Skip to content

පටුනට යන්න

දේවසේවයේදී රන් අණ අදාළ කරගමු

දේවසේවයේදී රන් අණ අදාළ කරගමු

“අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”මතෙ. 7:12.

1. සේවයේදී අපිට හම්බ වෙන අයට හොඳින් සලකන එක වැදගත්ද? අද්දැකීමක් කියන්න. (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

ෆිජි රටේ හිටපු යුවළක් යේසුස්ගේ මරණය සිහි කිරීමේ ආරාධනා පත් බෙදා දෙමින් හිටියා. ඒ දෙන්නා කාන්තාවක් එක්ක කතා කරකර ඉද්දී එකපාරටම වහින්න පටන්ගත්තා. එතකොට ඒගොල්ලන් ළඟ තිබුණ කුඩයක් ඉක්මනින්ම ඒ කාන්තාවට දුන්නා. සිහි කිරීමේ දවසේ ඒ කාන්තාව රැස්වීමට ඇවිත් ඉන්නවා දැක්කම ඒ යුවළට දැනුණේ ලොකු සතුටක්. එයා එදා රැස්වීමට ආවේ ඇයි කියලා දන්නවද? “ඒ දෙන්නා කියපු දේවල් නම් මට එච්චර මතක නෑ. ඒත් ඒ දෙන්නා මං ගැන දක්වපු සැලකිල්ල නම් මට අමතක වෙන්නේ නෑ. ඒ නිසයි මං අද ආවේ” කියලා කාන්තාව කිව්වා. ඒ වගේ අද්දැකීමක් ලබන්න හේතු වුණේ ඒ යුවළ රන් අණ පිළිපැද්ද නිසයි.

2. රන් අණ කියන්නේ මොකක්ද? ඒක පිළිපදින්න අපිට පුළුවන් කොහොමද?

2 රන් අණ කියන්නේ මොකක්ද? “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න” කියලා යේසුස් කිව්ව දේට තමයි රන් අණ කියන්නේ. (මතෙ. 7:12) ඒක පිළිපදින්න අපිට පුළුවන් කොහොමද? ඒකට අපි දේවල් දෙකක් කරන්න ඕනේ. මුලින්ම ‘මම එයා වුණා නම් මම කැමති මට කොහොම සලකනවටද’ කියලා අපෙන්ම අහගන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් උපරිම විදිහට ඒ කෙනාට ඒ විදිහට සලකන්න ඕනේ.1 කොරි. 10:24.

3, 4. (අ) රන් අණ පිළිපදින්න ඕනෙ සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරද්දී විතරක් නෙමෙයි කියලා කියන්නේ ඇයි? (ආ) මේ ලිපියේ අපි බලන්නේ මොනවද?

3 යේසුස් කිව්වේ අපි රන් අණ අදාළ කරගන්න ඕනෙ අපේ සහෝදර සහෝදරියෝ එක්ක වැඩ කරද්දී විතරක් කියලද? නැහැ. අපිට සතුරුකම් කරන අය ඇතුළුව හැමෝම එක්ක වැඩ කරද්දී අපි ඒ උපදෙස අදාළ කරගන්න ඕනෙ කියලයි යේසුස් කිව්වේ. (ලූක් 6:27, 28, 31, 35 කියවන්න.) එහෙමනම් අපි දේශනා සේවයේ යද්දී ඒ උපදෙස අදාළ කරගන්න එක කොච්චර වැදගත්ද! මොකද සේවයේදී අපිට හම්බ වෙන අය අතර “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති” අය ඉන්නවා.ක්‍රියා 13:48.

4 දේශනා සේවයේ යද්දී අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්න හතරක් ගැන දැන් බලමු. (1) මම කතා කරන්නේ මොන වගේ කෙනෙක්ටද? (2) මම කතා කරන්නේ කොහේ ඉඳන්ද? (3) මිනිසුන් එක්ක කතා කරන්න හොඳම වෙලාව මොකක්ද? (4) මම සාකච්ඡාව පටන්ගන්න ඕනෙ කොහොමද? ඒ ප්‍රශ්න ගැන හොඳට හිතුවොත් සේවයේදී හම්බ වෙන අය ඒගොල්ලන්ට සලකනවට කැමති කොහොමද කියලා තේරුම් අරගෙන ඒ විදිහට කතා කරන්න අපිට පුළුවන් වෙයි.1 කොරි. 9:19-23.

