Skip to content

පටුනට යන්න

“ඔබ මෙම දිනය සිහි කළ යුතුයි”

“ඔබ මෙම දිනය සිහි කළ යුතුයි”

“ඔබ මෙම දිනය සිහි කළ යුතුයි. යෙහෝවා දෙවි වන මට ගෞරවය දෙන පිණිස එම දවසේදී උත්සවයක් පැවැත්විය යුතුයි.”—නික්. 12:14.

1, 2. අපි හොයලා බලන්න ඕනෙ කුමන උත්සවය ගැනද? ඒ ඇයි?

හුඟක් අය ඔවුන්ගේ ජීවිතවලට වැදගත් වුණ සමහර දවස් හැම අවුරුද්දකම වගේ සමරනවා. සමහරු ඔවුන් විවාහ වුණ දිනය සමරනවා. රටවල් විදිහටත් ඒ රට නිදහස ලබපු දිනය සමරනවා. ඔබේ ජීවිතයටත් බලපාන, අවුරුදු 3,500ක් පුරා සමරන ඒ වගේ උත්සවයක් තියෙනවා කියලා ඔබ දන්නවද?

2 ඒ තමයි පාස්කු උත්සවය. ඒක සමරන්නේ ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නිදහස් වීම සිහි කරන්නයි. ‘පාස්කුව කියන්නේ යුදෙව්වරු සමරන උත්සවයක්නේ, ඒක කොහොමද මගේ ජීවිතේට බලපාන්නේ’ කියලා ඔබට හිතෙයි. ඒත් 1 කොරින්ති 5:7 බැලුවොත් එතන “අපගේ පාස්කු යාගය වන ක්‍රිස්තුස්” කියලා සඳහන් වෙනවා ඔබ දකියි. “අපගේ පාස්කු යාගය” කියලා පාවුල් ඒක අපිටත් සම්බන්ධ කරලා තියෙන්නේ ඇයි? ඒකට උත්තර දැනගන්න කලින් අපි මුලින්ම යුදෙව්වරු සමරපු පාස්කු උත්සවය ගැන ටිකක් හොයලා බලමු. ඊටපස්සේ ඒ උත්සවය අපිට බලපාන්නේ කොහොමද කියලා බලමු.

පාස්කු උත්සවයේ ආරම්භය

3, 4. පළවෙනි පාස්කු උත්සවයට කලින් සිදු වුණ සිදුවීම් මොනවද?

3 පළවෙනි පාස්කු උත්සවය සමරන්න කලින් සිදු වුණ සිද්ධීන් පෙළ ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ ගැන නික්මයාම පොතෙන් කියවලත් ඇති. ඔබ කැමතිද ඒ අතීතයට ටිකක් යන්න?

4 ඒ වෙන කොට ඊශ්‍රායෙල්වරු අවුරුදු ගාණක් තිස්සේ ඊජිප්තුවේ වහලුන් වෙලයි හිටියේ. යෙහෝවා දෙවි මෝසෙස්වත් ආරොන්වත් යවලා පාරාවෝ රජුගෙන් ඉල්ලා හිටියා සෙනඟට නිදහස දෙන්න කියලා. ඒත් උඩඟු පාරාවෝ රජ නම් ඒකට කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒ නිසා දෙවි ඊජිප්තු දේශයට පීඩා දහයක් ගෙනාවා. පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට නිදහස දෙන්න කැමති වුණේ ඊටපස්සෙයි. ඒත් දහවෙනි පීඩාවට කලින් ඊශ්‍රායෙල්වරුන් කළ යුතු විශේෂ දෙයක් තිබුණා.—නික්. 1:11; 3:9, 10; 5:1, 2; 11:1, 5.

5. නිදහස ලබන්න කලින් ඊශ්‍රායෙල්වරුන්ට කරන්න කියලා දෙවි කිව්වේ මොන වගේ දේවල්ද? (ලිපියේ මුලින්ම තියෙන පින්තූරය බලන්න.)

