Skip to content

පටුනට යන්න

තමන් ගැන විතරක් හිතන පුද්ගලයන් නොවී ඉමු

තමන් ගැන විතරක් හිතන පුද්ගලයන් නොවී ඉමු

‘යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම ජීවිතය දෙවිට කැප කළ යුතුයි.’—මතෙ. 16:24.

1. දෙවිගේ කැමැත්තට මුල් තැන දීම ගැන යේසුස් හොඳම ආදර්ශය වෙන්නේ ඇයි?

වැඩිදෙනෙක් වැඩ කරන්නේ තමන් ගැන විතරක් හිතලයි. ඒත් යේසුස් මේ පොළොවේ හිටපු කාලය පුරාම තමන් ගැන හිතන්නේ නැතුව දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා වැඩ කළා. (යොහ. 5:30) ඒ වෙනුවෙන් වධකණුවක වේදනාකාරී මරණයක් විඳින්න පවා ඔහු කැමති වුණා.—ෆිලි. 2:8.

2. දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා වැඩ කරන කෙනෙක් මොන වගේද? අපි එහෙම අය වෙන්න ඕනේ ඇයි?

2 තමන් ගැන හිතනවට වඩා දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා වැඩ කරන කෙනෙක් අනිත් අය වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන්න සූදානම්. (මතෙව් 16:24 කියවන්න.) තමන්ගේ හැඟීම්, තමන් කැමති දේවල් අනිත් අය වෙනුවෙන් දෙවෙනි තැනට දාන්න වුණත් කැමතියි. (ෆිලි. 2:3, 4) කෙනෙකුට එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒ කෙනා තුළ ප්‍රේමය තියෙනවා නම් විතරයි. ප්‍රේමය යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව අඳුනගන්න ලකුණක්. (යොහ. 13:34, 35) එහෙම බලද්දී යේසුස්ගේ අනුගාමිකයෙක් විදිහට දෙවිට නමස්කාර කරන්න නම් අපි ගැන හිතනවට වඩා දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා දේවල් කරන එක අත්‍යවශ්‍යයි.

3. දෙවිට මුල් තැන දීලා දේවල් කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය දුර්වල වෙන්න පුළුවන් කොහොමද?

3 දෙවිට මුල් තැන දීලා වැඩ කරන්න අපිට තියෙන අධිෂ්ඨානය ටිකෙන් ටික නැති කරන සතුරෙක් අපි තුළම ඉන්නවා. ඒ තමයි අපි තුළ තියෙන ආත්මාර්ථකාමී හැඟීම්. පරිපූර්ණ අය වුණ ආදම් සහ ඒව ගැන හිතන්න. ඒ දෙන්නත් තමන් තුළ ආත්මාර්ථකාමී හැඟීම් ඇති වෙන්න ඉඩහැරියා. ඒවට ඕනේ වුණේ දෙවි වගේ වෙන්න. ආදම්ට ඕනේ වුණේ තමන්ගේ බිරිඳව සතුටු කරන්න. (උත්. 3:5, 6) ඔවුන්ට පස්සේ හිටපු හුඟදෙනෙක්වත් සාතන් ඒ විදිහට රැවැට්ටුවා. ඔහු යේසුස්වත් ඒ විදිහට රවට්ටන්න උත්සාහ කළා. (මතෙ. 4:1-9) අපි පරෙස්සම් වුණේ නැත්නම් අපිත් ඔහුට රැවටිලා අපි ගැන විතරක් හිතන අය වෙන්න ඉඩ තියෙනවා.—එෆී. 2:2.

4. (අ) දැනට අපිට ආත්මාර්ථකාමී හැඟීම් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න බැරි ඇයි? පැහැදිලි කරන්න. (ආ) අපි සලකා බලන ප්‍රශ්න මොනවද?

