Skip to content

පටුනට යන්න

පරිත්‍යාග කරන්න ඔබත් කැමතිද?

පරිත්‍යාග කරන්න ඔබත් කැමතිද?

“දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.”—2 කොරි. 9:7.

1. හුඟක් අය කරන්නේ මොන වගේ කැප කිරීම්ද? ඒ ඇයි?

හුඟක් අය තමන්ගේ ජීවිතයේ වටිනාම දේවල් වෙනුවෙන් කැප කිරීම් කරනවා. දෙමව්පියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් කාලය, මුදල්, ශ්‍රමය කොයි තරම් වැය කරනවද! තමන්ගේ වයසේ අය විනෝදයෙන් කාලය ගත කරද්දී සමහර ක්‍රීඩකයන් ඔලිම්පික් වගේ තරඟාවලියක් නියෝජනය කරන්න හැම දවසකම පැය ගාණක් පුහුණු වීම් කරනවා. යේසුත් ඔහුට වඩාත්ම වටිනා දෙයක් වෙනුවෙන් කැප කිරීම් කළා. දරුමල්ලන් හදාගෙන සැප පහසු ජීවිතයක් ගත කරන්න ඔහුට අවස්ථාව තිබුණත් දේවරාජ්‍යය වෙනුවෙන් ඔහු ඒ හැම දෙයක්ම පරිත්‍යාග කළා. (මතෙ. 4:17; ලූක් 9:58) ඔහුගේ ගෝලයොත් දේවරාජ්‍යය ඔවුන්ගේ ජීවිතයේ වටිනාම දේ විදිහට සලකපු නිසා ඒ වෙනුවෙන් හුඟක් දේවල් පරිත්‍යාග කළා. (මතෙ. 4:18-22; 19:27) අපි ගැන මොනවද කියන්න පුළුවන්. ‘මගේ ජීවිතයේ මට වැඩියෙන්ම වටින්නේ මොනවද’ කියලා අපිත් හිතලා බලමු.

2. (අ) අපි හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ පරිත්‍යාගයන් මොනවද? (ආ) ඒ දේවලට අමතරව සමහරුන් කරලා තියෙන කැප කිරීම් මොනවද?

2 දෙවිත් එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න අපිට හුඟක් පරිත්‍යාග කරන්න වෙනවා. යාච්ඤා කරන්න, දිනපතා බයිබලය කියවන්න, පවුලේ නමස්කාරයට, රැස්වීම්වලට සහභාගි වෙන්න, දේවසේවයේ හවුල් වෙන්න වගේ දේවලට අපේ කාලය, ශ්‍රමය පරිත්‍යාග කරන්න අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. * (යොෂු. 1:8; මතෙ. 28:19, 20; හෙබ්‍රෙ. 10:24, 25) සේවය වෙනුවෙන් අපි දරන වෙහෙස නිසත් දෙවිගේ ආශීර්වාද නිසත් දේශනා කිරීමේ කාර්යය සාර්ථකව සිදු වෙනවා වගේම “යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටි කන්ද” වෙතට විශාල පිරිසක් ඇදිලා එනවා. (යෙසා. 2:2) බෙතෙල් සේවයට, නමස්කාර මධ්‍යස්ථාන සහ සමුළු ශාලා ඉදි කරන්න, සමුළු සංවිධානය කරන්න, ස්වාභාවික විපත් නිසා දුක් විඳින අයට උදව් කරන්න බොහෝදෙනෙක් හුඟක් කැප කිරීම් කරනවා. ගැලවීම ලබාගන්න ඒ වගේ අමතර කැප කිරීම් කරන එක අත්‍යවශ්‍ය නොවුණත් දේවරාජ්‍යයේ වැඩකටයුතු ලොව පුරා සාර්ථකව කරගෙන යන්න ඒවායින් ලැබෙන්නේ ලොකු උපකාරයක්.

3. (අ) දේවරාජ්‍යය වෙනුවෙන් කැප කිරීම් කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවද? (ආ) අපි හිතලා බලන්න ඕනෙ මොන වගේ ප්‍රශ්න ගැනද?

