Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස් සද්දුසිවරුන්ට කිව්වේ නැවත නැඟිටීමක් ලබන අය “විවාහ වෙන්නේ නැහැ” කියලයි. (ලූක් 20:34-36) ඔහු එතනදී කතා කළේ පොළොවේ නැවත නැඟිටින අය ගැනද?

හුඟක් අය, විශේෂයෙන්ම තමන්ගේ සැමියා නැත්නම් බිරිඳ මිය ගිය අය ඒ ප්‍රශ්නෙට උත්තර දැනගන්න ආශාවෙන් ඉන්නවා. මිය ගිය කෙනා එක්ක පාරාදීසයේදී ආයෙත් විවාහ ජීවිතයක් ගත කරන්න ඒ අය ආශාවෙන් බලාගෙන ඉන්නවා ඇති. තමන්ගේ බිරිඳ මිය ගියාට පස්සේ කෙනෙක් මෙහෙම කිව්වා. “අපි දෙන්නට ඕන වුණේ විවාහක යුවළක් විදිහට සදාකාලෙටම දෙවිට නමස්කාර කරන්නයි. ඒ ආසාව තාමත් මගේ හිතේ තියෙනවා.” නැවත නැඟිටින අයට ආයෙත් විවාහ වෙන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න නිශ්චිත හේතු තියෙනවද? සරලවම කියනවා නම් ඒ ගැන අපිට තවම හරියටම කියන්න බැහැ.

අවුරුදු ගාණක ඉඳන්ම අපේ සඟරාවල සඳහන් වුණේ නැවත නැඟිටීම හා විවාහය ගැන යේසුස් කිව්ව දේ බොහෝදුරට අදාළ වෙන්නේ පොළොවේ නැවත නැඟිටින අයට කියලයි. ඒ අය විවාහ වෙන එකක් නැහැ කියලත් සඳහන් වුණා. * (මතෙ. 22:29, 30; මාක් 12:24, 25; ලූක් 20:34-36) නිශ්චිතවම කියන්න බැරි වුණත් යේසුස් කතා කළේ ස්වර්ගයේ නැවත නැඟිටීමක් ලබන අය ගැන වෙන්න බැරිද?

මුලින්ම යේසුස්ට ඒ දේ කියන්න පසුබිම සකස් වුණේ කොහොමද කියලා බලමු. (ලූක් 20:27-33 කියවන්න.) සද්දුසිවරුන් නැවත නැඟිටීම විශ්වාස කළේ නැහැ. ඔවුන්ට ඕන වුණේ නැවත නැඟිටීම ගැනත් මස්සිනාගේ යුතුකම ඉටු කරන එක ගැනත් ප්‍රශ්නයක් අහලා යේසුස්ව කොටු කරගන්නයි. * ඒ වෙලාවේදී තමයි යේසුස් උත්තරේ විදිහට මෙහෙම කිව්වේ. “පවතින මේ සමාජයේ ජීවත් වන අය නම් විවාහ වෙනවා. නමුත් මතු පැමිණෙන කාලයේදී නැවත නැඟිටීමක් ලබා ජීවත් වීමට සුදුසුකම් ලබන අය විවාහ වෙන්නේ නැහැ. ඇත්තෙන්ම ඔවුන් නැවත මිය යන්නෙත් නැහැ. ඔවුන් දේවදූතයන් හා සමාන වෙයි. නැවත නැඟිටීමක් ලබන නිසා ඔවුන් දෙවිගේ දරුවන් වෙනවා.”ලූක් 20:34-36.

