ජීවිත කතාව
මට උදව් කළේ යෙහෝවා දෙවි
එදා තද සීතල දවසක්. උදේ පාන්දරම මං මගේ අලුත බැඳපු මනමාලිත් එක්ක කෝච්චියෙන් බැස්සේ කැනඩාවේ ඔන්ටාරියෝවල උතුරු පැත්තට වෙන්න තිබුණු හිමෙන් වැහුණු පිටිසර පළාතකටයි. එහෙ හිටපු සහෝදරයෙක් අපිව එක්කගෙන යන්න දුම්රියපොළට ඇවිත් හිටියා. එයාගේ නෝනායි පුතායි එක්ක උදේ කෑම ගත්තට පස්සේ අපි කට්ටිය ගෙයින් ගෙට සේවයේ හවුල් වුණා. චාරිකා සේවකයෙක් විදිහට මං මගේ පළවෙනි බයිබල් දේශනය දුන්නෙත් එදා හවස. එදා එතන හිටියේ අපි දෙන්නයි ඒ සහෝදරයාගේ ගෙදර තුන්දෙනයි විතරයි.
ඇත්තටම එදා එතන පස්දෙනෙක් විතරක් හිටපු එක ගැන මම සතුටු වුණා. මොකද සාමාන්‍යයෙන් මං හරිම ලැජ්ජයි. පොඩි කාලේ අපේ ගෙදරට කවුරු හරි අමුත්තෙක් ආවම මං ගිහින් හැංගෙනවා. ඒ කෙනා මං හොඳට දන්න අඳුනන කෙනෙක් වුණත් එකේ වෙනසක් වුණේ නැහැ.
එච්චර ලැජ්ජාශීලී කෙනෙක් වුණු මට දෙවිගේ සංවිධානයෙන් ලැබුණු පැවරුම් කරද්දී හුඟදෙනෙක්ව ආශ්‍රය කරන්න වුණා කියලා දැනගත්තොත් ඔයගොල්ලෝ පුදුම වෙයි. ඒත් ඒ එක පැවරුමක්වත් මගේ දක්ෂකමින් කරපු ඒවා නම් නෙමෙයි. මොකද මං ළඟ දිගටම ලැජ්ජාශීලීකම තිබුණා. හැම වෙලේම මම හිතුවේ මට ලැබුණු පැවරුම කරන්න කිසිම හැකියාවක් මට නැහැ කියලයි. “මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි” කියලා දෙවි දීපු පොරොන්දුව මම මගේ ජීවිතෙන් අද්දැක්කා. (යෙසා. 41:10) දෙවි මට උදව් කරපු එක විදිහක් තමයි සහෝදර සහෝදරියන් මාර්ගයෙන් මට ලබා දුන්න සහය. ඒ ගැන මම දැන් ඔයාලට කියන්නම්.
