Skip to content

පටුනට යන්න

“බැටළු පැටවාගේ විවාහය”

“බැටළු පැටවාගේ විවාහය”

‘අපි ප්‍රීති වෙමු. ප්‍රීතියෙන් ඉපිල යමු. මන්ද බැටළු පැටවාගේ විවාහය සිදු වන අවස්ථාව පැමිණ තිබේ.’එළි. 19:7.

1, 2. (අ) ස්වර්ගයේ සිටන අය ප්‍රීති වන්නේ කවුරුන්ගේ විවාහය නිසාද? (ආ) අපි පිළිතුරු දැනගැනීමට කැමැත්තෙන් සිටින්නේ කුමන ප්‍රශ්නවලටද?

විවාහ උත්සවයක් සැලසුම් කරන්න යම් කාලයක් ගත වන බව කවුරුත් පිළිගන්නවා. නමුත් අවුරුදු 2,000ක පමණ කාලයක් පුරා සැලසුම් කරන රාජකීය විවාහ උත්සවයක් ගැන ඔබ දන්නවාද? ඒ විවාහ උත්සවය ළඟදීම පැවැත්වීමට නියමිතයි. එය පැවැත්වෙන රජ මැදුර සිසාරා සුමියුරු සංගීතයක් පැතිර යද්දී රැස්ව සිටින පිරිස මෙසේ ගායනා කරයි. “ජනයෙනි, හලෙලූයා! මන්ද අපගේ දෙවි වන සියලු බලැති යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇත. අපි ප්‍රීති වෙමු. ප්‍රීතියෙන් ඉපිල යමු. එලෙසම ඔහුට සියලු ප්‍රශංසා හා ගෞරවය ලබා දෙමු. මන්ද බැටළු පැටවාගේ විවාහය සිදු වන අවස්ථාව පැමිණ තිබේ. ඔහුගේ භාර්යාවද ඒ විවාහය සඳහා සූදානම්ව සිටියි.”එළි. 19:6, 7.

2 එම බැටළු පැටවා, එසේත් නැත්නම් මනාලයා යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙකු නෙවෙයි. (යොහ. 1:29) ඔහුගේ විවාහ උත්සවය ස්වර්ගයේ සිටින සෑම කෙනෙකුටම ගෙන දෙන්නේ ඉමහත් සතුටක්. මනාලයා ඇඳ පැළඳ සිටින්නේ කුමනාකාරයෙන්ද? යේසුස්ගේ මනාලිය වන්නේ කවුද? විවාහය සඳහා ඇයව සූදානම් කළේ කෙසේද? විවාහ උත්සවය පවත්වන්නේ කවදාද? පොළොවේ සදාකාලයටම ජීවත් වන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් එම උත්සවය නිසා ප්‍රීති වනවාද? ඒ කුතුහලය දනවන ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම සඳහා 45වෙනි ගීතිකාව අපි තවදුරටත් අධ්‍යයනය කරමු.

‘ඔහු සුගන්ධවත් වූ වස්ත්‍ර පැළඳ සිටියි’

3, 4. (අ) ගීතිකාකරු මනාලයාගේ මංගල වස්ත්‍ර ගැන පැවසුවේ කුමක්ද? ඔහුගේ ප්‍රීතිය තවත් වැඩි වන්නේ ඇයි? (ආ) ඔහු සමඟ ප්‍රීති වීමට හවුල් වන “රජවරුන්ගේ දියණියන්” සහ රැජිණ කවුරුන්ද?

3 ගීතාවලිය 45:8, 9 කියවන්න. මනාලයා විවාහ උත්සවයට සහභාගි වීම සඳහා ඔහුගේ රාජකීය මංගල වස්ත්‍රය පැළඳගනියි. එයින් නික්මෙන ‘ඉස්තරම්ම වර්ගයේ සුවඳ’ අතීතයේදී කෙනෙක්ව අභිෂේක කිරීම සඳහා භාවිත කළ තෛලය සෑදීමට යොදාගත් සුවඳ ලාටු සහ පැඟිරි කුරුඳු වැනි සුවඳ ද්‍රව්‍යවලින් නික්මුණු සුවඳට සමානයි.නික්. 30:23-25.

