Skip to content

පටුනට යන්න

දේවවචනයට කතා කරන්න ඉඩ දෙන්න එය ජීවමානයි!

දේවවචනයට කතා කරන්න ඉඩ දෙන්න එය ජීවමානයි!

“දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය.”හෙබ්‍රෙ. 4:12.

1, 2. දෙවි මෝසෙස්ට කරන්න කිව්වේ මොකක්ද? දෙවි ඔහුට පොරොන්දු වුණේ මොකක්ද?

ලෝකෙ ඉන්න බලවත්ම අධිරාජ්‍යයා ළඟට ගිහින් දෙවිව නියෝජනය කරලා කතා කරන්න සිද්ධ වුණොත් ඔබට කොහොම හැඟෙයිද? ලොකු බයක්, තැතිගැන්මක් දැනෙයි. ඒ වගේ කෙනෙක් එක්ක කතා කරන්න ඔබ කලින්ම සූදානම් වෙන්නේ කොහොමද? දෙවිව නියෝජනය කරන කෙනෙක් විදිහට බය නැතුව කතා කරන්න ඔබට පුළුවන් වෙයිද?

2 මෝසෙස් කියන මෘදු, නිහතමානී මිනිසාට ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. (ගණන්. 12:3) යෙහෝවා දෙවි ඔහුව පාරාවෝ කියන උඩඟු, දුෂ්ට අධිරාජ්‍යයා ළඟට යැව්වා. මිලියන 3ක් විතර වුණු දෙවිගේ සෙනඟව වහල්කමින් නිදහස් කරන්න කියලා පාරාවෝට අණ කරන්න කියලා දෙවි මෝසෙස්ට කිව්වා. (නික්. 5:1, 2) “මා වැනි කෙනෙකුට පාරාවෝ ළඟට යා හැකිද? ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට රැගෙන ඒමට මට පුළුවන්ද” කියලා ඒ වෙලාවේ මෝසෙස් අහපු එක පුදුමයක්ද! මෝසෙස් හිතුවේ පාරාවෝ ළඟට ගිහින් කතා කරන්න තරම් තමන් දක්ෂ නැහැ කියලයි. ඒත් දෙවි ඔහුට “මම ඔබ සමඟ සිටිමි” කියලා පොරොන්දු වුණා.නික්. 3:9-12.

3, 4. (අ) මෝසෙස් බය වුණේ ඇයි? (ආ) මෝසෙස්ගේ හැඟීම් ඔබේ හැඟීම්වලට සමාන වෙන්නේ කොහොමද?

3 මෝසෙස් බය වුණේ යෙහෝවා දෙවිව නියෝජන කරන කෙනෙක්ව පාරාවෝ කොහොමටවත් පිළිගන්නේ නැහැ කියලා ඔහු හිතපු නිසයි. ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්කමින් බේරගන්න දෙවි තෝරගෙන තියෙන්නේ ඔහුවයි කියලා සෙනඟ විශ්වාස කරන එකක් නැහැ  කියලා හිතලත් ඔහු බය වුණා. “සෙනඟ මම කියන දේ විශ්වාස නොකර, ‘යෙහෝවා දෙවි ඔබට කතා කළේ නැහැ’ කියා පැවසුවොත් මා කළ යුත්තේ කුමක්ද” කියලා මෝසෙස් දෙවිගෙන් ඇහුවේ ඒ නිසයි.නික්. 3:15-18; 4:1.

4 ඒ ප්‍රශ්නෙට උත්තර විදිහට දෙවි මෝසෙස්ට කියපු දෙයිනුත් ඊටපස්සේ සිද්ධ වුණු දේවලිනුත් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. සමහරවිට ඔබට නම් ඒ වගේ බලවත් පාලකයෙක් ඉදිරියේ කතා කරන්න වෙන එකක් නැහැ. ඒත් ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ට යෙහෝවා දෙවි ගැන, ඔහුගේ රාජ්‍යය ගැන කතා කරන්න ඔබට බයක් දැනෙනවද?

“ඔබ අතේ තිබෙන්නේ මොකද්ද?”

