Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ඔබට ළං වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවි ඔබට ළං වෙන්නේ කොහොමද?

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”යාකො. 4:8.

1. මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ මොකක්ද? ඒක අපිට ලැබෙන්නේ කාගෙන්ද?

මිනිසුන් විදිහට අපි හැමෝම කැමතියි තව අය එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න. ඒක අපේ ජීවිතවලට අත්‍යවශ්‍යයි. අපිට ආදරේ කරන, අපිව වටින අය විදිහට සලකන, අපිව තේරුම්ගන්න පවුලේ අය එක්ක ඉද්දීත් යාළුවෝ එක්ක ඉද්දීත් අපිට සතුටක් දැනෙන්නේ ඒ නිසයි. ඒත් ඒ කාටත් වඩා අපි කිට්ටු බැඳීමක් තියාගන්න ඕනෙ අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි එක්කයි.දේශ. 12:1.

2. යෙහෝවා දෙවි අපිට පොරොන්දු වෙලා තියෙන්නේ මොකක්ද? ඒත් හුඟක් අය ඒ පොරොන්දුව විශ්වාස කරන්නේ නැත්තේ ඇයි?

2 යෙහෝවා දෙවි කැමතියි අපිව ඔහුගේ කිට්ටු මිතුරන් කරගන්න. අපි දෙවිට ළං වුණොත් දෙවිත් අපිට ළං වෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. (යාකො. 4:8) ඒත් දෙවිට ළං වෙන්න තරම් තමන් වටින්නේ නැහැ කියලත් දෙවි කෙනෙක් කියන්නේ මිනිසුන්ට කිට්ටු වෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලත් හුඟක් අය හිතනවා. ඇත්තටම දෙවිට ළං වෙන්න අපිට පුළුවන්ද?

3. යෙහෝවා දෙවි ගැන අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක්ද?

3 යෙහෝවා දෙවි මිනිසුන්ගෙන් “දුරස්ව සිටින කෙනෙක් නොවන නිසා” ඔහුව අඳුනගන්න ආශාවෙන් ඉන්න අයට ඔහුට ළං වෙන්න පුළුවන්. (ක්‍රියා 17:26, 27; ගීතාවලිය 145:18 කියවන්න.) අපි පව්කාරයන් වුණත් අපිව ඔහුගේ කිට්ටු මිතුරන් කරගන්න දෙවි කැමැත්තෙන් ඉන්නවා. (යෙසා. 41:8; 55:6) ඒක තමන්ගේ ජීවිතෙන්ම අද්දැක්ක දාවිත් දෙවිට මෙහෙම කිව්වා. “යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම  අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.” ඒ වගේම “ඔබ තෝරාගත්, ඔබ ළඟට පැමිණීමට ආරාධනා ලබන තැනැත්තා සන්තෝෂවත්ය” කියලත් ඔහු කිව්වා. (ගීතා. 65:2, 4) ආසා රජ කියන්නෙත් ඒ වගේ දෙවිට ළං වුණු කෙනෙක්. ඔහු දෙවිට ළං වුණු විදිහ ගැනත් දෙවි ඔහුට ළං වුණු විදිහ ගැනත් දැන් බලමු. *

අතීතයෙන් පාඩමක්

4. ආසා රජු යූදා වැසියන්ට ආදර්ශයක් වුණේ කොහොමද?

4 ආසා රජ යෙහෝවා දෙවිට උද්‍යෝගයෙන් නමස්කාර කරපු කෙනෙක්. ඔහු රජ වුණේ දේවාලවල අනාචාරය බහුල විදිහට සිද්ධ වුණු, රූප නමස්කාරය දේශය පුරා පැතිර තිබුණු කාලයකයි. ඔහු දෙවිට කීකරු වෙලා ඒ හැම නරක දෙයක්ම දේශයෙන් තුරන් කළා. (1 රාජා. 15:9-13) ආසා රජ දෙවිට ළං වෙලා ඔහුගේ නීතිවලට කීකරු වුණු නිසා ‘සෑම කාරණයකදීම තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන්නත් දෙවිගේ නීති හා දෙවි අණ කළ සියලු දේ පිළිපදින්නත් යූදාහි වැසියන්ට අණ කරන්න’ ඔහුට පුළුවන් වුණා. ආසා රජකම් කරපු පළවෙනි අවුරුදු 10දී සෙනඟ සාමයෙන් ජීවත් වුණා. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා. ‘අපේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් අපි පැතූ නිසයි දෙවි මේ දේශයට සාමය උදා කර දී තිබෙන්නේ.’2 ලේක. 14:1-7.

