේ හිතේ යෙහෝවා දෙවිට තියෙන ආදරේ නිසා ඔහුගේ සේවය සඳහා මගේ කාලයත් ශ්‍රමයත් වැය කරන්න මට ඕනෙ වුණා.” (මාක් 12:30) එර්මිලෝ කියන්නේ අවුරුදු 20ගණන්වල හිටපු තරුණයෙක්. ධනවත් නගරයක් වුණ මොන්ටෙරේවල බැංකුවක වැඩ කරලා සැප පහසු ජීවිතයක් ගත කරපු එයා, ඒ හැම දේම අත්හැරලා කුඩා නගරයක පදිංචියට ගියා. දැන් එයා ලෙටීසියා එක්ක විවාහ වෙලා එකට සේවය කරනවා. එයා මෙහෙම කියනවා. “දෙවිත් එක්ක බැඳීමක් ඇති කරගන්න මිනිසුන්ට උදව් කරන එක, අසල්වැසියන්ට ප්‍රේමය පෙන්වන්න පුළුවන් හොඳම විදිහ කියලා මට තේරුණා.”—මාක් 12:31.

එස්ලි

හැමදාම නියම සතුට අද්දකින්න. ලෙටීසියා බව්තීස්ම වෙලා ටික කාලෙකට පස්සේ පුරෝගාමි සහෝදරියක් එක්ක ප්‍රචාරකයන් අඩු ඈත ප්‍රදේශයක සේවය කරන්න ගියා. එයාලා මාසයක් විතර එහේ නතර වෙලා සේවය කළා. ලෙටීසියා මෙහෙම කියනවා. “එහේ මිනිස්සු ශුභාරංචියට ආශාවෙන් සවන් දෙද්දී මට පුදුම සතුටක් දැනුණා. මට හිතුණා මගේ ජීවිතය ගත කරන්න ඕනෙ මේ විදිහටයි කියලා.” එස්ලි 20ගණන්වල සිටින තරුණියක්. එයා පාසැල් යන කාලේ ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවල හුඟක් උද්‍යෝගයෙන් සේවය කරන සහෝදර සහෝදරියන්ව ඇසුරු කරලා තිබුණා. “එයාලගේ සතුට දැක්කම මටත් ඕනෙ වුණා ඒ සතුටම අද්දකින්න” කියලා එයා කියනවා. එස්ලි වගේ හුඟක් සහෝදරියන්, සාක්ෂිකරුවන් අඩු ප්‍රදේශවල සේවය කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මෙක්සිකෝවේ විතරක් තනිකඩ සහෝදරියන් 680කට වඩා වැඩිදෙනෙක් ඒ විදිහට සේවය කරනවා. බාල මහලු අපි හැමෝටම එයාලා මොන තරම් හොඳ ආදර්ශයක්ද!

අරමුණක් ඇතුව ජීවිතය සතුටින් ගත කරන්න. එස්ලි පාසැල් යන කාලේ එයාට විශ්වවිද්‍යාලයට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. විශ්වවිද්‍යාලයට ගිහින් උපාධියක් ගන්න යාළුවන් එයාට උනන්දු කළා. එහෙම වුණොත් අනිත් අයට වගේ එයාටත් හොඳ රස්සාවක් කරන්න, කාර් එකක් ගන්න, රටරටවලට සංචාරේ යන්න පුළුවන් වෙයි කියලා එයාලා කිව්වා. ඒත් එස්ලිට ඒවා වැදගත් වුණේ නැහැ. “සභාවේ හිටපු මගේ සමහර යාළුවොත් ඒ දේවල් කළා. ඒත් ඒ නිසා යෙහෝවා දෙවිට දෙන්න එයාලට කාලේ තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ සමාජයේ දේවලට කාලය වැඩි වැඩියෙන් යොදවද්දී එයාලට ප්‍රශ්නත් වැඩි වුණා. එයාලා හිටියේ ගොඩක් කලකිරිලා. ඒ වගේ වෙන්න මට ඕනෙ වුණේ නැහැ. මගේ යෞවන කාලයේදී මට පුළුවන් උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කරන්නයි මට ඕනෙ වුණේ” කියලා එස්ලි කියනවා.