4 විවාහ උත්සවයේ ආරම්භය ළං වන විට මැදුරෙන් නික්මෙන සුමියුරු සංගීතය නිසා මනාලයාගේ සතුට දෙගුණ තෙගුණ වනවා. ඔහු සමඟ ඒ සතුට භුක්ති විඳින්න රැජිණද හවුල් වනවා. රැජිණගෙන් නියෝජනය වන්නේ දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තිබෙන කොටසයි. එයට “රජවරුන්ගේ දියණියන්” ලෙස හඳුන්වන දේවදූතයන්ද ඇතුළත්. ඒ අවස්ථාවේදී ස්වර්ගයෙන් නික්මුණු හඬක් මෙසේ පවසනවා. ‘අපි ප්‍රීති වෙමු. ප්‍රීතියෙන් ඉපිල යමු. මන්ද බැටළු පැටවාගේ විවාහය සිදු වන අවස්ථාව පැමිණ තිබේ.’

මනාලියව සූදානම් කරයි

5. “බැටළු පැටවාගේ භාර්යාව” කවුද?

5 ගීතාවලිය 45:10, 11 කියවන්න. යේසුස්ගේ මනාලිය කවුද? ඇගෙන් නියෝජනය වන්නේ අභිෂේක ලත් 1,44,000දෙනායි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත සභාවේ හිස යේසුස්. (එෆීස 5:23, 24 කියවන්න.) ඔවුන් යේසුස් සමඟ දේවරාජ්‍යයේ රජවරුන් ලෙස පාලනය කරනවා. (ලූක් 12:32) ඔවුන් ‘බැටළු පැටවා කොතැනකට ගියත් දිගටම ඔහු පසුපස යනවා.’ (එළි. 14:1-4) “බැටළු පැටවාගේ භාර්යාව” වන ඔවුන් ඔහු සමඟ ස්වර්ගයේ ජීවත් වනවා.එළි. 21:9; යොහ. 14:2, 3.

6. අභිෂේක ලත් අයව “රජුගේ දියණිය” කියා හඳුන්වන්නේ ඇයි? ඔවුන්ට ඔවුන්ගේ සෙනඟව අමතක කර දමන්න කියා පැවසුවේ ඇයි?

6 මනාලියව “දියණිය” කියාත් “රජුගේ දියණිය” කියාත් ගීතිකාකරු හඳුන්වනවා. (ගීතා. 45:13) එහි සඳහන් රජු යෙහෝවා දෙවියි. දෙවි අභිෂේක ලත් අයව ඔහුගේ “දරුවන්” ලෙස පිළිගෙන තිබෙන බව බයිබලයේ පවසනවා. (රෝම 8:15-17) මනාලියට “ඔබේ පියාගේ නිවසද ඔබේ සෙනඟවද අමතක කර දමන්න” කියා පවසන්නේ ඇයි? අභිෂේක ලත් අය ස්වර්ගයට ගොස් යේසුස්ගේ මනාලිය වීමට නියමිතයි. ඒ නිසා ඔවුන්ගේ “මනස පොළොවේ තිබෙන දේවලට නොව ස්වර්ගයේ තිබෙන දේවලට යොමු කර තබාගන්න” අවශ්‍යයි.කොලො. 3:1-4.

7. (අ) යේසුස් තම මනාලියව සූදානම් කරන්නේ කෙසේද? (ආ) මනාලිය යේසුස්ව පිළිගන්නේ කෙසේද?

7 යේසුස් සියවස් ගණනාවක් පුරා තම මනාලියව විවාහ උත්සවය වෙනුවෙන් සූදානම් කරමින් සිටිනවා. ඔහු එය කරන්නේ කෙසේද? ඒ ගැන පාවුල් පැවසුවේ මෙසේයි. ‘ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්නා. ඔහු එසේ කළේ දේවවචනය නමැති වතුරෙන් එය සෝදා පිරිසිදු කර, එය ශුද්ධ වූ තත්වයකට පත් කිරීම සඳහාය. එමෙන්ම තම සභාව පැල්ලමක්වත් දෝෂයක්වත් වෙනත් කිසි වරදක්වත් නැති, ශුද්ධ මෙන්ම නිකැළැල්, මහත් අලංකාරයකින් බැබළෙන දෙයක් ලෙස තමන් ඉදිරියේ තබාගැනීම සඳහාය.’ (එෆී. 5:25-27) කොරින්ති සභාවේ අභිෂේක ලත් අයට පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “දෙවි ඔබට දක්වන සැලකිල්ලට සමාන ගැඹුරු සැලකිල්ලක් මමත් ඔබට දක්වමි. මන්ද මා පෞද්ගලිකව පොරොන්දු වුණේ එක් පුරුෂයෙකුට එනම් ක්‍රිස්තුස්ට පමණක් ඔබව විවාහ කර දෙන බවය. එහෙයින් මගේ ආශාව වන්නේ ඔබව නිර්මල යුවතියක් ලෙස ඔහුට භාර දීමටයි.” (2 කොරි. 11:2) අභිෂේක ලත් අය දෙවි පිළිගන්නා, පිරිසිදු නමස්කාරයක් කරන නිසා යේසුස් තම මනාලියව දකින්නේ ‘රූපශ්‍රීයෙන්’ පිරිපුන් තැනැත්තියක් ලෙසයි. මනාලියත් තම හිස නමා යේසුස් තම “ස්වාමියා” ලෙස පිළිගනු ලබනවා.