5. ආසා රජු දෙවිව විශ්වාස කරලා වැඩ කරනවා කියලා පැහැදිලි වුණේ කොහොමද? ප්‍රතිඵලය මොකක්ද?

5 ටිකකට හිතන්න ඔබ ආසා රජු කියලා. ඉතියෝපියානු ජාතික සේරා, දසලක්ෂයක සෙබළුන් පිරිසක් සහ අශ්ව රථ තුන්සීයක් එක්ක ඔබට විරුද්ධව යුද්ධ කරන්න එනවා. (2 ලේක. 14:8-10) ඒ එන්නේ ඔබේ සේනාවේ ඉන්න සෙබළුන්ගේ ගාණ වගේ දෙගුණයක සේනාවක්. දැන් ඔබ මොකද කරන්නේ? ‘ඇයි යෙහෝවා දෙවියනි ඔබ මේ හමුදාව නවත්තන්නේ නැත්තේ’ කියලා ඔබ දෙවිගෙන් අහනවද? ඔබේ හැකියාවන්, බුද්ධිය ගැන විශ්වාසය තියලා යමක් කරන්න හදනවද? නැත්නම් දෙවි ඔබව ආරක්ෂා කරයි කියන විශ්වාසයෙන් වැඩ කරනවද? ඒ වෙලාවේ ආසා රජ වැඩ කරපු විදිහෙන් ඔහුට දෙවි එක්ක මොන තරම් කිට්ටු බැඳීමක් තිබුණද කියලා ඔප්පු වුණා. දෙවිට කන්නලව් කරමින් ඔහු කිව්වේ “යෙහෝවා අපේ දෙවියනි, අපි විශ්වාසය තබා තිබෙන්නේ ඔබ මතයි. . . . ඒ නිසා අපට උපකාර කරන්න” කියලයි. දෙවි ඔහුට උත්තර දුන්නේ කොහොමද? ‘යෙහෝවා දෙවි ඉතියෝපීය හමුදාව පරාජය කළා.’ එක සෙබළෙක්වත් ඉතුරු වුණේ නැහැ.2 ලේක. 14:11-13.

6. අපිට ආසා රජුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

6 ආසා රජුට දෙවි ගැන ඒ තරම් විශ්වාසයක් තිබුණේ කොහොමද? බයිබලේ කියන්නේ ඔහු ‘යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කළා’ කියලයි. ඒ වගේම “ඔහු මුළු හදවතින්ම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළා” කියලත් සඳහන් වෙනවා. (1 රාජා. 15:11, 14) අපිත් අපේ මුළු හදවතින්ම දෙවිට සේවය කරනවා නම් දැනුත් අනාගතයේදීත් දෙවිට තව තවත් ළං වෙන්න අපිට පුළුවන්. තමන්ට ළං වෙන්න කියලා දෙවි අපිට ආරාධනා කරලා තියෙන එක ගැනත් ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඒක දිගටම තියාගන්න අපිට උදව් කරන එක ගැනත් අපි කොයි තරම් ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනෙද! අපිව තමන්ට ළං කරගන්න යෙහෝවා දෙවි අරගෙන තියෙන පියවර දෙකක් ගැන දැන් අපි බලමු.

යේසුස්ගේ ජීවිත පූජාව මගින් අපිව මිතුරන් කරගනියි

7. (අ) දෙවිට ළං වෙන්න අපි පෙලඹෙන්නේ දෙවි කරලා තියෙන මොන දේවල් නිසාද? (ආ) අපිව තමන්ට ළං කරගන්න දෙවි ආශාවෙන් ඉන්නවා කියලා පැහැදිලි වෙන ප්‍රධානම විදිහ මොකක්ද?

