Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි අපේ හොඳම මිතුරායි

යෙහෝවා දෙවි අපේ හොඳම මිතුරායි

‘ආබ්‍රහම්ව “යෙහෝවා දෙවිගේ මිත්‍රයා” ලෙස හඳුන්වනු ලැබීය.’යාකො. 2:23.

1. දෙවිගේ ගතිලක්ෂණ ඇතුව අපිව නිර්මාණය කරලා තියෙන නිසා අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොනවද?

“ඇරපු අතක් නැහැ පුතා නම් තාත්තා වගේමයි.” හුඟක් අය එහෙම කියනවා ඔබ අහලා ඇති. දෙමව්පියන්ගේ ජාන දරුවන්ට උරුම නිසා ඒ අයගේ ගතිලක්ෂණ දරුවන්ටත් පිහිටනවා. ජීවිතයේ උල්පත වෙන යෙහෝවා දෙවි අපි හැමෝගෙම පියා නිසා දෙවිගේ ගතිලක්ෂණ යම් දුරකට අපිටත් පිහිටලා තියෙනවා. (ගීතා. 36:9) තර්කානුකූලව හිතන්න, තීරණ ගන්න වගේම මිතුදම් ඇති කරගෙන දිගටම ඒවා පවත්වාගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි.උත්. 1:26.

2. යෙහෝවා දෙවි එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන්වෙලා තියෙන්නේ කොහොමද?

2 යෙහෝවා දෙවිවත් අපේ හොඳම මිතුරා කරගන්න පුළුවන්. දෙවි එක්ක මිතුරු වෙන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඔහු අපිට පෙන්වන අසීමිත ප්‍රේමය නිසයි. ඒ වගේම අපේ පැත්තෙනුත් යමක් වෙන්න ඕනේ. යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් අපි විශ්වාසය තියන්න ඕනේ. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහ. 3:16) දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් තිබුණු හුඟක් අය ගැන බයිබලයේ වාර්තා වෙනවා. අපි ඒ වගේ දෙන්නෙක් ගැන බලමු.

“මාගේ මිතුරා වන ආබ්‍රහම්”

3, 4. ආබ්‍රහම්ට දෙවි එක්ක තිබුණු මිත්‍රත්වය ඊශ්‍රායෙල් සෙනඟට තිබුණු මිත්‍රත්වයට වඩා වෙනස් වුණේ කොහොමද?

3 ආබ්‍රහම්ව යෙහෝවා දෙවි හැඳින්නුවේ “මාගේ මිතුරා” කියලයි. (යෙසා. 41:8) ආබ්‍රහම්ගේ හිතෙත් යෙහෝවා දෙවි ගැන ලොකු ආදරයක් තිබුණා. (2 ලේක. 20:7) ඔහුට දෙවි එක්ක ඒ තරම් කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්න පුළුවන් වුණේ දෙවි ගැන ලොකු විශ්වාසයක් ඔහුට තිබුණු නිසයි.උත්. 15:6; යාකොබ් 2:21-23 කියවන්න.

4 ආබ්‍රහම්ගෙන් පැවතුණු ඊශ්‍රායෙල් සෙනඟ මුල් කාලයේදී යෙහෝවා දෙවිව ඔවුන්ගේ පියා හා මිතුරා විදිහට පිළිගත්තා. ඒත් කාලයක් යද්දී ඔවුන් දෙවිගෙන් ඈත් වුණා. ඒකට හේතුව දෙවිගේ පොරොන්දු ගැන ඔවුන්ට මුලින් තිබුණු විශ්වාසය නැති වුණ නිසයි.

5, 6. (අ) යෙහෝවා දෙවිව ඔබේ මිතුරා කරගන්න පුළුවන් වුණේ කොහොමද? (ආ) අපි හිතලා බලන්න ඕනෙ මොන වගේ ප්‍රශ්නද?