4 අපි තුළ තියෙන ආත්මාර්ථකාමී හැඟීම් හරියට මලකඩ වගේ. වාහනයක් දිගටම අව්වට, වැස්සට නිරාවරණය වෙලා තිබුණොත් ටික දවසක් යද්දී ඒ වාහනය මලකඩ කන්න පටන්ගන්නවා. මුලදීම ඒක නැවැත්තුවේ නැත්නම් ඒ මලකඩ ටිකෙන් ටික වාහනය පුරා පැතිරෙනවා. කාලයක් යද්දී වාහනය හොඳටම දිරාපත් වෙලා පාවිච්චියට ගන්න බැරි තත්වයට පත් වෙනවා. අපිටත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි අසම්පූර්ණ නිසා අපි තුළ ආත්මාර්ථකාමී හැඟීම් ඇති වෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න දැනට අපිට බැහැ. අපි දිගටම ඒ හැඟීම් එක්ක සටන් කරන්න ඕනේ. එහෙම කළේ නැත්නම් අපි අපි ගැන විතරක් හිතන අය වෙයි. (1 කොරි. 9:26, 27) ආත්මාර්ථකාමී හැඟීම් අපි තුළ ටික ටික වර්ධනය වෙනවා කියලා අපි අඳුනගන්නේ කොහොමද? දෙවිට මුල් තැන දීලා වැඩ කරන්න අපිට තියෙන ආශාව තව වැඩි කරගන්නේ කොහොමද?

කණ්ණාඩියෙන් බලන්න

5. (අ) බයිබලය කණ්ණාඩියකට සමාන වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) ආත්මාර්ථකාමී හැඟීම් අපි තුළ තියෙනවද කියලා දැනගන්න නම් අපි නොකරන්න ඕනේ මොනවද?

5 කණ්ණාඩියකින් බලලා අපේ පෙනුමේ තියෙන අඩුපාඩු හදාගන්නවා වගේ අපේ පෞද්ගලිකත්වයේ තියෙන අඩුපාඩු දකින්නත් ඒවා හදාගන්නත් බයිබලය අපිට උදව් කරනවා. (යාකොබ් 1:22-25 කියවන්න.) අපි කණ්ණාඩියකින් බලද්දී ඕනෑවට එපාවට බැලුවොත් අපේ පෙනුමේ අඩුපාඩු දකින්න බැරි වෙනවා. සමහරවිට පුංචි ඒත් බරපතළ තත්වයකට පත් වෙන්න පුළුවන් දෙයක් අපිට නොපෙනෙන්න පුළුවන්. ඒ වගේම කණ්ණාඩිය දිහා අපි පැත්තකින් බැලුවොත් අපිට අපිව පේනවට වඩා පේන්නේ වෙන අයවයි. අපි බයිබලයෙන් අපේ අඩුපාඩු දිහා බලන්නෙත් එහෙමද? ආත්මාර්ථකාමී හැඟීම් අපි තුළ තියෙනවද කියලා දැනගන්න නම් අපි හදිස්සියෙන් බයිබලය කියවලවත් අනිත් අයගේ වැරදි දිහා බලන අරමුණින් බයිබලය අධ්‍යයනය කරලවත් හරියන්නේ නැහැ.

6. කිසි අඩුවක් නැති පරිපූර්ණ නීතිය සෝදිසි කරලා බලනවට අමතරව කරන්න ඕනේ මොකක්ද?

6 අපි බයිබලය දිනපතාම කියවනවා කියලා හිතන්න. ඒත් අපි තුළ වර්ධනය වෙන ආත්මාර්ථකාමී හැඟීම් අපිට නොපෙනෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඇයි? කණ්ණාඩියෙන් ‘තමන් දෙස බලන’ පුද්ගලයා ගැන කතා කරද්දී යාකොබ් පාවිච්චි කරලා තියෙන ග්‍රීක වචනයේ තේරුම ඒ පුද්ගලයා කණ්ණාඩියෙන් තමන් දෙස හොඳට බලනවා කියන එකයි. ඒ වුණත් ඔහුට තම අඩුපාඩු හදාගන්න බැරි වුණේ ඇයි? ‘ඔහු එතැනින් අහක්ව ගිය පසු තමන්ගේ පෙනුම මොන වගේද කියා ඉක්මනින්ම අමතක කර දමනවා’ කියලා යාකොබ් කියනවා. කණ්ණාඩියෙන් බලද්දී අඩුපාඩු දැක්කත් ඒවා හදාගන්න යමක් නොකරපු නිසයි ඔහුට එහෙම වුණේ. ඒත් අඩුපාඩු හදාගන්න උත්සාහ කරන කෙනෙක් ‘කිසි අඩුවක් නැති පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලලා’ ඒවා අමතක කරලා දාන්නේ නැහැ. ඔහු ‘දිගටම ඒ අනුව ජීවත් වෙනවා.’ යේසුත් කිව්වේ “ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා” කියලයි.—යොහ. 8:31.

