Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

අහිමි වුණු පිය සෙනෙහස මට ලැබුණා

අහිමි වුණු පිය සෙනෙහස මට ලැබුණා

මගේ තාත්තා ඉපදුණේ 1899 ඔස්ට්‍රියාවේ ග්‍රාස් කියන නගරෙයි. 1939දී පටන්ගත්ත දෙවෙනි ලෝක මහා යුද්ධයේදී එයාට සිද්ධ වුණා ජර්මන් හමුදාවට බැඳිලා යුද්ධ කරන්න. තාත්තා 1943 රුසියාවේ යුද්දෙකදී මිය ගියා. එයා මැරෙනකොට මට අවුරුදු දෙකක් විතර ඇති. තාත්තා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න, තාත්තාගේ ආදරේ ලබන්න මට පුළුවන් වුණේ නැහැ. ඉස්කෝලෙ මාත් එක්ක හිටපු ළමයින්ගේ තාත්තලා ඒ අයට ආදරේ කරන විදිහ දැක්කම තාත්තා නැති අඩුව මට තදින්ම දැනුණා. පිය සෙනෙහස අහිමි වෙලා දුකෙන්, පාළුවෙන් හිටපු මට සැනසීමක් ලැබුණේ කවදාවත් මිය යන්නේ නැති මගේ ආදරණීය දෙවි පියාණන්ව මට හම්බ වුණු නිසයි. (හබ. 1:12) ඒ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්.

බාලදක්ෂයෙක් විදිහට

කුඩා කාලේදී

මට වයස හතක් විතර වෙනකොට බාලදක්ෂ ව්‍යාපාරය ලෝකෙ හුඟක් රටවල ව්‍යාප්ත වෙලා තිබුණා. ඒක 1908දී පටන් අරගෙන තිබුණේ රොබට් බේඩ්න් පවෙල් කියන බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයායි. 1916දී මගේ වයසේ හිටපු පිරිමි ළමයින්ටත් බැඳෙන්න පුළුවන් බාලදක්ෂ ව්‍යාපාරයටම අයිති තවත් කාණ්ඩයක් පටන්ගත්තා. මම බැඳුණේ පෝතක බාලදක්ෂ කියන ඒ කාණ්ඩයටයි.

සති අන්තවල ගම්බද පළාත්වලට ගිහින් කූඩාරම් ගහගෙන රෑ ගත කරලා, නිල ඇඳුම් ඇඳලා, ආචාර පෙළපාළිවල ගමන් කරලා මං ලොකු සතුටක් ලැබුවා. ඉර බැහැගෙන යද්දී ගිනිමැලයක් වටේ ඉඳගෙන යාළුවෝ එක්ක සිංදු කියලා, කැලෑවල සෙල්ලම් කරලා මං හුඟක් සතුටු වුණා. ඒ අතරේ පරිසරය ගැනත් මං ඉගෙනගත්තා. අපේ දෙවි නිර්මාණය කරපු දේවල් ගැන මගේ හිතේ ලොකු අගයක් ඇති වෙන්න පටන්ගත්තෙත් ඔය කාලෙදීම තමයි.

බාලදක්ෂයන්ට උනන්දු කරන්නේ හැම දවසකම අනිත් අයට උදව්වක් වෙන දෙයක් කරන්න කියලයි. ඒක තමයි අපේ ආදර්ශ පාඨය වුණෙත්. අපි එකිනෙකාට ආචාර කළේ “හැම වෙලාවෙම සූදානමින් ඉන්න” කියන වචනවලින්. ඒකට මං හුඟක් කැමතියි. පිරිමි ළමයි සීයකටත් වඩා හිටපු අපේ කණ්ඩායමේ භාගයක්ම කතෝලික. ඉතුරු භාගේ රෙපරමාදු. එක් කෙනෙක් බෞද්ධ.

