නැවත ඇවිත් සහෝදරයන්ව ශක්තිමත් කරන්න
යේසුස්ව හඳුනන්නේ නැහැ කියලා කියපු එක ගැන පේතෘස් ගොඩක් දුක් වෙලා අඬා වැලපුණා. කලකිරිලා, දුකෙන් හිටපු පේතෘස්ට ආයෙත් දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න ලොකු වෑයමක් දරන්න සිද්ධ වෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. ඒත් ඔහු ඒ තත්වයෙන් ගොඩ ඇවිත් අන් අයට උපකාර කරයි කියලා යේසුස් බලාපොරොත්තු වුණා. ඒ නිසා ඔහු පේතෘස්ට මෙහෙම කිව්වා. “ඔබ නැවත ශක්තිමත් වූ පසු ඇවිත් ඔබේ සහෝදරයන් තුළ තිබෙන විශ්වාසය ශක්තිමත් කරන්න.” (ලූක් 22:32, 54-62) කිව්ව විදිහටම පේතෘස් කළා. ඔහුව ක්‍රිස්තියානි සභාවේ කණුවක් විදිහට බයිබලේ හඳුන්වලා තියෙන්නේ ඒ නිසයි. (ගලා. 2:9) ඒ හා සමානව කලින් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරපු සහෝදරයෙකුටත් පුළුවන් ආයෙත් ඒ වගකීම් භාර අරගෙන අනිත් අයව ශක්තිමත් කරන්න.
වැඩිමහල්ලෙක්ව ඒ වගකීමෙන් ඉවත් කළාම තමන්ට කිසිම දෙයක් හරියට කරගන්න බැහැ කියන හැඟීම ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අවුරුදු 20ක් පුරා වැඩිමහල්ලෙක් විදිහට සේවය කරපු හූල්යෝ * මෙහෙම කියනවා. “කතා සූදානම් වෙන එක, සහෝදරයන්ව බලන්න යන එක, ඒ අයව දිරිගන්වන එක මගේ ජීවිතේ කොටසක් වෙලා තිබුණා. ඒත් ඒ දේවල් නැති වුණාම මට දැනුණේ මගේ ජීවිතේම කඩා වැටුණා වගේ. මං හිටියේ ලොකු කලකිරීමකින්.”
“ප්‍රීතියක් ලෙස සලකන්න”
යාකොබ් කිව්වේ “මාගේ සහෝදරයෙනි, ඔබට විවිධාකාර ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වන විට එය ප්‍රීතියක් ලෙස සලකන්න” කියලයි. (යාකො. 1:2) විවිධාකාර ප්‍රශ්න ගැටලු කියද්දී විරුද්ධවාදිකම් විතරක් නෙමෙයි අපිට උරුම වෙලා තියෙන පව්කාරකම නිසා අපි අතින් සිද්ධ වෙන යම් යම් අඩුපාඩුත් අයිතියි. උදාහරණෙකට කෙනෙක් තුළ ඇති වෙන නුසුදුසු ආශාවන්, යම් අයට විශේෂ සැලකිලි දැක්වීම වගේ දේවල් ගැන යාකොබ් සඳහන් කළා. (යාකො. 1:14; 2:1; 4:1, 2, 11) ඒ වගේ අඩුපාඩු වෙද්දී යෙහෝවා දෙවි අපිට යම් හික්මවීම් දෙනවා. එතකොට අපිට වේදනාවක් දැනෙයි. (හෙබ්‍රෙ. 12:11) ඒත් සතුට නැති කරගන්න ඒක හේතුවක් නෙමෙයි.
වගකීම්වලින් අපිව ඉවත් කළත් දෙවි ගැන අපේ හිතේ තියෙන විශ්වාසය, ආදරය පෙන්නන්න තවමත් අවස්ථාව තියෙනවා. වැඩිමහල්ලෙක් විදිහට අපි සේවය කළේ ඇයි කියන කාරණය ගැනත් හිතලා බලන්න. එහෙම කළේ අපේම වාසියටද? දෙවිට තියෙන ආදරේ නිසාද? දෙවිට අයිති සභාව රැකබලා ගන්න අපි තුළ අවංක ආශාවක් තිබුණු නිසාද? (ක්‍රියා 20:28-30) වගකීම් නැති වුණත් දිගටම සතුටින් දෙවිට සේවය කරන අය සාතන් ඇතුළු හැමෝටම ඔප්පු කරන දෙයක් තියෙනවා. ඒ තමයි ඔවුන් යෙහෝවා දෙවිට අවංකව ආදරේ කරනවා කියන දේ.