මනාලියව ‘රජු ඉදිරියට ගෙන එයි’

8. මනාලිය “තේජශ්‍රීයෙන් වැජඹෙයි” කියා විස්තර කර තිබෙන්නේ ඇයි?

8 ගීතාවලිය 45:13, 14 කියවන්න. “ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ” මනාලිය “තේජශ්‍රීයෙන් වැජඹෙයි.” එළිදරව් 21:2හි මනාලියව ශුද්ධ නුවර වන නව යෙරුසලමට සමාන කරනවා. ස්වර්ගයේ තිබෙන ‘දෙවිගේ තේජසින්’ බැබළෙන එම නුවරේ “දීප්තිය ඉතා අනර්ඝ මැණිකක් හා සමාන විය. එය ඉතා පැහැදිලි පළිඟු මෙන් බැබළෙන ජැස්පර් ගලක් හා සමානය.” (එළි. 21:10, 11) අභිෂේක ලත් අයව සමාන කර තිබෙන නව යෙරුසලමේ උත්කෘෂ්ට පෙනුම ඉතා විචිත්‍රවත් ආකාරයකින් එළිදරව් පොතේ විස්තර කර තිබෙනවා. (එළි. 21:18-21) මනාලිය “තේජශ්‍රීයෙන් වැජඹෙයි” කියා ගීතිකාකරු පැවසීම ගැන අපි පුදුම විය යුතුද!

9. මනාලියව රැගෙන එන්නේ කවුරුන් වෙතටද? ඇය සැරසී සිටින්නේ කෙසේද?

9 මනාලියව දේවරාජ්‍යයේ රජු වෙත රැගෙන එනවා. ‘දේවවචනය නමැති වතුරෙන් සෝදා පිරිසිදු කර’ තිබෙන නිසා ඇය සිටින්නේ “ශුද්ධ මෙන්ම නිකැළැල්” තත්වයකයි. (එෆී. 5:26, 27) ඒ වගේම මනාලිය සැරසී සිටිය යුත්තේ විවාහ උත්සවයට ගැළපෙන ආකාරයටයි. ‘රන් නූල්වලින් වැඩ දමා ඇති අනර්ඝ වස්ත්‍රවලින් සැරසී සිටින ඇයව රජු ඉදිරියට ගෙන එනු ලබන්නේය’ කියා ගීතිකාකරු පවසනවා. බැටළු පැටවා සමඟ විවාහ වීම සඳහා “පිරිසිදු, අනගි ලිනන් සළුපිළිවලින් සැරසී සිටීමට” ඇය අවසර ලබා සිටිනවා. “ඒ පිරිසිදු ලිනන්වලින් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය” වෙයි.එළි. 19:8.

විවාහ උත්සවය ආරම්භ වෙයි

10. බැටළු පැටවාගේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ කවදාද?

10 එළිදරව් 19:7 කියවන්න. බැටළු පැටවාගේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ කවදාද? “ඔහුගේ භාර්යාවද ඒ විවාහය සඳහා සූදානම්ව සිටියි” කියා එළිදරව් 19:7හි සඳහන් වුණත් එයට පසුව ඇති ඡේදවල විවාහ උත්සවය ගැන සඳහන් වන්නේ නැහැ. ඒ වෙනුවට එහි සඳහන් වන්නේ මහත් පීඩාවේ අවසාන කාල පරිච්ඡේදය ගැනයි. (එළි. 19:11-21) ඉන් අදහස් කරන්නේ රජුගේ අවසන් ජයග්‍රහණයට කලින් මෙම විවාහ උත්සවය පැවත්වෙන බවද? නැහැ. එළිදරව් පොතේ සඳහන් සිද්ධීන් පෙළගස්වා තිබෙන්නේ ඒවා සිදු වන අනුපිළිවෙළටම නෙවෙයි. නමුත් රජ තම කඩුව ඉණේ බැඳගෙන තම සතුරන්ව පරාජය කළ පසුව එම රාජකීය විවාහ උත්සවය පැවැත්වෙන බව 45වෙනි ගීතිකාවේ සඳහන් වනවා.ගීතා. 45:3, 4.

