Skip to content

පටුනට යන්න

කාන්තාවන් දෙවිගේ අරමුණට දායක වෙන අයුරු

කාන්තාවන් දෙවිගේ අරමුණට දායක වෙන අයුරු

“ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති.”ගීතා. 68:11.

1, 2. (අ) යෙහෝවා දෙවි ආදම්ට දුන්නේ මොන වගේ තෑගිද? (ආ) දෙවි ආදම්ට සහකාරියක්ව දුන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

යෙහෝවා දෙවි මේ පොළොව නිර්මාණය කළේ “මිනිසුන්ගේ වාසය සඳහායි.” (යෙසා. 45:18) පළමු මිනිසා වුණු ආදම්ව කිසිම අඩුවක් නැතුව නිර්මාණය කරපු දෙවි, ඔහුව ගස් වැල්වලින්, සතුන්ගෙන් පිරුණු ඒදන් කියන ලස්සන උයනේ පදිංචි කළා. ආදම්ට හැම දේම තිබුණත් එක දෙයක් අඩුයි කියලා දැකලා දෙවි මෙහෙම කිව්වා. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.” ඊටපස්සේ දෙවි ආදම්ව තද නින්දකට වැටෙන්න සලස්වලා ඔහුගෙන් ඉළ ඇටයක් අරගෙන ස්ත්‍රියක්ව හැදුවා. ඇහැරිලා බලද්දී ආදම් දැක්කේ ඔහු වෙනුවෙන්ම දෙවි නිර්මාණය කරපු ඔහුගේ රූමත් බිරිඳවයි. හිතේ සතුට ඔහු වචනවලට පෙරළුවේ මෙහෙමයි. “මේ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය. ඇයට ස්ත්‍රියයයි කියනු ලබන්නේය. මන්ද ඇය මිනිසාගෙන් ගනු ලැබීය.”උත්. 2:18-23.

2 ඒව, දෙවි ආදම්ට දුන්න තෑග්ගක්. ඇය ඔහුට හරියටම ගැළපෙන සහකාරියක්. දරුවන් බිහි කරන වරප්‍රසාදයත් දෙවි ඇයට දුන්නා. බයිබලේ කියන්නේ “ආදම් තම බිරිඳට ඒව යන නම දුන්නේය. ඇය මතු ජීවත් වන සියලුදෙනාගේම මවය” කියලයි. (උත්. 3:20) මේලෝකෙ තියෙන හැම දෙයක්ම බලා කියා ගන්නත් ඒක ලස්සන පාරාදීසයක් කරන්නත් ඒක පරිපූර්ණ මිනිසුන්ගෙන් පුරවන්නත් අපේ මුල්  දෙමාපියන්ට තිබුණේ මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද!උත්. 1:27, 28.

3. (අ) යෙහෝවා දෙවිගේ ආශීර්වාද දිගටම ලබන්න නම් ආදම් සහ ඒවගෙන් බලාපොරොත්තු වුණේ මොකක්ද? ඒත් සිද්ධ වුණේ මොකක්ද? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 කොහොමවුණත් දෙවි අරමුණු කරපු ඒ ආශීර්වාද ලබන්න නම් ඔවුන් දෙවිට කීකරු වෙලා තමන්ගේ පාලකයා විදිහට දෙවිව පිළිගන්න එක අත්‍යවශ්‍ය වුණා. (උත්. 2:15-17) ඒත් ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණා. සාතන් කියපු දේ අහලා දෙවිට විරුද්ධව පව් කළා. (උත්. 3:1-6; එළි. 12:9) එදා ඔවුන්ගේ අකීකරුකම කාන්තාවන්ට බලපෑවේ කොහොමද? අතීතයේ දෙවිට විශ්වාසවන්තව හිටපු සමහර කාන්තාවන් ඉටු කළේ මොන වගේ සේවයක්ද? අද ඉන්න ක්‍රිස්තියානි කාන්තාවන්ව “විශාල හමුදාවක්” කියලා හඳුන්වන්නේ ඇයි?ගීතා. 68:11.

අකීකරුකමේ ප්‍රතිඵල

4. ආදම් සහ ඒව කරපු වරදට මූලිකවම වග කියන්න ඕනෙ කවුද?