7. අපි තුළ ඇති වෙන ආත්මාර්ථකාමී සිතුවිලි අඳුනගන්න නම් අපි බයිබලය කියවන්න ඕනේ කොහොමද?

7 ආත්මාර්ථකාමී සිතුවිලි එක්ක සටන් කරන්න නම් අපි හොඳට කාලය අරන් බයිබලය කියවන්න ඕනේ. එහෙම කරද්දී හදාගන්න ඕනෙ පැති අපිට පේනවා. ඒත් ඒ විතරක් මදි. අපි කියවන දේ ගැන ගැඹුරින් හොයලා බලන්නත් ඕනේ. බයිබලයෙන් යම් සිද්ධියක් කියවද්දී ඔබත් එතන ඉන්නවා කියලා හිතන්න. ඊටපස්සේ ‘මං ඒ පුද්ගලයා නම් ඒ වෙලාවේ මම මොනවද කරන්නේ, මං ඒ වෙලාවේ දෙවි බලාපොරොත්තු වෙන විදිහට වැඩ කරයිද’ කියලා හිතන්න. ඊටපස්සේ ඔබ අධ්‍යයනය කරපු දේවල් ජීවිතේට අදාළ කරගන්න. (මතෙ. 7:24, 25) දැන් අපි බයිබලයේ සඳහන් චරිත දෙකකින් ඉගෙනගන්න පුළුවන් මොනවද කියලා බලමු.

සාවුල්ගේ අවාදර්ශය

8. (අ) සාවුල් රජ වුණ අලුත මොන වගේ කෙනෙක්ද? (ආ) ඔහු ඒ වගේ කෙනෙක් කියලා පැහැදිලි වුණේ කොහොමද?

8 පරෙස්සම් වුණේ නැත්නම් අපි ටිකෙන් ටික අපි ගැන විතරක් හිතන පුද්ගලයෝ වෙන්න ඉඩ තියෙනවා. සාවුල් රජුට ඒ දේ සිද්ධ වුණා. ඔහු රජ වුණ අලුත හුඟක් නිහතමානී වගේම අනිත් අය ගැන හිතපු කෙනෙක්. (1 සාමු. 9:21) එක අවස්ථාවකදී ඊශ්‍රායෙල්වරු පිරිසක් ඔහුගේ රජකම ගැන අපහාසාත්මක විදිහට කතා කළා. ඔවුන් ඇත්තටම අපහාස කළේ යෙහෝවා දෙවි දීලා තිබුණ අධිකාරියට නිසා ඔවුන්ට දඬුවම් කරන්න ඔහුට පුළුවන්කම තිබුණත් ඔහු එහෙම කළේ නැහැ. (1 සාමු. 10:27) ඒ වගේම අම්මොන්වරුන්ට විරුද්ධව කරපු සටනෙදී ඔහු යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව වැඩ කළා. ඒ විතරක් නෙමෙයි ඒ සටන ජය ගත්තම ඒකේ ගෞරවය තමන්ට ගන්නේ නැතුව යෙහෝවා දෙවිට දුන්නා.—1 සාමු. 11:6, 11-13.

9. සාවුල් තමන් ගැන විතරක් හිතපු පුද්ගලයෙක් වුණේ කොහොමද?

