Skip to content

පටුනට යන්න

ඔබත් දෙවිගේ සංවිධානයත් සමඟම ඉදිරියට යනවාද?

ඔබත් දෙවිගේ සංවිධානයත් සමඟම ඉදිරියට යනවාද?

‘යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසට යොමු වී තිබේ.’1 පේතෘ. 3:12.

1. ඊශ්‍රායෙල් ජාතිය වෙනුවට දෙවි තෝරාගත්තේ කාවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

අතීතයේදී තම සෙනඟ විදිහට දෙවි තෝරාගත්තේ ඊශ්‍රායෙල් ජාතියයි. ඒත් ඔවුන් දෙවිට විරුද්ධව වැඩ කළ නිසා දෙවි ඔවුන්ව ප්‍රතික්ෂේප කර අලුත් ජාතියක් තෝරාගත්තා. යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් සෑදුණ ඒ අලුත් ජාතිය යෙහෝවා දෙවිව නියෝජනය කරන සංවිධානයක් ලෙස දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තා. ක්‍රි.ව. 70දී යෙරුසලම විනාශ වුණත් දෙවිගේ ඒ අලුත් සංවිධානය විනාශ වුණේ නැහැ. (ලූක් 21:20, 21) ඉදිරියේදී වෙන්නෙත් ඒ දේමයි. ළඟදීම සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ වුණත් දෙවිගේ ඒ සංවිධානය කිසිදාක විනාශ වෙන්නේ නැහැ. (2 තිමෝ. 3:1) එහෙම කියන්නේ ඇයි?

2. යේසුස් “මහත් පීඩාව” ගැන කිව්වේ මොනවාද? එය ආරම්භ වෙන්නේ කොහොමද?

2 අවසාන කාලයේදී සිදු වෙන දෙයක් ගැන යේසුස් මෙහෙම කිව්වා. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවක් එදාට පැමිණෙයි.” (මතෙ. 24:3, 21) ඒ මහත් පීඩාව ආරම්භ වෙන්නේ “මහ බැබිලෝනිය” කියා හැඳින්වෙන අසත්‍යය උගන්වන සියලුම ආගම් විනාශ කිරීමත් සමඟයි. දෙවි ඒ දේ කරන්නේ මේ ලෝකයේ තිබෙන ආණ්ඩු යොදාගෙනයි.එළි. 17:3-5, 16.

හර්–මගෙදොන් යුද්ධයේ ආරම්භය

3. අසත්‍යය උගන්වන ආගම් විනාශ කළාට පස්සේ දෙවිගේ සෙනඟට මුහුණ දෙන්න සිදු වෙන්නේ මොන වගේ දේකටද?

3 අසත්‍යය උගන්වන ආගම් සියල්ල විනාශ කළාට පස්සේ මේ පොළොවේ ඉතිරි වෙන එකම ආගමික සංවිධානය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයයි. අන්තිමට සාතන් සහ ඔහුගේ පාලනය යටතේ තිබෙන සමාජය ඒ සංවිධානය දෙසටත් හැරෙනවා. දෙවිගේ මේ සාමකාමී සෙනඟව ඔවුන් දකින්නේ කිසිම ආරක්ෂාවක් නැති සෙනඟක් විදිහටයි. “මාගොග් දේශයේ ගොග්” හැටියට හඳුන්වන සාතන් ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ඔබ චණ්ඩ මාරුතයක් මෙන් ඔවුන්ට විරුද්ධව පැමිණෙනු ඇත. මුළු දේශයම වසාගන්නා ගන වලාවක් මෙන් ඔබද ඔබත් සමඟ එකතු වී සිටින සියලු බළඇණිද ජන සමූහයද ඔවුන්ට විරුද්ධව පැමිණෙන්නෝය.” ඒත් එය ඔවුන් කරන අනුවණ ක්‍රියාවක්.එස. 38:1, 2, 9-12.

4, 5. සාතන් දෙවිගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කරද්දී සිදු වෙන්නේ මොකක්ද?