4 අකීකරු වුණේ ඇයි කියලා ඇහුවම ආදම් දෙවිට දුන්න උත්තරේ මතකද? ඔහු කිව්වේ “ඔබ මට දුන් ස්ත්‍රිය ගහෙන් ගෙඩියක් කඩා මට දුන්නා. එබැවින් මමත් එය කෑවා” කියලයි. (උත්. 3:12) තමන් කරපු වරද ගැන ආදම්ට කිසි දුකක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔහු කළේ වරද ඒව පිට දාපු එකයි. ඒවව දුන්නේ දෙවි නිසා දෙවිත් ඒ වරදට වග කියන්න ඕනෙ කියලා ඔහු ඇඟෙව්වා. වරද කළේ ආදම් සහ ඒව කියන දෙන්නමයි. ඒ වුණත් ඒ වරදට මූලිකවම වග කියන්න ඕනෙ ආදම් හැටියටයි දෙවි සැලකුවේ. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි” කියලා බයිබලේ කියන්නේ ඒ නිසයි.රෝම 5:12.

5. මිනිසුන් මිනිසුන්වම පාලනය කරන එකෙන් ඇති වෙලා තියෙන ප්‍රතිඵල මොනවද?

5 එදා සාතන් ආදම් සහ ඒවට කිව්වේ යෙහෝවා දෙවිගේ පාලනය ඔවුන්ට අවශ්‍ය නැහැ කියලයි. ඔවුන්ටම ඔවුන්ව පාලනය කරගන්න පුළුවන් කියලයි. ඒ නිසා මිනිසුන්ව පාලනය කරන්න අයිතිය තියෙන්නේ කාටද කියන වැදගත් ප්‍රශ්නය මතු වුණා. ඒ ප්‍රශ්නෙට උත්තර දැනගන්න දෙවි මිනිසුන්ට තමන්වම පාලනය කරගන්න යම් කාලයකට ඉඩහැරියා. ගත වුණු ඒ කාලය පුරාම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? මිනිසුන්ට එක පිට එක විපත්තිවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. පහුගිය අවුරුදු සීයේදී කෝටි 10ක විතර පිරිසක් යුද්ධ නිසා මිය ගියා. “තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක් නැත” කියලා බයිබලේ තියෙන වචන කොයි තරම් ඇත්තද! (යෙරෙ. 10:23) ඒ නිසයි සැබෑ ක්‍රිස්තියානීන් ඔවුන්ගේ පාලකයා විදිහට යෙහෝවා දෙවිව පිළිගන්නේ.හිතෝපදේශ 3:5, 6 කියවන්න.

6. හුඟක් රටවල කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට සලකන්නේ කොහොමද?

6 සාතන්ගේ පාලනය නිසා ගැහැනු, පිරිමි හැමෝම දුක් විඳිනවා. (දේශ. 8:9; 1 යොහ. 5:19) ඒත් හුඟක් බිහිසුණු අපරාධවලට ගොදුරු වෙලා තියෙන්නේ කාන්තාවනුයි. උදාහරණයකට ලෝකෙ පුරාම ඉන්න හැම කාන්තාවන් තුන්දෙනෙක්ගෙන්ම එක් කෙනෙක් තමන්ගේ සැමියාගෙන් නැත්නම් පෙම්වතාගෙන් ලිංගික අතවරයට, පහර කෑම්වලට ලක් වෙනවා. සමහර රටවල පිරිමින්ව උසස් කරලා සලකනවා. ඒකට හේතු විදිහට ඔවුන් මේ වගේ දේවල් කියනවා. ‘පිරිමි තමයි කවදා හරි එයාලගේ දෙමාපියන්ව බලාගන්නේ,’ ‘පවුලේ නම ගෙනියන්න ඉන්නේ එයාලයි.’ ඉපදෙන්න ඉන්නේ ගෑනු ළමයෙක් කියලා දැනගත්තම ගබ්සා කරන්න තරම් කාන්තාවන්ව පහත් කරලා සලකන රටවලුත් තියෙනවා.