රාකෙල් සහ ෆිලිප්

පුරෝගාමි සේවය කරද්දී එයාගේ වියදමට අවශ්‍ය සල්ලි හොයාගන්න පුළුවන් විදිහේ රස්සාවක් කරන්න එස්ලි අමතර පාඨමාලා කිහිපයක් කළා. ඒක ඉවර වුණාම ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක එයා පදිංචි වෙන්න ගියා. ඔටෝමි සහ ටලාපෙනෙකෝ ගෝත්‍රිකයන් කතා කරන භාෂා පවා ඉගෙනගන්න පටන්ගත්තා. ඒ විදිහට අවුරුදු තුනක් සේවය කළාට පස්සේ එයාට හැඟෙන්නේ කොහොමද? “ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න ලැබුණ එක ගැන මට ගොඩක් සන්තෝෂයි. ඒකෙන් මගේ ජීවිතය හුඟක් අර්ථවත් වුණා. වැදගත්ම දේ තමයි ඒකෙන් යෙහෝවා දෙවිත් එක්ක මගේ බැඳීම ගොඩක් ශක්තිමත් වුණ එක.” ඇමරිකාවෙන් පැමිණි 30ගණන්වල සිටින යුවළක් වන ෆිලිප් සහ රාකෙල්ටත් හැඟෙන්නේ ඒ විදිහටයි. “ලෝකය හරි ඉක්මනින් වෙනස් වෙනවා. ගොඩක් අයට දැනෙන්නේ ජීවිතය හරිම අස්ථිරයි කියලා. හැබැයි බයිබලයේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න ආශාවෙන් ඉන්න අය ජීවත් වන ප්‍රදේශවල සේවය කරද්දී අපිට හැඟෙන්නේ අපි ජීවිතය අර්ථවත්ව ගත කරනවා කියලයි. ඒකෙන් අපි පුදුම සතුටක් ලබනවා.”

අභියෝග ජය ගන්නේ කොහොමද?

වෙරෝනිකා

සාක්ෂිකරුවන් අඩු ප්‍රදේශවල සේවය කරද්දී අභියෝගත් තියෙනවා තමයි. වියදමට සල්ලි හොයාගන්න එක ඒ වගේ එක අභියෝගයක්. ඒ නිසා ප්‍රදේශයට ගැළපෙන දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒ වගේ ප්‍රදේශවල පුරෝගාමි සේවය කරපු වෙරෝනිකා මෙහෙම කියනවා. “එක ප්‍රදේශයක ඉද්දී මම කෑම ජාති හදලා වික්කා. තවත් තැනක ඇඳුම් වික්කා, කොණ්ඩේ කැපුවා. දැන් මම ගෙයක් පිරිසිදු කරන්න යනවා. ඒ විතරක් නෙවෙයි අලුතෙන් දරුවෝ ලැබුණ දෙමව්පියන්ට ඒ දරුවෝ බලාගන්න විදිහ කියලා දෙන පන්තියකුත් පවත්වනවා.”

අලුත් සංස්කෘතියකටත් සිරිත් විරිත්වලටත් හැඩගැහෙන එක ලේසි නැහැ. නහුවාට්ල් ගෝත්‍රිකයන් ඉන්න ප්‍රදේශයක සේවය කරපු ෆිලිප් සහ රාකෙල් ඒක අද්දැක්කා. “ඒ අයගේ සංස්කෘතිය, සිරිත් විරිත් ගොඩක් වෙනස්” කියලා ෆිලිප් කියනවා. ඒකට හැඩගැහෙන්න ඒගොල්ලන් මොනවද කළේ? “නහුවාට්ල් ගෝත්‍රිකයන්ගේ පවුල් බැඳීම් හරිම ශක්තිමත්. ඒගොල්ලන්ගේ බොරු ආටෝප නැහැ. හරිම අවංකයි. කොයි වෙලාවෙත් බලාගෙන ඉන්නේ මොනවා හරි දෙයක් අනිත් අයට දෙන්න. ඒ වගේ ලස්සන ගතිගුණ එයාලා ගාව තිබුණා. අපි උත්සාහ කළේ ඒවා දකින්න” කියලා ෆිලිප් කිව්වා. රාකෙල් මෙහෙම කියනවා. “ඒ සහෝදර සහෝදරියන්ගෙන් අපි හුඟක් දේවල් ඉගෙනගත්තා.”

ඔයාලත් කැමතිද ඒ වගේ සේවය කරන්න?

