Skip to content

පටුනට යන්න

“නොපෙනෙන තැනැත්තාණන්ව” ඔබට පේනවද?

“නොපෙනෙන තැනැත්තාණන්ව” ඔබට පේනවද?

‘නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් ඔහු දිගටම ස්ථිරව සිටියා.’හෙබ්‍රෙ. 11:27.

1, 2. (අ) මෝසෙස්ගේ ජීවිතේ අනතුරේ තිබුණේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) පාරාවෝට මෝසෙස් බය වුණේ නැත්තේ ඇයි?

පාරාවෝ ඊජිප්තුවරුන්ට පාලකයෙක් වගේම ඔවුන්ගේ දෙවියාත් ඔහුයි. පොතක සඳහන් වෙන විදිහට “වෙන කිසිම කෙනෙකුට වඩා ප්‍රඥාවක්, බලයක් පාරාවෝට තිබුණා කියලා ඊජිප්තුවරුන් හිතුවා.” (When Egypt Ruled the East) පාරාවෝට ඕන වුණෙත් මිනිසුන් තමන්ට බයෙන් ඉන්නවටයි. දෂ්ට කරන්න බලාගෙන ඉන්න නාගයෙකුගේ රූපයක් සහිත ඔටුන්නක් ඔහු පැළඳ සිටියේ සතුරන්ව ඉක්මනින්ම විනාශ කරනවා කියලා පෙන්නන්නයි. “මම ඔබව පාරාවෝ වෙතට යවන්නෙමි. ඔබ ගොස් මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන්න” කියලා යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්වම ඔහුට කොහොම හැඟෙන්න ඇද්ද!නික්. 3:10.

2 දෙවිගේ පණිවිඩය මෝසෙස් කිව්වම පාරාවෝට හුඟක් තරහ ගියා. පීඩා නවයකින් පහර ලැබුවට පස්සේ පාරාවෝ මෝසෙස්ට කිව්වේ “තව මොහොතක්වත් මෙතැන රැඳී සිටින්න නුඹට බැහැ. මගේ දෑහට නොපෙනී මෙතැනින් යනවා යන්න. මා ළඟට ආපහු ආවොත් නුඹව මරනවා” කියලයි. (නික්. 10:28) ඒත් ඔහු බය නැතුව පාරාවෝගේ කුලුඳුල් පුත්‍රයා මිය යනවා කියන අනාවැකියත් කිව්වා. (නික්. 11:4-8) ඊටපස්සේ පිරිමි බැටළු පැටියෙක්ව නැත්නම් එළු පැටියෙක්ව මරලා උගේ ලේ උළුවහු කණුවේ ගාන්න කියලා මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා. ඊජිප්තුවරුන් රා කියන දෙවියාට කරපු නමස්කාරයේදී බැටළුවාව සැලකුවේ ශුද්ධ සතෙක් විදිහට නිසා පාරාවෝට ඒ ගැනත් තරහ යන්න ඇති. (නික්. 12:5-7) ඒත් මෝසෙස් ‘රජුගේ කෝපයට බිය නොවී නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් දිගටම ස්ථිරව සිටියා.’හෙබ්‍රෙව් 11:27, 28 කියවන්න.

3. මෝසෙස්ගේ විශ්වාසය ගැන අපි සලකා බලන්නේ මොනවද?

3 ඔබටත් ‘දෙවිව දකින’ තරම් විශ්වාසයක් තියෙනවද? (මතෙ. 5:8) “නොපෙනෙන තැනැත්තාණන්ව” දකින්න මෝසෙස්ගේ ආදර්ශය අපිට උදව් වෙනවා. මිනිසුන්ට බය නොවී ඉන්න විශ්වාසය ඔහුට උදව් වුණේ කොහොමද? දෙවිගේ පොරොන්දු විශ්වාස කළා කියලා ඔහු පෙන්නුවේ කොහොමද? අනතුරු අවස්ථාවලට මුහුණ දෙද්දී විශ්වාසය ඔහුට ශක්තියක් වුණේ කොහොමද?

