Skip to content

පටුනට යන්න

“ඔබ යන මාවත සකසාගන්න”

“ඔබ යන මාවත සකසාගන්න”

ක්‍රි.පූ. 537දී බැබිලෝනියෙන් නිදහස ලබපු දෙවිගේ සෙනඟ තමන්ගේ දේශයට යමින් හිටියා. ඔවුන් යන මාර්ගය ගැන සැලකිලිමත් වුණු යෙහෝවා දෙවි ඔවුන්ට කිව්වා ‘මාර්ගය එළි පෙහෙළි කර එය සකසන්න. එහි ගල්, බොරලු ඉවත් කරගන්න’ කියලා. (යෙසා. 62:10) යුදෙව්වන් පිරිසක් සෙනඟට ඉස්සරහෙන් ගිහින් පාර එළි පෙහෙළි කරලා, වලවල් වහලා සමහර තැන් සමතලා කරන්න ඇති. ඒ නිසා සෙනඟට කරදරයක් නැතුව ගමන යන්න පුළුවන් වුණා.

අපි දැන් ඒ ගමන සමාන කරමු වැඩියෙන් දෙවිට සේවය කරන්න ඉලක්ක තියාගෙන කෙනෙක් යන ගමනට. යෙහෝවා දෙවිට ඕනෙ ඒ ගමනට බධා වෙන දේවල් අයින් කරලා අපි හැමෝම ඒ ගමන යනවා දකින්නයි. “ඔබ යන මාවත සකසාගන්න. ඔබේ සියලු මාර්ග ස්ථිරව පිහිටුවාගන්න” කියලා දෙවි කියලා තියෙන්නේ ඒ නිසයි. (හිතෝ. 4:26) ඔයා තවම ඉස්කෝලෙ යන කෙනෙක්ද? නැත්නම් තරුණ කෙනෙක්ද? ඒ උපදෙස ඔයාට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

හොඳ තීරණ අරන් පාර හදාගන්න

‘එයා නම් පුදුම දක්ෂයෙක්,’ ‘එයාට හොඳ අනාගතයක් තියෙනවා.’ සමහර යෞවනයන් ගැන හුඟක් අය එහෙම කියනවා. සාමාන්‍යයෙන් යෞවන අය නිරෝගියි, දේවල් ඉක්මනින් තේරුම්ගන්නවා, අනාගතය සාර්ථක කරගන්න ලොකු ආශාවක් තියෙනවා. “තරුණයන්ගේ අලංකාරය වන්නේ ඔවුන්ගේ ශක්තියයි” කියලා බයිබලයෙත් කියනවා. (හිතෝ. 20:29) යෞවනයෙක් එයාගේ දක්ෂකම්, හැකියාවන්, ශක්තිය දෙවිට සේවය කරන්න යොදවද්දී එයාට පුළුවන් වෙනවා තව වැඩියෙන් දෙවිට සේවය කරන්න ඉලක්ක තියලා ඒවා ජය ගන්න. ජීවිතේ නියම සතුට, තෘප්තිය ලැබෙන්නේ එතකොටයි.

තරුණ ඔයාලගේ හැකියාවන්, දක්ෂකම්වලට මේ ලෝකෙ ලොකු වටිනාකමක් තියෙනවා. ඔයා ඉස්කෝලෙ වැඩවලට දක්ෂ නම් වැඩිහිටියෙක්, ගුරුවරයෙක්, යාළුවෙක් ඔයාට බල කරයි තව ඉහළට යන්න උසස් අධ්‍යාපනය තෝරගන්න කියලා. ඔයා ක්‍රීඩාවට දක්ෂ නම් ඒ පැත්තෙන් ඉහළට යන්න කියලා ඔයාව දිරිගන්වයි. ඒ වගේ වෙලාවලදී හරි තීරණයක් ගන්න මොනවද උදව් වෙන්නේ?

ජීවිතේ යන්න පුළුවන් හොඳම පාරේ යන්න අපිට උදව් කරන්න බයිබලයේ තියෙන ඉගැන්වීම්වලට පුළුවන්. “යෞවනයෙනි, ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න” කියලා දේශනාකාරයා 12:1 තියෙනවා ඔයාට මතකද? ‘ශ්‍රේෂ්ඨ සැදුම්කරුව සිහි කරන්න’ ඔයාට පුළුවන් කොහොමද?