5 යෙහෝවා දෙවි ගැන වැඩි වැඩියෙන් දැනගන්න තරමට දෙවි ගැන ඔබේ හිතේ තියෙන විශ්වාසයත් ආදරයත් තව වැඩි වෙනවා. දෙවි සැබෑ කෙනෙක් කියලත් ඔහුගේ කිට්ටු මිතුරෙක් වෙන්න ඔබට පුළුවන් කියලත් ඔබ මුලින්ම දැනගත්ත දවස මතකද? ඒ වගේම අපිට පාපය උරුම වෙලා තියෙන්නේ ආදම් අකීකරු වුණ නිසා කියලා ඔබ ඉගෙනගත්තා. ඒ නිසා මිනිසුන් හැමෝම ඉන්නේ දෙවිගෙන් ඈත් වෙලා කියලත් ඔබ දැනගත්තා. (කොලො. 1:21) ඒත් අපේ දෙවි පියාණන් අපි ගැන සැලකිලිමත් වෙනවා කියලත් ඔහුට ළං වෙන්න පුළුවන් කියලත් ඔබ දැනගත්තා. දෙවි අපි වෙනුවෙන් ඔහුගේ එකම පුතාව දීලා තියෙනවා කියලා දැනගත්තම යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපේ හිතේ ලොකු විශ්වාසයක් ඇති වුණා. අපිට දෙවි එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන් වුණේ ඒ නිසයි.

6 ඒ දේවල් ඉගෙනගත්ත මුල් කාලය ගැන ටිකක් හිතලා, ‘එදාට වඩා කිට්ටු බැඳීමක් දෙවි එක්ක දැන් මට තියෙනවද, මගේ හොඳම මිතුරා වෙන යෙහෝවා දෙවි ගැන මගේ හිතේ තියෙන විශ්වාසයත් ආදරයත් දවසින් දවස වැඩි වෙනවද’ කියලා ඔබෙන්ම අහලා බලන්න. දෙවි එක්ක කිට්ටු බැඳීමක් තිබුණු ගිඩියොන් ගැන දැන් බලමු.

සමාදානයේ දෙවි

7-9. (අ) ගිඩියොන් ලැබූ අපූරු අද්දැකීම මොකක්ද? ප්‍රතිඵලය මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) යෙහෝවා දෙවි එක්ක තියෙන මිත්‍රකම තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?

7 ගිඩියොන් ජීවත් වුණ කාලේ මිදියන්වරුන්ගෙන් ඊශ්‍රායෙල්වරුන්ට හුඟක් කරදර තිබුණා. දවසක් ඔෆ්රාවල සිදු වුණ දෙයක් ගැන දැනගන්න විනිශ්චයකරුවෝ 6වෙනි පරිච්ඡේදය ටිකක් බලමු. මිදියන්වරුන්ගෙන් තිරිඟු අස්වැන්න ආරක්ෂා කරගන්න ඕනෙ නිසා ගිඩියොන් මිදි මඩින යන්ත්‍රයකින් රහසින් තිරිඟු ඇට වෙන් කරකර හිටියා. ඒ වෙලාවේදී දේවදූතයෙක් ඔහු ඉදිරියේ පෙනී ඉඳලා “ඔබ එඩිතර, බලසම්පන්න කෙනෙක්” ඔබට දෙවි උදව් කරනවා කියලා ගිඩියොන්ට කිව්වා. දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරගෙන තිබුණත් මේ අවස්ථාවේදී දෙවි එහෙම කරයිද කියලා ගිඩියොන්ගේ හිතේ සැකයක් තිබුණා. ඒත් යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම උපකාර කරනවා කියලා දේවදූතයා ගිඩියොන්ට සහතික වුණා.

8 “මම කොහොමද ඊශ්‍රායෙල් සෙනඟව බේරගන්නේ” කියලා ගිඩියොන් ඇහුවම යෙහෝවා දෙවි කිව්වේ ‘මා ඔබේ උපකාරයට සිටින නිසා ඔබ පහසුවෙන්ම මිදියන්වරුන්ට පහර දී ඔවුන්ව පරාජය කරනවා’ කියලයි. (විනි. 6:11-16) ඒත් ගිඩියොන්ට ඒ ගැන විශ්වාසයක් තිබුණේ නැති නිසා ඔහු දෙවිගෙන් ලකුණක් ඉල්ලුවා. මේ දෙන්නා අතර වුණ කතාබහෙන් තේරෙන්නේ ගිඩියොන්ට යෙහෝවා දෙවි සැබෑ පුද්ගලයෙක් වුණා කියලයි.

