Skip to content

පටුනට යන්න

යෙහෝවා සියල්ල පිළිවෙළකට කරන දෙවි කෙනෙක්

යෙහෝවා සියල්ල පිළිවෙළකට කරන දෙවි කෙනෙක්

“දෙවි අවුල්සහගත දෙවි කෙනෙකු නොව සමාදානයේ දෙවි කෙනෙක්ය.”1 කොරි. 14:33.

1, 2. (අ) දෙවි මුලින්ම නිර්මාණය කළේ කාවද? දෙවි ඔහුව යොදාගත්තේ කුමන කාර්යයන් සඳහාද? (ආ) දේවදූතයන්ව හොඳින් සංවිධානය කර තිබෙනවා කියා පවසන්න පුළුවන් ඇයි?

මුළු විශ්වයේම නිර්මාතෘ යෙහෝවා දෙවියි. ඔහු සෑම දෙයක්ම පිළිවෙළකට කරන දෙවි කෙනෙක්. මුලින්ම නිර්මාණය කළ තැනැත්තාව දෙවි සැලකුවේ තමන්ගේ එකම පුතා විදිහටයි. ඔහුව බයිබලයේ “‘වචනය’ නමැති තැනැත්තා” කියාත් හඳුන්වනවා. ඊට හේතුව දෙවිව නියෝජනය කරමින් කතා කරන ප්‍රධානම තැනැත්තා ඔහු නිසයි. ඔහු හිතාගන්නවත් බැරි කාලයක් පුරා ස්වර්ගයේ ඉඳන් දෙවිට සේවය කළා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “අන් සියල්ල සෑදීමට පෙර ‘වචනය’ නමැති තැනැත්තා සිටියේය. ඔහු සිටියේ දෙවි සමඟය.” ඒ වගේම “දෙවි සෑම දෙයක්ම සෑදුවේ ඔහු මාර්ගයෙන්ය. ඔහු නොමැතිව කිසිම දෙයක් සාදනු ලැබුවේ නැත” කියාත් එහි සඳහන් වෙනවා. මීට අවුරුදු 2,000කට වඩා ටිකක් වැඩි කාලයකට කලින් දෙවි ඔහුව මේ පොළොවට එව්වා. යේසුස් ක්‍රිස්තුස් යන නමින් පරිපූර්ණ මිනිසෙක් විදිහට ඔහු විශ්වාසවන්තව දෙවිගේ කැමැත්ත ඉටු කළා.යොහ. 1:1-3, 14.

2 යේසුස් පොළොවට එන්න කලින් දෙවිගේ “ප්‍රධාන සේවකයා” විදිහටත් වැඩ කළා. (හිතෝ. 8:30) මිලියන ගණනක් දේවදූතයන්ව නිර්මාණය කරන්න දෙවි යොදාගත්තේ ඔහුවයි. (කොලො. 1:16) ඒ දේවදූතයන් ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “දහසක් වර දහසක් දෙනා [යෙහෝවා දෙවිට] සේවය කරමින් සිටියෝය. ඔහු ඉදිරියේ දසදහස් වර දසදහසක් දෙනා සිටගෙන සිටියෝය.” (දානි. 7:10) ගණන් කරන්න බැරි තරමක් වුණ ඔවුන්ව විස්තර කර තිබෙන්නේ හොඳින් සංවිධානය වුණ ‘ස්වර්ගයේ සේනා’ හැටියටයි.ගීතා. 103:21.

3. තරු සහ ග්‍රහලෝක කොයි තරම් ප්‍රමාණයක් තිබෙනවාද? ඒවා සංවිධානය කර තිබෙන්නේ කොහොමද?

