Skip to content

පටුනට යන්න

ඥානවන්ත තීරණ ගන්න

ඥානවන්ත තීරණ ගන්න

“ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.”—හිතෝ. 3:5.

1, 2. ඔබ තීරණ ගන්න කැමතිද? ජීවිතේ ගත්ත සමහර තීරණ ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

හැම දවසකම වගේ තීරණ ගන්න අපිට සිද්ධ වෙනවා. සමහර ඒවා පුංචි තීරණ. සමහර ඒවා බරපතළ තීරණ. සමහරු කැමතියි ජීවිතේ හැම දෙයක්ම තමන්ට ඕනෙ විදිහට තීරණය කරන්න. ඔවුන් හිතන්නේ ඕනෙම තීරණයක් ගන්න ඔවුන්ට අයිතිය තියෙනවා කියලා. තවත් සමහරු තමන්ගේ ජීවිතේ වැදගත් තීරණ වුණත් ගන්න භයයි. ඔය අතරේ තවත් අය තමන් ගන්න ඕනෙ තීරණ ගැන පොත් පත්වලින් හොයලා බලනවා. ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්නවා. ඒ වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරන්න වුණත් ඔවුන් කැමතියි.

2 ඒ වුණත් සමහර පෞද්ගලික තීරණ අපේ කැමැත්තට අනුව ගන්න පුළුවන් කියලත් සමහර තීරණ ගන්න අපිට අයිතියක් නැහැ කියලත් අපි දන්නවා. (ගලා. 6:5) ඒ වගේම අපි ගන්න හැම තීරණයක්ම හරියටම හරියන්නේ නැහැ කියලත් මෝඩ තීරණ ගත්ත වෙලාවල් ඕනෙ තරම් තියෙනවා කියලත් අපි දන්නවා.

3. තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොනවද? හරි තීරණ ගන්න එක හැම වෙලාවෙම පහසු නැත්තේ ඇයි?

3 දෙවිට සේවය කරන අය විදිහට අපිට අපේ ජීවිතේ වැදගත් තීරණ ගන්න අවශ්‍ය මඟ පෙන්වීම් දෙවි ලබා දීලා තියෙන එක ගැන අපි හුඟක් සතුටු වෙනවා. ඒ මඟ පෙන්වීම් පිළිගත්තොත් අපිට යෙහෝවා දෙවිව සතුටු කරන්න ලැබෙනවා විතරක් නෙවෙයි අපිටත් ප්‍රයෝජන ලැබෙනවා. ඒත් හැම පුංචි කාරණයකදිම ගන්න ඕනෙ තීරණය මොකක්ද කියලා බයිබලයේ අපිට කියන්නේ නැහැ. ඒ කියන්නේ බයිබලයේ යම් දෙයක් කියද්දී ඒක අදාළ වෙන හැම පැත්තක් ගැනම කියන්නේ නැහැ. උදාහරණයකට සොරකම් කරන එක වැරදියි කියලා බයිබලයේ කියනවා. (එෆී. 4:28) ඒත් ඒ ගැන මිනිසුන්ට මතු වෙන හැම ප්‍රශ්නයකටම උත්තර බයිබලයේ නැහැ. සමහරු කියන්නේ වටිනාකමින් අඩු දෙයක් කෙනෙක්ගෙන් ගන්න එක ඇත්තටම සොරකමක් නෙවෙයි කියලා. කෙනෙක් තමන්ට අත්‍යවශ්‍යම දෙයක් තව කෙනෙක්ගෙන් ගන්න එකේ වරදක් නැහැ කියලා තවත් සමහරු කියනවා. ඒ වගේ බයිබලයේ කෙළින්ම උත්තරයක් දීලා නැති වෙලාවලදී අපි ගන්නේ මොන වගේ තීරණයක්ද? හරි තීරණයක් ගන්න අපිට උදව් වෙන්නේ මොනවද?

 සිහිකල්පනාවෙන් තීරණ ගන්න

4. අපි තීරණ ගන්න ඕනෙ කොහොමද?