ඔහු ‘රජුගේ කෝපයට බය වුණේ නැහැ’

4. දෙවි ගැන විශ්වාසයක් නැති අය මෝසෙස් පාරාවෝ ඉදිරියට යන එක ගැන හිතන්න ඇත්තේ කොහොමද?

4 පාරාවෝ එක්ක බලද්දී මෝසෙස් නිකම්ම නිකම් මිනිහෙක් විතරයි කියලා දෙවි ගැන විශ්වාසයක් නැති අය හිතන්න ඇති. ඔහුගේ ජීවිතේ රැඳිලා තිබුණේ පාරාවෝගේ අතේ කියලයි පේන්න තිබුණේ. “මා වැනි කෙනෙකුට පාරාවෝ ළඟට යා හැකිද? ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට රැගෙන ඒමට මට පුළුවන්ද” කියලා ඔහු දෙවිගෙන් ඇහුවා. (නික්. 3:11) ඊට අවුරුදු 40කට විතර කලින් මෝසෙස් ඊජිප්තුවෙන් පලා ඇවිත් තිබුණා. ‘ආයෙත් එහෙට ගිහින් රජුව තරහ ගස්වන එක නුවණට හුරු දෙයක්ද’ කියලා මෝසෙස්ට හිතෙන්න ඇති.

5, 6. පාරාවෝට බය වෙන්නේ නැතුව දෙවිට ගරුබිය දක්වන්න මෝසෙස්ට උදව් වුණේ මොනවද?

5 ‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීම’ මිසක් මිනිසුන්ට බය වීම නෙමෙයි කියලා ඊජිප්තුවට යන්න කලින් යෙහෝවා දෙවි මෝසෙස්ට කියලා දුන්නා. (යෝබ් 28:28) තමන් හා මිනිසුන් අතර තියෙන වෙනස ගැන දෙවි කිව්වේ මෙහෙමයි. “මනුෂ්‍යයාට මුඛයක් දුන්නේ කවුද? ඔහුව ගොළුවෙකු නැත්නම් බිහිරෙකු කරන්නේ කවුද? ඔහුට පෙනීම දෙන්නෙත් ඔහුව අන්ධයෙකු කරන්නෙත් කවුද? යෙහෝවා දෙවි වන මා නොවෙයිද?”නික්. 4:11.

6 මෝසෙස්ට පැවරුම දුන්නේ යෙහෝවා දෙවි නිසා ඔහුට බය වෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඔහුට ඕන කරන බලය, ශක්තිය දෙවි අනිවාර්යයෙන්ම දෙනවා. අනික ඊජිප්තුවේදී දෙවිගේ සේවකයන්ගේ ජීවිත අනතුරේ තිබුණ පළවෙනි වතාවත් ඒක නෙමෙයි. ඊට කලිනුත් ආබ්‍රහම්, යෝසෙප් වගේම මෝසෙස්ගේ ජීවිතයත් පාරාවෝගේ අතින් දෙවි බේරගෙන තිබුණා. (උත්. 12:17-19; 41:14, 39-41; නික්. 1:22–2:10) ඒ හේතු නිසා “නොපෙනෙන තැනැත්තාණන්ව” දකින තරම් විශ්වාසයකින් පාරාවෝ ළඟට යන්න මෝසෙස්ට පුළුවන් වුණා.

7. මිනිසුන්ට බය නොවී ඉන්න විශ්වාසය එලාට උදව් වුණේ කොහොමද?