බටහිර අප්‍රිකානු රටක හිටිය එරික් * පාපන්දු ක්‍රීඩාවට කොයි තරම් දක්ෂද කිව්වොත් අවුරුදු 15දී එයාව ජාතික කණ්ඩායමට තේරුණා. වැඩි කල් යන්න කලින් යුරෝපීය රටක පුහුණුවක් එක්ක ප්‍රසිද්ධ ක්‍රීඩා තරුවක් වෙන්න, ධනවතෙක් වෙන්න එයාට අවස්ථාව තිබුණා. ඒත් ‘ශ්‍රේෂ්ඨ සැදුම්කරුව යොවුන් වියේදීම සිහි කරන්න’ කියන අවවාදය එයාට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?

එරික් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. තමන්ට ජීවිතේ දුන්න සැදුම්කරු මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් ගේනවා කියලා එයා ඉගෙනගත්තා. තමන්ගේ කාලය, ශක්තිය දෙවි වෙනුවෙන් යොදවන එක කොච්චර වටිනවද කියලා එයාට තේරුණා. මොකක්ද එයා ගත්ත තීරණය? ක්‍රීඩාවෙන් ඉහළට යන එක පැත්තකට දාලා එයා බව්තීස්ම වුණා. දෙවි එක්ක තිබුණු බැඳීම තව තවත් ශක්තිමත් කරගන්න එයා හුඟක් දේවල් කළා. කාලයක් යද්දී සහායක සේවකයෙක් විදිහට සේවය කරන්නත් තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැලට සහභාගි වෙන්නත් එයාට අවස්ථාව ලැබුණා.

පාපන්දු ක්‍රීඩාවෙන් ඉස්සරහට ගියා නම් සමහරවිට එරික් අද ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්. ලොකු සල්ලිකාරයෙක්. ඒත් බයිබලයේ ධනය ගැන මෙහෙම කියනවා. “ධනවතාගේ වස්තුව ඔහුට බලවත් නුවරක් මෙනි. ඔහු එය ආරක්ෂක පවුරක් සේ සලකයි.” (හිතෝ. 18:11) එතන කියන විදිහට ධනවතෙක් වස්තුව සලකන්නේ එයාට තියෙන ආරක්ෂිත පවුරක් විදිහටයි. ඒත් ඒක මායාවක් විතරයි. සල්ලි පස්සේ යන අයට ‘තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දකින්න සිද්ධ වෙනවා’ කියන දේ හුඟක් අයට තේරෙන්නේ නැහැ. (1 තිමෝ. 6:9, 10) ඒත් එරික් ඒක තේරුම්ගත්තා.

තව හුඟක් යෞවනයනුත් දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න තීරණයක් අරන් තියෙනවා. ඒ නිසා ඒ අය ලොකු සතුටක් ලබනවා වගේම ඒ අයගේ අනාගතයත් සුරක්ෂිතයි. එරික් කියන දේ බලන්න. “මං එකතු වුණේ පාපන්දු කණ්ඩායම වගේ ටිකදෙනෙක් ඉන්න කණ්ඩායමකට නෙමෙයි. යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවය කරන විශාල කණ්ඩායමකට. ඒක තමයි මට එකතු වෙන්න පුළුවන් හොඳම කණ්ඩායම. ජීවිතේ නියම සතුට, සාර්ථකත්වය තියෙන්නේ කොහෙද කියලා පෙන්නුවට යෙහෝවා දෙවිට මං හැමදාම ස්තුති කරනවා.”

ඔයා ගැන මොනවද කියන්න පුළුවන්? විනාශ වෙන්න තියෙන මේ දුෂ්ට සමාජයේ ඉහළට යන්න උත්සාහ කරනවා වෙනුවට පුරෝගාමි සේවය පටන් අරන් ඔයා යන ‘මාර්ගය ස්ථිරව පිහිටුවාගන්න’ එක හොඳයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?—“ විශ්වවිද්‍යාලයෙන් ලබන්න බැරි වටින දේවල් හුඟක් මට ලැබුණා” යන කොටුව බලන්න.

බාධා වෙන දේවල් පාරෙන් අයින් කරන්න

ඇමරිකාවේ බෙතෙල් නිවස බලන්න ආපු යුවළක් එහෙ වැඩ කරන අය කොයි තරම් සතුටකින් ඉන්නවද කියලා දැකලා මෙහෙම කිව්වා “ඒ වෙනකම් අපි හිතුවේ අපේ ජීවිතේ සැප පහසු එකක් නිසා අපි ඉන්නේ සතුටින් කියලයි. ඒත් දෙවිට වැඩියෙන් සේවය කරලා ඊට වඩා වැඩි සතුටක් ලබන්න පුළුවන් කියලා අපිට තේරුණා.” ඊටපස්සේ ජීවිතේ සරල කරගෙන දෙවිට වැඩියෙන් සේවය කරන්න ඒ දෙන්නා තීරණයක් ගත්තා.