9 ඒත් කාලයක් යනකොට සාවුල් වෙනස් වුණා. මලකඩ ටිකෙන් ටික පැතිරිලා මුළු යකඩයම දිරාපත් කරනවා වගේ ඔහු තුළ තිබුණ ආත්මාර්ථකාමී හැඟීම් ටිකෙන් ටික වර්ධනය වෙන්න ඉඩහැරිය නිසා අන්තිමට ඔහු තමන් ගැන විතරක් හිතපු උඩඟු පුද්ගලයෙක් වුණා. අමලෙක්වරුන්වත් ඔවුන්ට අයිති දේවලුත් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න කියලා දෙවි කියලා තිබුණත් ඒකට කීකරු වෙන්නේ නැතුව සමහර වටින දේවල් ඔහු තියාගත්තා. ඔහු උඩඟු විදිහට තමන්ගේ ස්මාරකයකුත් ඉදි කළා. (1 සාමු. 15:3, 9, 12) කරපු වරද ගැන සාමුවෙල් ඔහුට පෙන්නලා දුන්නම ඔහු නිදහසට කරුණු කිව්වා. ඔහු කීකරු වෙලා කරපු දේවලට අවධානය දුන්නා මිසක් අකීකරු වුණ පැත්ත ගැන හිතුවේ නැහැ. වරද අනිත් අය පිට දාන්නත් උත්සාහ කළා. (1 සාමු. 15:16-21) ඔහුට වැදගත් වුණේ දෙවිත් එක්ක තිබුණ මිත්‍රත්වය රැකගන්න එක නෙමෙයි. ඔහුගේ තත්වය, නම්බුව රැකගන්න එකයි. (1 සාමු. 15:30) සාවුල්ගේ අවාදර්ශය දිහා බලලා අපිට හදාගන්න පුළුවන් මොනවද?

10, 11. (අ) තමන් ගැන විතරක් හිතලා වැඩ කරන්න තියෙන ආශාව පරාජය කරන්න නම් අපි මොනවද කරන්න ඕනේ? (ආ) සාවුල්ගේ අවාදර්ශය අනුගමනය නොකර ඉන්න පුළුවන් කොහොමද?

10 සාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පළවෙනි පාඩම තමයි අපි ගැන ඕනෑවට වඩා විශ්වාසය තියන්න හොඳ නැහැ කියන එක. ඒක ලේසි නැහැ. ඒකට අපේ පැත්තෙන් අපි දිගටම ලොකු උත්සාහයක් දරන්න ඕනේ. (1 තිමෝ. 4:10) සාවුල් මුලින් හොඳ කෙනෙක්. කාලයක් යනකම් දෙවි සතුටු වෙන විදිහට වැඩ කළා. ඒත් ඔහු තුළ තිබුණ ආත්මාර්ථකාමී හැඟීම් ටිකෙන් ටික වැඩි වෙද්දී ඒවා පරාජය කරන්න පියවර ගත්තේ නැති නිසා ඔහු දෙවිට අකීකරු වුණා. අන්තිමේදී දෙවි ඔහුව ප්‍රතික්ෂේප කළා.

11 දෙවෙනි පාඩම තමයි අපි කරන හොඳ දේවල් ගැන විතරක් හිතලා, හදාගන්න ඕනෙ පැති අමතක කරලා දාන ඒකේ භයානකකම. ඒක හරියට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් අපේ අලුත් ඇඳුම් දිහා බලබල ඉන්නවා මිසක් මූණේ වැදිලා තියෙන දැලි දිහා බලන්න උනන්දු වෙන්නේ නැහැ වගේ දෙයක්. අපි සාවුල් තරම් උඩඟු, තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසයෙන් ඉන්න අය නොවෙන්න පුළුවන්. ඒත් අපි තුළ ඇති වෙන ආත්මාර්ථකාමී සිතුවිලි පරාජය කරන්න අපි උත්සාහ කළේ නැත්නම් අපිත් සාවුල් වගේ වෙන්න ඉඩ තියෙනවා. උපදෙස් මඟ පෙන්වීම් ලැබෙද්දී නිදහසට කරුණු කියන්නවත් වරද වෙන කෙනෙක් පිට දාන්නවත් හදන්නේ නැතුව ඒ උපදෙස් නිහතමානීව පිළිගමු.—ගීතාවලිය 141:5 කියවන්න.

12. තමන් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැති කෙනෙක් තමන් අතින් බරපතළ වරදක් වුණොත් මොනවද කරන්නේ?