4 තම සෙනඟට එල්ල කරන ප්‍රහාරය දෙවි සලකන්නේ තමන්ට එල්ල කරන ප්‍රහාරයක් හැටියටයි. (සෙකරියා 2:8 කියවන්න.) ඒ අවස්ථාවේදී දෙවි මොනවා කරයිද? විශ්වයේ පාලකයාණන් වන දෙවි තම සෙනඟව බේරාගන්න ඉක්මනින්ම පියවර ගන්නවා. එහි අවසාන පියවර වෙන හර්–මගෙදොන් යුද්ධයේදී සාතන්ගේ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා.එළි. 16:14, 16.

5 හර්–මගෙදොන් යුද්ධය ගැන යෙරෙමියා අනාවැකියකින් මෙහෙම කිව්වා. “‘යෙහෝවා දෙවි වන මට ජාතීන්ට විරුද්ධව චෝදනාවක් තිබේ. මම සියලු මනුෂ්‍යයන්ව නඩු විභාගයකට කැඳවන්නෙමි. දුෂ්ටයන්ව කඩුවෙන් විනාශ වී යෑමට නියම කරන්නෙමි’ කියා යෙහෝවා දෙවි පවසන්නේය. ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ජාතියක් පාසා ජාතියක් පිටට විපත්ති පැමිණෙනු ඇත. පොළොවේ ඈත කෙළවරේ සිට චණ්ඩ මාරුතයක් හමා ඒමට සලස්වනු ඇත. ඒ දවසේදී යෙහෝවා දෙවි වන මාගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත. කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත් ඔවුන්ගේ මළ කඳන් එකතු කරන්නේවත් ඒවා තැන්පත් කරන්නේවත් නැත. ඔවුහු පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නෝය.’” (යෙරෙ. 25:31-33) ඒ යුද්ධයේදී සාතන්ගේ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වුණත් දෙවිගේ සංවිධානය සදහටම පවතිනවා.

දෙවිගේ සංවිධානය දිනෙන් දින වර්ධනය වෙයි

6, 7. (අ) මහත් සමූහය සෑදී තිබෙන්නේ කාගෙන්ද? (ආ) දෙවිගේ සංවිධානයේ වර්ධනය පෙන්වන සාක්ෂි මොනවාද?

6 දෙවිගේ සංවිධානයට අයිති සෙනඟට ඔහුගේ අනුමැතිය ඇති නිසා ඔහුගේ ආරක්ෂාව, ආශීර්වාදය සංවිධානයට නොඅඩුව ලැබෙනවා. එය දිනෙන් දින වර්ධනය වෙන්නේ ඒ නිසයි. බයිබලයේ කියන්නේ “යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ” කියායි. (1 පේතෘ. 3:12) ඉදිරියේදී එන මහත් පීඩාවෙන් බේරෙන ‘මහත් සමූහයට’ අයිති විශාල පිරිස ඒ ධර්මිෂ්ඨ අයට ඇතුළත්. (එළි. 7:9, 14) මහත් සමූහයේ සාමාජිකයෙක් විදිහට මහත් පීඩාවෙන් බේරෙන්න ලැබෙද්දී ඔබට කොහොම හැඟෙයිද?

7 මහත් සමූහය සෑදී තිබෙන්නේ සියලුම ජාතීන්ට අයත් අයගෙන්. ඔවුන්ව එකතු කරන්නේ ලොව පුරා සිදු වෙන දේශනා කිරීමේ කාර්යය මගිනුයි. යේසුස් මෙහෙම කිව්වා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙ. 24:14) දෙවිගේ සෙනඟ දේශනා කරන කාර්යය තමන් කළ යුතු ප්‍රධානම කාර්යය ලෙස සලකා එය උපරිමයෙන් කරනවා. ඔවුන් එහෙම කරන නිසා ‘දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කරන්න’ මිලියන ගණනකට අද හැකි වී තිබෙනවා. (යොහ. 4:23, 24) උදාහරණයකට 2003ත් 2012ත් අතර කාලයේදී 27,07,000ක පිරිසක් දෙවිට කැප වී බව්තීස්ම වුණා. අද වෙනකොට සාක්ෂිකරුවන්ගේ මුළු ගණන 79,00,000කට වඩා වැඩියි. ඔවුන්ට අමතරව සෑම අවුරුද්දකම මිලියන ගණනක්දෙනා යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණෙනවා. මහත් සමූහයේ ඒ වර්ධනය ගැන අපි මොන තරම් සතුටු වෙන්න ඕනෙද! ඇත්තටම ඒ වර්ධනය සිදු වෙන්නේ යෙහෝවා දෙවි නිසයි.1 කොරි. 3:5-7.