4 ඔබට වැදගත් තීරණයක් ගන්න තියෙනවා කියලා හිතන්න. ඔබ ඒ ගැන යාළුවෙකුට කියනවා. සමහරවිට ඔහු කියයි තීරණයක් ගන්න කලින් හැම දෙයක් ගැනම හොඳට හිතලා බලන්න කියලා. ඒක හොඳ උපදෙසක්. මොකද, බයිබලයෙත් කියනවා “දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි” කියලා. (හිතෝ. 21:5) ඒත් හොඳට හිතලා බලන එක විතරක් මදි. බයිබලයේ කියන්නේ හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගන්න කියලයි. සිහිකල්පනාවෙන් තීරණ ගන්නවා කියද්දී හැම කාරණයක් ගැනම හොයලා බලන එක, හැම පැත්තක් ගැනම සාධාරණව හිතන එක, දේවල් කිරලා මැනලා බලන එක ඇතුළත් වෙනවා තමයි. ඒත් ඒ විතරක් මදි. ඒ ඇයි?—රෝම 12:3; 1 පේතෘ. 4:7.

5. හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගන්න අමාරු ඇයි?

5 කිසිම කෙනෙක් හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගන්න පුළුවන් හැකියාව ඇතුව ඉපදෙන්නේ නැහැ. මොකද, අපි හැමෝම අසම්පූර්ණයි. අපි ඉපදෙන්නෙම පාපය උරුම කරගෙන. (ගීතා. 51:5; රෝම 3:23) ඒ වගේම යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ ප්‍රතිපත්ති ගැනත් ඉගෙනගන්න කලින් සාතන් අපේ ‘මනස් අන්ධ කරලා’ තිබුණා. (2 කොරි. 4:4; තීත. 3:3) ඒ හේතු නිසා කෙනෙක් හොඳට කාලය අරන් ඔහුට හරියි, සාධාරණයි කියලා හිතන දේවලට එකඟව තීරණයක් ගත්තත් ඒක වරදින්න පුළුවන්.—හිතෝ. 14:12.

6. හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගන්න අපි කරන්න ඕනෙ මොනවද?

6 අපේ යෙහෝවා දෙවි අතින් නම් කිසිම වරදක්වත් අඩුපාඩුවක්වත් වෙන්නේ නැහැ. (ද්වි. 32:4) ඒ නිසා අපි හිතන විදිහ වෙනස් කරගෙන හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගන්න අපිට උදව් කරන්න පුළුවන් දෙවිට විතරයි. (2 තිමෝති 1:7 කියවන්න.) හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගන්න නම් අපිට හිතෙන, අපිට හැඟෙන විදිහට දේවල් කරන්නේ නැතුව යෙහෝවා දෙවි හිතන විදිහට හිතන්න, ඔහු දේවල් දිහා බලන විදිහට බලන්න, ඔහු දේවල් කරන විදිහට කරන්න අපි ඉගෙනගන්න ඕනෙ.

7, 8. අමාරු අවස්ථාවකදී වුණත් හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගන්න පුළුවන් කියලා පෙන්වන අද්දැකීමක් කියන්න.

7 මේ අද්දැකීම බලන්න. වෙනත් රටක පදිංචියට ගිහින් හිටපු යුවළකට පුංචි පුතෙක් ලැබුණා. සාමාන්‍ය සිරිත වෙලා තිබුණේ දරුවෙක් ලැබුණම ඒ දරුවව ඔවුන්ගේ මව්රටේ ඉන්න දරුවගේ ආච්චිලා සීයලා ළඟට යවන එකයි. එතකොට ඔවුන්ට ඒ රටේ දිගටම රැකියාව කරගෙන යන්න ලේසි වෙනවා. * ඉතින් මේ දරුවවත් ආච්චිලා සීයලා ළඟට යවන්න කියලා නෑදෑයොත් යාළුවොත් කිව්වා. ඔය කාලෙදිම වගේ, ඒ අම්මා බයිබලය ගැන ඉගෙනගන්නත් ඒ අනුව ජීවිතය වෙනස් කරගන්නත් පටන් අරගෙනයි තිබුණේ. දරුවන්ව ඇතිදැඩි කරන වගකීම දෙවි දීලා තියෙන්නේ දෙමව්පියන්ටයි කියලා ඇය බයිබලයෙන් ඉගෙනගත්තා. (ගීතා. 127:3; එෆී. 6:4) ඇය මොන වගේ තීරණයක් ගනියිද? අනිත් හැමෝම හරියි කියලා හිතන නිසා ඇය තමන්ගේ දරුවව ඇගේ මව්රටට යවයිද? එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්න ආවත් අනිත් අය මොනවා කිව්වත් බයිබලයෙන් ඉගෙනගත්ත විදිහට ඇය වැඩ කරයිද? ඒ වගේ තත්වයක ඔබ හිටියා නම් ඔබ ගන්නේ මොන වගේ තීරණයක්ද?

