Skip to content

පටුනට යන්න

කොහේ හිටියත් දෙවිගේ හඬ ඔබට ඇහෙනවද?

කොහේ හිටියත් දෙවිගේ හඬ ඔබට ඇහෙනවද?

“ඔබට පිටුපසින් මෙසේ කියන හඬක් ඇසෙයි. ‘ජනයෙනි, යා යුතු හරි මඟ මම ඔබට පෙන්වන්නෙමි.’”යෙසා. 30:21.

1, 2. යෙහෝවා දෙවි තම සේවකයන්ට කතා කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවි ඉතිහාසය පුරාම විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරවලින් මඟ පෙන්වීම් දීලා තියෙනවා. දේවදූතයන් මාර්ගයෙන්, දර්ශනවලින්, සිහිනවලින් ඔහු අනාගතය ගැන යම් දේවල් දැනුම් දුන්නා. යම් පැවරුම් භාර දුන්නා. (ගණන්. 7:89; එස. 1:1; දානි. 2:19) ඔහු තමන්ව නියෝජනය කරන්න යම් පුද්ගලයන්ව තෝරගෙන ඔවුන් මාර්ගයෙනුත් මඟ පෙන්වීම් දීලා තියෙනවා. ඒවා පිළිගත්ත අයට හුඟක් ආශීර්වාද ලැබුණා.

2 අද දිනත් යෙහෝවා දෙවි තම බලය, බයිබලය සහ සභාව මාර්ගයෙන් අපිට මඟ පෙන්වීම් දෙනවා. (ක්‍රියා 9:31; 15:28; 2 තිමෝ. 3:16, 17) ඒ මඟ පෙන්වීම් කොයි තරම් පැහැදිලිද කියනවා නම් “යා යුතු හරි මඟ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න” කියලා යෙහෝවා දෙවිම කියනවා වගේ අපිට දැනෙනවා. (යෙසා. 30:21) දෙවි අපිට කතා කරන්න යේසුස්වත් යොදාගන්නවා. ඒ කොහොමද? සභාවේ නායකයා හැටියට පත් කරලා තියෙන්නේ යේසුස්වයි. ඔහු “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් අපිට කතා කරනවා. (මතෙ. 24:45) ඒ මඟ පෙන්වීම් අපි බැරෑරුම්ව සලකන්න ඕනේ. මොකද සදාකාල ජීවනය ලැබෙනවද නැද්ද කියන දේ රඳා පවතින්නේ ඒ දේ මතයි.හෙබ්‍රෙ. 5:9.

3. යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට සම්පූර්ණයෙන්ම කීකරු වෙන එකෙන් අපිව වළක්වන්නේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 දෙවිගේ මඟ පෙන්වීම් අපේ ජීවිත ගලවනවා කියලා සාතන් දන්නවා. ඒ නිසා ඔහු හදන්නේ දෙවිගේ හඬ අපිට ඇහෙන්න නොදී ඒකට  බාධා කරන්නයි. ඒ වගේම අපේ ‘රැවටිලිකාර හිත’ දෙවිගේ මඟ පෙන්වීම් ඉක්මනින් අදාළ කරගෙන ඒවාට සම්පූර්ණයෙන්ම කීකරු වෙන එකෙන් අපිව වළක්වනවා. (යෙරෙ. 17:9) දෙවිගේ හඬ ඇහෙන එකෙන් අපිව වළක්වන බාධක ජය ගන්නේ කොහොමද කියලා අපි බලමු. යෙහෝවා දෙවිට සවන් දෙන එකත් යාච්ඤාවෙන් ඔහු එක්ක කතා කරන එකත් දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න උදව් වෙන්නේ කොහොමද කියලත් බලමු.

සාතන්ගේ උපායන්වලට හසු නොවී ඉන්න

4. මිනිසුන් හිතන විදිහ වෙනස් කරන්න සාතන් උත්සාහ කරන්නේ කොහොමද?

