Skip to content

පටුනට යන්න

ඔබටත් “නියම වේලාවට ආහාර” ලැබෙනවද?

ඔබටත් “නියම වේලාවට ආහාර” ලැබෙනවද?

අද අපි ජීවත් වෙන්නේ අසීරු කාලයකයි. (2 තිමෝ. 3:1-5) යෙහෝවා දෙවිට ඇති ආදරයත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න අපිට තියෙන අධිෂ්ඨානයත් හැමදාම පරීක්ෂාවට ලක් වෙනවා. ඒ ගැන කලින්ම දැනගෙන හිටපු යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පොරොන්දු වුණා අවසානය දක්වාම විඳදරාගන්න අවශ්‍ය දිරිගැන්වීම් ලබා දෙනවා කියලා. (මතෙ. 24:3, 13; 28:20) කියපු විදිහටම දෙවිත් එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න අවශ්‍ය කරන ‘ආහාර නියම වේලාවට’ දෙන්න යේසුස් විශ්වාසවන්ත දාසයාව පත් කළා.මතෙ. 24:45, 46.

1919 විශ්වාසවන්ත දාසයාව පත් කරපු දා ඉඳන් දෙවිගේ සංවිධානයට විවිධ භාෂා කතා කරන මිලියන ගාණක් “මෙහෙකරුවන්” එකතු වුණා. ඒ හැමෝටම අවශ්‍ය කරන පෝෂණය නොඅඩුව ලබා දෙන්න දාසයා වගබලා ගත්තා. (මතෙ. 24:14; එළි. 22:17) කොහොමවුණත් දාසයා ලබා දෙන හැම ප්‍රකාශනයක්ම සමහර භාෂාවලින් නැහැ. ඒ වගේම දාසයා විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කරන දේවල් ලබාගන්න හැමෝටම බැහැ. උදාහරණෙකට jw.org කියන අපේ වෙබ් අඩවියේ තියෙන ලිපි, වීඩියෝ බලන්න සමහරුන්ට පහසුකම් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන පෝෂණය ඒ අයට අඩුවෙන් ලැබෙනවා කියන එකද? ඒ ගැන දැනගන්න උදව් වෙන ප්‍රශ්න හතරකුත් ඒවාට උත්තරත් දැන් අපි බලමු.

 1. යෙහෝවා දෙවි අපිව පෝෂණය කරන්න යොදාගන්න ප්‍රධානම සැපයුම මොකක්ද?

ගල් රොටි කරන්න කියලා සාතන් යේසුස්ට කියපු වෙලාවේ යේසුස් කිව්වේ “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතම” කියලයි. (මතෙ. 4:3, 4) දෙවි පවසන දේවල් තියෙන්නේ බයිබලේ. (2 පේතෘ. 1:20, 21) ඒ නිසා දෙවි අපිට පෝෂණය දෙන්න යොදාගන්න ප්‍රධානම දේ බයිබලයයි.2 තිමෝ. 3:16, 17.

යෙහෝවා දෙවිගේ සංවිධානය මේ වෙනකොට ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම නැත්නම් කොටසක් විදිහට භාෂා 120කට වැඩි ගාණකින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හැම අවුරුද්දකම තවත් භාෂා එකතු වෙනවා. ‘නව ලොව පරිවර්තනයට’ අමතරව වෙනත් පරිවර්තන භාෂා දහස් ගාණකින් තියෙනවා. ඒවා සම්පූර්ණ බයිබලේ හැටියට නැත්නම් කොටසක් හැටියට බිලියන ගාණක් බෙදාහැරලා තියෙනවා. ඒකට හේතුව “සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” දෙවිගේ කැමැත්ත වෙන නිසයි. (1 තිමෝ. 2:3, 4) මිනිසුන්ගේ හිත් දෙවි දකින නිසා “දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින” අයට තමන්ට ළං වෙන්න දෙවි අවස්ථාව දෙනවා. ඔවුන්ට අවශ්‍ය පෝෂණය තම සංවිධානය මාර්ගයෙන් දෙන්න ඔහු පියවර ගන්නවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ.මතෙ. 5:3, 6; යොහ. 6:44; 10:14; හෙබ්‍රෙ. 4:13.