3 යෙහෝවා දෙවි විශ්වය නිර්මාණය කරද්දී අපිට හිතාගන්න බැරි තරම් තාරකා සහ ග්‍රහලෝක ප්‍රමාණයකුත් නිර්මාණය කළා. ඒ කොයි තරම්ද කියා ඔබ දන්නවාද? එක පුවත්පතක මෙහෙම සඳහන් වෙනවා. “විශ්වයේ තරු සහ ග්‍රහලෝක අඩුම තරමේ සෙක්ස්ටිලියන 300ක්වත් ඇති. ඒ ගණන ඉලක්කමෙන් ලියන්න නම් තුනට පස්සේ බින්දු 23ක් ලියන්න ඕනේ.” (Houston, Texas, Chronicle) බිලියන ගණනක් තරු සහ විශාල ග්‍රහලෝක ප්‍රමාණයක් මන්දාකිණි විදිහටත් මන්දාකිණි විශාල ප්‍රමාණයක් පොකුරු විදිහටත් ඒ පොකුරු විශාල ප්‍රමාණයක් සුපිරි පොකුරු විදිහටත් දෙවි පිළිවෙළකට සකස් කර තිබෙන්නේ හරිම පුදුමාකාර විදිහටයි.

4. දෙවි පොළොවේ ඉන්න තමන්ගේ සෙනඟව හොඳින් සංවිධානය කරනවා කියා කියන්න පුළුවන් ඇයි?

4 දේවදූතයන්, තරු, ග්‍රහලෝක වගේම විශ්වයේ තිබෙන අනිකුත් නිර්මාණත් දෙවි ඒ විදිහට සංවිධානය කර තිබෙනවා නම් දෙවි පොළොවේ ඉන්න ඔහුගේ සෙනඟවත් පිළිවෙළකට සංවිධානය කර තිබීම ගැන පුදුම වෙන්න ඕනෙද? (යෙසා. 40:26) දෙවිගේ සෙනඟට කරන්න වැදගත් කාර්යයන් රාශියක් තිබෙන නිසා ඔවුන් හොඳින් සංවිධානය වී සිටීම අත්‍යවශ්‍යයි. දෙවි තමන්ගේ සේවකයන්ව හොඳින් සංවිධානය කර ඔවුන්ට කරන්න භාර දුන් වැදගත් කාර්යයන් ගැනත් ඔවුන් ඒවා විශ්වාසවන්තව ඉටු කළ විදිහ ගැනත් දැන් අපි බලමු. එහෙම කරද්දී දෙවිගේ උදව් ඔවුන්ට ලැබී තිබෙනවා කියාත් “දෙවි අවුල්සහගත දෙවි කෙනෙකු නොව සමාදානයේ දෙවි කෙනෙක්” කියාත් අපිට පැහැදිලි වෙයි.1 කොරින්ති 14:33, 40 කියවන්න.

දෙවි අතීතයේදී තම සෙනඟව සංවිධානය කළ අයුරු

5. මිනිසුන්ගෙන් මේ පොළොව පිරවීමට දෙවිට තිබුණ අරමුණ තාවකාලිකව නතර වුණේ කොහොමද?

5 මුල් මිනිස් යුවළට දෙවි මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න. පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න.” (උත්. 1:28) මිලියන ගණනක් මිනිසුන්ව එකවිටම නිර්මාණය කරනවා වෙනුවට දෙවි අරමුණු කළේ ආදම් සහ ඒවගෙන් බිහි වෙන දරුවන්ගෙන් ක්‍රමානුකූලව පොළොව පිරී යන විදිහටයි. ඒ වගේම මිනිස් පවුල ටිකෙන් ටික විශාල වෙද්දී ඒදන් උයනත් ටිකෙන් ටික පොළොව පුරාම විහිදී යන විදිහටයි. ඒ වුණත් ආදම් සහ ඒව දෙවිට අකීකරු වීමත් සමඟම දෙවිගේ ඒ අරමුණ තාවකාලිකව නතර වුණා. (උත්. 3:1-6) ආදම් සහ ඒවගෙන් පැවතුණ වැඩිදෙනෙක් දෙවිට සේවය කළේ නැහැ. කාලයක් යද්දී “මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ බවත් ඔවුන්ගේ සිත් නිතරම නපුරටම යොමු වී තිබුණු බවත් යෙහෝවා දෙවි දුටුවේය.” ඔවුන්ගේ නපුරුකම්වල ප්‍රතිඵලයක් විදිහට ‘පොළොව නාස්ති වී තිබුණු බවත් පොළොව සැහැසික ක්‍රියාවලින් පිරී තිබුණු බවත් දෙවි දුටුවා.’ ඒ නිසා ජලගැල්මක් ගෙනැවිත් ඒ දුෂ්ට මිනිසුන්ව විනාශ කරන්න දෙවි තීරණය කළා.උත්. 6:5, 11-13, 17.