8. දෙවිගේ සංවිධානය දිනෙන් දින වර්ධනය වෙන්නේ ඇයි?

8 දෙවිව නියෝජනය කරන්න දෙවි තෝරාගෙන තිබෙන සංවිධානයට ඔහුගේ ආශීර්වාදය තිබෙන නිසා එය දිනෙන් දින වර්ධනය වෙනවා. (යෙසායා 43:10-12 කියවන්න.) අවසාන දවස්වල සිදු වෙන ඒ වර්ධනය ගැන යෙසායා මෙහෙම කිව්වා. “කුඩා තැනැත්තා දහසක් බවටත් සුළු තැනැත්තා බලවත් ජාතියක් බවටත් පත් වෙයි. යෙහෝවා දෙවි වන මම නියම කාලයට එය වේගයෙන් සිදු වෙන්න සලස්වමි.” (යෙසා. 60:22) එක්තරා කාලයකදී දෙවිගේ ඊශ්‍රායෙල්ට අයත් අයව පෙනෙන්න තිබුණේ ‘කුඩා තැනැත්තෙක්’ වගෙයි. ඒත් දෙවි ඔවුන්ගේ දේශනා කිරීමේ කාර්යයට ආශීර්වාද කළ නිසා ඔවුන්ගේ ගණන වැඩි වුණා. ඒ විදිහට ක්‍රමානුකූලව අනිත් අභිෂේක ලත් අයවත් දෙවිගේ සංවිධානයට එකතු කළා. (ගලා. 6:16) ඔවුන් විතරක් නෙවෙයි පසුගිය කාලයේදී මහත් සමූහයට අයත් මිලියන ගණනක් ශුභාරංචිය පිළිගෙන තිබෙනවා.

දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේ

9. දෙවි පොරොන්දු වුණ ලස්සන අනාගතය අද්දකින්න අපි කරන්න ඕනෙ මොනවාද?

9 අපි අභිෂේක ලත් කෙනෙක් වුණත් මහත් සමූහයට අයත් කෙනෙක් වුණත් අපි හැමෝටම යෙහෝවා දෙවි ලස්සන අනාගතයක් පොරොන්දු වී තිබෙනවා. ඒ පොරොන්දුව අද්දකින්න නම් අපි දෙවිගේ ආඥා පිළිපදින්න ඕනේ. (යෙසා. 48:17, 18) අතීතයේදී දෙවි දුන් නීතියට කීකරු වීම දෙවි ඊශ්‍රායෙල්වරුන්ගෙන් බලාපොරොත්තු වුණා. ඒ නීති ඔවුන්ට ආරක්ෂාවක් වුණා. ඒ වගේම හොඳ පවුල් ජීවිත ගත කරන්න, හොඳ මිතුරන් ඇති කරගන්න, අවංකව ව්‍යාපාර කරන්න, අන් අයට කරුණාවෙන් සලකන්න ඒ නීතියෙන් ඔවුන්ට කියා දුන්නා. (නික්. 20:14; ලෙවී. 19:18, 35-37; ද්වි. 6:6-9) අදටත් එහි වෙනසක් නැහැ. දෙවිගේ නීති, ප්‍රතිපත්තිවලින් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි. ඒවාට කීකරු වීම අමාරුයි කියා සිතන්න එපා. (1 යොහන් 5:3 කියවන්න.) ඒවාට කීකරු වෙනවා නම් සතුටින් ජීවිතය ගත කරන්න අපිට පුළුවන් වෙනවා. වැදගත්ම දේ එයින් දෙවි ගැන අපිට තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් වීමයි.තීත. 1:13.

10. දිනපතා බයිබලය කියවීමත් පවුලේ නමස්කාරය නිතිපතා කිරීමත් අත්‍යවශ්‍ය ඇයි?