7. ආදම් සහ ඒවට දෙවි දුන්නේ මොන වගේ ආරම්භයක්ද?

7 කාන්තාවන්ට දරණු විදිහට සලකනවට යෙහෝවා දෙවි කොහොමටවත් කැමති නැහැ. ඔහු කාන්තාවන්ට සලකන්නේ ගෞරවයෙන්. ඔහු ඒවව නිර්මාණය කළේ ආදම්ට දාසකම් කරන්න නෙමෙයි. දෙවි ඒවව නිර්මාණය කළේ පරිපූර්ණ කෙනෙක් හැටියටයි. ආදම්ට ගැළපෙන සහකාරියක් වෙන්න ඕනෙ කරන ගතිලක්ෂණ ඒවට තිබුණා. ඒ නිසයි බයිබලේ කියන්නේ ‘තමා සෑදූ සියල්ල ඉතා හොඳින් සාදා තිබුණු බව දෙවි දුටුවේය’ කියලා. (උත්.  1:31) දෙවි ආදම් සහ ඒව කියන දෙන්නටම දුන්නේ කදිම ආරම්භයක්.

දෙවිගේ උපකාරය ලැබුණු කාන්තාවන්

8. (අ) මිනිසුන් වැඩිදෙනෙක් හැසිරෙන්නේ කොහොමද? (ආ) ඉතිහාසය පුරාම දෙවි ආශීර්වාද කරලා තියෙන්නේ කොයි වගේ අයටද?

8 ඒදන් උයනේ කැරැල්ලෙන් පස්සෙත් මිනිසුන් දිගටම දෙවිට අකීකරු වුණා. පහුගිය සියවසේදී මිනිසුන්ගේ දුෂ්ටකම් තවත් දරුණු වෙලා. අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක” කියන එක නම් හොඳටම පැහැදිලියි. (2 තිමෝ. 3:1-5) කුරිරු මිනිසුන්ගෙන් පොළොව පිරිලා ගියත් මිනිස් ඉතිහාසය පුරාම දෙවිට කීකරු වුණු, දෙවිව තමන්ගේ පාලකයා විදිහට පිළිගත්ත ගැහැනු, පිරිමි දෙපිරිසම හිටියා. දෙවිව විශ්වාස කරලා වැඩ කරපු ඔවුන්ට දෙවිත් ආශීර්වාද කළා.ගීතාවලිය 71:5 කියවන්න.

9. ජලගැල්මෙන් බේරුණේ කීදෙනෙක්ද? ඒ ඇයි?

9 නෝවා ජීවත් වුණු කාලේ හිටපු කුරිරු මිනිසුන්ව දෙවි ජලගැල්මකින් විනාශ කළත් යහපත් මිනිසුන් කීපදෙනෙක් බේරුණා. ඒ නෝවාත් ඔහුගේ බිරිඳත් ඔහුගේ පුතුන් තුන්දෙනත් ඔවුන්ගේ බිරින්දෑවරුන් තුන්දෙනත් විතරයි. ඒ කාලෙදී නෝවාගේ සහෝදර සහෝදරියන් ජීවත්ව හිටියා නම් ඔවුනුත් ජලගැල්මෙන් විනාශ වුණා. (උත්. 5:30) කොහොමවුණත් බේරුණු පුරුෂයන් ගාණයි කාන්තාවන් ගාණයි එක සමානයි කියලා ඔබ දැක්කද? ඔවුන් බේරුණේ ඔවුන් එක් එක් කෙනා දෙවිට කීකරු වෙලා දෙවි කියපු විදිහට ජීවත් වුණු නිසයි. අද ඉන්න හැම කෙනෙක්ම පැවතෙන්නේ දෙවි උදව් කරපු, දෙවි ආරක්ෂා කරපු ඒ අටදෙනාගෙනුයි.උත්. 7:7; 1 පේතෘ. 3:20.

10. විශ්වාසවන්ත පුරුෂයන්ගේ භාර්යාවන්ට දෙවි උදව් කළෙත් ඔවුන්ව ආරක්ෂා කළෙත් ඇයි?