බොහෝදුරට යේසුස් කතා කළේ පොළොවේ නැවත නැඟිටීම ගැන වෙන්න ඕනෙ කියලා අපේ සඟරාවල කිව්වේ ඇයි? එහෙම කියන්න හේතු දෙකක් තිබුණා. මුලින්ම අපි හිතුවා සද්දුසිවරුන් ඒ ප්‍රශ්නේ අහද්දී ඔවුන්ගේ මනසේ තියෙන්න ඇත්තේ පොළොවේ නැවත නැඟිටීම ගැන නිසා යේසුස් උත්තර දෙන්න ඇත්තේ ඒකට අදාළවයි කියලා. දෙවෙනි හේතුව වුණේ යේසුස්ගේ උත්තරේ අවසානයේදී පොළොවේ නැවත නැඟිටීමක් ලබන්න යන ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ් ගැන ඔහු සඳහන් කරපු එකයි.ලූක් 20:37, 38.

කොහොමවුණත් යේසුස් කතා කළේ ස්වර්ගයේ නැවත නැඟිටීම ගැන වෙන්නත් පුළුවන්. එහෙම කියන්න තියෙන පදනම මොකක්ද? ඒක දැනගන්න යේසුස්ගේ උත්තරේ තිබුණු වැදගත් කාරණා දෙකක් ගැන බලමු.

“නැවත නැඟිටීමක් ලබා ජීවත් වීමට සුදුසුකම් ලබන අය.” බයිබලේ ‘දෙවිගේ රාජ්‍යයට පිවිසෙන්න සුදුස්සන්’ හැටියට හඳුන්වලා තියෙන්නේ විශ්වාසවන්ත අභිෂේක ලත් අයවයි. (2 තෙස. 1:5, 11) යේසුස්ගේ ජීවිත පූජාව නිසා ඔවුන්ව ධර්මිෂ්ඨයන් හැටියට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා ඔවුන් මිය යන්නේ පව්කාරයන් හැටියට නෙමෙයි. (රෝම 5:1, 18; 8:1) ඔවුන්ව “සන්තෝෂවත්, ශුද්ධ” අය කියලත් හඳුන්වනවා. ඒ හේතු දිහා බලද්දී ස්වර්ගයේ නැවත නැඟිටීමක් ලබන්න ඔවුන් සුදුසුකම් ලබන අය කියලා කියන්න පුළුවන්. (එළි. 20:5, 6) අනිත් අතට මේ පොළොවේ නැවත නැඟිටින අය අතරේ “අධර්මිෂ්ඨ අයත්” ඉන්නවා. (ක්‍රියා 24:15) එහෙමනම් මේ පොළොවේ නැවත නැඟිටින අයව “නැවත නැඟිටීමක්  ලබා ජීවත් වීමට සුදුසුකම් ලබන අය” කියලා හඳුන්වන්න පුළුවන්ද?

“ඔවුන් නැවත මිය යන්නෙත් නැහැ.” යේසුස් ඒකෙන් අදහස් කළේ මරණය කියන දේ නැවත කිසිදාක ඔවුන්ට බලපාන්නේ නැහැ කියන එකයි. වෙනත් බයිබල් පරිවර්තනවල යේසුස් කියපු ඒ දේ “ඔවුන්ට තවත් මැරෙන්ට නුපුළුවන” හැටියටත් “ඔවුන් කෙරෙහි බලපැවැත්වීමට මරණයට තවදුරටත් හැකියාවක් නැත” හැටියටත් පරිවර්තනය කරලා තියෙන්නේ ඒ නිසයි. අමරණීය පුද්ගලයන් හැටියට ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවන්නේ විශ්වාසවන්තව මිය යන අභිෂේක ලත් අයවයි. ඔවුන්ගේ ජීවිතය කිසිදා අවසන් වෙන්නෙවත් කිසි කෙනෙකුට ඔවුන්ව විනාශ කරන්නවත් බැහැ. *1 කොරි. 15:53, 54.

