Skip to content

පටුනට යන්න

කතාබහ පිරුණු කැදැල්ලක්

කතාබහ පිරුණු කැදැල්ලක්

“සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.”—යාකො. 1:19.

1, 2. දෙමව්පියන්ට දරුවන් ගැනත් දරුවන්ට දෙමව්පියන් ගැනත් හැඟෙන්නේ කොහොමද? සමහර වෙලාවට ඔවුන්ට තියෙන අභියෝගය මොකක්ද?

“ඔයාගේ අම්මයි තාත්තයි හෙට මැරෙනවා කියලා දැනගත්තොත් අද මොනවද ඔයා ඒ දෙන්නට කියන්නේ?” දන්නවද ඒ ප්‍රශ්නෙට ඇමරිකාවේ හිටපු සිය ගණනක් දරුවන්ගෙන් සියයට 95ක්ම වගේ දුන්න උත්තරේ? එහෙමවුණොත් වෙන වෙන ප්‍රශ්න ගැන කතා කරනවා වෙනුවට “අම්මේ මම ඔයාට ආදරෙයි,” “තාත්තේ මට සමාවෙන්න” කියලා කියනවා කියලයි එයාලා කිව්වේ කියලා පොතක සඳහන් වුණා.—For Parents Only.

2 දෙමව්පියන්ගේ හිතේ දරුවෝ ගැන තියෙන්නේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ආදරයක්. දරුවොත් ඒ වගේ. විශේෂයෙන්ම සාක්ෂිකරුවන්ගේ පවුල්වල ඒක දකින්න පුළුවන්. ඒත් හිතේ මොන තරම් ආදරයක් තිබුණත් දෙමව්පියෝ දරුවෝ එකට ඉඳගෙන කතාබහ කරන එක නම් අද ගොඩක් අඩු වෙලා. සමහර දේවල් ගැන කතා කරන්නේ නැති තරම්. එහෙම වෙන්නේ ඇයි? පවුලක කතාබහ අඩු වෙන්නේ මොන වගේ දේවල් නිසාද? ඒවා ජය ගන්නේ කොහොමද?

එක ගෙදර අමුත්තෝ වගේ ඉන්නේ නැතුව හැමෝම එකට කාලය ගත කරන්න

වෙලාව හොයාගන්න

3. (අ) ගොඩක් පවුල්වලට හොඳ කතාබහක් ඇති කරගන්න එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇයි? (ආ) එකට කාලය ගත කරන එක ඊශ්‍රායෙලයේ හිටපු පවුල්වලට ප්‍රශ්නයක් වුණේ නැත්තේ ඇයි?

3 හොඳ කතාබහකට ලොකුම ප්‍රශ්නේ කාලය හොයාගන්න එකයි කියලා සමහරු කියනවා. ඒත් අතීතයේ නම් එහෙම නැහැ. ඒ කාලේ හිටපු පියවරුන්ට මෝසෙස් කිව්වේ දෙවිගේ වදන් “ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න. නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න” කියලයි. (ද්වි. 6:6, 7) ඒ කාලේ දරුවෝ හැම තිස්සෙම වගේ හිටියේ අම්මා එක්ක ගෙදර. නැත්නම් තාත්තා එක්ක වැඩ කරන තැන. ඒ නිසා දරුවන්ගේ අවශ්‍යතාවන්, ආශාවන් විතරක් නෙවෙයි එක එක දරුවාට ආවේණික ගතිපැවතුම්, සිතුම් පැතුම් තේරුම්ගන්නත් දෙමව්පියන්ට පුළුවන් වුණා. දරුවන්ටත් පුළුවන් වුණා තමන්ගේ අම්මයි තාත්තයි මොන වගේ අයද කියලා තේරුම්ගන්න.

4. අද ගොඩක් පවුල්වල හොඳ කතාබහකට තියෙන බාධා මොනවද?

4 එදාට වඩා අද ලෝකය කොච්චර වෙනස්ද! සමහර දරුවන්ට යන්තම් අවුරුදු දෙක පිරෙද්දිම පෙරපාසැල්වලට යන්න වෙලා. හුඟක් පවුල්වල අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන නිසා දරුවන් එක්ක ගත කරන්න කාලය නැහැ. ගෙදර ඉන්න ටික වෙලාවෙත් හැමෝම කරන්නේ TV එක හරි කොම්පියුටර් එක හරි ඉස්සරහා ඉන්න එක. දරුවෝ දෙමව්පියෝ එක වහලක් යට හිටියත් ඉන්නේ හරියට අමුත්තෝ වගේ.