6, 7. (අ) දෙවි නෝවාව ආරක්ෂා කළේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) නෝවා කියපු පණිවිඩය ප්‍රතික්ෂේප කළ අයට මොකද වුණේ?

6 කොහොමවුණත් ‘නෝවා කටයුතු කළ ආකාරය ගැන යෙහෝවා දෙවි සතුටු වුණා.’ ‘ධර්මිෂ්ඨ මිනිසෙක් වුණ’ ඔහු ‘ඔහුගේ කාලයේ ජීවත් වූ මනුෂ්‍යයන්ට වඩා නිදොස්ව කටයුතු කළා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. ‘නෝවා සැබෑ දෙවි සමඟ ගමන් කළ’ නිසා දෙවි ඔහුට විශාල නැවක් සාදන කාර්යය භාර දුන්නා. (උත්. 6:8, 9, 14-16) නැව ඇතුළේ ඉන්න අයගේ ජීවිත ආරක්ෂා වෙන විදිහට ඒ නැව සාදන්නේ කොහොමද කියා දෙවි උපදෙස් දුන්නා. නෝවාත් ඔහුගේ පවුලේ අයත් ‘දෙවි අණ කළ සියල්ල’ ඒ විදිහටම කළා. සතුන්ව නැවට ඇතුල් කළාට පස්සේ ‘යෙහෝවා දෙවි දොර වැසුවා.’උත්. 7:5, 16.

7 නැව සාදන අතරේ ජලගැල්ම ගැන මිනිසුන්ට කියන්නත් නෝවා අමතක කළේ නැහැ. ඒත් හැමෝම වගේ ඔහුව ප්‍රතික්ෂේප කළා. (2 පේතෘ. 2:5) ක්‍රි.පූ. 2370දී දෙවි ජලගැල්ම ගෙනැවිත් සියලුම ‘මිනිසුන්වද මෘගයන්වද කුඩා සතුන්වද අහසේ පියාසර කරන ජීවීන්වද පොළොවෙන් නැති කර දැමුවා.’ ඒත් දෙවි කියපු විදිහටම කළ නෝවාත් ඔහුගේ පවුලේ අයත් ඒ විනාශයෙන් බේරුණා. (උත්. 7:23) අද පොළොවේ ජීවත් වෙන සෑම කෙනෙක්ම පැවතෙන්නේ නෝවා සහ ඔහුගේ පවුලේ අයගෙන්.

සෑම දෙයක්ම හොඳින් සංවිධානය කර තිබුණ නිසා අටදෙනෙක් ජලගැල්මෙන් බේරුණා (6 සහ 7 ඡේද බලන්න)

8. කානාන් දේශයේ පදිංචි වෙන්න කියා උපදෙස් දෙන්න කලින් දෙවි තම සෙනඟව සංවිධානය කර තිබුණු බව පැහැදිලි වෙන්නේ කොහොමද?