ඒ කාරණා දෙකෙන් අපිට එන්න පුළුවන් නිගමනය මොකක්ද? නැවත නැඟිටීම හා විවාහය ගැන යේසුස් කියපු දේ ස්වර්ගයේ නැවත නැඟිටීමට අදාළ වෙනවා කියලා බොහෝදුරට හිතන්න පුළුවන්. ඒක එහෙමනම් ස්වර්ගයේ නැවත නැඟිටින අය ගැන කාරණා කීපයක් අපිට කියන්න පුළුවන්. ඔවුන් විවාහ වෙන්නේ නැහැ. ඔවුන් මිය යන්නේ නැහැ. ඔවුන්ව නැවත නැඟිටුවන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් ශරීරයක් ඇතුව නිසා ඔවුන් යම් විදිවලින් දේවදූතයන්ට සමාන වෙනවා. ඒත් ඒ විදිහට නිගමනය කරද්දී තවත් ප්‍රශ්න කීපයක් මතු වෙනවා.

සද්දුසිවරුන් පොළොවේ නැවත නැඟිටීම ගැන මනසේ තියාගෙන නම් ඒ ප්‍රශ්නේ ඇහුවේ උත්තර විදිහට යේසුස් ස්වර්ගයේ නැවත නැඟිටීමක් ගැන කිව්වේ ඇයි? යේසුස් ඔහුගේ විරුද්ධවාදීන්ට උත්තර දෙද්දී ඔවුන්ගේ මනසේ තියෙන කාරණාවට අදාළ උත්තරේ හැම වෙලාවෙම දුන්නේ නැහැ. උදාහරණෙයකට ඔහුගෙන් ලකුණක් ඉල්ලපු යුදෙව්වන්ට ඔහු කිව්වේ “මේ දේවමාලිගාව කඩා දමන්න. එතකොට දවස් තුනකින් මම එය නැවත ගොඩනඟනවා” කියලයි. ඒ වෙලාවේ ඔවුන් හිතුවේ දේවමාලිගා ගොඩනැඟිල්ල ගැන කියලා යේසුස් හොඳටම දැනගෙන හිටියා. ඒත් “දේවමාලිගාව ගැන සඳහන් කරමින් ඔහු කතා කළේ තමාගේ ශරීරය ගැනයි.” (යොහ. 2:18-21) දේවදූතයන් ගැනවත් නැවත නැඟිටීම ගැනවත් විශ්වාස නොකරපු සද්දුසිවරුන්ට උත්තර දෙන්න අවශ්‍ය නැහැ කියලා යේසුස් හිතන්න ඇති. (හිතෝ. 23:9; මතෙ. 7:6; ක්‍රියා 23:8) ඒ වෙනුවට තමන්ගේ අනුගාමිකයන්ට ස්වර්ගයේ නැවත නැඟිටීම ගැන සත්‍ය තොරතුරු එළිදරව් කරන්න යේසුස් ඒක අවස්ථාවක් කරගන්න ඇති.

යේසුස් අවසානයේදී ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් වගේ පොළොවේ නැවත නැඟිටීමක් ලබන අය ගැන සඳහන් කළේ ඇයි? (මතෙව් 22:31, 32 කියවන්න.) යේසුස් ඔවුන් ගැන සඳහන් කරන්න කලින් “මිය ගිය අය නැවත නැඟිටින ආකාරය ගැන දෙවි විසින් ඔබට කී මේ දේ ඔබ කියවා නැද්ද” කියන ප්‍රශ්නේ ඇහුවා. යේසුස් ඒ ප්‍රශ්නේ අහන්න ඇත්තේ මෙතෙක් වෙලා කතා කරමින් හිටපු කාරණයේම තවත් පැත්තකට ඔවුන්ගේ අවධානය යොමු කරන්න වෙන්න ඇති. සද්දුසිවරුන් මෝසෙස්ගේ ලියවිලි පිළිගත්ත නිසා යේසුස්ට අවශ්‍ය වුණේ පොළොවේ සිද්ධ වෙන නැවත නැඟිටීම අනිවාර්යයෙන් වෙනවා කියලා ඒ ලියවිලිවලින්ම ඔප්පු කරලා පෙන්නන්නයි. ඒ නිසයි ඔහු ඇවිළෙමින් තිබුණු කටු පඳුර ළඟදී යෙහෝවා දෙවි මෝසෙස්ට කියපු දේ සඳහන් කළේ.නික්. 3:1-6.