මම කතා කරන්නේ මොන වගේ කෙනෙක්ටද?

5. අපි හිතන්න ඕනෙ මොන වගේ ප්‍රශ්නද?

5 දේශනා සේවයේ යද්දී පිරිසකට කතා කරනවට වඩා අපි කතා කරන්නේ එක් එක් පුද්ගලයන්ටයි. ඒ හැම කෙනෙකුටම ඒ කෙනාට ආවේණික වුණු පවුල් පසුබිමක් තියෙනවා. මුහුණ දෙන ප්‍රශ්නත් එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. (2 ලේක. 6:29) ඒ නිසා කෙනෙක් එක්ක කතා කරන්න කලින් මෙහෙම හිතන්න. ‘මං එයාගේ තත්වයේ හිටියා නම් මං කැමති එයා මට කොහොම සලකනවටද? මාව අඳුනගන්නත් කලින්ම මං කොයි වගේ කෙනෙක්ද කියලා එයා තීරණය කරනවට මං කැමතිද?’ සේවයේදී හම්බ වෙන එක් එක් පුද්ගලයාව වටිනා කෙනෙක් විදිහට සලකන්න ඒ විදිහට හිතන එක අපිට උදව් වෙනවා.

6, 7. සේවයේදී හම්බ වෙන කෙනෙක් කේන්තියෙන් කතා කළොත් අපි මොනවද කරන්න ඕනේ?

6 කේන්ති යන නපුරු කෙනෙක් විදිහට තමන්ව හංවඩු ගහනවට කිසි කෙනෙක් කැමති නැහැ. උදාහරණයකට “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න” කියන ප්‍රතිපත්තිය අදාළ කරගන්න අපි හුඟක් උත්සාහ කරනවා. (කොලො. 4:6) ඒත් අපි පරිපූර්ණ නැති නිසා සමහර වෙලාවට පස්සේ පසුතැවෙන්න වෙන දේවල් අපේ කටින් පිට වෙනවා. (යාකො. 3:2) අපි කෙනෙක්ගේ හිත රිදෙන විදිහට කතා කළා කියලා හිතමු. සමහරවිට එහෙම වුණේ ඒ වෙලාවේ අපි ලොකු පීඩනයකින් හිටපු නිසා වෙන්න ඇති. එහෙම වුණා කියලා හැම තිස්සෙම අනිත් අයගේ හිත රිද්දන පුද්ගලයන් විදිහට අපිව හංවඩු ගහනවට අපි කැමති නැහැ. එදා මං හිටපු තත්වය අනිත් කෙනා තේරුම්ගනියි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අනිත් අය ගැන හිතන්න ඕනෙත් එහෙම නේද?

7 සේවයේදී හම්බ වෙන කෙනෙක් අපිට කේන්තියෙන් කතා කළා කියලා හිතමු. එයා එහෙම කේන්තියෙන් ඉන්නේ ඇයි කියලා එයාගේ පැත්තෙන් හිතන එක හොඳ නැද්ද? එහෙම වුණේ එයා වැඩ කරන තැන නැත්නම් ඉස්කෝලේ මොකක් හරි ප්‍රශ්නයක් නිසාද? බරපතළ අසනීපයකින් පීඩා විඳින නිසාද? මුලින් කේන්තියෙන් පණිවිඩය ප්‍රතික්ෂේප කළත් සාක්ෂිකරුවන් ගෞරවයෙන්, කාරුණිකව සලකපු නිසා පස්සේ කාලෙක පණිවිඩයට කැමැත්තෙන්ම සවන් දුන්න අයගේ අද්දැකීම් හුඟක් තියෙනවා.හිතෝ. 15:1; 1 පේතෘ. 3:15.

8. ‘ඕනම තරාතිරමක’ ඉන්න අයට ශුභාරංචිය කියන්න අපි පසුබට වෙන්න හොඳ නැත්තේ ඇයි?