4 වැරදි තොරතුරු යොදාගෙන මිනිසුන් හිතන විදිහ වෙනස් කරන්න සාතන් උත්සාහ කරනවා. (1 යොහන් 5:19 කියවන්න.) විවිධාකාර පුවත්පත්, සඟරා, පොත්, රේඩියෝ චැනල්, TV චැනල් සහ ඉන්ටර්නෙට් එක මගින් තොරතුරු ලෝකෙ පුරාම බෙදාහරිනවා. ඒ අතර ප්‍රයෝජනවත් තොරතුරු නැතුවමත් නෙමෙයි. ඒත් ඒවායින් වැඩි හරියකම තියෙන්නේ දෙවිගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව වැඩ කරන්න අපිව පොලඹවන ඒවායි. (යෙරෙ. 2:13) උදාහරණෙකට අද ජනමාධ්‍යයවලින් සමලිංගික විවාහයන් වැරදි නැහැ කියලා හිතන්න සලස්වනවා. ඒ නිසා බයිබලේ සමලිංගික ක්‍රියා හෙළාදැකලා තියෙන එක සාධාරණ නැහැ කියලා හිතන්න හුඟක් අය පෙලඹෙනවා.1 කොරි. 6:9, 10.

5. සාතන්ගේ බොරු ප්‍රචාරයන්වලට හසු නොවී ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

5 සාතන්ගේ බොරු ප්‍රචාරයන්වලට හසු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද? හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා අපි දැනගන්නේ කොහොමද? “තමන්ගේ සෑම ක්‍රියාවක්ම [දෙවිගේ] ආඥාවන්ට එකඟද කියා සෝදිසි කර බැලීමෙන්” ඒක කරන්න පුළුවන් කියලා බයිබලේ කියනවා. (ගීතා. 119:9) සාතන්ගේ බොරු ප්‍රචාරයන්ට හසු නොවී සත්‍යය මොකක්ද කියලා හඳුනගන්න දේවවචනය අපිට උදව් කරනවා. (හිතෝ. 23:23) යේසුස් කිව්වේ “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ . . . යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතම” කියලයි. (මතෙ. 4:4) යෙහෝවා දෙවි අපිට ප්‍රයෝජනවත් වෙන ප්‍රතිපත්ති බයිබලේ සඳහන් කරලා තියෙනවා. ඒවා ජීවිතේට අදාළ කරගන්න අපි ඉගෙනගන්න ඕනේ. යෝසෙප් ගැන හිතන්න. ඔහු ජීවත් වුණු කාලයේ අනාචාරය වැරදියි කියලා දෙවි නීතියක් දීලා තිබුණේ නැහැ. ඒත් විවාහය ගැන දෙවි හිතපු විදිහ යෝසෙප් තේරුම් අරන් හිටියා. පොතිෆර්ගේ බිරිඳ ඔහුව කොයි තරම් වරදට පොලඹවාගන්න හැදුවත් දෙවිට අකීකරු වෙන්න ඔහු කොහෙත්ම අකමැති වුණේ ඒ නිසයි. (උත්පත්ති 39:7-9 කියවන්න.) සෑහෙන කාලයක් තිස්සේ ඇය ඔහුව පොලඹවාගන්න උත්සාහ කළත් ඇයගේ හඬට වඩා යෝසෙප්ට ඇහුණේ දෙවිගේ හඬයි. අපිත් සාතන්ගෙන් ඇහෙන හඬට වඩා යෙහෝවා දෙවිගේ හඬට සවන් දෙන්න උත්සාහ කරන්න ඕනේ.