5 ඔවුන් ඒ දේ කළේ ක්‍රි.පූ. 1513 වසන්ත සමයේ ආබීබ් කියන මාසයේ 14වෙනිදායි. * සාමාන්‍යයෙන් ඒ කාලයේ දවසක ආරම්භය විදිහට සැලකුවේ හිරු බැස ගිය අවස්ථාවයි. හිරු බැස යෑමත් සමඟම උදා වූ නීසාන් 14වෙනිදා ඊශ්‍රායෙල්වරු කළ යුතුව තිබුණ ඒ විශේෂ දේට නීසාන් 10වෙනිදා ඉඳන්ම සූදානම් වෙන්න කියලා දෙවි කියලා තිබුණා. නීසාන් 14වෙනිදා ඔවුන් අතරේ හිටපු හැම පවුලකට දෙවි කිව්වේ පිරිමි බැටළුවෙකුව මරලා උගේ ලේවලින් ටිකක් ඔවුන්ගේ ගෙදර උළුවහුවේ ගාන්න කියලයි. (නික්. 12:3-7, 22, 23) ඒ වගේම ඌව පුලුස්සා ඒ මස් මුහුන් නොදැමූ රොටි සහ තිත්ත පලා එක්ක කන්න කියලත් දෙවි කිව්වා. ඔවුන් ඒ විදිහටම කරපු නිසා එදා රෑ දෙවිගේ දූතයා ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුලෙක්වම මැරුවත් ඊශ්‍රායෙල් කුලුඳුලන්ව ආරක්ෂා කළා. දෙවිගේ සෙනඟට නිදහස ලැබුණේ ඊටපස්සෙයි.—නික්. 12:8-13, 29-32.

6. ඊශ්‍රායෙල්වරු හැම අවුරුද්දකම පාස්කු උත්සවය පැවැත්තුවේ ඇයි?

6 ඒ දිනය මතක තියාගන්න එක දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා. “ඔබ මෙම දිනය සිහි කළ යුතුයි. යෙහෝවා දෙවි වන මට ගෞරවය දෙන පිණිස එම දවසේදී උත්සවයක් පැවැත්විය යුතුයි. ඔබේ සියලු පරම්පරාවලදී එය පවත්වන ලෙස මම නියෝග කරමි” කියලා දෙවි ඔවුන්ට කිව්වේ ඒ නිසයි. හැම අවුරුද්දකම නීසාන් 14වෙනිදා ඔවුන් එය සැමරුවා. ඊටපස්සේ උදා වුණ දින හතත් මුහුන් නොදැමූ රොටි උත්සවය විදිහට සැමරුවා. සමහරවිට ඔවුන් ඒ දවස් අටම පාස්කු උත්සව කාලය හැටියට හඳුන්වන්න ඇති. (නික්. 12:14-17; ලූක් 22:1; යොහ. 18:28; 19:14) පාස්කු උත්සවය ඊශ්‍රායෙල්වරු හැම අවුරුද්දකම අනිවාර්යයෙන්ම පවත්වපු උත්සවවලින් එකක්.—2 ලේක. 8:13.

7. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට සමරන්න කියපු අලුත් දේ මොකක්ද?

7 යේසුස් වගේම ඔහුගේ ගෝලයනුත් යුදෙව්වන්. ඒ නිසා ඔවුනුත් පාස්කු උත්සවය පැවැත්තුවා. (මතෙ. 26:17-19) ඔවුන් එක්ව පවත්වපු අන්තිම පාස්කුවේදී යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට හැම අවුරුද්දකම පැවැත්විය යුතු අලුත් සැමරීමක් ගැන කිව්වා. ඒක හැඳින්නුවේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය කියලයි.

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වන්නේ කවදාද?

8. සමහරුන්ට මතු වෙන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද?

