වැන්දඹුවකගේ විශ්වාසය!
දිළිඳු වැන්දඹුව තම එකම පුතාව වැළඳගත්තේ සැනසුම් සුසුම් හෙළමින්. සුළු මොහොතකට පෙර ඇය තම පුතාගේ දේහය වැළඳගෙන හඬා වැලපුණා. “මිය ගිය ඔබේ දරුවා දැන් ජීවත් වෙනවා” කියා ඇගේ නිවසේ නවාතැන් ගෙන සිටි අමුත්තා ඇයට කියද්දී ඇයට මොනතරම් සතුටක් දැනෙන්න ඇද්ද!
මේ ආශ්චර්යය සිදු වුණේ මීට අවුරුදු 3,000කට පමණ පෙරයි. ඒ ගැන බයිබලයේ 1 රාජාවලිය 17වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. නිවසේ සිටි අමුත්තා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වූ එලියායි. දරුවාගේ මවගේ නම බයිබලයේ සඳහන් වී නැතත් ඇය සාරෆෙත් නුවර ජීවත් වූ වැන්දඹුවක්. මිය ගිය දරුවාට නැවත ජීවිතය ලැබීම ඇගේ විශ්වාසය ශක්තිමත් වීමට දායක වූ සුවිශේෂී සිදුවීමක්. ඒ වැන්දඹුව ගැන තොරතුරු සොයා බැලීමෙන් අපටත් වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්.
දෙවිව විශ්වාස කළ වැන්දඹුවක් එලියාට හමු වෙයි
දුෂ්ට ආහබ් රජ පාලනය කළ කාලයේදී දෙවි නියඟයක් ඇති වීමට සැලැස්වූවා. ඒ ගැන එලියා ආහබ් රජුට දැනුම් දුන් පසු දෙවි, එලියාව සඟවා ආශ්චර්යවත් ලෙස ඔහුට කපුටන් මාර්ගයෙන් කෑම ලබා දුන්නා. පසුව දෙවි එලියාට මෙහෙම කිව්වා. “දැන් මෙතැනින් පිටත් වී සීදොන්වරුන්ට අයිති සාරෆෙත් නගරයට ගොස් එහි ජීවත් වෙන්න. එහි ජීවත් වන වැන්දඹුවක මාර්ගයෙන් මම ඔබට කෑම ලැබෙන්න සලස්වන්නෙමි.”
එලියා සාරෆෙත් නුවරට ගිය විට, දිලිඳු වැන්දඹුවක් දර අහුලමින් ඉන්නවා දැක්කා. දෙවි කියූ වැන්දඹුව ඇයද, ඇයත් දිලිඳු කෙනෙක් නම් ඇය කොහොමද මට කන්න දෙන්නේ, කියා එලියාට හිතෙන්න ඇති. නමුත් ඔහු “මට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද” කියා ඇයගෙන් ඇසුවා. ඇය වතුර දුන් විට “මට කන්න රොටි කෑල්ලකුත් දෙන්න පුළුවන්ද” කියාත් ඇසුවා. (1 රාජා. 17:10, 11) අමුත්තෙකුට වතුර ටිකක් දීම ඇයට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් ඒ වෙලාවේ කෑමට යමක් දීම නම් ඇයට හිතාගන්නවත් බැරි දෙයක්.
ඒ නිසා ඇය “මා ඔබේ ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරා කියන මේ දේ ඇත්තක්. ඔබට දෙන්න මා ළඟ රොටි නැහැ. පිටි ටිකකුත්, තෙල් ටිකකුත් විතරයි මට ඉතුරු වෙලා තියෙන්නේ. මම මේ දර අහුලන්නේ පුතාටයි මටයි කෑම ටිකක් හදාගන්නයි. අපිට තියෙන්නෙත් එච්චරයි. ඒක ඉවර වුණාට පස්සේ අපි දෙන්නටත් බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ” කියා කිව්වා.එලියා දෙවි කෙරෙහි ගරුබියක් දැක්වූ පුද්ගලයෙක් බව ඇය හඳුනාගත්තා. දෙවි ගැන යම් දැනුමක් තිබුණත් ඇය යෙහෝවා දෙවිට නමස්කාර කළ කෙනෙක් නෙමෙයි. ඇය එලියාට කතා කරද්දී ‘මගේ දෙවි’ කියනවා වෙනුවට ‘ඔබේ දෙවි’ කියා යෙහෝවා දෙවිව හැඳින්වූයේ ඒ නිසයි. ඇය ජීවත් වුණේ සාරෆෙත් නගරයේ. එහි සිටියේ බාල් දෙවිට නමස්කාර කළ අයයි. ඒ වුණත් මේ වැන්දඹුව තුළ තිබූ යහපත් ගුණාංග දෙවි දැක්කා.