දාවිත්ට දෙවි හික්මවීම් දුන්නම ඔහු ඒවා පිළිගත්ත නිසා දෙවි සමාව දුන්නා. ඒ ගැන දාවිත් කිව්වේ මෙහෙමයි. “වරදට සමාව ලැබූ තැනැත්තා සන්තෝෂවත්ය. ඔහු කළ පාපය දෙවි මකා දැමූ විට ඔහු සන්තෝෂවත්ය. යමෙකු කළ වරදක් යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් ඔහු සන්තෝෂවත්ය. යමෙකුගේ සිතේ කිසි වංචාවක් නැත්නම් ඔහු සන්තෝෂවත්ය.” (ගීතා. 32:1, 2) ලැබුණු හික්මවීම් නිසා වැරදි හදාගෙන කලින්ටත් වඩා හොඳ එඬේරෙක් වෙන්න දාවිත්ට පුළුවන් වුණා.
ආයෙත් වැඩිමහල්ලන් විදිහට පත් වෙන සහෝදරයන් කලින්ටත් වඩා හොඳින් සභාව රැකබලා ගන්නවා කියලා හුඟක් වෙලාවට දකින්න තියෙනවා. “කෙනෙක් අතින් වරදක් වුණාම කලින්ට වඩා හොඳින් එයාව තේරුම් අරගෙන එයාට උදව් කරන්න දැන් මට පුළුවන්” කියලා වැඩිමහල්ලෙක් කියනවා. තවත් වැඩිමහල්ලෙක් කියන්නේ “සහෝදරයන්ට සේවය කරන එක කොච්චර ලොකු වරප්‍රසාදයක්ද කියලා කලින්ට වඩා දැන් මට තේරෙනවා” කියලයි.
ඔබටත් පුළුවන්ද නැවත එන්න?
“අප අතින් සිදු වන වැරදි ඔහු [යෙහෝවා] සැමදා මතකයේ තබාගන්නේ නැත” කියලා ගීතිකාකරු කිව්වා. (ගීතා. 103:9) ඒ නිසා බරපතළ වරදක් කරපු කෙනෙක්ව ආයේ කවදාවත් යෙහෝවා දෙවි විශ්වාස කරන එකක් නැහැ කියලවත් එයාට වගකීම් භාර දෙන එකක් නැහැ කියලවත් හිතන්න එපා. සභාවේ වගකීම් අහිමි වුණු රිකාඩෝ මෙහෙම කියනවා. “මට මං ගැනම ඇති වුණේ කලකිරීමක්. මං වටින්නේ නැහැ කියලත් හිතුණා. මං ගැන අනිත් අයට තිබුණු විශ්වාසය මං කඩ කරපු නිසා ඒක ආයෙත් ඇති කරගන්න බැරි වෙයි කියන බයත් මගේ හිතේ තිබුණා. ඒත් අනිත් අයට උදව් කරලා සතුටක් ලබපු නිසා මම දිගටම බයිබල් පාඩම් කළා. සහෝදරයන්ව දිරිගැන්නුවා. ඒ අය එක්ක සේවයේ ගියා. ටිකෙන් ටික මට මං ගැනම විශ්වාසයක් ඇති වුණා. ඒ නිසා දැන් මම ආයෙත් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරනවා.”
වගකීම්වලින් තමන්ව ඉවත් කරපු එක ගැන අමනාපයක් හිතේ තියෙනවා නම් ආයෙත් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්න ඒක බාධාවක්. දාවිත් ගැන හිතන්න. සාවුල් දාවිත්ට කොයි තරම් ඊර්ෂ්‍යා කළත් ඔහු නිසා දුක් විඳින්න සිද්ධ වුණත් දාවිත් අමනාප වුණේ නැහැ. පළිගන්න අවස්ථා ලැබුණත් ඔහු එහෙම කළේ නැහැ. (1 සාමු. 24:4-7; 26:8-12) සාවුල් මැරුණා කියලා දැනගත්තම දාවිත් හුඟක් දුක් වුණා. සාවුල් ගැන ඔහු කිව්වේ ‘සැමගේ සිත් දිනාගත්, බොහෝ ප්‍රේම ලත් කෙනෙක්’ කියලයි.