8 සේවයේ යද්දී අපිට එක එක විදිහේ අයව හම්බ වෙනවා. පහුගිය අවුරුදු කීපය ඇතුළත ‘මුරටැඹ’ සඟරාවේ “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපි මාලාවේ ඒ වගේ පුද්ගලයන්ගේ අද්දැකීම් 60ටත් වඩා පළ වුණා. සොරුන්, බේබද්දන්, මැර කල්ලිවල සාමාජිකයන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටපු අය, අනාචාර ජීවිත ගත කරපු අය, දේශපාලනඥයන්, ආගමික නායකයන්, ව්‍යාපාරවලින් හා රැකියාවලින් ඉහළටම ගිය අය ශුභාරංචිය අහලා බයිබලය පාඩම් කරන්න කැමති වෙලා තියෙනවා. ඒගොල්ලෝ ජීවිත වෙනස් කරගෙන සත්‍යයට ආපු විදිහ ඒ අද්දැකීම්වල සඳහන් වෙනවා. ඒ නිසා ‘මේ කෙනා නම් කවදාවත් සත්‍යයට එන එකක් නෑ’ කියලා අපි හිතන්න හොඳ නැහැ. (1 කොරින්ති 6:9-11 කියවන්න.) මොකද ‘ඕනම තරාතිරමක’ ඉන්න කෙනෙක් අපේ පණිවිඩයට සවන් දීලා සත්‍යයට එන්න ඉඩ තියෙනවා.1 කොරි. 9:22.

මම කතා කරන්නේ කොහේ ඉඳන්ද?

9. අනිත් අයගේ නිවෙස් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

9 අපි හුඟක් වෙලාවට මිනිසුන්ව හම්බ වෙන්නේ ඒ අයගේ ගෙවල්වලට ගිහින්. (මතෙ. 10:11-13) අපේ ගෙදරට, අපිට අයිති දේවලට කවුරුත් හානියක් කරනවට අපි කැමති නැහැ. අපි අපේ ගෙදර සලකන්නේ නිදහසේ, සුරක්ෂිතව ඉන්න පුළුවන් තැනක් විදිහටයි. කවුරුත් ඇවිත් ඒකට බාධා කරනවට අපි කැමති නැහැ. අපි අනිත් අය ගැන හිතන්න ඕනෙත් එහෙමයි. ඒ නිසා ගෙයින් ගෙට සේවයේ යද්දී අනිත් අයගේ දේපළ ගැන, නිදහස ගැන සැලකිලිමත් වෙන්න අපිට පුළුවන් කොහොමද කියලා හිතන්න ඕනේ.ක්‍රියා 5:42.

10. ගෙවල්වල ඉන්න අයව අපහසුතාවකට පත් වෙන විදිහේ දේවල් නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද?

10 හොර මැරකම්, අපරාධ හැම තැනම අහන්න දකින්න තියෙන නිසා තමන්ගේ ගෙදරට නාඳුනන කෙනෙක් එද්දී හුඟක් අය බලන්නේ සැකෙන්. (2 තිමෝ. 3:1-5) ඒ සැකේ තවත් වැඩි කරන විදිහට අපි වැඩ කරන්න හොඳ නැහැ. හිතන්න අපි ගෙදරකට ගිහින් දොරට තට්ටු කරනවා කියලා. කවුරුත් එළියට ආවේ නැත්නම් ජනේලෙකින් එබිලා බලන්න හරි ගෙයි පිටිපස්ස පැත්තට ගිහින් බලන්න හරි අපි පෙලඹෙයි. අපි එහෙම කළොත් ඒ ගෙදර අය අපි ගැන මොනවා හිතයිද? අසල්වැසියෝ මොනවා හිතයිද? හිතන්න අපි ගෙදරකට යද්දී ඒ ගෙදර ගේට්ටුව වහලා තියෙනවා කියලා. අවසරයක් නැතුව ගේට්ටුව ඇරගෙන එනවට ගෙදර අය කැමති වෙයිද? අපි ඒ දේවල් කරන්නේ කොහොම හරි අපේ පණිවිඩය හැම ගෙදරකම ඉන්න අයට කියන්න අපිට තියෙන ආශාව නිසා වෙන්න පුළුවන්. (ක්‍රියා 10:42; රෝම 1:14, 15) ඒත් ගෙවල්වල ඉන්න අයට කරදරයක් වෙන විදිහේ, ඒ අය අපහසුතාවකට පත් වෙන විදිහේ කිසි දෙයක් අපි කරන්න හොඳ නැහැ. “කිසිවෙකුටවත් අප නිසා අපහසුතාවකට ලක් වෙන්න අපි ඉඩ තබන්නේ නැත. අප එසේ කරන්නේ කිසිවෙකු අපගේ සේවයට දෝෂාරෝපණය නොකිරීම සඳහාය” කියලා පාවුල් කිව්වා. (2 කොරි. 6:3) අපි සේවයේ යද්දී මිනිසුන්ගේ ගෙවල්වලට, දේපළවලට ගරු කරලා වැඩ කරනවා නම් ඒක දකින සමහරුන් අපේ පණිවිඩය අහන්න කැමති වෙන්න ඉඩ තියෙනවා.1 පේතෘස් 2:12 කියවන්න.