10 දෙවිගේ සංවිධානය වේගයෙන් ඉදිරියට යනවා කියා අපිට විවිධ පැතිවලින් පැහැදිලිව දකින්න තිබෙනවා. බයිබලයේ තිබෙන තොරතුරු වඩාත් පැහැදිලිව තේරුම්ගන්න අපිට උදව් කිරීම එය ඔප්පු වෙන එක පැත්තක්. ඒ ගැන බයිබලයේ කියන්නේ “ධර්මිෂ්ඨයන්ගේ මාවත්, අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය මෙනි” කියායි. (හිතෝ. 4:18) අපි අපෙන්ම මේ ප්‍රශ්න අසාගමු. ‘සමහර බයිබල් පද ගැන දෙවිගේ සංවිධානය මෑත කාලවලදී තවත් හොඳින් අවබෝධ කර දුන් කාරණා ගැන මම දැනුවත්ද? මම දිනපතා බයිබලය කියවනවාද? ලැබෙන සෑම පොතක්ම, සඟරාවක්ම කියවනවාද? සෑම සතියකම පවුලේ නමස්කාරය කරනවාද?’ ඒවා කරන්න අමාරු දේවල් නෙවෙයි. අවශ්‍ය කරන්නේ ඒ දේවලට වේලාව වෙන් කර අතපසු නොකර ඒවා කිරීමයි. දේවවචනය අධ්‍යයනය කර, ඉගෙනගන්න දේවල් අදාළ කරගෙන දෙවිගේ සංවිධානය සමඟම ඉදිරියට යෑම මේ කාලයේ අපි කළ යුතු අත්‍යවශ්‍ය දෙයක්. හේතුව, මහත් පීඩාව අත ළඟයි!

11. දෙවිගේ සෙනඟ රැස්වීම්වලට, සමුළුවලට සහභාගි වෙන්නේ ඇයි?

11 “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.” (හෙබ්‍රෙ. 10:24, 25) පාවුල් දුන් ඒ උපදෙස පිළිපදින්න කියා දෙවිගේ සංවිධානය අපිට දිරිගන්වන්නේ අපේම යහපතටයි. අතීතයේදී ඊශ්‍රායෙල්වරුන් නිතරම එකට එක්රැස් වී දෙවිට නමස්කාර කළා. එයින් ඔවුන් තවත් දෙවිට ළං වුණා වගේම මහත් ප්‍රීතියකුත් අද්දැක්කා. නෙහෙමියාගේ කාලයේදී පැවත්වූ පැල් උත්සවය එවැනි අවස්ථාවක්. (නික්. 23:15, 16; නෙහෙ. 8:9-18) අද අපිටත් රැස්වීම්, සමුළු තිබෙනවා. අත් නෑර ඒවාට සහභාගි වීමට අපි උපරිමය කරමු. දෙවිට ළං වෙන්නත් ඔහුට සතුටින් සේවය කරන්නත් ඒවා අපිට උදව් කරනවා.තීත. 2:2.

12. දේශනා සේවය ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

12 යෙහෝවා දෙවිගේ සංවිධානයේ සාමාජිකයන් විදිහට ශුභාරංචිය දේශනා කිරීම අප කළ යුතුම දෙයක්. එය අපිට ලැබී තිබෙන ගෞරවයක්. බයිබලයේ කියන්නේ එය ‘ශුද්ධ කාර්යයක්’ කියායි. (රෝම 15:16) දේශනා සේවයේ හවුල් වීම අපේ “ශුද්ධ තැනැත්තාණන්” වන යෙහෝවා දෙවි සමඟ හවුලේ වැඩ කරනවා හා සමානයි. (1 පේතෘ. 1:15; 1 කොරි. 3:9) ඒ වගේම දෙවිගේ ශුද්ධ නාමය ගෞරවයට පත් කරන්නත් එයින් අපිට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා “ප්‍රීතිමත් දෙවිගෙන් ලැබුණු තේජවත් ශුභාරංචිය” දේශනා කරන්න ලැබීම ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනෙද!1 තිමෝ. 1:11.

13. අපේ ජීවිතය සහ දෙවි එක්ක තිබෙන බැඳීම රඳා පවතින්නේ මොකක් මතද?