7 මිනිසුන්ට බය නොවී ඉන්න එස්තෝනියාවේ හිටපු එලා කියන සහෝදරියටත් විශ්වාසය උදව් වුණා. 1949දී සෝවියට් රජයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් එයාව අත්අඩංගුවට අරන් එයාව සම්පූර්ණයෙන්ම නිරුවත් කරලා තරුණ නිලධාරීන් ඉස්සරහ හිටවලා තිබ්බා. “මට දැනුණේ පුදුම ලැජ්ජාවක්. ඒත් මං දෙවිට යාච්ඤා කළාට පස්සේ මගේ හිතට පුදුම සමාදානයක් දැනුණා” කියලා එයා කියනවා. ඊටපස්සේ එයාව පුංචි, අඳුරු කාමරයක දවස් තුනක් හිර කරලා තිබ්බා. ඔය අතරේ එතන හිටපු නිලධාරීන් කෑගහලා මෙහෙම කිව්වා. “අපි යෙහෝවා කියන නම එස්තෝනියාවෙන් අතුගාලා දානවා. ඔයාව කඳවුරකට දාලා අනිත් අයව සයිබීරියාවට යවනවා. කෝ දැන් ඔයාලගේ මහ ලොකු යෙහෝවා?” එලා ඒ අයට බය වුණාද? නිලධාරීන් ප්‍රශ්න කරද්දී එයා කිව්වේ මෙහෙමයි. “මං තීරණයක් ගත්තා. මෙතනින් නිදහස් වෙලා දෙවිගේ අනුමැතිය නැති කරගෙන ජීවත් වෙනවට වඩා දෙවිත් එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගෙන මං හිරේම ඉන්නවා.” දෙවිව දකින තරමේ විශ්වාසයක් එයාට තිබුණා. ඒ නිසා එලා දිගටම නොසැලී දෙවිට කීකරු වුණා.

8, 9. (අ) මිනිසුන්ට තියෙන බය නැති කරගන්න ඔබ කරන්න ඕනෙ මොනවද? (ආ) මිනිසුන් ගැන හිතේ බයක් ඇති වුණොත් ඔබ මතක් කරගන්න ඕනෙ මොනවද?

8 දෙවි ගැන ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් ඔබටත් පුළුවන් මිනිසුන්ට බය නොවී ඉන්න. ඔබ දෙවිට කරන නමස්කාරය නවත්තන්න බලධාරීන් දරුණු දේවල් කරයි. ඒ වෙලාවලදී ඔබේ ජීවිතේ රැඳිලා තියෙන්නේ ඔවුන්ගේ අතේ කියලා හිතෙන්න පුළුවන්. ‘දිගටම දෙවිට විශ්වාසවන්තව ඉඳලා බලධාරීන්ව තරහ ගස්වන එක නුවණට හුරු දෙයක්ද’ කියලා ඔබට හිතෙයි. (හිතෝපදේශ 29:25 කියවන්න.) ඒත් දෙවි ඔබෙන් මෙහෙම අහනවා. ‘තණකොළ ගසක් මෙන් සැණෙකින් මිය යන මිනිසෙකුට භය වෙන්නේ ඇයි?’යෙසා. 51:12, 13.

9 හැමෝටම වඩා බලවත් දෙවි පියාණන්ව මතකයේ තියාගන්න. අසාධාරණකම් නිසා දුක් විඳින ඔහුගේ සේවකයන් දිහා ඔහු බලාගෙන ඉන්නවා. ඔවුන්ගේ දුක ඔහුටත් දැනෙනවා. පිරී ඉතිරී යන දයානුකම්පාවෙන් ඔහු ඒ අයට උදව් කරනවා. (නික්. 3:7-10) බලවත් නිලධාරීන් ඉදිරියේ “ඔබ කෙසේ කතා කළ යුතුද කියාවත් කුමක් කිව යුතුද කියාවත් සිතමින් කනස්සලු වෙන්න එපා. ඔබ කිව යුත්තේ කුමක්ද කියා ඔබට ඒ අවස්ථාවේදීම දැනගන්න ලැබෙයි.” (මතෙ. 10:18-20) යෙහෝවා දෙවිට තියෙන බලය එක්ක බලද්දී පාලකයන්ට හා බලධාරීන්ට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. මේ කාලයේදී ඔබ ඔබේ විශ්වාසය ශක්තිමත් කරගන්නවා නම් දෙවිව දකින්න ඔබට පුළුවන් වෙයි.