1920 ඉඳන් බාලදක්ෂ ව්‍යාපාරය අවුරුදු කීපයකට සැරයක් ජාත්‍යන්තර සම්මේලනයක් පවත්වනවා. 1951 අගෝස්තු මාසේ ඔස්ට්‍රියාවේ පවත්වපු 7වෙනි සම්මේලනයටත් 1957 අගෝස්තු මාසේ එංගලන්තයේ පවත්වපු 9වෙනි සම්මේලනයටත් මං සහභාගි වුණා. එංගලන්තයේ පවත්වපු ඒ සම්මේලනයට රටවල් සහ ප්‍රදේශ 85කින් බාලදක්ෂයන් 33,000ක් විතර ඇවිත් හිටියා. ඒක බලන්න ආපු 7,50,000ක විතර සෙනඟ අතරේ එලිසබෙත් රැජිනත් හිටියා. ඒ දවස්වල මට දැනුණේ ලෝකෙ පුරාම ඉන්න එකම සහෝදර කැලක් එක්ක ඉන්නවා වගේ හැඟීමක්. ඒත් ඊට වඩා දහස් ගුණයකින් එකට බැඳුණු පවුලක සාමාජිකයෙක් වෙන්න මට අවස්ථාව ලැබෙනවා කියලා මම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ.

හමු වුණු මුල්ම සාක්ෂිකරුවා

මට මුලින්ම සාක්ෂි දරපු රූඩි චිගල් එක්ක

1958දී ඔස්ට්‍රියාවේ ග්‍රාස්වල තිබුණු විස්ල ග්‍රෑන්ඩ් හෝටලයේ වේටර්වරයෙක් විදිහට මං ලබපු පුහුණුව අවසන් වෙන්න කිට්ටු වෙලයි තිබුණේ. ඒ හෝටලයේ සූපවේදියෙක් විදිහට වැඩ කරපු රූඩෝල්ෆ් චිගල් මුල්ම වතාවට මට සාක්ෂි දැරුවා. ඊට කලින් කවදාවත් මං සත්‍යය ගැන අහලා තිබුණේ නැහැ. අපි ඉස්සෙල්ලාම කතා කළේ ත්‍රිත්වය ගැනයි. ඒ වගේ දෙයක් ගැන බයිබලේ නැහැ කියලා රූඩෝල්ෆ් මට කිව්වා. ඒත් එයා වැරදියි කියලා ඔප්පු කරන්න මං එයාත් එක්ක වාද කළා. එයා මගේ යාළුවා නිසා මට ඕන වුණේ එයාව ආයෙත් කතෝලික සභාවට ගන්නයි.

රූඩෝල්ෆ්ට අපි කතා කළේ රූඩි කියලයි. දවසක් එයා මට බයිබලයක් දුන්නා. මං එයාට කියලා තිබුණා මට බයිබලයක් දෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කතෝලික බයිබලයක් වෙන්න ඕනෙ කියලා. රූඩි දීපු බයිබලේ මං කියවන්න පටන්ගත්තත් ඒක ඇතුලේ දාලා තිබුණු වොච් ටවර් සමිතියෙන් මුද්‍රණය කරපු පත්‍රිකාවට නම් මං කැමති වුණේ නෑ. මොකද මම හිතාගෙන හිටියේ ඒ අය ඒක ලියලා ඇත්තේ කියවන කෙනාට ඒකේ තියෙන තොරතුරු ඇත්ත කියලා පිළිගන්න හිතෙන විදිහට කියලයි. ඒ වුණත් රූඩි එක්ක බයිබලේ ගැන කතා කරන්න නම් මගේ කිසිම අකමැත්තක් තිබුණේ නැහැ. මං හිතපු විදිහ තේරුම්ගත්ත නිසා රූඩි මට සඟරා, පත්‍රිකා දෙන්නේ නැතුව මාත් එක්ක දිගටම බයිබලේ තියෙන තොරතුරු කතා කළා. අපි මාස තුනක් විතර ඒ විදිහට සාකච්ඡා කළා. සමහර දවස්වලට ටිකක් හවස් වෙනකම්ම ඒ කතාබහ ඇදිලා ගියා.

ග්‍රාස්වල හෝටලේ මගේ පුහුණුව ඉවර වුණත් මගේ අම්මාට ඕන වුණා හෝටල් කළමනාකරණය ගැන මං වැඩිදුර ඉගෙනගන්නවට. ඒ නිසා මං බෑඩ් හෝෆ්ගස්ටයින්වල හෝටල් කළමනාකරණය වෙනුවෙන්ම තිබුණු පාසැලකට ගියා. ඒ පාසැල එහේ තිබුණු ග්‍රෑන්ඩ් හෝටලයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු නිසා ඉඳලා හිටලා ඒ හෝටලයට ගිහින් මං ඉගෙනගත්ත දේවල් ප්‍රායෝගිකව අත්හදා බලන්නත් මට අවස්ථාව ලැබුණා.