5, 6. දරුවන් එක්ක කාලය ගත කරන්න වෙලාව හොයාගන්න පුළුවන් කොහොමද?

5 පවුලේ අය එක්ක කාලය ගත කරන්න මොනවද කරන්න පුළුවන්? (එෆීස 5:15, 16 කියවන්න.) සමහර පවුල් TV, කොම්පියුටර් පාවිච්චිය අඩු කරලා. සමහරු අඩු තරමින් එක කෑම වේලක් හරි එකට ගන්න තීරණය කරලා. දරුවෝ දෙමව්පියෝ ආදරෙන් බැඳෙන්න පවුලේ නමස්කාරයත් ලොකු උදව්වක්. හැබැයි ඒ විතරක් මදි. පුළුවන් හැම වෙලාවකම දරුවෝ එක්ක කතාබහ කරන්න. දරුවෝ ඉස්කෝලේ යන්න ගෙදරින් එළියට බහින්න කලින් ආදරෙන් ඔළුව අතගාලා මොනවා හරි කියන්න. එකට දිනපදය බලන්න. එකට යාච්ඤා කරන්න. ඒවා පුංචි දේවල් වුණත් ඒවාට මොන තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා දකිද්දී ඔබ පුදුම වෙයි.

6 දරුවෝ එක්ක වැඩිපුර කාලය ගත කරන්න සමහර දෙමව්පියෝ ලොකු තීරණ ගන්නවා. දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වන ලෝරා මෙහෙම කියනවා. * “හැමදාම උදේට අපේ ගෙදර පුංචි යුද්ධයක් වගේ. දරුවෝ ඉස්කෝලේ යන්නත් අපි වැඩට යන්නත් තිබුණේ පුදුම කලබලයක්. මං වැඩ ඇරිලා ගෙදර එනකොට දරුවෝ නිදි. මීට වඩා දරුවෝ එක්ක කාලය ගත කරන්න ඕනෙ නිසා මම රස්සාවෙන් අස් වුණා. ඒක අපේ ආර්ථිකයට බලපානවා තමයි. ඒත් දැන් මට පුළුවන් මගේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න. දරුවෝ යාච්ඤා කරද්දී ඒවා අහගෙන ඉන්න. එයාලගේ ප්‍රශ්නවලදී උදව් කරන්න, එයාලට මඟ පෙන්වන්න, උගන්වන්න. ඒවා සල්ලිවලින් මනින්න බැහැ.”

‘ඇහුම්කන් දීමට ඉක්මන් වෙන්න’

7. දෙමව්පියන් සහ දරුවන් කරන චෝදනාව මොකක්ද?

7 මේ ලිපියේ මුලින් සඳහන් කළ පොතේ පවුලක කතාබහට බාධා වෙන තවත් දෙයක් ගැන සඳහන් වෙනවා. “දරුවෝ හැමෝම වගේ කියන්නේ ‘අම්මලා අපි කියන දේ අහන්නේ නැහැ’ කියලයි. දෙමව්පියන් කියන්නේ ‘අපි කියන දේ දරුවෝ කනකටවත් ගන්නේ නැහැනේ’ කියලයි.” එහෙමනම් දෙමව්පියෝ දරුවෝ දෙගොල්ලොම එකිනෙකාට ඇහුම්කන් දෙන එක කොයි තරම් වැදගත්ද!—යාකොබ් 1:19 කියවන්න.

8. නැණවත් දෙමව්පියන් තමන්ගේ දරුවන්ට ඇහුම්කන් දෙන්නේ කොහොමද?