12 අපි අතින් බරපතළ වරදක් වුණොත් මොකද කරන්නේ? දෙවි එක්ක තිබුණ මිත්‍රත්වය ආයෙත් ශක්තිමත් කරගන්න එක ගැන හිතනවා වෙනුවට සාවුල් හිතුවේ ඔහුගේ තත්වය, නම්බුව ගැන විතරයි. ඒත් තමන් ගැන විතරක් හිතලා වැඩ කරන්නේ නැති කෙනෙක් කොයි තරම් ලැජ්ජාවක් දැනුණත් වුණ වරද හදාගන්න අනිත් අයගේ උදව් ඉල්ලනවා. (හිතෝ. 28:13; යාකො. 5:14-16) මේ අද්දැකීම බලන්න. සහෝදරයෙක් වයස 12 ඉඳන් කාමුක දර්ශන බලන්න පුරුදු වෙලා හිටියා. ඔහු අවුරුදු 10කටත් වැඩි කාලයක් එහෙම කළා. ඔහු මෙහෙම කියනවා. “මගේ වරද ගැන බිරිඳට, වැඩිමහල්ලන්ට කියන්න මට හුඟක් අමාරු වුණා. ඒත් අමාරුවෙන් හරි එහෙම කරපු නිසා මට දැනෙන්නේ මගේ ඔළුවේ තිබුණ ලොකු බරක් අයින් වුණා වගෙයි. සහායක සේවකයෙක් විදිහට මට තිබුණ වගකීම් නැති වුණ එක ගැන මගේ යාළුවෝ හුඟක් දුක් වුණා. මං තව වැඩි සේවයක් කරයි කියලා ඒගොල්ලන්ට තිබුණ බලාපොරොත්තු මං කඩ කළා කියලයි ඒ අයට හැඟුණේ. ඒත් වැරැද්දක් කරකර දෙවිට වැඩියෙන් සේවය කරනවට වඩා මං දැන් කරන සේවය දෙවි අගය කරනවා කියලා මං දන්නවා. අනිත් අය මං ගැන හිතන දේට වඩා දෙවි මං ගැන හිතන විදිහයි මට වටින්නේ.”

පේතෘස්ගේ ආදර්ශය

13, 14. පේතෘස්ටත් ආත්මාර්ථකාමී හැඟීම් ඇති වුණා කියලා අපි දන්නේ කොහොමද?

13 යේසුස්ගෙන් පුහුණුව ලබපු කාලෙදීත් පේතෘස් තමන් ගැන හිතනවට වඩා දෙවිට මුල් තැන දීලා වැඩ කරන කෙනෙක් කියලා පැහැදිලිව පෙනුණා. (ලූක් 5:3-11) ඒත් ඒක ලේසි වුණේ නැහැ. ඔහුටත් ආත්මාර්ථකාමී හැඟීම් එක්ක සටන් කරන්න සිද්ධ වුණා. එක අවස්ථාවක යාකොබ් සහ යොහන් දේවරාජ්‍යයේ උසස් තනතුරු යේසුස්ගෙන් ඉල්ලුවම පේතෘස්ට ඒ ගැන හුඟක් කේන්ති ගියා. ඔහුට කේන්ති ගියේ ඒ තනතුරු තමන්ට ලැබෙන්න ඕනේ කියලා හිතපු නිසා වෙන්න පුළුවන්. මොකද කලින් අවස්ථාවක ඔහුට විශේෂ වගකීම් දෙනවා කියලා යේසුස් කිව්ව දේ ඔහුගේ මනසේ තියෙන්න ඇති. (මතෙ. 16:18, 19) ඒත් ආත්මාර්ථකාමී නොවී ඉන්න එකේ වැදගත්කම ගැනත් අනිත් සහෝදරයන්ට වඩා තමන් උසස් කියලා හිතන එකේ භයානකකම ගැනත් යේසුස් ඔහුගේ ගෝලයන්ට කියලා දුන්නා.—මාක් 10:35-45.

14 ඊටපස්සෙත් පේතෘස් තමන් ගැන හිතලා වැඩ කරපු අවස්ථා තිබුණා. එක අවස්ථාවක තමන්ගේ නියෝජිතයෝ හැමෝම කෙටි කාලයකට තමන්ව අත්හැරලා යනවා කියලා යේසුස් කිව්වම පේතෘස් අනිත් ගෝලයන්ව පහත් කරලා තමන්ට අවධානය ගන්න හිතාගෙන ‘අනිත් හැමෝම එහෙම කළත් මම නම් විශ්වාසවන්තව ඉන්නවා’ කියලා කිව්වා. (මතෙ. 26:31-33) තමන් ගැන ලොකු විශ්වාසයකින් එහෙම කිව්වත් ඔහු වැරදියි කියලා එදා රෑම ඔප්පු වුණා. ඔහුගේ ජීවිතේ ආරක්ෂා කරගන්න ඕනේ නිසා යේසුස්ව අඳුනන්නේ නැහැ කියලා ඔහු තුන් පාරක්ම කිව්වා.—මතෙ. 26:69-75.