දිලිඳු සාරෆෙත් වැන්දඹුව බොරු දෙවිවරුන්ට නමස්කාර කළ අය අතරේ ජීවත් වුණත් යෙහෝවා දෙවි ගැන යම් විශ්වාසයක් ඇයට තිබුණා. යෙහෝවා දෙවි එලියාව ඇය වෙත යැවුවේ ඔවුන් දෙදෙනාටම යහපතක් සිදු කරන්නයි. එයින් අපිට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්.
සාරෆෙත් නුවර බාල් නමස්කාරයේ යෙදුණු හැම කෙනෙක්ම දුෂ්ට අය නෙමෙයි. එලියාව වැන්දඹුව වෙත යැවීමෙන් දෙවි පෙන්නුම් කළේ තමන්ට නමස්කාර නොකරන අයගේ හොඳ සිතුවිලි ගැන පවා ඔහු සැලකිලිමත් වන බවයි. බයිබලයේත් ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”
අපි අවටත් සාරෆෙත් වැන්දඹුව වගේ අය කොතරම් ඉන්නවා ඇද්ද? බොරු නමස්කාරය කරන අයත් එක්ක ජීවත් වුණත් සත්‍යය දැනගන්න ආසාවක් ඔවුන් තුළත් තියෙනවා ඇති. ඔවුන්ට යෙහෝවා දෙවි ගැන යම් දැනුමක් තිබුණත් නැතත් දෙවිට ළං වීමට නම් ඔවුන්ට අපේ උදව් අවශ්‍යයි. ඔබත් එවැනි අයට උදව් කරන්න කැමති, එවැනි අයව සොයමින් සිටින කෙනෙක්ද?
“මුලින්ම මට කන්න පොඩි රොටියක් හදාගෙන එන්න”
ඇය දැන් හදලා කන්න යන්නේ ඔවුන්ගේ අන්තිම කෑම වේල කියලත් ඊට පස්සේ ඔවුන්ට බඩගින්නේ මැරෙන්න වෙයි කියලත් වැන්දඹුව එලියාට කිව්වා. ඒත් එලියා මෙහෙම කිව්වා. “කිසි දෙයකට භය වෙන්න එපා. ඔබ දැන් කරන්න ගිය දේ කරන්න. නමුත් මුලින්ම මට කන්න පොඩි රොටියක් හදාගෙන එන්න. ඊටපස්සේ ඔබටත් ඔබේ පුතාටත් මොනවා හරි හදාගන්න පුළුවන් වෙයි. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි නැවත වැසි වස්සවන තෙක් ඔබ ළඟ තිබෙන පිටිවත් තෙල්වත් ඉවර වෙන්නේ නැහැ.’”
‘අන්තිම කෑම වේලත් එයාට දෙන්නේ කොහොමද?’ කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් වැන්දඹුව එහෙම හිතුවේ නැහැ. ඇය දෙවි ගැන බොහෝ තොරතුරු දැනගෙන හිටියේ නැතත් එලියාව විශ්වාස කරලා ඔහුට රොටියක් හදලා දුන්නා. ඇය ගත්තේ ඥානවන්ත තීරණයක්.