3 වෙන කවරදාකටත් වඩා දේවරාජ්‍යය වෙනුවෙන් හුඟක් මහන්සි වෙලා වැඩ කරන අයගේ ලොකු අවශ්‍යතාවක් මේ කාලයේ තියෙනවා. ඒ වෙනුවෙන් කැප කිරීම්, පරිත්‍යාගයන් කරන්න හුඟක් අය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. (ගීතාවලිය 54:6 කියවන්න.) ඒ වගේ අය ලොකු සතුටක් අද්දකිනවා. (ද්වි. 16:15; ක්‍රියා 20:35) දෙවි වෙනුවෙන් දැන් කරනවට වඩා දෙයක් කරන්න අපිටත් පුළුවන්ද? අපේ කාලය, මුදල්, ශ්‍රමය, දක්ෂතා දෙවි වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? අපි ඒ දේවල් පරිත්‍යාග කරද්දී සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවා ගැනද? මුලින්ම කැමැත්තෙන්ම කරපු පරිත්‍යාගයන් ගැන අපි අතීතයෙන් යමක් ඉගෙනගනිමු.

අතීතයේ කළ පරිත්‍යාග

4. පූජා ඔප්පු කිරීමෙන් ඊශ්‍රායෙල්වරුන් ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

4 විවිධ පූජාවන් ඔප්පු කරන එක ඊශ්‍රායෙල් ජන ජීවිතයේ ප්‍රධාන අංගයක්ව තිබුණා. විශේෂයෙන්ම තමන්ගේ වැරදිවලට සමාව ගන්න, දෙවිගේ අනුමැතිය ලබාගන්න පූජා ඔප්පු කරන එක ඔවුන්ට අනිවාර්යය දෙයක් වුණා. අනිවාර්යයෙන්ම ඔප්පු කළ යුතු පූජාවලට අමතරව දවන පූජා ඇතුළුව තවත් පූජා කැමැත්තෙන්ම දෙවිට ඔප්පු කරන්නත් ඔවුන්ට අවස්ථාව තිබුණා. (ලෙවී. 23:37, 38) සලමොන්ගේ කාලයේ දේවමාලිගාව කැප කරද්දී සෙනඟ කරපු ඒ වගේ පූජා ගැන බයිබලයේ සඳහන් වෙනවා.—2 ලේක. 7:4-6.

5. දුප්පත් අයටත් පරිත්‍යාග කරන්න දෙවි අවස්ථාව දීලා තිබුණේ කොහොමද?

5 හැමෝටම එක විදිහට දේවල් පරිත්‍යාග කරන්න බැහැ කියලා අපේ ප්‍රේමණීය දෙවි දන්නවා. ඒ නිසා ඔහු ඔවුන්ට කිව්වේ එක් එක් කෙනාගේ හැකියාවේ හැටියට පරිත්‍යාග කරන්න කියලයි. පූජාවක් විදිහට සතෙකුව ඔප්පු කරන්න කියලා දෙවි කියලා තිබුණේ ඒ සතාගේ රුධිරය “සැබෑ දෙයෙහි ඡායාවක්” ඒ කියන්නේ යේසුස්ගේ රුධිරය සංකේතවත් කරපු නිසයි. (හෙබ්‍රෙ. 10:1-4) ඒත් ගවයෙක්, බැටළුවෙක් වගේ ලොකු සතෙකුව පූජා කරන්න තරම් වත්කමක් නැති කෙනෙකුට කොබෙයියන්ව වුණත් පූජා කරන්න දෙවි අවසර දීලා තිබුණා. ඒ නිසා දුප්පත් කෙනෙකුට වුණත් සතුටින් දෙවිට යමක් පරිත්‍යාග කරන්න අවස්ථාව තිබුණා. (ලෙවී. 1:3, 10, 14; 5:7) කෙනෙක් කැමැත්තෙන්ම ඒ මොන සතෙකුව පූජා කළත් ඔහුගෙන් දෙවි බලාපොරොත්තු වුණ දේවල් දෙකක් තිබුණා.

6. කෙනෙක් පූජාවක් ඔප්පු කරද්දී ඔහුගෙන් බලාපොරොත්තු වුණේ මොනවද? ඒ දේවල් අත්‍යවශ්‍ය වුණේ ඇයි?