ඔහු දෙවිගේ පොරොන්දු විශ්වාස කළා

10. (අ) දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කරන්න කිව්වේ මොකක්ද? (ආ) මෝසෙස් දෙවි කියපු විදිහට කළේ ඇයි?

10 ඊශ්‍රායෙල්වරුන් කරන්න ඕන දෙයක් ගැන ක්‍රි.පූ. 1513දී යෙහෝවා දෙවි මෝසෙස්ටත් ආරොන්ටත් දැනුම් දුන්නා. නිරෝගී බැටළු පැටියෙක්ව නැත්නම් එළු පැටියෙක්ව මරලා උගේ ලේ උළුවස්සේ ගාන්න කියලා දෙවි කිව්වා. (නික්. 12:3-7) ඊශ්‍රායෙල්වරු ඊට කලින් ඒ වගේ දෙයක් කරලා තිබුණේ නැහැ. ඒත් ‘තම විශ්වාසයට අනුව ක්‍රියා කළ මෝසෙස්, පාස්කුව පැවැත්වූ අතර දේවදූතයා ඔවුන්ගේ කුලුඳුලන්ව මරණයට පත් නොකිරීම සඳහා ඔහු උළුවහුවල ලේ තැවරීමට පියවර ගත්තා.’ (හෙබ්‍රෙ. 11:28) දෙවි කිව්ව විදිහටම ඊජිප්තුවරුන්ගේ කුලුඳුලන් අනිවාර්යයෙන්ම මිය යනවා කියන එක ගැන මෝසෙස්ට කිසිම සැකයක් තිබුණේ නැහැ.

11. දෙවි කියපු විදිහටම කරන්න කියලා මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ ඇයි?

11 ඒ වෙනකොට මෝසෙස්ගේ දරුවන් හිටියේ මිදියන් දේශයේ. ඒ නිසා ඔවුන් ගැන කරදර වෙන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ. ඒත් තමන්ගේ දරුවන්ට වගේම තමන්ගේ සෙනඟගේ දරුවන්ටත් මෝසෙස් ආදරේ කළා. ඒ නිසයි දෙවි කියපු විදිහටම කරන්න කියලා මෝසෙස් කිව්වේ. (නික්. 18:1-6) දරුවන්ගේ ජීවිත ‘දේවදූතයාගෙන්’ බේරගන්න ඕන නිසා මෝසෙස් “ඒ මොහොතේදීම ඊශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලන්ව කැඳවා ඔවුන්ට මෙසේ කීවේය. . . . ‘පාස්කුව සඳහා ඔප්පු කරන ඒ සතාව මරන්න.’”නික්. 12:21.

12. අපි මිනිසුන්ට දන්වන්න ඕන පණිවිඩය මොකක්ද?

12 “දෙවිට ගරුබිය දක්වන්න. ඔහුට නිසි ගෞරවය දෙන්න. මන්ද ඔහුගේ විනිශ්චය සිදු කරන පැය පැමිණ ඇත. එහෙයින් අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද සෑදූ තැනැත්තාණන්ට නමස්කාර කරන්න” කියන වැදගත් පණිවිඩය අද ඉන්න දෙවිගේ සෙනඟත් දේවදූතයන්ගේ උපකාරය ඇතුව හැමෝටම දැනුම් දෙනවා. (එළි. 14:7) අසත්‍යය උගන්නන ආගම් අත්හැරලා එන්න කියලා අපි මිනිසුන්ට කියන්න ඕනේ. එහෙම කළොත් විතරයි ඒ ආගම් ඉදිරියේදී ‘මුහුණ දෙන පීඩාවලට හසු නොවී’ ඉන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ. (එළි. 18:4) අභිෂේක ලත් අය “වෙනත් බැටළුවන්” එක්ක එකතු වෙලා “දෙවි සමඟ සමාදාන වන්න” කියලා මිනිසුන්ට ආයාචනා කරන්නේ ඔවුන්ට තියෙන ආදරේ නිසයි.යොහ. 10:16; 2 කොරි. 5:20.