8 අම්මේ තාත්තේ, ඔබේ දරුවා ඔබ ළඟට ඇවිත් මොනවා හරි කියන්න හදද්දී ඔබ ඒකට ඇහුම්කන් දෙනවද? එයා කියන දේ වැඩකට නැති පුංචි දෙයක් කියලා සමහරවිට ඔබට හිතෙයි. ඒත් ඒක දරුවාගේ හිතට මහ මෙරක් වගේ බරක් වෙන්න පුළුවන්. ඒ නිසා එයාට ඇහුම්කන් දෙන්න. ඒ විතරක් නෙවෙයි ඒක කියද්දී එයාගේ ඉරියව්, කටහඬේ ස්වරය ගැන හොඳ අවධානයක් දෙන්න. එතකොට එයා කියන දේ එයාට කොච්චර වටිනවද කියලා තේරුම්ගන්න ඔබට පුළුවන් වෙයි. දරුවා කතා කරද්දී එයාගෙන් ප්‍රශ්න අහන්නත් ඕනෙ. බයිබලයේ කියන්නේ “මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි. එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා එය ඇදගනියි” කියලයි. (හිතෝ. 20:5) ඔබත් නැණවත් නම් දරුවා කතා කරන්න අදිමදි කරන, එයාගේ හිතේ තියෙන දේවල් වුණත් ‘ඇදලගන්න’ ඔබට පුළුවන් වෙයි.

9. දරුවන් දෙමව්පියන්ට ඇහුම්කන් දෙන්න ඕනෙ ඇයි?

9 දුවේ පුතේ, අම්මටයි තාත්තටයි ඔයා හැම තිස්සෙම කීකරු වෙනවද? බයිබලයේ කියන්නේ මෙහෙමයි. “මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න. ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.” (හිතෝ. 1:8) පුතේ, ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට මොන තරම් ආදරේද කියලා සමහරවිට ඔයා දන්නේ නැතුව ඇති. ඒගොල්ලන් හැම තිස්සෙම හිතන්නේ ඔයාගේ යහපත ගැන. ඒ නිසා එයාලට කීකරු වෙන්න. (එෆී. 6:1) ඔයා ඒගොල්ලන්ගේ හිතේ තියෙන ආදරේ දැනගත්තොත් එයාලට කීකරු වෙන්න ඔයාට ලේසි වෙයි. ඒ නිසා ඔයාට හිතෙන විදිහ ගැන හැම දෙයක්ම එයාලට කියන්න. එතකොට අම්මලා ඔයාව තේරුම්ගනියි. ඔයත් අම්මවයි තාත්තවයි තේරුම්ගන්න උත්සාහ කරන්න.

10. රෙහබෝවම්ගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

10 ඒත් පුතේ, ඔයාගේ වයසේ ඉන්න යාළුවන් එක්ක කතාබහ කරද්දී නම් ටිකක් පරෙස්සම් වෙන්න ඕනෙ. සමහර දේවල් කරන විදිහ ගැන යාළුවෝ ඔයාට කියයි. සමහරවිට ඔයා ආසත් එහෙම කරන්න වෙන්න ඇති. ඒත් ඒකෙන් ඔයාට නරකක් වෙන්න පුළුවන්. ඔයාගේ වයසේ ඉන්න යාළුවන්ට වැඩිහිටියෙකුට වගේ අද්දැකීම් නැහැ. දුරදිග හිතලා වැඩ කරන්න දන්නෙත් නැහැ. ඔයාට මතකද සලමොන්ගේ පුතා රෙහබෝවම්ව? එයා රජ වුණාට පස්සේ වැඩිහිටියන් කියන දේ අහන්නේ නැතුව එයාගේ යාළුවෝ කියපු මෝඩ දේවලුයි කළේ. ඒකෙන් එයාගේ රාජ්‍යයෙන් වැඩිහරියක්ම එයාට නැති වුණා. (1 රාජා. 12:1-17) ඒ නිසා රෙහබෝවම් වගේ වෙන්න එපා. ඔයාගේ අම්මටයි තාත්තටයි ඔයාගේ හිතේ තියෙන දේ කියන්න. ඒගොල්ලන් කියන දේ කරන්න. ඒගොල්ලන්ට ජීවිතේ අද්දැකීම් තියෙනවා පුතේ. ඒගොල්ලෝ කියන දේ කළොත් ජීවිතේ හරි තීරණ ගන්න ඔයාටත් පුළුවන්.—හිතෝ. 13:20.

11. අම්මලා මං කියන දේ අහන්නේ නැහැ කියලා දරුවන්ට හිතුණොත් මොනවා වෙයිද?