5. යෙහෝවා දෙවි මෝසෙස්ට දුන්නේ මොන හැකියාවද? ඒක ඔහුට ශක්තියක් වුණේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

5 ඔහුට ඇති වුණු බය ගැන මෝසෙස් යෙහෝවා දෙවිට කිව්වට පස්සේ ඒ තත්වයට මුහුණ දෙන්න දෙවි ඔහුව ශක්තිමත් කළා. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. ‘ඔබ අතේ තිබෙන්නේ මොකද්ද?’ මෝසෙස්, ‘සැරයටියක්’ කියා උත්තර දුන්නේය. ඉන්පසු දෙවි, ‘එය බිමට විසි කරන්න’ කියා කීවේය. මෝසෙස් සැරයටිය බිමට විසි කළ විට එය සර්පයෙකු බවට පත් විය. මෝසෙස් ඌව දුටු විගස එතැනින් ඉවතට දිව්වේය. එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට කතා කර, ‘සර්පයාගේ වලිගයෙන් අල්ලාගන්න’ කියා කීවේය. මෝසෙස්ද සර්පයාව අල්ලාගත්තේය. එවිට සර්පයා සැරයටියක් බවට පත් විය. දෙවි තවදුරටත් මෙසේ පැවසීය. ‘. . . යෙහෝවා ඔබට කතා කළ බව ඔවුන් විශ්වාස කරන පිණිස සෙනඟ ඉදිරියේ එලෙස කරන්න.’” (නික්. 4:2-5) මෝසෙස් යෙහෝවා දෙවිගේ අනුමැතිය ඇති දෙවිගේ පණිවිඩකරුවා කියන දේ ඔප්පු කරන්න ඒ සැරයටිය කදිම සාක්ෂියක්. දෙවි මෝසෙස්ට මෙහෙම කිව්වේ ඒ නිසයි. “මේ සැරයටිය මාර්ගයෙන් ලකුණු පෙන්වන පිණිස ඔබ එය රැගෙන යන්න.” (නික්. 4:17) දෙවිගේ බලය ඔහුට තිබුණා කියලා පෙන්නන්න ඒ සැරයටිය උදව් වුණා. ඒ නිසා පාරාවෝ ළඟටත් සෙනඟ ළඟටත් බය නැතුව ගිහින් කතා කරන්න අවශ්‍ය ශක්තිය ඔහුට ලැබුණා.නික්. 4:29-31; 7:8-13.

6. (අ) දේශනා සේවයේ යද්දී අපේ අතේ තියෙන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි? (ආ) “දෙවිගේ වදන් ජීවමාන” වෙන්නේ කොහොමද? ඒක “බලවත්” වෙන්නේ කොහොමද?

6 දෙවිගේ පණිවිඩය ගැන අනිත් අයට කියද්දී අපේ අතෙත් බලවත් දෙයක් තියෙනවා. ඒ තමයි බයිබලේ. සමහරු හිතන්නේ බයිබලේ කියන්නේ නිකම්ම හොඳ පොතක් කියලයි. ඒත් ඒක නිකම්ම පොතක් නෙමෙයි. දෙවි අපිට කතා කරන්නේ බයිබලේ මාර්ගයෙන්. (2 පේතෘ. 1:21) දෙවිගේ අරමුණ ගැන, ඔහුගේ රාජ්‍යය මගින් කරන්න යන දේවල් ගැන අපිට කියලා දෙන්නේ බයිබලයයි. “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 4:12 කියවන්න.) දෙවිගේ වදන් ජීවමාන වෙන්නේ බයිබලේ තියෙන දෙවිගේ පොරොන්දු දැනටමත් ඉටු වෙමින් තියෙන නිසයි. ඒ හැම එකක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙන නිසයි. (යෙසා. 46:10; 55:11) කෙනෙක් ඒ කාරණා හොඳින් තේරුම්ගත්තොත් බයිබලෙන් ඔහු කියවන දේවල් ඔහුගේ ජීවිතේට ලොකු බලපෑමක් ඇති කරනවා. ඔහුගේ ජීවිතේ වෙනස් කරන්න තරම් බලයක් ඒකට තියෙනවා.