6 පළවෙනි දේ තමයි “දෙවිගේ අනුමැතිය” ලබාගන්න නම් ඔප්පු කරන පූජාව හොඳම තත්වයේ තිබීම. (ලෙවී. 22:18-20) සතාගේ යම් කැළැලක් තිබුණොත් දෙවි ඒක පිළිගත්තේ නැහැ. දෙවෙනි දේ වුණේ ඒ පූජාව ඔප්පු කරන කෙනා පවිත්‍ර තත්වයක ඉන්න එකයි. ඔහු අපිරිසිදු තත්වයක හිටියා නම් කැමැත්තෙන් පූජාවක් ඔප්පු කරන්න කලින් පාප පූජාවක් නැත්නම් වන්දි පූජාවක් ඔප්පු කරලා දෙවිගේ අනුමැතිය ලබාගන්න එක අනිවාර්යය දෙයක් වුණා. (ලෙවී. 5:5, 6, 15) ඒක හුඟක් බරපතළ කාරණයක්. මොකද අපවිත්‍ර තත්වයක හිටපු කෙනෙක් හවුල් පූජාවක් ඔප්පු කරලා ඒකේ මස් කෑවොත් ඔහුව මරා දමන්න කියලා දෙවි කියලා තිබුණා. (ලෙවී. 7:20, 21) ඒත් ඔහු දෙවි ඉදිරියේ පිළිගන්න පුළුවන් තත්වයක හිටියා නම්, කැළැලක් නැති හොඳ සතෙකුව පූජා කළා නම් ඔහුට ඒකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්කම තිබුණා.—1 ලේකම් 29:9 කියවන්න.

අද දින කරන පරිත්‍යාග

7, 8. (අ) දේවරාජ්‍යය වෙනුවෙන් කැප කිරීම් කරන නිසා හුඟක් අය ලබන්නේ මොන වගේ සතුටක්ද? (ආ) අපිට පරිත්‍යාග කරන්න පුළුවන් දේවල් මොනවද?

7 අද දිනත් බොහෝ අය දෙවිට වැඩියෙන් සේවය කරන්න හුඟක් කැප කිරීම් කරනවා. දෙවි ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. අපේ සහෝදරයන් වෙනුවෙන් සේවය කිරීම ඇත්තෙන්ම ආශීර්වාදයක්. නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ වැඩවලත් ස්වාභාවික විපත් නිසා දුක් විඳින අයට උදව් කිරීමේ වැඩවලත් හවුල් වුණ සහෝදරයෙක් ඔහු ලබපු සතුට විස්තර කළේ මෙහෙමයි. “සහෝදරයන්ට අලුත් නමස්කාර මධ්‍යස්ථානයක් ලැබුණම, එහෙම නැත්නම් ස්වාභාවික විපත් නිසා දුක් විඳින අයට උපකාර කළාම ඒ අයගේ මුහුණේ ඇඳෙන සිනාව දකිද්දී ඔවුන්ගේ හදවතින්ම නැඟෙන අගය ඇහෙද්දී අපි දරන වෙහෙස කොයි තරම් වටිනවද කියලා හිතෙනවා.”

අද අපි කරන පරිත්‍යාග හරියට එදා කැමැත්තෙන්ම කළ පූජා වගෙයි (4, 7-13 ඡේද බලන්න)

8 දෙවිගේ සංවිධානය හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දේවරාජ්‍යයේ වැඩකටයුතු තවත් හොඳින් කරන්නයි. 1904දී සහෝදර සී. ටී. රසල් මේ වගේ දෙයක් කිව්වා. “අපි හැම කෙනෙක්ම අපිට තියෙන කාලය, හැකියාවන්, මුදල් වගේ දේවල් උපරිමයෙන් යොදාගන්න ඕනෙ දෙවිව ගෞරවයට පත් කරන්නයි.” අපි දේවල් දෙවිට දෙද්දී ඒ වෙනුවෙන් අපිට කැප කිරීම් කරන්න වෙනවා. (2 සාමු. 24:21-24) අපිට දෙවි වෙනුවෙන් කැප කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

ඕස්ට්‍රේලියාවේ බෙතෙල් සේවකයන් කිහිපදෙනෙක්

9. ලූක් 10:2-4හි සඳහන් ප්‍රතිපත්තියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