8 හැමෝම බල කරපු නිසා ඒ අම්මා හිටියේ ලොකු පීඩනයකින්. ඒ නිසා හරි තීරණය ගන්න උදව් කරන්න කියලා ඇය දෙවිට යාච්ඤා කළා. ඒ වගේම ඇයට බයිබල් පාඩම කරපු සහෝදරිය එක්කත් සභාවේ හිටපු තවත් අය එක්කත් ඇය ඒ ගැන කතා කළා. ඊටපස්සේ මේ කාරණාව දිහා යෙහෝවා දෙවි බලන විදිහ ඇය තේරුම්ගත්තා. දරුවව දෙමව්පියන්ගෙන් වෙන් කළොත් ඒක දරුවට මානසිකව බලපාන්න පුළුවන් කියලත් ඇය තේරුම්ගත්තා. බයිබලයේ තියෙන උපදෙස් ගැන හොඳට හිතලා බැලුවට පස්සේ දරුවව තමන් ළඟ තියාගන්න ඇය තීරණය කළා. සභාවේ අය ඒ අමාරු කාලෙදී ඔවුන්ට උදව් කරපු විදිහත් දරුවා සතුටින් නිරෝගීව ඉන්න විදිහත් දැක්කම ඇගේ සැමියා බයිබලය ඉගෙනගන්න කැමති වුණා. ඔහු රැස්වීම් එන්නත් පටන්ගත්තා.

9, 10. හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගන්නවා කියන්නේ මොකක්ද? ඒ විදිහට තීරණ ගන්න අපිට පුළුවන් කොහොමද?

 9 හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගන්නවා කියන්නේ අපිට හරියි, සාධාරණයි කියලා හිතෙන, එහෙම නැත්නම් අනිත් අය හොඳම දේ කියලා හිතන විදිහට තීරණ ගන්න එක නෙවෙයි. අපි හුඟක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ අපේ මොළේ නැත්නම් හිත විශ්වාස කරලා තීරණ ගන්නයි. හැබැයි ඒක හරියට, වෙලාව වැරදියට දුවන ඔරලෝසුවක් විශ්වාස කරලා වැඩ කරනවා වගේ දෙයක්. එහෙම කළොත් අපි අමාරුවේ වැටෙනවා. (යෙරෙ. 17:9) එහෙම වෙන්නේ නැතුව හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගන්න නම් අපේ සිතුවිලි, හැඟීම්, දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව හැඩගස්වගන්න ඕනෙ.—යෙසායා 55:8, 9 කියවන්න.

10 බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.” (හිතෝ. 3:5, 6) ‘ඔබේම නුවණෙහි රඳා නොසිටින්න’ කියලත් “දෙවිව සිහි කරන්න” කියලත් එතන කියනවා. ඒ නිසා අපිට තීරණයක් ගන්න සිද්ධ වෙන ඕනෙම වෙලාවක ඒ ගැන බයිබලයේ කියන්නේ මොනවද කියලා අපි හොයලා බලන්න ඕනෙ. එතකොට අපිට පුළුවන් වෙනවා දෙවි ඒ කාරණය ගැන හිතන විදිහ තේරුම් අරගෙන, හරි තීරණයක් ගන්න. මොකද, යෙහෝවා දෙවිට කවදාවත් වරදින්නේ නැහැ. හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගන්න නම් අපි අනිවාර්යයෙන්ම දෙවි හිතන විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනෙ.

වටහාගැනීමේ හැකියාව භාවිත කරන්න

11. ඥානවන්ත තීරණ ගන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවද?