යේසුස් කතා කළේ ස්වර්ගයේ නැවත නැඟිටීම ගැන නම් ඒකෙන් අදහස් කරන්නේ පොළොවේ නැවත නැඟිටින අයට විවාහ වෙන්න පුළුවන් කියන එකද? ඒ ගැන බයිබලේ කෙළින්ම කියලා නැහැ. යේසුස් කතා කළේ ස්වර්ගයේ නැවත නැඟිටීම ගැන නම් පොළොවේ නැවත නැඟිටින අයට විවාහ වෙන්න පුළුවන්ද බැරිද කියන කාරණය ගැන ඒ වචනවලින් කිසිම තොරතුරක් හොයාගන්න බැහැ.

ඒ අතරේ බයිබලේ පැහැදිලිව පවසන දෙයක් තියෙනවා. ඒ තමයි මරණයත් සමඟම විවාහ බැඳීම අවසන් වෙනවා කියන දේ. ඒ නිසා තමන්ගේ සැමියා නැත්නම් බිරිඳ මිය ගියාට පස්සේ ආයෙත් විවාහ වෙන අය තමන් කරන්නේ වරදක් කියලා හිතන්න අවශ්‍ය නැහැ. ඒක පෞද්ගලික තීරණයක්. ඒ කෙනා ගන්න තීරණය කවුරුත් විවේචනය කරන්න හොඳ නැහැ.රෝම 7:2, 3; 1 කොරි. 7:39.

ඇත්ත, පාරාදීසයේ ජීවිතය ගැන දැනගන්න අපි ආශාවෙන් ඉන්න හුඟක් ප්‍රශ්න තියෙනවා. ඒත් ඒ වගේ ප්‍රශ්න ගැන කිසි තේරුමක් නැතුව නිගමනවලට එන්න උත්සාහ කරනවට වඩා ඉවසීමෙන් බලාගෙන ඉන්න එක තමයි හොඳම දේ. ඒ වුණත් අපිට එක දෙයක් ගැන ස්ථිරවම කියන්න පුළුවන්. ඒ තමයි දෙවිට විශ්වාසවන්තව ඉන්න හැම කෙනෙක්ම එදාට සතුටින් ඉන්නවා කියන දේ. මොකද ඒ හැමෝගෙම ආශාවන්, අවශ්‍යතාවන් පුළුවන් හොඳම විදිහට සපුරන්න දෙවි අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා.ගීතා. 145:16.

^ 4 ඡේ. 1987 ජූනි 1 ‘මුරටැඹ’ කලාපයේ 30-31 පිටු බලන්න. (සිංහලෙන් නැහැ.)

^ 5 ඡේ. මස්සිනාගේ යුතුකම ඉටු කරනවා කියන එකෙන් අදහස් කළේ කෙනෙක් පුත්‍රයන් නැතුව මිය ගියොත් ඔහුගේ සහෝදරයා මිය ගිය කෙනාගේ පෙළපත දිගටම ගෙන යන්න ඒ කෙනාගේ බිරිඳව විවාහ කරගන්න එකටයි. ඒක ඊශ්‍රායෙල්වරුන් අතරේ තිබුණු සම්ප්‍රදායක්.උත්. 38:8; ද්වි. 25:5, 6.

^ 9 ඡේ. පොළොවේ නැවත නැඟිටින අයට තියෙන්නේ සදාකාලයටම ජීවත් වීමේ අවස්ථාව මිසක් අමරණීය ජීවිතයක් නෙමෙයි. ඒ දෙක අතර වෙනස දැනගන්න 1984 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ කලාපයේ 30-31 පිටු බලන්න. (සිංහලෙන් නැහැ.)