13 යෙහෝවා දෙවි අපි ගැනත් අපේ යහපත ගැනත් හිතන නිසා ඔහු කැමති අපි ඔහුටත් ඔහුගේ සංවිධානයටත් කිට්ටුවෙන් ඉන්නවාටයි. ඊශ්‍රායෙල්වරු ඉදිරියේ තිබුණා හා සමානව අපි ඉදිරියෙත් තේරීම් දෙකක් තිබෙනවා. ඒ ගැන මෝසෙස් මෙහෙම කිව්වා. “ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් ජීවනයේ මාර්ගය. අනික මරණයේ මාර්ගය. මෙයින් එකක් තෝරාගන්න. ඔබ තෝරාගන්නා මාර්ගය අනුව ඔබට ආශීර්වාද හෝ ශාප හිමි වෙයි. ඔබ තෝරාගත යුත්තේ ඔබටත් ඔබේ දූපුතුන්ටත් දිගු කල් ජීවත් වීමට හැකියාව ලබා දෙන ජීවනයට යන මාර්ගයයි. ඒ සඳහා ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න. ඔහුගේ හඬට සවන් දී ඔහුට ළංව සිටින්න. ඔබට ජීවනයත් පොළොවේ බොහෝ කල් ජීවත් වීමේ ප්‍රස්තාවත් ලබා දෙන්නේ ඔහුයි. ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ට පොරොන්දු වූ දේශයේ දිගු කාලයක් ජීවත් වෙන්න ඔබට හැකි වෙයි.” (ද්වි. 30:19, 20) ඔබේ තීරණය මොකක්ද? ජීවනය තෝරාගන්න. දෙවිට ආදරේ කරන්න. දෙවිටත් ඔහුගේ සංවිධානයටත් විශ්වාසවන්තව ඉන්න. ඔබට ගත හැකි හොඳම තීරණය එයයි.

14. දෙවිගේ සංවිධානය ගැන එක සහෝදරයෙකුට හැඟුණේ කොහොමද?

14 1914ට කලින් ඉඳන්ම සත්‍ය නමස්කාරයේ හවුල් වුණ සහෝදර ප්‍රයිස් හියුස් ඔහුගේ ජීවිත කාලය පුරාම යෙහෝවා දෙවිටත් දෙවිගේ සංවිධානයටත් විශ්වාසවන්තව සිටියා. ඔහු තමන්ගේ ජීවිත කාතාවේ මෙහෙම කිව්වා. “මම ඉගෙනගත්ත වටිනා පාඩමක් තමයි මිනිසුන්ගේ දැනුම, බුද්ධිය විශ්වාස කරලා වැඩ කරනවා වෙනුවට නිතරම දෙවිගේ සංවිධානය දෙන මඟ පෙන්වීම් පිළි අරගෙන ඒකට කිට්ටුවෙන් ඉන්න එක හරිම වටිනවා කියන දේ. දෙවිගේ අනුමැතිය දිනාගන්න පුළුවන් එකම විදිහ ඒකයි.” ජීවිතේ බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න එය ඔහුට උදව් වුණා.

දෙවිගේ සංවිධානයත් සමඟම ඉදිරියට යන්න

15. බයිබලයේ තිබෙන කාරණා ගැන අපිට තිබෙන අවබෝධයේ යම් වෙනස්කම් කරද්දී අපි කරන්න ඕනෙ දේ ගැන බයිබලයෙන් උදාහරණයක් දෙන්න.

15 දෙවිගේ සංවිධානය බයිබලයේ තිබෙන කාරණා ගැන අපිට තිබෙන අවබෝධයේ යම් යම් වෙනස්කම් කරද්දී, අපි දේශනා කරන්න ඕන විදි ගැන අලුත් යෝජනා දෙද්දී අපි ඒවා පිළිගෙන ඒවාට කීකරු වෙයි කියා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. පළමු සියවසේ හිටපු සමහර යුදෙව් ක්‍රිස්තියානීන්ට අවශ්‍ය වුණා නීතියේ තිබුණ දේවල් දිගටම පිළිපදින්න. ඒත් පාවුල් ඔවුන්ව නිවැරදි කළා. (ක්‍රියා 21:17-20) පව්වලට සමාව ලැබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාවෙන් මිස සත්ව පූජාවලින් නෙවෙයි කියා ඔහු ඔවුන්ට පැහැදිලි කර දුන්නා. (හෙබ්‍රෙ. 10:5-10) යුදෙව් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් ඒ උපදෙස පිළිගෙන ඔවුන් සිතූ විදිහ වෙනස් කරගත්තා. අපිත් ඔවුන්ව ආදර්ශයට ගමු. බයිබලය සහ අපිට ලැබෙන පොත් පත් හොඳින් අධ්‍යයනය කරමු. දෙවිගේ සංවිධානය යම් යම් වෙනස්කම් කරද්දී නිහතමානීව ඒවා පිළිගමු.