බයිබලයේ සඳහන් වෙන්නේ ‘එලියා මාර්ගයෙන් යෙහෝවා දෙවි කී ලෙස ඇය ළඟ තිබූ පිටිවත් තෙල්වත් ඉවර වුණේ නැහැ’ කියලයි. (1 රාජා. 17:16; 18:1) එලියාටත් වැන්දඹුවටත් ඇගේ පුතාටත් නියඟය අවසන් වන තුරුම දෙවි අවශ්‍ය කෑම ලැබෙන්න සැලැස්වූවා. ඒත් වැන්දඹුව වෙනස් තීරණයක් ගත්තා නම් ඇය කියූ විදිහටම එය ඇගේ අවසාන ආහාර වේල වෙන්න ඉඩ තිබුණා.
ආශීර්වාද ලැබෙන්නේ යෙහෝවා දෙවි මත විශ්වාසය තබා කටයුතු කරන අයටයි. එය අපිට වටිනා
මේ බයිබල් වාර්තාවෙන් අපිට ඉගෙනගත හැකි පාඩම ගැන 1898දී පළ වූ ‘සයන්ස් වොච්ටවර්’ සඟරාවක මේ වගේ අදහසක් තිබුණා. “දෙවිට කීකරු වීමට තරම් ඇයට විශ්වාසයක් තිබුණා නම් අනාගතවක්තෘ මාර්ගයෙන් දෙවි දෙන ආශීර්වාද ලැබීමටත් ඇය සුදුසුයි. අනිත් අතට ඇයට විශ්වාසයක් තිබුණේ නැත්නම් දෙවි ඒ වෙනුවට වෙනත් වැන්දඹුවක්ව තෝරාගැනීමට ඉඩ තිබුණා. අපේ ජීවිත ගමනේදීත් විශ්වාසය පරීක්ෂාවට ලක් වෙන අවස්ථාවලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ අවස්ථාවලදී අපි විශ්වාසවන්තව සිටියොත් දෙවිගේ ආශීර්වාද අද්දකින්න අපිටත් පුළුවන්. එහෙම නොවුණොත් ඒ ආශීර්වාද අපිට අහිමි වෙයි.”
පරීක්ෂාවකට මුහුණ දීමට අපිට සිදු වුණොත් බයිබලයෙන් සහ ඒ මත පදනම් ප්‍රකාශන මගින් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගනිමු. ඒවා පිළිපදින්න අමාරුයි කියලා අපිට හිතුණත් ඊට එකඟව කටයුතු කරනවා නම් දෙවි අපිට ආශීර්වාද කරන බව නිසැකයි. බයිබලයේ ඒ ගැන සඳහන් වන්නේ මෙහෙමයි. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”
‘ඔබ මා ළඟට ආවේ මගේ පුතාව මරලා දාන්නද?’
වැන්දඹුවට තවත් පීඩාවකට මුහුණ දෙන්න සිදු වුණා. ‘කලක් ගත වූ පසු එම ස්ත්‍රියගේ පුත්‍රයාට බරපතළ රෝගයක් වැලඳී මිය ගියා.’ එයට හේතුව නොදැන වැලපෙමින් සිටි වැන්දඹුව එලියාට මෙහෙම කිව්වා. “සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන ඔබ, ඇයි මට මේ වගේ දෙයක් කළේ? ඔබ මා ළඟට ආවේ මගේ පුතාව මරලා, මගේ පව්වලට මට දඬුවම් කරන්නද?” (1 රාජා. 17:17, 18) ඇය ඒ වගේ දෙයක් කිව්වේ ඇයි?
ඇගේ අතින් සිදු වූ පාපයක් නිසායි පුතා මිය ගියේ කියලා වැන්දඹුව සිතුවාද? පුතා මැරුණේ දෙවියන් දුන් දඬුවමක් නිසා කියලත් එලියාව දෙවියන් එව්වේ ඒ නිසා කියලත් ඇය සිතුවාද? බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් දෙවි කළේ අසාධාරණයක් කියා ඇය කිසිම විටක දෙවිට චෝදනා කළේ නැහැ.