2. අවශ්‍ය පෝෂණය ලබා දෙන්න අපේ ප්‍රකාශන උදව් වෙන්නේ කොහොමද?

කෙනෙක්ට දෙවි ගැන තියෙන විශ්වාසය තවත් වැඩි කරගන්න නම් බයිබලය කියවලා විතරක් මදි. කියවපු දේ තේරුම් අරගෙන ඒක ජීවිතේට අදාළ කරගන්නත් ඕනේ. (යාකො. 1:22-25) ඉතියෝපියානු නිලධාරියා දේවවචනය කියවමින් ඉන්නකොට ෆිලිප් ඔහුගෙන් “ඔබ කියවන දේ ඔබට ඇත්තටම වැටහෙනවාද” කියලා ඇහුවා මතකද? එතකොට ඔහු කිව්වේ “කාගෙවත් මඟ පෙන්වීමක් නැතුව මේ දේවල් මම කොහොමද තේරුම්ගන්නේ” කියලයි. (ක්‍රියා 8:26-31) ඊටපස්සේ දේවවචනය නිවැරදිව තේරුම්ගන්න ෆිලිප් ඔහුට උදව් කළා. ඉගෙනගත්ත දේවල් ඔහුගේ හිතට කාවැදුණු නිසා ඔහු බව්තීස්ම වුණා. (ක්‍රියා 8:32-38) සත්‍යය ගැන නිවැරදි අවබෝධය ලබාගන්න අපේ ප්‍රකාශන අපිටත් උදව් කරනවා. එවායේ තියෙන තොරතුරු අපේ හිතටම කතා කරන නිසා ඒවා ජීවිතේට අදාළ කරගන්න අපි පෙලඹෙනවා.කොලො. 1:9, 10.

සංවිධානය සපයන ප්‍රකාශනවලින් දෙවිගේ සෙනඟට ඇති තරම් පෝෂණය ලැබෙනවා. (යෙසා. 65:13) උදාහරණෙකට භාෂා 210කට වැඩි ගාණකින් ප්‍රකාශයට පත් කරන ‘මුරටැඹ’ සඟරාව මගින් බයිබලේ සඳහන් අනාවැකි, ගැඹුරු කාරණා තව හොඳින් පැහැදිලි කරලා දෙනවා. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන විදිහ කියලා දෙනවා. භාෂා 100කින් විතර මුද්‍රණය කරන ‘පිබිදෙව්!’ සඟරාව දෙවිගේ නිර්මාණ ගැන අපේ දැනුම තවත් වැඩි කරනවා. ඒ වගේම බයිබලේ සඳහන් කාරණා ප්‍රායෝගිකව ජීවිතේට අදාළ කරගන්න පුළුවන් විදි ගැන කියලා දෙනවා. (හිතෝ. 3:21-23; රෝම 1:20) විශ්වාසවන්ත දාසයා මේ වෙනකොට භාෂා 680කට වඩා වැඩි ගාණකින් අපේ ප්‍රකාශන බෙදාහරිනවා. ඔබත් දිනපතාම බයිබලේ කියවන්න කාලය වෙන් කරනවද? ඔබේ භාෂාවෙන් ඔබේ අතට පත් වෙන හැම අලුත් සඟරාවක්ම, හැම අවුරුද්දකම මුදාහරින ප්‍රකාශන ඔබ කියවනවද?

