Skip to content

පටුනට යන්න

 අතීතයෙන් බිඳක්

සත්‍යය දැනගන්න උදව් කරපු “යුරේකා වැඩසටහන”

සත්‍යය දැනගන්න උදව් කරපු “යුරේකා වැඩසටහන”

“ඒක මට හම්බ වුණා” කියන අදහස ඇති “යුරේකා” කියන වචනය 19වෙනි සියවසේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ හිටපු වැඩිදෙනෙක්ගේ මුවින් පිට වූ වචනයක්. රන් පතල්වල වැඩ කරපු කෙනෙක්ට රත්තරන් හමු වූ විට ඒ සතුට ප්‍රකාශ කළේ ඒ වචනය කියායි. නමුත් රන්වලට වඩා වටින දෙයක් චාල්ස් ටී. රසල් ඇතුළු බයිබල් ශිෂ්‍යයන් පිරිසකට හමු වුණා. ඒ බයිබලයේ සඳහන් සත්‍යයන්. ඒ සත්‍යයන් අන් අයට කියන්න ඔවුන්ට තිබුණේ පුදුම උද්‍යෝගයක්.

1914 වන විට විශාල නගරවල විකාශනය කළ “දෙවිගේ නිර්මාණ පිළිබඳ ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” (“ෆොටෝ ඩ්‍රාමා”) මිලියන ගණනක් නරඹා තිබුණා. බයිබල් ශිෂ්‍යයන් නිර්මාණය කළ පැය 8ක් පුරා දිව ගිය එම වැඩසටහනට රූගත කළ දර්ශන, වර්ණ ගැන්වූ වීදුරු කාච, සිත් ඇදගන්නා පසුබිම් කථනය, බයිබලය මත පදනම් දේශන සහ මියුරු සංගීතය ඇතුළත් වුණා. දෙවිගේ නිර්මාණවල ආරම්භයේ පටන් දහස් අවුරුදු පාලනයේ අවසානය දක්වා බයිබලයේ සඳහන් තොරතුරු එයින් මනා ලෙස කියා දුන්නා.—එළි. 20:4. *

එම වැඩසටහනේ තිබූ චලන රූප දර්ශන ඉවත් කර එය තව කෙටි කර බයිබල් ශිෂ්‍යයන් 1914 අගෝස්තු මාසයේදී “යුරේකා වැඩසටහන” යන නමින් තවත් වැඩසටහනක් නිපදෙව්වා. ඔවුන්ගේ අරමුණ වුණේ ගම්බද පළාත්වල සිටි අයටත් සත්‍යය ගැන දැනගන්න අවස්ථාව ලබා දෙන එකයි. භාෂා කිහිපයකින්ම තිබුණ, ලෙහෙසියෙන් තැනින් තැනට ගෙන යා හැකි එම වැඩසටහන “යුරේකා X,” “යුරේකා Y” සහ “යුරේකා පවුලේ වැඩසටහන” ලෙස කෙටි වැඩසටහන් තුනකට වෙන් කර තිබුණා. “යුරේකා X” වැඩසටහනේ තිබුණේ පටිගත කළ පසුබිම් කථනය හා සංගීතය පමණයි. “යුරේකා Y” වැඩසටහනට වර්ණ ගැන්වූ වීදුරු කාච, පටිගත කළ දේශන ඇතුළත් වුණා. “යුරේකා පවුලේ වැඩසටහනට” ඇතුළත් වුණේ පසුබිම් කථනයෙන් තෝරාගත් කොටස් සහ ගීතිකායි.

වර්ණ ගැන්වූ වීදුරු කාච දර්ශන පෙන්වීමට යොදාගත් ප්‍රොජෙක්ටරය

“යුරේකා වැඩසටහන” විකාශනය කිරීමට විශාල ප්‍රොජෙක්ටර් යන්ත්‍ර, තැටි වාදන යන්ත්‍ර හෝ විශාල තිර අවශ්‍ය වුණේ නැහැ. ශබ්දය පමණක් තිබූ “යුරේකා X” වැඩසටහන දිවා රෑ දෙකේම විකාශනය කිරීමට හැකියාව ලැබුණා. “යුරේකා Y” වැඩසටහන විකාශනය කිරීමට යොදාගත් කුඩා ප්‍රොජෙක්ටරය සඳහා ඔවුන්ට විදුලිය අත්‍යවශ්‍ය වුණේ නැහැ. ඔවුන් ඒ සඳහා වෙන ක්‍රම යොදාගත්තා.