8 යේසුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ගැන කිව්වේ ගෝලයෝ එක්ක පාස්කු භෝජනය අරගෙන අවසන් වෙනවත් එක්කමයි. එහෙමනම් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වන්න ඕනෙත් පාස්කු උත්සවය පවත්වපු දවසෙමයි. ඒ කියන්නේ නීසාන් 14වෙනිදා. ඒත් අපි සිහි කිරීමේ උත්සවය පවත්වන දවසයි අද ඉන්න යුදෙව්වන් පාස්කු උත්සවය පවත්වන දවසයි ටිකක් වෙනස්. ඒකට හේතුව දැනගන්න ඉස්සෙල්ලා පාස්කු උත්සවය සැමරීම ඊශ්‍රායෙල්වරු ආරම්භ කළේ මොන වෙලාවේදීද කියලා බලමු. පාස්කුව පටන්ගත්තේ බැටළුවාව මැරීමත් එක්කයි. බැටළුවාව මරන්න ඕනේ නීසාන් 14වෙනිදා හරියටම කොයි වෙලාවේදීද කියලා දෙවි ඔවුන්ට පැහැදිලිව කිව්වා.—නික්මයාම 12:5, 6 කියවන්න.

9. නික්මයාම 12:6හි සඳහන් වෙන විදිහට පාස්කු බැටළුවාව මැරිය යුත්තේ කොයි වෙලාවේදීද? ( “දවසේ කොයි වෙලාවේද?” නමැති කොටුව බලන්න.)

9 යුදෙව් ප්‍රකාශනයක නික්මයාම 12:6හි බැටළුවාව මැරිය යුතු වෙලාව සඳහන් වෙන්නේ “සවස් වරු දෙක අතරතුරදී” කියලයි. (The Pentateuch and Haftorahs) සමහර බයිබල් පරිවර්තනවල ඒ යෙදුම ඒ විදිහටම යොදාගෙන තියෙනවා. තවත් බයිබල්වල තියෙන්නේ “හිරු බැස යන අවස්ථාවේදී” කියලයි. යුදෙව් ‘ටානාක්’ පරිවර්තනය ඇතුළුව තවත් බයිබල් පරිවර්තන කිහිපයක ඒ වෙලාව සඳහන් කරලා තියෙන්නේ “හිරු බැස ගියාට පසුව ඒත් අඳුර වැටෙන්න පෙර යම් ආලෝකයක් පැවතුණ කාලය” විදිහටයි. ඒකෙන් තේරෙන්නේ පාස්කු බැටළුවාව මැරිය යුතු වුණේ නීසාන් 14වෙනි දවස ආරම්භ වෙනවත් එක්කම කියලයි.

10. පාස්කු බැටළුවාව මරපු වෙලාව ගැන සමහරුන් විශ්වාස කරන්නේ මොකක්ද? ඒත් මතු වෙන ප්‍රශ්නය මොකක්ද?

10 ඒත් පසු කාලයකදී පාස්කුව සඳහා ඔප්පු කරන බැටළුවන්ව මැරුවේ දේවමාලිගාවේදීයි. ඒ සඳහා දේවමාලිගාවට විශාල බැටළුවෝ ප්‍රමාණයක් ගෙනාපු නිසා උන්ව මරන්න සෑහෙන කාලයක් ගත වෙන්න ඇති කියලා යුදෙව්වන් හිතුවා. ඒ නිසා බැටළුවාව මැරිය යුතු වෙලාව සම්බන්ධයෙන් යුදෙව්වන් අතරේ වැරදි මත ඇති වුණා. නික්මයාම 12:6හි සවස කීමෙන් අදහස් කළේ නීසාන් 14වෙනි දවස ආරම්භ වෙන සවසට නෙවෙයි අවසන් වෙන සවස් වරුවට කියලයි ඔවුන් හිතුවේ. ඒ කියන්නේ නීසාන් 14වෙනි දවස අවසන් වෙන සවස් වරුවේ හිරු බහින්න පටන්ගත්ත වෙලාවේ ඉඳන් හිරු බැස ගොස් අඳුර වැටෙන අවස්ථාව වෙනකම් ගත වුණ පැය කිහිපයට කියලයි. ඒත් ඒක වැරදියි. ඒ වෙලාවේ බැටළුවන්ව මරන්න පටන්ගත්තා නම් යුදෙව්වන් පාස්කු භෝජනය ආහාරයට ගන්නේ මොන වෙලාවේදීද? යුදෙව් ආගම පිළිබඳ ආචාර්යවරයෙක් ඒ ගැන කියන්නේ යුදෙව්වන් පාස්කු භෝජනය ගත්තේ නීසාන් 15වෙනිදා කියලයි. ඒත් එහෙම දෙයක් නික්මයාම පොතේ කෙළින්ම කියන්නේ නැහැ කියලත් ක්‍රි.ව. 70දී දේවමාලිගාව විනාශ කරන්න කලින් පාස්කු උත්සවය පවත්වපු විදිහ රබ්බිවරුන්ගේ ලියවිලිවල සඳහන් වෙන්නේ නැහැ කියලත් ඔහු කියනවා.