7 යෙහෝවා දෙවි ලස්සන පොළොවක් නිර්මාණය කරලා දවසක් ගාණේ ජීවත් වෙන්න අවශ්‍ය හැම දෙයක්ම දීලා ඔහුගේ හිතේ තියෙන ආදරේ අපිට පෙන්නලා තියෙනවා. (ක්‍රියා 17:28; එළි. 4:11) ඔහුත් එක්ක බැදීමක් ඇති කරගන්න අවශ්‍ය හැම දෙයක්ම අපිට දීලා ඊටත් වඩා ආදරයක් ඔහු අපිට පෙන්නලා තියෙනවා. (ලූක් 12:42) ඒ වගේම අපි යාච්ඤා කරද්දී ඔහුම ඒවාට සවන් දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. (1 යොහ. 5:14) ඒත් ඒ හැම  දේකටම වඩා යෙහෝවා දෙවිගේ හිතේ අපි ගැන තියෙන ආදරේ පැහැදිලි වෙන්නේ ඔහුගේ එකම පුතාගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කරන්න පොළොවට එවපු එකෙනුයි. ඒ තරම් වටින දෙයක් දෙවි අපිට දුන්නේ අපිව ළං කරගන්න ඔහු කැමැත්තෙන් ඉන්න නිසයි. (1 යොහන් 4:9, 10, 19 කියවන්න.) පාපයෙන් සහ මරණයෙන් නිදහස් වෙලා සදාකල් ජීවත් වෙන්න අපිට බලාපොරොත්තුවක් ලැබිලා තියෙන්නේ ඒ පූජාව නිසයි.යොහ. 3:16.

8, 9. දෙවිගේ අරමුණ ඉටු කරන්න යේසුස් සම්බන්ධ වුණේ කොහොමද?

8 යෙහෝවා දෙවි තම පුත්‍රයාගේ ජීවිත පූජාව දුන්නේ සියලුම මිනිසුන් වෙනුවෙන්. යේසුස්ට කලින් ජීවත් වුණු අයටත් ඒක අදාළයි. එහෙම වෙන්නේ කොහොමද? යෙහෝවා දෙවි ගැලවුම්කරු ගැන මුලින්ම අනාවැකිය කියපු අවස්ථාව මතකද? ඒ අනාවැකිය කියද්දී දෙවි සැලකුවේ යේසුස්ගේ ජීවිත පූජාව ඒ වෙනකොටත් ගෙවපු එකක් විදිහටයි. මොකද මිනිසුන් සඳහා දෙවිගේ අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා දෙවි දැනගෙන හිටියා. (උත්. 3:15) සියවස් ගාණකට පස්සේ “අපගේ පව්කාර ස්වභාවයෙන් අපව නිදහස් කිරීමට ක්‍රිස්තුස් යේසුස්ගේ ජීවිතය වන්දියක් ලෙස” ගෙවපු එක ගැන පාවුල් යෙහෝවා දෙවිට ස්තුති කළා. ඒ පූජාව මගින් දෙවි ‘අතීතයේදී මිනිසුන් කළ පාපවලටත් සමාව’ දුන්නා කියලා ඔහු කිව්වා. (රෝම 3:21-26) යේසුස් නැතුව අපිට යෙහෝවා දෙවිට ළං වෙන්න බැහැ කියන එක ඒ දේවලින් පැහැදිලියි.

9 නිහතමානී මිනිසුන්ට යෙහෝවා දෙවි එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන් යේසුස් මාර්ගයෙන් විතරයි. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය. දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය.” (රෝම 5:6-8) දෙවි යේසුස්ගේ ජීවිත පූජාව දුන්නේ ඒක ලබන්න අපි වටින නිසාවත් අපේ තියෙන යම් විශේෂත්වයක් නිසාවත් නෙමෙයි. දෙවිත් යේසුත් අපිට හුඟක් ආදරේ කරන නිසයි. “කෙනෙක් මා ළඟට එන්නේ මාව එවූ මගේ පියාණන් ඔහු තුළ ඒ සඳහා ආශාවක් ඇති කළොත් පමණයි” කියලත් “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි” කියලත් යේසුස් කිව්වා. (යොහ. 6:44; 14:6) යේසුස්ගේ ජීවිත පූජාව පදනමක් හැටියට යොදාගෙන දෙවි තම බලය මාර්ගයෙන් මිනිසුන්ව තමන්ට ළං කරගන්නවා. තමන් එක්ක කිට්ටු බැඳීමක් දිගටම තියාගන්න මිනිසුන්ට උදව් කරනවා. දෙවි එහෙම කරන්නේ සදාකල් ජීවත් වෙන්න අපිට අවස්ථාව ලබා දෙන්නයි. (යූද් 20, 21 කියවන්න.) අපිව ඔහුට ළං කරගන්න දෙවි අරගෙන තියෙන දෙවෙනි පියවර මොකක්ද?