10 ඊට අවුරුදු ගාණකට පස්සේ ජීවත් වුණු විශ්වාසවන්ත පුරුෂයන්ගේ භාර්යාවන්ටත් දෙවිගේ උදව් සහ ආරක්ෂාව ලැබුණා. ඔවුන් ගත කරමින් හිටපු ජීවිතේට වඩා හොඳ ජීවිතයක් ඕනෙ කියලා ඔවුන් කන්කෙඳිරි ගෑවේ නැහැ. ඒ නිසා දෙවි ඔවුන්ට ආශීර්වාද කළා. (යූද් 16) සාරා ගැන හිතන්න. ඌර් නගරේ ගත කරපු සුඛෝපභෝගී ජීවිතය අත්හැරලා කූඩාරම්වල ජීවත් වෙන්න කිව්වම කන්කෙඳිරි ගානවා වෙනුවට “සාරා ආබ්‍රහම්ට, ‘ස්වාමීනි’ කියා පවසමින් ඔහුට කීකරු වුණා.” (1 පේතෘ. 3:6) රෙබෙකාත් ඒ වගේ කෙනෙක්. ඇය ඊසාක්ට දෙවිගෙන් ලැබණු වටිනා තෑග්ගක්. බයිබලේ කියන්නේ “ඔහු ඇය සමඟ ආදරයෙන් බැඳුණේය. ඉන්පසු තම මව නැති දුක දරාගැනීමට ඊසාක්ට හැකි විය” කියලයි. (උත්. 24:67) අදත් යෙහෝවා දෙවිගේ සෙනඟ අතරේ සාරා, රෙබෙකා වගේ විශ්වාසවන්ත කාන්තාවන් ඉන්නවා. ඒ ගැන අපි කොච්චර සතුටු වෙන්න ඕනෙද!

11. ඊශ්‍රායෙල් වින්නඹුවන් දෙන්නා නිර්භීතව වැඩ කළේ කොහොමද?

11 කුඩා පිරිසක් විදිහට ඊජිප්තුවට ගිය ඊශ්‍රායෙල්වරුන්ට ඒ රටේදී වහලුන් වෙන්න සිද්ධ වුණත් එහිදී ඔවුන් විශාල ජාතියක් වුණා. ඒකට බය වුණු පාරාවෝ නියෝග කළේ ඉපදෙන හැම පිරිමි ළමයෙක්වම මරලා දාන්න කියලයි. ඒත් ෂිප්රා සහ පුවා කියන වින්නඹුවන් දෙන්නා පාරාවෝට බය වුණේ නැහැ. ඒ වෙනුවට පිරිමි දරුවන්ව ආරක්ෂා කරලා තමන් ගරුබිය දක්වන්නේ යෙහෝවා දෙවිට කියලා පෙන්නුවා. ඒ නිසා යෙහෝවා දෙවි ඒ දෙන්නට හුඟක් ආශීර්වාද කළා.නික්. 1:15-21.

12. දෙබොරා සහ යායෙල් දෙවි වෙනුවෙන් කළේ මොන වගේ සේවයක්ද?

12 විනිශ්චයකරුවන් හිටපු කාලේ යෙහෝවා දෙවි දෙබොරා කියන කාන්තාවව අනාගතවක්තෘවරියක් විදිහට පත් කළා. ඒ කාළේ විනිශ්චයකරු විදිහට හිටිය බාරාක්ව එයා දිරිගැන්නුවා. සතුරන්ව පරාජය කරන්න එයා ඊශ්‍රායෙල්වරුන්ට ශක්තියක් වුණා. යුද්ධයේදී ලබන ජයග්‍රහනයේ කීර්තිය හිමි වෙන්නේ කාන්තාවකටයි කියලත් එයා කිව්වා. එයා කියපු විදිහටම කානානිවරුන්ගේ හමුදාවේ නායකයා වුණු සිසෙරාව මරලා දැම්මේ යායෙල් කියන ඊශ්‍රායෙල් නොවන කාන්තාවයි.විනි. 4:4-9, 17-22.

13. අබිගායිල් ගැන බයිබලේ සඳහන් වෙන්නේ මොනවද?