9 ඊටපස්සේ ගිඩියොන් කෑමක් හදලා දේවදූතයාට පිළිගැන්නුවා. ඒ කෑමවලට දේවදූතයා ඔහුගේ සැරයටියෙන් තට්ටු කළාම ඒක සම්පූර්ණයෙන්ම දැවිලා ගියා. ගිඩියොන් තේරුම්ගත්තා මේ නම් යෙහෝවා දෙවිගේම දූතයෙක් කියලා. ඔහු කලබල වෙලා මෙහෙම කිව්වා. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මගේ ඇස්වලින්ම මම යෙහෝවා දෙවි වන ඔබේ දූතයෙකුව දැක්කා.” (විනි. 6:17-22) සිද්ධ වුණ දේ නිසා ගිඩියොන්ට දෙවි ගැන තිබුණු විශ්වාසය වැඩි වුණා විතරක් නෙමෙයි ඔහුට දෙවි එක්ක තිබුණු බැඳීම තවත් ශක්තිමත් වුණා. ඔහු පූජාසනයක් හදලා ඒක “යෙහෝවා-ෂාලොම්” කියලා නම් කළා. ඒකේ තේරුම ‘යෙහෝවා සමාදානයේ දෙවි’ කියන එකයි. (විනිශ්චයකරුවෝ 6:23, 24 කියවන්න.) අපිත් යෙහෝවා දෙවි අපි වෙනුවෙන් හැම දවසකම කරන දේවල් ගැන හොඳට හිතනවා නම් ඔහු සැබෑම මිතුරෙක් කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. අපි නිතිපතා දෙවිට යාච්ඤා කරද්දී අපේ හිතට දැනෙන සාමය තව තවත් වැඩි වෙනවා. ඒ වගේම දෙවි එක්ක තියෙන අපේ බැඳීමත් ශක්තිමත් වෙනවා.

ශුද්ධ කූඩාරමට ඇතුල් වීමට නම්

10. දෙවිගේ මිතුරන් වෙන්න නම් ගීතාවලිය 15:3, 5ට අනුව අපිට තියෙන්න ඕන සුදුසුකම් මොනවද?

10 දෙවිගේ කූඩාරමට ඇතුල් වෙන්න ඒ කියන්නේ ඔහුගේ මිතුරෙක් වෙන්න පුළුවන් මොන වගේ අයටද කියලා 15වෙනි ගීතිකාවේ තියෙනවා. (ගීතා. 15:1) එතන තියෙන සුදුසුකම්වලින් දෙකක් ගැන දැන් බලමු. දෙවි තමන්ගේ කූඩාරමට පිළිගන්නේ ‘කේලම් කියන්නේ නැති, අහිංසක කෙනෙකුට විරුද්ධව අසාධාරණයක් සිදු කිරීමට කිසිවිටෙක අල්ලසක් නොගන්නා’ අයවයි කියලා දාවිත් කිව්වා. (ගීතා. 15:3, 5) ඒකෙන් පැහැදිලි වෙන්නේ අපේ කතාබහ ගැන අපි පරෙස්සම් වෙන්න ඕනේ වගේම හැම කාරණයකදීම අවංක වෙන්න ඕනේ කියන එකයි.

11. අපි අනිත් අයට හානියක් වෙන විදිහට කතා කරන්න හොඳ නැත්තේ ඇයි?

11 දාවිත් ලියූ තවත් ගීතිකාවක ‘ඔබේ දිව නපුරු කතාවෙන් වළක්වාගන්න’ කියලා උපදෙසක් දුන්නා. (ගීතා. 34:13) දෙවිගේ බලය මාර්ගයෙන් ලියැවුණු ඒ උපදෙසට අපි අකීකරු වුණොත් අපේ දෙවි පියාණන් අපෙන් ඈත් වෙයි. එහෙම කියන්නේ ඇයි? අනිත් අයට නින්දා අපහාස වෙන විදිහට කතා කරන්නේ දෙවිගේ සතුරා වෙන සාතන්. ඔහුව යක්ෂයා කියලත් හඳුන්වනවා. යක්ෂයා කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයේ තේරුම අපහාස කරන්නා කියන එකයි. අපි අනිත් අයට අපහාසයක් වෙන විදිහට කතා කරනවා නම් දෙවි එක්ක තියෙන අපේ මිත්‍රකම දිගටම තියාගන්න බැරි වෙනවා. ඒ නිසා අපේ කතාබහ ගැන පරෙස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම සභාවේ පෙරමුණ ගන්න සහෝදරයන්ට විරුද්ධව කතා කරන එකෙන් වළකින්න ඕනේ.හෙබ්‍රෙව් 13:17; යූද් 8 කියවන්න.