6, 7. සාතන්ගේ දුෂ්ට මඟ පෙන්වීම්වලට හසු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

6 අද ලෝකෙ තියෙන දහස් ගාණක් ආගම් විවිධාකාර මතිමතාන්තර ඉදිරිපත් කරන නිසා හරි ආගම හොයාගන්න එක අමාරු දෙයක් කියලා හුඟක් අය හිතනවා. ඒත් යෙහෝවා දෙවිගේ හඬට සවන් දෙන්න අපි කැමැත්තෙන් ඉන්නවා නම් සත්‍යය හොයාගන්න දෙවි උදව් කරනවා. ඇහුම්කන් දෙන්නේ කාටද කියලා තීරණය කරන්න ඕනෙ අපියි. එකම වෙලාවේ හඬවල් දෙකකට අවධානය දෙන්න බැහැ. ඒ නිසා හරියට බැටළුවෙක් තමන්ගේ එඬේරාගේ  හඬ හඳුනනවා වගේ අපේ එඬේරා විදිහට දෙවි පත් කරලා තියෙන යේසුස්ගේ හඬ අපි හඳුනගන්න ඕනේ.යොහන් 10:3-5 කියවන්න.

7 “ඔබ දැන් සවන් දෙන දේවල් හොඳින් සිතට ගන්න” කියලා යේසුස් කිව්වා. (මාක් 4:24) යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැහැදිලියි. නිවැරදියි. ඒත් ඒවා පිළිගන්න නම් අපි ඒවාට හොඳින් සවන් දීලා ඒවා පිළිගන්න පුළුවන් විදිහට අපේ හදවත සකස් කරගන්න ඕනේ. අපි පරෙස්සම් වුණේ නැත්නම් දෙවිගේ ආදරණීය මඟ පෙන්වීම් වෙනුවට සාතන්ගේ දුෂ්ට මඟ පෙන්වීම්වලට හසු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ලෝකය ඉදිරිපත් කරන සංගීතයට, රූපවාහිනී වැඩසටහන්වලට, පොත් පත්වලට, ආශ්‍රය කරන අයට, ගුරුවරුන්ට වගේම ප්‍රවීණයන් හැටියට සලකන අයට ඔබේ ජීවිතය හසුරුවන්න ඉඩ දෙන්න එපා.කොලො. 2:8.

8. (අ) අපිව හසු කරගන්න සාතන් අපේම හදවත අතකොළුවක් කරගන්නේ කොහොමද? (ආ) අපේ හදවතේ රෝග ලක්ෂණ අපි නොසලකාහැරියොත් වෙන්න පුළුවන් අනතුර මොකක්ද?

8 අපිට පව්කාරකම උරුම වෙලා තියෙන නිසා වැරදි දේවල් කරන්න අපි තුළ නැඹුරුවාවක් තියෙනවා කියලා සාතන් දන්නවා. ඒ නිසා අපේ දුර්වලකම හඳුනගෙන අපිව වරදකට පොලඹවන්න සාතන් උත්සාහ කරනවා. ඔහු ගේන පරීක්ෂාවලට හසු නොවී දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න එක ලේසි දෙයක් නෙමෙයි. (යොහ. 8:44-47) මේ ගැන හිතන්න. ඔබේ සේවය අඩු වෙලාද? යාච්ඤා කරන පුරුද්ද නැති වෙලාද? රැස්වීම් අතපසු වෙනවද? එහෙමනම් ඒවා අපේ හදවත කලින් තරම් හොඳ තත්වයේ නැහැ කියලා පෙන්නන රෝග ලක්ෂණ වගේ. ඒවා නොසලකාහරින එක අනතුරුදායකයි. අපි සෝදිසියෙන් හිටියේ නැත්නම් ටිකෙන් ටික අපිට දෙවිගේ හඬ ඇහෙන්නෙම නැතුව යයි. අන්තිමේදී අපේම ආශාවන්ට හසු වෙලා අපි කවදාවත් කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු වැරදි දෙයක් වුණත් අපේ අතින් වෙන්න පුළුවන්. (රෝම 7:15) ඒත් ඒ වගේ භයානක දෙයක් නොවී තියෙන්න නම් අපේ හිතේ රෝග ලක්ෂණ ගැන දැනුම් දෙද්දී ඒකට සවන් දීලා ඉක්මනින්ම අවශ්‍ය පියවර ගන්න ඕනේ. දෙවිගේ හඬට උනන්දුවෙන් සවන් දෙනවා නම් අසත්‍ය ඉගැන්වීම්ලට සවන් දෙන්න අපි කවදාවත් පෙලඹෙන්නේ නැහැ.හිතෝ. 11:9.

