Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයෙක්

පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයෙක්

වර්ෂ 2012 සැප්තැම්බර් 5වෙනි බදාදා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ බෙතෙල් පවුල්වලට ප්‍රීතිමත් නිවේදනයක් කළා. ඒ සහෝදර මාක් සැන්ඩසන් 2012 සැප්තැම්බර් 1වෙනිදා සිට පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස සේවය ඇරඹූ බවයි.

ක්‍රිස්තියානි දෙමාපියන් යටතේ සහෝදර මාක් සැන්ඩසන් හැදී වැඩුණේ ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ සැන් ඩියාගෝවලයි. වර්ෂ 1975 පෙබරවාරි 9වෙනිදා ඔහු බව්තීස්ම වුණා. ඔහු පුරෝගාමියෙක් විදිහට සේවය කරන්න පටන්ගත්තේ 1983 සැප්තැම්බර් 1වෙනිදා කැනඩාවේ සස්කැචුවාන්වලයි. වර්ෂ 1990 දෙසැම්බර් මාසයේදී ඇමරිකාවේ හත්වෙනි වරට පැවැත්තුව දේවසේවා පුහුණු පාසැලෙන් ඔහු පුහුණුව ලැබුවා. (දැන් එම පාසැල හඳුන්වන්නේ තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැල ලෙසයි.) ඔහු විශේෂ පුරෝගාමියෙක් ලෙස සේවය ඇරඹුවේ 1991 අප්‍රියෙල් මාසයේ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්තයේදීයි. එහිදී ඔහු ආදේශක චාරිකා සේවකයෙක් ලෙසත් සේවය කළා. වර්ෂ 1997 පෙබරවාරි මාසයේ සිට කැනඩාවේ බෙතෙල් නිවසේ සේවය කිරීමට ඔහුට ආරාධනාවක් ලැබුණා. පසුව 2000 නොවැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයේ සේවය කිරීමට ඔහුට පැවරුමක් ලැබුණා. එහිදී ඔහු රෝහල් තොරතුරු සැපයුම් සේවා අංශයෙත් පසුව සේවා අංශයෙත් සේවය කළා.

වර්ෂ 2008 සැප්තැම්බර් මාසයේදී ශාඛා කමිටු සාමාජිකයන් සඳහා පැවැත්වෙන පාසැලට සහභාගි වීමෙන් පසුව ඔහුට පිලිපීනයේ ශාඛා කමිටු සාමාජිකයෙක් ලෙස සේවය කිරීමට පැවරුමක් ලැබුණා. වර්ෂ 2010 සැප්තැම්බර් මාසයේදී නැවතත් ඔහුට ඇමරිකාවේ සේවය කිරීමට ආරාධනාවක් ලැබුණා. එහිදී ඔහු සේවය කළේ පාලක මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන සේවා කමිටුවට උපකාර කරන්නෙකු ලෙසයි.