මිෂනාරි සහෝදරියන් දෙදෙනෙකුගේ පැමිණීම

1958දී මට පාඩම කරපු එල්සි අන්ටඩෝෆර් සහ එල්ෆ්‍රිඩෙ ලෝර්

රූඩි මගේ අලුත් ලිපිනය වියානාවල ශාඛා කාර්යාලයට යවලා තිබුණා. එහෙන් මාව හම්බ වෙන්න එල්සි අන්ටඩෝෆර් සහ එල්ෆ්‍රිඩෙ ලෝර් කියන මිෂනාරි සහෝදරියන් දෙන්නාව මං හිටපු හෝටලේට එවලා තිබුණා. * ඒ දෙන්නා ජර්මනියේ නාට්සි පාලනය කාලේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරලා තියෙද්දී ඔවුන්ගේ ප්‍රකාශන සහෝදරයන් අතරේ බෙදා දෙන්න මහන්සි වෙලා වැඩ කරපු දෙන්නෙක් කියලා මං පස්සේ දැනගත්තා. දෙවෙනි ලෝක යුද්දේ පටන්ගන්නත් කලින් ඒ දෙන්නාව ජර්මන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට අරන් ලිච්ටෙන්බර්ග් ගාල් කඳවුරට යවලා තිබුණා. යුද්දේ කාලෙදී ඒ දෙන්නාව බර්ලින් නුවරට කිට්ටුවෙන් තිබුණු රාවන්ස්බෲක් කඳවුරට මාරු කරලා තිබුණා.

මගේ අම්මාගේ වයසේ හිටපු ඒ දෙන්නාට මං හුඟක් ගරු කළා. ඒ නිසා එයාලාගේ කාලේ නාස්ති කරන්න මං කැමති වුණේ නැහැ. මොකද මං දැනගෙන හිටියා ටික කාලෙකින් මං ඒ සාකච්ඡාව නවත්තනවා කියලා. ඒ නිසා ඒගොල්ලන්ගේ හිත රිදෙන්නේ නැති විදිහට මං කිව්වා අපෝස්තුලුවරුන්ගෙන් පැවතෙන ශුද්ධ සභාව ගැන තියෙන බයිබල් පද ලැයිස්තුවක් මට ගෙනත් දෙන්න කියලා. එතකොට මට පුළුවන් ඒවා ගැන පල්ලියේ ස්වාමිත් එක්ක කතා කරලා සත්‍යය මොකක්ද කියලා තීරණයකට එන්න කියලත් මං කිව්වා.

ශුද්ධ පියාණන් ගැන සත්‍යය දැනගත්තා

අපෝස්තුලුවරුන්ගෙන් පැවතෙන ශුද්ධ සභාව කියන ඉගැන්වීම කතෝලික ආගමේ ප්‍රධාන ඉගැන්වීමක්. ඒකෙන් ඉගැන්නුවේ පාප් පැමිණෙන්නේ නියෝජිත පේතෘස්ගේ පෙළපතින් කියලයි. (ඒ සඳහා ඔවුන් මතෙව් 16:18, 19 යේසුස් කිව්ව දේ යොදාගන්නවා.) පාප්ගේ කිසිම ඉගැන්වීමක් වරදින්න බැහැ කියලා කතෝලිකයන් විශ්වාස කරනවා. මාත් ඒක විශ්වාස කළා. කතෝලිකයන් ශුද්ධ පියා විදිහට සලකපු පාප් උගන්වන කිසිම දෙයක් වරදින්න බැරි නිසා ඔහු සත්‍යයි කියලා උගන්වන ත්‍රිත්වයත් සත්‍යයක් වෙන්න ඕනෙ කියලා මං පිළිගත්තා. ඒත් ඔහුටත් වරදිනවා නම් ඒ ඉගැන්වීමත් වැරදි වෙන්න පුළුවන්. පාප් අපෝස්තුලුවරුන්ගෙන් පැවතෙනවා කියන ඉගැන්වීම හුඟක් කතෝලිකයන්ට වැදගත්ම ඉගැන්වීම වෙලා තියෙන්නේ ඒ නිසයි.