ඒත් ඒගොල්ලන් හිතුවේ වෙනස්කම් කරන එක ලේසි නැහැ කියලයි. දවසක් දිනපදය සාකච්ඡා කරද්දී තිබුණු බයිබල් පදයක් නිසා බය නැතුව ඒ වෙනස්කම් කරන්න ඒ දෙන්නම පෙලඹුණා. ඒ යොහන් 8:31. එතන යේසුස් කියන්නේ “ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා” කියලයි. ඒ යුවළ මෙහෙම කිව්වා. “අපේ ජීවිතේ සරල කරගන්න අපි කරන ඕනම කැප කිරීමක් කවදාවත් අපතේ යන්නේ නෑ.” ඒ දෙන්නා ඒගොල්ලන්ගේ ලොකු ගේ විකුණලා අනවශ්‍ය බරක් වුණු තවත් දේවල් අයින් කරලා ප්‍රචාරකයන් අඩු පැත්තක සේවය කරන්න ගියා. දැන් ඒ දෙන්නා පුරෝගාමීන්. ඒ වගේම නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන වැඩවලටත් සමුළුවල වැඩවලටත් උදව් කරනවා. දැනෙන සතුට ඒගොල්ලෝ වචනවලට පෙරළුවේ මෙහෙමයි. “දෙවිගේ සංවිධානය කියන දේ අහලා ජීවිතේ සරල කරගත්ත නිසා අපි ලබන්නේ පුදුම සතුටක්.”

තෝරගත්ත ගමන් මඟේ ඉදිරියටම යන්න

බයිබලයේ මෙහෙම කියනවා. “ඔබේ දෙනෙත් ඔබේ ගමන් මඟ දෙසම යොමු කර තබන්න. වටපිට නොබලා ඔබේ දීප්තිමත් දෙනෙත්වලින් ඉදිරියම බලා සිටින්න.” (හිතෝ. 4:25) සත්‍ය මාර්ගයේ යන මේ ගමනේදී තව වැඩියෙන් දෙවිට සේවය කරන්න අපි ඉලක්ක තියාගන්න ඕනේ. ඒ ඉලක්ක දිහා බලාගෙන ඒවාට ළං වෙන්න ඕන කරන දේවල් කරමින් ඉදිරියටම යන්න. ඒකට බාධා වෙන්න කිසිම දේකට ඉඩ දෙන්න හොඳ නැහැ.

ඔයාට තියාගන්න පුළුවන් මොන වගේ ඉලක්කද? පූර්ණකාලීන සේවය තියාගන්න පුළුවන් හොඳම ඉලක්කයක්. විශාල බලප්‍රදේශයක් තියෙන, ඒත් ප්‍රචාරකයන් අඩු ළඟපාත සභාවක සේවය කරන එකත් හොඳ ඉලක්කයක්. ප්‍රචාරකයන් හිටියත් සහායක සේවකයන්, වැඩිමහල්ලන් අඩු සභාවක සේවය කරන්න යන එකත් හිතන්න පුළුවන් පැත්තක්. ඔයාට පුළුවන්ද ඒ වගේ දෙයක් ගැන හිතලා බලන්න. චාරිකා සේවක එක්ක ඒ ගැන කතා කරන්න. ඈත පැත්තකට ගිහින් සේවය කරන්න කැමති නම් ඒ වගේ තැන් ගැන විස්තර ඉල්ලන්නත් ඔයාට පුළුවන්. *

අපි ආයෙත් මේ ලිපියේ මුලින් බලපු සිද්ධියට යමු. (යෙසා. 62:10) දෙවිගේ සෙනඟට ඒ අයගේ දේශයට කරදරයක් නැතුව යන්න පුළුවන් වෙන්න පාර එළි පෙහෙළි කරලා, සකස් කරන්න සමහර යුදෙව්වන්ට හුඟක් මහන්සි වෙන්න සිද්ධ වුණා. මේ කාලේ දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න ඔයා තියලා තියෙන ඉලක්ක ජය ගන්න ඔයාටත් හුඟක් මහන්සි වෙන්න වෙයි. ඒත් උත්සාහය අත්හරින්න එපා. ඒ ගමනට බාධා කරන දේවල් අයින් කරගන්න උදව් ඉල්ලලා දෙවිට යාච්ඤා කරන්න. එහෙම කරනවා නම් ‘ඔයා යන මාවත සකසාගන්න’ යෙහෝවා දෙවි ඔයාට කොයි තරම් උදව් කරනවද කියලා ඔයාටම තේරෙයි.හිතෝ. 4:26.

^ 8 ඡේ. නම වෙනස් කර ඇත.

^ 18 ඡේ. 2007 මාර්තු ‘රාජ්‍ය සේවාවේ’ 4-5 පිටු බලන්න.