සේවයේ යද්දී මිනිසුන්ගේ දේපළවලටත් ඒ අයගේ නිදහසටත් ගරු කරමු (10 ඡේදය බලන්න)

මිනිසුන් එක්ක කතා කරන්න හොඳම වෙලාව මොකක්ද?

11. අනිත් අය අපේ කාලය ගැන සැලකිලිමත් වෙලා වැඩ කරනවට අපි කැමති ඇයි?

11 අපි හැමෝම කාර්යබහුලයි. හැම දෙයක්ම හොඳට කරන්න ඕනෙ නිසා අපි කලින්ම දවසේ වැඩකටයුතු සැලසුම් කරනවා. (එෆී. 5:16; ෆිලි. 1:10) අපේ සැලසුම්වලට කවුරු හරි කෙනෙක් බාධා කළොත් අපිට ටිකක් කේන්ති යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අනිත් අය අපේ කාලය ගැන සැලකිලිමත් වෙලා දේවල් කරනවට අපි කැමතියි. ඒ වගේම සමහර අවස්ථාවලදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන තරම් කාලයක් අපිට දෙන්න බැහැ කියලා ඒ අය තේරුම්ගන්නවට අපි කැමතියි. ඒ දේ හිතේ තියාගෙන දේශනා සේවයේදී රන් අණ අදාළ කරගන්න අපිට පුළුවන් කොහොමද?

12. සේවයේ යන්න හොඳම වෙලාව මොකක්ද කියලා දැනගන්නේ කොහොමද?

12 ගෙවල්වල ඉන්න අයව හම්බ වෙන්න යන්න හොඳම වෙලාව මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. අපේ පැත්තේ මිනිසුන් සාමාන්‍යයෙන් ගෙදර ඉන්නේ මොන වගේ වෙලාවලදීද? ඒ අය ටිකක් නිදහසේ කතා කරන්න කැමති මොන වගේ වෙලාවලදීද? අපි සේවයේ යන්න ඕන ඒ වෙලාවලදියි. සමහර පැතිවල හවස් වරුවේ සේවයේ යන එකෙන් හුඟක් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඔබටත් පුළුවන්ද ඒ වගේ වෙලාවලදී සේවයේ යන එක ගැන හිතලා බලන්න? (1 කොරින්ති 10:24 කියවන්න.) ගෙවල්වල මිනිසුන් ඉන්න වෙලාව හොයලා බලලා ඒ වෙලාවට සේවයේ යන්න අපි කරන කැප කිරීම්වලට දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.

13. සේවයේදී හම්බ වුණු කෙනෙක්ට අපි ගරු කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

13 කෙනෙකුට ගරු කරනවා කියලා පෙන්නන්න අපිට තවත් මොනවද කරන්න පුළුවන්? කෙනෙක් අපේ පණිවිඩයට හොඳට ඇහුම්කන් දුන්නා කියලා අපි ඕනෑවට වඩා කාලයක් ඒ කෙනාගේ ගෙදර ඉන්න හොඳ නැහැ. මොකද එයා යොදාගත්ත වෙන වැඩ තියෙන්න පුළුවන්. ඒ වගේම “මට වැඩ තියෙනවා” කියලා කියන කෙනෙක්ට “වැඩි වෙලාවක් ගන්නේ නැතුව කෙටියෙන් පණිවිඩය කියන්නම්” කියලා අපි පොරොන්දු වුණොත් ඒ විදිහටම අපි කරන්න ඕනේ. (මතෙ. 5:37) ඒ සාකච්ඡාව කෙටියෙන් ඉවර කරලා “ආයෙත් ඔයාත් එක්ක කතා කරන්න ලේසි මොන වගේ වෙලාවටද” කියලා අහන්න පුළුවන්. “මං ආසයි ආයෙත් ඇවිත් ඔයාත් එක්ක කතා කරන්න. එන්න කලින් මං ඔයාට කෝල් එකක් දෙන්නද” කියලා සමහරුන් අහනවා. අපි අනිත් අයගේ කාලය ගැන සැලකිලිමත් වෙලා වැඩ කරමු. එහෙම කරනවා නම් ‘මම මගේම වාසිය හෝ ප්‍රයෝජනය ගැන හිතන්නේ නැතුව වැඩිදෙනාගේ ප්‍රයෝජනයට හේතු වන දේ ගැන සිතන්නේ ඔවුන්ව ගලවාගැනීම සඳහාය’ කියලා පාවුල් කිව්ව දේ කියන්න අපිටත් පුළුවන් වෙනවා.1 කොරි. 10:33.