මං පූජකයාව හම්බ වෙන්න ගියාම එයා ළඟ මගේ ප්‍රශ්නවලට උත්තර තිබුණේ නැහැ. ඒත් එයා අපෝස්තුලුවරුන්ගෙන් පැවතෙන ශුද්ධ සභාව ගැන තිබුණු පොතක් මට දුන්නා. මං ඒක කියවලා ආයෙත් පූජකයාව හම්බ වෙන්න ගියා. ඒ පොත කියෙව්වට පස්සේ පූජකයාගෙන් අහන්න තවත් හුඟක් ප්‍රශ්න තිබුණා. ඒවාට උත්තර දෙන්න බැරුව එයා මෙහෙම කිව්වා. “මට බැහැ ඔයා හිතන විදිහ වෙනස් කරන්න. ඔයාට බැහැ මං හිතන විදිහ වෙනස් කරන්න. කොහොමවුණත් ඔයාගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!” තවත් මාත් එක්ක කතා කරන්න එයා කැමති වුණේ නැහැ.

ඒ වෙලාවේ තමයි මං තීරණයක් ගත්තේ එල්සියි එල්ෆ්‍රිඩෙයි එක්ක දිගටම බයිබලේ ගැන ඉගෙනගන්න ඕනෙ කියලා. අපේ ඇත්තම ශුද්ධ පියාණන් වන යෙහෝවා දෙවි ගැන ඒ දෙන්නා මට හුඟක් දේවල් කියලා දුන්නා. (යොහන් 17:11) අපි හිටපු පළාතේ සභාවක් තිබුණේ නැති නිසා තවත් පවුලක් එක්ක එකතු වෙලා ගෙදරක ඒ සහෝදරියෝ දෙන්නා රැස්වීම් පැවැත්තුවා. ඒකට ආවෙත් ටිකදෙනෙක් විතරයි. සහෝදරයෙක් හිටියේ නැති නිසා රැස්වීම්වල හුඟක් කොටස් ඒ සහෝදරියෝ දෙන්නා අතරේ කරන සාකච්ඡාවක් හැටියට ඉදිරිපත් කළා. විටින් විට වෙන පළාතකින් සහෝදරයෙක් ඇවිත් තැනක් කුලියට අරන් බයිබල් දේශනයක් පැවැත්තුවා.

දේශනා සේවයේ ආරම්භය

එල්සියි එල්ෆ්‍රිඩෙයි මාත් එක්ක පාඩම් කරන්න පටන්ගත්තේ 1958 ඔක්තෝබර්වලයි. මාස තුනකට පස්සේ ඒ කියන්නේ 1959 ජනවාරිවල මම බව්තීස්ම වුණා. බව්තීස්ම වෙන්න ඉස්සෙල්ලා දේශනා සේවයේ යන විදිහ ගැන දැනගන්න ආසාවෙන් හිටපු නිසා සේවයේ යන්න මාත් එන්නද කියලා මං ඒ දෙන්නාගෙන් ඇහුවා. (ක්‍රියා 20:20) ඒ දෙන්නා එක්ක සේවයේ ගිහින් ආපු පළවෙනි දවසේම මටත් තනියම සේවය කරන්න ප්‍රදේශයක් දෙනවද කියලා මං ඇහුවා. ඒ අය මට එක ගමක් භාර දුන්නා. ඊටපස්සේ මං තනියම ඒ ගමට ගිහින් ගෙයින් ගෙට සේවයේ ගියා වගේම උනන්දුව දක්වපු අයව ආයෙත් ගිහින් හම්බ වුණා. මම සහෝදරයෙක් එක්ක ඉස්සෙල්ලාම සේවයේ ගියේ අපේ සභාවට ආපු චාරිකා සේවක එක්කයි.

1960දී මං කරකර හිටපු හෝටල් කළමනාකරණ පාඨමාලාව අවසන් කළාට පස්සේ මං ආයෙත් අපේ ගමට ගියා. එහෙදී මගේ නෑදෑයන්ට සත්‍යය ගැන කියලා දෙන්න මං උත්සාහ කළත් අද වෙනකම් ඒ එක් කෙනෙක්වත් සත්‍යයට ආවේ නැහැ. ඒත් දැන් සමහරුන්ට ඒ ගැන පොඩි උනන්දුවක් තියෙනවා.