බයිබලය මගින් අපිව මිතුරන් කරගනියි

10. දෙවිට ළං වෙන්න බයිබලේ අපිට උදව් වෙන්නේ කොහොමද?

10 මේ ලිපියේ මේ වෙනකොට අපි බයිබලේ තියෙන පොත් 14කින් බයිබල් පද පාවිච්චි කළා. දෙවි තම බලය මගින් මඟ පෙන්වලා බයිබලය ලිව්වේ අපිට ඔහුගේ මිතුරන් වෙන්න අවස්ථාවක් දෙන්නයි. බයිබලේ තිබුණේ නැත්නම් දෙවිට ළං වෙන්න අපිට පුළුවන් කියලා අපි දැනගන්නේ කොහොමද? ඒක නැතුව යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් දෙවිට ළං වෙන්න යේසුස් අපිට උදව් කරන්නේ කොහොමද කියලත් දැනගන්න පුළුවන්ද? යෙහෝවා දෙවිගේ පුදුමාකාර ගතිලක්ෂණ ගැනත් මිනිසුන් සඳහා දෙවිගේ අරමුණ ගැනත් අපි ඉගෙනගන්නේ බයිබලෙන් නේද? උදාහරණයකට නික්මයාම 34:6, 7 යෙහෝවා දෙවි තමාවම හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි. “මා දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නෙමි. යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක් පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙමි. මම පරම්පරා දහස් ගණනකට මහත් ප්‍රේමයක් පෙන්වමින් අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙන්නෙමි.” ඒ වගේ දෙවි කෙනෙක්ට කිට්ටු වෙන්න හිතෙන්නේ නැත්තේ කාටද? බයිබලෙන් අපි දෙවි ගැන ඉගෙනගන්න තරමට ඔහුව අපිට සැබෑ කෙනෙක් වෙනවා කියලත් ඒ නිසා අපි ඔහුට ළං වෙනවා කියලත් දෙවි දන්නවා.

11. යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න එක වැදගත් ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

11 අපි කෙනෙක් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගද්දී ඒ කෙනාව තව තවත් හොඳට අඳුනගන්නත් ඒ කෙනාගේ ගතිලක්ෂණ අගය කරන්නත් පුළුවන් වෙනවා. දෙවි එක්කත් කිට්ටු  බැඳීමක් තියාගන්න නම් ඔහු මොන වගේ කෙනෙක්ද කියලා අඳුනගන්න උදව් වෙන ඔහුගේ ගතිලක්ෂණ ගැන අපි බයිබලෙන් ඉගෙනගන්න ඕනේ. ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට දෙවි බයිබලේ ලියන්න සලස්වපු එක ගැන අපි කොයි තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද!

12. බයිබලය ලියන්න යෙහෝවා දෙවි මිනිසුන්ව තෝරගත්තේ ඇයි?

12 දෙවිට ඕනෙ නම් බයිබලේ ලියන්න දේවදූතයන්ව යොදාගන්න තිබුණා. මොකද දේවදූතයනුත් මිනිසුන් ගැන හුඟක් උනන්දුවෙන් ඉන්න පිරිසක්. (1 පේතෘ. 1:12) දෙවිගේ පණිවිඩය ලියන්න ඔවුන්ට පුළුවන්කම තිබුණා. ඒත් ඔවුන් මිනිසුන්ට වඩා වෙනස්. ඔවුන්ට කවදාවත් මිනිසුන්ට තියෙන හැඟීම්, අවශ්‍යතාවන්, දුර්වලකම් තිබුණේ නැහැ. ඔවුන් අපිට වඩා වෙනස්. යෙහෝවා දෙවි බයිබලේ ලියන්න මිනිසුන්ව තෝරගත්තේ ඒ නිසයි. එහි ලේඛකයන් සහ වෙනත් අය අධෛර්යය වුණු වෙලාවල් ගැනත් ඔවුන්ට බිය සැක දැනුණු, ඔවුන් අතින් අඩුපාඩු වුණු වෙලාවල් ගැනත් බයිබලෙන් කියවද්දී ඒ වේදනාව අපේ හිතටත් දැනෙනවා. ඔවුන් සතුටු වුණු වෙලාවල් ගැන කියවද්දී ඒ සතුට අපිටත් දැනෙනවා. මොකද බයිබල් ලේඛකයන්ටත් තිබුණේ “අප හා සමාන හැඟීම්.”යාකො. 5:17.