බයිබලයයි පුංචි කලු පොතයි
අපි පොඩි කාලේ හිටියේ ඔන්ටාරියෝවල නිරිත දිග පැත්තට වෙන්න තිබුණු ගමක. 1940 ඉරිදා දවසක උදේ එල්සි හන්ටිංෆඩ් කියන සහෝදරිය ගෙවිපොළේ තිබුණු අපේ ගෙදර දොරට තට්ටු කරනවා මට අද වගේ මතකයි. එදා දොර ඇරියේ අම්මා. තාත්තාත් මං වගේ ලැජ්ජාශීලී
කෙනෙක් නිසා අපි දෙන්නා ගේ ඇතුළට වෙලා හිටියා. අපි හිතුවේ බඩු විකුණන කෙනෙක් ඇවිත් අම්මාට බලෙන්ම බඩු විකුණන්න හදනවා කියලයි. අන්තිමට තාත්තා එතනට ගිහින් කිව්වා “අපි ඕවට කැමති නැහැ” කියලා. “ඔයගොල්ලෝ බයිබල් පාඩමක් කරන්න කැමති නැද්ද” කියලා සහෝදරි එල්සි ඇහුවම “ඒකට නම් අපි කැමතියි” කියලා තාත්තා කිව්වා.ඇත්තටම එයා අපේ ගෙදර ආවේ එන්න පුළුවන් හොඳම වෙලාවේ. මොකද තද ආගම් භක්තිකයන් වුණු මගේ අම්මායි තාත්තායි ඒ වෙනකොට පල්ලියෙන් අයින් වෙලයි හිටියේ. ඒ පල්ලියේ පූජකයා පල්ලියට සම්මාදම් දුන්න අයගේ නම් මුදලේ ප්‍රමාණයට අනුව අනුපිළිවෙළට දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරලා තිබුණා. ඒ කාලේ අපිට එච්චර සල්ලි තිබුණේ නැති නිසා සම්මාදම් විදිහට දුන්නේ පොඩි මුදලක්. ඒ නිසා අම්මලාගේ නම ඒ ලැයිස්තුවේ තිබුණේ අන්තිමට. ඉතින් තව වැඩියෙන් සම්මාදම් කරන්න කියලා පල්ලියේ ප්‍රධානීන් අම්මලාට බල කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි තමන් ඇත්තටම විශ්වාස කරන දේවල් නෙමෙයි උගන්නන්නේ කියලා එක පූජකයෙක් පිළි අරන් තිබුණා. මොකද එයාගේ ආදයම් මාර්ගය නැති කරගන්න එයා කැමති වුණේ නැහැ. ඔය හේතු නිසයි අපි ඒ පල්ලියෙන් අයින් වුණේ. ඒත් දෙවි ගැන ඉගෙනගන්න අපිට තිබුණු ආසාව නම් නැති වුණේ නැහැ.
ඒ කාලේ කැනඩාවේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලයි තිබුණේ. සහෝදරි එල්සි අපිත් එක්ක පාඩම කරද්දී එයා ළඟ තිබුණේ බයිබලයයි සටහන් ලියපු පුංචි කලු පොතකුයි විතරයි. අපි එයාව නිලධාරීන්ට අල්ලලා දෙන්නේ නැහැ කියලා විශ්වාසයක් ඇති වුණාට පස්සෙයි එයා සංවිධානයේ පොත් අපිට දුන්නේ. හැම පාඩමකටම පස්සේ අපි ඒ පොත් හංගලා තිබ්බා. *
මොන පීඩා ප්‍රශ්න ආවත් සහෝදරි එල්සි හරිම උනන්දුවෙන් ශුභාරංචිය දේශනා කළා. ඒක දැකලා මගේ හිතෙත් දෙවිට සේවය කරන්න ලොකු ආසාවක් ඇති වුණා. අම්මායි තාත්තායි බව්තීස්ම වෙලා අවුරුද්දකට පස්සේ ඒ කියන්නේ 1949 පෙබරවාරි 27වෙනිදා මමත් බව්තීස්ම වුණා. එතකොට මට වයස 17යි. මමත් හිතාගත්තා පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න ඕනෙ කියලා.
බය නැති කරගන්න උදව් දෙවිගෙන්
පුරෝගාමි සේවය පටන්ගන්න කලින් ඒකට ඕන කරන සල්ලි ටිකක් හොයාගත්තොත් හොඳයි කියලා හිතලා මම බැංකුවකත් තව පොඩි කාර්යාලයකත් රස්සාවක් කළා. ඒත් හම්බ කරනවට වඩා මම වියදම් කළා. ටෙඩ් සාජන්ට් කියන සහෝදරයා මට දුන්න උපදෙස තමයි සල්ලි ගැන හිතන්නේ නැතුව දෙවිව විශ්වාස කරලා පුරෝගාමි සේවය පටන්ගන්න කියන එක. 1 ලේක. 28:10) ඒ උපදෙස පිළිගත්ත මම 1951 නොවැම්බර් මාසේ පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒ වෙනකොට මගේ අතේ තිබුණේ ඩොලර් 40කුයි, පරණ බයිසිකලයකුයි, බ්‍රීෆ්කේස් එකකුයි විතරයි. ඒත් මට ඕනම කරන දේවල් දෙවි මට දුන්නා. එදා සහෝදර ටෙඩ් දුන්න උපදෙස ගැන මං එයාට ණයගැතියි. එයා කියපු දේ අහලා පුරෝගාමි සේවය පටන්ගත්ත නිසා මට ලැබුණු ආශීර්වාද කියලා නිම කරන්න බැහැ.
