Skip to content

පටුනට යන්න

දෙවිට වෙන් වූ ශුද්ධ සෙනඟක්

දෙවිට වෙන් වූ ශුද්ධ සෙනඟක්

“ඔබව සෝදා පවිත්‍ර කර ඇත. ඔබව දැන් ශුද්ධ කර ඇත.”—1 කොරි. 6:11.

1. යෙරුසලමට ආපු නෙහෙමියා දකින්නේ මොනවද? (ලිපියේ මුලින්ම තියෙන පින්තූරය බලන්න.)

නෙහෙමියා දෙවෙනි වතාවටත් යෙරුසලමට ඇවිත්. (නෙහෙ. 13:6) ඔහු දකින්නේ බලාපොරොත්තු නොවුණ දෙයක්. දෙවිගේ සෙනඟට විරුද්ධව වැඩ කරපු විදේශිකයෙකුට දේවමාලිගාවේ කාමරයක් දීලා. දේවමාලිගාවේ වගකීම් ඉටු කරන්න ලෙවීවරුන් නැහැ. වැඩිමහල්ලෝ සබත් දවසේ වෙළඳාම් කරනවා. ඊශ්‍රායෙල්වරුන්ගෙන් වැඩිදෙනෙක් වෙනත් ජාතීන්වල අයව විවාහ කරගෙන.

2. ඊශ්‍රායෙල්වරුන් ශුද්ධ ජාතියක් වුණේ කොහොමද?

2 ඒත් ඊට අවුරුදු දාහකට විතර කලින් ඊශ්‍රායෙල්වරුන් හැසිරුණේ ඊට හාත්පසින්ම වෙනස් විදිහටයි. ඔවුන් හැමෝම “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි” කියලා පොරොන්දු වුණේ මුළු හදවතින්මයි. (නික්. 24:3) එදා ඉඳන් දෙවි ඔවුන්ව තමන්ගේ සෙනඟ හැටියට තෝරගත්තා. වෙනත් ජාතීන්ගෙන් වෙන් වුණ ශුද්ධ ජාතියක් වෙන්න ඔවුන්ට අවස්ථාව දුන්නා. ඒ වටිනා අවස්ථාව ගැන මෝසෙස් ඔවුන්ට මතක් කරලා දුන්නේ මෙහෙමයි. ‘ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක්. මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණයි.’—ද්වි. 7:6.

3. නෙහෙමියා දෙවෙනි වතාවට යෙරුසලමට එනකොට යුදෙව්වන්ගේ තත්වය මොකක්ද?

3 ඒත් කාලයක් යද්දී ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දෙවිට අකීකරු වුණා. ඔවුන්ට වෙන රටක වහලුන් විදිහට ඉන්න වුණෙත් ඔවුන්ගේ වැරදි නිසාමයි. ඒත් යෙරුසලමට ඇවිත් ඒක නැවත ගොඩනඟන්න ඔවුන්ට අවස්ථාව ලැබුණා. එහෙම වුණේ යෙහෝවා දෙවිට සේවය කරන්න ඔවුන්ට වුවමනාවක් තිබුණ නිසයි. ඒත් යෙරුසලමට ඇවිත් අවුරුදු 100ක් ගත වෙන්නත් කලින් ඔවුන් ආයෙත් දෙවිට අකීකරු වුණා. ඒ කාලයේදී තමයි නෙහෙමියා දෙවෙනි වතාවට යෙරුසලමට එන්නේ.

4. ශුද්ධ සෙනඟක් විදිහට ජීවත් වෙන්න අපි කරන්න ඕනෙ මොනවද?