යෙහෝවා දෙවි යෝනාටත් පේතෘස්ටත් සලකපු විදිහ ඔහුට ළං වෙන්න ඔබට උදව් වෙන්නේ කොහොමද? (13 සහ 15 ඡේද බලන්න)

13. යෝනාගේ අයැදීම කියවද්දී ඔබට හැඟෙන්නේ කොහොමද?

13 යෝනා ගැන හිතන්න. දෙවි ඔහුට ලොකු වගකීමක් දුන්නත් ඔහු බය වෙලා ඒක කරන්නේ නැතුව වෙන පළාතකට ගියා. යෝනාගේ කතාව දේවදූතයෙක් ලිව්වා නම් ඔහුගේ හිතේ ඇති වුණු හැඟීම් හරියටම විස්තර කරන්න පුළුවන් වෙයිද? “යෙහෝවා දෙවියනි, මරණය අබියස සිටියදී මට සිහි වූයේ ඔබ පමණය” කියලා ලියන්න මුහුදු පත්ලේදී ඒ අද්දැකීම විඳපු යෝනා තරම් තවත් කෙනෙක් ඉන්නවද? ඒ වචන ඇතුළත් දෙවිට ඔහු කළ අයැදීමත් යෝනාගේ සම්පූර්ණ කතාවත් ලියන්න දෙවි ඔහුවම තෝරගත්ත එක කොච්චර වටිනවද!යෝනා 1:3, 10; 2:1-9.

14. යෙසායා තමන් ගැනම ලියපු දේ තේරුම්ගන්න අපිට පුළුවන් ඇයි?

14 යෙසායාත් ඒ වගේ කෙනෙක්. යෙහෝවා  දෙවිගේ තේජස දර්ශනයකින් දැක්කට පස්සේ තමන් කොයි තරම් පව්කාර මිනිසෙක්ද කියලා තේරුම් අරගෙන ඔහු මෙහෙම කිව්වා. “අනේ, මම අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්. මම ජීවත් වෙන්නෙත් අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරෙයි. එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපතිද රජුද වන යෙහෝවා දෙවිව මම දැක්කා! අපවිත්‍ර කෙනෙකුට දෙවිව දැක ජීවත් වෙන්න පුළුවන්ද?” (යෙසා. 6:5) තමන් ගැන ඒ වගේ දෙයක් කියන්න දේවදූතයෙකුට පුළුවන්ද? අපිත් යෙසායා වගේ පව්කාරයන් නිසා එදා ඔහුට කොහොම හැඟෙන්න ඇද්ද කියලා තේරුම්ගන්න අපිට පුළුවන්.

15, 16. (අ) අතීතයේ සිටි දෙවිගේ සේවකයන්ගේ හැඟීම් අපිට තේරුම්ගන්න පුළුවන් ඇයි? උදාහරණ දෙන්න. (ආ) දෙවිට තව තවත් ළං වෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

15 යාකොබ් කිව්වා ඔහු “වටින පුද්ගලයෙක් නෙවෙයි” කියලා. පේතෘස් කිව්වේ “මම පව්කාරයෙක්” කියලයි. (උත්. 32:10; ලූක් 5:8) දේවදූතයන්ට කවදාවත් එහෙම කියන්න බැහැ. යේසුස්ගේ ගෝලයන්ට සමහර අවස්ථාවලදී “මහත් බියක්” දැනුණා. දේවදූතයන්ට කවදාවත් ඒ වගේ බයක් ඇති වෙන්නේ නැහැ. දේශනා කරද්දී ඇති වුණු පීඩාවලට මුහුණ දෙන්න පාවුල්ටත් අනිත් අයටත් ලොකු නිර්භීතකමක් අවශ්‍ය වුණත් දේවදූතයන්ට ඒ වගේ දෙයක් අවශ්‍ය නැහැ. (යොහ. 6:19; 1 තෙස. 2:2) මොකද ඒ අය මිනිසුන්ට වඩා ශක්තිමත්. හැම අතින්ම පරිපූර්ණයි. ඒත් දෙවි බයිබලේ ලියන්න යොදාගත්ත අය අපි වගේම පව්කාරයන්. ඒ නිසා ඔවුන්ගේ හැඟීම් අපිට තේරෙනවා. ඒ දේවල් බයිබලෙන් කියවද්දි අපිට පුළුවන් වෙනවා “ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති වන්න. හඬන අයත් සමඟ හඬන්න.”රෝම 12:15.

