Skip to content

පටුනට යන්න

‘යෙහෝවා දෙවිගේ යහපත දකින්න’

‘යෙහෝවා දෙවිගේ යහපත දකින්න’

සමහර වෙලාවලදී අපිට මුහුණ දෙන්න සිදු වෙන ප්‍රශ්න ගැටලු නිසා අපි හුඟක් දුක් වෙනවා. මානසිකව වැටෙනවා. ජීවිතය ගැන කලකිරෙනවා. දාවිත් රජුටත් ඒ වගේ තත්වයන්වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වගේ වෙලාවලදී ඔහු කළේ මොනවාද කියා ඔහු ලියූ ගීතිකාවක සඳහන් කළා. “උපකාරය පතා මම යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි. මට කරුණාව පෙන්වන ලෙස යෙහෝවා දෙවිට මොරගැසුවෙමි. මාගේ කනස්සල්ල ගැන නොනවත්වා ඔහුට පැවසුවෙමි. මාගේ දුක ගැන දිගින් දිගටම ඔහුට කීවෙමි. මාගේ ශක්තිය හීන වී මා මලානික වූ විට මා යා යුතු මඟ ඔබ මට පෙන්වූවෙහිය.”ගීතා. 142:1-3.

අසීරු කාලවලදී දාවිත් නිහතමානීව දෙවිගෙන් උදව් ඉල්ලුවා

තවත් ගීතිකාවක ඔහු දෙවිගෙන් මෙවැනි දෙයක් ඉල්ලුවා. “මා යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. ඒ දේ ලබාගැනීමට මම මහත් ආශාවකින් සිටින්නෙමි. ඒ මාගේ ජීවිතයේ සියලු දවස්වලදී යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටින්න ලැබීමය. එවිට මම යෙහෝවා දෙවිගේ යහපත දිනෙන් දින දකින්නෙමි. ඔහුගේ මාලිගාව දෙස මහත් අගයකින් බලන්නෙමි.” (ගීතා. 27:4) ලෙවීවරයෙක් නොවුණත් දෙවිගේ ගෘහයේ පිටත මළුවේ සිට දෙවිට නමස්කාර කරන්න ඔහුට මහත් ආශාවක් තිබුණා. දෙවිට නමස්කාර කරන්න එදා ඇති කර තිබුණ එම සැලැස්ම දාවිත් කොතරම් අගය කළාද කියනවා නම් ඔහුගේ ජීවිතයේ ඉතුරු කාලය පුරාම එහි රැඳී සිටිමින් ‘යෙහෝවා දෙවිගේ යහපත දිනෙන් දින දකින්න’ ඔහුට තිබුණේ ලොකු වුවමනාවක්.

කෙනෙක් අපිට ‘යහපත’ කරද්දී අපේ ගතට සිතට ලොකු සහනයක් දැනෙනවා. දාවිත්ටත් ඒ වගේ සහනයක් ලැබුණා. ඒ සහනය ඔහු අද්දැක්කේ දෙවිට නමස්කාර කිරීමෙන්. දෙවි ඒ කාලයේදී නමස්කාර කිරීම සඳහා ඇති කර තිබූ සැලැස්ම ගැන දාවිත්ට ලොකු අගයක් තිබුණා. ‘දාවිත්ට වගේ මටත් දෙවිගේ නමස්කාරයට සම්බන්ධ දේවල්වලට අගයක් තියෙනවාද?’

නමස්කාරය සඳහා දෙවිගේ සැලැස්ම ‘අගය කරන්න’

දෙවිට නමස්කාර කරන්න දාවිත්ගේ කාලයේ තිබුණා හා සමාන ගෘහයක් අද අපිට නැහැ. ඒ වෙනුවට අද අපිට තිබෙන්නේ සංකේතවත් දේවමාලිගාවක්. ඒ සංකේතවත් දේවමාලිගාව නම් යේසුස්ගේ ජීවිත පූජාවේ පදනම මත දෙවිට නමස්කාර කරන්න දෙවි ඇති කර තිබෙන සැලැස්මයි. * දෙවි ඇති කර තිබෙන ඒ සැලැස්ම ‘අගය කරනවා’ නම් ‘යෙහෝවා දෙවිගේ යහපත දකින්න’ අපිටත් හැකි වෙනවා.

අතීතයේදී සත්ව පූජා ඔප්පු කළේ ශුද්ධ කූඩාරමට ඉදිරියෙන් තිබුණ තඹ පූජාසනය මතයි. (නික්. 38:1, 2; 40:6) ඒ තඹ පූජාසනයෙන් සංකේතවත් කළේ යේසුස්ගේ ජීවිත පූජාව පිළිගැනීමට දෙවිට තිබුණ කැමැත්තයි. (හෙබ්‍රෙ. 10:5-10) දෙවි, යේසුස්ගේ ජීවිත පූජාව පිළිගැනීම නිසා අපිට ලැබෙන ප්‍රයෝජනය ගැන පාවුල් මෙසේ පැවසුවා. “අප සිටියේ දෙවිගේ සතුරන් ලෙසය. නමුත් දෙවි සමඟ සමාදාන වීමේ ප්‍රස්තාව ඔහුගේ පුත්‍රයාගේ මරණය තුළින් අපට උදා විය.” (රෝම 5:10) යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තබා ඒ අනුව ජීවත් වෙනවා නම් දෙවිගේ අනුමැතිය ලබන්න අපිට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ‘යෙහෝවා දෙවිගේ සමීප’ මිතුරන් වීමේ වරප්‍රසාදය අපිට ලැබෙනවා.ගීතා. 25:14.

