Skip to content

පටුනට යන්න

“මනස අවුල් කර නොගන්න”

“මනස අවුල් කර නොගන්න”

‘සහෝදරයෙනි, ඔබේ මනස අවුල් කර නොගන්න.’—2 තෙස. 2:1, 2.

1, 2. බොරුව, රැවටීම දසත පැතිරී තියෙන්නේ ඇයි? මිනිසුන්ව මුළා කරන්න අද යොදාගන්නේ මොනවද? (ලිපියේ මුලින්ම තියෙන පින්තූරය බලන්න.)

අපි අද ජීවත් වෙන්නේ බොරුව, රැවටීම රජයන සමාජයක. මිනිසුන්ව රැවටීමේ අති දක්ෂයෙක් වන සාතන් මේ ලෝකයේ පාලකයා නිසා ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ. (1 තිමෝ. 2:14; 1 යොහ. 5:19) “තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක්” කියලා දන්න සාතන් මේ දුෂ්ට සමාජයේ අවසානය ළං වෙන්න වෙන්න තව තවත් කෝපයෙන් ක්‍රියා කරනවා. (එළි. 12:12) ඔහුගේ බලපෑමට හසු වී සිටින අයත් බොරුවෙන්, රැවටීමෙන් ක්‍රියා කරයි කියලා අපිට හිතන්න පුළුවන්. ඔවුන් විශේෂයෙන්ම උත්සාහ කරන්නේ දෙවිට සේවය කරන අයව මුළා කරන්නයි.

2 ඒ සඳහා ඔවුන් ජනමාධ්‍ය යොදාගන්නවා. දෙවිගේ සෙනඟ ගැන ජනමාධ්‍ය ඇත්තම තත්වය කියන්නේ නැහැ. සමහර වෙලාවට යම් තොරතුරු වසං කරනවා. නැත්නම් සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා. සමහරු ඇත්ත හරියට හොයලා බලන්නේ නැතුව පත්තරවල, රූපවාහිනියේ, අන්තර්ජාලයේ අපි ගැන කියන වැරදි තොරතුරු විශ්වාස කරලා කලබල වෙනවා. කේන්ති ගන්නවා.

3. මුළා නොවී ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

3 බයිබලයේ තියෙන තොරතුරු ‘කාරණා නිවැරදි කිරීමට ප්‍රයෝජනවත්’ නිසා සාතන්ගේ බොරුවලට රැවටෙන්නේ නැතුව ඉන්න එය අපිට උදව් කරනවා. (2 තිමෝ. 3:16) පාවුල් තෙසලෝනිකයේ හිටපු ක්‍රිස්තියානීන්ට ලියපු දේකින් ඒ වගේ මඟ පෙන්වීමක් අපිට හොයාගන්න පුළුවන්. “ඔබේ මනස අවුල් කර නොගන්න” කියලා පාවුල් ඔවුන්ට කිව්වා. (2 තෙස. 2:1, 2) පාවුල්ගේ ඒ අනතුරු ඇඟවීමෙන් අපිට මොනවද ඉගෙනගන්න පුළුවන්?

අනතුරු ඇඟවීම්

4. “යෙහෝවා දෙවිගේ දවස” ගැන තෙසලෝනිකවරුන්ට අනතුරු ඇඟවීම් ලැබුණේ කොහොමද? අද අපිට අනතුරු ඇඟවීම් ලැබෙන්නේ කොහොමද?