4 තමන්ට වෙන් වුණ ශුද්ධ සෙනඟක් විදිහට අද දෙවි තෝරගෙන තියෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්වයි. අභිෂේක ලත් අය වගේම ‘මහත් සමූහයේ’ අයත් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට විතරයි. (එළි. 7:9, 14, 15; 1 කොරි. 6:11) ඒත් අපි පරෙස්සම් වුණේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට වුණා වගේ අපිටත් දෙවි එක්ක තියෙන බැඳීම නැති වෙන්න පුළුවන්. එහෙමනම් දෙවිට වෙන් වුණ ශුද්ධ සෙනඟක් විදිහට දිගටම ජීවත් වෙන්න අපිට පුළුවන් කොහොමද? ඒ සඳහා කරන්න ඕනෙ දේවල් හතරක් ගැන අපි නෙහෙමියා 13වෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගමු. (1) නරක ආශ්‍රයෙන් වැළකීම, (2) සැබෑ නමස්කාරයට සහයෝගය දීම, (3) යෙහෝවා දෙවිට මුල් තැන දීම සහ (4) දෙවි බලාපොරොත්තු වෙන විදිහේ ජීවිතයක් ගත කිරීම.

නරක ආශ්‍රයෙන් වැළකීම

යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්නවා කියලා නෙහෙමියා පෙන්නුවේ කොහොමද? (5වෙනි සහ 6වෙනි ඡේද බලන්න)

5, 6. එලියාෂිබ් සහ ටොබියා කියන්නේ කවුද? ඒ දෙන්නා මිත්‍රයන් වුණේ කොහොමද?

5 නෙහෙමියා 13:4-9 කියවන්න. එලියාෂිබ් කියන්නේ උත්තම පූජකයෙක්. ඒත් ඔහු දෙවිට විරුද්ධව වැඩ කරපු ටොබියා එක්ක ආශ්‍රය කළා. ටොබියා කියන්නේ අම්මොන් ජාතිකයෙක්. ඒ වගේම ඔහු පර්සියානු රජට සේවය කරපු කෙනෙක් වෙන්න ඇති. ඔහු මීට කලින් නෙහෙමියාට විරුද්ධව වැඩ කරලා, යෙරුසලමේ තාප්ප හදන එකත් නවත්වන්න හැදුවා. (නෙහෙ. 2:10) අම්මොන් ජාතිකයෙක් දේවමාලිගාවට එන එක දෙවිගේ නීතියේ හැටියට තහනම්. (ද්වි. 23:3) ඒත් එලියාෂිබ් ඔහුට දේවමාලිගාවේ භෝජන ශාලාවක් වෙන් කරලා දීලා තිබුණා. ඒ ඇයි?

6 ඒකට හේතු කිහිපයක් තිබුණා. ටොබියාත් ඔහුගේ පුතත් විවාහ වෙලා හිටියේ යුදෙව් ජාතික කාන්තාවන් දෙන්නෙක් එක්ක. ඒ නිසා ටොබියා යුදෙව්වන්ගේ හොඳ හිත දිනාගෙන හිටියා. (නෙහෙ. 6:17-19) ඒ විතරක් නෙවෙයි ටොබියා එලියාෂිබ්ගේ පවුලේ මිත්‍රයෙක්. ඒ කොහොමද? එලියාෂිබ්ගේ මුනුපුරෙක් විවාහ වෙලා හිටියේ සමාරියේ ආණ්ඩුකාරයා වුණ සන්බලට්ගේ දුව එක්ක. (නෙහෙ. 13:28) සන්බලට් ටොබියාගේ කිට්ටු යාළුවෙක්. එලියාෂිබ්, ටොබියාට තමන් කැමති දෙයක් කරන්න ඉඩ දුන්නේ ඒ හේතු නිසා වෙන්න ඇති. ඒත් දෙවිට විශ්වාසවන්තව සිටි නෙහෙමියා ටොබියාගේ බඩු මුට්ටු ටික එළියට විසි කරලා ඔහුව එළවලා දැම්මා.

7. වැඩිමහල්ලන් ඇතුළුව අපි හැමෝම දෙවි ඉදිරියේ අපිට තියෙන ශුද්ධකම රැකගන්නේ කොහොමද?