15. පේතෘස් අපිට ආදර්ශයක් කියලා කියන්නේ ඇයි?

15 ඒ වගේ යම් යම් අවස්ථාවලදී පේතෘස් තමන් ගැන හිතලා වැඩ කළා වුණත් ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන්. ඒකට හේතුව ඔහු ලොකු වෙහෙසක් දරලා දෙවිගේ උපකාරයත් ඇතුව තමන් තුළ තිබුණ ආත්මාර්ථකාමී හැඟීම් පරාජය කරපු නිසයි. කාලයක් යද්දී ඔහු තමන්වම පාලනය කරගත්ත, තමන්ට වඩා අනිත් අය ගැන හිතලා වැඩ කරන කෙනෙක් වුණා. (ගලා. 5:22, 23) කලින් විඳදරාගන්න පුළුවන්කමක් තිබුණේ නැති පීඩා විඳදරාගන්නත් විවිධ තත්වයන්ට සාර්ථකව මුහුණ දෙන්නත් පස්සේ ඔහුට පුළුවන් වුණා. එක අවස්ථාවක ඔහු කරපු වරදකට පාවුල් අනිත් අය ඉස්සරහ උපදෙස් දුන්නම ඔහු ඒක නිහතමානීව පිළිගත්තා. (ගලා. 2:11-14) ඔහු පාවුල් එක්ක තරහ වුණේ නැහැ. තමන්ගේ නමට කැළලක් වුණා කියලා හිතුවේ නැහැ. ඔහු දිගටම පාවුල්ව සැලකුවේ තමන්ගේ ‘ප්‍රේමණීය සහෝදරයෙක්’ විදිහටයි.—2 පේතෘ. 3:15.

උපදෙසක් ලැබුණම පේතෘස් ක්‍රියා කළේ කොහොමද? අපිත් ක්‍රියා කරන්නේ ඒ විදිහටද? (15 ඡේදය බලන්න)

16. අසීරු අවස්ථාවලට මුහුණ දෙද්දී අපි ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් කොහොමද?

16 පීඩා එද්දී ඔබ ඒවාට මුහුණ දෙන්නේ කොහොමද? යේසුස් ගැන දේශනා කරපු නිසා පේතෘස්ටත් අනිත් නියෝජිතයන්ටත් හොඳටම පහර දීලා හිරේට දැම්ම වෙලාවේ යේසුස් නිසා “නින්දා විඳින්න ලැබීම” ගැන ඔවුන් සතුටු වුණා. (ක්‍රියා 5:41) ඒ වගේ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී පේතෘස්වත් යේසුස්වත් ආදර්ශයට අරන් තමන් ගැන විතරක් හිතන්නේ නැතුව වැඩ කරන්න ඉගෙනගන්න ඔබටත් පුළුවන්. (1 පේතෘස් 2:20, 21 කියවන්න.) එතකොට වැඩිමහල්ලන්ගෙන් උපදෙසක්, අවවාදයක් ලැබුණම තරහගන්නේ නැතුව පේතෘස් වගේ ක්‍රියා කරන්න ඔබට පුළුවන් වෙයි.—දේශ. 7:9.

17, 18. (අ) අපිට තියෙන ඉලක්ක ගැන අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්න මොනවද? (ආ) අපි තුළ ආත්මාර්ථකාමී හැඟීමක් තියෙනවා කියලා තේරුණොත් කරන්න පුළුවන් මොනවද?