4 තෙසලෝනිකවරුන් “යෙහෝවා දෙවිගේ දවස” සඳහා සූදානමක් නැතුව ඉන්නවා දකින්න පාවුල් කැමති වුණේ නැහැ. ඒ නිසා ඔහු ඔවුන්ට ලියපු මුල් ලිපියේ ඒ ගැන අනතුරු ඇඟවීම් දුන්නා. ඔවුන් “ආලෝකයේ දරුවෝ” නිසා ‘නිදාගෙන සිටිනවා වෙනුවට අවදිව සිටිමින් හොඳ සිහිකල්පනාවෙන් ඉන්න’ කියලා ඔහු මතක් කළා. (1 තෙසලෝනික 5:1-6 කියවන්න.) අද අපි ඉන්නෙත් මහ බැබිලෝනියේ විනාශය අත ළඟ තියෙන කාලයකයි. ඒ විනාශයත් එක්කම යෙහෝවා දෙවිගේ මහත් දවස ආරම්භ වෙනවා. දෙවි තමන්ගේ අරමුණ ඉටු කරන විදිහ ගැන දැනටමත් අපිට හොඳ අවබෝධයක් තියෙනවා. දෙවිගේ දවසට මුහුණ දෙන්න සූදානමින් ඉන්න අවශ්‍ය කරන සිහි ගැන්වීම් අපිට නිතරම වගේ සභා රැස්වීම්වලින් ලැබෙනවා. නැවත නැවත මතක් කරන ඒ අනතුරු ඇඟවීම්වලට අපි හොඳ අවධානයක් දුන්නොත් “බුද්ධිමත් ලෙස දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න” අපිට තියෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙනවා.—රෝම 12:1.

පාවුල්ගේ ලිපි ක්‍රිස්තියානීන්ට හුඟක් ප්‍රයෝජනවත් වුණා (4 සහ 5 ඡේද බලන්න)

5, 6. (අ) පාවුල් තෙසලෝනිකවරුන්ට ලියපු දෙවෙනි ලියුමේ සඳහන් කළේ මොනවද? (ආ) යේසුස් ළඟදීම කරන්නේ මොකක්ද? අපි හිතලා බලන්න ඕනෙ ප්‍රශ්න මොනවද?

5 පාවුල් දෙවෙනි වතාවට තෙසලෝනිකවරුන්ට ලියපු ලියුමේ යේසුස්, දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කරන කාලය ගැන සඳහන් කළා. ඒ කාලයේදී ‘දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට හා ශුභාරංචියට කීකරු නොවන අයට එරෙහිව’ යේසුස් ක්‍රියා කරනවා කියලා ඔහු කිව්වා. (2 තෙස. 1:6-8) තෙසලෝනික සභාවේ හිටපු සමහරු යෙහෝවා දෙවිගේ දවස ඉතාමත් ඉක්මනින් එයි කියලා රැවටිලා අනවශ්‍ය විදිහට කලබල වෙලා වැඩ කළා. (2 තෙසලෝනික 2:1, 2 කියවන්න.) ඒ නිසා පාවුල් ඔවුන්ට මෙහෙම කිව්වා. “අපට පූර්ණ දැනුමක් නැත. අප අනාවැකි පැවසුවත් එහි සියලුම තොරතුරු අඩංගු වී නැත. නමුත් අපට පූර්ණ දැනුමක් ලැබෙන විටත් සියලුම තොරතුරු හෙළි කරමින් අනාවැකි පවසන විටත් කලින් තිබූ දැනුමත් කලින් පැවසූ අනාවැකිත් නැති වී යනු ඇත.” (1 කොරි. 13:9, 10) ඒකෙන් තේරෙන්නේ දෙවි තමන්ගේ අරමුණ ඉටු කරන විදිහ ගැන ඒ කාලේ හිටපු ක්‍රිස්තියානීන්ට සම්පූර්ණ අවබෝධයක් තිබුණේ නැහැ කියන එකයි. ඒත් පාවුල්, පේතෘස් හා අනිකුත් අභිෂේක ලත් සහෝදරයන් මාර්ගයෙන් දෙවි දීපු අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දීලා දිගටම විශ්වාසවන්තව ඉන්න ඔවුන්ට පුළුවන්කම තිබුණා.