11. (අ) ක්‍රි.ව. 33 පාස්කු දවස අතරතුරේදී සිදු වුණේ මොනවද? (ආ) ක්‍රි.ව. 33 නීසාන් 15වෙනිදා “මහ සබත් දවසක්” කියලා හඳුන්වන්නේ ඇයි? (පාදසටහන බලන්න.)

11 ක්‍රි.ව. 33දී යේසුස් පාස්කු භෝජනය ගත්තේ කොයි වෙලාවේදීද? නීසාන් 13වෙනිදා පාස්කු උත්සවයට කලින් දවසේ යේසුස් පේතෘස්ට සහ යොහන්ට කිව්වේ “ගොස් අප සඳහා පාස්කු භෝජනය සූදානම් කරන්න” කියලයි. (ලූක් 22:7, 8) ඔහු ගෝලයන් එක්ක පාස්කු භෝජනය ගත්තේ නීසාන් 14වෙනි බ්‍රහස්පතින්දා දවස ආරම්භ වෙන වෙලාවේදීයි. ඒ කියන්නේ හිරු බැස ගියාට පස්සෙයි. ඔහු ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ගැන තම ගෝලයන්ට මඟ පෙන්වීම් දුන්නේ ඊටපස්සේ. (ලූක් 22:14, 15) එදාම රාත්‍රියේදී යේසුස්ව අත්අඩංගුවට අරගෙන නඩු විභාග කළා. නීසාන් 14වෙනිදාම දහවල් කාලයේදී ඔහුව වධ කණුවේ ඇණ ගසා මරා දැමුවා. (යොහ. 19:14) ඒ විදිහට බලද්දී “අපගේ පාස්කු යාගය වන ක්‍රිස්තුස්” ඔහුගේ ජීවිතය පූජා කළේ පාස්කු බැටළුවාව මරපු දවසේමයි කියන එක පැහැදිලියි. (1 කොරි. 5:7; 11:23; මතෙ. 26:2) නීසාන් 15වෙනි දවස පටන්ගන්න කලින් ඔහුගේ සිරුර සොහොන් ගෙයක තැන්පත් කළා. *ලෙවී. 23:5-7; ලූක් 23:54.

පාඩම් රැසක් උගත හැකි උත්සවයක්

12, 13. පාස්කු උත්සවය දරුවන්ට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?

12 ඊශ්‍රායෙල්වරු පළවෙනි පාස්කුව පැවැත්තුව අවස්ථාවේදී “ඔබේ සියලු පරම්පරාවලදී” මේ දවස සිහි කරන්න කියලා දෙවි නියෝගයක් දුන්නා. හැම අවුරුද්දකම පාස්කු උත්සවය පවත්වද්දී ඔවුන්ගේ දරුවන් ඒ ගැන විස්තර අහන්න ඇති. (නික්මයාම 12:24-27 කියවන්න; ද්වි. 6:20-23) දරුවන් ඇතුළු හැමෝටම හුඟක් දේවල් ඉගෙනගන්න ඒක හොඳ අවස්ථාවක් වුණා.—නික්. 12:14.

