Skip to content

පටුනට යන්න

දෙවි දෙන සිහිගැන්වීම් ගැන සතුටු වෙන්න

දෙවි දෙන සිහිගැන්වීම් ගැන සතුටු වෙන්න

“ඔබේ සිහිගැන්වීම් මාගේ උරුමය ලෙස මම සදහටම තබාගන්නෙමි.”—ගීතා. 119:111.

1. (අ) උපදෙසක් ලැබුණම හුඟක් අය කරන්නේ මොනවද? (ආ) උඩඟු කෙනෙක් කරන්නේ මොනවද?

කවුරු හරි ඔබට යම් උපදෙසක් දුන්නොත් ඔබ මොනවද කරන්නේ? ඒ උපදෙස දුන්නේ තමන්ට වඩා බලතල තියෙන කෙනෙක් නම් හුඟක් අය ඉක්මනටම ඒක පිළිගන්නවා. ඒත් ඒ උපදෙස දුන්නේ තමන්ගෙම වයසේ ඉන්න, යම් බලතල, අධිකාරියක් නැති කෙනෙක් නම් ඒක පිළිගන්න කැමති නැහැ. තවත් සමහරු උපදෙසක් ලැබුණම ඒ ගැන දුක් වෙනවා. කලකිරෙනවා. ඔය අතරේ උපදෙස් පිළි අරන් දිරිගැන්වෙන, දේවල් තවත් හොඳින් කරන්න පෙලඹෙන අය නැතුවමත් නෙවෙයි. වැඩිදෙනෙක් උපදෙස් පිළිගන්න අකමැති ඇයි? ප්‍රධානම හේතුව උඩඟුකම. උඩඟු කෙනෙකුට උපදෙසක් දුන්නම ඔහු හිතන්නේ ඒක තමන්ට අදාළ නැහැ කියලයි. ඒ නිසා ඒක පිළිගන්නෙවත් ඒකෙන් ප්‍රයෝජන ලබන්නෙවත් නැහැ.—හිතෝ. 16:18.

2. දේවවචනයෙන් ලැබෙන උපදෙස් අපි වටින ඒවා විදිහට සලකන්නේ ඇයි?

2 ඒ වුණත් දෙවිට සේවය කරන අය විදිහට අපිට යම් උපදෙසක්, මඟ පෙන්වීමක් ලැබෙද්දී අපි ඒවා හුඟක් වටින දේවල් විදිහට සලකනවා. විශේෂයෙන්ම බයිබලයෙන් අපිට ලැබෙන සිහිගැන්වීම් නිසා වැරදි දේවල් කරන එකේ තියෙන භයානකකම ගැන අපිට නිතර නිතර මතක් වෙනවා. උදාහරණයකට ඕනෑවට වඩා මුදල් පසුපස යෑම, මත්පැන්වලට කෑදරකමක් දැක්වීම, අනාචාරය සහ මත්ද්‍රව්‍ය වගේ දේවලින් වැළකිලා ඉන්න, ඒ සිහිගැන්වීම් අපිට උදව්වක්. (හිතෝ. 20:1; 2 කොරි. 7:1; 1 තෙස. 4:3-5; 1 තිමෝ. 6:6-11) ඒ වගේම “සතුටු සිතින්” අපේ ජීවිතය ගත කරන්නත් ඒවා අපිට උදව් වෙනවා.—යෙසා. 65:14.

3. අපිට තියෙන්න ඕනෙ ආකල්පය මොකක්ද?

3 යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් ගැන ගීතිකාකරු මේ වගේ දෙයක් කිව්වා. “ඔබේ සිහිගැන්වීම් මාගේ උරුමය ලෙස මම සදහටම තබාගන්නෙමි. මන්ද ඒවා මාගේ සිතට සතුටක් ගෙන දෙන්නේය.” (ගීතා. 119:111) අපිත් දෙවිගේ නීති පිළිපැදීමෙන් සතුටක් ලබනවද? නැත්නම් ඒවාට කීකරු වෙන්න ටිකක් අමාරුයි කියලා හිතනවද? සමහර  වෙලාවට ඒ වගේ හිතෙන්න පුළුවන්. ඒත් දෙවිගේ නීතිවලට කීකරු වීමෙන් යහපතක් වෙන්නේ අපිටමයි කියන එක මතක තියාගමු. ඒ ගැන අපිට තියෙන විශ්වාසය තවත් වැඩි කරගන්න පුළුවන් විදි තුනක් දැන් බලමු.