6 දෙවිගේ දවස ගැන ඔවුන්ට තිබුණ වැරදි මතය නිවැරදි කරන්න දෙවිගේ දවසට කලින් වෙන්න තියෙන දේවල් ගැන පාවුල් සඳහන් කළා. ඒ දවසට කලින් සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව මහ කැරැල්ලක් සභාව තුළින්ම ඇති වෙනවා කියලත් “පව්කාර මනුෂ්‍යයා” එළිදරව් වෙනවා කියලත් පාවුල් කිව්වා. * පව්කාර මනුෂ්‍යාවත් ඔහුට මුළා වෙන අයවත් යේසුස් නියමිත කාලයේදී ‘සහමුලින්ම විනාශ කරනවා’ කියලත් ඔහු කිව්වා. ඔවුන් මුළා වෙන්නේ ‘සත්‍ය ඉගැන්වීම්වලට අවංක ඇල්මක් නොදක්වන නිසයි.’ (2 තෙස. 2:3, 8-10) මං ගැන මොකක්ද කියන්න පුළුවන්? සත්‍ය ඉගැන්වීම්වලට මං ඇල්මක් දක්වනවද? බයිබලයේ සඳහන් කාරණා ගැන නිවැරදි අවබෝධයක් සහ අලුත්ම මඟ පෙන්වීම් ලබාගන්න උදව් වෙන ‘මුරටැඹ’ සඟරා ඇතුළු අනිකුත් ප්‍රකාශන මම හොඳින් අධ්‍යයනය කරනවද?

ඇසුරු කරන අය ගැන කල්පනාකාරී වෙන්න

7, 8. (අ) එදා හිටපු ක්‍රිස්තියානීන් පරෙස්සම් වෙන්න ඕනෙ වුණේ මොන වගේ දේවලින්ද? (ආ) අද අපි විශේෂයෙන්ම පරෙස්සම් වෙන්න ඕනෙ මොන දෙයින්ද?

7 ක්‍රිස්තියානීන් පරෙස්සම් වෙන්න ඕනෙ සත්‍ය ඉගැන්වීම් අත්හැර ගිය අයගේ ඉගැන්වීම්වලින් විතරක් නෙවෙයි. “සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය. සමහරුන් ඒ ආශාව පසුපස හඹා ගොස් ඇති නිසා ඔවුන් සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව ගොස් ඇති” බව පාවුල් කිව්වා. (1 තිමෝ. 6:10) ඒ විතරක් නෙවෙයි කෙනෙක් තමන් තුළ තියෙන ‘පව්කාර ආශාවන්වලිනුත්’ පරෙස්සම් වෙන්න ඕනෙ.—ගලා. 5:19-21.

8 සත්‍ය ඉගැන්වීම් ‘විකෘති කරන’ අය තෙසලෝනිකවරුන් අතරේම හිටියා. ඒ ‘අයගේ ඉලක්කය වුණේ ගෝලයන්ව ඔවුන් පසුපස රැගෙන යෑමයි.’ ‘බොරු නියෝජිතයන්’ හැටියට හඳුන්වපු ඒ අයගෙන් පරෙස්සම් වෙන්න කියලා පාවුල් තෙසලෝනිකවරුන්ට අනතුරු ඇඟෙව්වේ ඒ නිසයි. (2 කොරි. 11:4, 13; ක්‍රියා 20:30) එෆීස සභාවේ අය නම් ‘නපුරු මිනිසුන්ගේ’ බලපෑමට හසු වුණේ නැහැ. සත්‍ය ඉගැන්වීම්වලට බොරු එකතු කරන අය බොරුකාරයන් කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්නුව නිසා යේසුස් ඔවුන්ට ප්‍රශංසා කළා. (එළි. 2:2) පාවුල් තෙසලෝනිකවරුන්ට ‘නොහික්මුණු ආකාරයකින් ක්‍රියා කරන සෑම සහෝදරයෙකුගෙන්ම ඔබ වෙන් වී සිටිය යුතුයි’ කියලා කියද්දී එත් එක්කම වගේ “වැඩ කරන්න අකමැති” අය ගැනත් සඳහන් කළා. ඒ නිසා ඔවුනුත් නොහික්මුණු ආකාරයකින් ක්‍රියා කරන අය කියලා හිතන්න පුළුවන්. (2 තෙස. 3:6, 10) කම්මැලි, වැඩ කරන්න අකමැති ඒ වගේ අයගේ ආශ්‍රයෙන් ඉවත් වෙන්න කියලා පාවුල් කිව්වා නම් සත්‍ය ඉගැන්වීම්වලට බොරු ඉගැන්වීම් එකතු කරන අයව කොහොමටවත් ආශ්‍රය නොකරන එක අනිවාර්යය දෙයක් කියලා පැහැදිලියි. අදටත් ඒක අදාළයි.—හිතෝ. 13:20.

9. අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොන වගේ අයගෙන්ද? ඒ ඇයි?

9 මහත් පීඩාවටත් මේ දුෂ්ට සමාජයේ අවසානයටත් අපි දිනෙන් දින ළං වෙනවා. පළවෙනි සියවසේදී දෙවි දුන්න අනතුරු ඇඟවීම් එදාට වඩා අදට අදාළයි. “දෙවි පෙන්වා ඇති මහත් කරුණාව පිළිගන්න” කියලත් “එම මහත් කරුණාව ඔබට පෙන්වූයේ ඇයි කියා කිසිදා අමතක නොකරන්න” කියලත් පාවුල් කියපු උපදෙස හිතට ගමු. එහෙම නොකළොත් අපිට සදාකාල ජීවිතය අහිමි වෙයි. (2 කොරි. 6:1) අපේ රැස්වීම්වලට සහභාගි වෙන කෙනෙක් බයිබලයේ සඳහන් කරලා නැති දෙයක් ගැන යම් නිගමනවලට එන්න අපිව පොලඹවනවා නම් නැත්නම් වැඩිමහල්ලන්ව හෝ සභාවේ ඉන්න අයව විවේචනය කරන්න අපිව පොලඹවනවා නම් ඒ අයගෙන් අපි පරෙස්සම් වෙන්න ඕනෙ.—2 තෙස. 3:13-15.

“උගන්වනු ලැබූ දේවලට තදින් ඇලී සිටින්න”

10. තෙසලෝනිකයේ හිටපු ක්‍රිස්තියානීන්ට තදින් ඇලී සිටින්න කිව්වේ මොන ඉගැන්වීම්වලටද?

10 “නොසැලී ස්ථිරව සිටින්න” කියලත් ඉගෙනගත්ත දේවලට අනුව ජීවත් වෙන්න කියලත් පාවුල් කිව්වා. (2 තෙසලෝනික 2:15 කියවන්න.) ඔවුන්ට ‘උගන්වනු ලැබූ දේවල්’ වුණේ යේසුස් උගන්වපු දේවල් සහ දෙවිගේ මඟ පෙන්වීමෙන් පාවුල් වැනි අභිෂේක ලත් අය ලියපු දේවලුයි. කොරින්ති සභාවේ අය ගැන පාවුල් කිව්වේ ‘සියලු කාරණාවලදී ඔබ මාව සිහි කර මා ඔබට කියා දුන් සෑම දෙයකටම තදින් ඇලී සිටියා’ කියලයි. ඒ නිසා පාවුල් ඔවුන්ව අගය කළා. (1 කොරි. 11:2) ඒ ඉගැන්වීම් දෙවිගෙන් හා යේසුස්ගෙන් ලැබුණ නිසා ඒවා විශ්වාසවන්තයි.

11. කෙනෙක් දෙවිගෙන් ඈත් වෙන්නේ කොහොමද?