පූර්ණකාලීන ජීවිතේ ආරම්භය

වයස විසි ගණන්වල

1961දී ශාඛා කාර්යාලය පුරෝගාමි සේවය කරන්න දිරිගන්වලා සභාවන්වලට ලිපියක් එව්වා. ඒ වෙනකොට මම තනිකඩයි. කිසි අසනීපයක් තිබුණෙත් නැහැ. ඒ නිසා පුරෝගාමි සේවය නොකර ඉන්නේ ඇයි කියලා මට හිතුණා. මං ඒ ගැන චාරිකා සේවක කර්ට් කූන් එක්ක කතා කළා. මං එයාට කිව්වා මාස කීපයක් රස්සාවක් කරලා සල්ලි ටිකක් හොයාගෙන කාර් එකක් අරන් ඊටපස්සේ පුරෝගාමි සේවය කරනවා කියලා. දන්නවද එයා ඇහුව දේ? “යේසුස්ටත් එයාගේ ගෝලයන්ටත් පූර්ණකාලීන සේවය කරන්න කාර් එකක් ඕන වුණාද” කියලා එයා ඇහුවා. ඒක මගේ හිතට හුඟක් වැදුණා. මං ඉක්මනටම පුරෝගාමි සේවය පටන්ගන්න හිතාගත්තා. ඒත් ඒ වෙනකොට මම සතියකට පැය 72ක් රෙස්ටුරන්ට් එකක වැඩ කරපු නිසා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරගන්නත් සිද්ධ වුණා.

මම ඉස්සෙල්ලාම මගේ ප්‍රධානියාගෙන් මම වැඩ කරපු පැය ගාණ සතියකට පැය 60කට අඩු කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒකට එයා කැමති වුණා විතරක් නෙමෙයි, කලින් පඩියම දෙන්නත් කැමති වුණා. ටික දවසකට පස්සේ මම එයාගෙන් ඇහුවා සතියකට පැය 48ක් වැඩ කරන්නද කියලා. එයා ඒකටත් කැමති වුණා. පඩි අඩු කළෙත් නැහැ. ඊළඟට සතියකට පැය 36ක් නැත්නම් පැය 6 ගාණේ දවස් 6ක් වැඩ කරන්නද කියලා ඇහුවාමත් එයා කැමති වුණා. පුදුමේ කියන්නේ මගේ පඩිය අඩු කරන්නේ නැතුව කලින් ගාණම එයා මට දුන්නා. මම රස්සාවෙන් අස් වෙනවට එයා කැමති නැහැ කියලා මට තේරුණා. ඒ විදිහට රස්සාවේ වෙනස්කම් කරගත්ත නිසා මට ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගන්න පුළුවන් වුණා. ඒ කාලේ ස්ථාවර පුරෝගාමියෙක් මාසෙකට පැය 100ක් වාර්තා කරනවා.

මාස හතරකට පස්සේ කාර්ටන් කියන පළාතේ තිබුණු පුංචි සභාවක විශේෂ පුරෝගාමියෙක් විදිහටත් ඒ සභාවේ සේවක විදිහටත් පැවරුමක් ලැබුණා. ඒ කාලේ විශේෂ පුරෝගාමීන් පැය 150ක් වාර්තා කරනවා. මට පුරෝගාමි සේවය කරන්න සහායකයෙක් හිටියේ නැති වුණත් ගර්ට්රූඩ් ලෝබ්නර් කියන සහෝදරියගෙන් ලොකු සහායක් ලැබුණා. සභාවේ සේවකගේ සහායක විදිහට වැඩ කළෙත් එයා. *

පැවරුම්වල වෙනස්කම්

1963දී මට චාරිකා සේවයේ යන්න පැවරුමක් ලැබුණා. සමහර වෙලාවලට මගේ සූට්කේස් ටිකත් අරගෙන සභාවෙන් සභාවට ගියේ දුම්රියෙන්. ඒ කාලේ සහෝදරයෝ හුඟදෙනෙක්ට කාර් තිබුණේ නැහැ. ඒ නිසා මාව ගන්න දුම්රියපොළට එන්න සහෝදරයන්ට අමාරු වුණා. කුලී රථයක ගිහින් බහින එක ලොකුකම පෙන්නනවා වගේ දෙයක් නිසා මම ඒකටත් කැමති වුණේ නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට මම ඇවිදගෙනම ඒ තැන්වලට ගියා.