16. (අ) පාරාදීස පොළොවේ ජීවිතය මවිතකර එකක් වෙන්නේ ඇයි? (ආ) ඔබ ආශාවෙන් බලාගෙන ඉන්නේ මොන ආශීර්වාදය අත්විඳින්නද?

16 යෙහෝවා දෙවිටත් ඔහුගේ සංවිධානයටත් කීකරුව, විශ්වාසවන්තව ඉන්න අයට හිතාගන්න බැරි තරම් ආශීර්වාද ලැබෙනවා. අභිෂේක ලත් අයට ස්වර්ගයේ රජවරුන් ලෙස සේවය කරන්නත් අනිත් අයට පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා. (රෝම 8:16, 17; 2 පේතෘ. 3:13) ඒ බලාපොරොත්තුව ගැන මිනිසුන්ට කියන්න ලොව පුරා ඉන්න දෙවිගේ සෙනඟට ලැබී තිබෙන්නේ මොන තරම් වටිනා අවස්ථාවක්ද! ඒ කාලයේදී ‘නිහතමානී අය පොළොව උරුම කරගන්නවා. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුන් මහත් සේ ප්‍රීති වෙනවා.’ (ගීතා. 37:11) තමන් කරන වැඩවලින් මිනිසුන් මහත් සතුටක් ලබනවා. ‘ඔවුන් ගෙවල් ගොඩනඟා එහි ජීවත් වෙනවා.’ (යෙසා. 65:21, 22) කිසිම කෙනෙක් තව කෙනෙකුට හිරිහැර කරන්නේ නැහැ. කිසිම කෙනෙක් දුප්පත් වෙන්නේ නැහැ. ඕනෑ තරම් ආහාර තිබෙනවා. (ගීතා. 72:13-16) දෙවි ගැන අසත්‍යය උගන්වන කිසිම කෙනෙක් එදාට නැහැ. (එළි. 18:8, 21) මිය ගිය අයව නැවත නැඟිටුවන අතර ඔවුන්ට සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. (යෙසා. 25:8; ක්‍රියා 24:15) ඒ මවිතකර ආශීර්වාද අද්දකින්න ඔබත් කැමති නම් දෙවි සමඟ ඔබට තිබෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න. දෙවිගේ සංවිධානය සමඟම ඉදිරියට යන්න.

ඔබ පාරාදීසයේ ඉන්නවා ඔබට පෙනෙනවාද? (16 ඡේදය බලන්න)

17. දෙවි ගැනත් ඔහුගේ සංවිධානය ගැනත් අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

17 සාතන්ගේ මේ දුෂ්ට සමාජයේ විනාශය ඉතාමත් ආසන්නයි. අපිට ඒ විනාශයෙන් බේරෙන්න ඕනෙ නම් දෙවි ගැන තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගමු. දෙවිගේ සංවිධානයත් සමඟම සිටිමින් විශ්වාසවන්තව දෙවිට සේවය කරමු. “මා යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. ඒ දේ ලබාගැනීමට මම මහත් ආශාවකින් සිටින්නෙමි. ඒ මාගේ ජීවිතයේ සියලු දවස්වලදී යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටින්න ලැබීමය. එවිට මම යෙහෝවා දෙවිගේ යහපත දිනෙන් දින දකින්නෙමි. ඔහුගේ මාලිගාව දෙස මහත් අගයකින් බලන්නෙමි” කියන දාවිත්ගේ වචන අපෙත් වචන කරගමු. (ගීතා. 27:4) යෙහෝවා දෙවිට තව තවත් ළං වෙන අතරම දෙවිගේ සංවිධානයත් සමඟම ඉදිරියට යන්න අපි හැමෝම අධිෂ්ඨාන කරගමු.