16 යෙහෝවා දෙවි අතීතයේදී ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට සලකපු විදි ගැන බයිබලෙන් කියවලා, ඒ ගැන හිතද්දී දෙවිගේ පුදුමාකාර ගතිලක්ෂණ තේරුම්ගන්න අපිට පුළුවන්. ඒ අය අතින් වැරදි, අඩුපාඩුකම් වෙද්දී ඉවසීමෙන්, ආදරෙන් දෙවි ඒ අයට සලකපු විදිහ දකින්න අපිට පුළුවන් වෙනවා. ඒ විදිහට දෙවිව හොඳින් තේරුම් අරන් අපේ මුළු හිතින්ම ඔහුට ආදරේ කරනවා නම් අපි දෙවිට තව තවත් ළං වෙනවා.ගීතාවලිය 25:14 කියවන්න.

දෙවි සමඟ නොබිඳෙන බැඳීමක් ඇති කරගන්න

17. (අ) අෂරියා ආසා රජුට දුන්න අවවාදය මොකක්ද? (ආ) ආසා ඒ අවවාදයට පිටින් වැඩ කළේ කොහොමද? ප්‍රතිඵලය මොකක්ද?

17 ඉතියෝපියානු හමුදාව පරාජය කළාට පස්සේ අනාගතවක්තෘ අෂරියා ආසා රජුට මේ වගේ අවවාදයක් දුන්නා. “ඔබ යෙහෝවා දෙවිට ළංව සිටින තාක් කල් ඔහුත් ඔබට ළංව සිටිනවා. ඔබ ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරයි. නමුත් ඔබ ඔහුව අත්හැරියොත් ඔහුද ඔබව අත්හරියි.” (2 ලේක. 15:1, 2) පස්සේ කාලෙකදී ආසා රජු ඒ අවවාදයට පිටින් වැඩ කළා. ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යය ඔහුට විරුද්ධව යුද්ධයට එද්දී ඔහු බය වුණා. දෙවිගෙන් උදව් ඉල්ලනවා වෙනුවට ඔහු සිරියාව එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ගැන දෙවි කිව්වේ මෙහෙමයි. “ඔබ ක්‍රියා කළේ අඥාන ලෙසයි. එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.” සිද්ධ වුණෙත් ඒකමයි.2 ලේක. 16:1-9.

18, 19. (අ) කලින් තරම් දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් දැන් නැහැ කියලා තේරුණොත් කරන්න ඕනෙ මොකක්ද? (ආ) දිගටම දෙවිට ළංව ඉන්න අපිට පුළුවන් කොහොමද?

18 අපිත් කවදාවත් දෙවිගෙන් ඈත් වෙන්න හොඳ නැහැ. අපිට ඉස්සර තරම් දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් නැහැ කියලා තේරුණොත් ඉක්මනින්ම හොෂෙයා 12:6 තියෙන දේ කරමු. එතන මෙහෙම කියනවා. “ප්‍රේමයෙන් කටයුතු කර යුක්තිය ඉටු කරන්න. එසේ කරමින් නැවත ඔබේ දෙවි වෙතට හැරී එන්න. ඔබේ සියලු බලාපොරොත්තු ඔබේ දෙවි කෙරෙහි තබන්න.” යේසුස්ගේ ජීවිත පූජාව ගැන ගැඹුරින් හිතමු. තවත් හොඳට බයිබලේ අධ්‍යයනය කරමු. එතකොට අපේ දෙවිට තව තවත් කිට්ටු වෙන්න අපිට පුළුවන්.ද්විතීය කතාව 13:4 කියවන්න.

19 “දෙවිට ළං වී සිටීම මට යහපතකි” කියලා ගීතිකාකරු කිව්වා. (ගීතා. 73:28) එහෙම ඉන්න එක අපිටත් යහපතක් නෙමෙයිද? යෙහෝවා දෙවි ගැන අලුත් දේවල් දිගටම ඉගෙනගන්න අපි අදිටන් කරගමු. එතකොට ඔහුට තව තවත් ආදරේ කරන්න අපි පෙලඹෙයි. ඒ විදිහට අපි ඔහුට ළං වෙද්දී දැනුත් සදහටමත් ඔහු අපිට ළංව ඉඳියි.

^ 3 ඡේ. ආසා රජු ගැන දැනගන්න 2012 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ “ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා” කියන ලිපිය බලන්න.