11 කෙනෙක් දෙවි ගැන තියෙන විශ්වාසය නැති කරගෙන දෙවිට අකීකරු වෙන විදි දෙකක් ගැන පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලිව්වා. (හෙබ්‍රෙව් 2:1; 3:12 කියවන්න.) එකක් තමයි කෙනෙක් නොදැනුවත්වම දෙවිගෙන් ඈත් වෙන එක. අනිත් එක හිතාමතාම දෙවිගෙන් ඈත් වෙන එක. හිතන්න, ඉවුරක තියෙන බෝට්ටුවක් ගැන. ඉවුරක නවත්වලා තියෙන බෝට්ටුවක් ඉබේම ටිකෙන් ටික ඈතට ඇදී යන්න පුළුවන්. ඒ හා සමානව කෙනෙක් නොදැනුවත්වම දෙවිගෙන් ටිකෙන් ටික ඈත් වෙන්න ඉඩ තියෙනවා. අනිත් අතට කෙනෙකුට පුළුවන් ඉවුරේ තියෙන බෝට්ටුවක් ඈතට තල්ලු කරලා යවන්න. කෙනෙක් වුවමනාවෙන්ම දෙවිගෙන් ඈත් වෙන එක ඒ වගේ දෙයක්. අපිව රවටන්න හදන අයට රැවටිලා සත්‍ය ඉගැන්වීම් ගැන අපිට තියෙන විශ්වාසය අඩු කරගත්තොත් ඒ දෙකෙන් කොයි විදිහට හරි අපි දෙවිගෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා.

12. දෙවිත් එක්ක තියෙන බැඳීම නැති වෙන්න පුළුවන් මොන වගේ දේවලින්ද?

12 තෙසලෝනික සභාවේ හිටපු සමහරු තමන්ව රවට්ටන්න අනිත් අයට ඉඩ දුන්නා. අපේ කාලය අනවශ්‍යය දේවලට වැය කළොත් අපිටත් ඒක වෙන්න පුළුවන්. සමහර විනෝදාංශ සඳහා, මිතුරු සමාජ වෙව් අඩවිවල සැරිසරන්න, ඊ-මේල් යවන්න ඒවා කියවන්න, අලුත්ම ක්‍රීඩා ප්‍රවෘත්ති ගැන හොයලා බලන්න කොයි තරම් කාලයක් වැය වෙනවද? ඒ දේවල් නිසා දෙවිට සේවය කරන්න කෙනෙක්ට තියෙන උද්‍යෝගය අඩු වෙන්න පුළුවන්. දෙවිට මුළු හිතින්ම යාච්ඤා කරන එක ඔහු නතර කරන්න ඉඩ තියෙනවා. බයිබලය අධ්‍යයනය කරන්න, රැස්වීම්වලට යන්න, දේශනා සේවයේ යන්න කාලය හොයාගන්න ඔහුට බැරි වෙනවා. ඒ වගේ දෙයක් අපිට නොවෙන්න නම් අපි මොනවද කරන්න ඕනෙ?

ආරක්ෂා වෙන්න පුළුවන් විදි

13. අද ඉන්න වැඩිදෙනෙක්ට තියෙන්නේ මෙන වගේ ආකල්පයක්ද? අපිට ආරක්ෂාවක් වෙන්නේ මොකක්ද?