7 අපිත් යෙහෝවා දෙවිට කැප වුණ සෙනඟක්. ඒ නිසා අපි හැම දේම කරන්න ඕනෙ දෙවිට විශ්වාසවන්තව ඉන්නයි. ඒත් සමහර වෙලාවට බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව වැඩ කරනවට වඩා, අපේ පවුලේ අයව සතුටු කරන්න අපි පෙලඹෙන්න පුළුවන්. එහෙම වුණොත් දෙවි අපිව ශුද්ධ අය හැටියට සලකන එකක් නැහැ. විශේෂයෙන්ම වැඩිමහල්ලන් ඒ ගැන හිතන්න ඕනෙ. ඔවුන් තීරණ ගන්නේ දෙවි කාරණා දිහා බලන විදිහට බලලයි. එහෙම නැතුව තමන් හිතන විදිහටවත් අනිත් අයත් එක්ක තමන්ට තියෙන බැඳීම් ගැන හිතලවත් නෙවෙයි. (1 තිමෝ. 5:21) දෙවි එක්ක තියෙන බැඳීම, පුංචි දෙයක් නිසාවත් නැති කරගන්න වැඩිමහල්ලන් කැමති නැහැ.—1 තිමෝ. 2:8.

8. අපි ආශ්‍රය කරන්න ඕනෙ මොන වගේ අය එක්කද?

8 “නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි” කියන උපදෙස අමතක කරන්න එපා. (1 කොරි. 15:33) දෙවි අකමැති දේවල් කරන්න පවුලේ අය, නෑදෑයෝ අපිව පොලඹවනවා නම් ඔවුනුත් නරක ආශ්‍රයට අයිතියි. කාලයක් එලියාෂිබ්, නෙහෙමියා එක්ක එකතු වෙලා යෙරුසලමේ තාප්ප හදන්න මහන්සි වෙලා වැඩ කළා. (නෙහෙ. 3:1) අනිත් අයට ඔහු හොඳ ආදර්ශයක් වෙලත් හිටියා. ඒත් ටොබියාගෙත් අනිත් අයගෙත් නරක ආශ්‍රය නිසා එලියාෂිබ් වැරදි දේවල් කරන්න පෙලඹුණා. අන්තිමේදී ඔහු, ඔහුගේ ශුද්ධකම නැති කරගත්තා. ඒක අපිටත් පාඩමක්. අපි ඇසුරු කරන්න ඕනෙ අපිව යහපත් දේවල් කරන්න දිරිගන්වන අය එක්කයි. බයිබලය කියවන්න, රැස්වීම්වලට යන්න, සේවයේ යන්න අපිව දිරිගන්වන අය එක්කයි. අපේ පවුලේ අයත් ඒ වගේ නම් අපිට කොයි තරම් සතුටු වෙන්න පුළුවන්ද!

සැබෑ නමස්කාරයට සහයෝගය දීම

9. දේවමාලිගාවේ තිබුණේ මොන වගේ තත්වයක්ද? ඒ වෙනුවෙන් නෙහෙමියා කළේ මොනවද?

9 නෙහෙමියා 13:10-13 කියවන්න. නෙහෙමියා දැක්ක තවත් දෙයක් තමයි ලෙවීවරුන් දේවමාලිගාවේ තමන්ට තිබුණ වගකීම් ඉටු කරමින් හිටපු නැති එක. එහෙම වුණේ ඇයි? අතීතයේ ඉඳලම ලෙවීවරුන් තමන්ගේ අවශ්‍යතා පිරිමහගත්තේ අනිත් අය දේවමාලිගාවට දුන්න සම්මාදම්වලින්. ඒත් ඒ වෙනකොට සම්මාදම් දෙන එක හුඟක් අඩු වෙලා තිබුණා. ඒකට හේතුව දසයෙන් කොටස එකතු කරන්න පත් කරලා හිටපු අය ඒක හරියට කළේ නැති නිසා හරි, එකතු කරපුවා දේවමාලිගාවට දුන්නේ නැති නිසා හරි වෙන්න පුළුවන්. (නෙහෙ. 12:44) ඒ නිසා තමන්ගෙත් තමන්ගේ පවුලේ අයගෙත් අවශ්‍යතා පිරිමහගන්න, මහන්සි වෙලා කෙත්වතුවල වැඩ කරන්න ලෙවීවරුන්ට සිදු වුණා. මේක දැකපු නෙහෙමියා, දසයෙන් කොටස එකතු කරලා ලෙවීවරුන්ට දෙන්න විශ්වාසවන්ත අයව පත් කළා.

10, 11. සැබෑ නමස්කාරයට සහයෝගය දක්වන්න පුළුවන් මොන වගේ පැතිවලින්ද?