රංග ශාලා කුලියට ගන්නවා වෙනුවට පන්ති කාමරවල, උසාවි ගොඩනැඟිලිවල, දුම්රිය ස්ථානවල, විශාල ගෙවල්වල ඒවා විකාශනය කරන්න අවස්ථාව ලැබුණා.  තවත් බොහෝ දර්ශන ගොවිපොළවල් වැනි එළිමහන් ස්ථානවලත් විකාශනය කළා. ඔවුන් තිරය සඳහා යොදාගත්තේ සුදු රෙද්දක්. ඇන්තනි හැම්බුක් කියන සහෝදරයා මෙහෙම කියනවා. “සමහර ගොවීන් ඒගොල්ලන්ගේ පළතුරු වතුවල කොට දාලා ඉඳගන්න පුළුවන් විදිහට හදලා තිබුණු නිසා හුඟදෙනෙක් සතුටින් ඒ වැඩසටහන් නැරඹුවා.” “යුරේකා වැඩසටහන” විකාශනය කරපු කණ්ඩායම ඔවුන්ගේ බඩුමුට්ටු තැනින් තැනට රැගෙන ගියේ ඒ සඳහාම සකස් කර තිබූ කරත්තයකයි.

ඇමරිකාවේ 150දෙනෙක් හිටපු කුඩා නගරයක තිබූ පාසැලක මේ වැඩසටහන නරඹන්න 400දෙනෙක් පැමිණ සිටියා. තවත් ස්ථානයක එය නරඹන්න සමහරුන් කි.මී. 8ක පමණ දුරක් ඇවිදගෙන පැමිණියා. ස්වීඩනයේ සිටි ෂාලට් ඇල්බග්ගේ නිවසේ එය විකාශනය කළ අවස්ථාවේදී එයට සවන් දුන් ඇගේ අසල්වැසියන් තුළ සත්‍යය ගැන තවත් දැනගන්න ලොකු ආශාවක් ඇති වුණා. ඕස්ට්‍රේලියාවේ තිබූ පිටිසර නගරයක එය නරඹන්න 1,500ක පමණ පිරිසක් පැමිණියා. “පාසැල්වල සිටි ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන් වැඩසටහන දැකලා පුදුමයට පත් වුණා” කියා වාර්තා වුණා. සිනමා ශාලාවල එම වැඩසටහන ජනප්‍රිය අංගයක් වී තිබුණා.

සත්‍යයේ බීජ පැළ කිරීමට උදව්වක්

රැස්වීම් පැවැත්වීමට අලුත් ප්‍රදේශවලට ගිය බයිබල් ශිෂ්‍යයන්ටත් මේ වැඩසටහන බොහෝ උපකාරවත් වුණා. රැස්වීම්වලදී විකාශනය කළ “යුරේකා වැඩසටහන” අසන්න, දකින්න කොයි තරම් පිරිසක් පැමිණියාද කියා නිශ්චිතවම පැවසිය නොහැකි වුණත් එය නිතරම වගේ විකාශන කළ බව නම් හොඳින්ම දන්නා කරුණක්. 1915 වන විට එම වැඩසටහන විකාශනය කළ කණ්ඩායම් 86 අතරින් පැමිණි ප්‍රේක්ෂකයන්ගේ ගණන වාර්තා කළේ කණ්ඩායම් 14ක් පමණයි. එමනිසා පැමිණි මුළු ගණන නිශ්චිතවම පැවසිය නොහැකි වුණත් 1915 අවසන් වන විට මිලියනයකට වැඩි පිරිසක් එම වැඩසටහන අසා හෝ නරඹා තිබුණා. ඒ අතරින් 30,000ක් පමණ අපේ ප්‍රකාශන ලබාගත්තා.

“ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන තරම් ඓතිහාසික මං සලකුණු තබන්න “යුරේකා වැඩසටහනට” නොහැකි වුණත් ලොව පුරාම සිටින මිලියන ගණනක්දෙනා එම වැඩසටහන නරඹා තිබුණා. රත්තරන් හමු වූ විට “යුරේකා” කියා සතුටින් කෑගැසූ අයටත් වඩා වැඩි සතුටක් එම වැඩසටහන නිසා සත්‍යය දැනගත් අයට ඇති වූ බව නම් නිසැකයි.

^ 4 ඡේ. 2014 පෙබරවාරි 15 ‘මුරටැඹ’ සඟරාවේ 30-32 පිටුවල ඇති “අතීතයෙන් බිඳක් - සියවස සැපිරූ සල රූ සේයා” යන ලිපිය බලන්න.