යාච්ඤාව ඔබේ විශ්වාසය ශක්තිමත් කරයි

4. දාවිත්ගේ ජීවිතේ කවදාවත් වෙනස් වුණේ නැත්තේ මොකක්ද?

4 දාවිත් සතුටින් හිටපු කාලවල් වගේම දුකෙන් හිටපු කාලවලුත් තිබුණා. ඒත් දෙවි ගැන ඔහුට තිබුණ විශ්වාසය නම් කවදාවත් වෙනස් වුණේ නැහැ. ඔහු ඒ ගැන කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවියනි, මාගේ සියලු සිතුවිලි මම ඔබට දන්වන්නෙමි. මාගේ දෙවියනි, මා විශ්වාසය තබන්නේ ඔබ කෙරෙහිය.” (ගීතා. 25:1, 2) ඔහුගේ ආදරණීය දෙවි පියාණන් ගැන ඔහුට ඒ තරම් විශ්වාසයක් තිබුණේ ඔහු දෙවිට නිතරම යාච්ඤා කරපු නිසයි.

5, 6. දාවිත්ට දෙවි එක්ක තිබුණ බැඳීම ඔහු කරපු යාච්ඤාවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

5 හුඟක් අය දෙවිට යාච්ඤා කරන්නේ ඔවුන්ට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාමයි. ඒ අය හරියට තමන්ට මුදල් හදිස්සියක් වුණාම එහෙම නැත්නම් උදව්වක් ඕනෙ වුණාම විතරක් තමන්ගේ යාළුවාව හොයාගෙන යන අය වගෙයි. ඒත් දාවිත්ට දෙවි එක්ක තිබුණේ ඒ වගේ මිත්‍රත්වයක් නෙවෙයි. ඔහු දුකෙන් හිටපු කාලවලදී වගේම සතුටින් හිටපු කාලවලදිත් නිතරම දෙවිට යාච්ඤා කළා. ඔහු ඇත්තටම දෙවිට ආදරය කළා කියලත් දෙවිව විශ්වාස කළා කියලත් ඒකෙන් පැහැදිලි වුණා.—ගීතා. 40:8.

6 දාවිත්, දෙවිට ස්තුති කරපු විදිහ බලන්න. “අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි, ඔබේ නාමය මොන තරම් ශ්‍රේෂ්ඨද කියා මුළු පොළෝතලයෙන් පැහැදිලිව දිස් වෙයි. ඔබේ බලමහිමය මොන තරම්ද කියා මුළු අහස්තලය නැවත නැවත ප්‍රකාශ කරයි.” (ගීතා. 8:1) යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය සහ බලමහිමය දාවිත් හුඟක් අගය කරපු නිසා “දවස පුරා” දෙවිට ප්‍රශංසා කරන්න ඔහු පෙලඹුණා.—ගීතා. 35:28.

7. දෙවිට නිතරම යාච්ඤා කරන එක වැදගත් ඇයි?

7 දාවිත් වගේ අපිත් නිතරම යාච්ඤා කරනවා නම් දෙවි ගැන තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න අපිට පුළුවන්. බයිබලයේ කියන්නේ “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලයි. (යාකො. 4:8) නිතරම යාච්ඤා කරලා අපි දෙවිට තව තවත් ළං වෙද්දී දෙවි තමන්ගේ බලය අපිට දෙනවා.—1 යොහන් 3:22 කියවන්න.

8. අපි යාච්ඤා කරද්දී හැම වෙලාවෙම එකම විදිහේ වචන පාවිච්චි නොකර ඉන්න උත්සාහ කරන්න ඕනෙ ඇයි?

8 ඔබ යාච්ඤා කරද්දී හැම වෙලාවෙම කියන්නේ එකම වචන ටිකද? ටිකක් හිතන්න, යාළුවෙකුව හමු වෙන හැම වෙලාවකම ඔබ එකම විදිහේ වචන ටිකක් පාවිච්චි කරලා ඔහු එක්ක කතා කරනවා නම් ඔහුට මොනවා හිතෙයිද? ටික දවසක් යද්දී ඔබ කියන දේවල් අහන්න ඔහු කැමති වෙන එකකුත් නැහැ. යෙහෝවා දෙවි නම් කවදාවත් තමන්ට සේවය කරන කෙනෙක් අවංක හිතින් කරන යාච්ඤාවක් අහන්නේ නැතුව ඉන්නේ නැහැ. ඒ වුණත් අපි යාච්ඤා කරන හැම වෙලාවෙම එකම වචන ටික කියනවා නම් දෙවිට කොහොම හැඟෙයිද? ඒ නිසා යාච්ඤා කරන්න කලින් කියන්න ඕනෙ දේවල් ගැන හොඳට හිතන්න.