10 ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? අපිට තියෙන වටිනා දේවල් සැබෑ නමස්කාරය වෙනුවෙන් දෙන්න පුළුවන් වෙලා තියෙන එක අපිට ලැබිලා තියෙන ගෞරවයක්. (හිතෝ. 3:9) ඇත්තටම දෙවිට අපි දෙන්නේ දෙවිගෙම දේවල්. (1 ලේක. 29:14-16) ඒත් ‘මට දෙන්න පුළුවන් පුංචි දෙයක් විතරයි. ඒක දෙවිට වටිනවද’ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔබ දෙන්නේ මුළු හිතින්ම නම් ඔබ දෙන පුංචි දේ වුණත් යෙහෝවා දෙවිට හුඟක් වටිනවා.—2 කොරි. 8:12.

11 එක රටක දරුවෝ අටදෙනෙක් ඉන්න පවුලක් හිටියා. ඒ අය අවුරුදු ගාණක් පුරා සතියකට වතාවක් තමන් එක්ක කෑම වේලක් ගන්න වයසක යුවළකට එන්න කියනවා. ‘දහදෙනෙකුට උයන එකේ තව දෙන්නෙකුට උයන එක ලොකු දෙයක් නෙවෙයි’ කියලා ඒ අම්මා හිතුවත් ඒ වයසක යුවළ නම් ඒක හුඟක් අගය කළා. විශේෂ පුරෝගාමීන් වුණ ඒ යුවළගේ අද්දැකීම්, දිරිගැන්වීම් ඒ පවුලේ දරුවන්ට කොච්චර ලොකු බලපෑමක් වුණාද කියනවා නම්, පස්සේ ඒ දරුවෝ අටදෙනාම පූර්ණකාලීන සේවය තෝරගත්තා.

12. සභාවේ අයට ආදර්ශයක් වෙන්න වැඩිමහල්ලන්ට සහ සහායක සේවකයන්ට පුළුවන් කොහොමද?

12 වැඩිමහල්ලන්ට සහ සහායක සේවකයන්ටත් නෙහෙමියාව ආදර්ශයට ගන්න පුළුවන්. ඒ, සැබෑ නමස්කාරය වෙනුවෙන් තමන්ගේ උපරිමය කරලා, සභාවේ අයට ආදර්ශයක් වීමෙනුයි. එහෙම ආදර්ශයක් වුණ කෙනෙක් තමයි පාවුල්. ඔහු, දෙවිගේ නමස්කාරයට සහයෝගය දෙන්න පුළුවන් හැම දේම කළා. ඒ වගේම සම්මාදම් දෙන්න පුළුවන් විදි ගැන යෝජනාත් දුන්නා.—1 කොරි. 16:1-3; 2 කොරි. 9:5-7.

යෙහෝවා දෙවිට මුල් තැන දීම

13. සබත් දවසේදී සමහර යුදෙව්වන් කළේ මොනවද?

13 නෙහෙමියා 13:15-21 කියවන්න. හැම සතියකම සබත් දවස පවත්වන්න කියලා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අණ කරලා තිබුණා. (නික්. 31:13) ඒ කාලය ඔවුන්ට උදව් වුණා, ශුද්ධ සෙනඟක් විදිහට දෙවි එක්ක තිබුණ බැඳීම ගැන හොඳට හිතන්න. පවුලේ අය එක්ක එකතු වෙලා දෙවිට නමස්කාර කරන එකත් යාච්ඤා කරන එකත් දෙවිගේ නීතිය ගැන ගැඹුරින් හිතන එකත් දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා. ඒත් නෙහෙමියාගේ කාලයේ හිටපු සමහර ඊශ්‍රායෙල්වරුන් සබත් දවසේදිත් වෙළඳාම් කළා. ඒ නිසා නෙහෙමියා වෙනත් රටවලින් ආපු වෙළෙන්දන්ව නගරයෙන් එළවලා සබත් දවසට කලින් නගරයේ දොරටු වහලා දැම්මා.

14, 15. (අ) මුදල් හම්බ කරන්න ඕනෑවට වඩා කාලය වැය කළොත් වෙන්නේ මොනවද? (ආ) දෙවි වගේ විවේක ගන්න අපිට පුළුවන් කොහොමද?