(1952 අගෝස්තු මසේ දවසක ටොරොන්ටෝවල තිබුණු ශාඛා කාර්යාලයෙන් මට කෝල් එකක් ආවා. ඒ අය මගෙන් ඇහුවා සැප්තැම්බර් මාසේ ඉඳන් බෙතෙල් එකේ සේවය කරන්න එන්න කැමතිද කියලා. ඊට කලින් මම එහෙට ගිහින් තිබුණෙවත් නැහැ. මුලින් මට පොඩි බයක් දැනුණත් ඒ ආරාධනාව මම පිළිගත්තේ හරිම සතුටින්.
“ඔයාගේ හිතේ සහෝදරයන්ට තියෙන ආදරේ පෙන්නන්න”
බෙතෙල් එකට ඇවිත් අවුරුදු දෙකකට පස්සේ ටොරොන්ටෝවල තිබුණු එක සභාවක වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක විදිහට සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. එතකොට මට වයස 23යි. ගොවිපොළක හැදුණු වැඩුණු මට ඒක කරන්න පුළුවන් වෙයිද කියලා මම හිටියේ දෙගිඩියාවෙන්. ඒත් මට කලින් සම්බන්ධීකාරක විදිහට සේවය කරපු සහෝදර බිල් යේකස් මාව හුඟක් දිරිගන්නවලා කරන්න ඕනෙ දේවල් ගැන කියලා දුන්නා. යෙහෝවා දෙවිත් මගේ උදව්වට හිටියා.
සහෝදර යේකස්ගේ මුහුණේ හැම තිස්සෙම හිනාවක් තිබුණා. එයා අනිත් අය ගැන සැලකිලිමත් වුණු සහෝදර සහෝදරියන්ට හුඟක් ආදරේ කරපු කෙනෙක්. ඒ අයත් එයාට ආදරේ කළා. එයා සහෝදරයන්ව බලන්න යන්න ප්‍රශ්නයක් එනකම්ම හිටියේ නැහැ. නිතරම වගේ ඒ අයව බලන්න ගියා. මටත් එහෙම කරන්න කියලා දිරිගැන්නුවා. නිතරම වගේ ඒ අය එක්ක දේශනා සේවයේ හවුල් වෙන්න කියලත් එයා මට කිව්වා. එයා මට මේ වගේ උපදෙසකුත් දුන්නා. “කෙන්, ඔයාගේ හිතේ සහෝදරයන්ට තියෙන ආදරේ පෙන්නන්න. ඒගොල්ලන්ව තේරුම්ගන්න. එතකොට ඒගොල්ලෝ අතින් පොඩි පොඩි අඩුපාඩු වුණත් සමාව දෙන්න ඔයාට ලේසියි.”
බිරිඳගේ නොසැලෙන ආදරේ
මම එව්ලින් එක්ක විවාහ වුණේ 1957 ජනවාරි මාසේ. එයා 14වෙනි ගිලියද් පාසැලට සහභාගි වුණු කෙනෙක්. බඳින්න කලින් එව්ලින් සේවය කළේ ක්විබෙක් කියන ප්‍රංශ භාෂාව කතා කරන පළාතේ. ඒක තනිකරම කතෝලික පළාතක්. ඒ නිසා එහෙ සේවය කරන එක එයාට ලේසි වුණේ නැහැ. ඒත් මොන අමාරුකම් තිබුණත් එයා දෙවිට විශ්වාසවන්තව, උද්‍යෝගයෙන් සේවය කළා.