13 පරම්පරාවෙන් පරම්පරාවට ඊශ්‍රායෙල්වරු ඔවුන්ගේ දරුවන්ට පාස්කුව ගැන වටිනා පාඩම් රැසක් කියලා දුන්නා. ඒවායින් එකක් වුණේ තමන්ගේ සෙනඟව ආරක්ෂා කරන්න දෙවිට පුළුවන් කියන කාරණයි. යෙහෝවා දෙවි සැබෑ දෙවි කෙනෙක් කියලත් ඔහු තමන්ගේ සෙනඟව රැකබලා ගෙන ඔවුන්ව ආරක්ෂා කරනවා කියලත් ඒ දරුවෝ ඉගෙනගත්තා. දහවෙනි පීඩාවේදී ඊශ්‍රායෙල්වරුන්ගේ කුලුඳුලන්ගේ ජීවිත ආරක්ෂා කරලා ඔහු ඒක ඔප්පු කරලා පෙන්නුවා කියලත් ඔවුන් දැනගත්තා.

14. පාස්කු උත්සවය ගැන කතා කිරීමෙන් අද ඉන්න දරුවන්ට ඉගෙනගන්න පුළුවන් මොනවද?

14 හැම අවුරුද්දකම පාස්කු උත්සවය ගැන අපේ දරුවන්ට උගන්වන්න කියලා දෙවි අද නියෝග කරලා නැහැ. ඒත් ඒ කාලෙදී දෙවි ඔහුගේ සෙනඟව ආරක්ෂා කරපු විදිහ ගැන ඔබ ඔබේ දරුවන්ට කියලා දෙනවද? එදා වගේම අදත් දෙවි ඔහුට සේවය කරන අයව ආරක්ෂා කරනවා කියන විශ්වාසය ඔබ තුළ තියෙනවා කියලා දරුවන්ට දැනෙනවද? (ගීතා. 27:11; යෙසා. 12:2) ඒ උත්සවයෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන ඔවුන්වත් හවුල් කරගෙන හොඳ සාකච්ඡාවක් කරන්න. එහෙම කරනවා නම් ඔබේ පවුලේ අය තුළ දෙවි ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වෙයි.

පාස්කු උත්සවයෙන් ඔබේ දරුවන්ට උගන්වන්න පුළුවන් පාඩම් මොනවද? (14 ඡේදය බලන්න)

15, 16. නික්මයාම 12-15 දක්වා පරිච්ඡේදවලින් යෙහෝවා දෙවි ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

15 තමන්ගේ සෙනඟව ගලවගන්න දෙවිට තියෙන හැකියාව ගැනත් අපිට පාස්කු උත්සවයෙන් ඉගෙනගන්න පුළුවන්. දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන ආපු විදහ ගැන, වලා ටැඹක් හා ගිනි ජාලාවක් යොදාගෙන ඔවුන්ව රතු මුහුද දෙසට මඟ පෙන්වපු විදිහ ගැන හිතන්න. මුහුද මැදින් පාරක් හැදිලා ඒ දෙපැත්තේ වතුර ලොකු තාප්ප වගේ නැවතිලා තිබුණ විදිහ, ඔවුන් මුහුද මැද හැදිලා තිබුණ පාරේ ඇවිදගෙන ගිය විදිහ, ඔවුන් එගොඩට ගියාට පස්සේ ඔවුන්ගේ පිටුපසින් ආපු ඊජිප්තු හමුදාව මුහුදේ ගිලී ගිය විදිහ ඔබේ හිතින් මවාගන්න පුළුවන්ද? ඒ හැම දේම දැකලා පුදුමයෙන් හිටපු ඔවුන් දෙවිට ස්තුති කළේ මෙහෙමයි. “යෙහෝවා දෙවි අසරුවන්ව මුහුදට හෙළා විශිෂ්ට ජයක් අත් කරගත්තේය. එහෙයින් මම ඔහුට ගී ගයන්නෙමි. මගේ ශක්තියද බලයද යෙහෝවා දෙවිය.”—නික්. 13:14, 21, 22; 15:1, 2; ගීතා. 136:11-15.