විශ්වාසය තියෙනවා නම් ශුභාරංචිය දේශනා කරන්න ඔබේ හිතේ තියෙන ආශාව තව වැඩි වෙයි (13 ඡේදය බලන්න)

13. ශුභාරංචිය දේශනා කරන්න ඔබේ හිතේ තියෙන ආශාව තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?

13 “විනිශ්චය සිදු කරන පැය පැමිණ ඇත” කියලා අපිට සැකයක් නැහැ. ඒ වගේම දේශනා කිරීම කොයි තරම් හදිසි දෙයක්ද කියන එක ගැනත් අපිට සැකයක් නැහැ. ‘දේවදූතයන් හතරදෙනෙකු පොළොවේ සතර කොනේ සිටගෙන සිටිනවත් ඔවුහු පොළොවේ සතරදිග සුළං තදින් අල්ලාගෙන සිටිනවත්’ යොහන් දර්ශනයකින් දැක්කා. (එළි. 7:1) ඒ දේවදූතයන් හතරදෙනා මහත් පීඩාව නමැති විනාශකාරී සුළං අතහරින්න සූදානමින් ඉන්නවා ඔබට පේනවද? ඔබට ඔවුන්ව පේනවා නම් මහත් විශ්වාසයකින් ශුභාරංචිය දේශනා කරන්න ඔබට පුළුවන් වෙයි.

14. දුෂ්ට මිනිසුන්ට ඔවුන්ගේ ‘දුෂ්ට ක්‍රියා ගැන අනතුරු අඟවන්න’ අපි පෙලඹෙන්න ඕන ඇයි?

14 අපිට දෙවි එක්ක හොඳ බැඳීමක් තියෙනවා. සදාකාලයටම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම අපිට වගකීමකුත් තියෙනවා. ඒ තමයි දුෂ්ට කෙනෙක්ට ‘ඔහුගේ දුෂ්ට ක්‍රියා ගැන අනතුරු අඟවා ඔහුගේ ජීවිතය බේරාගැනීමට උත්සාහ කරන’ එක. (එසකියෙල් 3:17-19 කියවන්න.) අපි දේශනා සේවයේ යන්නේ ඒ හේතුව නිසාම විතරක් නෙමෙයි. අපේ දෙවි යෙහෝවාටත් අපේ අසල්වැසියන්ටත් අපි ආදරේ කරන නිසයි. යහපත් සමරිතානුවරයාගේ කතන්දරයෙන් අසල්වැසියන්ට ඇත්තටම ආදරේ, දයාව පෙන්නන්නේ කොහොමද කියන එක ගැන යේසුස් වටිනා පාඩමක් කියලා දුන්නා. ‘මං කවුරු වගේද? සමරිතානුවරයා වගේද නැත්නම් පූජකයායි ලෙවීවරයායි වගේද? මං හැම තිස්සෙම සත්‍ය පණිවිඩය අනිත් අයට කියන්න ලෑස්ති වෙලා ඉන්නවද? නැත්නම් ඒක නොකරන්න නිදහසට කරුණු කියකිය ඉන්නවද?’ ඒ ගැන අපි අපෙන්ම අහගමු. (ලූක් 10:25-37) දෙවිගේ පොරොන්දු ගැන අපිට විශ්වාසයි නම් අපේ අසල්වැසියන්ට අපි ආදරේ නම් අපි උපරිමයෙන්ම දේශනා සේවයේ හවුල් වෙනවා. ඒකට අපි තාමත් ප්‍රමාද නැහැ.

ඊශ්‍රායෙල්වරු ‘රතු මුහුද මැදින් ගමන් කළා’

15. ඊශ්‍රායෙල්වරුන්ට තමන් කොටු වෙලා කියලා හැඟුණේ ඇයි?