9 අපේ කාලය. පොත් පත් පරිවර්තනය කරන්න, මුද්‍රණය කරන්න, නමස්කාර මධ්‍යස්ථාන හදන්න, සමුළු සංවිධානය කරන්න, විපත්වලට මුහුණ දුන්න අයට උදව් කරන්න වගේ තවත් හුඟක් දේවල් කරන්න ලොකු කාලයක් වැය කරන්න වෙනවා. ඒත් අපිට තියෙන්නේ දවසට පැය 24ක් විතරයි. කොහොමද ඒ තරම් දේවල් අපිට තියෙන ටික කාලයෙන් කරන්නේ? ඒකට උදව් වෙන හොඳ ප්‍රතිපත්තියක් යේසුස් කියලා දුන්නා. දේශනා සේවයට ගෝලයන්ව පිටත් කරද්දී ඔහු කිව්වේ ‘මඟදී මුණගැසෙන අයට සුපුරුදු ලෙස ආචාර කිරීමට කාලය නාස්ති කරන්න එපා’ කියලයි. (ලූක් 10:2-4) ඔහු එහෙම කිව්වේ ඇයි? ඒ කාලයේදී කෙනෙක්ව හමු වුණාම අද වගේ අතට අත දීලා ‘කොහොමද’ කියලා අහලා විතරක් නැවතුණේ නැහැ. එකිනෙකාව කිහිප වතාවක්ම වැලඳගත්තා. බිමටම නැමිලා ආචාර කළා. ඒ වගේ දේවල් කරන්න සෑහෙන කාලයක් වැය වුණා. එහෙම කරන්න එපා කියපු එකෙන් අදහස් කළේ අනිත් අයට අකාරුණික වෙන්න කියන එක නෙවෙයි. ඒ වෙනුවට ඔවුන්ට තිබුණේ සීමිත කාලයක් නිසා වඩා වැදගත් දේවලට වැඩි අවධානයක් දෙන්න කියලයි. (එෆී. 5:16) අපිත් ඒ ප්‍රතිපත්තිය අදාළ කරගත්තොත් දේවරාජ්‍යයේ වැඩ වෙනුවෙන් වැඩිපුර කාලයක් හොයාගන්න පුළුවන්.

කෙන්යාවේ නමස්කාර මධ්‍යස්ථානයක

10, 11. (අ) ලෝක ව්‍යාප්ත සේවය සඳහා ලැබෙන සම්මාදම් පාවිච්චි කරන්නේ මොන වගේ දේවලටද? (ආ) 1 කොරින්ති 16:1, 2හි සඳහන් ප්‍රතිපත්තිය අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

10 අපේ මුදල්. දේශනා කිරීමේ කාර්යය ලෝකෙ පුරාම කරන්න හුඟක් මුදල් අවශ්‍යයි. සංචාරක සේවකයන්ව, විශේෂ පුරෝගාමීන්ව, මිෂනාරිවරුන්ව රැකබලා ගන්න හැම අවුරුද්දකම ඩොලර් මිලියන ගාණක් වැය වෙනවා. සීමිත සම්පත් තියෙන රටවල විතරක් 1999 ඉඳන් නමස්කාර මධ්‍යස්ථාන 24,500කටත් වඩා ඉදි කරලා තියෙනවා. ඒ වුණත් තවත් 6,400ක විතර අවශ්‍යතාවක් තියෙනවා. හැම මාසෙකම ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ කලාප මිලියන 100ක් විතර මුද්‍රණය කරනවා. ඒ හැම දේම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔබ දෙන සම්මාදම් නිසයි.

11 සම්මාදම් දීම ගැන වටිනා ප්‍රතිපත්තියක් යෙහෝවා දෙවි අපිට බයිබලයේ සඳහන් කරලා තියෙනවා. (1 කොරින්ති 16:1, 2 කියවන්න.) දෙවිගේ මඟ පෙන්වීමෙන් පාවුල් කොරින්ති සභාවේ අයට කිව්වේ ඔවුන්ගේ අවශ්‍යතා පිරිමහගත්තට පස්සේ ඉතුරු වෙන මුදල සතියේ අවසානයේදී සම්මාදම් කරනවා වෙනුවට සතියේ මුලදීම සම්මාදම් වෙනුවෙන් යම් මුදලක් වෙන් කරන්න කියලයි. එදා වගේම අදත් හුඟක් සහෝදර සහෝදරියන් කලින්ම සැලසුම් කරලා සම්මාදම් කරන්න මුදලක් වෙන් කරනවා. (ලූක් 21:1-4; ක්‍රියා 4:32-35) ඒ වගේ අයව දෙවිට හුඟක් වටිනවා.