සමහරවිට වගකීම් නැති වුණේ වරදවා වටහාගැනීමක් නිසා නැත්නම් අසාධාරණයක් නිසා කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් ඒ ගැන අමනාපයෙන් ඉන්න එපා. අවුරුදු 30ක් වැඩිමහල්ලෙක් හැටියට සේවය කරපු විලියම්ට ඒ වගකීම නැති වුණාම සභාවේ සමහර වැඩිමහල්ලන් ගැන තරහක් ඇති වුණා. හිතපු විදිහ වෙනස් කරගන්න විලියම්ට උදව් වුණේ මොකක්ද? විලියම් මෙහෙම කියනවා. “යෝබ් පොත කියවපු එක මට ලොකු දිරිගැන්වීමක් වුණා. යෝබ්ට එයාගේ යාළුවෝ තුන්දෙනා එක්ක සමාදාන වෙන්න දෙවි උදව් කළා නම් සභාවේ වැඩිමහල්ලන් එක්ක සමාදාන වෙන්න දෙවි මට කොයි තරම් උදව් කරයිද කියලා මට හිතුණා.”
ඔබ කරන සේවයට දෙවි ආශීර්වාද කරයි
ඔබ වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන එකෙන් කැමැත්තෙන්ම ඉවත් වුණු කෙනෙක්ද? එහෙම කළේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසාද? ජීවිතේ අනිත් දේවල් ඔබට වැදගත් කියලා හිතුණු නිසාද? අනිත් අයගේ අඩුපාඩු දැකලා අධෛර්යය වුණු නිසාද? හේතුව මොකක් වුණත් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරපු කාලේ සහෝදරයන්ට උදව් කරන්න ඔබට වැඩිපුර අවස්ථා තිබුණා කියන දේ මතක තියාගන්න. ඔබ දීපු කතාවලින් අනිත් අය ශක්තිමත් වෙන්න ඇති. ඔබේ ආදර්ශයෙන් ඔවුන් ඉගෙනගන්න ඇති. ඒ වගේම සභාවේ අයව හමු වෙලා දිරිගන්වද්දී පීඩා විඳදරාගන්න ඒක උදව්වක් වෙන්න ඇති. විශ්වාසවන්ත වැඩිමහල්ලෙක් හැටියට ඔබ කරපු සේවය ගැන යෙහෝවා දෙවි සතුටු වුණා. ඔබටත් ඒ ගැන සතුටක් දැනුණා නේද?
හුඟක් අයට ආයෙත් වැඩිමහල්ලන් විදිහට සේවය කරන්න හිතේ ආශාවක් ඇති කරගන්න යෙහෝවා දෙවි උදව් කරලා තියෙනවා. සභාවේ වගකීම්වලින් ඔබ කැමැත්තෙන්ම ඉවත් වුණු කෙනෙක් වුණත් ඉවත් කරපු කෙනෙක් වුණත් “සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට වෑයම්” කරන්න ඔබට පුළුවන්. (1 තිමෝ. 3:1) දෙවිගේ කැමැත්ත පිළිබඳ පූර්ණ හා නිවැරදි දැනුමක් ලබාගෙන ‘යෙහෝවා දෙවිව සියල්ලේදී සතුටු කරමින් ඔහුට ඔබින ආකාරයකින් ජීවිතය ගත කිරීමට’ කොලොස්සියේ හිටපු ක්‍රිස්තියානීන්ට උදව් කරන්න කියලා පාවුල් ‘නිරතුරුවම යාච්ඤා කළා.’ (කොලො. 1:9, 10) වැඩිමහල්ලෙක් විදිහට ආයෙත් සේවය කරන්න දැනටමත් ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා නම් ඉවසීමෙන්, සතුටෙන් ඒ සේවය කරන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න. මේ අවසාන කාලේ දෙවිගේ සෙනඟව ආදරෙන් රැකබලා ගන්න ප්‍රේමණීය එඬේරුන් අවශ්‍යයි. සහෝදරයන්ට ශක්තියක් වෙන්න ඔබට පුළුවන්ද? ඒක කරන්න ඔබ කැමතිද?
^ 3 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.