12, 13. (අ) අපි සෑම දෙයකදීම අවංක වෙන්න ඕනේ ඇයි? (ආ) අපි අවංකව වැඩ කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවද?

12 දෙවිගේ සේවකයන් හැම වෙලාවකම අවංකව වැඩ කරනවා. පාවුල් මෙහෙම කිව්වා. “අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි. එහෙයින් අප වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරන්න.” (හෙබ්‍රෙ. 13:18) අපි “සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා” අපේ සහෝදරයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නැහැ. උදාහරණෙකට අපි යටතේ සහෝදරයෙක් වැඩ කරනවා නම් අපි ඔහුට පොරොන්දු වුණ විදිහට පඩි ගෙවනවා. අපි අපේ සහෝදරයන්ට වගේම අනිත් සේවකයන්ටත් අසාධාරණයක් කරන්නේ නැහැ. අනිත් අතට අපි සහෝදරයෙක් යටතේ වැඩ කරනවා නම් ඔහුගෙන් අනිසි වාසි ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

13 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අවංකකම ගැන හුඟක් අය හොඳ කියනවා. ව්‍යාපාරයක අයිතිකරුවෙක් සාක්ෂිකරුවන් ගැන කිව්වේ “ඒගොල්ලන් කවදාවත් වචනේ වෙනස් කරන්නේ නැහැ” කියලයි. (ගීතා. 15:4) අපි ඒ වගේ අවංකව වැඩ කරනවා නම් දෙවි එක්ක තියෙන අපේ බැඳීම දිගටම තියාගන්න පුළුවන් වෙනවා විතරක් නෙමෙයි දෙවිගේ නාමයට ගෞරවයත් ලැබෙනවා.

දෙවිගේ මිතුරන් වෙන්න උදව් කරමු

දෙවිගේ මිතුරන් වෙන්න අනිත් අයටත් උදව් කරමු (14 සහ 15 ඡේද බලන්න)

14, 15. සේවයේදී අපිට මුණගැහෙන අයට දෙවිගේ මිතුරන් වෙන්න උදව් කරන්න පුළුවන් කොහොමද?

14 අපිට සේවයේදී මුණගැහෙන සමහර අය දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කළත් දෙවිව තමන්ගේ මිතුරෙක් කරගන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. ඒ වගේ අයට උදව් කරන්න පුළුවන් කොහොමද? යේසුස් ඔහුගේ අනුගාමිකයන් 70දෙනාව සේවයට පිටත් කරපු වෙලාවේ දීපු උපදෙස ටිකක් මතක් කරගමු. “ඔබ යම් නිවසකට ඇතුල් වූ විට මුලින්ම ‘මේ නිවසට සමාදානය ලැබේවා’ කියා පවසන්න. සමාදානයට කැමති කෙනෙක් සිටී නම් ඔබ පැතූ සාමය ඔහුට ලැබෙයි. එහෙම නැත්නම් ඔබේ සමාදානය නැති කර නොගෙන එතැනින් පිටත් වෙන්න.” (ලූක් 10:5, 6) අපි ගෙනියන පණිවිඩය ගැන මිනිසුන්ගේ හිතේ ආශාවක් ඇති කරන්න නම් අපි ඒ අය එක්ක මිත්‍රශීලී වෙන්න ඕනේ. සේවයේ යද්දී අපිට බැණවදින කෙනෙක්ට වුණත් අපි කාරුණිකව සලකනවා නම් ඒ කෙනාගේ කේන්තිය අඩු කරගන්න ඒක උදව් වෙයි. සමහරවිට පස්සේ කාලෙකදී ඒ කෙනා පණිවිඩයට සවන් දෙන්න වුණත් ඉඩ තියෙනවා.