1965 වෙද්දීත් මම තනිකඩයෙක්. ඒ අවුරුද්දේ 41වෙනි ගිලියද් පාසැලට සහභාගි වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. ඒ පාසැලේ හිටපු හුඟක් අය තනිකඩයන්. පාසැලෙන් පස්සේ මට පැවරුම ලැබුණේ ඔස්ට්‍රියාවටමයි. ඒක අහලා මට පුදුමත් හිතුණා. ඒත් ඇමරිකාවෙන් යන්න කලින් ඇන්තනි කොන්ටි කියන චාරිකා සේවක එක්ක සති හතරක් වැඩ කරන්න කියලා මට කිව්වා. එයා හරිම ප්‍රේමණීය, දේශනා සේවයට කැමති, සේවයට දක්ෂ කෙනෙක් නිසා එයාගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න මට පුළුවන් වුණා.

අපි අතිනත ගත් දා

ආයෙත් ඔස්ට්‍රියාවට ආවට පස්සේ චාරිකා සේවයේ යන්න මට පැවරුම ලැබුණා. ඒ සේවයේ යනකොට තමයි මට ටෝව මෙරෙටෙ කියන සහෝදරියව හම්බ වුණේ. එයාගේ දෙමව්පියන්ට සත්‍යය ලැබිලා තියෙන්නේ එයාට අවුරුදු පහේදී විතර. අපි හම්බ වෙලා අවුරුද්දකට පස්සේ 1967දී අපි දෙන්නා විවාහ වුණා. අපි දෙන්නා හම්බ වුණේ කොහොමද කියලා අනිත් අය අහද්දී අපි අදටත් විහිළුවට වගේ කියන්නේ “ශාඛා කාර්යාලය තමයි අපි දෙන්නාව එකතු කළේ” කියලා. විවාහෙන් පස්සෙත් අපි දිගටම චාරිකා සේවයේ යෙදුණා.

යෙහෝවා දෙවිගේ මහත් කරුණාව නිසා ඔහු මාව ඔහුගේ අභිෂේක ලත් පුත්‍රයෙක් විදිහට පිළි අරන් කියලා ඊළඟ අවුරුද්දේදී මට තේරුණා. ඒ නිසා දෙවි පියාණන් එක්කත් රෝම 8:15 කියන විදිහට “අබ්බා, පියාණෙනි” කියලා දෙවිව අමතන අභිෂේක ලත් අනිත් අය එක්කත් විශේෂ බැඳීමක් ඇති කරගන්න මට අවස්ථාව ලැබුණා.

1976 වෙනකම්ම මම මෙරෙටෙ එක්ක චාරිකා හා දිස්ත්‍රික් සේවයේ හවුල් වුණා. සමහර සීතල දවස්වල ඒ කියන්නේ සෙල්සියස් අංශක ඍණ ගණන්වල තිබුණු දවස්වල අපිට රැය ගත කරන්න වුණේ විදුලි හීටරවලින් උණුසුම් කරපු නැති කාමරවල. කොච්චර සීතලද කියනවා නම් එක දවසක් අපි නිදාගෙන ඇහැරිලා බලද්දී අපි පොරවගෙන හිටපු බ්ලැන්කට් එකේ උඩ කොටසේ අයිස් මිදිලා තිබුණා. ඒ නිසා අපි තීරණය කළා අපි යන තැන්වලට පොඩි විදුලි හීටරයකුත් අරගෙන යන්න. සමහර තැන්වල නාන කාමර තිබුණේ ගෙදරට ටිකක් ඈතින්. එතනට යන්න වුණේ හිම ගොඩේ ඇවිදගෙනයි. ඒ වගේම ඒ නාන කාමරවල දොරවල් තදට වැහෙන්නේ නැති නිසා ඒවා ඇතුලත් හරිම සීතලයි. ඒ කාලේ අපිටම කියලා නවතින්න තැනක් තිබුණේ නැති නිසා සඳුදා දවසෙත් කලින් සතියේ නවාතැන් ගත්ත තැනම ඉඳලා අඟහරුවාදා උදෙන්ම ඊළඟ සභාවට ගියා.

පහුගිය අවුරුදු ගණනාව පුරාම මගේ බිරිඳ මට ලොකු හයියක් වුණා. දේශනා සේවයේ යන්න එයා හුඟක් කැමති නිසා ඒකට එයාව දිරිගන්වන්න නම් මට කවදාවත්ම සිද්ධ වුණේ නැහැ. එයා සහෝදර සහෝදරියන්ටත් හුඟක් ආදරෙයි. අනිත් අය ගැන සැලකිලිමත්. ඒ දේවල් මගේ සේවය දිගටම කරගෙන යන්න මට ලොකු උදව්වක් වුණා.