පොත් පත්වලට අමතරව දෙවිගේ සංවිධානය මගින් රැස්වීම්වලදී, සමුළුවලදී ඉදිරිපත් කරන දේශනවලට අවශ්‍ය දළසටහන් සපයනවා. ඒ දේශනවලින්, නාට්‍යවලින්, නිරූපණවලින්, අද්දැකීම්වලින් ඔබ දිරිගැන්වීමක් ලබන්නේ නැද්ද? අපිව පෝෂණය කරන්න දෙවි සංවිධානය මාර්ගයෙන් ලබා දෙන දේවල් දිහා බලද්දී දෙවි අපි වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ විශාල භෝජන සංග්‍රහයක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?යෙසා. 25:6.

 3. සංවිධානය නිකුත් කරන හැම ප්‍රකාශනයක්ම ඔබේ භාෂාවෙන් ලැබෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඔබට ලැබෙන පෝෂණයේ යම් අඩුවක් තියෙනවා කියන එකද?

නැහැ. දෙවිගේ සමහර සේවකයන්ට අනිත් අයට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් සමහර අවස්ථාවලදී ලැබෙනවා කියන කාරණය ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ. උදාහරණෙකට පළවෙනි සියවසේ හිටපු හුඟක් අනුගාමිකයන්ට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් යේසුස්ගේ නියෝජිතයන්ට යේසුස්ගෙන් ලැබුණා. (මාක් 4:10; 9:35-37) ඒත් අනිත් අනුගාමිකයන්ට පෝෂණය අඩු වුණා කියලා ඒකෙන් අදහස් කළේ නැහැ. අවශ්‍ය පෝෂණය ඔවුන්ටත් නොඅඩුව ලැබුණා.—එෆී. 4:20-24; 1 පේතෘ. 1:8.

ඒ වගේම යේසුස් පොළොවේ ඉද්දී කරපු කියපු හැම දෙයක්ම බයිබලේ සඳහන් වෙලා නැහැ. ඒ ගැන යොහන් මෙහෙම කිව්වා. “ඇත්තෙන්ම යේසුස් කළ තවත් බොහෝ දේ ඇත. ඒ පිළිබඳ සෑම විස්තරයක්ම ලිවීමට උත්සාහ කළොත් ඒ ලියවිලි ගබඩා කිරීමට මුළු ලෝකයම ප්‍රමාණවත් නොවන බව සිතමි.” (යොහ. 21:25) පළවෙනි සියවසේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් යේසුස් ගැන අපි දන්නවට වඩා තොරතුරු දැනගෙන හිටියා. ඒත් අපිට යම් අඩුවක් තියෙනවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. මොකද යේසුස්ගේ අඩි පාරේ යන්න අවශ්‍ය කරන තොරතුරු අපිට ලබා දෙන්න යෙහෝවා දෙවි වගබලා ගත්තා.1 පේතෘ. 2:21.

නියෝජිතයන් සභාවලට යවපු ලිපි ගැනත් හිතන්න. පාවුල් සභාවලට යවපු ලිපිවලින් වැඩි ප්‍රමාණයක් බයිබලයට ඇතුළත් කරලා තිබුණත් සමහර ඒවා, අඩුතරමේ එකක් හරි බයිබලේට ඇතුළත් කරලා නැහැ. (කොලො. 4:16) ඒ ලිපිය නැහැ කියලා අපිට ලැබෙන පෝෂණයේ අඩුවක් තියෙනවද? නැහැ. අපිට ඕන කරන්නේ මොනවද කියලා යෙහෝවා දෙවි දන්නවා. අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න ඕන කරන දේවල් ඇති තරම් ඔහු සපයලා තියෙනවා.මතෙ. 6:8.