15 අසත්‍ය ඉගැන්වීම්වල ඇලීගැලී ඉන්න අය නැත්නම් බයිබලයේ තියෙන ප්‍රමිතිවලට පටහැනි දේවල් කරන අය එක්ක වුණත් අපි කාරුණිකව, මිත්‍රශීලීව කටයුතු කරනවා. රැස්වීම්වලට එන හැම කෙනෙක්වම අපි සාදරයෙන් පිළිගන්නවා. අද සමාජයේ සිදු වෙන දේවල් නිසා කලකිරිලා ඉන්න ඒත් දෙවි ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් රැස්වීම්වලට ආවම අපි ඒ කෙනාව සාදරයෙන් පිළිගන්නවා නම් දෙවි ගැන ඉගෙනගන්න උනන්දුවක් ඒ අයට ඇති වෙයි. ඒ වගේ අයගේ අද්දැකීම් ‘මුරටැඹ’ සඟරාවේ පළ වෙන “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපි මාලාවේ සඳහන් වෙනවා.

දෙවි අපි එක්ක වැඩ කරන මිතුරෙක්

16. දෙවිගේ “හවුල් වැඩකරුවන්” විදිහට වැඩ කරද්දී දෙවි එක්ක තියෙන මිත්‍රත්වය වැඩි වෙන්නේ කොහොමද?

16 සාමාන්‍යයෙන් එකට වැඩ කරන අය අතර කිට්ටු මිතුරුකමක් ඇති වෙනවා. ඒ වගේ දෙවිට කැප වුණ සේවකයන් වෙන අපි දෙවි එක්ක “හවුල් වැඩකරුවන්” විදිහට වැඩ කරද්දී දෙවි එක්ක තියෙන අපේ මිත්‍රත්වය තව වැඩි වෙනවා. (1 කොරින්ති 3:9 කියවන්න.) දේශනා සේවයේදී, බයිබල් පාඩම් කරද්දී අපි අනිත් අයට අපේ පියාණන් ගැන කියලා දෙන නිසා ඔහුට තියෙන ලස්සන ගතිලක්ෂණ අපේ හිතට තව වැඩියෙන් කාවදිනවා. ඒ විතරක් නෙමෙයි දේවසේවය සාර්ථකව කරන්න දෙවි තමන්ගේ බලය මාර්ගයෙන් උදව් කරන විදිහ අද්දකින්නත් අපිට පුළුවන් වෙනවා.

17. අපේ සමුළුවලින් ලැබෙන පෝෂණයෙන් දෙවි අපේ මිතුරා කියලා අපිට දැනෙන්න සලස්වලා තියෙන්නේ කොහොමද?

17 අපි දේවසේවයේ වැඩියෙන් හවුල් වෙද්දී දෙවි එක්ක තියෙන මිත්‍රත්වයත් වැඩි වෙනවා. අපි කරන සේවය නතර කරන්න උත්සාහ කරන අයට දෙවි සාර්ථක වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා අපිට තවත් ඔප්පු වෙනවා. දෙවි අපිත් එක්කම ඉඳලා අපිට කොයි තරම් මඟ පෙන්වීම් දීලා තියෙනවද? දෙවි එක්ක බැඳීම ශක්තිමත් කරගන්න ඔහු අපිට රැස්වීම්වලින්, ප්‍රකාශනවලින් මොන තරම් දේවල් සපයලා තියෙනවද? අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන, අපේ අවශ්‍යතාවන් ගැන දෙවි මොන තරම් සැලකිල්ලක් දක්වනවද කියලා ඔහු සමුළුවලින් සපයන තොරතුරුවලිනුත් පැහැදිලි වෙනවා. සමුළුවකින් ලැබුණු ප්‍රයෝජනය ගැන පවුලක් මෙහෙම කිව්වා. “සමුළුවේ දීපු කතා අපේ හිතට තදින්ම කාවැදුණා. දෙවි අපි එක් එක් කෙනාට කොච්චර ආදරේද කියලත් අපි හැමෝම සාර්ථක ජීවිතයක් ගත කරනවට දෙවි කොච්චර කැමතිද කියලත් අපිට තේරුණා.” අයර්ලන්තයේ තිබුණු විශේෂ සමුළුවකට සහභාගි වුණ ජර්මනියෙන් ගිය යුවළක් මෙහෙම කිව්වා. “අපි යෙහෝවා දෙවිටත් ඔහු රජු ලෙස පත් කරලා තියෙන යේසුස්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ එක්සත් පිරිසට එකතු වෙන්න කියලා ආරාධනා කළේ ඔවුනුයි. අපි නිකම්ම එක්සත්කම ගැන කතා කරන පිරිසක් නෙමෙයි, ඒක ඇත්තටම අද්දකින පිරිසක්. මේ සමුළුව අපිට අමතක වෙන්නේ නැහැ. හැමෝම එක්ක එකතු වෙලා අපේ පියාණන්ට නමස්කාර කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය මොන තරම් වටිනවද කියලා එදා අපි තේරුම්ගත්තා.”