7. ‘සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන්න’ අපිට පුළුවන් කොහොමද?

7 යෙහෝවා දෙවි අපි හැම කෙනෙක්ගෙම අතට ඔහුගේ ජීවමාන වචනය වන බයිබලය දීලා තියෙනවා. ඒක යොදාගෙන අපිට පුළුවන් අපි කියන පණිවිඩය දෙවි දුන්න පණිවිඩයක් කියලත් ඒක විශ්වාස කරන්න පුළුවන් දෙයක් කියලත් ඔප්පු කරන්න. “සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන කෙනෙකු වන්න” කියලා පාවුල් තිමෝතිට කිව්වේ ඒ නිසයි. (2 තිමෝ. 2:15) අපිට සවන් දෙන අයගේ හදවත්වලටම කතා කරන්න පුළුවන් බයිබල් පද තෝරගෙන ඒවා සේවයේදී පාවිච්චි කළොත් අපිටත් ඒක කරන්න පුළුවන්. 2013දී අපිට ලැබුණු පත්‍රිකා ඒක කරන්න උදව්වක්.

හොඳට හිතලා ගැළපෙන පදයක් තෝරගෙන කියවන්න

8. වැඩිමහල්ලෙක් පත්‍රිකා ගැන කිව්වේ මොනවද?

8 අලුත් පත්‍රිකාවල තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ එකම ක්‍රමයකටයි. ඒ නිසා එක පත්‍රිකාවක් ඉදිරිපත් කරන විදිහ පුරුදු වුණොත් අනිත් පත්‍රිකාත් ඒ ක්‍රමයටම  දෙන්න පුළුවන්. හවායිවල වැඩිමහල්ලෙක් මෙහෙම කිව්වා. “ගෙයින් ගෙට සේවයේදීත් මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරද්දීත් අලුත් පත්‍රිකා මේ තරම් උදව් වෙයි කියලා අපි මුලින් හිතුවේ නැහැ.” පත්‍රිකාවල තොරතුරු ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය නිසා ඒවා ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔහු කියනවා. උදාහරණෙකට මුලින්ම ප්‍රශ්නයක් අහලා ඒකට දෙන්න පුළුවන් උත්තර තුනක් සඳහන් කරලා තියෙන නිසා හිතහිතා ඉන්නේ නැතුව තුනෙන් එකක් තෝරගන්න ගෙහිමියාට පුළුවන්. එතකොට සාකච්ඡාවක් පටන්ගන්න ලේසියි.

9, 10. (අ) බයිබලේ හොඳින් පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට අපේ පත්‍රිකා සකස් කරලා තියෙන්නේ කොහොමද? (ආ) ඔබට වැඩියෙන්ම හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ මොන පත්‍රිකාවෙන්ද? ඒ ඇයි?

9 කතා කරන විෂයට ගැළපෙන බයිබල් පදයක් හැම පත්‍රිකාවෙම සඳහන් කරලා තියෙන නිසා අපිට ලේසියෙන් ගෙහිමියාට බයිබල් පදයක් පෙන්නන්න අවස්ථාව ලැබෙනවා. උදාහරණෙකට ‘දුක් කරදර කවදා හරි නැති වෙයිද?’ කියන පත්‍රිකාවේ ප්‍රශ්නෙට යටින් “ඔව්,” “නැහැ,” “සමහරවිට” කියලා උත්තර තුනක් තියෙනවා. ගෙහිමියා ඒ තුනෙන් මොන එක තෝරගත්තත් පත්‍රිකාවේ ඇතුල් පිටුවට පෙරළලා “බයිබලේ කියන්නේ මෙහෙමයි” කියලා, එතන සඳහන් කරලා තියෙන එළිදරව් 21:3, 4 කියවන්න.