15 ඊජිප්තුවෙන් පිට වෙලා ආවට පස්සේ සිද්ධ වුණ දේට මුහුණ දෙන්නත් “නොපෙනෙන තැනැත්තාණන්ව” දකින තරමට තිබුණ විශ්වාසය මෝසෙස්ට උදව් වුණා. ඊජිප්තු “හමුදාව ඊශ්‍රායෙල් පුත්‍රයන් සිටි ස්ථානයට ළඟා වූ විට ඊශ්‍රායෙල් ජනයා මහත් සේ භය වී යෙහෝවා දෙවිට මොරගැසුවෝය” කියලා බයිබලයේ කියනවා. (නික්. 14:10-12) ඊශ්‍රායෙල්වරුන් ඒ ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද ඒ ගැන දෙවි කලින්ම මෙහෙම කියලා තිබුණා. “පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ එයි. මමද ඔහුට එලෙස ක්‍රියා කිරීමට ඉඩහරින්නෙමි. නමුත් ඔහුවත් ඔහුගේ මුළු හමුදාවත් මම අන්ත පරාජයකට පත් කර මගේ නාමය ගෞරවයට පත් කරන්නෙමි. එවිට ඊජිප්තුවරුන් මා යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනී.” (නික්. 14:4) දෙවිගේ ඒ වචන ගැන ඊශ්‍රායෙල්වරුන්ට විශ්වාසයක් තිබුණේ නැහැ. ඉදිරියෙන් ඇති රතු මුහුදත් පිටුපසින් එන බලවත් හමුදාවත් අතර තමන් කොටු වෙලා කියලයි ඔවුන්ට හැඟුණේ. අවුරුදු 80ක මහලු එඬේරෙක් වුණ ඔවුන්ගේ නායකයාට ඔවුන්ව ගලවගන්න කොහොමටවත් බැහැ කියලා ඔවුන් හිතුවා.

16. රතු මුහුද ළඟදී විශ්වාසය මෝසෙස්ට ශක්තියක් වුණේ කොහොමද?

16 මෝසෙස්ට නම් ඒ වෙලාවේ බයක් දැනුණේ නැහැ. ඒකට හේතුව ඉදිරියෙන් තිබුණ රතු මුහුදටත් පිටුපසින් එන හමුදාවටත් වඩා බලවත් දෙයක් ඔහු දැක්ක නිසයි. ‘යෙහෝවා දෙවි ඔවුන්ව ගලවගන්න ආකාරය ඔහු දෑසින්ම දැක්කා.’ දෙවි තම සෙනඟ වෙනුවෙන් සටන් කරනවා කියලා ඔහුට ලොකු විශ්වාසයක් තිබුණා. (නික්මයාම 14:13, 14 කියවන්න.) ඒ විශ්වාසය සෙනඟටත් ශක්තියක් වුණා. ප්‍රතිඵලය? ‘ඊශ්‍රායෙල්වරුන් තුළ තිබූ විශ්වාසය නිසා ඔවුහු වියළි බිමක ගමන් කරන්නා සේ රතු මුහුද මැදින් ගමන් කළා.’ ඒත් ‘ඊජිප්තුවරුන් ඒ මැදින් යෑමට උත්සාහ කළ විට මුහුද ඔවුන්ව ගිලගත්තා.’ (හෙබ්‍රෙ. 11:29) සිද්ධ වුණ දෙයින් ඊශ්‍රායෙල්වරුන්ට “යෙහෝවා දෙවි ගැන ගරුබියක් ඇති විය. යෙහෝවා දෙවි කෙරෙහිද ඔහුගේ සේවකයා වූ මෝසෙස් කෙරෙහිද ඔවුහු විශ්වාසය තැබුවෝය.”නික්. 14:31.

17. අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන්නේ ඉදිරියේදී වෙන මොන සිදුවීම්වලින්ද?