මම සාකච්ඡාව පටන්ගන්නේ කොහොමද?

14-16. (අ) අපි ආපු කාරණය ගැන නිවැසියාට පැහැදිලිව කියන එක වැදගත් ඇයි? පැහැදිලි කරන්න. (ආ) සංචාරක සේවකයෙක් අත්හදා බැලුව ක්‍රමය මොකක්ද?

14 අඳුනන්නේ නැති කෙනෙක්ගෙන් දුරකථන ඇමතුමක් ආවා කියලා හිතන්න. එයා එකපාරටම අපෙන් අහනවා “ඔයා කන්න කැමති මොන වගේ කෑමද” කියලා. ‘කවුද මේ? මෙයාට මොනවද ඕන’ කියලා අපිට හිතෙයි. දුරකථනය එකපාරට තියන්න බැරි නිසා අපි එයාත් එක්ක ටිකක් කතා කළත් අපිට ඕන ඉක්මනින්ම ඒ කතාව ඉවර කරන්නයි. අනිත් අතට මෙහෙම හිතන්න. අපිට ඇමතුමක් දුන්න කෙනා තමා කවුද කියලා මුලින්ම අඳුන්නලා දීලා, එයා ආහාරවල පෝෂ්‍ය ගුණය ගැන සමීක්ෂණයක් කරන කෙනෙක් කියලත් එයා ළඟ අපිට ප්‍රයෝජනවත් වෙන තොරතුරු තියෙනවා කියලත් කිව්වොත් අපි එයාත් එක්ක දිගටම කතා කරන්න බොහෝදුරට කැමති වෙයි. ඒකෙන් තේරෙන්නේ කෙනෙක් මුලින්ම තමාව අඳුන්නලා දීලා ආපු කාරණය පැහැදිලිව, කාරුණිකව කිව්වොත් අපි ඒ කෙනා එක්ක කතා කරන්න තියෙන ඉඩකඩ වැඩියි කියන එක නේද? ඒ දේ අපිට දේශනා සේවයට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

15 සේවයේ යද්දිත් අපි ආපු කාරණය පැහැදිලිව කියන එක ගෙවල්වල අය අපෙන් බලාපොරොත්තු වෙනවා. අපි ළඟ තියෙන්නේ වටිනා පණිවිඩයක් තමයි. ඒත් අපි ගෙදරකට ගිහින් අපි කවුද, අපි අවේ මොකටද කියලා කියන්නේ නැතුව එකපාරටම “ඔයාට මේ ලෝකයේ තියෙන එක ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්කම ලැබුණොත් ඔයා විසඳන්නේ මොන ප්‍රශ්නෙද” කියලා ඇහුවොත් මොකද වෙන්නේ? ඇත්ත, ඒ වගේ ප්‍රශ්නෙකින් ඒ කෙනා උනන්දු වෙන දෙයක් ගැන දැනගෙන ඒ අනුව අපිට සාකච්ඡාව ගොඩනඟන්න පුළුවන් වෙයි. ඒ වුණත් ඒකෙන් ඒ කෙනාගේ හිතේ සැකයක් ඇති වෙයි. ‘මේ කවුද? ඇයි මෙයා මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ’ කියලා හිතයි. ඒ නිසා අපි එයාව තේරුම් අරගෙන එයාගේ හිතේ බයක්, සැකක් ඇති නොවෙන විදිහට කතා කරන්න ඕනේ.ෆිලි. 2:3, 4.