13 මේ දුෂ්ට සමාජය විනාශ වෙන්න ඉතාම ආසන්නයි. ඒක තේරුම් නොගෙන ඉන්න අයව ආශ්‍රය කරන එකෙන් අපිට අනතුරක් වෙන්න පුළුවන්. ඒ ගැන පේතෘස් ලිව්වේ මෙහෙමයි. “අවසාන කාලයේදී සමච්චල් කරන්නෝ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. ඔවුහු තම ආශාවන් අනුව හැසිරෙමින්, ‘ඔහු පැමිණ සිටිනවා කියා පොරොන්දු වුණත් සිදු වී ඇත්තේ කුමක්ද? අපගේ මුතුන්මිත්තන් ජීවත් වී දැන් මිය ගොස්ද අවසානයි. නමුත් මේ ලෝකය සෑදූ දා පටන් කිසි දෙයක් කිසි ලෙසකින්වත් වෙනස් වී නැත’ කියා පවසන්නෝය.” (2 පේතෘ. 3:3, 4) අපි ඉන්නේ “අවසාන කාලයේ” කියන දේ හැම වෙලාවේම මතක තියාගන්න බයිබලය කියවන එකත් ඒක අධ්‍යයනය කරන එකත් අපිට උදව් වෙනවා. සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව මහ කැරැල්ලක් ඇති වෙනවා කියපු අනාවැකිය එදා වගේම අදත් ඉටු වෙනවා. ඒ වගේම “පව්කාර මනුෂ්‍යයා” අදටත් දෙවිගේ සේවකයන්ට විරුද්ධව ක්‍රියා කරනවා. ඒ නිසා දෙවිගේ දවස අත ළඟයි කියන දේ අපි හැම වෙලේම මතක තියාගමු. ඒක අපේ මනසට ආරක්ෂාවක්.—ශෙප. 1:7.

හොඳින් සූදානම් වෙලා දේශනා සේවයේ හවුල් වෙනවා නම් ‘මනස අවුල් කර නොගෙන’ ඉන්න අපිට පුළුවන් (14 සහ 15 ඡේද බලන්න)

14. දේශනා සේවයේ නිතිපතා හවුල් වීම අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

14 අපේ මනස අවුල් කරගන්නේ නැතුව ඉන්න පුළුවන් තවත් විදිහක් තමයි නිතිපතා දේශනා සේවයේ හවුල් වෙන එක. ලොව පුරා ශුභාරංචිය දේශනා කරන්න කියලත් මිනිසුන්ට තමන්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන්න කියලත් යේසුස් කිව්වා. ඒ කාර්යයේ දිගටම නියැලීම තමන්ගේ අනුගාමිකයන්ට ආරක්ෂාවක් කියලා ඔහු දැනගෙන හිටියා. (මතෙ. 28:19, 20) යේසුස් කියපු දේට කීකරු වෙන්න නම් අපි දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන එක අත්‍යවශ්‍යයි. එදා තෙසලෝනික සභාවේ හිටපු අය ඕනෑවට එපාවට දේවසේවයේ නියැලුණේ නැහැ. ඔවුන් සේවය කළේ උද්‍යෝගයෙන්. “ඔබ තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට තිබෙන ප්‍රස්තාවට බාධා ඇති වීමට ඉඩ නොදෙන්න. අනාවැකි කීම් හෙළා නොදකින්න” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (1 තෙස. 5:19, 20) බයිබලයේ ඇති අනාවැකි අධ්‍යයනය කරන එකත් ඒ ගැන අනිත් අයට කියන එකත් මොන තරම් වටිනවද!

15. පවුලේ නමස්කාරයේදී අපිට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

15 අපේ පවුලේ අයටත් දේශනා සේවයේ හොඳින් හවුල් වෙන්න අපි උදව් කරන්න ඕනෙ. පවුලේ නමස්කාරය කරන වෙලාවේදී අපිට ඒ සඳහා පුහුණු වෙන්න යම් කාලයක් වෙන් කරන්න පුළුවන්. උදාහරණයකට නැවත බැලීම් කරන විදිහ පුහුණු වෙන්න. නැවත ගිහින් කෙනෙක්ව හම්බ වෙද්දී කතා කරන්නේ මොනවද, ඒ කෙනාගේ උනන්දුව දිගටම තියාගන්න කියන්න පුළුවන් මොන වගේ දේවල්ද, නැවත බැලීම කරන්න හොඳම වෙලාව මොකක්ද වගේ දේවල් ගැන කතා කරන්න. ඒ විතරක් නෙවෙයි රැස්වීම්වලට සූදානම් වෙන්නත් පවුලේ නමස්කාරය කරන වෙලාවෙන් යම් කාලයක් වෙන් කරන්න පුළුවන්. අපි හොඳින් සූදානම් වෙලා රැස්වීම්වලට සහභාගි වෙනවා නම් අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙයි. අපේ මනස අවුල් කර නොගෙන ඉන්න ඒක අපිට ලොකු ආරක්ෂාවක්. (ගීතා. 35:18) ඒ වගේම බයිබලයේ හරියටම කියලා නැති දේවල් ගැන එක එක නිගමනවලට ඇවිත් ඒ දේවල් ගැන සැක ඇති කරගන්නේ නැතුව ඉන්නත් පවුලේ නමස්කාරය අපිට උපකාරයක්.