ඒ වගේ ප්‍රදේශවල සේවය කරන්න කැමති නම් ඒකට සූදානම් වෙන්නේ කොහොමද? ඒ වගේ සේවයක් කරලා අද්දැකීම් තියෙන සහෝදරයන් කියන්නේ, යන්න කලින් සරල විදිහට ජීවත් වෙන්නත් ඇති දෙයින් සෑහීමට පත් වෙන්නත් පුරුදු වෙන්න කියලයි. (ෆිලි. 4:11, 12) වෙන මොනවද කරන්න පුළුවන්? ලෙටීසියා මෙහෙම කියනවා. “මාව එක තැනකට කොටු වෙන විදිහේ රැකියා මම තෝරගත්තේ නැහැ. ඒකට හේතුව අවශ්‍යතාව තියෙන ප්‍රදේශයක සේවය කරන්න මට එන්න කියන ඕනෙම වෙලාවක යන්න සූදානමින් ඉන්න මට ඕනෙ වුණ නිසා.” එර්මිලෝ කළේ මේකයි. “මම උයන්න පිහන්න, රෙදි සෝදන්න සහ රෙදි මදින්න පුරුදු වුණා.” වෙරෝනිකා මොනවද කළේ? “ගෙදර ඉන්න කාලේ ගේ පිරිසිදුව තියාගන්නත් අඩු වියදමින් පෝෂ්‍යදායී කෑම හදන්නත් සල්ලි පරෙස්සමින් වියදම් කරන්නත් මම පුරුදු වුණා.”

එමේලියා සහ ලෙවී

ඇමරිකාවේ ඉඳලා මෙක්සිකෝවට ආපු ලෙවී සහ එමේලියා විවාහ වෙලා අවුරුදු අටක් වෙනවා. අවශ්‍ය දේ ගැන කියලා එයාලා යාච්ඤා කළා. ලෙවී මෙහෙම කියනවා. “අපි ඉස්සෙල්ලා මෙක්සිකෝවේ අවුරුද්දක් සේවය කරන්න යන වියදම ගණන් බැලුවා. ඊටපස්සේ හරියටම ඒ ගාන ඉතුරු කරගන්න අපිට උදව් කරන්න කියලා අපි දෙවිගෙන් ඉල්ලුවා.” මාස කිහිපයකින් අවශ්‍ය මුදල හොයාගන්න එයාලට පුළුවන් වුණා. ඊටපස්සේ බලබලා ඉන්නේ නැතුව මෙක්සිකෝවට ගියා. ලෙවී මෙහෙම කියනවා. “අපේ ඉල්ලීම යෙහෝවා දෙවි ඒ විදිහටම ඉටු කළා. අපිට කරන්න තිබුණේ අපේ පොරොන්දුව ඉටු කරන එකයි.” එමේලියා මොනවද කිව්වේ? “අපි හිතුවේ අවුරුද්දකට විතරක් ඉන්න පුළුවන් වෙයි කියලයි. ඒත් දැන් අපි මෙහෙට ඇවිල්ලා අවුරුදු හතක් වෙනවා. මෙහෙන් යන්න අපිට කිසිම අදහසක් නැහැ. යෙහෝවා දෙවි උදව් කරන විදිහ පැහැදිලිව දැකගන්න පුළුවන් වුණේ මෙහෙට ආපු නිසයි. යෙහෝවා දෙවි අපිට කොච්චර ආදරෙයිද කියලා හැමදාම අපි අද්දකිනවා.”

ඇඩම් සහ ජෙනිෆ

මෙක්සිකෝවේ සේවය කරන්න ඇමරිකාවෙන් ආපු තවත් යුවළක් තමයි ඇඩම් සහ ජෙනිෆ. එයාලා ඉන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන සභාවක. යාච්ඤාවේ වටිනාකම එයාලත් අද්දැක්කා. “හැම දේම හරියනකල් බලන් ඉන්න හොඳ නැහැ. අපේ ආශාව ගැන යෙහෝවා දෙවිට කිව්වට පස්සේ අපේ පැත්තෙන් කරන්න ඕනෙ දේ කරන්න ඕනෙ. ජීවිතය සරල කරගන්න ඕනෙ. වියදම දරන්න පුළුවන්ද කියලා හොඳට හිතලා බලන්න ඕනෙ. සේවය කරන්න කැමති රටේ ශාඛා කාර්යාලයට අපේ ආශාව ගැන කියලා ලියුමක් ලියන්න ඕනෙ. එයාලා අපිට එන්න කියලා ආරාධනා කළොත් ඉක්මනින්ම යන්න ඕනෙ.” * සාක්ෂිකරුවන් අඩු ප්‍රදේශයක සේවය කරන්න ඉදිරිපත් වුණොත් සන්තෝෂයෙන් හා ආශීර්වාදවලින් පිරුණු ජීවිතයක් අද්දකින්න ඔයාලටත් පුළුවන් වෙයි.

^ 21 ඡේ. වැඩි විස්තර දැනගැනීමට 2011 අගෝස්තු රාජ්‍ය සේවාවේ “අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කරන්න ඔබට හැකිද?” යන ලිපිය බලන්න.