16 සංචාරක සේවකයෙක් මේ ක්‍රමය අත්හදා බැලුවා. ගෙදරකට ගිහින් ආචාර කරලා තමාව අඳුන්නලා දුන්නට පස්සේ ‘ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද?’ කියන පත්‍රිකාව දීලා මෙහෙම කියනවා. “අද අපි මේ පත්‍රිකාව මේ පැත්තේ හැමෝටම දෙනවා. මේකෙ පොදුවේ මිනිසුන් කල්පනා කරන ප්‍රශ්න හයක් ගැන තියෙනවා. මේ ඔයාගේ පත්‍රිකාව.” එහෙම කියද්දී ඒ අයගේ හිතේ ඇති වුණු කුතුහලය නැති වෙලා අපි ආපු කාරණය තේරුම්ගන්නවා. එතකොට සාකච්ඡාවක් පටන්ගන්න ලේසියි කියලා ඒ සහෝදරයා කියනවා. ඊළඟට “ඔයාත් මේ ප්‍රශ්නවලින් එකක් ගැන කවදා හරි හිතලා තියෙනවද” කියලා අහලා ඒ ගෙදර කෙනා ප්‍රශ්නයක් තෝරගත්තොත් පත්‍රිකාවේ ඒ ප්‍රශ්නෙට පිළිතුර සඳහන් වෙලා තියෙන කොටස එයාත් එක්ක ටිකක් කතා කරනවා. එයා ප්‍රශ්නයක් තෝරගත්තේ නැත්නම් එයාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව ඒ සහෝදරයාම ප්‍රශ්නයක් තෝරලා ඒ ගැන කතා කරනවා. ඇත්තටම ඒ සහෝදරයා කළා වගේ සාකච්ඡාවක් පටන්ගන්න තව හොඳ ක්‍රම හුඟක් තියෙනවා. සමහර ප්‍රදේශවල අමුත්තෙක් ගෙදරට ආවම එයාට ආචාර කරලා එයාත් එක්ක ටිකක් කතාබහ කරන එක සාමාන්‍ය සිරිතක්. ඊටපස්සේ තමයි ආපු කාරණය ගැන අහන්නේ. වැදගත් වෙන්නේ අපි සේවයේ යන ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ව තේරුම් අරගෙන ඒ විදිහට අපේ පණිවිඩය ඉදිරිපත් කරන එකයි.

දිගටම රන් අණ පිළිපදින්න

17. මේ ලිපියේ බලපු විදිහට අපිට රන් අණ පිළිපදින්න පුළුවන් මොන වගේ විදිවලින්ද?

17 අපි මේ ලිපියෙන් බලපු විදිහට දේශනා සේවයේදී අපිට රන් අණ පිළිපදින්න පුළුවන් මොන වගේ විදිවලින්ද? අපි හැමෝවම තනි තනි පුද්ගලයන් විදිහට සලකලා ඒ අයට ගෞරවයෙන් කතා කරන්න ඕනේ. ඒ අයගේ ගෙවල්වලට, දේපළවලට ගරු කරන්න ඕනේ. ඒ අය ගෙවල්වල නිදහසේ ඉන්න වෙලාවල් බලලා සේවයේ යන්න ඕනේ. ඒ අය කතාබහ කරන්න කැමති විදිහ තේරුම් අරගෙන ඒ අයට කතා කරන්න ඕනේ.

18. දේශනා සේවයේදී රන් අණ පිළිපදිනවා නම් අපිට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිඵලද?

18 දේශනා සේවයේදී රන් අණ පිළිපදිනවා නම් අපිට හුඟක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහෙම කරනවා නම් බයිබල් ප්‍රතිපත්තිවල තියෙන වටිනාකම අනිත් අය දකියි. ඒ වගේම අපේ යෙහෝවා දෙවිට ඒකෙන් ප්‍රශංසාවක් ලැබෙයි. (මතෙ. 5:16) අපේ පණිවිඩයට සවන් දීලා සත්‍ය මාර්ගයට එන්න හුඟක් අය පෙලඹෙයි. (1 තිමෝ. 4:16) මිනිසුන් පණිවිඩය පිළිගත්තත් නැතත් අපිට භාර දීලා තියෙන කාර්යය අපි උපරිමයෙන්ම කළා කියලා සතුටු වෙන්නත් අපිට පුළුවන්. (2 තිමෝ. 4:5) ඒ වගේම ‘මා මේ සියල්ල කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්ය. එසේ කිරීමෙන් මේ ශුභාරංචිය සියලුදෙනාටම ප්‍රකාශ කරන්න මට හැකියාව ලැබේ’ කියලා පාවුල් කිව්ව වචන අපිටත් කියන්න පුළුවන් වෙයි. (1 කොරි. 9:23) ඒ නිසා අපි දිගටම දේශනා සේවයේදී රන් අණ අදාළ කරගමු.