9. අපි තුළ තියෙන වැරදි නැඹුරුවාවන් ඉක්මනින්ම හඳුනගන්න එක වැදගත් ඇයි?

9 කෙනෙක්ට බරපතළ අසනීපයක් තියෙනවා කියලා කලින්ම හඳුනගත්තොත් ඒක සුව කරගන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ, බරපතළ වරදකට මඟ පාදන්න පුළුවන් නැඹුරුවාවක් අපි තුළත් තියෙනවා කියලා තේරුණොත් ‘පණපිටින් අල්ලාගත් සතුන් මෙන් යක්ෂයා තමාට කැමති දේ අප ලවා ඉටු කරගැනීමට’ කලින් අපි ඉක්මනින් ඒ වැරදි නැඹුරුවාව අපේ හිතෙන් අයින් කරගන්න ඕනේ. (2 තිමෝ. 2:26) අපේ සිතුවිලි, අපේ ආශාවන් අපිව දෙවිගෙන් ටිකෙන් ටික ඈත් කරලා කියලා තේරුණොත් මොකද කරන්නේ? අපි ඉක්මනින්ම අපේ වැරදි හදාගෙන දෙවි වෙතට ආයෙත් එන්න ඕනේ. ඔහුගේ මඟ පෙන්වීම් පතලා ඒවා අදාළ කරන්න  ඕනේ. (යෙසා. 44:22) කෙනෙක් තමන් කරපු වැරදි හදාගෙන ආයෙත් දෙවි ළඟට ආවත් සමහර වැරදිවලට වේදනාකාරී ප්‍රතිඵල විඳින්න වෙයි. දෙවිව අත්හැරලා ගිහින් පාඩමක් ඉගෙනගන්නවට වඩා දෙවිව කවදාවත් අත්හරින්නේ නැතුව ඉන්න එක කොයි තරම් වටිනවද!

දෙවිට ළං වෙලා ඉන්න එක සාතන්ගේ උගුල්වලට හසු නොවී ඉන්න උදව් වෙන්නේ කොහොමද? (4-9 ඡේද බලන්න)

උඩඟුකම, කෑදරකම ජීවිතෙන් දුරස් කරමු

10, 11. (අ) උඩඟු කෙනෙක් මොන වගේද? (ආ) කෝරා, දාතාන් සහ අබිරාම්ගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

10 අපි තේරුම්ගන්න ඕනෙ වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි දෙවිගෙන් අපිව ඈත් කරන්න අපේ හිතට පුළුවන් කියන දේ. උදාහරණෙකට උඩඟුකම, කෑදරකම වගේ දේවල් අපේ හිතේ ඇති වෙන්න ඉඩහැරියොත් අපි අතින් බරපතළ වැරදි වෙන්න පුළුවන්. උඩඟු කෙනෙක් හිතන්නේ තමන් අනිත් අයට වඩා විශේෂයි කියලා. තමන්ට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලත් හිතනවා. කිසිම කෙනෙක්ගෙන් අඩුම තරමේ සහෝදර සහෝදරියන්ගෙන්, වැඩිමහල්ලන්ගෙන්, දෙවිගේ සංවිධානයෙන් වුණත් තමන්ට උපදෙස් අවශ්‍ය නැහැ කියලත් හිතනවා. එහෙම කෙනෙක්ට දෙවිගේ හඬ ඇහෙන්නේ නැති තරමට දෙවිගෙන් ඈත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

11 ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්වන්න යෙහෝවා දෙවි පත් කළේ මෝසෙස්ව සහ ආරොන්ව. ඒත් කෝරා, දාතාන්, අබිරාම් වගේ අය ඔවුන් තුළ තිබුණු උඩඟුකම නිසාත් ඔවුන්ට කැමති විදිහට දෙවිට නමස්කාර කරන්න ඕන වුණු නිසාත් කැරලිගැහුවා. ඒ නිසා දෙවි ඔවුන්ව විනාශ කළා. (ගණන්. 26:8-10) අපිටත් ඒක පාඩමක්. දෙවිට විරුද්ධව කැරලිගහන එකෙන් වෙන්නේ විනාශයක්. බයිබලේ කියන්නේ “විනාශයට මුල උඩඟුකම” කියලයි.හිතෝ. 16:18; යෙසා. 13:11.