11. විවාහය සිදු වීමට පෙර යේසුස් කරන්නේ මොනවාද?

11 බයිබලයේ සඳහන් ඉදිරියේදී සිදු වන සිද්ධීන් පෙළගැසෙන අනුපිළිවෙළ දැන් අපි බලමු. මුලින්ම “මහා ගණිකාව” ලෙස හඳුන්වන මහ බැබිලෝනිය එනම් අසත්‍යය උගන්වන සියලුම ආගම් විනාශ කිරීමට නියමිතයි. (එළි. 17:1, 5, 16, 17; 19:1, 2) දෙවනුව යේසුස් විසින් සාතන්ගේ දුෂ්ට සමාජය ‘සියලු බලැති දෙවිගේ මහත් දවස’ වන හර්–මගෙදොන් යුද්ධයේදී සම්පූර්ණයෙන්ම නැති කර දමනවා.(එළි. 16:14-16; 19:19-21) තුන්වෙනුව සාතන්ව සහ භූතයන්ව අගාධයට හෙළීමෙන් රජ තම ජයග්‍රහණය සම්පූර්ණ කරයි.එළි. 20:1-3.

12, 13. (අ) බැටළු පැටවාගේ විවාහය සිදු වන්නේ කවදාද? (ආ) ඒ ගැන ප්‍රීති වන්නේ ස්වර්ගයේ සිටින තවත් කවුරුන්ද?

12 මරණය දක්වාම විශ්වාසවන්තව සිටින අභිෂේක ලත් අයව ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනවා. මහ බැබිලෝනිය විනාශ කළ පසුව පොළොවේ ඉතිරි වී සිටින අභිෂේක ලත් අයවත් යේසුස් ස්වර්ගයට රැස් කරනවා. (1 තෙස. 4:16, 17) ඒ අනුව හර්–මගෙදොන් යුද්ධයට කලින් අභිෂේක ලත් සියලුදෙනාම යේසුස් සමඟ ස්වර්ගයේ සිටීමට නියමිතයි. විවාහ උත්සවය පැවැත්වෙන්නේ හර්–මගෙදොන් යුද්ධයට පසුවයි. එය කොතරම් ප්‍රීතිමත් අවස්ථාවක් වේවිද! ඒ ගැන එළිදරව් 19:9හි පවසන්නේ “බැටළු පැටවාගේ විවාහ උත්සවයේ සන්ධ්‍යා භෝජනයට ආරාධනා කරනු ලැබූ අය සන්තෝෂවත්ය” කියායි. මනාලිය ප්‍රීතියෙන් ඉපිල යයි. තමන් සමඟ අභිෂේක ලත් සියලුදෙනාම ස්වර්ගයේ සිටීම ගැන රජද සතුටු වෙයි. (ලූක් 22:18, 28-30) සතුටු වන්නේ මනාලිය සහ මනාලයා පමණක් නෙවෙයි.

13 ස්වර්ගයේ සිටින සියලුදෙනාත් සතුටු වනවා. මුල් ඡේදයේ සඳහන් වූ පරිදි ඔවුන් මෙසේ ගායනා කරයි. “අපි ප්‍රීති වෙමු. ප්‍රීතියෙන් ඉපිල යමු. එලෙසම ඔහුට සියලු ප්‍රශංසා හා ගෞරවය ලබා දෙමු. මන්ද බැටළු පැටවාගේ විවාහය සිදු වන අවස්ථාව පැමිණ තිබේ.” (එළි. 19:6, 7) පොළොවේ සිටින දෙවිගේ සෙනඟත් මෙම විවාහය ගැන සතුටු වනවාද?