ඇමරිකාවේ ගොඩනැඟීමේ ව්‍යාපෘතියකට හවුල් වෙන ස්වේච්ඡා සේවකයෙක්

12, 13. තමන්ගේ ශ්‍රමය හා දක්ෂතා දෙවි වෙනුවෙන් යොදවන්න සමහරු අදිමදි කරන්නේ ඇයි? යෙහෝවා දෙවි ඒ වගේ අයට උදව් කරන්නේ කොහොමද?

12 අපේ ශ්‍රමය හා දක්ෂතා. දෙවි වෙනුවෙන් අපේ ශ්‍රමය, අපේ දක්ෂතා යොදවද්දී ඒ සඳහා දෙවි අපිට උදව් කරනවා. අපි වෙහෙසට පත් වෙද්දී අපිට ඕනෙ කරන ශක්තිය ලබා දෙන්න ඔහු පොරොන්දු වෙලා තියෙනවා. (යෙසා. 40:29-31) දෙවි වෙනුවෙන් යොදවන්න තරම් දක්ෂතා අපිට නැහැ කියලා හිතෙනවද? නැත්නම් අපිට වඩා හැකියාවන් තියෙන අය ඉන්නවනේ කියලා හිතෙනවද? අපිට තියෙන හැකියාවන් තවත් දියුණු කරගන්න අවශ්‍ය බලය දෙන්න දෙවිට පුළුවන්. හරියට බෙසලෙල්ට සහ ඔහොලියාබ්ට දෙවි බලය දුන්නා වගේ.—නික්. 31:1-6; ලිපියේ මුලින්ම තියෙන පින්තූරය බලන්න.

13 යෙහෝවා දෙවි අපෙන් ඉල්ලන්නේ අපේ හොඳම දේ දෙවිට දෙන එකෙන් අපිව වළක්වන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා කියලයි. (හිතෝ. 3:27) දේවමාලිගාව නැවත ගොඩනඟන කාලයේදී ඒ කාර්යයට සහය දෙන එක ගැන බැරෑරුම්ව හිතන්න කියලා දෙවි යුදෙව්වන්ට කිව්වා. (හග්. 1:2-5) ඒ කාර්යයට මුල් තැන දෙනවා වෙනුවට ඔවුන්ගේ අවධානය යොමු වෙලා තිබුණේ ඔවුන්ගේ දේවල් ගැන විතරයි. අපි ගැන මොනවද කියන්න පුළුවන්? අපේ දේවලට වඩා අපිට වටින්නේ දෙවි වෙනුවෙන් දේවල් කරන එකද? මේ අන්තිම දවස්වල අපි ගත කරන ජීවිතය ගැන බැරෑරුම්ව හිතලා දෙවි වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න සැලසුම් කරන්න අපිට පුළුවන්ද?

අපිට ඇති දෙයින් දීම

14, 15. (අ) දුප්පත් රටවල ඉන්න සහෝදරයන් කරන කැප කිරීම් ගැන අහද්දී ඔබට හැඟෙන්නේ කොහොමද? (ආ) අපේ ආශාව වෙන්න ඕනෙ මොකක්ද?

14 සහෝදර සහෝදරියන් විශාල පිරිසක් දුප්පත් රටවල ජීවත් වෙනවා. ඔවුන්ට පරිත්‍යාග කරන්න පුළුවන් දේවල් සීමිත නිසා ඒ රටවල දේවරාජ්‍යයේ වැඩකටයුතු දිගටම කරගෙන යන්න අවශ්‍ය කරන දේවල් දෙවිගේ සංවිධානය සපයනවා. (2 කොරි. 8:14) ඒ වුණත් ඒ වගේ රටවල ඉන්න සහෝදරයනුත් තමන්ට පුළුවන් විදිහට යම් දේවල් දෙවි වෙනුවෙන් පරිත්‍යාග කරනවා. සතුටින් දෙන ඒ වගේ පරිත්‍යාග යෙහෝවා දෙවි හුඟක් අගය කරනවා.—2 කොරි. 9:7.