17 දෙවිට වැඩියෙන් සේවය කරන්න ඉලක්ක තියාගෙන ඉන්න අයටත් පේතෘස්ගෙන් යමක් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේ ඉලක්ක තියාගෙන වැඩ කරන්න ඕනෙ අනිත් අයට සේවය කරන්න තියෙන ආශාව නිසා මිසක් අපිටම අවධානය ගන්න තියෙන වුවමනාව නිසා නෙමෙයි. ඒ නිසා ඔබෙන්ම මෙහෙම අහගන්න. ‘මට දෙවි වෙනුවෙන් වැඩි සේවයක් කරන්න ඇත්තටම ඕනේ ඇයි? මට ඕනෙ අනිත් අයගෙන් ප්‍රශංසාව ලබාගන්නද? යාකොබ්ට, යොහන්ට ඕන වුණා වගේ යම් බලතල ලබාගන්නද?’

18 ඔබට තියෙන්නේ ආත්මාර්ථකාමී හැඟීමක් කියලා තේරුණොත් මොකද කරන්නේ? ඔබ හිතන විදිහ, ඔබට හැඟෙන විදිහ වෙනස් කරගන්න උදව් ඉල්ලලා දෙවිට යාච්ඤා කරන්න. ඔබටම අවධානය ගන්න හදනවා වෙනුවට දෙවිට ගෞරවය ලැබෙන විදිහට වැඩ කරන්න උත්සාහ කරන්න. (ගීතා. 86:11) ඒ වගේම අනිත් අයගේ අවධානය වැඩිය ලැබෙන්නේ නැති ඉලක්ක තියාගෙන වැඩ කරන්නත් ඔබට පුළුවන්. උදාහරණයකට දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී කෙනෙක් තුළ ඇති වෙන ගුණාංගවලින් ඔබට අඩුයි කියලා හිතෙන යම් ගුණාංගයක් තියෙනවා නම් ඒක තව වර්ධනය කරගන්න උත්සාහ කරන්න. රැස්වීම්වලදී ලැබෙන කොටස්වලට ඔබ හොඳින් සූදානම් වුණත් නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන වැඩවලට හවුල් වෙන්න එච්චර කැමැත්තක් නැත්නම් රෝම 12:16 (කියවන්න.) තියෙන උපදෙස අදාළ කරගන්න ඉලක්කයක් තියාගන්න.

19. බයිබලයෙන් අපේ අඩුපාඩු දකිද්දී අධෛර්යය නොවී ඉන්න නම් කරන්න ඕනේ මොනවද?

19 කණ්ණාඩියකින් බලනවා වගේ බයිබලයෙන් ඔබ ගැන සෝදිසි කරලා බලද්දී අඩුපාඩු, ආත්මාර්ථකාමී හැඟීම් පේන්න තිබුණොත් අධෛර්යය වෙන්න එපා. කණ්ණාඩියෙන් බලලා තමන්ගේ වැරදි හදාගත්ත පුද්ගලයා ගැන හිතන්න. ඔහුගේ වැරදි හදාගන්න ඔහුට කොච්චර කාලයක් ගියාද කියලවත් ඔහු තුළ තිබුණ හැම වරදක්ම හදාගත්තද කියලවත් යාකොබ් කියන්නේ නැහැ. ඒ වෙනුවට යාකොබ් කියන්නේ ඔහු “පරිපූර්ණ නීතියට” අනුව දිගටම ජීවත් වෙනවා කියලයි. (යාකො. 1:25) ඔහු කණ්ණාඩියෙන් දැකපු දේ මතක තියාගෙන ඒවා හදාගන්න දිගටම උත්සාහ කළා. ඒ නිසා ඔබ තුළ තියෙන වැරදි කවදාවත් හදාගන්න බැහැ කියලා හිතන්න එපා. අපි පරිපූර්ණ අය නෙමෙයි කියලත් මතක තියාගන්න. (දේශනාකාරයා 7:20 කියවන්න.) ඔබේ සහෝදර සහෝදරියෝ හුඟදෙනෙකුට උදව් කළා වගේ ඔබටත් උදව් කරන්න දෙවි බලාගෙන ඉන්නවා. දිගටම බයිබලයේ මඟ පෙන්වීම් අදාළ කරගෙන තමන් ගැන විතරක් හිතන්නේ නැතුව වැඩ කළොත් දෙවි ඔබ ගැන සතුටු වෙනවා වගේම දෙවිගේ ආශීර්වාදත් ඔබට ලැබෙනවා නොඅනුමානයි.