11 ඥානවන්ත තීරණ ගන්න එක ලේසි නැහැ. අලුත බව්තීස්ම වුණ අයට ඒක තවත් අමාරුයි. ඒත් ඒක කරන්න බැරි දෙයක් නම් නෙවෙයි. වැටිවැටී ඇවිදින පුංචි දරුවෙක් ගැන හිතන්න. මුලින් අමාරු වුණත් පුංචි පුංචි අඩි තියලා ඒ දරුවා අත්හරින්නේ නැතුව කොහොමහරි ඇවිදින්න පුරුදු වෙනවා. අපේ ජීවිත ගමනේ ඥානවන්ත තීරණ ගන්න පුරුදු වෙන එකත් ඒ වගේ. අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් වෙන්න නම් ඒ කෙනා ‘තම වටහාගැනීමේ හැකියාව භාවිත කරලා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වෙන්න ඕනෙ’ කියලා පාවුල් කිව්වා. ඒකෙන් පැහැදිලි වෙන්නේ අලුතින් බව්තීස්ම වුණ කෙනෙක් වුණත් අත්හරින්නේ නැතුව  හරි තීරණ ගන්න දිගටම වෑයම් කරනවා නම් ඒ කෙනාට ඥානවන්ත තීරණ ගන්න පුළුවන් වෙනවා කියන එකයි.—හෙබ්‍රෙව් 5:13, 14 කියවන්න.

එදිනෙදා ජීවිතයේදී හරි තීරණ ගන්නවා නම් අපේ වටහාගැනීමේ හැකියාව භාවිත කරන්න අපි පුහුණු වෙනවා (11වෙනි ඡේදය බලන්න)

12. ඥානවන්ත තීරණ ගන්න පුරුදු වෙන්නේ කොහොමද?

12 හුඟක් අය තීරණ ගන්නේ හොඳට හිතලා නෙවෙයි, පුරුද්දටයි. උදාහරණයකට හැමදාම උදේට අඳින්නේ මොන ඇඳුමද කියලා තීරණයක් ගන්න අපිට සිද්ධ වෙනවා. බැලූ බැල්මට ඒක පුංචි තීරණයක්. ඒ ගැන එච්චර හිතන්න දේකුත් නැහැ වගෙයි පේන්නේ. ඒත් ඔබ දන්නවද, අඳින ඇඳුම ගැන අපි ගන්න තීරණයෙන් යෙහෝවා දෙවිට ගෞරවයක් නැත්නම් අගෞරවයක් ගේන්න පුළුවන් කියලා? (2 කොරි. 6:3, 4) ඇඳුම් මිල දී ගන්න ගියාම ඔබ හුඟක් වෙලාවට හිතන්නේ දැන් තියෙන ජනප්‍රියම මෝස්තරේ ගැන වෙන්න ඇති. ඒත් ඒ ඇඳුම විනීතද, ඒ තරම් මුදලක් වියදම් කරන්න පුළුවන්ද කියලත් හිතන්න ඕනෙ. ඒ වගේ පොඩි පොඩි දේවලදිත් හරි තීරණ ගන්න උත්සාහ කරනවා නම් අපේ වටහාගැනීමේ හැකියාව භාවිත කරන්න අපි පුහුණු වෙනවා. එතකොට ජීවිතේ බැරෑරුම් තීරණ ගන්න වෙද්දිත් හරි තීරණ ගන්න අපිට පුළුවන්.—ලූක් 16:10; 1 කොරි. 10:31.

හරි දේ කරන්න ආශාවකින් ඉන්න

13. ගත්ත තීරණ ක්‍රියාත්මක කරන්න අපි තුළ තියෙන්න ඕනෙ මොනවද?

13 හරි තීරණ ගත්තත් ඒවා ක්‍රියාත්මක කරන එක හැම වෙලාවෙම ලේසි නැහැ. උදාහරණයකට කෙනෙක් දුම්පානය නතර කරන්න තීරණයක් ගත්තත් ඒක නතර කරන එක ලේසි නැහැ. ඒකට ලොකු වෑයමක් දරන්න ඕනෙ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා ඔහුට ලොකු ආශාවක් තිබුණොත් විතරයි. ඒ වගේ අපි ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න නම් ඒ සඳහා අපිට ලොකු ආශාවක් තියෙන්න ඕනෙ. අපි දෙවි මත රඳා ඉන්න පුරුදු වෙන තරමට හරි දේ කරන්න අපි තුළ තියෙන ආශාව තවත් වැඩි වෙනවා.—ෆිලිප්පි 2:13 කියවන්න.

14. හරි දේ කරන්න පාවුල්ට උපකාරවත් වුණේ මොනවද?