10 ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ කියන පත්‍රිකාව පෙන්නුවම ගෙහිමියා ඒ ප්‍රශ්නෙට මොන උත්තරේ තෝරගත්තත් පත්‍රිකාවේ ඇතුල් පිටුවට පෙරළලා “බයිබලේ කියන්නේ මෙහෙමයි. ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි’” කියලා කියන්න. ඊටපස්සේ “ඒ වගේම ඒ පදයේ මෙහෙමත් කියනවා” කියලා බයිබලේ පෙරළලා 2 තිමෝති 3:16, 17 කියවන්න.

11, 12. (අ) දේවසේවය තුළින් ලබන සතුට තව වැඩි කරගන්න පත්‍රිකා උදව් වෙන්නේ කොහොමද? (ආ) නැවත බැලීම්වලට සූදානම් වෙන්න පත්‍රිකා උදව් වෙන්නේ කොහොමද?

11 ගෙහිමියා තුළ උනන්දුවක් තියෙනවද නැද්ද කියලා බලලා පත්‍රිකාවේ තියෙන අනිත් තොරතුරුත් සාකච්ඡා කරන්න ඔබට පුළුවන්. සාකච්ඡාව දිගටම කරගෙන යන්න ඒ කෙනා උනන්දුවක් දැක්වුවත් නැතත් ඒ වෙනකොට දෙන්න ඕන පණිවිඩය පත්‍රිකාවෙන් දීලා ඉවරයි. ඒ වගේම බයිබලෙන් පදයක්, දෙකක් ඔහුට කියවලත් ඉවරයි. මුල්ම වතාවේ ඔබට පෙන්නන්න පුළුවන් වුණේ බයිබල් පදයක්, දෙකක් විතරක් වුණත් පස්සේ වෙලාවක ගිහින් ඒ කෙනා එක්ක දිගටම සාකච්ඡාව කරගෙන යන්න පුළුවන්.

12 හැම පත්‍රිකාවකම පිටිපස්සේ “මේ ගැන හිතන්න” කියලා කොටසක් තියෙනවා. එතන තියෙන්නේ නැවත බැලීමක් කරද්දී සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්නයක් සහ ඒකට අදාළ බයිබල් පදයි. ‘අනාගතයේදී මොනවා වෙයිද?’ කියන පත්‍රිකාව පිටිපස්සේ “අනාගතයේදී  දෙවියන් අපිට හොඳ කාලයක් දෙන්නේ කොහොමද?” කියන ප්‍රශ්නේ අහලා ඒත් එක්කම මතෙව් 6:9, 10 සහ දානියෙල් 2:44 කියන බයිබල් පද සඳහන් කරලා තියෙනවා. ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ කියන පත්‍රිකාවේ තියෙන්නේ “අපි වයසට ගිහිල්ලා මැරෙන්නේ ඇයි?” කියන ප්‍රශ්නයයි. ඒත් එක්කම උත්පත්ති 3:17-19 සහ රෝම 5:12 කියන බයිබල් පදත් තියෙනවා.

13. බයිබල් පාඩම් පටන්ගන්න පත්‍රිකා පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

13 බයිබල් පාඩමක් පටන්ගන්න උදව් වෙන විදිහටයි මේ පත්‍රිකා සකස් කරලා තියෙන්නේ. ඒවා පිටිපස්සේ තියෙන QR කෝඩ් * එක ස්කෑන් කළාම අපේ වෙබ් අඩවියේ තියෙන පිටුවකට කෙළින්ම පිවිසෙන්න කෙනෙක්ට පුළුවන්. බයිබලේ පාඩම් කරන්න කියන ආරාධනාවත් එතන තියෙනවා. මේ පත්‍රිකාවල ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාව ගැනත් සඳහන් වෙනවා. පත්‍රිකාවේ කතා කරන විෂය ගැන තවත් තොරතුරු ඒ සඟරාවේ තියෙන්නේ කීවෙනි පාඩමේද කියලත් ඒ ගැන හොයලා බලන්න කියලත් එතන දිරිගන්වලා තියෙනවා. උදාහරණෙකට ‘මේ ලෝකය පාලනය කරන්නේ කවුද?’ කියන පත්‍රිකාවේ සඳහන් කරලා තියෙන්නේ සඟරාවේ 5වෙනි පාඩම බලන්න කියලයි. ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ කියන පත්‍රිකාවේ සඳහන් කරලා තියෙන්නේ 9වෙනි පාඩම බලන්න කියලයි. මේ පත්‍රිකා සකස් කරලා තියෙන්නේ කෙනෙක්ව හම්බ වෙන මුල්ම වතාවේදීත් ඒ කෙනාව ආපහු බලන්න යද්දීත් බයිබලේ හොඳින් පාවිච්චි කරන්න අපිට උදව් කරන්නයි. එහෙම කළොත් අපිට හුඟක් බයිබල් පාඩම් පටන්ගන්න පුළුවන්.