13 ක්‍රි.පූ. 1100දී විතර හිටපු අබිගායිල් කියන විශ්වාසවන්ත කාන්තාව ඔබට මතකද? එයා හුඟක් බුද්ධිමත් කෙනෙක්. ඒත් එයාගේ  සැමියා නාබල්, හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරපු, නපුරු, කිසි කමකට නැති කෙනෙක්. (1 සාමු. 25:2, 3, 25) දාවිත් සහ ඔහු එක්ක හිටපු පිරිස තමයි නාබල්ගේ මිනිසුන්වයි සතුන්වයි ආරක්ෂා කළේ. දවසක් දාවිත් ඔහුගේ පිරිසට ඕනෙ කරන ආහාර ඉල්ලලා කීපදෙනෙක්ව නාබල් ළඟට යැව්වා. ඒත් නාබල් ‘ඔවුන්ට බැණවැදුණා.’ වෙච්ච දේ අහලා දාවිත්ට හොඳටම කේන්ති ගියා. ඔහුට ඕන වුණේ නාබල්වත් ඔහුගේ ගෙදර හිටපු අයවත් මරලා දාන්න. ඒ දේ දැනගත්ත අබිගායිල් කෑමත් තෑගිත් අරගෙන දාවිත්ව හම්බ වෙන්න ගියා. ඇය නුවණැතිව වැඩ කරපු නිසා දාවිත් නාබල්ව මැරුවේ නැහැ. (1 සාමු. 25:8-18) දාවිත් ඇයට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! අද ඔබව මා වෙතට එව්වේ ඔහුයි.” (1 සාමු. 25:32) නාබල් මැරුණට පස්සේ දාවිත් අබිගායිල්ව විවාහ කරගත්තා.1 සාමු. 25:37-42.

14. ෂල්ලුම්ගේ දූවරු හවුල් වුණේ මොන කාර්යයටද? අද ඉන්න සහෝදරියන් ඔවුන්ව ආදර්ශයට ගන්නේ කොහොමද?

14 ක්‍රි.පූ. 607දී බැබිලෝනිවරුන් යෙරුසලමත් එහි තිබුණු දේවමාලිගාවත් විනාශ කරපු වෙලාවේ හුඟක් ගැහැනු, පිරිමි සහ ළමුන් මිය ගියා. ඒත් ක්‍රි.පූ. 455දී නෙහෙමියාගේ නායකත්වය යටතේ යෙරුසලමේ තාප්ප ආයෙත් ගොඩනඟන්න පුළුවන් වුණා. ඒ සඳහා මහන්සි වෙලා වැඩ කරපු අය අතරේ ෂල්ලුම්ගේ දූවරුත් හිටියා. ෂල්ලුම් කියන්නේ ‘යෙරුසලම් දිස්ත්‍රික්කයේ කොටසකට අධිපති ලෙස කටයුතු කළ’ කෙනෙක්. (නෙහෙ. 3:12) ඒ වුණත් නිහතමානීව අනිත් අයත් එක්ක එකතු වෙලා, මහන්සි වෙලා වැඩ කරන්න ඔහුගේ දූවරු කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඔවුන් වගේ අද ඉන්න හුඟක් සහෝදරියනුත් ලෝකෙ පුරා සිද්ධ වෙන ඉදි කිරීම් ව්‍යාපෘතිවල මහන්සි වෙලා වැඩ කරනවා.

පළවෙනි සියවසේ දෙවිට ගරුබිය දක්වපු කාන්තාවන්

15. යෙහෝවා දෙවි මරියාට දුන්නේ මොන වගේ වරප්‍රසාදයක්ද?

15 පළවෙනි සියවසේදීත් ඊට ටික කාලෙකට කලිනුත් යෙහෝවා දෙවි සමහර කාන්තාවන්ට විශේෂ පැවරුම් දුන්නා. ඒ වගේ පැවරුමක් ලැබුණු කෙනෙක් තමයි මරියා. ඒ වෙනකොට මරියා යෝසෙප් එක්ක විවාහ ගිවිසගෙනයි හිටියේ. ඒත් විවාහ වෙන්න කලින් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය මාර්ගයෙන් මරියා ගැබ්ගත්තා. යේසුස්ගේ මව වෙන්න යෙහෝවා දෙවි මරියාව තෝරගත්තේ ඇයි? දෙවි එහෙම කළේ තමන්ගේ පරිපූර්ණ පුත්‍රයාව හදා වඩා ගන්න අවශ්‍ය ගතිලක්ෂණ මරියා ළඟ තිබුණු නිසයි. මේ පොළොවේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨතම මිනිසාගේ මව වෙන්න ලැබුණු එක මොන තරම් වරප්‍රසාදයක්ද!මතෙ. 1:18-25.