9, 10. (අ) අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද? (ආ) දෙවි සතුටු වෙන විදිහේ අර්ථවත් යාච්ඤාවන් කරන්න අපිට උදව් වෙන්නේ මොනවද?

9 දෙවිට තව තවත් කිට්ටු වෙන්න ඕනෙ නම් සාමාන්‍ය දේවල් ගැන විතරක් යාච්ඤා කරලා මදි. අපේ හිතේ තියෙන හැම පුංචි දෙයක් ගැනම දෙවිට කියනවා නම් දෙවි ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. බයිබලයේ කියන්නේ “යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න” කියලයි. (ෆිලි. 4:6) ජීවිතේ අපි මුහුණ දෙන ඕනෙම දෙයක් ගැන, එහෙම නැත්නම් දෙවි එක්ක තියෙන අපේ බැඳීමට බලපාන ඕනෙම දෙයක් ගැන අපිට යාච්ඤා කරන්න පුළුවන්.

10 අතීතයේදී දෙවිට විශ්වාසවන්තව සේවය කරපු අයගේ යාච්ඤාවලින් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. (1 සාමු. 1:10, 11; ක්‍රියා 4:24-31) උදාහරණයකට දුක්බර  අවස්ථාවලදී, සතුටින් හිටපු අවස්ථාවලදී කරපු යාච්ඤා වගේම ගයපු ගීතිකා අපිට ගීතාවලිය පොතෙන් හොයාගන්න පුළුවන්. ඒවා කියවලා ඒවා ගැන හොඳට හිතුවොත් අපිටත් පුළුවන් දෙවි සතුටු වෙන විදිහේ අර්ථවත් යාච්ඤාවන් කරන්න.

දෙවිගේ සිහිගැන්වීම් ගැන හොඳින් සිතන්න

11. දෙවිගේ සිහිගැන්වීම් ගැන හොඳින් සිතා බැලීම අත්‍යවශ්‍ය ඇයි?

11 දාවිත් කිව්වේ “යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් විශ්වාසවන්තය. ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්‍රඥාව ලබා දෙන්නේය” කියලයි. (ගීතා. 19:7) ඒකෙන් තේරෙන්නේ අද්දැකීම් අඩු කෙනෙක් වුණත් දෙවිගේ නීතිවලට කීකරු වෙනවා නම් ඥානවන්ත තීරණ ගන්න ඔහුට පුළුවන් කියන එකයි. දෙවිගේ සිහිගැන්වීම් ගැන හොඳින් හිතලා බලනවා නම් මොන දේට මුහුණ දෙන්න වුණත් දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන්. බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ගැන හොඳින් හිතලා තිබුණොත් විතරයි අපේ රැකියා ස්ථානයේදී, පාසැලේදී වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී ඒවාට අසු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. රුධිරය ගැන, දේශපාලනයේදී හා යුද්ධවලදී පැති ගන්නේ නැතුව ඉන්න එක ගැන බයිබලයේ සඳහන් නීතිවලට කීකරු වෙන්නත් ඒක අපිට උදව්වක්. ඒ වගේම ඇඳුම් පැළඳුම් තෝරගද්දී ඥානවන්තව තීරණ ගන්නත් ඒක අපිට උදව් වෙනවා.—හිතෝ. 15:28.

12. අපෙන්ම අහගන්න පුළුවන් ප්‍රශ්න මොනවද?