‘සැවොම මහත් සේ ප්‍රීති වන්නෝය’

14. 45වෙනි ගීතිකාවේ සඳහන් වන “යෙහෙළියන්” හෙවත් “කන්‍යා තරුණියන්” කවුද?

14 ගීතාවලිය 45:12, 14, 15 කියවන්න. අවසාන කාලයේදී පොළොව පුරාම සිටින විශාල සෙනඟක් අභිෂේක ලත් අය සමඟ එක්ව දෙවිට නමස්කාර කරන බව සෙකරියා අනාවැකියකින් මෙසේ පැවසුවා. “ඒ දවස්වලදී, සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු දසදෙනෙක් යුදෙව් ජාතිකයෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගෙන මෙසේ පවසනු ඇත. ‘දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.’” (සෙක. 8:23) එහි සඳහන් ‘මිනිස්සු දසදෙනා’ ගීතාවලිය 45:12හි සඳහන් ‘තීර් දියණියට’ සහ ‘ධනවන්තයන්ට’ සමානයි. එම පිරිස අභිෂේක ලත් අයට තෑගි දෙන අතර ඔවුන්ට සහය දෙන්නත් දෙවිට සේවය කිරීමට අවශ්‍ය උපකාර ඔවුන්ගෙන් ලබාගන්නත් මහන්සි වී වැඩ කරනවා. අභිෂේක ලත් අය 1935 සිට මිලියන ගණන්දෙනාට යෙහෝවා දෙවි ගැන සත්‍යය උගන්වා ඔවුන්ට “ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට” අවස්ථාව ලබා දී තිබෙනවා. (දානි. 12:3) ‘මිනිස්සු දසදෙනාගෙන්’ නියෝජනය කරන අය අසත්‍ය ඉගැන්වීම්වලින් ඉවත් වී පවිත්‍රව සිටිනවා. ඔවුන්ව “යෙහෙළියන්” හෙවත් “කන්‍යා තරුණියන්” ලෙස හඳුන්වන්නේ ඒ නිසයි. (ගීතා. 45:14, පාදසටහන.) ඔවුන් තම ජීවිත යෙහෝවා දෙවිට කැප කර තිබෙන අතර ඔවුන්ගේ රජු වන යේසුස්ගේ විශ්වාසවන්ත සේවකයන් කියා ඔප්පු කර තිබෙනවා.

15. “යෙහෙළියන්” අභිෂේක ලත් අයට උපකාර කරන්නේ කෙසේද?

15 ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ ලොව පුරාම දේශනා කරන්න තමන්ට උපකාර කිරීම ගැන පොළොවේ සිටින අභිෂේක ලත් අය “යෙහෙළියන්” වන වෙනත් බැටළුවන්ට බොහෝ සේ ස්තුතිවන්ත වනවා. (මතෙ. 24:14) එන්න කියා ආරාධනාව කරන්නේ “දෙවිගේ බලය හා මනාලිය” පමණක් නෙවෙයි. “ඊට සවන් දෙන තැනැත්තාද, ‘එන්න’ කියා පැවසිය යුතුයි.” (එළි. 22:17) ඉන් අදහස් කරන්නේ “එන්න” කියා අභිෂේක ලත් අය කරන ආරාධනාව පිළිගන්නා “වෙනත් බැටළුවන්ද” එන්න කියා තවත් අයට පවසන බවයි.යොහ. 10:16.

16. වෙනත් බැටළුවන්ට දෙවි දී තිබෙන වරප්‍රසාදය කුමක්ද?

16 අභිෂේක ලත් අය වෙනත් බැටළුවන්ට බොහෝ සේ ප්‍රේම කරනවා. තම විවාහ උත්සවය ගැන ප්‍රීති වන්න දෙවි වෙනත් බැටළුවන්ටත් අවස්ථාව ලබා දීම ගැන ඔවුන් සිටින්නේ සතුටින්. මනාලියගේ “යෙහෙළියන්” “සැවොම ප්‍රීති ඝෝෂා නඟමින් මහත් සේ ප්‍රීති වන්නෝය” කියා ගීතිකාකරු පවසනවා. බැටළු පැටවාගේ විවාහ උත්සවය පැවැත්වෙන විට ඒ ගැන ප්‍රීති වන සියලුදෙනා සමඟ වෙනත් බැටළුවන්ද මහත් සේ ප්‍රීති වනවා. “මහත් සමූහය” කියාද හඳුන්වන ඔවුන් “සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටියෝය” කියා එළිදරව් පොතේ සඳහන් වනවා. ඔවුන් පොළොවේ සිට දෙවිගේ සංකේතවත් දේවමාලිගාවේ සේවය කරමින් සිටිනවා.එළි. 7:9, 15.