16. කාන්තාවන් ගැන යේසුස්ට හැඟුණේ කොහොමද? උදාහරණයක් කියන්න.

16 යේසුස් කාන්තාවන්ට හුඟක් කාරුණිකව සැලකුවා. උදාහරණයකට “අවුරුදු දොළහක් පුරා ලේ ගැලීමක් නිසා රෝගී වූ” කාන්තාවක් තමන්ගේ රෝගය සුව වෙයි කියලා හිතලා යේසුස්ගේ ඇඳුම ඇල්ලුවා. ඒ ගැන යේසුස්ට කේන්ති ගියාද? නැහැ. ඔහු කාරුණිකව මෙහෙම කිව්වා. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න. ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා.”මාක් 5:25-34.

17. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිද්ධ වුණේ මොකක්ද?

17 යේසුත් ඔහුගේ නියෝජිතයොත් දේශනා කරමින් ගමින් ගමට යද්දී ඔවුන්ට සත්කාර කරන්න කාන්තාවන් කීපදෙනෙකුත් ඔවුන් එක්ක ගියා. (ලූක් 8:1-3) ඒ වගේම ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ දෙවිගේ බලයෙන් අභිෂේක ලබපු 120දෙනා අතරේ කාන්තාවනුත් හිටියා. (ක්‍රියා 2:1-4 කියවන්න.) ඊට අවුරුදු ගාණකට කලින් ඒ ගැන දෙවි කිව්වේ මෙහෙමයි. “මම සියලු ජනයාට මගේ බලය නොඅඩුව දෙන්නෙමි. එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත. . . . ඒ කාලයේදී දාසදාසීන්ටද මම මගේ බලය දෙන්නෙමි.” (යෝවෙ. 2:28, 29) පෙන්තකොස්ත දවසේදී සිද්ධ වුණු ඒ පුදුමාකාර දෙයින් ඔප්පු වුණේ “දෙවිගේ ඊශ්‍රායෙලයට” අයත් ඒ පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට දෙවිගේ අනුමැතිය ලැබුණා කියලයි. (ගලා. 3:28; 6:15, 16) ඔවුන්ට අමතරව පළවෙනි සියවසේදී දෙවිගේ අනුමැතිය ලැබුණු  කාන්තාවන් අතරේ ෆිලිප්ගේ දූවරු හතරදෙනාත් හිටියා.ක්‍රියා 21:8, 9.

‘ස්ත්‍රීන් විශාල හමුදාවක්’

18, 19. (අ) යෙහෝවා දෙවි පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට දීලා තියෙන වරප්‍රසාදය මොකක්ද? (ආ) ශුභාරංචිය දේශනා කරන ස්ත්‍රීන් ගැන දාවිත් කිව්වේ මොනවද?

18 වර්ෂ 1870 ගණන්වලදී පුරුෂයන් සහ ස්ත්‍රීන් පිරිසක් බයිබලේ සඳහන් සත්‍යය උනන්දුවෙන් හොයන්න පටන්ගත්තා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි” කියන යේසුස්ගේ අනාවැකියේ ඉටු වීමට මුලින්ම දායක වුණේ ඔවුන්.මතෙ. 24:14.