8 ජලගැල්මට අවුරුදු 800කට විතර පස්සේ යෙහෝවා දෙවි ඔහුටම වෙන් වුණ ජාතියක් මේ පොළොවේ සංවිධානය කළා. ඒ ඊශ්‍රායෙල් ජාතියයි. ඔවුන්ගේ ජීවිතවලට සම්බන්ධ හුඟක් දේවල්, විශේෂයෙන්ම නමස්කාරයට සම්බන්ධ දේවල් පිළිවෙළකට සංවිධානය කරන්න අවශ්‍ය උපදෙස් දෙවි ඔවුන්ට ලබා දුන්නා. උදාහරණයකට දෙවි ඔවුන් අතරේ හිටපු සමහරුන්ව පූජකයන් විදිහට පත් කළා. ලෙවීවරුන්ටත් වගකීම් දුන්නා. සමහර ස්ත්‍රීන්ටත් ‘සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ සේවය කරන’ වගකීම භාර දුන්නා. (නික්. 38:8) කාලයකට පසු කානාන් දේශයට ගිහින් පදිංචි වෙන්න කියා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට උපදෙස් දුන්නා. ඒත් වැඩිදෙනෙක් භය වී එහෙම කරන්න අකමැති වුණා. දෙවිව විශ්වාස කර වැඩ කළේ යොෂුවා සහ කාලෙබ් විතරයි. “මා අත ඔසවා, දිවුරා ඔබට දෙන බවට පොරොන්දු වූ ඒ දේශයට යෙෆුන්නෙගේ පුත්‍රයා වන කාලෙබ් හා නූන්ගේ පුත්‍රයා වන යොෂුවා හැර වෙන කිසිවෙක් නොයනු ඇත” කියා දෙවි කිව්වේ ඒ නිසයි. (ගණන්. 14:30, 37, 38) කාලයක් ගියාට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ නායකා විදිහට කටයුතු කරන වගකීම දෙවි භාර දුන්නේ යොෂුවාටයි. (ගණන්. 27:18-23) ඔහුගේ නායකත්වය යටතේ පොරොන්දු දේශයට ඇතුල් වීමට කලින් දෙවි සෙනඟව ශක්තිමත් කළේ මේ වචනවලින්. ‘ධෛර්යවත්ව, එඩිතරව සිටින්න. ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි. එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.’යොෂු. 1:9.

9. රාහබ්ට යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ සෙනඟ ගැනත් හැඟුණේ කොහොමද?

9 ක්‍රි.පූ. 1473දී සිද්ධ වුණ දෙයක් බලන්න. ඒ වෙලාවේ ඊශ්‍රායෙල්වරුන් සිටියේ කානාන් දේශයේ තිබුණ යෙරිකෝව නගරය අසල කඳවුරු බැඳගෙනයි. තොරතුරු සොයා බලන්න යොෂුවා ඊශ්‍රායෙල්වරුන් දෙදෙනෙක්ව නගරයට යැව්වා. එහිදී ඔවුන්ට රාහබ් කියන ගණිකාව මුණ ගැසුණා. රාහබ් ඒ දෙන්නාව සඟවා රජුගේ සෙබළුන්ගෙන් බේරාගත්තා. පස්සේ රාහබ් ඒ දෙන්නාට මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි ඔබට මේ දේශය ලබා දෙයි කියා මට හොඳටම විශ්වාසයි. දෙවි ඔබ ඉදිරියේ රතු මුහුදේ ජලය වියළෙන්න සැලැස්වූ හැටිත් අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාව ඔබ විනාශ කළ හැටිත් අපිට අහන්න ලැබුණා. අහසටත් පොළොවටත් අධිපති වෙන කවුරුත් නෙමෙයි, ඔබේ දෙවි යෙහෝවා බව ස්ථිරයි.’ (යොෂු. 2:9-11) දෙවි තෝරාගත් සෙනඟට සහයෝගය දුන් නිසා යෙරිකෝව නගරය විනාශ වෙද්දී දෙවි රාහබ්වත් ඇගේ පවුලේ අයවත් බේරාගත්තා. (යොෂු. 6:25) දෙවිව විශ්වාස කළ රාහබ් දෙවිටත් ඔහුගේ සෙනඟටත් ගෞරව කළා.

මුල් සියවසේ ක්‍රිස්තියානීන්ව සංවිධානය කළ අයුරු

10. යේසුස් යුදෙව් ආගමික නායකයන්ට කිව්වේ මොකක්ද? ඒ ඇයි?