16 යෙහෝවා දෙවිට තමන්ගේ සෙනඟව ගලවගන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න ඔබත් ඔබේ දරුවන්ට උදව් කරනවද? ඔබ යම් තීරණ ගද්දී, දරුවෝ එක්ක කතාබහ කරද්දී ඔබවත් ඔබේ පවුලේ අයවත් ගලවගන්න දෙවිට පුළුවන් කියන විශ්වාසය ඔබ තුළ තියෙනවා කියලා දරුවෝ දකිනවද? පවුලේ නමස්කාරයේදී දෙවි තමන්ගේ සේවකයන්ව ගලවගත්ත විස්තර ඇතුළත් නික්මයාම 12-15 දක්වා පරිච්ඡේදත්, ක්‍රියා 7:30-36; දානියෙල් 3:16-18, 26-28 කියන ඡේදත් දරුවෝ එක්ක සාකච්ඡා කරන්න. යෙහෝවා දෙවි අතීතයේ තම සේවකයන්ව ගලවගත්තා වගේ අනාගතයේදී අපිවත් අනිවාර්යයෙන්ම ගලවගන්නවා කියන විශ්වාසය බාල මහලු අපි හැමෝම තුළ තියෙන්න ඕනෙ.—1 තෙසලෝනික 1:9, 10 කියවන්න.

සිහි කළ යුතුම දවසක්

17, 18. පාස්කු බැටළුවාගේ රුධිරයට වඩා යේසුස්ගේ රුධිරය අනර්ඝ වෙන්නේ කොහොමද?

17 අපි දැන් මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය යටතේ නැති නිසා අපි පාස්කු උත්සවය පවත්වන්නේ නැහැ. (රෝම 10:4; කොලො. 2:13-16) ඒ වෙනුවට අපි යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වනවා. ඒත් අපිට අතීත පාස්කු උත්සවයෙන් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

18 බැටළුවාගේ ලේ උළුවස්සේ ගාපු නිසා ඊශ්‍රායෙල් කුලුඳුලන්ගේ ජීවිත බේරුණා වගේ යේසුස්ගේ රුධිරය නිසා සියලුම මිනිසුන්ට ජීවිත ගලවගන්න අවස්ථාව ලැබෙනවා. යේසුස් “ඉසිනු ලැබූ රුධිරය” නිසා “ස්වර්ගයෙහි තම නම් ලියා ඇති කුලුඳුලන්” වන අභිෂේක ලත් අයට ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. (හෙබ්‍රෙ. 12:23, 24) වෙනත් බැටළුවන්ටත් යේසුස්ගේ රුධිරය නිසා මේ පොළොවේ සදාකාලයටම ජීවත් වීමේ බලාපොරොත්තුව ලැබිලා තියෙනවා. “ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන් අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට අපට හැකි වේ” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—එෆී. 1:7.

19. බයිබලයේ සඳහන් අනාවැකි ගැන ඔබේ විශ්වාසය තවත් වැඩි වුණේ කොහොමද?