14 ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? එක පාඩමක් තමයි, යෙහෝවා දෙවිට මුල් තැන දෙනවා වෙනුවට මුදල් හම්බ කරන්න ඕනෑවට වඩා කාලය වැය කිරීම වැරදියි කියන එක. ඔබ දෙවිට සේවය කරනවට වඩා වැඩියෙන් සතුටු වෙන්නේ රැකියාවෙන්ද? එහෙමනම් පරෙස්සම් වෙන්න. ස්වාමිවරුන් දෙන්නෙකුට සේවය කරන්න බැහැ කියලා යේසුස් කිව්වා. (මතෙව් 6:24 කියවන්න.) නෙහෙමියාටත් වෙළෙන්දන් එක්ක එකතු වෙලා ඕනෙ තරම් මුදල් හොයන්න තිබුණා. ඒත් ඒ වෙනුවට ඔහු තමන්ගේ සෙනඟට උදව් කරන්නත් දෙවිගේ නමට ගෞරවයක් ලැබෙන විදිහට වැඩ කරන්න කාලය යෙදෙව්වා. (නෙහෙ. 5:14-18) අදත් සභාවල ඉන්න වැඩිමහල්ලන් සහ සහායක සේවකයන් තමන්ගේ කාලය, ශ්‍රමය වැය කරන්නේ සභාවේ ඉන්න අයට උදව් කරන්න. ඔවුන් දරන වෙහෙස සභාවල අය හුඟක් අගය කරනවා. එහෙම කරද්දී සභාවේ හැමෝටම දැනෙන්නේ තමන් එකට බැඳුණ පවුලක ඉන්නවා වගේ ආරක්ෂාවක්.—එස. 34:25, 28.

15 අද අපි සබත පවත්වන්නේ නැහැ. ඒත් අපි වෙනත් විදිහේ සබතක් පවත්වනවා. ඒ ගැන බයිබලයේ තියෙන්නේ මෙහෙමයි. “සබත් දවස මෙන් දෙවිගේ සෙනඟට විවේක ගැනීම සඳහා තවත් අවස්ථාවක් ඇත. මන්ද යමෙක් දෙවි මෙන් විවේක ගන්නවා නම් දෙවි තම වැඩකටයුතුවලින් විවේක ගත් ලෙසම ඔහුද තම වැඩකටයුතුවලින් විවේක ගෙන සිටියි.” (හෙබ්‍රෙ. 4:9, 10) අද අපි යෙහෝවා දෙවි වගේ විවේක ගන්නේ ඔහුට කීකරු වෙලා ඔහුගේ අරමුණ ඉටු කරන්න අපේ උපරිමය කරලයි. ඔබත් ඔබේ පවුලේ අයත් දිගටම රැස්වීම්වලට සහභාගි වෙනවද? නිතිපතා දේශනා සේවයේ හවුල් වෙනවද? හැම සතියේම පවුලේ නමස්කාරය කරනවද? ඒ දේවල් කරලා ඔබේ ජීවිතේ යෙහෝවා දෙවිට මුල් තැන දෙනවා කියලා පෙන්වනවද? අපි රැකියාව කරන තැන ප්‍රධානියාවත් අපිත් එක්ක වැඩ කරන අයවත් ඒ දේවල වටිනාකම දන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතයේ අපිට වැඩියෙන්ම වටින්නේ දෙවිට කරන නමස්කාරයයි කියලා පැහැදිලිව ඔවුන්ට කියන්න. හරියට නෙහෙමියා වගේ. ඔහු කිසිම භයක් නැතුව වෙළෙන්දන්ව එළවලා නගරයේ දොරටු වහන්න කෙළින් තීරණයක් ගත්තා. ඔහු එහෙම කළේ යෙහෝවා දෙවිට මුල් තැන දුන්න නිසයි. දෙවිට වෙන් වුණ ශුද්ධ අය හැටියට අපෙන්ම මේ ප්‍රශ්නේ අහලා බලමු. ‘මං දෙවිට මුල් තැන දීලා වැඩ කරනවා කියලා අනිත් අය දකිනවද?’—මතෙ. 6:33.