10 යොෂුවාගේ නායකත්වය යටතේ මුළු කානාන් දේශයම යටත් කරගත් ඊශ්‍රායෙල්වරුන් එහි පදිංචි වුණා. ඒත් එදා ඉඳන් ගත වුණ අවුරුදු 1,500ක පමණ කාලය පුරා ඔවුන් නැවත නැවතත් දෙවිට විරුද්ධව වැඩ කළා. යේසුස් මේ පොළොවට පැමිණි කාලය වෙනකොට ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිටත් ඔහුව නියෝජනය කළ අනාගතවක්තෘවරුන්ටත් කොයි තරම් අකීකරු වී තිබුණද කියනවා නම් යේසුස් ඔවුන්ව හැඳින්නුවේ “අනාගතවක්තෘවරුන්ව මරා දැමූ” අය විදිහටයි. (මතෙව් 23:37, 38 කියවන්න.) අවිශ්වාසවන්තව වැඩ කළ නිසා දෙවි යුදෙව් ආගමික නායකයන්ව ප්‍රතික්ෂේප කළා. යේසුස් ඔවුන්ට කිව්වේ මෙහෙමයි. ‘දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන රාජ්‍යය වෙනුවෙන් පල උපදවන වෙනත් ජාතියකට එය දෙනු ලබනවා.’මතෙ. 21:43.

11, 12. (අ) පළවෙනි සියවසේදී ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවට දෙවි වෙනත් සෙනඟක්ව තෝරාගත්තා කියා පැහැදිලි වුණේ කොහොමද? (ආ) අලුත් සංවිධානය සෑදී තිබුණේ කාගෙන්ද?

11 යේසුස් පොළොවට ඇවිත් ටික කාලයකට පස්සේ දෙවි තම සෙනඟ වීමේ වරප්‍රසාදය ඊශ්‍රායෙල්වරුන්ගෙන් ඉවත් කළා. ඉන් අදහස් කළේ දෙවිව නියෝජනය කරන සංවිධානයක් තවදුරටත් මේ පොළොවේ නැහැ කියාද? නැහැ. ඊශ්‍රායෙල් ජාතිය වෙනුවට යේසුස්ටත් ඔහුගේ ඉගැන්වීම්වලටත් කීකරු වුණ පිරිසක්ව දෙවි තම සෙනඟ විදිහට තෝරාගත්තා. ඒ අලුත් සංවිධානය ආරම්භ වුණේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදියි. එදා උඩුමහල් කාමරයක රැස් වී සිටි යේසුස්ගේ අනුගාමිකයන් 120දෙනා අද්දුටු දේ බයිබලයේ විස්තර කරන්නේ මෙහෙමයි. ‘තද සුළඟක් හමන්නා සේ ශබ්දයක් අහසින් ඇසිණ. ඒ ශබ්දය සියලුදෙනා ඉඳගෙන සිටි නිවස පුරාම පැතිර ගියා. එවිට ගිනිදලු බෙදී ගොස් ඒවා සෑම කෙනෙකුගේම හිසට ඉහළින් දැල්වෙනවා ඔවුන්ට දැකගත හැකි විය. ඒ මොහොතේ පටන් ඒ සියලුදෙනා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක විය. දෙවිගේ බලය ඔවුන් තුළ එසේ ක්‍රියාත්මක වූ නිසා සියලුදෙනාම විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තා.’ (ක්‍රියා 2:1-4) ඒ පුදුමාකාර සිද්ධියෙන් පැහැදිලි වුණේ ඒ අලුත් සංවිධානයට දෙවිගේ අනුමැතිය, ආශීර්වාදය තිබුණා කියායි.

12 ඒ දවසේදීම තවත් ‘තුන්දහසක් පමණ දෙනෙක් ඔවුන්ට එකතු වුණා.’ ඊටපස්සෙත් ‘යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් ගැලවීමේ මඟට ඇතුල් වූ බොහෝ පිරිසක් ඔවුන්ට දිනපතා එකතු වුණා.’ (ක්‍රියා 2:41, 47) යේසුස්ගේ අනුගාමිකයන් කරපු දේශනා කිරීමේ කාර්යය කොයි තරම් සාර්ථක වුණාද කියනවා නම් ‘දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගිය අතර යෙරුසලමේ සිටි ගෝලයන්ගේ ගණනද දිගින් දිගටම වැඩි වුණා. පූජකයන් විශාල පිරිසක්ද යේසුස්ගේ අනුගාමිකයෝ වුණා.’ (ක්‍රියා 6:7) ටික කාලයකට පස්සේ ‘වෙනත් ජාතීන්ට’ අයත් මිනිසුන්වත් ක්‍රිස්තියානි සභාවට දෙවි පිළිගැනීමෙන් ඒ සංවිධානයට දෙවිගේ ආශීර්වාද තිබෙනවා කියා හොඳින්ම පැහැදිලි වුණා.ක්‍රියා 10:44, 45 කියවන්න.