ඒ සිදුවීමෙන් කම්පාවට පත් වූ එලියා දරුවාගේ සිරුර උඩුමහල් කාමරයට ගෙන ගොස් හඬ නඟා දෙවිට මෙහෙම කිව්වා. “අනේ මගේ දෙවි යෙහෝවා, මට නවාතැන් දුන් මේ ස්ත්‍රියගේ පුතාට මැරෙන්න ඉඩහැරියේ ඇයි? පුතා නැති වුණ නිසා දැන් ඇයටත් දුක් විඳින්න සිදු වෙනවා.” ඔහුට උපකාර කළ ස්ත්‍රිගේ දරුවාට මෙසේ මිය යන්න ඉඩ දීමෙන් දෙවිගේ නමට හානියක් වෙනවා දකින්න එලියා කැමති වුණේ නැහැ. ඒ නිසා ඔහු බැගෑපත්ව දෙවිගෙන් ඉල්ලා සිටියේ මෙසේයි. “අනේ මගේ දෙවි යෙහෝවා, මේ දරුවාට නැවත පණ දෙන්න.”
“මේ බලන්න, මිය ගිය ඔබේ දරුවා දැන් ජීවත් වෙනවා”
වැන්දඹුව දෙවිගේ අනාගතවක්තෘට කන්න දීමෙන් දෙවිව විශ්වාස කරන බව පෙන්නුවා. පෙනෙන විදිහට දෙවි ඇගේ දරුවා මිය යන්න ඉඩ හැරියේ නැවත නැඟිටුවීමේ අරමුණින් විය හැකියි. එලියාගේ යාච්ඤාව ඇසූ දෙවි වැන්දඹුවගේ දරුවාව එලියා මාර්ගයෙන් නැවත නැඟිට්ටෙව්වා. දරුවාව මව වෙත ගෙන ආ එලියා ඇයට කිව්වේ “මේ බලන්න, මිය ගිය ඔබේ දරුවා දැන් ජීවත් වෙනවා” කියායි. ඇයට ඒ මොහොතේ දැනුණ සතුට මොනතරම්ද! “ඔබ ඇත්තටම දෙවිගේ අනාගතවක්තෘවරයෙක්! යෙහෝවා දෙවි ඔබ මාර්ගයෙන් කතා කරන දේ සත්‍යයක් කියා දැන් මට හොඳටම විශ්වාසයි” කියා ඇය එලියාට කිව්වා. (1 රාජා. 17:22-24) එය බයිබලයේ වාර්තා කර තිබෙන පළමු නැවත නැඟිටුවීමයි. එම වාර්තාව ඉදිරි පරම්පරාවන්ටත් නැවත නැඟිටීම ගැන බලාපොරොත්තුවක් තබාගන්න උදව් වෙනවා.
එම සිදුවීමෙන් පස්සේ 1 රාජාවලිය 17වෙනි පරිච්ඡේදයේ තව දුරටත් වැන්දඹුව ගැන සඳහන් වන්නේ නැහැ. නමුත් පසු කාලයකදී යේසුස් ඇය ගැන සඳහන් කළ නිසා ඇය දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න ඇතියි කියා අපිට සිතන්න පුළුවන්. (ලූක් 4:25, 26) දෙවිගේ සේවයකන්ට හොඳින් සලකන අයට දෙවි ආශීර්වාද කරන බව ඇගේ කතාවෙන් අපිට උගන්වනවා. (මතෙ. 25:34-40) ඒ වගේම තම සේවකයන්ට මොන විදිහේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිදු වුණත් දෙවි ඔවුන්ව රැකබලා ගන්නා බවත් එයින් අපිට පැහැදිලි වෙනවා. (මතෙ. 6:25-34) නැවත නැඟිටුවීමට දෙවිට තිබෙන හැකියාව සහ කැමැත්ත ගැනත් මේ වාර්තාවෙන් අපිට සාක්ෂි සපයනවා. (ක්‍රියා 24:15) සාරෆෙත්හි වැන්දඹුවගේ කතාවෙන් මොන තරම් වටිනා පාඩම් අපිට ඉගෙනගන්න පුළුවන්ද!