19 පාස්කුවට බැටළුවාව පිළියෙල කරද්දී ඒ බැටළුවාගේ එක ඇටයක්වත් බිඳින්න එපා කියලා ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා. (නික්. 12:46; ගණන්. 9:11, 12) “දෙවිගේ බැටළු පැටවා” වන යේසුස්ට ඒක අදාළ වුණේ කොහොමද? (යොහ. 1:29) යේසුස්ව වධකණුවේ ඇණ ගහලා තිබුණ අවස්ථාවේදී ඔහුගෙත් ඔහු ළඟ හිටපු අපරාධකරුවන් දෙන්නගෙත් කකුල් කඩන්න යුදෙව්වන් පිලාත්ගෙන් අවසර ගත්තා. එහෙම කළොත් ඔවුන් තිදෙනා ඉක්මනින්ම මිය යනවා කියලත් පහුවදා ඒ කියන්නේ නීසාන් 15වෙනිදා යෙදිලා තිබුණ සබත් දවසට කලින් ඔවුන්ගේ මළ සිරුරු එතනින් ඉවත් කරන්න පුළුවන් කියලත් යුදෙව්වන් දැනගෙන හිටියා. සෙබළු අපරාධකරුවන් දෙදෙනාගේ කකුල් කැඩුවත් “ඔවුහු යේසුස්ගේ කකුල් කැඩීමට ඔහු ළඟට ගිය විට ඔහු ඒ වන විටත් මිය ගොස් ඇති බව දුටු නිසා ඔහුගේ කකුල් කැඩුවේ නැත.” (යොහ. 19:31-34) පාස්කු බැටළුවාගේ වගේම යේසුස්ගෙත් එක ඇටයක්වත් බිඳුණේ නැහැ. ඇත්තටම පාස්කු බැටළුවා ක්‍රි.ව. 33 නීසාන් 14වෙනිදා ඔප්පු කරපු යේසුස්ගේ ජීවිත පූජාවේ “ඡායාවක්.” (හෙබ්‍රෙ. 10:1) එයින් ගීතාවලිය 34:20හි සඳහන් දේ ඉටු වුණා. ඒ ගැන දැනගැනීමෙන් බයිබලයේ සඳහන් අනාවැකි ගැන අපිට තියෙන විශ්වාසය තවත් වැඩි වෙනවා නේද?

20. පාස්කු උත්සවයේ සහ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයේ තියෙන එක වෙනස්කමක් මොකක්ද?

20 යුදෙව්වන් පාස්කු උත්සවය පවත්වපු විදිහෙත් යේසුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වන්න කියපු විදිහෙත් යම් වෙනස්කම් තියෙනවා. උදාහරණයකට යුදෙව්වන් බැටළුවාගේ මස් කෑවත් උගේ රුධිරය බිව්වේ නැහැ. ඒත් යේසුස් කිව්වේ “දෙවිගේ රාජ්‍යයෙහි” පාලනයට හවුල් වෙන අය යේසුස්ගේ ශරීරය නියෝජනය කරන රොටි කෑමත් ඔහුගේ රුධිරය නියෝජනය කරන වයින් බීමත් අත්‍යවශ්‍යයි කියලයි. අපි ඒ කාරණය ගැනත් යේසුස්ගේ මරණය සිහි කිරීම ගැනත් තව විස්තර ඊළඟ ලිපියෙන් බලමු.—මාක් 14:22-25.

21. පාස්කු උත්සවයෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් ගැන දැනුවත් වෙන්න ඕනෙ ඇයි?

21 පාස්කුව දෙවිගේ සෙනඟගේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් උත්සවයක්. එයින් අපි හැමෝටම හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ නිසා පාස්කුව කියන්නේ යුදෙව්වන් සිහි කරපු උත්සවයක් විතරයි කියලා හිතන්නේ නැතුව එයින් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම් ගැන හොයලා බලමු. හේතුව ඒ ගැන සඳහන් වෙන විස්තර ඇතුළු “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම” තුළින් නිසයි.—2 තිමෝ. 3:16.

^ 5 ඡේ. යුදෙව් කැලන්ඩරයේ පළවෙනි මාසය හැඳින්නුවේ ආබීබ් කියලයි. ඒත් යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවට පස්සේ ආබීබ් මාසය හැඳින්නුවේ නීසාන් කියලයි.

^ 11 ඡේ. නීසාන් 15වෙනිදා කියන්නේ මුහුන් නොදැමූ රොටි උත්සවයේ පළමු දවසයි. ඒ දවස සබත් දවසක් විදිහට ගණන් ගත්තා. ක්‍රි.ව. 33දී ඒ දවස වැටුණේ සෙනසුරාදා දවසකටයි. ඒ කියන්නේ යුදෙව්වන් සාමාන්‍යයෙන් සබත පවත්වපු දවසකයි. ඔවුන් සබත් විදිහට සලකපු දවස් දෙකම එකම දවසේ වැටුණ නිසා ඒක “මහ සබත් දවසක්” කියලා හැඳින්නුවා.—යොහන් 19:31, 42 කියවන්න.