බැටළු පැටවාගේ විවාහය ගැන මනාලියගේ “යෙහෙළියන්” සතුටු වනවා (16 ඡේදය බලන්න)

“ඔබේ මුතුන්මිත්තන් වෙනුවට ඔබේ පුත්‍රයන්”

17, 18. බැටළු පැටවාගේ විවාහයෙන් පොළොවේ ඉන්න අයට ආශීර්වාද ලැබෙන්නේ කෙසේද? දහස් අවුරුදු පාලනය තුළදී යේසුස් පියාණන් වන්නේ කාටද?

17 ගීතාවලිය 45:16 කියවන්න. ‘යෙහෙළියන්ට’ සතුටු වන්න තවත් හේතුවක් තිබෙනවා. එනම් බැටළු පැටවාගේ විවාහය මගින් පොළොවේ අයටත් ආශීර්වාද ලැබීමයි. යේසුස් තම ‘මුතුන්මිත්තන්ව’ මේ පොළොවේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනු ලබනවා. ඔවුන්ට නැවත ජීවිතය ලබා දෙන්නේ යේසුස් නිසා ඔවුන් යේසුස්ගේ “පුත්‍රයන්” වනවා. (යොහ. 5:25-29; හෙබ්‍රෙ. 11:35) එම දරුවන් අතරින් සමහරුන්ව ඔහු “පාලකයන්” ලෙස පත් කිරීමට නියමිතයි. “පාලකයන්” ලෙස මූලිකත්වය ගෙන වැඩ කිරීම සඳහා අද සිටින වැඩිමහල්ලන්ගෙන් පිරිසක්වද යේසුස් තෝරාගනියි කියා සිතිය හැකියි.යෙසා. 32:1.

18 දහස් අවුරුදු පාලනය තුළදී යේසුස් තවත් අයට පියෙක් වනවා. ඒ කෙසේද? ඔහුගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තබන සියලුදෙනාට මේ පොළොවේ සදාකල් ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. (යොහ. 3:16) යේසුස් ඔවුන්ගෙත් “සදාකාල පියාණන්” කියා පවසන්නේ ඒ නිසයි.යෙසා. 9:6, 7.

රජුගේ ‘නාමය ප්‍රකාශ කරමු’

19, 20. 45වෙනි ගීතිකාවේ සඳහන් සිද්ධීන් අද සිටින අපි සියලුදෙනාට වැදගත් වන්නේ ඇයි?

19 ගීතාවලිය 45:1, 17 කියවන්න. අපි සියලුදෙනාටම 45වෙනි ගීතිකාවේ තිබෙන තොරතුරු අධ්‍යයනය කිරීමෙන් ප්‍රයෝජන රාශියක් ලැබිය හැකියි. ස්වර්ගයේ සිටින තම සහෝදරයන් හා බැටළු පැටවා සමඟ එක් වන දිනය වැඩි ඈතක නෙවෙයි කියා දැනගන්න ලැබීම පොළොවේ ඉතිරි වී සිටින අභිෂේක ලත් අයට මහත් සතුටක්. දිගටම තම තේජාන්විත රජුට යටත්ව ජීවත් වන්න වෙනත් බැටළුවන්ට ඇති අධිෂ්ඨානයත් එමගින් තවත් ශක්තිමත් වනවා. තවමත් පොළොවේ ඉතුරු වී සිටින අභිෂේක ලත් අය සමඟ එක්ව වැඩ කරන්න ලැබීමෙන් ඔවුන් මහත් සේ සතුටු වනවා. බැටළු පැටවාගේ විවාහයෙන් පසුව මිනිස් වර්ගයාට ලැබෙන ආශීර්වාද වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.එළි. 7:17; 21:1-4.

20 දේවරාජ්‍යයේ රජු පිළිබඳ බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වන තුරු බලා සිටින මේ කාලයේ ඔහුගේ නාමය ගැන ජනයාට පවසන්න අපි තුළ පෙළඹීමක් ඇති වන්නේ නැද්ද? “සදාකාලයෙන් සදාකාලයට” රජුට ප්‍රශංසා කරන්න අපි අධිෂ්ඨාන කරගමු.