හිතේ තියෙන දේ අඳුනගෙන කතා කරන්න

14, 15. දේවසේවයේදී පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

14 දේවසේවයේදී පාවුල්ට ඕන වුණේ “හැකි තරම් පිරිසක්” හිතන විදිහ තේරුම් අරන් ඔවුන්ට උදව් කරන්නයි. (1 කොරින්ති 9:19-23 කියවන්න.) මොකද යුදෙව්වන් සහ වෙනත් ජාතිකයන් ඇතුළු “සෑම තරාතිරමකම පුද්ගලයන්” සත්‍යය ගැන ඉගෙනගෙන ගැලවෙනවා දකින්න ඔහු කැමති වුණා. (ක්‍රියා 20:21) “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට” සාක්ෂි දරන්න අපි සූදානම් වෙද්දී පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?1 තිමෝ. 2:3, 4.

15 හැම මාසෙකම ‘රාජ්‍ය සේවාවේ’ සඳහන් වෙන යෝජනා අත්හදා බලන්න. ඒත් ඔබේ ප්‍රදේශයේ අය උනන්දු වෙන්නේ වෙන විෂයක් ගැන කියලා තේරුණොත් ඒ කාරණය ගැන කතා කරන්න කලින්ම සූදානම් වෙන්න. ඒකට අදාළ බයිබල් පදයක් තෝරගන්න. එක චාරිකා සේවකයෙක්ට සහ ඔහුගේ බිරිඳට සේවයේදී බයිබලේ වැඩියෙන් යොදාගන්න පුළුවන් වුණු විදිහ ගැන මෙහෙම කියනවා. “අපි කෙටියෙන්, පැහැදිලිව කාරණාව කියනවා නම් බයිබල් පදයක් පෙන්නනවට හුඟක් අය අකමැති වෙන්නේ නැහැ. ගෙදරකට ගියාම අපි ගොඩක් වෙලාවට කරන්නේ බයිබලේ අතේ තියාගෙනම අපිව හඳුන්වලා දෙන එකයි. ඊටපස්සේ බයිබලෙන් පදයක් ඒ කෙනාට පෙන්නනවා.” සේවයේදී කතා කරන්න පුළුවන් විෂයන් ගැන, අහන්න පුළුවන් ප්‍රශ්න ගැන, පෙන්නන්න පුළුවන් බයිබල් පද ගැන ඊළඟ ඡේදවල බලමු.

දේවසේවයේදී ඔබ බයිබලය සහ පත්‍රිකා හොඳින් පාවිච්චි කරනවද? (8-13 ඡේද බලන්න)

16. යෙසායා 14:7 සේවයේදී යොදාගන්න පුළුවන් කොහොමද?

16 ඔබ ජීවත් වෙන්නේ අපරාධ, සැහැසිකකම් වැඩි පැත්තක නම් සේවයේදී හම්බ වෙන කෙනෙක්ගෙන් මෙහෙම අහන්න. “‘මුළු දේශයම දැන් නිස්කලංකයි. සතුරු උවදුරුවලින් නිදහස් වෙලා. එහි වැසියෝ ප්‍රීතියෙන් ගී ගයනවා’ කියලා පත්තරේ මුල් පිටුවේ පළ වෙන දවසක් එයි කියලා ඔයා හිතනවද? බයිබලේ යෙසායා 14:7 එහෙම දවසක් එනවා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි ඒ වගේ පොරොන්දු හුඟක් බයිබලේ තියෙනවා.” ඊටපස්සේ ඒ පොරොන්දුවලින් එකක් බයිබලෙන් කියවන්න.