12 දෙවි දීලා තියෙන පොරොන්දු ගැන අපිට මොන තරම් විශ්වාසයක් තියෙනවද කියලත් දෙවිගේ කැමැත්ත කරන එක අපේ ජීවිතේ වැදගත්ම දේ කියලත් අපි ජීවත්වෙන විදිහෙන් පෙන්වනවද? උදාහරණයකට මහ බැබිලෝනිය ඉක්මනින්ම විනාශ වෙනවා කියලා අපිට විශ්වාසද? පාරාදීස පොළොව ගැන, නැවත නැඟිටීම ගැන, අපි මුලින්ම දැනගත්ත අවස්ථාවේ ඇති වුණ විශ්වාසය තාමත් ඒ විදිහටම තියෙනවද? අපි උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වෙනවද? එහෙම නැත්නම් අපේ ඕනෑ එපාකම්වලට මුල් තැන දීලා වැඩ කරනවද? දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළල ඉවත් කරන්න අපිට පුළුවන් දේ කරන එකත්, මිනිසුන්ව පාලනය කරන්න අයිතිය තියෙන්නේ දෙවිට විතරයි කියලා අනිත් අයට කියලා දෙන එකත් අපේ ජීවිතේ ප්‍රධානම දෙයක්ද? ඒ ප්‍රශ්න ගැන හොඳින් හිතලා බලනවා නම් දෙවිගේ “සිහිගැන්වීම් මාගේ උරුමය ලෙස මම සදහටම තබාගන්නෙමි” කියලා අපිටත් කියන්න පුළුවන් වෙනවා.—ගීතා. 119:111.

13. පළවෙනි සියවසේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් සමහර දේවල් තේරුම්ගත්තේ නැත්තේ ඇයි? උදාහරණයක් දෙන්න.

13 බයිබලයේ තියෙන සමහර දේවල් ගැන සීයට සීයක්ම අපි දන්නේ නැහැ. ඒකට හේතුව යෙහෝවා දෙවි තවම ඒ දේවල් අපිට පැහැදිලි කරලා දීලා නැති නිසයි. යේසුස්ගේ ගෝලයනුත් සමහර දේවල් එකපාරටම අවබෝධ කරගත්තේ නැහැ. උදාහරණයකට, තමන් දුක් විඳලා මිය යනවා කියලා යේසුස් නිතර නිතර කිව්වා. (මතෙව් 12:40; 16:21 කියවන්න.) ඒත් මුලින්ම ගෝලයෝ ඒක හරියටම තේරුම්ගත්තේ නැහැ. යේසුස් නැවත නැඟිටුණාට පස්සේ, ඒ ගැන තිබුණ අනාවැකි ඉටු වුණ විදිහ ඔහු පැහැදිලි කරලා දුන්නම තමයි ගෝලයෝ ඒක තේරුම්ගත්තේ. (ලූක් 24:44-46; ක්‍රියා 1:3) ඒ වගේම දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවන ආණ්ඩුවක් කියලා ඔවුන් තේරුම්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී දෙවිගේ බලය ඔවුන්ට ලැබුණට පස්සෙයි.—ක්‍රියා 1:6-8.

14. විසිවන සියවසේ මුල් කාලයේ හිටපු සහෝදරයන් අපිට තැබුවේ මොන වගේ ආදර්ශයක්ද?

14 විසිවන සියවස ආරම්භයේ හිටපු දෙවිගේ සෙනඟත් “අවසාන කාලයේදී” සිදු වෙන දේවල් ගැන හැම තොරතුරක්ම දැනගෙන හිටියේ නැහැ. (2 තිමෝ. 3:1) උදාහරණයකට සමහර අය හිතුවේ 1914දී ඔවුන්ව ස්වර්ගයට ගනියි කියලයි. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ඒ නිසා ඔවුන් දිගටම බයිබලයෙන් කාරණා හොයලා බැලුවා. එහෙම කරද්දී ඔවුන් තේරුම්ගත්තා මුලින්ම දේශනා කිරීමේ කාර්යය ලොව පුරාම කරන්න අවශ්‍යයි කියලා. (මාක් 13:10) වර්ෂ 1922දී පවත්වපු ජාත්‍යන්තර සමුළුවේදී සහෝදර රදෆර්ඩ් මේ වගේ දෙයක් කිව්වා. “යේසුස් රජ ලෙස පාලනය කරනවා. ඔබ ඔහුගේ නියෝජිතයෝ. ඒ නිසා රජු සහ ඔහුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න!” එදා ඉඳන් යෙහෝවා දෙවිගේ සෙනඟ  ප්‍රසිද්ධ වුණේ ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ දේශනා කරන සෙනඟක් විදිහටයි.—මතෙ. 4:23; 24:14.

15. දෙවි තමන්ගේ පොරොන්දු ඉටු කරලා තියෙන විදිහ ගැන හිතලා බලන එක ප්‍රයෝජනවත් ඇයි?