අපි “පව්වලට සමාව ලබාගන්න” නිසා “යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක්” ලබන්න අපිට හැකි වෙනවා. (ක්‍රියා 3:19) අපේ තත්වයත් තමන් කළ වැරදි ගැන පසුතැවෙන මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙකුට සමානයි. ඒ සිරකරුවාගේ පසුතැවිල්ල දකින කාරුණික විනිශ්චයකරුවෙක් මරණ දණ්ඩනයෙන් ඔහුව නිදහස් කරනවා. ඔහුට මොන තරම් සහනයක් දැනෙයිද! අපිත් අපේ වැරදි ගැන අවංකව පසුතැවිලි වෙනවා නම් අපේ යෙහෝවා දෙවිත් අපිට සමාව දී අපිව මරණයෙන් මුදවාගන්නවා.

නමස්කාරයේ හවුල් වීමෙන් ප්‍රීති වෙන්න

දෙවිට නමස්කාර කරන්න දෙවිගේ ගෘහයට ගිය දාවිත් ඊශ්‍රායෙල්වරුන් විශාල පිරිසක් එහි රැස් වෙන ආකාරයත් දෙවිගේ නීතිය කියවා එය පැහැදිලි කර දෙන ආකාරයත් දෙවිට සුවඳ දුම් ඔප්පු කරන ආකාරයත් පූජකයන් සහ ලෙවීවරුන් සේවය කරන ආකාරයත් දැක්කා. (නික්. 30:34-38; ගණන්. 3:5-8; ද්වි. 31:9-12) අද දිනත් ඒ හා සමාන දේවල් සිදු වෙනවා.

එදා වගේම අදත් “සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්‍රසන්නද!” (ගීතා. 133:1) දෙවිට නමස්කාරය කරන්න ලෝකේ පුරාම විශාල පිරිසක් එකතු වෙමින් සිටිනවා. (1 පේතෘ. 2:17) අපගේ රැස්වීම්වලදී දෙවිගේ වචනය කියවා එය පැහැදිලි කර දෙනවා. දෙවිගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් මොන තරම්ද! අපේ පෞද්ගලික අධ්‍යයනයටත් අපේ පවුලේ නමස්කාරයටත් ප්‍රයෝජනවත් බයිබලය මත පදනම් පොත් පත් කොතරම් ප්‍රමාණයක් අපිට ලැබෙනවාද! පාලක මණ්ඩලයේ සහෝදරයෙක් මෙවැනි දෙයක් කිව්වා. ‘දේවවචනය කියවලා ඒ ගැන හොඳට හිතද්දී ඒක අධ්‍යයනය කරද්දී ඒවායේ තේරුම වටහාගනිද්දී මට දැනෙන්නේ උදා වෙන හැම දවසක් ගානෙම දෙවි එක්ක තියෙන මගේ බැඳීම ශක්තිමත් වෙනවා කියලයි.’ ‘දැනුමෙන් ප්‍රීතියක් ලැබෙනවා’ කියා බයිබලයේ සඳහන් දේ මොන තරම් සත්‍යයක්ද!හිතෝ. 2:10.

දෙවිගේ සෙනඟ කරන යාච්ඤා දෙවිට දැනෙන්නේ ඔහුට ඔප්පු කරන සුවඳ දුම් හා සමානවයි. (ගීතා. 141:2) දෙවි අපේ යාච්ඤා අසන බව දැනගන්න ලැබීම අපිට මොන තරම් සහනයක්ද!

මෝසෙස් මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා දෙවි වූ ඔබේ කරුණාව අපට අද්දැකීමට ලැබේවා! අපේ දෑතේ වැඩවලට ඔබේ ආශීර්වාදය ලැබේවා!” (ගීතා. 90:17) අපි උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙද්දී දෙවි අපිටත් ආශීර්වාද කරනවා. (හිතෝ. 10:22) බයිබලයේ සඳහන් සත්‍යයන් ඉගෙනගන්න ඔබ අනිත් අයට උදව් කර ඇති. එහෙමත් නැත්නම් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැති ප්‍රදේශවල අවුරුදු ගණනාවක් සේවය කර ඇති. අසනීප, පීඩා දරාගන්න ඇති. (1 තෙස. 2:2) ඒ මොන තත්වය මැදදී වුණත් ‘යෙහෝවා දෙවිගේ යහපත’ ඔබ අද්දැක නැද්ද? ඔබේ වෑයම ගැන දෙවි සතුටු වෙනවා කියා ඔබට දැනී නැද්ද?

“යෙහෝවා දෙවිට මා කරන සේවය මාගේ උරුමයයි. ප්‍රීතියෙන් පිරුණු මාගේ කුසලානයත් ඔහුයි. දෙවියනි, මාගේ උරුමය රක්ෂා කරන්නේද ඔබයි. මට උරුම වූ කොටස ගැන මම සතුටු වෙමි” කියා දාවිත් පැවසුවා. (ගීතා. 16:5, 6) දාවිත් ඔහුගේ “උරුමය” ලෙස සැලකුවේ දෙවි සමඟ තිබුණ බැඳීම සහ දෙවිට සේවය කරන්න ලැබුණ ප්‍රස්තාවයි. දාවිත් අද්දැක්කා වගේ ප්‍රශ්න ගැටලු, දුක් පීඩාවලට මුහුණ දෙන්න අපිටත් සිදු වෙනවා. ඒත් අපිට දෙවි මොන තරම් ආශීර්වාද කර තිබෙනවාද කියා සිතා බලන්න. එමනිසා අපි දිගටම නමස්කාර කිරීම සඳහා දෙවි ඇති කර තිබෙන සැලැස්ම ‘අගය කරමු.’

^ 6 ඡේ. 1996 ජූලි 1 ‘මුරටැඹ’ කලාපයේ 14-24 දක්වා පිටු බලන්න.