15 එක්තරා දුප්පත් අප්‍රිකානු රටක ඉන්න සහෝදරයන් ඔවුන්ගේ වතුවල යම් කොටසක් වෙන් කරලා ඒ කොටසේ වගා කරන දේවලින් ලැබෙන ආදායම සම්මාදම් කරනවා. ඒ රටේ නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් පටන්ගත්තා. ඒක සිද්ධ වුණේ වගා කටයුතු කරන කාලයේදීයි. සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් වගා කරන අතරෙම ඒ ඉදි කිරීම් කටයුතුවලටත් උදව් වුණා. ඔවුන් දහවල් කාලයේදී ඒ වැඩවලට උදව් වෙලා හවසට වගා වැඩ කළා. ඔවුන් කළේ මොන තරම් කැප කිරීමක්ද! ඔවුන් හරියට පළවෙනි සියවසේ මැසිඩෝනියාවේ හිටපු සහෝදරයන් වගේ. “කොතරම් දුගී තත්වයක” හිටියත් සම්මාදම් කරන්න තමන්ටත් ඉඩ දෙන්න කියලා ඔවුන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. (2 කොරි. 8:1-4) අපිත් අපිට පුළුවන් විදිහට දෙවි වෙනුවෙන් පරිත්‍යාග කරලා දෙවි අපිට දීලා තියෙන දේවල් වෙනුවෙන් අගය පෙන්වමු.—ද්විතීය කතාව 16:17 කියවන්න.

16. දෙවි වෙනුවෙන් පරිත්‍යාග කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

16 අපි යම් පරිත්‍යාග, කැප කිරීම් කරද්දී මතක තියාගන්න ඕනෙ කාරණයක් තියෙනවා. ඊශ්‍රායෙල්වරුන් කැමැත්තෙන්ම කළ පූජා වුණත් දෙවි පිළිගත්තේ ඒවා දෙවි බලාපොරොත්තු වෙන විදිහට තිබුණා නම් විතරයි. ඒ වගේ අපේ පරිත්‍යාගත් දෙවි පිළිගන්නේ දෙවි අපෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන දේවල්, ඒ කියන්නේ අපේ පවුලේ අයගේ අවශ්‍යතා සපුරනවා නම්, දෙවි එක්ක ඔවුන්ට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අවශ්‍ය දේවල් කරනවා නම් විතරයි. ඒවා හරියට කරන්නේ නැතුව අපි අනිත් අය වෙනුවෙන් අපේ සම්පත්, කාලය යොදවන එක හරියට අපිට නැති දේවලින් යමක් දෙනවා වගේ. (2 කොරින්ති 8:12 කියවන්න.) දෙවි එක්ක පෞද්ගලිකව අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන දේවලටත් අපි මුල් තැන දෙන එක අත්‍යඅවශ්‍යයි. (1 කොරි. 9:26, 27) බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන අතරතුරේ දෙවි වෙනුවෙන් පරිත්‍යාග, කැප කිරීම් කරනවා නම් අපිට ලොකු තෘප්තියක් ලබන්න පුළුවන්. ‘කෙනෙකුගෙන් දෙවි බලාපොරොත්තු වන්නේ’ ඒකයි.

අපේ පරිත්‍යාග හුඟක් වටිනවා

17, 18. දෙවි වෙනුවෙන් කැප කිරීම් කරන අය ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? අපි හිතලා බලන්න ඕනෙ මොනවා ගැනද?

17 අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් දෙවි වෙනුවෙන් ඔවුන්ගේ කාලය, ශ්‍රමය, මුදල් පරිත්‍යාග කරන්නේ කැමැත්තෙන්මයි. (ෆිලි. 2:17) ඒ වගේ කැප කිරීම් කරන අයව අපි හුඟක් අගය කරනවා. දේවරාජ්‍යයේ වැඩවල මුල් තැන අරන් වැඩ කරන සහෝදරයන්ගේ භාර්යාවන් සහ දරුවනුත් හුඟක් කැප කිරීම් කරනවා. ඔවුන්වත් අපි අගය කරන්න ඕනෙ.

18 දෙවි වෙනුවෙන් කරන්න තව හුඟක් වැඩ තියෙනවා. දැන් අපි කරන දේට වඩා දෙයක් ඒ වෙනුවෙන් කරන්න පුළුවන්ද කියලා දෙවිට යාච්ඤා කරලා හොඳට හිතලා බලමු. අපි කරන ඒ කැප කිරීම්වලට දැනුත් ‘මතු පැමිණෙන කාලයේදීත්’ හිතාගන්න බැරි තරම් ආශීර්වාද ලැබෙනවා අනිවාර්යයයි.—මාක් 10:28-30.

^ 2 ඡේ. 2012 ජනවාරි 15 ‘මුරටැඹ’ කලාපයේ 21-25 දක්වා පිටුවල ඇති “හොඳම දේ දෙවිට දෙන්න” නමැති ලිපිය බලන්න.