එව්ලින් මටත් හුඟක් ආදරේ කළා. (එෆී. 5:31) එහෙම කියන්න මට ගොඩක් හේතු තියෙනවා. අපි බැඳලා මධුසමය ගත කරන්න ඇමරිකාවේ ෆ්ලොරිඩාවලට යන්නයි සැලසුම් කරගෙන හිටියේ. ඒත් අපි බැන්ද දවසට පහුවෙනිදා ශාඛා කාර්යාලයෙන් මට පණිවිඩයක් එවලා ඇහුවා කැනඩා බෙතෙල් එකේ සතියක් පුරා තියෙන රැස්වීමකට සහභාගි වෙන්න පුළුවන්ද කියලා. ඇත්ත, ඒ රැස්වීම නිසා අපේ සැලසුම් අඩාල වෙනවා තමයි ඒත් එව්ලින්ටයි මටයි ඕන වුණේ දෙවි අපෙන් ඉල්ලන්නේ මොකක්ද ඒ දේ කරන්නයි. ඒ නිසා අපි ෆ්ලොරිඩා යන ගමන අතහැරියා. මම රැස්වීමට සහභාගි වෙන අතරේ එව්ලින් ශාඛා කාර්යාලය අවට දේශනා සේවයේ ගියා. එයා හිටපු ක්විබෙක් පළාතට වඩා ඒ පැත්ත හුඟක් වෙනස්. ඒත් එයා ඒක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ.
ඒ සතිය ඉවර වෙනකොට මට අලුත් පැවරුමකුත් ලැබුණා. ඒ ඔන්ටාරියෝවල උතුරු පැත්තේ චාරිකා
සේවයේ යන්නයි. ඒ වෙනකොට මට වයස 25යි. කිසිම අද්දැකීමකුත් නැහැ. බැඳලත් වැඩි දවසක් නැහැ. ඒත් දෙවිව විශ්වාස කරලා අපි ඒ පැවරුම භාරගත්තා. සීත ඍතුවේ සීතල දවසක අපි රාත්‍රි දුම්රියෙන් ගමන පිටත් වුණා. එදා ඒ කෝච්චියේ කාලයක් තිස්සේ සංචාරක සේවකයේ යෙදුණු කීපදෙනෙකුත් අපිත් එක්ක හිටියා. ඒ අයත් ඒගොල්ලෝ සේවය කරපු පළාත්වලට අපිත් එක්ක ඒ කෝච්චියෙන් ගියා. ගමන අතරතුර ඒ අය අපිව දිරිගැන්නුවා. එක සහෝදරයෙක් නිදන මැදිරියේ එයා වෙන් කරලා තිබුණු තැන අපිට දුන්නා. පහුවෙනිදා උදේ ඒ කියන්නේ අපි බැඳලා හරියටම දවස් 15කට පස්සේ අපි හිටියේ මේ කතාවේ මුලින් මම කියපු දුම්රියපොළේ.1960දී දිස්ත්‍රික් සේවක විදිහට සේවය කරකර ඉද්දී මට තවත් ආරාධනාවක් ලැබුණා. ඒ 1961 පෙබරවාරි මාසේ බෘක්ලින්වල පටන්ගන්න තිබුණු 36වෙනි ගිලියද් පාසැලට සහභාගි වෙන්නයි. ඒක දැකලා මට සතුටින් උඩ පනින්න හිතුණා. ඒත් ඒ සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ. ආරාධනාව මට විතරයි. එව්ලින්ට ආරාධනා කරලා නැහැ. ඒ වෙනුවට අඩුම තරමේ මාස 10ක්වත් මගෙන් ඈත් වෙලා ඉන්න එව්ලින් කැමති නම් ඒ ගැන ලියුමකින් දැනුම් දෙන්න කියලයි ඒකේ සඳහන් වෙලා තිබුණේ. ඒ වෙලාවේ එව්ලින්ගේ ඇස් දෙකෙන් කඳුළු කඩා හැළෙනවා මට අද වගේ මතකයි. ඒත් එයා ඒකට කැමති වුණා. ගිලියද් පුහුණුව හුඟක් වටින එකක් නිසා කොහොමහරි ඒකට හවුල් වෙන්න කියලයි එයා මට කිව්වේ.