11 අම්මේ තාත්තේ, ඔබේ දරුවොත් යාළුවෝ ළඟට යන්නේ නැතුව ඔබ ළඟට ඇවිත් එයාලගේ ප්‍රශ්නවලට උපදෙස් ගන්නවා දකින්න ඔබ කැමතිද? එහෙමනම් ‘මගේ අම්මා තාත්තා එක්ක මට ඕනෙම දෙයක් කතා කරන්න පුළුවන්’ කියලා දරුවාට හිතෙන විදිහට ඔබ වැඩ කරන්න ඕනෙ. එක තරුණ දුවෙක් මෙහෙම කියනවා. “මං නිකං හරි පිරිමි ළමයෙක්ගේ නමක් කිව්වොත් අම්මලා බොරුවට කලබල වෙනවා. ඊටපස්සේ කිසි දෙයක් ගැන එයාලට කියන්න මට හිතෙන්නේ නැහැ.” තවත් කෙනෙක් මෙහෙම කියනවා. “ගොඩක් තරුණ අයට ඕනෙ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාගෙන් උපදෙස් ගන්න. ඒත් අම්මලා ඒක ගණන් ගන්නේ නැතුව හිටියොත් ළමයි ඒ ගැන කතා කරන්න යාළුවෝ ළඟට යනවා.” දරුවෝ ඔබ එක්ක කතා කරන පුංචි පුංචි දේවල් ඔබටත් වටිනවා කියලා පෙන්වනවා නම් ඒ දරුවෝ ඕනෙම දේකට ඔබ ළඟට දුවගෙන එයි.

‘කතා කිරීමට ප්‍රමාද වෙන්න’

12. දරුවන් දෙමව්පියන් එක්ක කතා කරන්න සමහරවිට අදිමදි කරන්නේ ඇයි?

12 දරුවා කතා කරද්දී ඔබ කලබල වෙනවා නම් දරුවාව සැක කරනවා නම් දරුවා ඔබ එක්ක කතා කරන්න අදිමදි කරයි. මේ “අවසාන කාලයේ” ජීවත් වෙන ඔබේ දුව පුතා ඉන්නේ අනතුරුවලින් වට වුණ ලෝකයක. (2 තිමෝ. 3:1-5) ඒ නිසා ඔබට ඕනෙ කොහොමහරි දරුවාව ආරක්ෂා කරගෙන දෙවි කැමති විදිහට දරුවා ජීවත් වෙනවා දකින්නයි. ඒත් අම්මේ තාත්තේ, දරුවාව ආරක්ෂා කරගන්න හිතලා ඔබ කරන සමහර දේවල් දරුවාට වධයක් වෙන්න පුළුවන්.

13. තමන්ට හිතෙන දේ කියන්න දෙමව්පියන් ඉක්මන් වෙන්න හොඳ නැත්තේ ඇයි?

13 ඥානවන්ත දෙමව්පියෝ දරුවන් කතා කරද්දී තමන්ට හිතෙන දේ කියන්න ඉක්මන් වෙන්නේ නැහැ. ඇත්ත, සමහර දේවල් දරුවා කියද්දී කලබල වෙන්නේ නැතුව ඉන්න අමාරුයි තමයි. ඒත් මොනවා හරි කියන්න කලින් දරුවා කියන දේට හොඳට ඇහුම්කන් දෙන්න. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි. එයින් අත් වන්නේ ලැජ්ජාවකි.” (හිතෝ. 18:13) ඔබ සන්සුන්ව ඇහුම්කන් දෙනවා නම් දරුවා එයාගේ හිතේ තියෙන හැම දේම ඔබට කියයි. දරුවාට උදව් කරන්න නම් දරුවාගේ ප්‍රශ්නේ ගැන සම්පූර්ණ චිත්‍රයම දකින්න ඕනෙ නේද? සමහරවිට දරුවා ‘වියරු වැටුණු කෙනෙක්’ වගේ කතා කරන්න ඉඩ තියෙනවා. ඒත් දරුවා හිතේ ලොකු බරක් දරාගෙන ඉන්නවද කියලා කවුද දන්නේ? (යෝබ් 6:1-3) ආදරණීය අම්මේ තාත්තේ, හොඳට ඇහුම්කන් දීලා දරුවාට සහනයක් වෙන්න. ආදරෙන් කතා කරලා දරුවාගේ දුක නිවන්න.

14. දෙමව්පියන් කියන දේවල් දරුවන් අහන්න ඕනෙ ඇයි?