14 “හොඳ දේ” මොකක්ද කියලා පාවුල් දැනගෙන හිටියත් ඒක කරන්න ඔහු තුළ කැමැත්තක් තිබුණත් ඒක කරන එක සමහර වෙලාවට අමාරුයි කියලා ඔහු පිළිගත්තා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “ඇත්තෙන්ම මම දෙවිගේ නීතියට මුළු හදවතින්ම ඇලුම් කරන්නෙමි. නමුත් මගේ මනසේ ඇති එම නීතියට විරුද්ධව සටන් කරන තවත් නීතියක් මගේ ශරීරය තුළ තිබේ. ඒ නීතිය මගේ ශරීරය තුළ ක්‍රියාත්මක වේ. මම පාපය නමැති එම නීතියට වහල් වී සිටිමි.” පාවුල් ඒකෙන් අදහස් කළේ හරි දේ කරන එක කවදාවත් කරන්න බැහැ කියලද? නැහැ. “මා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! මන්ද ඔහු අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාව බේරාගන්නේය” කියලත් “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ” කියලත් පාවුල් කිව්වා. (රෝම 7:18, 22-25; ෆිලි. 4:13) ඒ කියන්නේ හරි දේ කරන එක අමාරු දෙයක් වුණත් යේසුස්ගේ ජීවිත පූජාව නිසත් දෙවිගේ බලය ලැබෙන නිසත් ඒ දේ කරන්න පුළුවන් කියන එකයි.

15. හරි දේ කරන්න අපි අධිෂ්ඨාන කරගන්න ඕනෙ ඇයි?

15 යෙහෝවා දෙවිව සතුටු කරන්න නම් අපි හරි තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න අධිෂ්ඨාන කරගන්න ඕනෙ. කර්මෙල් කන්දෙදී එලියා ඊශ්‍රායෙල්වරුන්ට කියපු දේ බලන්න. “ඔබ තව කොපමණ කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ? යෙහෝවා සැබෑ දෙවි බව ඔබට විශ්වාස නම් ඔහුට පමණක් සේවය කරන්න. නමුත් බාල් සැබෑ දෙවි කියා ඔබ සිතනවා නම් ඔබ ඔහුට සේවය කරන්න.” (1 රාජා. 18:21) තමන් නමස්කාර කරන්න ඕනෙ යෙහෝවා දෙවිට විතරයි කියලා ඊශ්‍රායෙල්වරුන් හොඳටම දැනගෙන හිටියා. ඒත් ඔවුන් දෙවිට වගේම බාල්ටත් නමස්කාර කරපු නිසා කාගේ පැත්තද ගන්නේ කියන එක ගැන ඔවුන් හිටියේ “දෙගිඩියාවෙන්.” ඊට අවුරුදු ගාණකට කලින් හිටිය යොෂුවා නම් ඊට වඩා හුඟක් වෙනස් කෙනෙක්. ඔහු ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඔබ තුළ කැමැත්තක් නැත්නම් ඔබ නමස්කාර කරන්නේ කාටද කියලා අදම තීරණය කරන්න. නමුත් මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.’ (යොෂු. 24:15)  යොෂුවා තමන් ගත්ත තීරණයට එකඟව වැඩ කරපු නිසා ඔහුටත් ඔහු එක්ක හිටපු අයටත් හුඟක් ආශීර්වාද ලැබුණා. “කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන” පොරොන්දු දේශයට යන්න ඔවුන්ට පුළුවන් වුණේ ඒ නිසයි.—යොෂු. 5:6.

හරි තීරණ ගත්තොත් ආශීර්වාද රැසක්

16, 17. දෙවි සතුටු වෙන විදිහේ තීරණ ගත්තම අපිට මොන වගේ ආශීර්වාද ලැබෙයිද?

16 ළඟදී බව්තීස්ම වුණ සහෝදරයෙකුගේ අද්දැකීම බලන්න. ඔහු කළේ ලොකු වැටුපක් ලැබෙන රැකියාවක් නෙවෙයි. ඔහු ඒ රැකියාව තෝරගත්තේ සති අන්තවල තමන්ගේ පුංචි දරුවෝ තුන්දෙනත් බිරිඳත් එක්ක කාලය ගත කරන්න ඕනෙ නිසයි. සති අන්තයේ පවුලේ අය එක්ක දේවසේවයේ යන්නත් රැස්වීම්වලට සහභාගි වෙන්නත් ඔහු පුරුදු වෙලා හිටියා. දවසක් ඔහුත් එක්ක වැඩ කරන කෙනෙක් ඇවිත් ‘මීට වඩා ලොකු පඩියක් තියෙන, පහසුකම් හුඟක් තියෙන හොඳ රස්සාවක් තියෙනවා. අපි දෙන්නම ඒකට යමුද’ කියලා ඔහුගෙන් ඇහුවා. ගන්න ඕනෙ තීරණය ගැන මේ සහෝදරයා හොඳට කල්පනා කළා. ඒ ගැන දෙවිට යාච්ඤා කළා. ඔබ ඒ සහෝදරයා නම් ඔබ ගන්නේ මොන වගේ තීරණයක්ද?