මං නැති කාලේ එව්ලින් කැනඩාවේ ශාඛා කාර්යාලයේ සේවය කළා. ඒ කාලේ පුරා අභිෂේක ලත් සහෝදරියක් වුණු මාග්‍රට් ලවෙල් එක්ක එක කාමරයක ඉන්නත් එයාට අවස්ථාව ලැබුණා. ටික කාලයකට හරි වෙන් වෙන්න වුණු එක ගැන අපි දෙන්නාටම දුකයි. ඒත් දෙවිගේ උදව්වෙන් අපිට අපේ පැවරුම හොඳට කරන්න පුළුවන් වුණා. දෙවිටත් ඔහුගේ සංවිධානයටත් තව වැඩියෙන් අපිව පාවිච්චි කරන්න පුළුවන් වෙන්න එදා එව්ලින් කරපු කැප කිරීම නිසා මගේ හිතේ එයා ගැන තිබුණු ආදරේ තවත් වැඩි වුණා.
ගිලියද් පාසැලේ මාස තුනක් විතර පුහුණුව ලැබුවට පස්සේ සහෝදර නේදන් නෝර් මට හිතාගන්නවත් බැරි ආරාධනාවක් කළා. එයා මගෙන් ඇහුවා ගිලියද් පුහුණුව නවත්තලා කැනඩාවේ තියෙන පත් කළ සහෝදරයන් සඳහා පාසැලේ උපදේශකයෙක් විදිහට ටික කාලයක් සේවය කරන්න කැමතිද කියලා. ඒත් එහෙම කරන්න කියලා මට බල කරන්නේ නැහැ කියලත් මම කැමති නම් දිගටම ගිලියද් පුහුණුව ලබලා මිෂනාරි සේවයට යන්න පුළුවන් කියලත් එයා කිව්වා. “ඔයා කැනඩාවට ගියොත් ආයෙත් ඔයාට ගිලියද් පාසැලට එන්න ලැබෙන එකක් නැතුව යයි. ටික කාලයක් උපදේශකයෙක් විදිහට වැඩ කළාට පස්සේ ආයේ පුරෝගාමි සේවයට යන්න වෙයි” කියලත් සහෝදර නෝර් කිව්වා. හොඳට හිතලා එව්ලින් එක්කත් කතා කරලා ගන්න තීරණය එයාට දැනුම් දෙන්න කියලා සහෝදර නෝර් කිව්වා.
සංවිධානයෙන් ලැබෙන පැවරුම් ගැන එව්ලින් හිතන විදිහ මම හොඳට දන්නවා. ඒ නිසා මම ඉක්මනටම සහෝදර නෝර්ට මෙහෙම කිව්වා. “දෙවිගේ සංවිධානය අපිට කරන්න කියන්නේ මොකක්ද ඒ ඕනම දෙයක් සතුටින් කරන්න අපි කැමතියි.” අපි කැමති අකමැති දේවල් පැත්තකට දාලා යෙහෝවා දෙවිගේ සංවිධානය දෙන ඕනම පැවරුමක් කරන්නයි අපිට ඕන වුණේ.