දෙවි බලාපොරොත්තු වෙන විදිහේ ජීවිතයක් ගත කිරීම

16. දෙවිට වෙන් වුණ ශුද්ධ ජාතියක් හැටියට තමන්ට තිබුණ වරප්‍රසාදය නැති කරගන්න තත්වයක ඊශ්‍රායෙල්වරුන් හිටියේ කොහොමද?

16 නෙහෙමියා 13:23-27 කියවන්න. නෙහෙමියා යෙරුසලමට ආපු මුල් වතාවේ ඔහු වැඩිමහල්ලන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒ තමයි ඊශ්‍රායෙල් පුරුෂයන් ආයෙත් වෙනත් ජාතීන්වල ස්ත්‍රීන්ව විවාහ කරගන්නේ නැහැ කියන පොරොන්දුව. ඔවුන් ඒ පොරොන්දුව ලියවිල්ලක සටහන් කර සහතික කළා. (නෙහෙ. 9:38; 10:30) ඒත් නෙහෙමියා දෙවෙනි වතාවට යෙරුසලමට එද්දී ඔවුන් තමන්ගේ පොරොන්දුව කඩ කරලා වෙනත් ජාතීන්වලට අයත් ස්ත්‍රීන් එක්ක විවාහ වෙලා හිටියා. ඔවුන්ගේ දරුවන්ට හෙබ්‍රෙව් භාෂාව කතා කරන්නවත් කියවන්නවත් බැහැ. එහෙමනම් ඔවුන් දෙවිගේ නීතිය කියවලා තේරුම්ගනියි කියලා හිතන්න පුළුවන්ද? ඔවුන්ගේ අම්මලගේ දෙවිවරුන් වෙනුවට යෙහෝවා දෙවිට සේවය කරයි කියලා හිතන්න පුළුවන්ද? ඒ දරුවන් වැඩිහිටියන් වුණාම තමන් ඊශ්‍රායෙල්වරුන් කියලා කියයිද? එහෙම නැත්නම් ඔවුන්ගේ අම්මලගේ ජාතියට අයත් අය කියලා කියයිද? දෙවිට වෙන් වුණ ශුද්ධ ජාතියක් හැටියට ඔවුන්ට තිබුණ වරප්‍රසාදය නැති කරගන්න තත්වයකයි ඊශ්‍රායෙල්වරුන් හිටියේ. ඒ නිසා නෙහෙමියා ඉක්මනින්ම පියවර ගත්තා.—නෙහෙ. 13:28.

යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔබේ දරුවන්ට උදව් කරන්න (17වෙනි සහ 18වෙනි ඡේද බලන්න)

17. දරුවන්ට යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම තවත් වැඩි කරගන්න දෙමව්පියන් උදව් කරන්න ඕනෙ ඇයි?

17 දෙවිගේ සේවකයෙක් වීමේ වටිනා අවස්ථාව ඔබේ දරුවන්ට ලබා දෙන්න ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා ඔබෙන්ම මෙහෙම අහලා බලන්න. මගේ දරුවන්ට කොයි තරම් දුරට “පවිත්‍ර භාෂාව” කතා කරන්න පුළුවන්ද? (ශෙප. 3:9) ඒ කියන්නේ, මගේ දරුවන් කොයි තරම් දුරට බයිබල් සත්‍යයන් තේරුම් අරන් ඒවා ගැන ආශාවෙන් කතා කරනවද? ඔවුන් කතා කරන දේවලින් පැහැදිලි වෙන්නේ ඔවුන්ට වැඩියෙන්ම වටින්නේ දෙවිගේ දේවල් කියලද නැත්නම් මේ දුෂ්ට සමාජයේ දේවල් කියලද? වැඩිපුර කැමැත්තක් දක්වන්නේ මේ දුෂ්ට සමාජයේ දේවලට කියලා දැනගත්තොත් මොකද කරන්නේ? අධෛර්යය වෙන්න එපා. සාමාන්‍යයෙන් භාෂාවක් ඉගෙනගන්න කාලයක් යනවා. බාධා ආවොත් ඒක තවත් අමාරුයි. මේ සමාජයේ අය හැම තිස්සෙම බලන්නේ දරුවන්ගේ අවධානය ඔවුන්ගේ පැත්තට ඇදගන්නයි. දෙවිට අකීකරු වෙන්න දරුවන්ව පොලඹවන්නයි. ඒ නිසා පවුලේ නමස්කාරය ඇතුළු වෙනත් අවස්ථා පාවිච්චි කරලා දරුවන්ට යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම තවත් වැඩි කරගන්න උදව් කරන්න. (ද්වි. 6:6-9) මේ සමාජයේ අයට වඩා වෙනස් වෙන එකේ තියෙන වටිනාකම ගැන කියලා දෙන්න. (යොහ. 17:15-17) ඒ දේවල් දරුවන්ගේ හදවතට දැනෙන විදිහට කතා කරන්න.