17 හර්–මගෙදොන් යුද්ධය කිට්ටු වෙද්දී අපේ ජීවිතත් ඒ වගේම අනතුරුදායක තත්වයක තියෙනවා කියලා හුඟදෙනෙක්ට හිතෙයි. මොකද ඒ වෙද්දී මේ ලෝකේ ආණ්ඩු අපිට වඩා හුඟක් බලවත් කියලා පේන්න තියෙන ආගමික සංවිධාන සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙයි. (එළි. 17:16) ඒ කාලයේදී අපේ තත්වය ‘කිසි ආරක්ෂාවක් නැති ගම්බද පළාතක’ වෙසෙන සෙනඟක් වගේ කියලා බයිබලයේ විස්තර කරනවා. “එහි නිවෙස්වලට දොරවල්වත් දොරගුලුවත් දමා නැත. ඒ දේශය වටා පවුරක්වත් නැත” කියලත් එහි සඳහන් වෙනවා. (එස. 38:10-12, 14-16) දෙවිව දකින්න බැරි අයට ඒ කාලයේදී හිතෙන්නේ අපිට කොහොමටවත් බේරෙන්න බැහැ කියලයි. එදාට ඔබටත් එහෙම හිතෙයිද?

18. මහත් පීඩාව අතරතුර අපිට නොසැලෙන විශ්වාසයකින් ඉන්න පුළුවන් ඇයි?

18 අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. දෙවි කිව්වේ දෙවිගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා විතරක් නෙමෙයි දෙවි ඔවුන්ව ගලවගන්නවා කියලත් කිව්වා. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ගොග් ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව පැමිණෙන දවසේදී මාගේ උදහස දැවෙනු ඇත. මා දැවෙන කෝපයකින් යුතුව කතා කරනවා’” කියලා බයිබලයේ තියෙනවා. (එස. 38:18-23) තමන්ගේ සෙනඟට හානියක් කරන්න හදන හැම කෙනෙක්වම දෙවි විනාශ කරනවා. ‘යෙහෝවා දෙවිගේ බිය උපදවන දවසේදී’ දෙවි ඔබව ආරක්ෂා කරනවා කියන විශ්වාසය ඔබ තුළ තියෙනවා නම් “යෙහෝවා දෙවි ඔබව ගලවාගන්නා ආකාරය ඔබේ දෑසින්ම බලාගන්න” ඔබට පුළුවන්. ඒ විතරක් නෙමෙයි දිගටම නොසැලෙන විශ්වාසයකින් ඉන්නත් ඔබට පුළුවන්.යෝවෙ. 2:31, 32.

19. (අ) යෙහෝවා දෙවි හා මෝසෙස් අතරේ තිබුණේ මොන වගේ බැඳීමක්ද? (ආ) “ඔබ තබන සෑම පියවරකදීම” දෙවිට කීකරු වෙනවා නම් ඔබට ලැබෙන ආශීර්වාදය මොකක්ද?

19 ඉදිරියේදී සිද්ධ වෙන්න තියෙන ඒ මවිතාකාර සිදුවීම්වලට දැන්ම සූදානම් වෙන්න. “නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින්” වැඩ කරන්න. නිතිපතා දේවවචනය අධ්‍යයනය කරලා, යාච්ඤා කරලා දෙවිගේ කිට්ටු මිතුරෙක් වෙන්න. මෝසෙස්ට දෙවි එක්ක මොන තරම් කිට්ටු බැඳීමක් තිබුණද කියනවා නම් දෙවි තමන්ගේ අරමුණ ඉටු කරන්න ඔහුව මොන තරම් පුදුමාකාර විදිහට පාවිච්චි කළාද කියනවා නම් බයිබලයේ ඔහුව හඳුන්වන්නේ “යෙහෝවා දෙවි සමඟ මුහුණට මුහුණ ලා කතා කළ කෙනෙකි” කියලයි. (ද්වි. 34:10, පාදසටහන) ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් දෙවිත් එක්ක මුහුණට මුහුණ කතා කරනවා වගේ කිට්ටු බැඳීමක් තියාගන්න ඔබටත් පුළුවන්. “ඔබ තබන සෑම පියවරකදීම” ඔබ ඔහුට කීකරු වෙනවා නම් ඔහු අනිවාර්යයෙන්ම “ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”හිතෝ. 3:6.