වියානාවල තියෙන ඔස්ට්‍රියා ශාඛා කාර්යාලයේ සේවය කරන්න අපිට ආරාධනාවක් ලැබුණේ 1976දියි. මගේ පැවරුම වුණේ ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට සේවය කරන්නයි. ඒ කාලේ නැඟෙනහිර යුරෝපයේ තිබුණු සමහර රටවල දේශනා වැඩකටයුතු අධීක්ෂණය කළෙත් ඒ රටවලට පොත් පත් බෙදාහැරියෙත් ඔස්ට්‍රියා ශාඛා කාර්යාලයයි. ඒ දේවල්වල මුල් තැන අරගෙන වැඩ කළේ සහෝදර යර්ගන් රන්ඩල්. කාලයක් එයාත් එක්ක වැඩ කළාට පස්සේ නැඟෙනහිර යුරෝපීය භාෂා 10ක පරිවර්තන වැඩ අධීක්ෂණය කරන්න භාර වුණේ මට. යර්ගන් එයාගේ බිරිඳ වුණු ගර්ට්රූඩ් එක්ක දිගටම ජර්මනියේ විශේෂ පුරෝගාමීන් විදිහට සේවය කරනවා. 1978 ඉඳන් ඔස්ට්‍රියා ශාඛා කාර්යාලයේ ෆොටෝ ටයිප්සෙටින් කියන ක්‍රමය යොදාගෙන සඟරා භාෂා 6කින් මුද්‍රණය කළා. ඒ වගේම විවිධ රටවලින් සඟරා ඉල්ලලා එවපු අයට ඒවා තැපෑලෙන් යැව්වා. ඒ දේවල්වල මුල් තැන අරගෙන වැඩ කළේ ඕටෝ කූග්ලිච් කියන සහෝදරයයි. එයා අදත් එයාගේ බිරිඳ ඉන්ග්‍රීට් එක්ක ජර්මනියේ තියෙන ශාඛා කාර්යාලයේ සේවය කරනවා.

ඔස්ට්‍රියාවේදී වීදි සේවයේ යෙදෙමින්

නැඟෙනහිර යුරෝපයේ රටවල හිටපු සහෝදරයොත් පුංචි මුද්‍රණාල හදාගෙන සඟරා මුද්‍රණය කරගත්තා. ඒ දේවල් කරන්න ඒ අයට වෙන රටවලිනුත් සහයෝගය ලැබුණා. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවිගේ ආරක්ෂාවත් උදව්වත් ලැබුණ නිසයි. තහනම මැද ඒ තරම් අමාරුවෙන් වැඩ කරපු සහෝදරයන් ගැන අපේ හිතේ තිබුණේ පුදුම ආදරයක්.

රුමේනියාවට ගිය ගමන

පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර තියඩෝර් ජැරස් එක්ක 1989දී රුමේනියාවට යන්න මටත් අවස්ථාව ලැබුණා. 1949දී විතර විවිධ හේතු නිසා එහෙ හිටපු හුඟක් සහෝදරයන් සංවිධානයෙන් ඈත් වෙලා වෙන වෙන කණ්ඩායම් විදිහට රැස් වෙන්න පටන් අරන් තිබුණා. ඒත් ඒ අය සංවිධානයත් එක්ක හිටපු සහෝදරයෝ වගේ දිගටම දේශනා සේවයේ ගියා. මිනිසුන්ට බව්තීස්ම වෙන්න උදව් කළා. යුද්ධයේදී පැති ගන්නේ නැතුව හිරගෙවල්වලටත් ගියා. අපේ ගමනේ අරමුණ වුණේ ඒ අයව ආයෙත් දෙවිගේ සංවිධානයට කිට්ටු කරන එකයි. ඒ වෙනකොට රුමේනියාවේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරලයි තිබුණේ. ඒ නිසා සහෝදර පාම්ෆිල් ආල්බුගේ ගෙදර අපි රැස් වුණේ රහසිගතවයි. ඒ රැස්වීමේදී සංවිධානයෙන් ටිකක් ඈත් වෙලා වැඩ කරපු සහෝදරයන් අතර මුල් තැන අරගෙන වැඩ කරපු වැඩිමහල්ලෝ හතරදෙනෙකුයි රුමේනියානු ශාඛා කාර්යාලය නියෝජනය කරපු සහෝදරයෝයි එක්ක අපි සාකච්ඡා කළා.