17. සාකච්ඡාවකදී මතෙව් 5:3 යොදාගන්න පුළුවන් කොහොමද?

17 ඔබ ඉන්නේ තමන්ගේ දරු පවුලට කන්න අඳින්න දෙන්න ලොකු සටනක් කරන අය ඉන්න ප්‍රදේශයකද? එහෙමනම් ඔබට මේ වගේ ප්‍රශ්නයක් සේවයේදී අහන්න පුළුවන්. “ඔයාගේ පවුලේ අයව සතුටින් තියන්න සල්ලි, බඩුමුට්ටු තිබුණොත් ඇතිද?” ඒකට උත්තර දුන්නට පස්සේ මෙහෙම කියන්න. “සල්ලි, බඩුමුට්ටු තිබුණත් ගොඩක් පවුල්වල අය ඉන්නේ සතුටෙන්  නෙමෙයි. සතුටෙන් ඉන්න ඇත්තටම ඕන කරන්නේ මොකක්ද කියලා මම ඔයාට පෙන්නන්නද?” ඊටපස්සේ මතෙව් 5:3 කියවලා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න.

18. කෙනෙක්ව සනසන්න යෙරෙමියා 29:11 යොදාගන්න පුළුවන් කොහොමද?

18 ළඟදී සිද්ධ වුණු ඛේදවාචකයක් නිසා ඔබේ ප්‍රදේශයේ අය ඉන්නේ දුකෙන්ද? මේ වගේ දේකින් සාකච්ඡාව පටන්ගන්න. “මේ ළඟදී වුණු සිද්ධිය නිසා ඔයාත් ඉන්නේ දුකෙන් වෙන්න ඇති. ඔයාට සහනයක් වෙන දෙයක් පෙන්නන්න මම කැමතියි. බලන්න මේ බයිබල් පදේ. (යෙරෙමියා 29:11 කියවන්න.) දෙවි කැමති ‘සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක්’ අපිට දෙන්න කියලා ඔයා දැක්කද? ඒත් එහෙම දෙයක් වෙන්නේ කොහොමද?” කියලා අහලා ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ කියන සඟරාවේ තියෙන පාඩම්වලින් එකක් තෝරගෙන එයාට පෙන්නන්න.

19. ක්‍රිස්තියානි පසුබිමක් තියෙන කෙනෙක්ට කතා කරද්දී එළිදරව් 14:6, 7 පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

19 තමන් ක්‍රිස්තියානීන් කියලා කියාගන්න අය වැඩිපුර ඉන්න ප්‍රදේශයක සේවයේ යද්දී සාකච්ඡාවක් මේ විදිහට පටන්ගන්න පුළුවන්. “දේවදූතයෙක් ඔයා ඉස්සරහට ඇවිත් මොනවා හරි කිව්වොත් ඔයා ඒක අහනවද? (එළිදරව් 14:6, 7 කියවන්න.) එතන කතා කරන දේවදූතයා කියන්නේ ‘අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද සෑදූ’ තැනැත්තාට ගරුබිය දක්වන්න කියලයි. ඒ හැම දෙයක්ම හදපු තැනැත්තාගේ නම ඔයා දන්නවද?” ඊටපස්සේ ගීතාවලිය 124:8 එයාට පෙන්නන්න. එතන මෙහෙම කියනවා. “අපට උපකාරය ලැබෙන්නේ අහසත් පොළොවත් සෑදූ යෙහෝවා නම් වූ දෙවිගෙන්ය.” යෙහෝවා දෙවි ගැන තව විස්තර කියලා දෙන්න ඔබ කැමතියි කියලා එයාට කියන්න.