13. දෙවිගේ අලුත් සංවිධානයට භාර දුන් කාර්යය මොකක්ද?

13 තමන්ගෙන් දෙවි බලාපොරොත්තු වෙන දේ ගැන ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ යේසුස් පොළොවේ ඉද්දී ඔවුන්ට ඒ ගැන කියා දී තිබුණ නිසයි. බව්තීස්ම වුණාට පස්සේ යේසුස් මුල් තැන දුන්නේ ‘ස්වර්ග රාජ්‍යය ගැන දේශනා කරන්නයි.’ (මතෙ. 4:17) ඒ දේම කරන්න කියා ඔහු තමන්ගේ අනුගාමිකයන්ටත් කිව්වා. ඒ වගේම යේසුස් ඔවුන්ට කලින්ම මෙහෙමත් කියා තිබුණා. “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) තමන් කරන්න ඕන දේ ගැන මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් හොඳින්ම දැනුවත් වී සිටියා කියා පාවුල් සහ බානබස් යුදෙව්වන්ට කියපු මේ දෙයිනුත් පැහැදිලියි. “මුල්ම පියවර ලෙස දෙවිගේ පණිවිඩය ලබා දෙන්න සිදු වුණේ ඔබටයි. නමුත් ඔබ එය ප්‍රතික්ෂේප කර තමන් සදාකාල ජීවනය ලබාගන්න තරම් සුදුසු අය නොවන බව පෙන්වා ඇති නිසා අපි දැන් ඒ දේ ලබා දෙන්නේ වෙනත් ජාතීන්ටයි. ඇත්තෙන්ම යෙහෝවා දෙවි අපිට මෙලෙස අණ කර තිබෙනවා. ‘මම ජාතීන්ට ආලෝකය දීම සඳහා ඔබව පත් කළෙමි. එසේ කළේ ඔබ මාර්ගයෙන් පොළොවේ ඈත කෙළවර දක්වාම වෙසෙන ජනයාට ගැලවීම ලබා දීම සඳහාය.’” (ක්‍රියා 13:14, 45-47) මිනිසුන්ව ගලවාගන්න යෙහෝවා දෙවි කර තිබෙන දේ දැනුම් දෙන්න පළවෙනි සියවසේ ඉඳන් අද වෙනකම්ම දෙවිගේ සංවිධානයේ පොළොවේ තිබෙන කොටස උපරිමයෙන් උත්සාහ කරනවා.

දෙවිගේ සෙනඟ ගැලවෙයි

14. පළවෙනි සියවසේදී යෙරුසලමට වුණේ මොකක්ද? ඉන් බේරුණේ කවුද?

14 යුදෙව්වන්ගෙන් වැඩිදෙනෙක් ශුභාරංචිය පිළිගත්තේ නැහැ. ඒ වගේම යෙරුසලමට මුහුණ දීමට සිදු වෙන විනාශය ගැන යේසුස් දුන් අනතුරු ඇඟවීමත් ඔවුන් ගණනකට ගත්තේ නැහැ. ඔහු තම අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “සේනාවන් ඇවිත් යෙරුසලම වටා කඳවුරු බැඳගෙන සිටින ආකාරය ඔබ දකින විට යෙරුසලමේ විනාශය ළඟා වී ඇති බව ඔබ දැනගත යුතුයි. යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි. යෙරුසලම තුළ සිටින අය නුවරින් ඉවත් විය යුතු අතර ගම්බද පළාත්වල සිටින අය නුවරට ඇතුල් වීමෙන් වැළකී සිටිය යුතුයි.” (ලූක් 21:20, 21) යේසුස් පැවසූ දේ ඉටු වුණා. ක්‍රි.ව. 66දී යුදෙව්වන් රෝමයට විරුද්ධව කැරලිගැසූ නිසා රෝම හමුදාව යෙරුසලම වටලා එය විනාශ කරන්න සූදානම් වුණා. ඒත් හදිසියේම ඔවුන් එතැනින් පිට වී ගිය නිසා යේසුස්ගේ අනුගාමිකයන්ට යෙරුසලමෙනුත් යුදයෙනුත් පලා යන්න අවස්ථාව ලැබුණා. ඔවුන් යොර්දාන් ගඟ හරහා පෙල්ලා කඳුකරයට පලා ගියා. ක්‍රි.ව. 70දී රෝම හමුදාව නැවත ඇවිත් යෙරුසලම සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඒත් යේසුස්ට කීකරු වුණ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ගේ ජීවිත බේරුණා.