18. යෙහෝවා දෙවිට ජීවිතය කැප කරන්න දරුවන්ට උදව් කරන්න හොඳම අය දෙමව්පියන් කියලා කියන්නේ ඇයි?

18 තමන් දෙවිට සේවය කරනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ දරුවන් තමයි. ඒත් හරි තීරණ ගන්න දරුවන්ට උදව් කරන්න දෙමව්පියන්ට පුළුවන්. ඔබේ ආදර්ශයෙන් ඔවුන්ට උගන්වන්න. වැරදි හැසිරීම කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව කියලා දෙන්න. වැරදි තීරණ ගත්තොත් විඳින්න වෙන ප්‍රතිඵල ගැන තේරුම් කරලා දෙන්න. දෙවි බලාපොරොත්තු වෙන විදිහේ ජීවිතයක් ගත කිරීමේ වටිනාකම ගැන කියලා දෙන්න. දෙමව්පියෙනි, ඔබේ දරුවන්ට උදව් කරන්න ඔබ තරම් සුදුසු අය තවත් ඉන්නවද? ඒ නිසා සත්‍යය තුළ දියුණු වෙලා යෙහෝවා දෙවිට කැප වුණ කෙනෙක් වෙන්න දරුවන්ට උදව් කරන්න. දරුවන් විතරක් නෙවෙයි, අපි හැමෝම දෙවි බලාපොරොත්තු වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න අධිෂ්ඨාන කරගන්න ඕනෙ.—එළි. 3:4, 5; 16:15.

යෙහෝවා දෙවි අපිව කවදාවත් අමතක කරන්නේ නැහැ

19, 20. යෙහෝවා දෙවිගේ මතකයේ රැඳෙන අය වෙන්න නම් අපි මොනවද කරන්න ඕනෙ?

19 යෙහෝවා දෙවිගේ නාමය සිහි කරමින් ඔහුට ගරුබිය පෙන්වන අයගේ නම්, දෙවි ලියවිල්ලක සටහන් කරනවා කියලා බයිබලයේ කියනවා. (මලා. 3:16, 17) දෙවි ඒ අයව කවදාවත් අමතක කරන්නේ නැහැ.—හෙබ්‍රෙ. 6:10.

20 නෙහෙමියා යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවේ ‘මාගේ දෙවියනි, මට කරුණාව පෙන්වා මාව සිහි කරන්න’ කියලයි. (නෙහෙ. 13:31) ඔහුගේ එකම ආශාව වුණේ දෙවි වෙනුවෙන් ඔහු කරපු සේවය දෙවිට මතක තියෙනවටයි. අපේ නමත් දෙවිට මතක තියෙන්න නම් අපිත් නරක ආශ්‍රයෙන් වැළකිලා, සැබෑ නමස්කාරයට අපේ සහයෝගය දෙන්න ඕනෙ. යෙහෝවා දෙවිට මුල් තැන දීලා දෙවි බලාපොරොත්තු වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න ඕනෙ. ‘අපි විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට අපි ඇලී ඉන්නවද කියලා නොකඩවා සෝදිසි කරලා බලන්න ඕනෙ.’ (2 කොරි. 13:5) ඒ විදිහට යෙහෝවා දෙවිටම වෙන් වුණ ශුද්ධ අය හැටියට ජීවත් වෙන්න අපි අපේ උපරිමය කරනවා නම්, දෙවි අපිව කවදාවත් අමතක කරන්නේ නැහැ කියන එක ස්ථිරයි.