20. (අ) කෙනෙක්ට දෙවි ගැන කියලා දෙන්න හිතෝපදේශ 30:4 යොදාගන්න පුළුවන් කොහොමද? (ආ) දේශනා සේවයේදී ඔබ සාර්ථකව යොදාගෙන තියෙන්නේ මොන බයිබල් පදයද?

20 යෞවන කෙනෙක් එක්ක කතා කරද්දී මෙහෙම කියන්න පුළුවන්. “වැදගත් ප්‍රශ්නයක් ගැන හිතන්න උදව් වෙන බයිබල් පදයක් ඔයාට පෙන්නන්න මම කැමතියි. (හිතෝපදේශ 30:4 කියවන්න.) කිසිම මිනිහෙක්ට එතන කියන දේවල් කරන්න බැහැ නේද? එහෙමනම් එතන කතා කරන්නේ අපේ නිර්මාතෘ ගැන වෙන්න ඕනෙ. * ඒත් අපේ නිර්මාතෘ මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන් කොහොමද? මම කැමතියි ඒක ඔයාට බයිබලෙන් පෙන්නන්න.”

දේවවචනයට තියෙන බලය දේශනා සේවයේදී පෙන්නමු

21, 22. (අ) හොඳට හිතලා බලලා තෝරගත්ත බයිබල් පදයකට කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කොහොමද? (ආ) දේශනා සේවයේදී ඔබේ අධිෂ්ඨානය මොකක්ද?

21 හොඳට හිතලා බලලා තෝරගත්ත බයිබල් පදයක් පෙන්නුවම මිනිසුන් කොයි විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා අපි දන්නේ නැහැ. උදාහරණෙකට ඕස්ට්‍රේලියාවේ සහෝදරයෝ දෙන්නෙක් සේවයේ යද්දී එක ගෙදරක හිටපු තරුණ කාන්තාවකගෙන් “ඔයා දෙවියන්ගේ නම දන්නවද” කියලා ඇහුවා. ඊටපස්සේ ගීතාවලිය 83:18 එයාට පෙන්නුවා. “ඒක දැකලා මම පුදුම වුණා. ඒ දෙන්නා ගියාට පස්සේ මං කි.මී. 56ක් විතර දුර තිබුණු පොත් සාප්පුවකට ගියා. මට ඕන වුණේ තවත් බයිබල් පරිවර්තනවලින් දෙවිගේ නම බලන්න. එතන තිබුණු ශබ්දකෝෂයකිනුත් දෙවිගේ නම ගැන හොයලා බැලුවා. දෙවිගේ නම යෙහෝවා කියලා මට ස්ථිර වුණාට පස්සේ මං දන්නේ නැති කොච්චර දේවල් තව ඇද්ද කියලා මට හිතුණා” කියලා ඒ කාන්තාව කිව්වා. පස්සේ ඇයත් ඇය එක්ක විවාහ වෙන්න හිටිය කෙනාත් බයිබලේ පාඩම් කරලා බව්තීස්ම වුණා.

22 මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න දෙවිගේ වචනයට තියෙන්නේ පුදුම බලයක්. කෙනෙක් බයිබලේ කියවද්දී ඒ කෙනාට පුළුවන් යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න. ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගන්න ඒ විශ්වාසය ඒ කෙනාව පොලඹවනවා. (1 තෙසලෝනික 2:13 කියවන්න.) අපි කියන වචන දාහකට වඩා බයිබලේ තියෙන වචනවලට විශාල බලයක් තියෙනවා. ඒ නිසා අපි දේශනා සේවයේ යද්දී පුළුවන් තරම් දේවවචනයට කතා කරන්න ඉඩ දෙමු. මොකද දෙවිගේ වචනය ජීවමානයි!

^ 13 ඡේ. QR කෝඩ් එක ඩෙන්සො වේව් ඉන්කෝපරේට්හි ලියාපදිංචි වෙළඳ නාමයකි.

^ 20 ඡේ. 1988 මැයි 1 ‘මුරටැඹ’ සඟරාවේ 31වෙනි පිටුවේ තියෙන “පාඨකයන්ගේ ප්‍රශ්න” කියන ලිපිය බලන්න.