19 එදා හිටපු ඒ කුඩා කණ්ඩායම අද ලක්ෂ 80ක් දක්වා වර්ධනය වෙලා. ඒ අයට අමතරව එක් කෝටි දසලක්ෂයකට වඩා වැඩි පිරිසක් යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වුණා. ඒ අයගෙන් වැඩිදෙනෙක් කාන්තාවන්. ඒ වගේම දසලක්ෂකට වඩා වැඩි පිරිසක් පූර්ණකාලීනව දෙවිට සේවය කරනවා. ඒ අයගෙනුත් වැඩිදෙනෙක් අපේ සහෝදරියන්. යෙහෝවා දෙවි තමන්ව නියෝජනය කිරීමේ වරප්‍රසාදය කාන්තාවන්ටත් දීලා තියෙනවා. ඒ නිසා දාවිත්ගේ මේ වචන අද ඉටු වෙලා. “යෙහෝවා දෙවි අණක් නිකුත් කරන්නේය. එබැවින් ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති.”ගීතා. 68:11.

ශුභාරංචිය දේශනා කරන ස්ත්‍රීන් ඇත්තෙන්ම “විශාල හමුදාවක්” (18 සහ 19 ඡේද බලන්න)

දෙවිට ගරුබිය ඇති ස්ත්‍රීන්ට ලැබෙන ආශීර්වාද

20. පවුලේ නමස්කාරයේදී හෝ පෞද්ගලික පාඩමේදී අධ්‍යයනය කරන්න පුළුවන් මොන වගේ කාරණාද?

20 බයිබලේ සඳහන් දෙවිට විශ්වාසවන්තව හිටපු හැම කාන්තාවක් ගැනම මේ ලිපියේ කතා කරන්න බැහැ. ඒත් අපිට ඒ අය ගැන බයිබලෙන් වගේම අපේ පොත් පත්වලිනුත් කියවන්න පුළුවන්. උදාහරණයකට රූත් පෙන්නපු පක්ෂපාතකම ගැන හොඳින් හිතන්න. (රූත් 1:16, 17) ඒ වගේම එස්තර් රැජිණගෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් ගැන කල්පනා කරන්න. ඒ අය ගැන පවුලේ නමස්කාරයේදී සාකච්ඡා කරන්න. ඔබ තනිකඩ කෙනෙක් නම් පෞද්ගලික පාඩමේදී ඒ අය ගැන අධ්‍යයනය කරන්න.

21. සහෝදරියන් ඔවුන්ගේ විශ්වාසවන්තකම දෙවිට පෙන්නලා තියෙන්නේ කොහොමද?

21 හුඟක් පීඩා තිබුණු කාලවලදීත් යොහෝවා දෙවි විශ්වාසවන්ත සහෝදරියන්ට ඔවුන්ගේ දේශනා කිරීමේ කාර්යය සඳහා ආශීර්වද කරලා තියෙනවා. උදාහරණයකට නාට්සි පාලන සමයේදීත් කොමියුනිස්ට් පාලනය යටතේදීත් හුඟක් සහෝදරියන්ට දැඩි පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරුන්ව මරලා දැම්මා. ඒ වුණත් විශ්වාසවන්තව ඉන්න දෙවි ඒ අයට උදව් කළා. (ක්‍රියා 5:29) එදා හිටපු ඒ විශ්වාසවන්ත සහෝදරියන් වගේ අද ඉන්න සහෝදරියනුත් තව බොහෝදෙනෙකුත් තමන්ගේ පාලකයා විදිහට දෙවිව තෝරගෙන තියෙනවා. අතීතයේ හිටපු තම සෙනඟට කිව්වා වගේ දෙවි ඔවුන්ටත් කියන්නේ “භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි” කියලයි.යෙසා. 41:10-13.

22. අනාගතයේදී අපිට ලැබෙන්නේ මොන වගේ ආශීර්වාදද?

22 ඉදිරියේදී නැවත නැඟිටින මිලියන ගාණකට යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් කියලා දෙන්න දෙවිට ගරුබිය දක්වන ස්ත්‍රී, පුරුෂ දෙගොල්ලන්ටම අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව මේ පොළොව ආයෙත් ලස්සන තැනක් කරද්දී ඒ වැඩවලට හවුල් වෙන්නත් පුළුවන් වෙනවා. ඒ වෙනකල් දෙවිට ‘එක්සත්කමින් සේවය කරන්න’ ලැබිලා තියෙන වරප්‍රසාදය අපි අගය කරමු.ශෙප. 3:9.