සාකච්ඡාව පවත්වපු දෙවෙනි දවසේ සහෝදර ආල්බු වැඩිමහල්ලන් හතරදෙනාට සංවිධානයත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කළා. ඔහු කිව්වේ “දැන් අපි ඒක කළේ නැත්නම් ආයෙත් අපිට ඒක කරන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ” කියලයි. ඒ සාකච්ඡාව සාර්ථක වුණු නිසා සහෝදර සහෝදරියන් 5,000කට වැඩිදෙනෙක් ආයෙත් සංවිධානයට එකතු වුණා. ඒක යෙහෝවා දෙවි ලබපු ජයග්‍රහණයක්. සාතන්ට ඒක අන්ත පරාජයක් වුණා!

1989දී නිව් යෝර්ක්වල තිබුණු ලෝක මූලස්ථානයේ සේවය කරන්න ආරාධනාවක් ලැබුණම අපි දෙන්නා පුදුම වුණා. 1990 ජූලි මාසේ ඉඳන් අපි බෘක්ලින් බෙතෙල් නිවසේ සේවය කරනවා. 1992 ඉඳන් සේවා කමිටුවට උපකාර කරන්නෙක් විදිහටත් 1994 ජූලි මාසේ ඉඳන් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහටත් සේවය කරන්න මට ලැබිලා තියෙන වරප්‍රසාදය ගැන මම හුඟක් සතුටු වෙනවා.

අතීතය සිහි කරමින් අනාගතය දෙස බැලීම

මගේ බිරිඳ එක්ක බෘක්ලින්වලදී

අතීතයේදී මම වේටර් කෙනෙක් විදිහට හෝටලයට ආපු අයට කෑම පිළිගැන්නුවා. දැන් ලෝකෙ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ට අවශ්‍ය පෝෂණය දෙන කාර්යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. (මතෙ. 24:45-47) අවුරුදු 50කටත් වඩා වැඩි මගේ පූර්ණකාලීන ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දී අපේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයට දෙවි ආශීර්වාද කරලා තියෙන විදිහ ගැන ලොකු අගයක්, ලොකු සතුටක් මගේ හිතේ ඇති වෙනවා. අපේ දෙවි පියාණන් ගැනත් බයිබලේ සඳහන් සත්‍යයන් ගැනත් උගන්වන ජාත්‍යන්තර සමුළුවලට යන්න මට තියෙන්නේ පුදුම ආසාවක්.

මගේ බලාපොරොත්තුව තවත් මිලියන ගාණක්දෙනා බයිබලය ගැන ඉගෙනගෙන සත්‍යයට එයි කියලයි. ලෝකෙ පුරාම ඉන්න අපේ සහෝදරයන් එක්ක එකතු වෙලා ඒ අයත් යෙහෝවා දෙවිට සේවය කරයි කියලයි. ඒ ගැන මම හැමදාම යාච්ඤා කරනවා. (1 පේතෘ. 2:17) ඉදිරියේදී ස්වර්ගයේ ඉඳන් මේ පොළොවේ සිද්ධ වෙන නැවත නැඟිටීම බලන්න මම ඉන්නේ ලොකු ආසාවකින්. එදාට මට මගේ තාත්තාවත් දකින්න පුළුවන් වෙයි. මගේ තාත්තාත් අම්මාත් මගේ අනිත් නෑදෑයොත් පාරාදීසයේදී යෙහෝවා දෙවිට නමස්කාර කරයි කියන බලාපොරොත්තුව මට තියෙනවා.

ඉදිරියේදී ස්වර්ගයේ ඉඳන් මේ පොළොවේ සිද්ධ වෙන නැවත නැඟිටීම බලන්න මම ඉන්නේ ලොකු ආසාවකින්. එදාට මට මගේ තාත්තාවත් දකින්න පුළුවන් වෙයි

^ 15 ඡේ. ඒ සහෝදරියන් දෙන්නාගේ ජීවිත කතාව 1979 නොවැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණා. (සිංහලෙන් නැහැ.)

^ 27 ඡේ. සභාවේ සේවක සහ සභාවේ සේවකගේ සහායක කියන යෙදුම් වෙනුවට දැන් භාවිත කරන්නේ සම්බන්ධීකාරක සහ ලේකම් කියන යෙදුම්.