12, 13. (අ) කෑදරකම භයානකයි කියලා පැහැදිලි වෙන සිද්ධියක් කියන්න. (ආ) පොඩි ආශාවක් කෑදරකමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා පැහැදිලි වෙන සිද්ධියක් කියන්න.

12 කෑදරකමත් භයානකයි. කෑදර කෙනෙක් දෙවිගේ මඟ පෙන්වීම් සැහැල්ලුවට ගන්නවා. තමන්ට අයිති නැති දෙයක් ගත්තට කමක් නැහැ කියලා හිතනවා. ගෙහාසීව මතකද? තමන්ගේ ලාදුරු රෝගය සුව කරපු එක ගැන එලිෂාට ස්තුති කරපු නාමන්, ඔහුට මුදල් සහ වටිනා ඇඳුම් කට්ටල කීපයක් තෑගි කළත් එලිෂා ඒවා ගත්තේ නැහැ. ඒත් එලිෂාගේ සේවකයා වුණු ගෙහාසීට ඒ තෑගිවලට ආස හිතුණා. එලිෂාට කියන්නේ නැතුව නාමන්ගේ පස්සෙන් දුවගෙන ගිය ගෙහාසී නාමන්ට බොරු කියලා ඒ තෑගි ඉල්ලගත්තා. මොකක්ද ප්‍රතිඵලය? දඬුවමක් විදිහට ගෙහාසීට ලාදුරු රෝගය වැලඳුණා.2 රාජා. 5:20-27.

13 අපේ හිතේ ඇති වෙන පොඩි ආශාවක් කෑදරකමක් දක්වා වර්ධනය වෙන්න ඉඩ දුන්නොත් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒක අපිට ආකාන්ගේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. තමන් කරපු හොරකම හෙළි වුණාට පස්සේ ආකාන් මෙහෙම කිව්වා. ‘දේශයේ තිබූ වටිනා දේවල් එකතු කරගනිද්දී ෂීනාර් දේශයේ සෑදූ වටිනා, ලස්සන ඇඳුමක්ද රිදී ෂෙකෙල් දෙසීයක්ද ෂෙකෙල් පනහක් බර රත්තරන් පොල්ලක්ද තිබුණා. මට ඒවා දැක්කාම ආස හිතුණා. ඒ නිසා මම ඒවා ගත්තා.’ ආකාන්ට කරන්න තිබුණේ වැරදි ආශාව හිතේ ඇති වුණු වෙලාවෙම ඒක අයින් කරගන්න එකයි. ඒත් එහෙම නොකර ඔහු ඒවා හොරකම් කළා. ප්‍රතිඵලය? දෙවි ඒ වරද හෙළි කළා වගේම ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් ගල් ගහලා මරන්න කියලා අණ කළා. (යොෂු. 7:11, 21, 24, 25) අපි කාට වුණත් ආකාන්ට ඇති වුණා වගේ කෑදරකමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. “විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න” කියලා බයිබලේ කියන්නේ ඒ නිසයි. (ලූක් 12:15) අනාචාරය කියන්නෙත් එක්තරා විදිහක කෑදරකමක්. ඉඳලා හිටලා අපේ හිතට නරක සිතුවිලි එන්න පුළුවන් වුණත් අපි ඒවා පාලනය කරගන්න ඕනේ. එහෙම කළේ නැත්නම් අපි අතින් බරපතළ වරදක් වෙන්න ඉඩ තියෙනවා.යාකොබ් 1:14, 15 කියවන්න.