හොඳ මිතුරන් නිතර කතාබහ කරයි

18. දෙවි එක්ක කතා කරන එක ගැන අපි හිතලා බලන්න ඕන මොනවද?

18 කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්න කතාබහ අත්‍යවශ්‍යයි. අද හුඟක් අය මිතුරු සමාජ වෙබ් අඩවි හා වෙනත් ක්‍රම යොදාගෙන කතාබහ කරනවා. ඒත් අපි යෙහෝවා දෙවි එක්ක කතා කරන්න ගත කරන්නේ කොච්චර කාලයක්ද? යෙහෝවා දෙවි “යාච්ඤා අසන තැනැත්තා” නිසා අපේ යාච්ඤා අහන්න කැමැත්තෙන් ඉන්නවා. (ගීතා. 65:2) ඒත් දෙවි එක්ක කතා කරන්න අපි අපේ පැත්තෙන් වෑයම් කරනවද?

19. දෙවිට අපේ හිතේ තියෙන හැම දෙයක්ම කියන්න අමාරු අවස්ථාවලදී අපිට ලැබෙන උපකාරය මොකක්ද?

19 දෙවි කැමති අපේ හිතේ තියෙන හැම දෙයක්ම ඔහුට කියනවටයි. ඒත් සමහරුන්ට තමන්ගේ හැඟීම් වචනවලට පෙරළන්න අමාරුයි. (ගීතා. 119:145; විලා. 3:41) ඒ වගේ අයට තියෙන උපකාරයක් ගැන පාවුල් මෙහෙම කියනවා. “යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද කියා අපට නොතේරෙන අවස්ථා මතු විය හැක. එවැනි අවස්ථාවලදී අපගේ හැඟීම් වචනවලට පෙරළිය නොහැකි වුවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින් ඒවා එළිදරව් වෙයි. එහෙයින් තම බලයෙන් එළිදරව් වන දේ තේරුම්ගැනීමට සිත් සෝදිසි කර බලන දෙවිට හැක. එසේ වන්නේ ඒ බලය ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් මැදිහත් වී ඔවුන් වෙනුවෙන් දෙවිගේ කැමැත්ත ඉටු කරන නිසාය.” (රෝම 8:26, 27) යෝබ්, ගීතාවලිය, හිතෝපදේශ වගේ පොත් කියවලා ඒවයේ තියෙන අදහස් ගැන අපි හොඳට හිතනවා නම් අපේ හැඟීම් දෙවිට කියන්න ඒවා අපිට උපකාරයක් වෙයි.

20, 21. ෆිලිප්පි 4:6, 7 සඳහන් දේ අපිට සහනයක් වෙන්නේ කොහොමද?

20 අපිට ලොකු දුකක් වේදනාවක් ඇති වෙන අවස්ථාවලදී පාවුල් දුන් මේ උපදෙස මතක තියාගමු. “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.” (ෆිලි. 4:6, 7) අපි දුක් කරදර අද්දකින අවස්ථාවලදී අපේ හොඳම මිතුරා වෙන දෙවි අපේ සිත් හා සිතුවිලි ආරක්ෂා කරගන්න අපිට “ලබා දෙන සමාදානය” ගැන අපි දෙවිට කොයි තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද!

දෙවි එක්ක තියෙන මිත්‍රත්වය ශක්තිමත් කරගන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද? (21 ඡේදය බලන්න)

21 දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්න යාච්ඤාව උපකාරවත් වෙන නිසා අපි ‘නොකඩවා යාච්ඤා කරමු.’ (1 තෙස. 5:17) දෙවිගේ ප්‍රමිතිවලට අනුව දිගටම ජීවත් වෙන්නත් ඔහු එක්ක තියෙන මිත්‍රත්වය ශක්තිමත් කරගන්නත් මේ ලිපිය ඔබට උපකාරවත් වෙන්න ඇති. යෙහෝවා දෙවි අපේ ආදරණීය පියායි. හොඳම මිතුරායි. ඔහු අපිට මොන තරම් ආශීර්වාද කරලා තියෙනවද කියලා අපි හැම වෙලාවෙම කල්පනා කරමු.