14 පුතේ, ඔයත් අම්මලා කියන දේවලට එකට එක කියන්නේ නැතුව එයාලා කියන දේ ගැන දෙපාරක් හිතලා බලන්න. ඔයාව හදාගන්න දෙවි භාර දීලා තියෙන්නේ ඔයාගේ අම්මටයි තාත්තටයි. ඒක ලොකු වගකීමක්. (හිතෝ. 22:6) ඔයා අද ඉන්න තැන එදා අම්මලා තාත්තලා හිටියා කියන එක අමතක කරන්න එපා. තරුණ කාලේ එයාලට වැරදුණ තැන් එයාලට මතකයි. ඔයාටත් වරදිනවට එයාලා කැමති නැහැ. ඒ නිසා හතුරෙක් දිහා බලන විදිහට ඔයාගේ අම්මයි තාත්තයි දිහා බලන්න එපා පුතේ. එයාලා ඔයාට උපදෙස් දෙන්නේ ඔයා සතුටින් ඉන්නවා දකින්න කැමති නිසයි. (හිතෝපදේශ 1:5 කියවන්න.) ‘ඔයාගේ අම්මටත් තාත්තටත් ගරු කරලා’ එයාලා ඔයාට ආදරය කරන තරමටම ඔයත් එයාලට ආදරෙයි කියලා පෙන්වන්න. එතකොට “යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද” ඔයාව ඇතිදැඩි කරන්න ඒගොල්ලන්ට පුළුවන් වෙයි.—එෆී. 6:2, 4.

‘කෝප වීමට ප්‍රමාද වෙන්න’

15. පවුලේ අය එක්ක ඉවසීමෙන් දේවල් කරන්න අපිට උදව් වෙන්නේ මොනවද?

15 සාමාන්‍යයෙන් වෙන අය එක්ක කේන්ති ගන්නේ නැති කෙනෙක් වුණත් පවුලේ අය එක්ක කේන්ති ගන්න තියෙන ඉඩකඩ වැඩියි. “කොලොස්සියේ සිටින ශුද්ධ තැනැත්තන්ට මෙන්ම ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින සියලුම විශ්වාසවන්ත සහෝදරයන්ට” පාවුල් කියන දේ බලන්න. “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන් සමඟ අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න.” ඒ වගේම “පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔවුන් තුළ කලකිරීමක් ඇති වේ” කියලත් ඔහු කිව්වා. (කොලො. 1:1, 2; 3:19, 21) පාවුල් එෆීසවරුන්ට කිව්වේ “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න” කියලයි. (එෆී. 4:31) කෙනෙක් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී බොහෝ ඉවසිලිවන්තකම, මෘදුකම, තමාව පාලනය කරගැනීම වගේ ගුණාංග ඇති වෙනවා. එම ගුණාංග ඔබ තුළ තියෙනවා නම් මොන තරම් පීඩනයකින් හිටියත් සන්සුන්ව ඉන්න ඔබට පුළුවන් වෙනවා.—ගලා. 5:22, 23.

16. යේසුස් තම ගෝලයන්ව නිවැරදි කළේ කොහොමද? ඒක විශේෂ දෙයක් වෙන්නේ ඇයි?

16 යේසුස් ගැන ටිකක් හිතන්න. අන්තිම වතාවට ඔහුගේ ගෝලයන් එක්ක ආහාර ගත්ත රාත්‍රියේ ඔහු මොන තරම් පීඩනයකින් ඉන්න ඇද්ද? තව පැය කිහිපයකින් වේදනාකාරී මරණයක් අද්දකින්න වෙනවා කියලා ඔහු දැනගෙන හිටියා. තමන්ගේ පියාගේ නමට ඇති වුණ කැළල නැති වෙන්නෙත් මිනිසුන්ට ගැලවීම ලැබෙන්නෙත් තමන් අන්තිමය දක්වා විශ්වාසවන්තව හිටියොත් විතරයි කියලා ඔහුගේ මනසේ තිබුණා. ඒත් ඔහුගේ ගෝලයන්ට ඒ ගැන ගානක්වත් නැතුව ‘ඔවුන් අතරේ උතුම් තැනැත්තා කවුද කියලා වාද කරමින් හිටියා.’ එහෙම කියලා යේසුස් කේන්ති අරන් ඔවුන්ට බැන්නද? නැහැ. ඒ වෙනුවට යේසුස් සන්සුන්ව ඔවුන්ට ආදරෙන් කතා කළා. මොන තරම් අමාරු වෙලාවලදී වුණත් ඔවුන් ඔහුව අත්හරින්නේ නැතුව හිටපු එක ගැන යේසුස් ඔවුන්ව අගය කළා. සාතන්ගෙන් කොච්චර පීඩා ආවත් ඔවුන් දිගටම විශ්වාසවන්තව ඉන්නවා කියන එක ගැන යේසුස්ට තිබුණේ ලොකු විශ්වාසයක්. ඔහු ඔවුන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තෙත් ඒ නිසයි.—ලූක් 22:24-32.