15. බොහෝදෙනෙක් ශුභාරංචිය පිළිගෙන ක්‍රිස්තියානීන් වුණේ මොන වගේ වාතාවරණයක් යටතේද?

15 මොන තරම් ප්‍රශ්න, පීඩා, පරීක්ෂා ආවත් පළවෙනි සියවසේදී බොහෝදෙනෙක් ශුභාරංචිය පිළිගෙන ක්‍රිස්තියානීන් වුණා. (ක්‍රියා 11:19-21; 19:1, 19, 20) එහෙම වුණේ මුල් ක්‍රිස්තියානීන්ට දෙවිගේ ආශීර්වාදය තිබුණ නිසයි.හිතෝ. 10:22.

16. තමන්ගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න එදා හිටපු ක්‍රිස්තියානීන් කළ යුතු වුණේ මොනවාද?

16 විශ්වාසය ශක්තිමත්ව තබාගන්නත් එකමුතුව දෙවිට සේවය කරන්නත් ක්‍රිස්තියානි සභාවේ සෑම කෙනෙකුටම ඒ අයගේ පැත්තෙන් මහත් වෙහෙසක් දරන්න සිදු වුණා. දේවවචනය අධ්‍යයනය කරන්න, නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙන්න, උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වෙන්න ඔවුන් මහත් වෙහෙසක් දැරුවා. සභාවේ සෑම දෙයක්ම පිළිවෙළකට හොඳින් සංවිධානය කර තිබුණා. ඔවුන්ට උදව් කරන්න වැඩිමහල්ලන් සහ සහායක සේවකයන් හිටියා. ඔවුන් කළ සේවයෙන් සභාවේ හැමෝම ප්‍රයෝජන ලැබුවා. (ෆිලි. 1:1; 1 පේතෘ. 5:1-4) ඒ වගේම පාවුල් වැනි සංචාරක සේවකයන් විටින් විට ඔවුන්ගේ සභාවලට පැමිණීම නිසාත් ඔවුන් සතුටක් ලැබුවා. (ක්‍රියා 15:36, 40, 41) අද අපි කරන නමස්කාරයත් පළවෙනි සියවසේදී දෙවිට නමස්කාර කරන්න තිබුණ සැලැස්මට සමානයි කියා ඔබට සිතෙන්නේ නැද්ද? දෙවි තමන්ගේ සේවකයන්ව ඒ විදිහට පිළිවෙළකට සංවිධානය කිරීම ගැන අපි මොන තරම් සතුටු වෙන්න ඕනෙද! *

17. ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවාද?

17 සාතන්ගේ දුෂ්ට සමාජයේ විනාශය ළං වෙන්න ළං වෙන්න ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා වැඩි වේගයකින් දෙවිගේ සංවිධානයේ පොළොවේ තිබෙන කොටස ඉදිරියට යනවා කියා ඔබට පෙනෙනවාද? ඒ වේගයෙන්ම ඔබත් සංවිධානයත් එක්කම ඉදිරියට යනවාද? එහෙම කරන්න පුළුවන් කොහොමද කියා අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ 16 ඡේ. 2002 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ “ක්‍රිස්තියානීන් නමස්කාර කරන්නේ ආත්මයෙන් සහ සත්‍යතාවෙන්ය” සහ “ඔවුන් දිගටම සත්‍යතාවෙහි ගමන් කරනවා” යන ලිපි බලන්න. දෙවිගේ සංවිධානයේ පොළොවේ තිබෙන කොටස ගැන වැඩි විස්තර ‘දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!’ යන සඟරාවේ සඳහන් වෙනවා.