14. උඩඟුකම, කෑදරකම නිසා වැරදි දෙයක් කරන්න පෙලඹීමක් ඇති වුණොත් කරන්න ඕනෙ මොකක්ද?

14 උඩඟුකම සහ කෑදරකම කියන දෙකෙන්ම වෙන්නේ විනාශයක්. ඒ වගේ වැරදි ආකල්ප වර්ධන වෙන්න ඉඩහැරියොත් ඒකෙන් විඳින්න වෙන ප්‍රතිඵල ගැන හිතන එකත් දෙවිගේ හඬ අපිට ඇහෙන්න උදව් වෙන විදිහක්. (ද්වි. 32:29) හරි දේ කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් වැරදි දේ කළාම ලැබෙන නරක ප්‍රතිඵල  ගැනත් වාර්තා බයිබලේ ඕන තරම් තියෙනවා. උඩඟුකම නිසා නැත්නම් කෑදරකම නිසා වැරදි දෙයක් කරන්න පෙලඹීමක් ඇති වෙන වෙලාවලදී ‘මං මේ දේ කළොත් මට, මං ආදරේ කරන අයට වගේම යෙහෝවා දෙවිත් එක්ක තියෙන මගේ බැඳීමට කොහොම බලපායිද’ කියලා හිතන්න.

යාච්ඤාවෙන් දෙවි එක්ක කතා කරන්න

15. යේසුස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

15 යෙහෝවා දෙවි කැමති අපි සතුටින් ජීවිත ගත කරනවටයි. (ගීතා. 1:1-3) ඒ නිසා ඔහු අපිට හරියටම ගැළපෙන උපදෙස් නියම වෙලාවටම ලබා දෙනවා. (හෙබ්‍රෙව් 4:16 කියවන්න.) යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් දෙවි එක්ක යාච්ඤාවෙන් කතාබහ කරන එක අත්‍යවශ්‍ය දෙයක් විදිහට සැලකුවා. යෙහෝවා දෙවිත් යේසුස්ට අවශ්‍ය මඟ පෙන්වීම් පුදුමාකාර විදිහට ලබා දුන්නා. දෙවි දේවදූතයන්ව එවලා, තමන්ගේ බලය දීලා, නියෝජිතයෝ 12දෙනාව තෝරගන්න මඟ පෙන්නලා විතරක් නෙමෙයි දෙවිම ස්වර්ගයේ ඉඳන් කතා කරලා යේසුස්ට ශක්තියක් වුණා. (මතෙ. 3:17; 17:5; මාක් 1:12, 13; ලූක් 6:12, 13; යොහ. 12:28) යේසුස් වගේ අපිත් නිතරම මුළු හදවතින්ම දෙවිට යාච්ඤා කරන්න ඕනේ. (ගීතා. 62:7, 8; හෙබ්‍රෙ. 5:7) දෙවිට ළංව ජීවත් වෙන්නත් ඔහුට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන්නත් යාච්ඤාව ලොකු උදව්වක්.

16. දෙවිගේ හඬට සවන් දෙන්න දෙවි අපිට උදව් කරන්නේ කොහොමද?