15 අතීතයේදිත් අපේ කාලයේදිත් දෙවි තමන්ගේ පොරොන්දු ඉටු කරලා තියෙන විදිහ ගැන හොඳින් හිතලා බලන එක අපිට හුඟක් ප්‍රයෝජනවත්. එහෙම කරනවා නම් අනාගතය ගැන දෙවි දීලා තියෙන පොරොන්දු ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරයි කියන එක ගැන අපිට කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. දෙවිගේ පොරොන්දු ගැන හිතන්න හිතන්න ඒවා ගැන අපිට ලොකු ආශාවක්, උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේම ඒවා ගැන අපිට තියෙන විශ්වාසයත් වැඩි වෙනවා.

නමස්කාරයේ විවිධ අංගවල හවුල් වෙන්න

16. උද්‍යෝගයෙන් දෙවිට සේවය කරද්දී ලැබෙන ආශීර්වාද මොනවද?

16 යෙහෝවා දෙවි නිතරම උද්‍යෝගයෙන් ක්‍රියා කරන දෙවි කෙනෙක්. “ඔබ මෙන් ශක්තිමත් කෙනෙක් තවත් සිටීද” කියලත් “ඔබේ දෑත් ශක්තිමත්ය. ඔබේ දකුණත ශ්‍රේෂ්ඨය” කියලත් ගීතිකාකරු කිව්වේ ඒ නිසයි. (ගීතා. 89:8, 13) අපිටත් පුළුවන් දෙවි වගේ උද්‍යෝගයෙන් වැඩ කරන්න. දෙවිට කරන නමස්කාරයේ අපි උපරිමයෙන් හවුල් වෙද්දී දෙවි ඒ ගැන හුඟක් සතුටු වෙනවා. ඒ වගේම අපේ උත්සාහයට දෙවි ආශීර්වාද කරනවා. බාල මහලු හැම කෙනෙක්ම ‘අලසකමින් කටයුතු කරන්නේ නැතුව’ වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවටයි දෙවි කැමති. (හිතෝ. 31:27) එහෙම කරනවා නම් දෙවිට කරන සේවයෙන් අපිට ලොකු තෘප්තියක් ලැබෙනවා වගේම දෙවිත් අපි ගැන සතුටු වෙනවා.—ගීතාවලිය 62:12 කියවන්න.

17, 18. දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී දෙවි ගැන අපේ විශ්වාසය වැඩි වෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

17 අපි යෙහෝවා දෙවිව විශ්වාස කරලා දේවල් කරද්දී දෙවි ගැන අපිට තියෙන  විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. ඒ කොහොමද? ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී සිද්ධ වුණ දෙයක් ගැන බලන්න. ගිවිසුම් පෙට්ටිය රැගෙන යන පූජකයන්ට යෙහෝවා දෙවි කිව්වේ යොර්දාන් ගඟ මැදට යන්න කියලයි. ගඟ ළඟට ආවම ඔවුන් දැක්කේ පිටාර ගලන තරමට පිරිලා තිබුණ ගඟේ වතුර සැරෙන් ගලාගෙන යන විදිහයි. ගඟේ වතුර අඩු වෙනකල් ඔවුන් ගං ඉවුරේ කඳවුරු බැඳගෙන බලාගෙන හිටියද? නැහැ. ඔවුන් දෙවිව විශ්වාස කරලා දෙවි කියපු විදිහටම ගඟ මැදට යන්න සූදානම් වුණා. ඊළඟට වුණ දේ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “පූජකයන් යොර්දාන් ගඟ අද්දරට පැමිණ වතුරට පා තැබූ සැණින් ගඟේ ඉහළ සිට ගලා ආ ජල පහර නැවතුණේය.” ඊටපස්සේ ‘මුළු ඊශ්‍රායෙල් සෙනඟ වියළි භූමිය හරහා ගමන් කරමින් යොර්දාන් ගඟෙන් එගොඩ වුණා.’ (යොෂු. 3:12-17) ගලාගෙන ආපු ජල පහර නතර වෙලා ගඟ මැදින් පාරක් හැදෙද්දී ඊශ්‍රායෙල් සෙනඟට කොහොම හැඟෙන්න ඇද්ද! දෙවිගේ මඟ පෙන්වීම් පිළිපැද්ද නිසා දෙවි ගැන ඔවුන්ට තිබුණ විශ්වාසය කොයි තරම් ශක්තිමත් වෙන්න ඇද්ද!