16. මනස අවුල් කර නොගෙන ඉන්න අභිෂේක ලත් අයට උදව් වෙන්නේ මොකක්ද?

16 බයිබලයේ සඳහන් අනාවැකි ගැන දෙවිගේ සෙනඟට තියෙන අවබෝධය තවත් වැඩි කරගන්න පහුගිය අවුරුදු ගණනාව පුරාම දෙවි උදව් කරලා තියෙනවා. ඒ නිසා අපිට ලැබෙන ලස්සන අනාගතය ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙලා තියෙනවා. ස්වර්ගයේ ජීවිතයක් ලබන්න අභිෂේක ලත් අයට තියෙන බලාපොරොත්තුව, මනස අවුල් කර නොගෙන ඉන්න ඔවුන්ට උදව්වක්. එදා තෙසලෝනිකවරුන්ට පාවුල් කියපු මේ දේ අද ඉන්න අභිෂේක ලත් අයටත් අදාළයි. ‘යෙහෝවා දෙවිගේ ප්‍රේමය ලබා සිටින සහෝදරයෙනි, ඔබ ගැන නිතරම දෙවිට ස්තුති දීමට අපි බැඳී සිටින්නෙමු. මන්ද ඔබව තම බලයෙන් ශුද්ධ කිරීමෙන් හා සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔබ දැක්වූ විශ්වාසය පදනම් කරගෙන දෙවි මුල සිටම ඔබව තෝරාගත්තේය.’—2 තෙස. 2:13.

17. 2 තෙසලෝනික 3:1-5හි ඇති මඟ පෙන්වීම් අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

17 අභිෂේක ලත් අය වගේම මේ පොළොවේ සදාකාලයටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඔවුන්ගේ මනස අවුල් කර නොගෙන ඉන්න ලොකු උත්සාහයක් දරන්න ඕනෙ. පාවුල් තෙසලෝනික සභාවේ අයට දීපු මඟ පෙන්වීම් අපි නිතරම මතක තියාගමු. (2 තෙසලෝනික 3:1-5 කියවන්න.) බයිබලයේ නිශ්චිතවම කියලා නැති දේවල් ගැන විවිධ නිගමනවලට එන එකෙන් වැළකිලා ඉන්න ඒ ලිපි දෙක අපිට උදව් වෙනවා. අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේ නිසා ඒ අනතුරු ඇඟවීම් අපිට ප්‍රයෝජනවත් වෙයි කියන එක නම් නිසැකයි.

^ 6 ඡේ. “ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි” කියලා ක්‍රියා 20:29, 30 සඳහන් වෙනවා. කාලයක් යද්දී සභාවේ මූලිකත්වය අරගෙන වැඩ කරපු අය සභාවේ අනිත් අයගෙන් වෙන් වෙලා වැඩ කරන්න පටන්ගත්තා. ක්‍රි.ව. 200 පස්සේ “පව්කාර මනුෂ්‍යයා” කියන්නේ ක්‍රිස්තියානියයි කියා ගන්නා ආගම්වල පූජකයන් කියලා හොඳටම පැහැදිලි වුණා.—1991 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ 14-19 පිටු බලන්න.