1961 අප්‍රියෙල්වල මම ආපහු කැනඩාවට ආවා. ඒ පත් කළ සහෝදරයන් සඳහා තියෙන පාසැලේ උගන්නන්නයි. ඊටපස්සේ අපි බෙතෙල් පවුලේ සාමාජිකයන්
විදිහට දිගටම සේවය කළා. පුදුම දේ තමයි 1965දී පවත්වන 40වෙනි ගිලියද් පාසැලට සහභාගි වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණු එක. ආයෙත් සැරයක් වෙන් වෙලා ඉන්න කැමතියි කියලා ලියුමක් ලියන්න එව්ලින්ට සිද්ධ වුණා. ඒත් ඒක ලියලා සති කීපයක් යන්න කලින් අපිට තවත් ලියුමක් ලැබුණා. ඒකේ තිබුණේ එව්ලින්ටත් මාත් එක්කම ගිලියද් පාසැලට සහභාගි වෙන්න ආරාධනාවක්. ඒක දැකලා අපි දෙන්නා කොයි තරම් සතුටු වුණාද කියලා ඔයාලට හිතාගන්න පුළුවන්ද?අපි දෙන්නා ගිලියද් පාසැලට ආවට පස්සේ සහෝදර නෝර් කිව්වා ප්‍රංශ භාෂාව දන්න අයව අරින්නේ අප්‍රිකාවට කියලා. ඒත් අපේ සහතික පත් දෙන දවසේ අපිට පැවරුම ලැබුණේ කැනඩාවෙම සේවය කරන්නයි. කැනඩාවේ ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක විදිහට සේවය කරන්න මාව පත් කරලා තිබුණා. එතකොට මගේ වයස 34යි. “ඒ පැවරුම භාරගන්න මම තාම තරුණ වැඩියි” කියලා මම සහෝදර නෝර්ට කිව්වම එයා මගේ බය නැති කළා. මම ඒ පැවරුම භාරගත්ත දවසේ ඉඳන් බැරෑරුම් තීරණ ගන්න හැම වෙලාවකම බෙතෙල් එකේ හිටපු අද්දැකීම් වැඩි සහෝදරයන්ගේ අදහසුත් අහලා බැලුවා.
ඉගෙනගන්නත් උගන්නන්නත් හොඳම තැන
බෙතෙල් එකේදී මම අනිත් අයගෙන් හුඟක් දේවල් ඉගෙනගත්තා. මාත් එක්ක ශාඛා කමිටුවේ වැඩ කරන සහෝදරයන්ට මං ගරු කරනවා. ඒගොල්ලෝ කරන සේවය මං හුඟක් අගය කරනවා. පහුගිය අවුරුදු ගාණ පුරාම බෙතෙල් එකෙත් අපි ගිය සභාවලත් හිටපු සිය ගණන් සහෝදර සහෝදරියන්ගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වුණා.
බෙතෙල් සේවයේදී අනිත් අයට උගන්නන්නත් ඒ අයගේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් කරන්නත් මට අවස්ථාව ලැබුණා. “බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියෙහි ඔබ මගෙන් අසා දැනගත් දේවල් විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න. එවිට අන් අයට ඉගැන්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ටද හැකි වේ” කියලා පාවුල් තිමෝතිට කිව්වා. ඒ වගේම ‘ඔබ ඉගෙනගත්ත දේවල් දිගටම පිළිපදින්න’ කියලත් ඔහු කිව්වා. (2 තිමෝ. 2:2; 3:14) සමහරු අහනවා මගේ 57ත් වසරක බෙතෙල් සේවයෙන් මම ඉගෙනගත්තේ මොනවද කියලා? මම ඒ අයට දෙන උත්තරේ තමයි දෙවිගේ සංවිධානය අපිට කරන්න කියන ඕනම දෙයක් යෙහෝවා දෙවි උදව් කරනවා කියන විශ්වාසය ඇතුව කැමැත්තෙන්ම කරන්න කියන එක.
කිසිම අද්දැකීමක් නැති, ලැජ්ජාශීලී කොලුගැටයෙක් විදිහට බෙතෙල් එකට ආපු දවස හරියට ඊයේ වගේ මට මතකයි. ගත වුණු අවුරුදු ගාණ පුරාම යෙහෝවා දෙවි මගේ “දකුණතින් අල්ලාගෙන” හිටියා. විශේෂයෙන්ම මගේ සහෝදර සහෝදරියන්ගේ ආදරේ, කරුණාව මට දීලා දෙවි අදත් මට කියන්නේ “භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි” කියලයි.—යෙසා. 41:13.
^ 10 ඡේ. සාක්ෂිකරුවන්ට පනවලා තිබුණු තහනම කැනඩා රජය 1945 මැයි 22වෙනිදා ඉවත් කළා.