දරුවාට හොඳින් සවන් දෙන්න

17. සන්සුන්ව දේවල් කරන්න නම් දරුවෙක් කරන්න ඕනෙ මොනවද?

17 අම්මා තාත්තා විතරක් නෙවෙයි පුතේ ඔයත් කේන්ති ගන්නේ නැතුව ඉන්න ඉගෙනගන්න ඕනෙ. විශේෂයෙන්ම යෞවන කාලයේදී. ඒ කාලයේදී වැඩිහිටියන්ගේ උපදෙස් අහන්න දරුවෝ ටිකක් අකමැතියි. දරුවෝ හිතන්නේ අම්මලා උපදෙස් දෙන්නේ, නීති දාන්නේ ඒගොල්ලන්ව සැක කරන නිසා කියලයි. ඒත් පුතේ අම්මලා ඒ දේවල් කරන්නේ එයාලා ඔයාට ගොඩක් ආදරේ කරන නිසයි. ඒක තේරුම් අරගෙන අම්මලා කියන දේ අහලා වැඩ කරනවා නම් ඒගොල්ලොත් ඔයාව තේරුම්ගනියි. ඔයාව විශ්වාස කරන්න පුළුවන් කියලත් ඔයා වගකීමෙන් වැඩ කරන දරුවෙක් කියලත් ඒගොල්ලන්ට තේරෙයි. එතකොට ඔයාට ඕනෙ කරන නිදහසත් ටිකෙන් ටික හම්බ වෙයි. සන්සුන්ව ඉන්න එක තමයි ඥානවන්තම දේ. බයිබලයේ කියන්නේ “මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි” කියලයි.—හිතෝ. 29:11.

18. ආදරයෙන් බැඳුණු පවුලක හොඳ කතාබහක් තියෙන්නේ ඇයි?

18 ‘අපේ පවුලේ නම් ඔය කියන තරම් කිට්ටු කතාබහක් නැහැ’ කියලා ඔබට හිතෙනවද? දුක් වෙන්න එපා. පවුලේ හැමෝම එකතු වෙලා උත්සාහ කරන්න. දිගටම සත්‍ය මාර්ගයේ ඉන්න. (3 යොහ. 4) මේ පොළොව පාරාදීසයක් වුණ දවසට හැමෝම පරිපූර්ණ නිසා අදට වඩා ආදරයෙන් බැඳිලා හොඳට කතාබහ කරලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ කාලයේදී කවුරුත් කේන්ති ගන්නෙවත් අනිත් අයව වැරදියට තේරුම්ගන්නෙවත් නැහැ. එතකල් අපි අතින් වැරදි වෙයි. පසුතැවෙන දේවල් කරයි. ‘ඒත් මට සමාවෙන්න’ කියලා කියන්න ලැජ්ජ වෙන්න එපා. හද පත්ලෙන්ම සමාව දෙන්නත් පුරුදු වෙන්න. පවුලක් විදිහට ‘ආදරෙන් එකට බැඳිලා ඉන්න.’ (කොලො. 2:2) පවුලේ අයට ඔබ ඇත්තටම ආදරෙයි නම් ‘ඉවසිලිවන්තව, කරුණාවන්තව, ඉක්මනින් කෝප වෙන්නේ නැතුව, අමනාපයක් හිතේ තියාගන්නේ නැතුව, හැම දේම විශ්වාස කරලා, බලාපොරොත්තු අත්හරින්නේ නැතුව හැමදේම විඳදරාගෙන’ ඔබ වැඩ කරයි. (1 කොරි. 13:4-7) ඒ නිසා ආදරයෙන් බැඳිලා ඉන්න. හොඳට කතාබහ කරන්න. එතකොට ඔබේ නිවහනත් සතුටින් පිරුණු, දෙවිට ගෞරවය ගෙන දෙන කැදැල්ලක් වෙයි.

^ 6 ඡේ. නම වෙනස් කර ඇත.