යොෂුවාගේ කාලයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට තිබුණා වගේ විශ්වාසයක් ඔබටත් තියෙනවද? (17වෙනි සහ 18වෙනි ඡේද බලන්න)

18 යෙහෝවා දෙවි ඒ වගේ පුදුම දේවල් අද කරන්නේ නැහැ තමයි. ඒත් අපි දෙවිව විශ්වාස කරලා ඔහුගේ මඟ පෙන්වීම් පිළිපදිද්දී ඔහු අපිට ආශීර්වාද කරනවා. නිර්භීතව ලොව පුරා දේශනා කරන්න ඔහු තමන්ගේ බලය අපිට දීලා තියෙන්නේ ඒ නිසයි. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියලා කියද්දී, “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා” කියන පොරොන්දුවත් දුන්නා. (මතෙ. 28:19, 20) අදත් යේසුස් ඒ පොරොන්දුව ඉටු කරනවා. සේවයේ ගිහින් අනිත් අයට කතා කරන්න භයෙන්, ලැජ්ජාවෙන් ඉන්න අයට වුණත් නිර්භීතව දේශනා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දෙවිගේ බලයේ උපකාරය ඔවුන්ට ලැබෙන නිසයි.—ගීතාවලිය 119:46; 2 කොරින්ති 4:7 කියවන්න.

19. අපි ආස කරන තරම් දෙවි වෙනුවෙන් දේවල් කරන්න බැරි වුණත් අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

19 හිතේ කැමැත්ත තිබුණත් මහලු වයස, අසනීප වගේ දේවල් නිසා තමන් හිතන තරම් දෙවිට සේවය කරන්න සමහර අයට බැහැ. ඒත් ‘මහත් දයාවක් පෙන්වන සියලු සැනසිල්ලේ දෙවි’ වන යෙහෝවා ඔවුන්ගේ තත්වය තේරුම්ගන්නවා. (2 කොරි. 1:3) අපිට ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් දේ කොයි තරම් පුංචි වුණත් දෙවි ඒක හුඟක් අගය කරනවා. අපිට ගැලවීම ලැබෙන්නේ අපි දෙවිට කොයි තරම් සේවයක් කරනවද කියන එක මත නෙවෙයි, යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපි තබන විශ්වාසය මතයි කියන එක අමතක කරන්න එපා.—හෙබ්‍රෙ. 10:39.

20, 21. අපි දෙවිව විශ්වාස කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

20 දෙවිගේ සේවය වෙනුවෙන් අපිට පුළුවන් උපරිම විදිහට අපේ කාලය, ශ්‍රමය, මුදල් වැය කරන එකත් අපේ නමස්කාරයට අයිතියි. මුළු හදවතින්ම අපි දේශනා සේවයේ හවුල් වෙන්නේ ඒ නිසයි. (2 තිමෝ. 4:5) ඒ විතරක් නෙවෙයි, අනිත් අයට “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුම” ලබා දෙන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව අපි හුඟක් අගය කරනවා. (1 තිමෝ. 2:4) අපේ දෙවි යෙහෝවාව ගෞරවයට පත් කරද්දී ඔහු අපිට හුඟක් ආශීර්වාද කරනවා. (හිතෝ. 10:22) මොන වගේ තත්වයන්ට මුහුණ දෙන්න වුණත් අපේ දෙවි ගැන ස්ථිර විශ්වාසයක් ඇතුව ඉන්න ඒක අපිට උදව්වක් නෙවෙයිද?—රෝම 8:35-39.

21 දෙවි දෙන සිහිගැන්වීම් ගැන විශ්වාසයක් කෙනෙක් තුළ ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ලොකු උත්සාහයක් දරන්න ඕනෙ. දෙවිට නිතරම යාච්ඤා කරන්න. දෙවි අතීතයේදී පොරොන්දු ඉටු කරලා තියෙන විදිහ ගැනත් අනාගතයේදී ඉටු කරන්න නියමිත පොරොන්දු ගැනත් නිතරම හිතන්න. නමස්කාරයට සම්බන්ධ විවිධ අංගවල උද්‍යෝගයෙන් හවුල් වෙන්න. එහෙම කළොත් ඔබේ විශ්වාසය තව තවත් ශක්තිමත් කරගන්න ඔබට පුළුවන්. දෙවිගේ සිහිගැන්වීම් අදට විතරක් නෙවෙයි සදාකාලයටම අදාළයි. ඒවා පිළිපැද්දොත් සදාකාලයටම ජීවත් වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා කියන එක කවදාවත් අමතක කරන්න එපා.