අපිට ඕන කරන්නේ මොනවද කියලා යෙහෝවා දෙවි දන්නවා. අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න ඕන කරන දේවල් ඇති තරම් ඔහු සපයලා තියෙනවා

අදත් දෙවිගේ සේවකයන් සමහරදෙනෙක්ට දෙවිගේ සංවිධානය සපයන දේවල් අනිත් අයට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. ඒත් ඔබේ භාෂාවෙන් ලැබෙන්නේ ඒවායින් කීපයක් විතරයි නම් ඒ ගැන දුක් වෙන්න එපා. යෙහෝවා දෙවි ඔබ ගැන සැලකිලිමත් කියන දේ මතක තියාගන්න. ඔබට දැනටමත් ලැබිලා තියෙන පොත් පත් අධ්‍යයනය කරන්න. ඔබට තේරුම්ගන්න පුළුවන් භාෂාවකින් පවත්වන රැස්වීම්වලට සහභාගි වෙන්න. ඔබේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න ඕන කරන පෝෂණය යෙහෝවා දෙවි ලබා දෙනවා කියන දේ ගැන ස්ථිර වෙන්න.ගීතා. 1:2; හෙබ්‍රෙ. 10:24, 25.

4. jw.org වෙබ් අඩවියට පිවිසෙන්න ඔබට පහසුකම් නැත්නම් ඔබේ විශ්වාසය දුර්වල වෙන්න ඒක හේතුවක් වෙයිද?

අපේ සඟරා, බයිබලේ අධ්‍යයනය කරන්න උදව් වෙන ප්‍රකාශන අපේ වෙබ් අඩවියේ තියෙනවා. විවාහක යුවළයන්ට, යෞවනයන්ට, දරුවන්ට අවශ්‍ය කරන තොරතුරුත් ඒකේ තියෙනවා. ඒ තොරතුරු පවුලේ නමස්කාරයේදී යොදාගෙන හුඟක් පවුල් ප්‍රයෝජන ලබනවා. ගිලියද් පාසැලේ පැවරුම් ලබා දෙන අවස්ථාව, වාර්ෂික රැස්වීම වගේ විශේෂ වැඩසටහන් ගැන තොරතුරුත් ඒකට ඇතුළත් කරනවා. ස්වාභාවික විපත් ගැන, සාක්ෂිකරුවන් හා සම්බන්ධ නීතිමය කාරණා ගැන අලුත්ම වාර්තා ඒකේ තියෙනවා. (1 පේතෘ. 5:8, 9) ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ලොව පුරා ව්‍යාප්ත කරන්න මේ වෙබ් අඩවියෙන් විශාල කාර්යයක් සිද්ධ වෙනවා. දේශනා කිරීමේ වැඩේට සීමා පනවලා නැත්නම් ඒක තහනම් කරලා තියෙන රටවල අයට ශුභාරංචිය ගැන දැනගන්න අපේ වෙබ් අඩවිය ලොකු උපකාරයක්.

කොහොමවුණත් අපේ වෙබ් අඩවියට පිවිසෙන්න ඔබට පහසුකම් තිබුණත් නැතත් ඔබේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න පුළුවන්. අපි හැමෝටම අවශ්‍ය පෝෂණය දෙන්න ඕන කරන පොත් පත් මුද්‍රණය කරන්න දාසයා උපරිම උත්සාහයක් දරනවා. ඒ නිසා අපේ වෙබ් අඩවියට පිවිසෙන්න ඕන නිසාම ඒකට අවශ්‍ය උපකරණ මිලදී ගන්න එක අත්‍යවශ්‍යයි කියලා හිතන්න එපා. වෙබ් අඩවියේ පළ වෙන ලිපි මුද්‍රණය කරලා ඒවා නැති අයට දෙන්න පෞද්ගලිකව යම් යම් සැලසුම් කරන්න පුළුවන් වුණත් සභාවෙන් ඒ වගේ සැලැස්මක් ඇති කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.

අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න ඕන කරන දේවල් සපයනවා කියලා යේසුස් දුන්න පොරොන්දුව ඔහු ඒ විදිහටම ඉටු කරන එක ගැන අපි කොයි තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද! මේ දුෂ්ට සමාජයේ අවසානය දිනෙන් දින ළං වෙද්දී අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න අවශ්‍ය කරන ‘ආහාර නියම වෙලාවට’ දෙවි දිගටම සපයයි කියන දේ ගැන අපිට කිසිම සැකයක් නැහැ.