16 යෙහෝවා දෙවි ඔහුගේ මඟ පෙන්වීම් පිළිගන්න කියලා අපිට බල කරන්නේ නැහැ. ඒත් ඒ මඟ පෙන්වීම් ලබාගන්න අපි ඇත්තටම කැමති නම් ඒවා හොයාගන්න දෙවි අපිට උදව් කරනවා. අපි දෙවිගේ බලය ඉල්ලුවොත් ඔහු කැමැත්තෙන්ම ඒක අපිට දෙනවා. (ලූක් 11:10-13 කියවන්න.) බයිබලේ කියන්නේ “ඔබ හොඳින් සවන් දෙනවාද කියා සිතා බලන්න” කියලයි. (ලූක් 8:18) මෙහෙම හිතන්න. අනාචාරයට හසු නොවී ඉන්න අපිට උදව් කරන්න කියලා දෙවිට යාච්ඤා කළත් අපි දිගටම කාමුක දර්ශන, ඒවා ඇතුළත් චිත්‍රපටි බලනවා නම් ඒකෙන් ඔප්පු වෙන්නේ දෙවිගේ හඬට සවන් දෙන්න අපිට වුවමනාවක් නැහැ කියලා නේද? දෙවිගේ උදව් අපිට ඕනෙ නම් අපි නිතරම දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන රැස්වීම්වලට යන්න ඕනේ. දෙවිගේ හඬ අපිට ඇහෙන ඒ හා සමාන අවස්ථාවන් අපි අගය කරන්න ඕනේ. අපේ රැස්වීම්වලදී දෙවිට සවන් දුන්න නිසා තමන් තුළ වැරදි ආශාවන් ටිකෙන් ටික වර්ධනය වෙනවා කියලා තේරුම් අරන් ඒවා හදාගන්න හුඟක් අයට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ලොකු අනතුරුවලින් බේරෙන්න ඔවුන්ට හැකි වුණා.ගීතා. 73:12-17; 143:10.

දිගටම දෙවිගේ හඬට සවන් දෙන්න

17. අපි ගැන විශ්වාසය තියලා වැඩ කරන එක භයානක ඇයි?

17 දාවිත්ගෙන් අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. දෙවිව විශ්වාස කරලා වැඩ කරද්දී බලවත් දේවල් කරන්න දාවිත්ට පුළුවන් වුණා. ගොලියත් කියන යෝධයාව මරලා දාන්නත් සෙබළෙක් සහ රජකෙනෙක් විදිහට සාර්ථක වෙන්නත් ඔහුට පුළුවන් වුණා. ඔහුගෙන් දෙවි බලාපොරොත්තු වුණේ දෙවිගේ සෙනඟ වෙනුවෙන් හරි තීරණ අරන් ඔවුන්ව ආරක්ෂා කරන එකයි. ඒත් ඔහු තමන් ගැනම විශ්වාසය තියලා වැඩ කරපු වෙලාවලදී ඔහුගේ හිත ඔහුව රැවැට්ටුවා. ඒ නිසා බෙත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණා විතරක් නෙමෙයි ඇගේ සැමියාවත් ඔහු මරලා දැම්මා. කොහොමවුණත් යෙහෝවා දෙවිගෙන් ලැබුණු හික්මවීම් ඔහු නිහතමානීව පිළි අරන් වැරදි හදාගෙන ආයෙත් දෙවිගේ මිතුරෙක් වුණා.ගීතා. 51:4, 6, 10, 11.

18. දෙවිගේ හඬට දිගටම සවන් දෙන්න අපිට පුළුවන් වෙන්නේ අපි මොනවා කළොත්ද?

18 අපි අපි ගැනම විශ්වාසය තියලා වැඩ කරන එක භයානකයි කියන දේ 1 කොරින්ති 10:12න් අපිට ඉගෙනගන්න පුළුවන්. තමන් යන්න ඕනෙ මොන මාර්ගයේද කියලා තීරණය කරන්න මිනිසුන්ට හැකියාවක් නැහැ කියලා බයිබලේ පැහැදිලිවම කියනවා. ඒ නිසා තමන් තෝරගන්නේ දෙවිගේ හඬට සවන් දීලා ඔහු කියන මාර්ගයේ යන්නද නැත්නම් සාතන්ගේ හඬට ඇහුම්කන් දීලා ඔහු කියන මාර්ගයේ යන්නද කියලා මිනිසුන් තීරණයක් ගන්න ඕනෙමයි. (යෙරෙ. 10:23) අපි නිතිපතා දෙවි එක්ක කතා කරන්නත් දෙවිගේ බලය මගින් ලැබෙන මඟ පෙන්වීම් පිළිගන්නත් අධිෂ්ඨාන කරගමු. එහෙම කළොත් අපි කොහේ හිටියත් දෙවිගේ හඬට සවන් දීලා ඔහු කියන විදිහට ජීවත් වෙන්න අපිට පුළුවන් වෙයි.