17 අලුත් රැකියාවට ගියොත් මුල් කාලෙදී සති අන්තවල නිවාඩු ගන්න බැරි වෙයි කියලා ඔහුට තේරුණා. එහෙම වුණොත් දෙවි එක්ක තියෙන බැඳීම දුර්වල වෙන්න ඉඩ තියෙනවා කියලත් ඔහු තේරුම්ගත්තා. ඒ නිසා වැඩි වැටුපක් ලැබුණත් ඔහු ඒ රැකියාව ප්‍රතික්ෂේප කරන්න තීරණය කළා. ඔහු ගත්ත ඒ තීරණය ගැන ඔහු පස්සේ දුක් වුණා කියලා ඔබ හිතනවද? කොහොමටවත් නැහැ. වැඩි වැඩියෙන් මුදල් හම්බ කරනවට වඩා ඔහුට වටින්නේ පවුලක් විදිහට යෙහෝවා දෙවිට තවත් ළං වෙන එකයි කියලා ඔහු තේරුම්ගත්තා. අවුරුදු දහයක් වයස ඔහුගේ වැඩිමල් දුව යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා කිව්වම ඔහුටත් ඔහුගේ බිරිඳටත් මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! වැඩි වැටුපක් ලැබුණ රැකියාව භාරගන්නේ නැතුව දෙවිට මුල් තැන දෙන්න එදා ඒ තාත්තා ගත්ත තීරණය, දුවගේ ජීවිතේට කොයි තරම් බලපෑමක් වුණාද කියලා ඔබ දැක්කද?

හරි තීරණ අරගෙන දෙවිගේ ආශීර්වාද ලබන්න (18වෙනි ඡේදය බලන්න)

18. හැම දවසකම ඥානවන්ත තීරණ ගන්න එක වැදගත් ඇයි?

18 ඊශ්‍රායෙල්වරුන්ට පාළුකරය හරහා අවුරුදු ගාණක් පුරා දුෂ්කර ගමනක් යන්න සිද්ධ වුණා. මේ දුෂ්ට සමාජයේ ජීවත් වන අපි යන්නෙත් ඒ වගේ ගමනක්. එදා ඔවුන්ට මෝසෙස් මඟ පෙන්නුවා වගේ අද අපිට ඒ ගමන යන්න යේසුස් මඟ පෙන්වනවා. එදා යොෂුවා ඔවුන්ව පොරොන්දු දේශයට රැගෙන ගියා වගේ යේසුස් අපිව පාරාදීස පොළොවට රැගෙන යනවා. එදාට මේ පොළොවේ ඉන්නේ ධර්මිෂ්ඨ අය විතරයි. (2 පේතෘ. 3:13) ඒක වෙන්න තව වැඩි කාලයක් නැහැ. ඉතුරු වෙලා තියෙන මේ ටික කාලෙදී අපිට හරියි කියලා හිතෙන විදිහට, අපි පුරුදු වෙලා ඉන්න විදිහට වැඩ කරන එක මොන තරම් මෝඩ දෙයක්ද? දෙවි කැමති අපි මොන විදිහේ ජීවිතයක් ගත කරනවටද කියලා හිතලා ඒ විදිහට ජීවත් වෙන්න අධිෂ්ඨාන කරගමු. (රෝම 12:2; 2 කොරි. 13:5) ඥානවන්ත තීරණ අරගෙන සදහටම දෙවිගේ ආශීර්වාද ලබන කෙනෙක් වෙන්න අපිට කරන්න පුළුවන් හැම දේම කරමු.—හෙබ්‍රෙව් 10:38, 39 කියවන්න.

^ par. 7 දරුවෙක්ව එහෙම යවන්න තවත් හේතුවක් වුණේ නෑදෑයන්ට, යාළුවන්ට අලුත උපන් දරුවව පෙන්නන්න ආච්චිලා සීයලා ආශාවෙන් හිටපු නිසයි.